රාවය

නිවාස ණය කපා හැරීමේ අපි වෙනුවෙන් අපි මහා රැවටීම

නිවාස ණය කපා හැරීමේ  අපි වෙනුවෙන් අපි  මහා රැවටීම

නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වන බව ප‍්‍රසිද්ධියේම රටට කියමින් බලයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහු බලයට එනවිට නොතිබූ පක්ෂ නායකත්වයත් ඉන්පසු බලහත්කාරයෙන් ලබාගෙන දැන් තමා පාක්ෂික ජනාධිපතිවරයෙකු බව රටට පෙන්වමින් සිටී.

තමා බලයට පත් කළ ජනතාවගේ බලාපොරොත්තු කුමක් වුවද තමා පරාජය කර බලයට පැමිණි ශ‍්‍රීලනිප ජයග‍්‍රහණය වෙනුවෙන්  ඕනෑම දෙයක් කරන්නට සූදානම් බව පළාත් පාලන මැතිවරණයට අදාළව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය සමඟ සන්ධාන ගතවීම සඳහා පැවති සාකච්ඡාවලදී ඔහු හොඳටම පෙන්නුවේය. එම සාකච්ඡා අසාර්ථක වූයේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ජයග‍්‍රාහී සමඟි සන්ධාන සාකච්ඡා සිහිනය දිගේ ඔහු ඉහළට ඔසවා ගෙනැවිත් පොළවේ ගැසීම මගින්ය.එම සාකච්ඡා සාර්ථක වන තෙක් ප‍්‍රකාශයට පත්කර ඇති පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිණිස ඔහුගේ පාර්ශ්වයෙන් නොකෙරුණු වෙදකමක් නැත.

සියල්ල වැරදුණු තැන දැන් ඔහු සිය ජයග‍්‍රහණය උදෙසා මහින්ද රාජපක්ෂ පන්නයේ වැඩ කිරීම සඳහා කටයුතු කරමින් සිටීම ඛේදජනකය. දිනපතාම දක්නට ලැබෙන්නේ වෙනත් පක්ෂවල සාමාජිකයන් උත්සවශ‍්‍රීයෙන් අඬබෙර ගසා ඔහුගේ පක්ෂයට බඳවා ගන්නා ආකාරයය. තමා හා තම කණ්ඩායම තරම් දෑත් පිරිසිදු කිසිවකු නැතැයි යන්න හැඟවෙන ආකාරයේ ප‍්‍රසිද්ධ ගල උඩ දේශනා පැවැත්වීමය. වසර තුනක් තිස්සේ සුරැකිව තැන්පත් කර තිබූ සිය විධායක බලය නම් වූ කඩුව එළියට ගන්නා බවත් ඉන් කැපිය හැක්කේ තම පාක්ෂිකයාද, විරුද්ධ පාක්ෂිකයාද, ඥාතියාද, නොඥාතියාද යන්න නොසලකන බවත් දෙඩවීමය. එහෙත් දුක්ඛ සත්‍යය වන්නේ ශ‍්‍රීලනිපෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය යැයි හඳුන්වමින් ශ‍්‍රීලනිපයට විරුද්ධව කටයුතු කරන කිසිවකුට එරෙහිව කිසිවක් කර කියාගත නොහැකිව ඔහු ශ‍්‍රීලනිප නායකත්වය නම්වූ බලෙන් ඉල්ලා දාගත් ඔටුන්න දාගෙන විකට භූමිකාවක් රඟදක්වන බවය.

මෙම පළාත් පාලන මැතිවරණයේ ශ‍්‍රීලනිප නායකත්වය නම් වූ ඔහුගේ ජාම බේරාගැනීම සඳහා ජේ.ආර්. ජයවර්ධන පන්නයේ හඳෙන් හාල් ගෙනැත් දෙනවා වැනි පොරොන්දු පවා ඔහු ලබාදෙමින් සිටීම තවත් පැත්තකින් හාස්‍යජනකය. එවැනි එක් අභියෝගයට ලක්වී ඇති ජනප‍්‍රිය පොරොන්දුවක් වන්නේ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් නිවාස ඉදිකරවා ගැනීම හෝ අලූත්වැඩියා කරගැනීම වෙනුවෙන් රාජ්‍ය බැංකු වන ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් දශ ලක්ෂයේ ණය මුදල ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලේ ප‍්‍රතිපාදන වෙන්කොට කපා හරින බවට වූ දුන් පොරොන්දුවය.

එම පොරොන්දුව පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීමක් වශයෙන් සඳහන් කරමින් රණවිරු අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටින විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට මේ වනවිට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඇත්ත වශයෙන්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පොරොන්දුව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කරළියට ගෙනා එම පොරොන්දුව යටතට වැටෙන කිසිවකුට මගහැර යා නොහැකි විස්මයජනක ඡන්ද පොරොන්දුවක් වනවාට කිසිදු සැකයක් නැත. මන්ද එම ඡුන්ද පොරොන්දුවේ එක් අයකුට ලැබෙන ප‍්‍රතිලාභය රුපියල් සීයක්, දෙසීයක්, දාහක්, දෙදහක්, දස දහසක් හෝ ලක්ෂයක් වැනි ප‍්‍රමාණයක් නොවන නිසාය. රුපියල් දශලක්ෂයක ප‍්‍රමාණයක් වන නිසාය.

ත‍්‍රිවිධ හමුදාව තුළ දැනට සේවය කරන හා විශ‍්‍රාම ලැබූ සාමාජිකයන් අතරින් මේ නිවාස ණය මුදල ලබා නොගත් පිරිස ලෙස සිටිනවා ඇත්තේ ඉතා සුළු පිරිසක්ය. සාමාන්‍යයෙන් ත‍්‍රිවිධ හමුදාවේ සේවය කරන පිරිස හා විවිධ හේතු මත ඉන් විශ‍්‍රාම ලැබූ පිරිස ලක්ෂ පහක්යැයි සැලකුවහොත් මේ ඡන්ද පොරොන්දුවේ ආකර්ෂණය, තමන්ට හෝ තම වරිගයේ එකෙකුට සැලකුවා යැයි යන නිගමනය මත රටේ පවුල් ලක්ෂ පහකට බලපාන්නේය. එය දළ වශයෙන් ලක්ෂ විසිපහක පමණ ජනගහනයක්ය. සමහරවිට එම ලක්ෂ විසිපහ තුළ ලක්ෂ 15ත් 20ත් අතර ඡන්ද හිමියන් පිරිසක් සිටිය හැකිය. ඒ අනුව ගත් කල ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කවුද කියන තරමට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සූක්ෂ්මය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ එම හැකියාවන් ඔප්පු කිරීම සඳහා මේ ඡුන්ද පොරොන්දුවත් සමඟ අප යායුත්තේ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල වෙතය. මේ අරමුදල වූකලි පසුගිය යුද සමයේදී ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සුබ සාධනය උදෙසා දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ පරිත්‍යාගයෙන් නඩත්තු වූ අරමුදලකි.

මෙම අරමුදල 2015 ජනවාරි ජනාධිපතිවරණයට පෙර සිඳී තිබූ බව ‘අපි වෙනුවෙන් අපි ගිණුම හිඳිලා, සැක විදේශ ගනුදෙනු හතරක් යනුවෙන්’ මේ ලියුම්කරු හෙළිදරව් කර සිටියේය. එම සැක විදේශ ගනුදෙනු හතර සිදුවී තිබුණේ 2014 දෙසැම්බර් 11 වැනිදාය. එම දිනයේදී රුපියල්  30353996 ක් බැගින් වූ විදේශ ගෙවීම් තුනක්ද, රුපියල්  50589993 ක් වූ විදේශ ගෙවීමක්ද සිදුවී තිබුණි.

විදේශ ගෙවීම් හතරේ මුළු එකතුව රුපියල් මිලියන 141.65කි. ඊට අමතරව 2014 දෙසැම්බර් 31 දිනද රුපියල් මිලියන 22ක දේශීය ගෙවීමක් කර තිබුණි. මේ ගෙවීම් නිසාම ‘අපි වෙනුවෙන් අපි’ ජංගම ගිණුමේ ඉතිරි කිරීමේ ගිණුම වශයෙන් පවත්වාගෙන ගිය ගිණුමේ ශේෂය 2014 දෙසැම්බර් 31 වන විට රුපියල් මිලියන 14 දක්වා අඩුවී තිබුණි. එසමයේ මෙම ගිණුමේ මුදල් ආපසු ලබාගැනීමේ අත්සන් බලය ගෝඨාභය රාජපක්ෂ, බී.යූ. රත්නවීර, පී.ද. සිල්වා, බී.ඞී.ඩබ්ලිව්.ඒ. සිල්වා හා ඞී.ආර්. තිරන්තුඩුව යන අයට පැවරී තිබුණි.

අපගේ නවතම සොයා බැලීම් අනුව අනාවරණය වන්නේ ‘අපි වෙනුවෙන් අපි’ ගිණුමට අවසන් වරට මුදල් ලැබී ඇත්තේ 2015 සැප්තැම්බර් මස 21 දින බවය. ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල සඳහා ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ඇති අංක 704000 දරන ජංගම ගිණුමේ මේ ලිපිය ලියන මොහොතේ ශේෂය රුපියල් මිලියන 2ක් හෙවත් ලක්ෂ විස්සක්ය. එම ජංගම ගිණුමට සම්බන්ධ අංක 73249610 දරන ඉතිරි කිරීමේ ගිණුමේ ශේෂය රුපියල් මිලියන 69ක් (රු. 69,278,000) හෙවත් රුපියල් ලක්ෂ 690කි.

ඉතිං ‘අපි වෙනුවෙන් අපි’ මෙම ගිණුම් දෙකේ ඇති මුළු මුදලම වැය කර ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ නිවාස ණය කපා හැරියත්, ඒ ආකාරයට ණය කපා හැරිය හැක්කේ ඉතාම සුළු පිරිසකගේ ණය බව පැහැදිලිය.  එයින් ඉතාම පැහැදිලි වන්නේ ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ගේ රුපියල් දශ ලක්ෂයේ නිවාස ණය ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලෙන් කපා හරිනවාය යන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පොරොන්දුව ජේ.ආර්. ජයවර්ධනගේ හඳෙන් හාල් ගෙනැත් දෙනවා වැනි හුදු මැතිවරණ පොරොන්දුවක්ම පමණක් බවය. දිවිහිමියෙන් ආරක්ෂා කරනවා යැයි ඔහුම සපථ කර ඇති ඔහුගේ රණවිරුවන් ඔහු රවටන්නේ මෙසේ නම් රටේ අනෙකුත් හුදී ජනයා රැවටීම සම්බන්ධයෙන් ඔහු කුමක් නොකියයිද යන්න සිතා ගැනීම ඔබට බාරය.