ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුකරණය සහ සංවිධිත මංකොල්ලකෑම

‘යහපාලන ආණ්ඩුව’, ‘ජාතික සමඟි ආණ්ඩුව’ සහ ‘සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව’ සහ ‘එජාප-ශ‍්‍රීලනිප ආණ්ඩුව’ වැනි විවිධ නම්වලින් හැඳින්වෙන, වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වන්නේ මේ ලිපිය ලියන, ජනවාරි 9දාය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් අස්වී ගමට ගියේද, අදට අවුරුදු තුනකට පෙර උදේ වරුවේය. මෙම අවුරුදු තුන තුළ, අලූතෙන් පත්වූ ආණ්ඩුවේ වාර්තාව සහ අත්දැකීම විවරණය කිරීමට මේ හොඳ අවස්ථාවකි. දේශපාලනඥයන්ද, ජනමාධ්‍යද වඩා උනන්දුව දක්වන්නේ මහ බැංකු බැඳුම්කර වාර්තාව සහ පළාත් පාලන මැතිවරණය ගැන නිසා, මෙම තේමාව ගැන ඔවුන් ඒ තරම් උනන්දු වන බවක් නොපෙනෙන බවද පෙනේ.

පසුගිය මාස කිහිපය තුළ අපට නිරීක්ෂණය කළ හැකි වූ කාරණාද ආශ‍්‍රය කරගෙන, අපට මතු කළ හැකි සහ අප මතු කළ යුතු මූලික ප‍්‍රශ්නයක් තිබේ. එනම් පසුගිය පාලන තන්ත‍්‍රය සහ වර්තමාන පාලන තන්ත‍්‍රය අතර ඇත්තටම වෙනසක් තිබේද? එසේ නම් එය කුමක්ද? පසුගිය පාලන තන්ත‍්‍රය සහ මෙම පාලන තන්ත‍්‍රය අතර පැවතිය යුතුයැයි පොරොන්දු වූ බෙදුම් ලක්ෂ්‍යය නොව ඇත්තටම පවත්නා බෙදුම් ලක්ෂ්‍යය කුමක්ද? යන්නයි.

මෙම ප‍්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී අපට නිරීක්ෂණය කළ හැකි වැදගත් දෙයක් තිබේ. එය නම්, එවැනි මූලික වෙනසක් සඳහා වර්තමාන ආණ්ඩුවට මුලදී විභවතාවක් පැවතියද, පසුගිය අවුරුදු තුනේ මූලික වශයෙන් සිදුවී තිබෙන්නේ, පාලන තන්ත‍්‍ර දෙක අතර වෙනස්කම්වලට වඩා සමානකම් ගොඩනැගීමයි. විඛණ්ඩනයක් වෙනුවට අඛණ්ඩතා නැතහොත් අවිච්ජින්නතා නිරීක්ෂණය කළ හැකි වීමයි. එසේ වුවත්, පාලන තන්ත‍්‍ර අතර වෙනස්කම් සම්පූර්ණයෙන්ම අහෝසි වී නැත. එහෙත් එම ඉතිරි වී පවත්නා වෙනස්කම් ආරක්ෂා කර ගැනීම මිස, පාලන තන්ත‍්‍ර දෙක අතර අතිමූලික වෙනසක් යළි ගොඩනැගීමට දේශපාලන අවකාශය නැති බවද පෙනේ.

තරමක් ප‍්‍රහේළිකා සහිත බව පෙනෙන මේ කාරණය පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණයි. එය පැහැදිලි කිරීමට ඇති හොඳම නිදසුන වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව සහ ඒ ගැන කොමිසමක් පත්කිරීම, කොමිසමේ සාමාජිකයන් නිරුපද්‍රැතව කොමිසමේ වාර්තාවක් ඉදිරිපත් කිරීම සහ ඉන්පසුව දැනට දිගහැරෙමින් පවත්නා දේශපාලන ක‍්‍රියාවලිය යන මේවායි.

බැඳුම්කර කොමිෂන් වාර්තාව මෙරට පුරවැසියන්ට කියන්නේ, අගමැතිතුමාත් එජාපයට සම්බන්ධ ආර්ථික සහ බැංකු කටයුතු විශේෂඥ ඇමතිවරුනුත් පුරවැසියන්ට කියා සිටි ආකාරයට, බැඳුම්කර වංචාවක් සිදු නොවී, සිදුවී තිබෙන්නේ, නූගත් පුරවැසියන්ට අවබෝධ කරගැනීමට නොහැකි තරම් ඉතා සංකීර්ණ, එහෙත් අවංක, නීත්‍යනුකූල මූල්‍ය ගනුදෙනුවක් නොව, මහා පරිමාණ මුදල් මංකොල්ලයක් බවයි. එජාපයේ නායකයෝ, දැන් එවැනි වංචාවක් සිදුවූ බව ප‍්‍රතික්ෂේප නොකරති. එවැනි දුෂ්භාවිත 2008 සිටම සිදුවූ බව කියමින්, ඒ ගැන කොමිසමක් පත්කරන බවද ඔවුහු කියා සිටිති. මධ්‍යස්ථ පුරවැසියන්ට මෙයින් දෙන පණිවුඩය කුමක්ද? මහා පරිමාණ ¥ෂණය සහ දේශපාලන බලය අයුතු ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවත්නා සහ පැවැති පාලන තන්ත‍්‍ර දෙක අතර ඇත්තේ ඇත්තටම වෙනසක් නොව, අවිච්ජින්නතාවක්ය යන්නයි.

2015 ජනවාරි මස අලූත් ආණ්ඩුව පිහිටුවා යන්තම් මාසයක් ගතවූ වහාම, අගමැතිතුමාම පුද්ගලිකව තෝරාගෙන පත් කළ මහ බැංකු අධිපතිතුමාගේ බෑණා, 2015 පෙබරවාරි 27 දා යන එක දවසේ ලැබූ අයුතු ලාභය, නැතහොත් සිදුකළ මංකොල්ලය, රුපියල් මිලියන 680කැයි, බැඳුම්කර කොමිෂන් සභාව කියන විට, එහි අර්ථය කුමක්ද? පාලන තන්ත‍්‍ර දෙකෙහි චරිත ස්වභාවයේ අඛණ්ඩතාව පමණක් නොවේ.දුෂණය පිළිබඳ විෂයයෙහිදී නව පාලන තන්ත‍්‍රය, පසුගිය පාලන තන්ත‍්‍රයේ අයටත් සිතිය නොහැකි තරමට ඉදිරියට යමින්, සිය පාලන කාලය පටන් ගත් බවයි. දුෂණය හා මහජන දේපොළ මංකොල්ලකෑම සම්බන්ධව බලන විට, පසුගිය පාලන තන්ත‍්‍රය සහ වර්තමාන පාලන තන්ත‍්‍රය අතර වෙනස, නව පාලන තන්ත‍්‍රයේ තිඹිරිගෙයිදීම මැකී ගියේ ඇයි? මේ ප‍්‍රශ්නයට පිළිතුරක් බැඳුම්කර කොමිෂන් වාර්තාවෙන් නොලැබෙනු ඇත. මන්ද, එයට ඇත්තේ අපරාධ නීතිය සම්බන්ධ පිළිතුරක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයේ දේශපාලන ආර්ථිකය (Political Economy of Democratic Politics) සම්බන්ධ පිළිතුරක් වන නිසාය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය සහ කොල්ලකාරී ප‍්‍රාග්ධනය අතර සම්බන්ධය, පුරවැසියන්ට අලූතෙන් තේරුම් ගත යුතුව තිබෙන ගැටලූවකි. දකුණු ආසියාවේ රටවල් අතරින් මෙම ගැටලූව පළමුවෙන්ම මතුවූයේ ඉන්දියාවේය. රජිව් ගාන්ධි අගමැතිව සිටි කොංග‍්‍රස් ආණ්ඩු කාලයේ සිදුවූ ‘බෝෆර් වංචාව’ මෙම ක‍්‍රියාවලියේ ආරම්භයයි. ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට කාලතුවක්කු මිලදී ගැනීමේදී අතිවිශාල අල්ලසක් රජිව් ගාන්ධිට ගෙවන ලද බව එයින් චෝදනා එල්ල විය. ඒ ගැන අවුරුදු ගණනාවක් පරීක්ෂණ පැවැත්වුවත්, ඒ පරීක්ෂණවලට සිදුවූ දෙයක් නැත. ඉන්දියාවෙන් හෙලිකොප්ටර් මිලදී ගැනීමේදී, කොංග‍්‍රස් ආණ්ඩුවක් යටතේම සිදුවූ එවැනිම මහා පරිමාණ අල්ලස් ගනුදෙනුවක් පිළිබඳ පරීක්ෂණ දැන් අවුරුදු ගණනාවක් තිස්සේම ඇදෙමින් තිබේ.

ගල්අඟුරු නිධි බිම් වෙන්දේසි කිරීම, ටෙලිකොම් තරංග වෙන්දේසි කිරීම යනාදියේදී සිදුවූ මහා පරිමාණ වංචා ගැන පරීක්ෂණවල තත්ත්වයද එබඳුය. භාරතීය ජනතා පක්ෂය මෙවර බලයට පත්වූයේ මෙවැනි සහ වෙනත් නොයෙක් මහා පරිමාණ වංචා සහ ¥ෂණ සොයා බලා දඬුවම් දෙන බවට දුන් මැතිවරණ පොරොන්දුද සමගය. ඒ පොරොන්දුවල ඇත්තටම තිබෙන්නේ මැතිවරණ වටිනාකමක් පමණි. දේශපාලන දේහයේ වැළඳී ඇති මහා පරිමාණ දුෂණය සහ අල්ලස යන පිළිකාව ඉවත් කිරීමට කිසිදු ආණ්ඩුවක් පියවර නොගන්නේ ඇයි?

එම ප‍්‍රශ්නයට පිළිතුරු දෙකක් තිබෙන බව පෙනේ. ඉන් පළමුවැන්න නම්, දුෂණය ආණ්ඩුකරණයේම අංගයක්ය යන්නයි. දෙවැන්න නම්, විශාල ප‍්‍රාග්ධනයක් නැතිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරගය සිදු නොවන බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී තරගයට සහභාගි වන සෑම දේශපාලන පක්ෂයකටම සහ දේශපාලන ක‍්‍රියාකරුවෙකුටම අතිවිශාල මූල්‍ය සම්පත් තිබිය යුතුය. මේවා ලැබෙන්නේ පක්ෂ සාමාජිකයන්ගේ සාමාජික මුදල්වලින් නොවේ. පක්ෂ හිතවතුන් කළ ‘පරිත්‍යාග’ යන සාම්ප‍්‍රදායික මාධ්‍යයෙන්ද නොවේ. මංකොල්ලය යන මාධ්‍යයෙනි. මංකොල්ලයට ලක් කළ හැකි පහසුම මූල්‍ය මූලාශ‍්‍රය වන්නේ මහජන නැතහොත් රාජ්‍ය දේපළයි. පසුගිය අවුරුදු දහය පමණ කාලය තුළ තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවලින්ද, රුසියාව සහ නැගෙනහිර යුරෝපීය රටවලින්ද, බ‍්‍රසීලය වැනි ලතින් ඇමෙරිකානු රටවලින්ද ලැබුණු වාර්තාවලින් පෙනුණේ, ආණ්ඩු, දේශපාලන පක්ෂ සහ නිලධර තන්ත‍්‍රය මෙම ‘මංකොල්ලකෑම’ නම්බුකාර ආර්ථික චර්යාවක් ලෙසද සලකන බවයි. ‘ආණ්ඩුකරණය යනු සංවිධිත මංකොල්ලයකි.’ :(Governance is organized robbery) යන තත්ත්වයට දැන් අල්ලස්, දුෂණය සහ බලය අයුතු ලෙස භාවිත කිරීම ආණ්ඩුකරණය සමග සම්බන්ධ වී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියේම ආයතන භාවිතයේ කොටසක් වී ඇත.

බැඳුම්කර වංචාවෙන් ප‍්‍රකාශ වන ලංකාවේ සිදුවන මේ මහා පරිමාණ මංකොල්ලය අවසන් කිරීමට තමන් දැන් කඩුව අතට ගෙන ඇතැයි කියන ජනාධිපතිතුමාට හැකිවේවිද? සමකාලීන ලෝකයේ අත්දැකීම අනුව බලන්නේ නම්, පිළිතුර වනු ඇත්තේ ‘නැත’ යන්නයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය තුළ සිදුවන ආණ්ඩුකරණය හා මංකොල්ලය යන ක‍්‍රියාදාම දෙක වෙන් කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදයටම නොහැකි බව, ලංකාවෙන්ද ඔප්පු වන්නට බොහෝ විට ඉඩ තිබේ. එයට හේතු බොහෝය. මන්ද යත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු සංවිධිත මංකොල්ලය සඳහා දේශපාලන පක්ෂ ජනවරම ලබාගන්නා මාධ්‍යයක් වන තරමට, දේශපාලනය වෙනස් වී තිබීමයි. මෙය වනාහි සරත් විජේසූරිය මහතා නායකත්වය දෙන පුරවැසි ව්‍යාපාරයත්, වික්ටර් අයිවන් මහතා නායකත්වය දෙන පුනරුදය ව්‍යාපාරයත්, අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජවිපෙයත් ඇතුළත බැරුම්ව සාකච්ඡා කළ යුතු වන ගැටලූවකි. ප‍්‍රධාන දේශපාලන පක්ෂ කරන බව පෙනෙන්නේ, මෙම ගැටලූව හැකිතාක් දුරට පටු දේශපාලනීකරණයට ලක් කර, එය මහජන හාස්‍යයේ තේමාවක් බවට ලූහුඬු කිරීමයි. කලක් කොළඹ විශ්වවිද්‍යාලයේ ගුරුවරයා සහ ශිෂ්‍යයා ලෙස සිටි ජී.එල්. පීරිස් සහ රනිල් වික‍්‍රමසිංහ යන දේශපාලනඥයන් දෙදෙනා මෙම කාර්යය දැනටමත් ආරම්භ කර තිබෙන බව පෙනේ.