ෆෝක්ස්වැගන් සමග ජීවිතය බෙදාගැනීම

 විෂාන් රණවීර

ජාතිවාදයෙන් හිස උදුම්මාගත් ඒකාධිපති පාලකයෙකුගේ හිසක පහළ වූ සංකල්පයක් මත, ෆර්ඩිනන්ඞ් පෝෂේ නම් මෝටර් රථ ලෝකය උඩු යටිකුරු කළ මිනිසෙකුගේ බුද්ධියෙන් බිහිවුණු ඉබි හැඩයකින් යුත් මෝටර් රථයක් අදටත් සජීවීව පාරවල ගමන් කරන්නේ මෝටර් රථවලටත් හුස්ම ගතහැකි බව කියාපාමින්.

ජර්මානු භාෂාවෙන් වොක්ස් වැගන්. ඉංග‍්‍රීසියෙන් ෆෝක්ස් වැගන්. නැත්නම් ජනතාවගේ වාහනය. ජර්මන් භාෂාවෙන් ලියන නිසා වී අකුරෙන් පටන්ගන්න, අපි හඬනඟද්දී ඉංග‍්‍රීසියෙන් ෆෝක්ස්වැගන් කියා හඳුන්වන අපූරු මෝටර් රථය. ඇඩොල්ෆ් හිට්ලර්ගේ හිසේ නැඟී ඇති සංකල්පය වී ඇත්තේ ජර්මනියේ අලූතෙන් තැනුණු මාර්ග පද්ධතියට ගැළපෙන, සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන මෝටර් රියක් තැනීමයි. ඊට අමතරව යුද කටයුතුවලට වාහනය යොදාගැනීමේ අවශ්‍යතාවත් තිබුණා. කාන්තාර සහ වතුර අඩු ප‍්‍රදේශවල යුද කටයුතු සඳහා වාහනය ගමන් කළයුතු වුණා. යුද්ධය නිසා අධික වේගයෙන් ගමන් කළ හැකිවිය යුතු වුණා. එමෙන්ම කාන්තාරවල ගමන් කිරීම නිසා රේඩියේටරය සහ වතුර පාවිච්චිය නැති වාහනයක් විය යුතුවුණා.

පෝෂේ ගැනත් විස්තර කොට කතාව ඉදිරියට යා යුතුයි. ඔහු තමයි ප‍්‍රසිද්ධ පෝෂේ කාර් සමාගම ආරම්භ කළේත්. ෆෝක්ස්වැගන් මොඩලය වගේම මර්සීඞීස් බෙන්ස් රිය මුලින් ඩිසයින් කළේත් ඔහු විසින්මයි. ජර්මානු ජාතික පෝෂේ සොඳුරු මිනිසෙක්දැයි අප නොදන්නාමුත් ඔහු ඇඩොල්ෆ් හිට්ලර් නම් ගුප්ත, අඳුරු මිනිසාට සමීපවීමේ ප‍්‍රතිඵලයක් තමයි ෆෝක්ස්වැගන් බීට්ල් මෝටර් රථය. පසුකාලයක පෝෂේ නාසි ඝාතන ගැන කලකිරීම නිසා හිට්ලර්ගෙන් ඈත්වුණ බව කියනවා.

ෆෝක්ස්වැගන් කියා අප මූලිකවම හඳුන්වන්නේ ෆෝක්ස්වැගන් බීට්ල් මෝටර් රථ මොඩලය. ලොව එකම කාර් මොඩලයක් අඩුම වෙනස්කම්වලට ලක් නොවී, වැඩිම ප‍්‍රමාණයක් විකිණීමේ කිසිදා නොබිඳෙන වාර්තාවට හිමිකම් කියන මෝටර් රථය. මෙය නිවැරදිවම තේරුම් ගන්න නම් ලොව වැඩිම විකිණුණු ටොයොටා කොරොල්ලා වැනි මොඩලයක මුල්ම යුගයේ කාරයක් සහ දැන් කාරයක් අතර වෙනසත් දිහා බලන්න ඕනෑ. ෆෝක්ස්වැගන් මුල්ම කාරයේ සහ 2003 අන්තිමට නිපදවූ කාරයෙත් වෙනසක් නැති තරම් කියා දැනේවි.

මේ හැඳින්වීම්, අටුවා ටීකා අන්තර්ජාලයෙන් වගේම කාර් පිස්සුව බ්ලොග් අඩවිය කරන ෆෝක්ස්වැගන් පිස්සෙක් වන තරිඳු ශ‍්‍රී ලොකුගමගේගේ සටහන්වලින්ද උපුටාගත් ඒවා.

තවත් ෆෝක්ස්වැගන් ලෝලියෙක් වන විෂාන් රණවීරගේ නිට්ටඹුවේ වැඩපොළට යන විට මා මේ ඉබ්බා කාර් ගැන දැනසිටි කිසිවක් නෑ. ෆෝක්ස්වැගන් අතර ඇවිද, අතීතය ගැනත් කියවා, ෆෝක්ස් වැගන් රථයක පුංචි දුරක් ගමන් කිරීමෙනුත් පසුවයි ෆෝක්ස්වැගන් උමතුවෙන් පිරි ලෝක සමාජයේ මමත් කොටසක් බවට පත්වුණේ.

ෆෝක්ස්වැගන් උමතුව

අප මේ කතා කරන මොහොත වෙද්දී ලංකාවේ ෆෝක්ස්වැගන් උමතුව උපරිම අදියරකට ඇවිත්. තරුණ පරම්පරාව බොහෝවිට ෆෝක්ස්වැගන් හොයනවා.
ලංකාවේ ෆෝක්ස්වැගන් රසිකයන් වර්ග දෙකක් ඉන්නවා. එක් පිරිසක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. ඔවුන් අතීතයේ ලංකාවේ ජනප‍්‍රියම වාහනය වූ ෆෝක්ස්වැගන් රියක වටිනාකම හොඳින් දන්නවා. ඔවුන් විශ‍්‍රාමික වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් වෙන්න පුළුවන්. බොහෝවිට තමන් සතුව වසර ගාණක් තිස්සේ තිබුණු ෆෝක්ස්වැගන් රිය නිති අලූත්වැඩියා කරමින් අදටත් ආදරයෙන් පාවිච්චි කරනවා.

අනෙක් පිරිස තරුණයන්. මෝටර් රථවලට ආදරය කරන්නන්. එදිනෙදා භාෂාවෙන් කීවොත් ක්ලැසික් කාර් පිස්සන්. මෑත කාලයේ වේගයෙන් ක්ලැසික් මෝටර් රථවලට ඉල්ලූම වැඩිවෙනවා. මිනිකූපර්, මොරිස් මයිනර්, පැරණි ලාන්සර්, බෙන්ස් ඇතුළු විවිධාකාරයේ ක්ලැසික් මෝටර් රථවලට එහා ගොස් බොහෝ දෙනෙකුගේ පළමුවැනි තෝරාගැනීම වී ඇත්තේ ෆෝක්ස්වැගන් රිය.
බොහෝවිට මේ තරුණයන් අතට පත්වෙන්නේ පැරණි වෘත්තිකයන් සතුව තිබුණු බීට්ල් රථම තමයි.

නිට්ටඹුව

බොහෝ දෙනෙක් මීට කලිනුත් අසා ඇතිවා විය හැකි වැල්වටාරම්වලින් මිදී කතාව නිට්ටඹුවට ගෙන ආ යුතුයි. නිට්ටඹුවේ තිලකවර්ධන ඇඳුම් සාප්පුව අසලට. එතැන් සිට පාරෙන් අනෙක් පැත්ත බලන කෙනෙකුට පැහැදිලිව හඳුනාගත හැකි තැන. ෆෝක්ස්වැගන් අලූත්වැඩියා කරන විෂාන් රණවීරගේ වැඩපොළ.

ඉබ්බන් රංචුවක් මෙන්, නැත්නම් ගෙම්බන් රංචුවක් මෙන් ෆෝක්ස්වැගන් බීට්ල්ලා විෂාන්ගේ වත්ත පුරා හිටියා. තැනින් තැන. විවිධ දිශාවන්ට නෙත් යොමාගෙන. අපි ඒවා දෙස ආදරයෙන් බලමින් විෂාන් සිටි තැනට ළංවුණා. ඔහු හිටියේ යාපනයෙන් ආ කළුපැහැ බීට්ල් කෙනෙක්ට ළංවී, සැපදුක් විමසමින්.

විෂාන් රණවීර ලංකාවේ ඉන්න ප‍්‍රසිද්ධතම ෆෝක්ස්වැගන් අලූත්වැඩියා කරන්නෙක්. මුලින් පරණ ෆෝක්ස්වැගන් මිලට ගෙන, අලූත්වැඩියා කොට අලෙවි කිරීම කළ ඔහු දැන් ටිකක් ෆෝක්ස්වැගන් අලූත්වැඩියාවට හිරවෙලා. ඔහු තමන්ට ෆෝක්ස්වැගන් උමතුව හැදුණු හැට මුලින්ම විස්තර කළා.

‘මුලින්ම මට මේවා ගැන ආසාවක් තිබුණේ නෑ. හැබැයි අම්මාගේ ආසාවට අනූදාහකට ෆෝක්ස්වැගන් බීට්ල් කාර් එකක් ගත්තා. ඒ 2001 දී. ගෙනල්ලා එක දවසක් පැද්දා. පහුවදා හදන්න දාන්න වුණා. ඉන්පස්සේ මාසයක් විතර හැදුවා. මේ හදන වැඬේදී තමයි මම ෆෝක්ස්වැගන් ගැන ඉගෙනගත්තේ.’

ලංකාවට ෆෝක්ස්වැගන් ගෙන්වපු ප‍්‍රමුඛයා තමයි කාර්මාට් කියන්නේ. ෆෝක්ස්වැගන් අලූත්වැඩියාවේ ප‍්‍රවීණයෝ හිටියේත් කාර්මාට් ආයතනය සමඟම තමයි.
”මේක හැදුවෙ කාර්මාට් එකේ හිටපු බාසුන්නැහේ කෙනෙක්. ඒ මහත්තයාගෙන් තමයි ඔක්කෝම ඉගෙනගත්තේ. මම මගේ කාර් එක හදන්න එයාට අත්උදව් දෙන්න ගියා. ඉන්පස්සේ මේ කාර් එක හදන හැටි ඉගෙනගත්තා.” විෂාන් කාර් එකට අත ගහන්න පටන්ගත්තේ ඒ විදියට.

”ඒ වෙනකන් ෆෝක්ස්වැගන් බීට්ල් හදනවා කියලා ලොකුවට හිතලා නෑ. හැබැයි මම ඉස්කෝලේ යන කාලෙ ඉඳන්ම හිතුවා වෙන තැනක ජොබ් කරන්නෑ, මගේම වැඩක් කරනවා කියලා. මගේ පළමුවැනි කාර් එකට කෑලි ගන්න ආයෙමත් ෆෝක්ස්වැගන් බීට්ල් එකක් ගෙනාවා. හැබැයි බාසුන්නැහේ කිව්වා කෑලි ගත්තාට කමක් නෑ, මේක අහක දාන්න එපා කියලා. ඒකත් හදලා අඩු මුදලකට වික්කා. ඒක තමයි මම මුලින්ම වික්ක කාර් එක.” ඒ විදියට පටන්ගත්ත වැඬේ විෂාන් බීට්ල් තමන්ගේ වෘත්තිය බවට පත් කරගත්තේ තමන්ගේ පළමුවැනි බීට්ල් එකේ ගමන් බිමන් යෑමේ රහ කාලයක් වින්දාට පසුවයි. තව වසර කිහිපයකට පස්සේයි.

”මුලින්ම මම කළේ ෆෝක්ස්වැගන් අරගෙන මම හදලා මමම විකුණන එක. මම හැදුවේ මමම වික්ක කාර් එකක් කැඩුණොත් විතරයි. හැබැයි මම කාර් හදනවා කියලා දැනගත්තාට පස්සේ කට්ටිය කාර් හදන්න බාරදෙන්නත් එන්න ගත්තා. එයාලා කිව්වෙ ඔයාගේ වැඩ කරලා විවේකයක් තියෙනවා නම් මේකත් හදන්න කියලා. හැබැයි දැන් මට මෙතැන ප‍්‍රධාන වැඬේ වෙලා තියෙන්නේ ඒක. මට දැන් ලබන අවුරුද්දේ සැප්තැම්බර් විතර වෙනකන් කරන්න වැඩ ලැබිලා තියෙනවා. මොකද ඒ තරම් කාර් ගෙනල්ලා මෙතැන දාලා තියෙනවා.” මේ වෙද්දී විෂාන් ලංකාවෙ විශ්වාසදායකම බීට්ල් කාර්මිකයෙක්. විශ්වාසය මේ ක්ලැසික් කාර් එක්ක වැඩ කරද්දී අත්‍යවශ්‍යම කාරණයක්.

අප සමඟ මේ කතාබහ යන අතරේ විෂාන්ගේ ඇස් වැඩි වශයෙන් තිබුණේ බීට්ල් රථ කිහිපය දිහාවටයි. යාපනයේ සිට පැමිණි එක් බීට්ල් කෙනෙකු වර්ණ ගැන්වීමේ අපේක්ෂාවෙන් හිටියා. තවත් බීට්ල් කෙනෙක් සුදු පැහැය සමඟ පැමිණ දුඹුරු වර්ණය ලබාගෙන හිටියා. එය වෛද්‍යවරයෙකු සතු රථයක්. සම්පූර්ණ අලූත්වැඩියාවක් කරමින් තිබුණු අය අවසානයේදී නවීනම රථයක ප‍්‍රමිතියට ගතහැකි බව විෂාන් කීවා. තවත් සුදුපැහැ රථයක්ද බාහිර පෙනුම වෙනස් කරගැනීමේ බලාපොරොත්තුවෙන් හිටියා. කන්ටේනර් පෙට්ටියක සිටි එක් රියක් කොටස් ගොඩකට වෙන්ව සිටියා. එය හෙටාඅනිද්දා අලූත්ම රියක් මෙන් පාරට එක්වෙනු ඇති. ඒවා දෙස වරින්වර යොමුවන විෂාන්ගේ ඇස් පුංචි දරුවන් දෙස බැලූම් හෙළන පියෙකුගේ ඇස් වැනියි. විෂාන් අසූව දශකයේ උපත ලද්දෙක්. තරුණයෙක් වන ඔහුට මේ මහලූ මෝටර් රථයට ආදරය කරන්න හැකිවීමත් හරිම අපූරුයි.

ක්ලැසික් බීට්ල් වර්ග කිහිපයක් තියෙනවා. ෆෝක්ස්වැගන් බීට්ල් ටයිප් 1, ෆෝක්ස්වැගන් 1200, 1300, 1500, 1302, 1303 ඒ වර්ග කිහිපයයි.
”මෙතැනින් 1303 කාර් වර්ගය තමයි දුර්ලභ. ඒක තමයි මිල වැඩි.” විෂාන් විස්තර කරනවා.
ඇතැම් වර්ගවල මිල ලක්ෂ 15 දක්වා යෑමේ ඉඩක් තියෙනවා. අලූත්ම වර්ණ ගැන්වීමකින්, අංගෝපාංග අලූතෙන්ම සවි කිරීමකින් පස්සේ මෝටර් රියට ඒ වටිනාකම ලැබෙනවා. එහෙත් අවැසි නම් හොඳ ධාවන තත්ත්වයේ බීට්ල් රියක් ලක්ෂ හයක වගේ මිලකට ලබාගන්න පුළුවන් බවයි විෂාන් පැහැදිලි කළේ.

සරනේලිස්

විෂාන්ට ෆෝක්ස්වැගන් ජීවිතය එන්නත් කළේ සරනේලිස් බාසුන්නැහේ. විෂාන් ප‍්‍රථමයෙන් කීව කාර්මාට් ආයතනයේ සිටි බාසුන්නැහේ. එතුමා ගැන විෂාන් විශේෂයෙන් සිහිපත් කළා.
”සරනේලින් බාසුන්නැහේ වැඩ අත්හැරලා තිබුණේ. බොහොම පොඩි වැඩ ප‍්‍රමාණයක් කළේ. බාසුන්නැහේ දුර ගියේ නැහැ. හැබැයි මම ගියාට පස්සෙ එයා ටිකක් වැඩ කළා. එයාගේ ඇහේ සුද තිබුණා. අපි එයා එක්ක නුවර ගිහින් ඇහැ ඔපරේෂන් කළා. එයා එක්ක වෙන කාර් හදන්නත් මම ගියා. පස්සේ මම මගේ කාර් එක තනියම හදාගත්තත් බාසුන්නැහේට සල්ලි ගිහින් දුන්නා. මොකද මම කාර් එක හදන්න ඉගෙනගත්තේ එයාගෙන් නිසා. සරනේලිස් බාසුන්නැහේ නැතිවුණා.’’
සර්නේලිස් බාසුන්නැහේ මියගියාට පසුවත් වරක් විෂාන්ව මුණගැසුණු බව ඔහු කියනවා.

”තවත් දවසක් මගේ ළඟ තිබුණු කාර් එකක ස්ලෝ හිටින්නෙ නැති ප‍්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ ඇක්සලේටරේ අත්හැරියාම වාහනේ නතර වෙනවා. මේක හදන විදිය මම හවස්වරුවෙම කල්පනා කළා. උත්තරයක් නැතිවම නින්දට ගියා.
සරනේලිස් බාසුන්නැහේ ? හීනෙන් පෙනුණා. මාවත් එක්කගෙන කාර් එක ළඟට ගියා. වටේ රවුමක් ගිහින් ”ජාති කාර් එක මහත්තයෝ” කියලා කිව්වා. මම ඊට පස්සේ අවුල කිව්වා. එයා කිව්වා පොඩි තැනක රබර් එක සවුත්තුවෙලා ඇති, බලන්න කියලා. මම පහුවදා උදෙන්ම ගිහින් බැලූවා. ඒ අවුල ඒ විදියටම තියෙනවා.” විෂාන් කී මේ කතාව අභව්‍යයැයි මතුපිටින් පෙනුණත් ඒ පසුපස මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම හරිම සරලයි.

”මම විශ්වාස කරන්නේ නෑ ඕවා. ආයෙ කවදාවත් බාසුන්නැහේ මට පෙනිලාත් නැහැ.” මේ සිදුවීම ගැන විෂාන්ට තියෙන්නේ එහෙම අදහසක්. එහෙත් ඔහු මෙන්ම සර්නේලිස් බාසුන්නැහේද යම් ආත්මීය හුයකින් මේ පණ තියෙන මෝටර් රථ එක්ක බැඳී ඉන්නවා.

තත්ත්වය

ෆෝක්ස්වැගන් මෝටර් රථ ලංකාවට එන්න පටන්ගත්තේ 1947දීයි. ෆෝක්ස්වැගන් බීට්ල් පැරණි මොඩලය 2003 දක්වා නිර්මාණය වුණා. එසේවුවත් මුල් මොඩලයෙන් ලොකු වෙනස්කම් නැහැ. 1937 දී පෝෂේට තිබුණු තාක්ෂණයෙන් වෙනස්ව ඇත්තේ බොහොම සුළු වශයෙන්. ඉතින් මේ සරල මෝටර් රිය අදට ගැළපෙනවාද. අද වේගය, අද අවශ්‍යතාවන් මෙයින් සපුරාගන්න පුළුවන්ද කියන ප‍්‍රශ්නය විෂාන්ගෙන් අපි ඇහුවා.

ෆෝක්ස්වැගනයට පැයට කිලෝමීටර් 120 ඉක්මවීම ඉතාම පහසු දෙයක්. තරිඳු ශ‍්‍රී ලොකුගමගේ මෑත දිනයක කාර් පිස්සුව බ්ලොග් අඩවියේත් ලියා තිබුණේ අධිවේගී මාර්ගයේ ක‍්‍රමයෙන් වේගය වැඩි කරද්දී දැනෙන හැඟීම, පැදවීමේ පහසුව අලූත් මෝටර් රථයකින් කිසිසේත්ම ලබන්න බෑ.

කඩුගන්නාව කන්ද තරණය කරද්දී, ෆෝක්ස්වැගන් එකක යෑම අපූරු අත්දැකීමක් බව කියනවා. අනෙක් වාහනවල ඇන්ජිම් රත්වී කඩුගන්නාවේදී බොයිල් කරද්දී ඒවාට නළාව නාද කරගෙන ඒවා පසුකර යෑම ෆෝක්ස්වැගන් රසිකයෙකුට අපූරුම අත්දැකීමක්. දුර්ග කඳුවල ෆෝක්ස්වැගන් පදින්න ෆෝක්ස්වැගන් රසිකයන් අදත් කැමති ඒ නිසායි.

”ෆෝක්ස්වැගන් බීට්ල් කියන්නේ වැදගත්කම. ධනවතුන් පවා මේක පාවිච්චි කරන්නේ අලූතෙන් ආ මොන කාර් එකකින්වත් ගන්නට බැරි ගෞරවයක් හොඳ තත්ත්වයේ ෆෝක්ස්වැගන් එකකින් ගන්න පුළුවන් හින්දා.”
රේඩියේටරයක් නැති, එන්ජිම පසුපස ඇති, පසුපස සස්පෙන්ෂන් සහ පසුපස රෝද හැරවීම, සරල නිමාව, ආදරණීය හැඩය, කල් පවතින අපූරු මෝටර් රථය සමඟ ආදරයෙන් බැඳෙන්නට බැරි කාටදැයි අපටත් හිතෙනවා. මෝටර් රථයේ ගමන්කිරීමේ අත්දැකීම ගැන අපි කතා කළ හින්දා විෂාන් අපත් රැුගෙන නිට්ටඹුව නගරය වටා ෆෝක්ස්වැගන් රියෙන් රවුමක් ගියා. මේ සුවපහසුව ලබාදෙන්න නවීන මෝටර් රථවලටත් අසීරු බව පැහැදිලියි.

විෂාන්ගෙන් වෙන්ව නැවත එන්නට අපි බස්රියට නැඟුණා. ඒ කෙසේ හෝ බීට්ල් රියක හිමිකරුවෙකු වීමේ අසීමිත බලාපොරොත්තුව එක්කයි. බීට්ල් රියට තියෙන මායාකාරී හැකියාව එයයි. අපි පුංචි වුවමනාවකට බීට්ල් එක්ක පුංචි ගනුදෙනුවක් කළ පසුව බීට්ල් විසින් අපව අල්ලා බැඳ තබාගත්තා. විෂාන්ටත් සිදුවී තිබුණේ එයමයි. මේ මායාකාරී හැකියාව නිසා මේ ලෝකය පවතින තෙක් බීට්ල්ද පවතීවියැයි සිතන්න පුළුවන්.

බාලා තම්පෝ

විෂාන්ගෙන් වෙන්ව එන අතරේ අපට කම්කරු නායක බාලා තම්පෝ සහෝදරයා පාවිච්චි කළ ෆෝක්ස්වැගන් රිය සිහිවෙනවා. බාලා තම්පෝ සහෝදරයා සිය අවසන් කාලයේදී පවා තම ෆෝක්ස්වැගන් රිය පදවාගෙන ගිය බව කියැවෙනවා. දැන් කොල්ලූපිටියේ සීඑම්යූ කාර්යාලයේ වේගයෙන් දිරාපත්වෙමින් ඉන්නේ කම්කරු සටන් ඉතිහාසයේ වැදගත් තැන් රැුසකදී දකින්නට ලැබුණු ඒ ආදරණීය මෝටර් රිය. කොල්ලූපිටියේ මුහුදු හුළඟට එය දිරාපත්වෙන වේගය තවත් වැඩිවෙනවා. ඒ ෆෝක්ස්වැගන් බීට්ල් රියත් විෂාන් වැන්නෙකු මුණගැසී ලෙඩ රෝග සුව කරගෙන මහපාරට බහින්නට පුල පුලා බලා සිටිනවා ඇති. අර ගෞරවනීය අතින් තවත් අතකට මාරු වෙන්නට මඟබලා සිටිනවා ඇති.

ආදරය

ෆෝක්ස්වැගන් නාමය ආදරණීය වුණේ බීට්ල් මෝටර් රිය නිසායි. ටොයෝටා සමාගම පසුකළ 2016 ඉඳන් ලෝකයේ ලොකුම මෝටර් රථ නිෂ්පාදකයා ෆෝක්ස්වැගන් සමාගමයි. බීට්ල් දැන් නැහැ. ෆෝක්ස්වැගන්ලා දැන් අවුඩි, ලැම්බෝගිනි, පෝෂේ, බගාති, ඩුකාටි, බෙන්ට්ලි වැනි මෝටර් රථ වෙළෙඳ නාම රැුසක හිමිකරුවා. ගොල්ෆ්, නිව් බීට්ල්, ජෙටා වැනි විවිධ නව මොඩලයන් ෆෝක්ස්වැගන් වෙළෙඳ නාමය යටතේ නිපදවනවා. ඒත් ඔවුන්ට තවම බීට්ල් තරම් ආදරණීය රියක් බිහිකරගන්න හැකිවී නැතිව ඇති. මෝටර් රියක් කියන්නේ නිවසක එදිනෙදා කටයුතු පහසුකරන උපකරණයක් නෙවෙයි, එය ජීවිතය බෙදාගන්නට සමත් සහකාරයෙක් විය යුතුයි. මිත‍්‍රයෙක් විය යුතුයි. කලාකෘතියක් විය යුතුයි. ඒ බවට සාක්ෂි දරන්නට ෆෝක්ස්වැගන් තරම් සුදුස්සෙක් කොහෙත්ම නැති බව පැහැදිලියි.