රාවය

කලාව අමතක කළ අවුරුදු තුනක්

කලාව අමතක කළ අවුරුදු තුනක්

 

2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන්නේ යහපාලනයක් සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් සැමදාම කැපවූ සටන් කළ කලාකරුවන් තුළ අලූත් බලාපොරොත්තු රැසක් ජනිත කරමින්ය. ඒ බලාපොරොත්තු මහින්ද රාජපක්ෂගේ පසුපසු වැටුණු නලාකරුවන්ගේ බලාපොරොත්තු සමග සැසදීමේදී අහසට පොළොව සරිය. පසුගිය මහින්ද පාලනය කලාවට පොදුවේ උදව් කිරීම සහ පහසුකම් සැපයීම පසෙක තබා කලාව වෙනුවෙන් කැපවූ තමන්ගේ වටේ එකතුවූ සුළුතරයකට තෑගිබෝග තාන්නමාන්න ගෞරව සම්මාන හමුදාවේ නිලතල ලබාදෙන විට කලාව අභාවයටම පල්ලම් බැස්සේය. මේ තත්ත්වය තුළ වැටුණු කලාව නගාසිටුවීම සදහා ජාතියකට දියුණු වීමට කලාව සංස්කෘතිය අවශ්‍යයි යන තැනින්, වඩා ජවසම්පන්න ආරම්භයක්  නව යහපාලනය තුළින් ලබාගැනීම බොහෝ කලාකරුවන්ගේ අවශ්‍යතාව විය. ඔවුහු ඒ සදහා ජනාධිපතිවරණ සටන තුළදී අවශ්‍ය මූලික මැදිහත්වීම කළෝය.

කලාව සදහා ජාතික ප‍්‍රතිපත්තියක්

මෙම නව තත්ත්වය තුළ පරාක‍්‍රම නිරිඇල්ල, සුනිල් විජේසිරිවර්ධන වැනි ප‍්‍රමුඛ කලාකරුවන්ගේ මූලිකත්වයෙන් කලාව සදහා ජාතික වැඩපිළිවෙළක් කෙටුම්පත් වූ අතර එය නව ජනාධිපතිවරයා සහ සිවිල් සංවිධාන අතර පළමු හමුවේදී සාකච්ඡාවට බදුන්වූ බව එම හමුවට සහභාගිවූ මේ ලියුම්කරුටද මතකය. එහෙත් ඒ හමුව පැවැත්වී අවුරුදු තුනකට ආසන්න මේ කාලය සහ වර්තමාන යහපාලන ජනාධිපතිවරයා පත්වී අවුරුදු තුනක් වන මේ කාලය වනවිටත් එම කලාව පිළිබද කෙටුම්පතට සිද්ධවූ දෙයක් දැනගන්න නැත.

පුද්ගලික ලාභ අපේක්ෂා වෙනුවෙන් කලාව පාවිච්චි කරන කලාකරුවන්ගේ පටු අරමුණුවලින් පිටත පොදුවේ කලාව සංවර්ධනය කිරීම පිළිබද ඉතා හොද අදහස් සහ යෝජනා තිබුණු මේ ලියවිල්ල හොද සංවාදයකින් පසුව අවශ්‍ය සංශෝධනත් සමග කලාව පිළිබද ජාතික ප‍්‍රතිපත්තිය වේයැයි අප සියල්ලන් ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූවත් පසුගිය ආණ්ඩු සේම මේ වෙනසක් ස`දහා පත්වූ ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් එම අවස්ථාව මගහැරියෝය.

කලාවට ඔහේ ඉබාගාතේම යන්නට ඉඩ හැරියෝය. යහපාලනය සදහා පත්වූ ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩු දෙකෙහිද මෙම හැසිරීම තවදුරටත් තහවුරු කරමින් සහ ඉදිරියට ගෙනයමින් අමාත්‍යංශ විෂයන් බෙදීමේදී කලාව දෙකට කඩා එය අධ්‍යාපන සහ සංස්කෘතික යන අමාත්‍යාංශ දෙකක සීමාව තුළ රදවා තව තවත් ප‍්‍රශ්න ඇතිකළෝය. මේ තත්ත්වය තුළ කලාවේ අභිවෘද්ධිය සදහා පවතින මණ්ඩල සහ අනුමණ්ඩලවල ක‍්‍රියාකාරිත්වයන්ට බලපෑම් ඇතිවූවේය. නාට්‍ය අනුමණ්ඩලය වැනි මණ්ඩලවල ක‍්‍රියාකාරිත්වය ඇනහිටින මට්ටමකට පැමිණියේය. කලාව ඔසවා තැබීමට පොරොන්දුවී පැමිණි යහපාලකයන් පසුගිය අවුරුදු තුන තුළ හැසිරුණේ මෙලෙසින්ය.

සිනමාවත් අවුලෙන් අවුලට

2015 ජනවාරි 8 වැනිදාට ප‍්‍රථම සිනමාවට උරුමවී තිබූ කරුමක්කාර ස්භාවයේ කිසිදු වෙනසක් මෙම පාලන කාලය තුළ සිදුනොවූ අතර එම අර්බුදය තවතවත් උත්සන්න කෙරිණ. අඩුම තරමින් සිනමාව කර්මාන්තයක් ලෙස හදුනාගැනීමේ උත්සාහයක්වත් රාජ්‍ය අංශයෙන් දකින්නට නොහැකිවිය. මේ නිසා සිනමාහල් ඩිජිටල්කරණයත් ඉන්දියාවෙන් ඉවත්කර විසිකරන ප්‍රොජෙක්ටර් මෙහි ගෙනවිත් සවිකරනවාට වඩා වැඩි දෙයක් නොවිණි. චිත‍්‍රපට නිෂ්පාදනය, බෙදාහැරීම, ප‍්‍රදර්ශනය ආදිවූ සියලූ අංශයන් නවීකරණය කරමින් සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩනගා ගැනීමේ සිහිනයක සිටි කලාකරුවන්ගේ ඒ සිහිනය තවදුරටත් සිහිනයක් ලෙස තැබීමට මෙම අවුරුදු තුන තුළ මේ ආණ්ඩු මෙන්ම යහපාලන ජනාධිපතිවරයාත් සමත්වූ බව නම් කිවයුතුය. අනෙක් පැත්තෙන් සිනමා කර්මාන්තය තුළ යම් ප‍්‍රබෝධයක් ඇතිකළ කොළඹ සිනමා උළෙල හෝ ඉදිරියට පවත්වාගෙන යාමට යහපාලකයන්ට නොහැකිවිය. මෙයින් පැහැදිලි වන්නේ කලාව පිළිබදව අපේ පාලකයන්ට අතීතයේ සිට තිබුණු මතය මේ වෙනසට පසුව හෝ වෙනස්වී නැති බවය.

කලාවට මෙවැනි තත්ත්වයක් යහපාලන කාලය තුළදී උදාවෙන විට කලා සංස්කෘතික අතීත උරුමයන් සුරක්ෂිතව ඉදිරි අනාගතයට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමද සිද්ධ නොවුණි. කන්ගැට්ටා පැන්න කෞතුකාගාරයට යහපාලනය තුළ අගමැති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැන්න අතර එහිදී ඔවුන් විසින් ඉපැරණි පිළිමයක සිරස බිදදැමුණි. අවසානයේ එයට විරුද්ධව ගත් ක‍්‍රියාමාර්ගයක් නැත. දඹුලූ විහාරයේ චිත‍්‍ර සංරක්ෂණයට භික්ෂුන් අවහිර කරනවිට යහපාලකයන්ගේ ප‍්‍රතික‍්‍රියාවද ඇල්මැරුණු එකක් විය. මේ කලා සංස්කෘතික අංශයේ පසුගිය අවුරුදු තුනෙහි ප‍්‍රගමනය පිළිබද කෙටි සමාලෝචනයක්ය. මෙහි විශාල චිත‍්‍රය වන්නේ මෙම ක්‍ෂේත‍්‍රයේ ඇගට දැනෙන අභිවෘද්ධියක් සිදු නොවූ බවය. සමහර අංශයන් පරිහානියේ අන්තයටම ගිය බවය.