බැඳුම්කර වාර්තාව ගැන සාකච්ඡුාවට පාර්ලිමේන්තුව කැඳවන්න පක්ෂ නායක රැස්වීමක්

භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජනවාරි 03 වැනිදා මාධ්‍ය අමතා සිදුකළ ප‍්‍රකාශයත් සමඟ ඒ පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර කැඳවීම සම්බන්ධයෙන් වූ පක්ෂ නායක සාකච්ඡුාවක් කතානායකවරයා විසින් ජනවාරි 8 වැනි දින කැඳවා ඇතැයි වාර්තා වේ.

නියමිත පරිදි නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 23 වැනිදා කැඳවීමට නියමිත අතර, පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ස්ථාවර නියෝග අනුව අගමැතිවරයාගෙන් කතානායකවරයාට ඉල්ලීමක් ලැබිය යුතුය. එවන් ඉල්ලීමක් කරන ලෙස පක්ෂ නායක රැස්වීමකදී පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් විසින් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කළ හැකිය.

භාණ්ඩාගාර බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉල්ලා තිබූ අතර, ඒකාබද්ධ විපක්ෂයෙන් නායක දිනේෂ් ගුණවර්ධන විසින්ද පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර විසින්ද එම කරුණ සම්බන්ධයෙන්ම සාකච්ඡා  කිරීමට පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව මාධ්‍ය හමුවකදී කියා ඇත.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව දෙසැම්බර් 31 වැනිදා ජනාධිපතිවරයාට ලැබී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ජනවාරි 03 දින විශේෂ ප‍්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය. එම විශේෂ ප‍්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින්ද පවසන්නේ කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට මහජනයාට විවෘත වාර්තාවක් බවට පත් කරන බවයි.

වාර්තාවෙහි ඇති නිර්දේශ පිළිබඳ සඳහන් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සාවද්‍ය ලෙස මැදිහත්වෙමින් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට මාස පහක කාලයක් තුළ රුපියල් මිලියන 11145ක ලාභයක් ලබාදී ඇති බව වාර්තාවේ සඳහන් වන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා හරහා නඩු පැවරීමට කටයුතු කරන බවත්ය.

කෙසේ වෙතත් එසේ නඩු පැවරීමට අල්ලස් හෝ දුෂණ පනතේ සංශෝධනයක් පාර්ලිමේන්තුව හරහා සම්මත කරගත යුතු බවද ජනාධිපතිවරයා පැවසීය. ඊට අමතරව පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් ආයතනය අයථා ලෙස උපයාගත් මුදල යළි අයකර ගැනීමටද පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත යුතු බව ජනාධිපතිවරයා කීය.

කොමිෂන් සභා වාර්තාව අනුව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා අල්ලස් ලබාගෙන ඇති බවත්, ඒ අනුව ඔහුටද නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවට පවරන බවත් ජනාධිපතිවරයා කීය.

ඒ සියල්ල කාර්යක්ෂමව ප‍්‍රමාදයකින් තොරව සිදුකරන බව ජනාධිපතිවරයා පවසා තිබූ අතර, ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එජාපය ජනවාරි 04 දින විශේෂ ප‍්‍රකාශයක් කරන බවට ආරංචි පැතිරුණද එදින එවැනි ප‍්‍රකාශයක් එජාපය සිදුකරනු නොලැබීය.