රට නිශ්චිත මූල්‍ය ස්ථාවරයකට ඇවිත් තිබෙන බව පෙනෙනවා.

 

මහාචාර්ය  ඕ.ජී. දයාරත්න

පීඨාධිපති, ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ආණ්ඩුව නිශ්චිත ආර්ථික දර්ශනයක් දිහාවට ගමන් කරමින් ඉන්න බව පහුගිය අයවැය සහ ආණ්ඩුවේ සෙසු ආර්ථික වැඩපිළිවෙළ දිහා බලද්දී පෙනෙනවාද?

අයවැයකින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ඒ වෙලාවේ පවතින ප‍්‍රශ්නවලට ආණ්ඩුවට කරන්න පුළුවන් හරිය කිරීම. නමුත් රටක විශාල පෞද්ගලික අංශයක් තියෙනවා. කෘෂිකර්මය සහ කර්මාන්ත තියෙනවා. ඒ වගේම පවුල් ආර්ථික කටයුතු තියෙනවා. මේ දේවලින් බොහෝමයක් ක‍්‍රියාත්මක වෙන්නේ රජයෙන් තරමක් පරිබාහිරව වෙනත් පදනම්වලින්. ඒ අනුව අයවැයකින් සමස්ත ආර්ථිකය සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේවල යම් කිසි සීමාවකුත් තියෙනවා.

ඔබ ඇහුවා වගේ රටේ දිගුකාලීන ආර්ථික දර්ශනය වෙනුවෙන් අයවැයක් තුළින් යම් යම් නිශ්චිත පියවර තබන්නත් පුළුවන්. මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී ඒ අයට තිබුණු විශාල ම ගැටලූ දෙක තමයි  රට විශාල විදේශ ණය ප‍්‍රමාණයකින් හිරවෙලා තිබීම. දෙවෙනි කාරණය තමයි, ලංකාව ඒ වන විට ලෝකය හමුවේ දිනාගෙන සිටි ප‍්‍රතිරූපය එච්චර යහපත් නොවීම නිසා අපිට විදේශ ආධාර දෙන එක නැවතිලා තිබුණු එක. කොහොම වුණත් ආණ්ඩුවේ තුන්වන අවුරුද්ද වන විට රට නිශ්චිත මූල්‍ය ස්ථාවරයකට ඇවිත් තිබෙන බව පෙනෙනවා. ඒ වගේම අද විදේශ විනිමය තුළත් කිසියම් ස්ථාවරභාවයක් ගොඩනැගිලා තියෙනවා.

ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් දකින්නට තියෙන තීරණාත්මක ගැටලූ මොනවාද?

ලංකාවේ තියෙන ප‍්‍රධානම ගැටලූව තමයි දිළිඳුකම. දෙවෙනි ගැටලූව විරැකියාව. මිනිස්සුන්ගේ දුප්පත්කම නැතිකරන්න නම් රටේ අලූත් ව්‍යාපාර වැඩිදියුණු වෙන්න  ඕනෑ. කර්මාන්ත ඇතිවෙන්න  ඕනෑ. ඒ මගින් තමයි රටේ ආර්ථිකය වර්ධනය වෙන්නේ. රැකියා ජනනය වෙන්නේ.

ලංකාවේ විරැුකියාව දිහා බලද්දී විශේෂයෙන් පෙනෙන්න තියෙන දෙයක් තමයි එතරම් අධ්‍යාපන සුදුසුකමක් නැති අය අතරට වඩා අධ්‍යාපන සුදුසුකම් තියෙන තරුණ තරුණියන් අතර තමයි රැුකියා වියුක්තිය වැඩිපුරම දකින්න තියෙන්නේ. එහෙමත් නැත්නම් උසස්පෙළ සමත් අය සහ උපාධිධාරීන් අතර තමයි විරැකියාව වැඩිපුරම පෙනෙන්න තියෙන්නේ. ඒ වගේම මේ අතරිනුත් බහුතරය කාන්තාවන්. ලංකාවේ සියලූම ප‍්‍රශ්න තියෙන්නේ රැකියා වියුක්තිය සහ දිළිඳුකම කියන ප‍්‍රධාන ප‍්‍රශ්න දෙක වටා.

ජීවන වියදම පිළිබඳ ප‍්‍රශ්නයත් කිසියම් වැදගත් ගැටලූවක්. ජීවන වියදම කියන එක එදිනෙදා විසඳන්න අවශ්‍ය එකක්. ජීවන වියදම පිළිබඳ ප‍්‍රශ්නය කෙරේ මේ අයවැය තුළ ක‍්‍රියාත්මක වන යම් යම් වැඩපිළිවෙළ යොමුවුණ බවක් පෙනෙනවා. ඒ වගේම කලින් සඳහන් කළ ගැටලූවලට පිළියම් වශයෙනුත් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන පියවර අරගෙන තිබෙන බව පෙනෙනවා. ඒ නිසා පොදුවේ ගත්තාම මේක ධනාත්මකයි.

දිළිඳුකම සහ විරැකියාව පිටුදැකීමට ගෙන තිබේයැ’යි ඔබ මතු කළ පියවර කුමන තැන්වලින්ද පෙනෙන්නේ?

දිළිඳුකම සහ විරැුකියාව කියන දෙක නැති කරන්න නම් මූලික වශයෙන් කරන්න අවශ්‍ය කාර්යයක් තියෙනවා. ඒ තමයි රටේ ආදායම් උපදවන ආයෝජන කර්මාන්ත හා ආර්ථික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම. ඒක පුද්ගලික මට්ටමේ හෝ ව්‍යාපාර කර්මාන්ත මට්ටමින් හෝ රජයේ ව්‍යවසාය හැටියට ගොඩනැගෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මූලික ආර්ථික වැඩපිළිවෙළ තුළත්, මේ අයවැය තුළත් පැහැදිලි ක‍්‍රියාමාර්ග අරගෙන තියෙනවා.

ලංකාව මේ විදියට දියුණු කරන්න මූලික වශයෙන් කරන්න අවශ්‍ය දෙයක් තමයි, රටේ යටිතල ව්‍යුහය දියුණු කිරීම. යටිතල ව්‍යුහය ගත්තාමත් මහාමාර්ග පද්ධතිය ප‍්‍රධාන වෙනවා. අපි දන්නවා පහුගිය ආණ්ඩු කාලයේත් ලංකාවේ කුඩා ග‍්‍රාමීය මාර්ග දියුණු කරන්න ප‍්‍රධාන වෑයමක් ගත්තා. ඒ වගේම ඊටත් වඩා වැදගත් සාධකයක් වන මහනුවර කොළඹ වැනි ප‍්‍රධාන මාර්ග දියුණු කිරීම මේ රජය මගින් සිදු කරමින් තියෙනවා. මධ්‍යම පළාත, බස්නාහිර පළාත සහ සබරගමුව පළාත වගේ තැන්වල තමයි ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් ජීවත් වෙන්නේ. ආර්ථික ක‍්‍රියාකාරකම් වැඩිපුරම වෙන්නේත් ඒ ප‍්‍රදේශ තුළ. ඒ නිසා යටිතල පහසුකම් දියුණු කිරීමේදී ඒ ප‍්‍රදේශවලට ප‍්‍රමුඛස්ථානය දීම ඉතාම වැදගත්.

හම්බන්තොට වරාය සහ ඒ ආශ‍්‍රිතව කර්මාන්ත සංවර්ධනය සඳහා විදේශ ආයෝජන ලබාගැනීමේ මේ ආණ්ඩුව ගෙනයන වර්තමාන වැඩපිළිවෙළත් මේ ප‍්‍රශ්න විසඳන්න සෑහෙන උදවුවෙයි කියන එක තමයි මගේ පෞද්ගලික විශ්වාසය. මේ දේවල් විරැුකියාව නැති කරන්න පැහැදිලිව ම දායක වනවා.

ඒ වගේම කොළඹ මූල්‍ය නගරය දියුණු කරන්න රජය අරගෙන තියෙන වැඩපිළිවෙළත් ඉතාම වැදගත් එකක්. හම්බන්තොට වරාය සහ කොළඹ මූල්‍ය නගරය කියන මේ ව්‍යාපෘති දෙකම විතරක් වුණත් අපේ රටේ විරැුකියාව අවසන් කරන්න සෑහෙන පමණට ප‍්‍රමාණවත් වෙයි කියන එක තමයි මගේ විශ්වාසය. මොකද ලංකාවේ වෙසෙන මිලියන විසි එකක් පමණ ජනතාව සම්බන්ධයෙන්  ඕනෑම දෙන ලද අවස්ථාවක් ගත්තාම, රැුකියා වියුක්තිය තියෙන්නේ සාමාන්‍යයෙන් මිලියනයක් විතර. මේ පිරිසත්, වයස්ගත පුද්ගලයන් දරුවන් ආදින් හැරුණකොට අනික් හැමෝම රැුකියා කරනවා. ඒ නිසා මේ විදියේ සාර්ථක ව්‍යාපෘතියක් දෙකක් ඇති ඒ ප‍්‍රශ්නේ සහමුලින් විසඳාගන්න. ඊළඟ අවුරුදු දහය තුළ රට ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයකට ගෙනයෑමට මේක විශාල පදනමක් වන බව විශ්වාසයි.

උද්ධමනය වැනි කෙටිකාලීන අරමුණු දිනාගැනීම සඳහා මේ වැඩපිළිවෙළ වැදගත් වෙන්නේ නැද්ද?

විනිමය අනුපාතිකය ස්ථාවර කරන්නේ නැතිව අපිට උද්ධමනය පාලනය කරන්න බෑ. මොකද වෙළඳපොළේ තියෙන භාණ්ඩවලින් විශාල ප‍්‍රමාණයක් ආනයනික භාණ්ඩ. හැබැයි හම්බන්තොට වරාය නගර ගිවිසුමත් එක්ක අපිට විදේශ විනිමය විශාල වශයෙන් එකතුවෙලා තියෙනවා. ඒ අනුව විනිමය අනුපාතිකය ගොඩක් වෙලාවල ස්ථාවර කරන්න පුළුවන්.

ඊළඟ කාරණය තමයි නිෂ්පාදනය වැඩිවීම කියන එක. අපිට තවමත් රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න බැරිවෙලා තියෙනවානේ. පහුගිය කාලෙම අපි ඉන්නේ එක සමාන ආර්ථික වර්ධන වේගයක. උද්ධමනය පාලනය කරන්න නම් ආර්ථික වර්ධන වේගය සීයට හත අට දක්වා වැඩි කරන්න  ඕනෑ. ඒ සඳහා එක පැත්තකින් ආයෝජන විශාල වශයෙන් වැඩි කරගන්න  ඕනෑ. අනික් කාරණය තමයි ඵලදායීතාව වර්ධනය කිරීම. විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදන හරහා ඒ දේ කරන්න පුළුවන්.

දෙදහස් පහළව සහ දාසය අවුරුදුවල ඉදිරිපත් කළ අයවැය දෙක දිහා බැලූවාම පෙනෙන කාරණයක් තමයි ඒවා සංවර්ධනාත්මක අයවැය නෙමෙයි. මොකද ඒවා ඒ වෙනකොට තිබුණු මූල්‍ය අර්බුදය සහ රටේ ගෙවුම් ශේෂ ආශ‍්‍රිතව තිබුණු ගැටලූවිසඳාගැනීම පදනම් කරගෙන ගොඩනැගූ අයවැය. ඒ අයවැය දෙකෙන් ඒ ගැටලූ කිසියම් දුරකට විසඳගන්න පුළුවන් වුණ නිසා මේ වන විට පුළුල් ආර්ථික ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙළකට යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.

කෘෂිකාර්මික ඵලදායීතාව අතින් රටේ විශාල පසුබෑමක් තියෙන බව ඇතැම් විචාරකයන් පවසනවා. රටේ සංවර්ධන අරමුණු අර වගේ ව්‍යාපෘතිවලට යොමුවෙද්දී කෘෂිකර්මයෙන් අවධානය ගිලිහුණාද?

ලංකාවේ කෘෂිකාර්මික ඵලදායීතාව අඩුවීම ගැන ප‍්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් ඒ දේට ප‍්‍රධාන වශයෙන් බලපාන්නෙ වෙනත් හේතු සාධක.

ලංකාවේ දැනට තියෙන පරිසර ප‍්‍රතිපත්ති සහ ජල පෝෂක ප‍්‍රදේශ ආරක්ෂා කරගැනීම පිළිබඳ ප‍්‍රතිපත්ති සහ වනාන්තර ආරක්ෂා කරගැනීමේ ප‍්‍රතිපත්ති ආදිය ගැන නම් රජය ගැඹුරින් අවධානය යොමු කරලා නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ. උදාහරණයක් විදියට මහවැලි ගෙඟ් පෝෂක ප‍්‍රදේශ රැුකගන්නේ නැතිව, ඒවා තවදුරටත් වැඩිදියුණු කරන්නේ නැතිව, මහවැලි ගෙඟ් ජල ධාරිතාව අවුරුද්ද පුරාම රැුකගන්න බෑ. දැන් අපිට බැලූ බැල්මට වුණත් පේනවා මහවැලි ගෙඟ් අද අවුරුද්ද පුරා තියෙන ජල ධාරිතාව ඉස්සර තිබුණ ප‍්‍රමාණයට වඩා අඩුයි කියලා. ඒකට හේතුව මහවැලි ගෙඟ් පෝෂක ප‍්‍රදේශ ආරක්ෂා කරගන්න විශාල අවධානයක් ලබා දීලා නැතිකම.

අපි දන්නවා මහවැලි ගෙඟ් ජල ධාරිතාව පහළ යෑමේ ප‍්‍රමාණයට සාපේක්ෂව මුළු රජරටම අර්බුදයට ලක් වෙනවා. එය රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය අඩුවීමට ඍජුව බලපානවා. මහවැලි ගඟ කියන්නේ රටේ සෙසු ගංගාවලට සමාන කරන්න පුළුවන් එකක් නෙමෙයි. යටත්විජිත කාලයේ අපේ වැසි වනාන්තර කපලා ඒ අය තේ ආදිය වැව්වා. නිදහසෙන් පස්සෙ වුණත් අපි කළේ මහවැලි ගඟ ආශ‍්‍රය කරගෙන කොත්මලේ රන්දෙණිගල වගේ ව්‍යාපෘති හදාගෙන ගියා. ඒ වගේම පොල්ගොල්ලෙන් මහවැලි ගඟ හරස් කරලා අඹන්ගඟ ආදිය ආශ‍්‍රය කරගෙන මොරගහකන්ද වගේ ව්‍යාපෘති හැදුවා. ඒ ව්‍යාපෘති ඇතැම් විට රටට විශාල වශයෙන් සුබදායී වුණත් ඒ ව්‍යාපෘති ඇතුළේ ප‍්‍රමාණවත් විදිහට තිබුණේ නෑ මහවැලි ගෙඟ් පෝෂක ප‍්‍රදේශ ආරක්ෂා කරමින් ගෙඟ් ජලය අවුරුද්ද පුරාම ඒකාකාරී විදියට පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගැන ප‍්‍රමාණාත්මක වැඩපිළිවෙළක්.

කෘෂිකාර්මික ඵලදායීතාව නගා සිටුවීම කරන්න පුළුවන් දෙවෙනි ක‍්‍රමය තමයි, විද්‍යාත්මක හා තාක්ෂණික පියවර ඔස්සේ නව පරීක්ෂණ සිදුකිරීම. අපි කාලයක් තිස්සේ විවිධ බීජ වර්ග සහ රසායනික වර්ග හඳුන්වා දීම් කළා. නමුත් මේ යුගයේ අභියෝගය තමයි කාබනික වගාවන් සඳහා පරීක්ෂණයන් කිරීම. පරිසරයට ඔරොත්තු දෙන, සහ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ ආදිය හඳුන්වාදීම මෙතැනදි කරන්න  ඕනෑ. චීනය වගේ රටවල් කරන්නේ මේ දේ. අපි ඉදිරි වසර දහයේදී හරි විස්සේදී හරි රසායනික ද්‍රව්‍යයෙන් ඉවත් වෙනවා කිය කිය නීති හද හදා ඉන්න එක නෙමෙයි ඒ අය කරන්නේ. දැන් ඉඳන්ම විකල්ප වගා ක‍්‍රමයන්ට හුරුවීම.

ජාත්‍යන්තරය සමග පවත්වාගෙන යන ආර්ථික සම්බන්ධතාවන්ගේ මුහුණුවර පහුගිය රජයේ සම්බන්ධතාවන්ගේම දිගුවක් කියලා යෝජනා කළොත්? 

ජාත්‍යන්තර සම්බන්ධතා විතරක් නෙමෙයි, මේ පක්ෂ දෙකේ ආර්ථික ප‍්‍රතිපත්ති හැත්තෑ හතේ ඉඳන්ම එක සමානයි. හැත්තෑ හතේ ඉඳන් අද වෙනකන්ම තියෙන්නේ වෙළඳපොළ ආර්ථික මූලධර්ම පදනම් කරගත් ක‍්‍රමවේදයක්. කවුරු හරි සියුම් විදිහට අවධානය යොමුකළොත් පෙනේවි, ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම වැඩිම වශයෙන් සිදුවෙන්නේ අනූහතර දෙදහස් පහ කාලයේදී. හැත්තෑ හත අනූ හතර කාලයේ ඔය විදියට පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික රෝහල් වගේ දේවල් බිහිවුණේ නෑ.

ඒ නිසා එක ආණ්ඩුවක් වෙනස් වෙලා තව ආණ්ඩුවක් ආවා කියලා මේ රටේ මිනිස්සුන්ට අමුතු විදියේ අලූත්ම බලාපොරොත්තු තියාගන්න බෑ. ඔබ මතු කළා වගේ, මහින්ද රාජපක්ෂ මහත්තයා චීනය විශ්වාස කරලා චීන ආයෝජනවලට මුල්තැන් දුන්නා වගේ දෙයක්ම තමයි මේ අයටත් කරන්න පුළුවන්. ඒ හැර චීනය අතඇරලා වෙනම ගනුදෙනු පවත්වන්න මේ අයටත් බෑ. එහෙම පුළුවන් වෙයි කියලා මුල් කාලයේ චීනයෙන් ඉවත් වෙන්න මේ අය උත්සාහ කළත් ඒක බැරි වුණා.

මං කාලෙක ඉඳලා කියනවා චීනය තමයි අපිට හොඳ ආර්ථික සම්බන්ධතාවක් පවත්වන්න පුළුවන් ප‍්‍රධානතම රට. ඇමරිකාව අපි ළඟ ආයෝජනය කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඉන්දියාව කියන්නේ ජාත්‍යන්තර ආයෝජන අතින් වැඩකට නැති රටක්.

අනික් අතට චීනයත් එක්ක රාජතාන්ත‍්‍රික ගනුදෙනු කිරීම අපට බොහෝ විට වැදගත් වෙන්නේ එහි සියලූම පාහේ ව්‍යවසායන් රාජ්‍යය යටතේ පවතින ඒවා වීම. නමුත් ඉන්දියාව වගේ රටවල එහෙම නෑ. අයි ඕසී වගේ ව්‍යවසායන් කීපයක් හැර අනික් ඔක්කොම පෞද්ගලික ඒවා. රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා ගෙනිච්චා කියලා ඒ වගේ පෞද්ගලික ආයෝජන මේ රටට ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. චීනය සමග කටයුතු කිරීමේ වාසිය ඒකයි.