රාවය

විජයකාන්තන් නාඩගම ඇප අයදුම හින්දා

විජයකාන්තන් නාඩගම ඇප අයදුම හින්දා

නාවික හමුදා සාමාජීකයන් විසින් සිසුන් 11 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් තමා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කට උත්තරය වෙනස් කර සටහන් කර ඇතැයි පවසමින් මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ බස්නායක මුදියන්සේලාගේ විජයකාන්තන් නැවත ප‍්‍රකාශයක් ලබාදීම කෙරෙන්නේ එළැඹෙන ජනවාරි 10 වැනිදින මහාධිකරණයේ විභාගයට ගන්නා නාවික හමුදා සැකකරුවන්ගේ ඇප අයදුමට වාසි සහගත බලපෑමක් සදහා බව රාවයට කරුණු වාර්තා වෙයි.

විමර්ශන නිලධාරීන් අපහසුතාවට පත් කිරීම සදහා මෙම ප‍්‍රකාශය ලබාදීම සැලසුම් කර ඇතැයි ද දැනගන්නට ලැබේ.
වාර්තා වෙන කරුණු අනුව ති‍්‍රකුණාමලය ගන්සයිඞ් භූගත කදවුර තුළ පුද්ගලයන් රදවාගෙන සිට පසුව ඝාතනය කිරීම පිළිබද කොටි සංවිධානයේ සහ නාවික බුද්ධි අංශවල කටයුතු කර ඇති මෙම පුද්ගලයා මුලින්ම සාක්‍ෂි ලබාදී ඇත්තේ 2013 වර්ෂයේදීය. අනතුරුව 2015 දී සහ 2017 දීත් මෙම සිද්ධිය පිළිබදව ඔහු මෙම සිරකදවුරේ සිරකරුවෙකු ලෙස සිටි අවධියේ සිදු වූ සිදුවීම් සහ එහි ආගිය පුද්ගලයන් පිළිබදව තොරතුරු ලබාදී ඇත.

එම තොරතුරුවලට අදාළව ඔහු සමග රහස් පොලිස් පරීක්‍ෂණ කණ්ඩායම ස්ථානීය පරීක්‍ෂාවක් ද සිදුකර ඇත. මෙම සෑම අවස්ථාවකදීම අදාළ පුද්ගලයා සිංහල භාෂාව උපයෝගී කරගෙන සන්නිවේදනය සිදුකර ඇති බවද එහිදී ඔහු කළ ප‍්‍රකාශවල සත්‍යතාව මේ වන විට තහවුරු වී ඇති බවද දැනගන්නට ලැබේ.

කෙලෙසක හෝ මේ පුද්ගලයින් සියල්ල එකතු වී නිර්මාණය කර තිබෙන මෙම අලූත් තත්ත්වය නිසා අදාළ සැකකරුවන්ට එළැබෙන 10 වැනි දින ඇප ලැබුණහොත් එය මෙම පරීක්‍ෂණවලට විශාල බලපෑමක් කරණු ඇතැයි ප‍්‍රකාශ වෙයි.

මෙම සිද්ධියට අදාළව මෙම නාවික හමුදා කණ්ඩයට පුද්ගලයින් 28 දෙනෙකු ඝාතනය කර ඇතැයි කරුණු වාර්තාවන අතර ඉන් 11 දෙනකු පිළිබදව කරුණු නිවැරදිව තහවුරු කරගෙන ඇත.