මානව හිමිකම් කොමිසම ඊනිව්ස් ගැන විමසයි

ඊ නිව්ස් වෙබ් අඩවියේ තොරතුරු ප‍්‍රචාරය අවහිර කළේ කුමන නීතියක් යටතේද යන්න පිළිබද විමසා විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති හා ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දුට ලිපියක් යැවූ බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි.

ඇය මේ බව කීවේ ජනවාරි 04 වැනිදින එම කොමිසමේ පැවති මාධ්‍ය හමුවේදීය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දුගෙන් විමසූ විට පැවසුවේ කොමිසමේ අධ්‍යක්‍ෂවරයකු විසින් තමා වෙත එවැනි ලිපියක් එවා තිබූ බවය. එහෙත් එහි සදහන්ව තිබුණේ මාධ්‍යවල පළවී තිබූ තොරතුරු අනුව එම විමසීම කරන බවත් තමන් විසින් එය කළේ දැයි කළ විමසීමක් නොවන බවත්ය. තමන් විසින් ඊ නිව්ස් වෙබ් අඩවියේ තොරතුරු ප‍්‍රචාරය අවහිර කිරීම සිදුකළ බවට චෝදනා නගන්නේ නම් ඒ සදහා පිළිතුරු දීමට තමා සූදානම් බවත් ජනාධිපති ලේකම්වරයා තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ නියෝගයකින් තොරව අන්තර්ජාල සේවා සපයන්නෙකුට වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ නොහැකි අතර මෙම අවහිර කිරීම සිදුකළේ කාගේ උපදෙස් මතද යන්න පිළිබදව ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන්, ටෙලිකොම් විෂයභාර අමාත්‍යවරයාගෙන්, ජනාධිපතිවරයාගෙන්, අග‍්‍රාමාත්‍යවරයාගෙන් හා අනෙකුත් වගකිව පුද්ගලයන්ගෙන් ජනමාධ්‍ය සංවිධාන හා අනෙකුත් සංවිධාන ඉල්ලීම් කළත් ඒවාට මෙතෙක් ඒ කිසිවකු පිළිතුරු ලබාදී නැත.