රාවය

සමථ මණ්ඩලය චුදිතයාට වැඳවැටුණේය

සමථ මණ්ඩලය චුදිතයාට වැඳවැටුණේය

ගලගොඩ අත්තේ ඥානසාර හිමි උසාවි භූමිය තුළදී මට බැන පරිභව කරනු ලැබුවේ 2016 ජනවාරි 25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016. 02. 09 දින බී වාර්තාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේය. කෙසේ හෝ වර්තමානය වන විට එහි චෝදනාවල ස්වරූපය නීතිපති දෙපාර්තුමේන්තුව විසින් වෙනස් කර ඇති අතර, 2017.10.16 දින හෝමාගම ගරු මහේස්ත‍්‍රාත්තුමා එම නඩුව හෝමාගම සමථ මණ්ඩලයට යොමුකළේය. ඒ අනුව ද හෝමාගම පොලීසියෙන් මා ලද දැනුම් දීමට අනුව ද 2017.10.21 දින හෝමාගම සමථ මණ්ඩලයට ගිය අවස්ථාවේදී එහි සිටි මහත්වරුන් කියාසිටියේ ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නැති බවත් ඔවුන් ලිඛිතව මාහට දැනුම් දුන් පසු පැමිණෙන ලෙසත්ය. ඉන් පසු 2017.11.04 දින සමථ මණ්ඩලයට පැමිණෙන ලෙස ඔවුහු මට දැනුම දුන්නෝය.

මගේ සටහනේ නිමිත්ත එයයි. මෙම සිද්ධිය මාගේ මාධ්‍ය සගයන් එතරම් හොඳ ප‍්‍රවෘත්තියක් සේ නොදුටු හෙයින් දෝ ඔවුහු එය ආවරණය නොකළෝය. මේ පිළිබඳ දන්නා කිහිප දෙනෙක්ම මේ නඩුව සමථ මණ්ඩලයෙන් අවසන් කර නොගත්තේ ඇයිදැයි මගෙන් විමසා සිටියහ.

ඇත්තෙන්ම මා එම හිමිනමගේ තිරිසන් ක‍්‍රියාව, මට සිදු වූ හිංසනය, අපහාසය හා අවමානය නොසලකා හැරිය යුතුද? හෝමාගම පොලීසියට පැමිණිලි කළා සේම ඥානසාර හිමිගේ මෙම ක‍්‍රියාව සම්බන්ව එම හිමි නම පැවිදිබව ලබා ඇති ගෞරවනීය සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ මහනායක ධුරන්ධර ගෞරවනීය ඉත්තෑපානේ  ධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ලිඛිතව දැනුම්දී උන්වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධව බෞද්ධ භික්‍ෂු විනයානුකූලව පියවරක් ගන්නා ලෙසය. විනය පිටකයෙහි භික්‍ෂූ විනය ගැන බොහෝ කාරණා සඳහන්ව තිබුණද, මහනායක ස්වාමීන් වහන්සේ මාගේ ඉල්ලීම නොසලකා හැරියේ කිසිදු ප‍්‍රතිවාරයක් වත් නොදක්වමිනි. මෙය කනගාටුවට කාරණාවකි. මක් නිසාද යත් මහනායක ස්වාමීන් වහන්සේලාගේ නිහැඩියාව, දේශපාලන  ඕනෑඑපාකම් මත චීවරය ගණිකා වෘත්තියේ යොදවන හිමිවරුන්ට අත්වැල් සැපයීමක් හා දිරිගැන්වීමක් වන හෙයිනි.

කෙසේ වුවද 2017 නොවැම්බර් 4 දින උදෑසන 8.45 පමණ වන විට මම සමථ මණ්ඩලය වෙත ගියෙමි. ඥානසාර හිමිට අඩි කිහිපයක් පිටුපසින් අදාළ ස්ථානයට ඇතුළු වීමි. හෝමාගම සමථ මණ්ඩලයේ නිලධාරීන් ඥානසාර හිමි අබියස වැඳවැටී ඔහු පිළිගත්හ. අප කිසියම් වරදක හෝ කරදරයක ගොදුරක් වූ විට අප යුක්තිය පතා යන නීතිය පසිඳලන ආයතන තුළ කිසිදු පාර්ශ්වයක් විශේෂිත ලෙස සැලකීම නොකළයුතු නොවේදැයි මට සිතුණි. ඉන් පසු ඥානසාර හිමිට එතැන ආසනයක් පනවා දුන් අතර, සමථ මණ්ඩලයේ සේවය ලැබීමට පැමිණ සිටි මා හා අනෙක් සියලූ දෙනා දේශනයකට සම්බන්ධ කළහ. දේශනය කළ දේශක මහතා සමථ මණඩල ක‍්‍රමය ඉතා සාර්ථක ක‍්‍රමයක් බවත්, ශී‍්‍ර ලංකාව පුරාම සමථ මණ්ඩල පිහිටුවා තිබෙන බවත්, එමගින් අධිකරණවල රසිතියාදු වීම වලකන අතර මුදල් නාස්තියද වලකන බවත්, මේ පිළිබඳ අධ්‍යයනය කිරීමට වෙනත් රටවලින්ද පැමිණෙන බවත් ඇතුළු තවත් බොහෝ කරුණු ගෙනහැර දැක්වූයේය. ඥානසාර හිමිට දේශන නැත. වැරදිකරු වරප‍්‍රසාදිතය. මෙය මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්නා ක‍්‍රමයක්ද? මට ඇති වූයේ ප‍්‍රශ්නයකි.

දේශනය හමාර වීමෙන් පසු නැවතත් මා නිලධාරීන් විසින් නඩු කැඳවන ස්ථානයට ගිය විට, විශේෂත්වයක් කරන බව පවසමින් අපගේ නඩුව පළමුවෙන් විභාගයට ගැනුණි. සමථ වන්නේදැයි ඔවුන් මගෙන් විමසූ විට මා නැතැයි පිළිතුරු දුන්නෙමි. කෙසේ වුවද මා හා ඥානසාර හිමි පරීක්‍ෂණ කණ්ඩායමක් වෙත යොමු කෙරිණි. මඳක් පමාවී පරීක්‍ෂක කණඩායමට පැමිණි පරීක්‍ෂකවරිය පවා ඥානසාර හිමිට වැඳ නමස්කාර කිරීමට අමතක නොකළාය.

2010 ජනවාර් 24 දා මගේ සැමියා බලහත්කාර අතුරුදහන් කිරීමට ගොදුරු වූ බවත්, එතැන් සිට මා සැමියාට වූ දේ සොයාගැනීම සඳහා විවිධ ප‍්‍රයත්නයන් දරන බවත්, ඒ පිළිබඳ නීති ප‍්‍රකාරව හෝමාගම අධිකරණයේ නඩුවක් ඇති අතර 2010 සිට එයට සහභාගී වන බවත් පැවසීමි. තවද අලූත් ආණඩුව පත් වීමෙන් පසු එම පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට බාරදුන් අතර ඔවුන් විසින් සොයාගත් සාක්‍ෂිවලට අනුව මගේ සැමියා පැහැරගත් හමුදා නිලධාරීන් උසාවියට ඉදිරිපත් කෙරුණු අතර එදිනද එම නඩුවට ඔවුන් හා මා උසාවියට ගොස් සහභාගි වූ බවත්, එය අවසන් වූ පසුව එම හිමිනම උසාවියේ කළහකාරී ලෙස හැසිරෙමින් මා බියවද්දමින් හා අවමානයට පත් කරමින් අසභ්‍ය වචනයෙන් බැනවැදුණු බවත් පැවසුවෙමි.

විවිධ කරුණු කාරණා ගොනු කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසා සිටියේ, එදින උසාවි කූඩුවෙන් බැස යන හමුදා නිලධාරීන්ගේ ඇස්වල සහ අත්වල කඳුළු දුටු තමාගේ සිත බෙහෙවින් කම්පාවට පත් වූ බවත්, එම හේතුව මත උසාවියේ කලහකාරී ලෙස හැසිරුණ අතර මට බැනවැදුණු බවත්ය. මට බැනවැදුණු ආකාරය තමාට අමතක බව පවසා සිටි ඥානසාර හිමි ”දන්නෙ නැද්ද පෘථග්ජන මිනිස්සුන්ගෙන් වැරදි සිදු වෙනවා. වෛර කරන්න හොඳ නෑනේ. මට වෛර කරන්්න එපා. මේ ප‍්‍රශ්නය මෙතැනින් සමථ වෙලා ඉවර කරගනිමු.” යැයි පැවසුවේය.

මා සිනාසෙන්නද? හඬන්නද? දහම් දැනුමෙහි පරතෙරට පැමිණි, සුපේශල උපේක්‍ෂාශීලී බුද්ධ පුත‍්‍රයෙකු ලෙස ලියපදිංචි වූ උපසම්පදා කර්මය කළ, භික්‍ෂු විනය කුමක් දැයි හොඳින් දන්නා බොහෝ ධර්ම විභාගයන් නිම කර ඇති ඥානසාර හිමි, දරු දෙදෙනෙකු සමග බොහෝ දුක්ගැහැට හා පීඩාවන් උහුලමින් තම සැමියාට වූ දෙය සොයමින් දස අතේ දුව ඇවිදින අසරණ ගැහැනියක වන මා හට බැනවැදුණේ, පුතුන් දෙදෙනෙකුගෙන් පියෙකුද ගැහැනියකගෙන් සැමියෙකුද උදුරාගෙන ජීවය අහිමි කිරීම නිසාවෙන් නීතිය හමුවට පැමිණවූ කුලීකාර හමුදා නිලධාරීන්ගේ කඳුළු දැකීමෙන් ඇති වුණ පෘථග්ජන හැගීම නිසා බව පැවසීම හාස්‍යජනක නොවන්නේද?

මෙම සිද්ධිය සමථ වීමට අකමැති බවත්, අධිකරණයෙන් එය විසදගැනීමට කැමති බවත් මම පරීක්‍ෂක නිලධාරීන්ට පවසා සිටියෙමි. ඉන්පසු දෙපාර්ශ්වයේ එකගත්වයක් නැති වීම හේතුවෙන් සමථ නොවුණු නඩුවක් ලෙස වාර්තාවක් නිිකුති කෙරිණි.”වෙන වැඩක් නැතිවට උසාවි ගානේ රස්තියාදු වෙන්න.”යැයි කෝප ස්වරයෙන් පැවසූ පෘථග්ජන ඥානසාර හිමියන් නැගී සිටි අතර මම නිවුණු සිතින් සිනාසුණෙමි.අවුරුදු 12 හා 15 වයසේ සිටි පුතුන් දෙදෙනෙකුට පිය සෙනෙහස ද, සැමියෙකුගේ රැුකවරණය ද ආරක්‍ෂාව ද උදුරාගනිමින් මා කෘත‍්‍රිම වැන්දඹුවක බවට පත් කර, ක‍්‍රෑර රාජපක්‍ෂ ජුන්ටාවේ  ඕනෑඑපාකම් මත සත්‍යය සගවමින් සිටින අපරාධකාර පුද්ගලයන් දකිද්දී, සමීපව සිටියදී පවා ඔවුන්ට පරුෂ වචනයෙන් බැන වදින්නට හෝ උන්ගේ මුහුණට කෙල ගසන්නට මට නොසිතෙන්නේ මා පෘථග්ජන හැගීම් පලවාහැර ශ‍්‍රමණ බවට පත් වී ඇති නිසාවත් දෝයි මට සිතුණි.

යම් ගැටුමක හෝ ආරාවුලක පාර්ශ්වයන් දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සිටිය හැකිය. එම පුද්ගලයන් කුමන තරාතිරමක වුවද නීතිය පසිඳලන, ආරවුල් විසඳන යාන්ත‍්‍රණ තුළදී මේ සියලූ දෙනා එන සමාන වරප‍්‍රසාදලාභී විය යුතු නොවේද? යම් පුද්ගලයෙකුගේ බලය, නිලය හෝ තරාතිරම මත පරීක්‍ෂණ නිලධාරීන් විසින් ඔවුනට වරප‍්‍රසාද ලබාදෙන්නේද (විශේෂයෙන් අනෙකාට හිංසා කළ වරදකාරී පුද්ගලයා), එවිට බිඳවැටෙන්නේ සමථ මණ්ඩල යාන්ත‍්‍රණය තුළ පැවතිය යුතු අපක්‍ෂපාතී බව හා ස්වාධීනත්වයයි. එවිට වින්දිතභාවයට ගොදුරු වූ පුද්ගලයා තුල මෙම යාන්ත‍්‍රණය කෙරෙහි පැවතිය යුතු විශ්වාසය කෙසේ නම් සුරැකේද?    මා මෙම සටහන තබන්නේ කිසිවෙකු දෝෂදර්ශනයට ලක් කිරීමට නොව, සමථ මණ්ඩල යාන්ත‍්‍රණයේ නිරත  නිලධාරීන් සහ ඔවුන් පත් කරන රාජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කරන්නන්ගේ අවධානයට මෙම කරුණු යොමු කළ යුතු නිසාවෙනි.

සන්ධ්‍යා එක්නැලිගොඩ