රාවය

ජාතික දේශපාලනය සහ පළාත් දේශපාලනය

ජාතික දේශපාලනය සහ පළාත් දේශපාලනය

මා ජීවත්වන්නේ කොළඹ තදාසන්න පෙදෙසකය. අප නිවෙසට යනෙන පාර දිගටම කුණුවතුර ගලාබස්නා කාණුවක් තිබේ. එහි බොහෝ තැනක ජලය ගලායන්නේ නැත. එමෙන්ම කාණුව දිගටම නිවැසියන් විසින් එහි දමන පොලිතීන්, මයිලෝ යනාදි නොදිරන අපද්‍රව්‍යද පිරී ඇත. මෙම පෙදෙස ඩෙංගු රක්තපාත උණ පෘථුලව පැතිරීගිය, තවමත් එවැනි රෝගීන් සිටින පෙදෙසකි. එනමුත් රජයේ කිසිදු ආයතනයක් විසින් මෙම කුණුකාණුව පිරිසිදු කරන්නේ නැත. ඒ වෙනුවට එහි දක්නට ලැබෙන්නේ මෙහි කුණු දමන එවුන්ගේ පරම්පරා පිටින් ඩෙංගු සෑදී මැරියං වැනි පළිගසන මහජන අපේක්ෂා ලියූ පෝස්ටර්ය.

 

අප කලින් ජීවත්වූයේ කුරුණෑගල යකල්ලේය. එම පෙදෙසෙහි ළිංවල වතුර නැත. අප එහි පදිංචිවූ 2000 වසරෙහි අප ළිඳෙහි ජලය පානයට සුදුසු වුවද දැන් ලවණ අධික බැවින් පානයට නුසුදුසුය. ඒ නිසාම ළිංජලය බීමට නුසුදුසු අතර වියලි කාලයෙහි එම ළිං සිඳීයයි. පානීය ජල ප‍්‍රශ්නය අවට ගම්මාන ගණනාවකද ප‍්‍රශ්නයකි. මෙම ප‍්‍රශ්නයට විස`දුමක් වශයෙන් නළජලය දීමට නළ එලා මාස ගණනාවක් ගතවීත් ජලය නැත. ඊට හේතුවක් කියන්නට දන්නා කෙනෙක්ද නැත.

 

මෙවැනි ප‍්‍රශ්න නැති පළාත් පාලන ප‍්‍රදේශයක් මෙරට නැත. ජනයා පෙළෙන මෙවැනි සෞඛ්‍ය ප‍්‍රශ්න විසදීම බාරව ඇත්තේ පළාත් පාලන ආයතනයන්ටය. ඒ වනාහි ඒවා විසින් සැපයිය යුතු වන එක් ප‍්‍රධාන සේවාවකි.

මේ වන විට පක්ෂ දෙකකින්ම ජන්දය ඉල්ලා අප නිවසට පැමිණ ඇති නමුත් ලොකු කතාබහ හැරුණ විට  තමන් කරන්නට යන්නේ කුමක්දැයි ඒ කිසිවකු කියන්නට දන්නේ නැත. ‘අපට ඡන්දය දෙන්න. අපි වැඩක් කරන්නයි එන්නේ’ කියා ඒ අය කියති. අනෙත් අතට පළාත් පාලන ආයතන විසින් සැපයිය යුතු සේවාවන් ගැන අප හරියට දන්නේද නැත.

අපේ හන්දියේ හැමෝම පෝස්ටර් අලවා තිබෙන්නේ ගඳ ගසන ඒ කුණුකාණුව උඩිනි. හැම පෝස්ටරයකම තියෙන්නේ ගම හදන බවයි. ‘ගම නිදහසට’ ‘ගම අපට’ ‘ආණ්ඩුවට ගම’ යනාදි සටන් පාඨ ම`ගිනි. පොදු සටන් පාඨ හැරුණු විට ඒ ඒ පළාත් පාලන ප‍්‍රදේශය සම්බන්ධයෙන් තමන් කරන්නට සිටින්නේ කුමක්දැයි මා දන්නා තරමට නම් කිසිම පක්ෂ කණඩායමක් විසින් ඉදිරිපත් කර නැත.

පළාත් පාලන පනත අනුව එකී ආයතන විසින් ප‍්‍රජාවෙහි සැපත, පහසුව සහ යහපත උදෙසා සේවාවන් සැපයිය යුතුය. මහජන සෞඛ්‍යය ඉහළ නැංවීමත්. යටිතල පහසුකම් සැපයීමත් බාරවන්නේ පළාත් පාලන ආයතනයන්ටය. පාරවල්, කාණු පද්ධති, උද්‍යාන, පුස්තකාල, අපද්‍රව්‍ය එක්කිරීම, පොදු පහසුකම් සැපයීම, වෙළෙදපොළවල් පවත්වාගෙන යෑම සහ විනෝදය සහ ක‍්‍රීඩා සඳහා පහසුකම් සැලසීම ඒ අතර වෙයි.

පසුගිය කාලය පුරාම බොහෝ පළාත් පාලන සභිකයන් කළේ ගරානාවය. ජනයාට වැඩක් කරනු වෙනුවට ගරානාව හොදින් ඇති වැඩය. මෙවැනි මහජන සේවකයකු ශාස්ත‍්‍රාලීය උගතකු වීමට අවශ්‍ය නැති නමුත් පළාත් පාලන දේශපාලන උගතකු විය යුතුය. එවැනි අවබෝධයක් ඇති මහජන සභිකයෝ සිටින්නෝ කීයෙන් කී දෙනෙක්ද?

පාරක් පිළිසකර කරන්කට බැරි නම්, කාණු පද්ධතිය නිසි ආකාරයෙන් පවත්වාගැනීමට බැරි නම් අප කවර හෝ පක්ෂයකට අප ජීවත්වන පළාත් පාලන ප‍්‍රදේශ බාරදිය යුත්තේ ඇයි? කොටින්ම එළඹෙන පළාත් පාලන මැතිවරණයෙහිදී අප ඡන්දය දිය යුත්තේ ඇයි? එම ප‍්‍රශ්නයට බැඳුම්කරයෙන් හෝ අගමැති සිහිනයෙන් හෝ පිළිතුරු නොලැබේ.

දැන් පෙනෙන අන්දමට අප මෙම පළාත් පාලන ඡන්දයේදී අපේ ඡන්දය දිය යුත්තේ එක්කෝ රාජපක්ෂ අගමැති කරන්නටය. සිරිසේනගේ කඩුව මුවහත් කරන්නටය. බැදුම්කර හොරු හිරේ යවන්නටය. තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන්නටය. වික‍්‍රමසිංහගේ පිරිසිදුකම සනාථ කරන්නටය. 2020 දිනවනු පිණිස ගම ජවිපෙට දෙන්නටය යනාදි වශයෙනි.

කොටින්ම අප එදිනෙදා ජීවිතයේදී අප ජීවත්වන ප‍්‍රදේශයන්හි මුහුණදෙන ගැටලූ විසඳාගැනීමට නොවේ. ඔබ අඩුම වශයෙන් එවැනි මාතෘකා සාකච්ඡුාවන එක් ලිපියක් හෝ වැඩසටහනක් දැක ඇත්දැයි කල්පනා කර බලන්න.

එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ ජනමාධ්‍ය වාර්තාකරණය සහමුලින්ම වෙන්ව ඇත්තේද එවැනි ජාතික දේශපාලන කරුණු කාරණවලටය. පළාත් පාලන අයතනයන්ගෙන් අප අපේක්ෂා කළ යුතු සේවාවන් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන් සමඟ දැනුවත් සාකච්ඡාවක් දියත් කිරීමට මේ තාක් කිසිදු ජනමාධ්‍යයක් පියවර ගෙන නැත.

අපි උදාහරණයක් ගෙන බලමු. 1920 වසරෙහි මෙරට වන ගහනය සියයට 49ක් විය. 2000 වසර වන විට එය සියයට 26ක් දක්වා පහත බැස තිබුණි. වාර්ෂිකව අප අක්කර 65,000ක් බැගින් වනාන්තර හෙළිකර තිබේ. අපේ නගර කිසිවක ක‍්‍රමානුකූලව රුක් රෝපණය කිරීමක් නැත. සිදු වන්නේ තිබෙන ගස් පරණ බැවින් කපා හෙළීම පමණි. මේ වනාහි ඍජුවම පළාත් පාලනය විසින් බාරගත හැකි අභියෝගයකි. එහෙත් අදත් අප පළාත් පාලන ජන්දය දෙන්නට යන්නේ අහවලාගේ අගමැති සිහිනයට හෝ කඩු ගෑමේ තරගය බලාසිටීම පිණිසය.

තවත් උදාහරණයක් ගනිමු. දෙවන ලෝක යුද්ධය නිසා ජපානයේ ටෝකියෝ නගරයෙහි වීථි දෙපස වූ ගස් ලක්ෂ 105,000 සිට 42,000 දක්වා අඩුවී තිබුණි. යුද්ධයෙන් පසු දර පිණිස කපාගැනීම සහ රෝග නිසා තවත් ගස් 35,000ක් නැතිවිය. එසේ නමුත් 1980 වන විට ප‍්‍රමාණය 235,000 දක්වා ඉහළ නැංවීමට ටෝකියෝ නගරය සමත් විය. නාගරික වන ගහනය නගරයක ජනතාවගේ ජීවිතය සැපවත් සහ යහපත් බවට පත්කරන එක් සාධකයක් බව විවිධ අත්දැකීම් මගින් සනාථවී තිබේ.

අපේ අගනුවර වන කොළඹ නගරය දෙස බලන්න. මෑත කාලයෙහි එය වරක් පාලනය කරන ලද්දේ නම ලිවීමටවත් නොදත් නන්නත්තාර පුද්ගලයකු විසිනි. පසුව රාජපක්ෂගේ අන්තේවාසිකයකු බවට පත්  ඔහු බලයට පත්කරන ලද්දේ එජාපයේ ඡුන්ද මගිනි. රටෙහි ප‍්‍රධාන නගරයේ නගරාධිපති යනු අන්තර් ජාතික පිළිගැනීමක් සහිත අතිශය වැදගත් තනතුරකි. එහෙත් අද කොළඹ නගරාධිපතිවරුන් හෝ වරියන් පත්වන්නේ නගර වර්ධනය ගැන කිසිදු අදහසක් හෝ උනන්දුවක් නැතිව සිය පක්ෂයේ සහ තමන්ගේ බලය වර්ධනය කරගනු පිණිසය. නිකමට හෝ ‘ඔබේ කොළඹ සංවර්ධන විස්තීර්ණ වැඩ සටහන කුමක්ද’යැයි ඔවුන්ගෙන් අසන්න. පිළිතුරු නැතිව ඔවුන් උඩ යට බලනු නොඅනුමානය.  මහනුවර, යාපනය හෝ වෙනත් මහ නගරයක් වුව මෙම තත්ත්වයෙහි වෙනසක් නැත.

වත්මන් ලෝකයෙහි ප‍්‍රධාන නගර තමන්ගේම පළාත් පාලන දේශපාලනයක් ගොඩනඟා ගන්නා ප‍්‍රවණතාවක ගමන් කරයි. ඩොනල්ඞ් ට‍්‍රම්ප් පරිසරය ආරක්ෂා කිරීමේ පැරිස් ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්කර ගත් මුත් එරට ප‍්‍රධාන නගර ගණනාවක්ම එම ගිවිසුම සමඟ රැදීසිටීමට තීරණය කළේය. නාගරානුබද්ධ රාජ්‍යතාන්ත‍්‍රිකත්වයයැයි කියනු ලබන නව පළාත් පාලන දේශපාලනය දැන් මහා ජනතාවගේ එදිනෙදා උවමනාවන් නියෝජනය කරන ගැම්මක් බවට පත්වෙමින් තිබේ. ලොව මහ නගර අතර නව රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවන් පවා ඒ අනුව ගොඩනැගෙමින් තිබේ.

කලකට පෙර අදාළ පළාත් පාලනය සඳහා ඉදිරිපත්වූයේ ජන්ද කොට්ඨාසයෙහි ජනයා දන්නා කියන, පොදු යහපත උදෙසා කටයුතු කිරීමේ ඉතිහාසයක් ඇති අයයි. ඔවුන් මැම්බර් මිස මංත‍්‍රී වූයේ නැත. ජේ.ආර්. ජයවර්ධන විසින් මෙරට දේශපාලන දුෂණය මත පදනම්වූ එකක් බවට පරිවර්තනය කිරීම ආරම්භ කරන ලද අතර රාජපක්ෂ විසින් එයට ඔටුනු පළදවන ලදි. දැන් පළාත් පාලනයේ සිට ජනාධිපතිකම දක්වාම ඇත්තේ ගරානාව සඳහා අවස්ථාය. ගරානාව සඳහා ‘අපේ පක්ෂය’ බලයට ගෙන ආ යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ගමේ නගරයේ ප‍්‍රශ්න විස`දීමේ සැලැස්මක් නොව කවුද රාජා තේරීමේ සටන ජයගැනීමය.

අපට මේ දුෂණයේ දේශපාලන සංස්කෘතිය වෙනස්කළ හැකිද? සැබෑ පළාත් පාලන දේශපාලනයක් සඳහා මඟ විවර කළ හැක්කේ කෙසේද? පළාත් පාලන දේශපාලනයේ ස්වාධීන අවකාශය යළි පිහිටුවිය හැක්කේ කෙසේද? කල්පනා කර බලන්න.

අද අප විසින් වාදවිවාද කළ යුතු එක් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් නම් එයයි. එසේ නොවුවහොත් ඩෙංගු මදුරුවාද කුණුකාණුවද පරම්පරාවම මැරීයන සේ කැරෙන ශාපයද ඊළඟ පළාත් පාලන ජන්දය එනතුරු එලෙසම තිබීමට ඉඩ වැඩිය. එය ලංකාවේ බොහෝ දෙනාගේ අත්දැකීම වන්නට ඇති ඉඩද වැඩිය.