කෙමෙන් වියැකෙන කූරගල බෙර නද

 

හිමිදිරිය විසින් එළන ලද මීදුම් සේලය වියැකී යන්නටත් ප‍්‍රථම අපි නීල හරිත කදුගැට, වනපියස අතරින් මේ පෞරාණික ගම් පියස සොයා ඇදුණෙමු. කදුගැටයක් මතට දිවෙන මාවතකට හැරී ත‍්‍රිරෝද රිය නතර වන්නටත් පෙරම මග දෙපස දුටු සංගීත භාණ්ඩ, සොයා පැමිණි ගම්පියස වෙත අප පැමිණ ඇති බවට ඉගිකළේය. මහනුවර දිස්ත‍්‍රික්කයේ උඩුනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොඩියාදෙණිය ග‍්‍රාමනිලධාරී වසමේ කූරගල ගමය ඒ.

උඩරට, පහතරට, සබරගමු බෙර වර්ග ඇතුළු වාදක භාණ්ඩ රාශියක පාරම්පරික නිෂ්පාදනයේ සාඩම්බරය හිමි කූරගල වටා බැඳුණු බොහෝ ඉතිහාස කතා ජනප‍්‍රවාදයෙහි එයි. ඇම්බැක්කේ දේවාලයට වැඩි ඈතක් නොවූ මේ ගම්මානයේ අක්කර අටක් වන භූමියේ අයිතියද අතීතයේ දේවාලයටම හිමි ව තිබි බවට කියැවේ.

”ඉස්සර දේවාලෙට එන අලින්ට බදින්න රැහැන් ගහන්න බාර දීලා තිබුණේ මේ ගම්වාසීන්ටයි. කිතුල් තත්  අරගෙන ඒවා අඹරලා තමයි ඒ කාලේ රැහැන් හදලා තියෙන්නේ. පස්සේ කාලෙක දේවාලේ රාජකාරි මට්ටමෙන් මේ ගම නිදහස් වෙලා තියනවා. ඊට පස්සේ තමයි මේ බෙර කර්මාන්තය පටන් අරන් තියෙන්නේ.’’

 

ගමේ සිටින වැඩිහිටියෙකු වන කූරගල සංගීත භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සමිතියේ සභාපතිද වන පේ‍්‍රමරත්න එලෙස ඓතිහාසික තොරතුරු අප වෙත රැගෙන ආවේය.‍ එම්.ඞී. රාඝවන් විසින් මෙරට රොඞී කුලය පිළිබද ලියන ලද පර්යේෂණ කෘතියේ ද මධ්‍යම පළාතේ වූ රොඞී ගම්මානයක් ලෙස කූරගල ගම්මානය නම් කර තිබේ.

 

”රොඞී කියන කුලය තමයි ඉස්සර මේ ප‍්‍රදේශයේ ඉදලා තියෙන්නේ. රජවාසලේ අතුගාන, පිරිසිදු කරන වැඩ කළ අයට අතීතයේ රොඞ්ඩා කියලා කිව්වා. ඒ අය තැනකට ගියාම පිළිකුලට ලක් කළා. අයින් කළා. ඒ නිසා ඒ අය අනික් අයගෙන් ඉල්ලාගෙන කෑමට පටන් ගත්තා. පස්සේ පස්සේ ඒ අය වෙනත් වෙනත් කර්මාන්තවල නියැලෙන්න පටන් ගත්තා.’’ පේ‍්‍රමරත්න සදහන් කළේය.

මීට කලකට පෙර නම් මේ ගම් පියසෙන් ඇතැම් මිනිසුන් දුරස්ථව සිටි බවත් ගමේ සිදු වූ මළගෙයකට හෝ නොපැමිණි බවත් ගමේ සිටි පැරැන්නන්ගෙන් ඇතැමෙක් කියති. කුලභේදය පිළිබද එදා බොහෝ දෙනා තුළ තිබූ එවන් අදහස් අද වන විට නම් බොහෝ දුරකට වියැකී ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. හුදෙකලා වූ මේ ගම්මානයට එදා කුඩා ප‍්‍රාථමික පාසලක්ද ලැබෙන්නේ මේ බොහෝ කාරණාවලට විසදුම් ලෙසිනි.

මූලාරම්භයේ අතු පැලක් ලෙස ආරම්භ වූ මේ කූරගල ගැමුණු ප‍්‍රාථමික විදුහල අද පුංචි ශාලාවකි. ආරම්භයේදී සිසුන් තිස්ගණනක් සිටි බවට කියන එම පාසලේ අද ඉගෙනුම ලබන්නේ දරුවන් 11 දෙනෙකි. එකම කාමරයේ තැන තැන තැබූ මේසවල එක වසර සිට පහ වසරට පන්ති පහකි. ගුරුවරු සිව් දෙනෙකි. විදුහල්පතිවරයෙකි. මුල් කාලයේ පාවහන්ද නොමැතිව පාසල් ආ ළමයි සිටි බවට කීවත් අද නම් සුදෝසුදු වතින් සැරසුණු දරුවෝ කිහිපදෙනා සපත්තු පැළද සිටියහ.

එහෙත් මේ අපූරු කුඩා පාසලට පුස්තකාල හෝ ක‍්‍රීඩා කිරීමට ස්ථානයක් හෝ වෙනත් පහසුකම් හෝ තිබුණේ නැත. මේ හුදෙකලා පාසලට එන්නේ වෙනත් පාසලකට යාමට කිසිදු හැකියාවක් නොමැති පවුල්වල දරුවන් කීප දෙනා පමණි. ඔවුහු බොහෝ විට පහ වසරින් පසු පාසල් ගමන අත්හරිති. ගම්වැසියෝ වැඩි දෙනා තම දරුවන් මුල සිටම ගමෙන් පිටත දුස්කර ජාතික පාසලට හෝ නුවර වෙනත් උසස්යැයි සමාජයේ පිළිගනු ලබන පාසල් වෙත අධ්‍යාපන සදහා යොමුකරති.

”මේ ඉස්කෝලේ හිටියොත් ළමයින්ට සමාජයක් නෑ. පහ වසරෙන් පස්සේ දුස්කරට දැම්මොත් මේ ළමයි කොන් වෙනවා. ළමයි සමාජෙට යන්න නම් පිට ඉස්කෝලෙකට යවන්න ඕනෑ. ඒ නිසා අපි මුල ඉදන්ම ළමයි පිට ඉස්කෝලවලට යැව්වා.’’ ඒ කූරගල ගමේ බොහෝ මව්වරුන් කී කතාවකි.

ගමේ වයස්ගතම පුද්ගලයා වූ රංවිල්ලියා සොයා අප ඔහුගේ නිවස වෙත ගියත් එදින ඔහු අසනීපව රෝහල්ගතව සිටි බැවින් ඒ අවස්ථාව මගහැරුණි.

”පරම්පරා හයකට විතර කලින් රංවිල්ලියාගේ නෝනාගේ තාත්තා බයිසිකලයක රිම් එකක් ආධාරයෙන් ලණු අඹරලා තියනවා. පස්සේ එයාට හිතිලා තියනවා ඒ විදියටම රෝදයක් හයිකරලා ලී කොටවලින් මේවා හදන්න පුළුවන් කියලා. මුල් කාලයේ ඇල්බීසියා කොටවලින් තමයි හදලා තියෙන්නේ. පස්සේ තමයි දිගින් දිගට ඊළග පරම්පරාවල අය මේකට පුරුදු වුණා කියලා කියන්නේ. මගේ මහත්තයාත් පුංචි කාලේ ඉදලා මේ රස්සාව ඉගෙනගෙන තියෙනවා. මම විවාහ වෙලා මේ ගමට ආවේ 1977 අවුරුද්දේ. එතන ඉදලා මමත් මේ කර්මාන්තයට හුරු වුණා. මටත් දැන් මේකේ සෑම දෙයක්ම පුළුවන්. ලොකු පුතාත් දැන් මේක කරනවා. එදාට වඩා අද මේ කර්මාන්තේ ඉස්සරහට ගිහින් තියනවා. ඒත් මේක දිගට සාර්ථකව කරගෙන යන්න නම් මේ ගැන රජයේ අවධානයවත් යොමු වෙන්න ඕනෑ’’ ඒ කූරගලට පිටස්තර ගම්මානයකින් පැමිණියත් ගම්මානයේ පාරම්පරික රැකියාවටම සම්බන්ධ වූ අනුලාවතීය.

පවුල් 85ක් පමණ වාසය කරන කූරගල ගම්මානයේ අක්කර අට කදුමුදුන දක්වා විහිදෙයි. ගම්මානයේ බෙර කර්මාන්තය ව්‍යාපාරයක් ලෙස කරන පවුල් 16ක් පමණ වන අතර අනෙකුත් සෑම පවුලකින්ම පාහේ සාමාජිකයන් එම කර්මාන්තයේ යම් යම් කොටස් සමග බද්ධව මුදල් ඉපැයීම සිදුවේ. විශාල මුදලක් යෙදවීමට ඇති නොහැකියාව නිසා ඇතැමුන්ට භාණ්ඩයක් මුල සිට අවසානය දක්වා සෑදීමට හැකියාවක් නැත. කර්මාන්තය කරන පුද්ගලයන් භාරයේ දැව කදන්, හම් වැනි අමුද්‍රව්‍ය ලක්ෂ එකහමාරක් දෙකක් පමණත් ලක්ෂ හතරක පහක පමණ නිම කළ සංගීත භාණ්ඩත් බොහෝ විට තිබිය යුතුය. බෙර නිෂ්පාදනයට ඇහැල, කොහොඹ, ගංසූරිය, වරකා ආදි ගස් වඩා උචිත වුවත් ඒවා සොයා ගැනීම ඉතා අපහසු බැවින් අද කොස්, පොල්, කිතුල් ආදි දැව බොහෝ විට බෙර කර්මාන්තයට යොදා ගනී. එහෙත් කොස් දැව සපයා ගැනීමද අභියෝගයක් බවට පත්ව තිබේ.

”ඉස්සර නැකැත් සාස්තරේට අනුව තමයි මේවා කළේ. බෙරයකට ගහක් තෝරද්දී වුණත් දිය පාරක් ළග තියන ගහක් තමයි තෝරාගත්තේ. ඒ ගහ පොඩි කාලේ ඉදලා දිය පාරේ ශබ්ද ගහට අතුළත් වෙලා තියනවා. ඒ නිසා ඒ ගහේ ශබ්ද හුගාක් හොදට තියෙනවා. ගහ කපන්නත් ආවාට ගියාට බෑ. ඒවාට උචිත වෙලාවල් තියනවා. ඒ වගේම පෝය හතරේ කපන ගස්වල ශබ්ද වෙනස් වීමක් තියනවා. ඒ කාලේ එක භාණ්ඩයක් දෙකක්නේ හදන්නේත්. අද එහෙම බැහැ. අද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විෂයන් බවට නැටුම් සංගීතය පත්වෙලා තියෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයෙනුත් අද මේවාට ඉල්ලූ‍මක් තියනවා. ඒ නිසා අද නවීන තාක්ෂණය යොදලා වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය වෙනවා.’’ පාරම්පරික බෙර නිෂ්පාදකයෙකු වූ පේ‍්‍රමරත්න සැලකළේය. එහෙත් එදා නිෂ්පාදනවලට වඩා අද නිෂ්පාදනවල ඇතැම් විට ප‍්‍රමිතියේද ගැටලූ‍ පවතින බව ඔහු කියයි.

”උඩරට ගැට බෙරය අද නොයෙක් විධියට නිෂ්පාදනය වෙනවා. එකක් නොදැනුවත්කමයි. ඒ කාලේ අපේ තාත්තා පන්ති දාලා අවුරුද්දකට දොළොස්දෙනෙකුට බැගින් මේ කර්මාන්තය ඉගැන්නුවා. ඒ අය අතරෙන් මේක හරියට ඉගෙනගත්, ඒකට ආස කරන අය කීපදෙනෙක් මේ කර්මාන්තෙට ඇබ්බැහි වුණා. මේ කර්මාන්තේ සැගවුණු කොටස් තියනවා. ඒවා පරණ අය ඉගැන්නුවේ තමන්ගේ කෙනෙකුට පමණයි. ඒ සැගවුණු කොටස් නිසා සමහර අයට ඒ කර්මාන්තය නිසියාකාරව කරගන්න බෑ. උදාහරණයකට බෙරයක පළමුවැනි අංගය තමයි කට සකස් කිරීම. ඒකෙදී යම් කිසි දෙයක් අනුගමනය කළ යුතුයි. ඒ දේ හැමෝටම කියලා දෙන්නේ නෑ, ඒක රහසක් බවට පත්වෙනවා. ඉතින් බෙරය හැදුවාට නියම ශබ්දය උපද්දගන්න බෑ. මාලිිගාවේ ආවතේව කරද්දී ගහන තම්මැට්ටමේ ශබ්දයේ අමුතු දෝංකාරයක් තියනවා. ඉස්කෝලෙක තියන භාණ්ඩවල ශබ්දයි, හේවිසියේ ඇහෙන භාණ්ඩවල ශබ්දයි අතර හුගක් ලොකු වෙනසක් තියනවා. ඉතින් ඒක අවබෝධ කරගන්න හැමෝටම බෑ. ඉස්කෝලවල ඉගෙනගන්න ළමයෙකුට හදන භාණ්ඩය වෙනස්. ඒ අය හේවිසි ගහන තත්ත්වයට පත්වෙලා නැහැනේ. හොදම ඒවාට කොස් කොටේක වුණත් අරටුවෙන්ම තමයි ගන්නේ. නියම ප‍්‍රමිතියට තමයි හැමදේම ගන්නේ. පාසලකට හදන භාණ්ඩයක් නම් එහෙම අරටුවෙන්ම ගන්න ඕනෑ වෙන්නේ නෑ. ඒ දේවල්වලින් තමයි වෙනස්කම් ඇතිවෙන්නේ.’’

බෙර සදහා කපා සකස් කරන ලද කොට රාශියකට මැදිව යන්ත‍්‍රයකින් ඒ එක් එක් කොටය බෙරයක හැඩයට සකසමින් සිටි පුද්ගලයෙකි. යන්ත‍්‍රයේ වේගයෙන් කැරකෙන කොටයට ඔහු ඉතා හුරුපුරුදු ලෙස බෙරයක හැඩය ගෙනදුන්නේය. බෙර සදහා යොදාගැනෙන ගස් කොට ලියවා සකස් කිරීම ද අතීතයේ පහසු කටයුත්තක් නොවූ බව ඊට නුදුරේම වූ කරත්ත රෝදයෙන් අතීතයේ ක‍්‍රියාකරවන ලද ලියවන පට්ටලය සාක්ෂි සැපයුවේය. විද්‍යුත් ලියවන පට්ටලය අද මේ කටයුත්ත යම් තරමකට පහසු කර තිබුණි.

”අවුරුදු විසිපහක ඉදන් මම මේ රස්සාව කරනවා. අම්මාගේ පරම්පරාවේ අය කළේ මේ රස්සාව. මට සම්පූර්ණයෙන්ම භාණ්ඩයක වැඩක් ඉවර කරන්න පුළුවන්කම තියනවා. සමහර අයට කොට ලියවන්න බැරි නම් මම ඒවාත් කරලා දෙනවා. අපේ වැඩත් අනිත් අයත් කරලා දෙනවා. එහෙම එකතුවෙලා වැඩ කරනවා. අයියාගේ පුතාගේ තමයි මේ වැඩපොළ. අපි කවුරුත් එකතුවෙලා වැඩ කරනවා. ගමටම දැන් ලියවන පට්ටල පහක් විතර තියනවා.’’ ලියවන පට්ටලයේ වැඩ මඳකට නතර කළ කේ. වීරරත්න අප සමග කතාබහට වූයේ එලෙසිනි.

”මේ රස්සාවෙන් ළමයින්ට උගන්නලා ඒ කටයුතු ටික කරගන්න පුළුවන් විදියේ ආදායමක් තියනවා. මේක ටිකක් වැඩිපුර මහන්සියෙන් කරන්න ඕනෑ රස්සාවක්. ඒ නිසා වර්තමාන පරම්පරාවේ ළමයි මේකෙන් අයින් වෙනවා. මම නම් හිතන්නේ අපෙන් පස්සේ මේකේ ඊළග පරම්පරාවක් නැති වෙයි. අපි නම් කැමතියි ළමයිත් මේක කරනවාට. මොකද මේක කිසි කෙනෙකුට කරදරයක් නැති රස්සාවක් නේ. කාටවත් බරක් නෑ. උනන්දුව උත්සාහය තියනවා නම්, ඉල්ලූ‍මත් තියනවා නම් මේක හොදට කරන්න පුළුවන්. හැබැයි අතරමැදියෝ හරහා යන නිසා අපේ මහන්සියට ලැබෙන්නේ සුළු මුදලක්. ඒකෙන් වෙන්නේ භාණ්ඩයේ කොලිටිය අඩු වෙන එකයි. ඒ නිසා ඒ අය ඉල්ලන ගණනට දෙන්න ගියාම අපේ කොලිටිය බහිනවා. කූරගලේ සංගීත භාණ්ඩයක් කිව්වාම ලොකු විශ්වාසයක්, පිළිගැනීමක් තියනවා. අතරමැදියෝ අඩු මිලට ගෙනිහින් ඒ අයගේ ලේබල් ගහලා විකුණාගත්තාට අපිට අදාළ නෑ. අපිම යම් තැනකට බඩුවක් දෙනවා නම් ඒක නියමිත හොදම තත්ත්වයෙන් දෙනවා. සමහර කලාකරුවන් මෙහේ ඇවිත් ඒ අයට අවශ්‍ය විධියට භාණ්ඩ හදවා ගන්නවා. මේ කර්මාන්තය රදාපවතින්නේ කලාකරුවා ඉන්නවා නම් නේ. ඒ නිසා අපි කලාශිල්පීන් අතට දෙන භාණ්ඩ හො`දම තත්ත්වයෙන් දෙනවා.’’

කේ. විමලසිරි ද වසර විසි ගණනක සිටම බෙර නිෂ්පාදනයේ යෙදුණෙකි. පරම්පරාවෙන් ගෙන ආ මේ රැකියාව අද වන විට තම දරුවන්ට නම් කලකිරීමට හේතුවක් වී ඇති බව ඔහු පැවසුවේ කනගාටුව රැදි වදනිනි.

”අපි ආමි බෑන්ඞ්වලටත් භාණ්ඩ හදනවා. ඒ ඕඩර්ස් එන්නේ වෙන තැන්වලට. ඒවා ඒ අය අපට හදන්න භාර දෙනවා. ඉස්කෝලවලටත් එහෙම වෙන අය හරහා අපිට හදන්න එනවා. අද වෙනකම් අපිට කෙලින්ම භාණ්ඩ හදන්න ඒවායෙන් ඕඩර්ස් එන්නේ නෑ. සමහර වෙලාවට අතරමැදියන් නිසා අපේ මහන්සියට මුදලක් ලැබෙන්නේ නෑ. අපි හරහාම ගන්නවා නම් අපිට වගකීමක් ඇතුව ඊට ප‍්‍රමිතියකට දෙන්න පුළුවන්කම තියනවා. දැන් අපිට ලැබෙන අඩු මුදලට අනුව හදලා දෙන්න වෙනවා.’’

අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ සංගීත භාණ්ඩ සදහා වන ටෙන්ඩර්වලට ඉල්ලූ‍ම් කළත් ඒවා තමන්ට නොලැබෙන බවත් එහෙත් තමන්ගේම නිෂ්පාදන රැගෙන ගොස් පෙන්වන අතරමැදියන්ට නොයෙකුත් සම්බන්ධතා මත එම ටෙන්ඩර් ලැබෙන බවත් ඒවා නැවත අතරමැදියන් තමන් ලවා අඩු මිලට ලබාගන්නා බවත් කූරගල සංගීත භාණ්ඩ නිෂ්පාදකයෝ අද මැසිවිලි නගති. ”කූරගල සංගීත භාණ්ඩවලට ලෝකෙම ප‍්‍රසිද්ධ වුණත් අපේම රටේ රාජ්‍ය ආයතනවලට කෙලින්ම බඩු දෙන්න තාමත් අපිට බෑ.’’

කොටන් රැහීම (පොතු ගැසීම), ලියවීම, හෑරීම, වර පටි කැපීම, තීන්ත ගෑම ආදි ලෙස ගණනාවක් වන මෙම කර්මාන්තයේ විවිධ පියවරයන්හි නිරත වන ගැහැනුුන්, පිරිමින් ගම්මානයේ තැන තැන දක්නට ලැබෙන සුලබ දසුනකි. බෙරයක ඇතුළත හෑරීම ඉතා වෙහෙසකර කටයුත්තක් වුවත් බොහෝ කාන්තාවන් ද මෙම කටයුත්තේ යෙදෙනු දක්නට ලැබේ. එක් බෙරයක් හෑරීමෙන් රුපියල් 250ක් පමණ හිමි වුවත් දිනකට බොහෝ විට එක් අයෙකුට හෑරිය හැක්කේ බෙර දෙකක් පමණකි.

වරින්වර ති‍්‍රරෝද රථවලින් මලූවල බහා අලූ‍ත් හරක් හම් ගමට එයි. ප‍්‍රදේශය අවට මස්කඩවලින් කූරගල බෙර කර්මාන්තයට මේ හම් සැපයීම සිදුවේ. ගමේ තැන තැන හොදින් ඇද බිමට කණු ගසා රදවන ලද හම් අව් රශ්මියේ වේලේ. හරක් හමටත්, එහි ප‍්‍රවාහන වියදමටත් රුපියල් 800ක් පමණත් ඒවා කණු ගසන පුද්ගලයාට රුපියල් 500ක්, ඊළග දිනයේ නැවත කණු ගැසීමට රුපියල් 250ක් ලෙසත් බෙර නිෂ්පාදකයාට වැය කිරීමට සිදුවන බව කියයි. බෙර ස`දහා යොදා ගැනෙන එළු හම් වෙනත් ක‍්‍රමයට බෙහෙත් ගල්වා වේලා ගැනීම සිදුවේ.

”වැහි කාලෙට හම් වේලාගන්න බැරි නිසා වැඩක් ආවත් භාරගන්න විධියක් නෑ. අනික් කාලෙට වැඩිපුර හම් අරගෙන වේලාගන්නත් වැඩිපුර මුදල් නෑ. ඒ අපහසුකම් මැද්දේත් දැන් අපේ කාලසීමාව ඉවර නිසා වෙනත් දෙයක් පටන් ගන්නත් බෑ. ඒ නිසා මේ අල්ලගත්ත දේම පුළුවන් විදියට කරගෙන යනවා. වයස අවුරුදු දහයේ ඉදලා පටන් ගත්ත රස්සාව මේක. තම්මැට්ටම්, දවුල්, ගැටබෙර, පහතරට බෙර, උඩැක්කි, ඩොල්කි, තබ්ලා සියලූ‍ දේම මට හදන්න පුළුවන්කම තියනවා.’’ විමලසිරි කියාගෙන ගියේය.

ඈතින් පෙනෙන කදුයායේ කොනක සිට තෙලඹුගල විහාරය එදා ලෙසින් තවමත් කූරගල ගම්මානය දෙස බලාසිටී. එදා ගම්මානය පිටස්තර සමාජයෙන් හුදෙකලා ලෙස පැවතුණ බව පැවසුණ ද අද වන විට එම තත්ත්වය කෙමෙන් වියැකෙමින් පවතී. ඒ සමගම පාරම්පරික කර්මාන්තය ද මීළග පරම්පරාවෙන් ගිලිහෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.