ආණ්ඩුවේ තෙවසරක ශේෂ පත‍්‍රය

අජිත් පැරකුම් ජයසිංහ

 

ජනවාරි 8 විප්ලවයේ අරමුණු බොහෝ දුරට සාර්ථක නො වූ බව ඇත්තක්. ඒ වුණාට ඒ පත් කළ ආණ්ඩුව අවුරුදු තුනකට පසුවත් තවමත් බලයේ ඉන්නවා. එය අද පෙරළනවා ය, හෙට පෙරළනවා ය කියා කයිවාරු ගැසූ රාජපක්ෂ බලවේගය හා වාම අන්තවාදීන් මේ වන විට ඉන්නේ ආණ්ඩුවට අභියෝග කිරීමේ හැකියාව අතින් ශක්තිමත් තැනක නොවෙයි. ඒ නිසා වර්තමාන බල තුලනය බොහෝ දුරට 2020 දක්වා ම පැවතීමේ හැකියාවක් තිබෙනවා. එහෙත්, 2020න් පසු සිදු වන දෙය තීරණය වන්නේ ඉදිරි වසරක පමණ කාලය තුළ සිදු වන වෙනස්කම් මතයි.

පසුගිය අවුරුදු තුන තුළ සාර්ථක, අසාර්ථක පැති දෙක ම දකින්නට පුළුවන්. ඒ අතරින් විශේෂයෙන් ම සඳහන් කළ හැකි කාරණය වන්නේ රාජපක්ෂ සමය තුළ තිබුණු භීෂණ වාතාවරණය සහමුලින් ම නැති කර දැමීමට වර්තමාන ආණ්ඩුවට හැකි වීමයි. මේ අවුරුදු තුන ඇතුළත කිසිදු දේශපාලන ප‍්‍රතිවාදියකු ඝාතනයට ලක් නො වීම වාර්තාගත කරුණක්. 1983න් පසු මෙවැනි තෙවසරක් උදා වුණේ පළමුවැනි වතාවටයි. අද වන විට සුදු වෑන් භීතිකාවකින් තොරව, නො බියව ජනාධිපති, අගමැති පවා විවේචනය කරන්නට  ඕනෑම කෙනෙකුට හැකියාව තිබෙනවා.

මෙය සීමාව ඉක්මවා යාමක් ලෙස සලකන පිරිසක් ද ඉන්නවා. නායකයන්ට පණ නැහැයි කියා මෙය තේරුම් ගන්නා අයත් ඉන්නවා. ඒත්, මේ අතරවාරයේ පරණ සංදර්ශනත් නැත්තේ නැහැ. දැවැන්ත ආරක්ෂාවක් යොදාගෙන, ගිලන් රථ පවා සහිත රිය පෙළපාලිවලින් වීදි සරන්නට ලොල්කමක් තවමත් නායකයන් අතර තිබෙනවා. පුරවැසියන් දේශපාලකයන්ව  ඕනෑවට වඩා ලොකුවට ගණන් නොගැනීම සමාජ සංවර්ධනයට ඉවහල් වන දෙයක්.

ඒ සඳහා අවශ්‍ය පසුබිම දැන් නිර්මාණය වෙලා තිබෙනවා. අදාළ නැති ඇමතිවරයකු අණක් දුන් විට ‘එයා කවුරුද මට අණ දෙන්නැ‘යි පහළ මට්ටමේ රාජ්‍ය නිලධාරියකු ඇසූ පුවතක් පසුගියදා වාර්තා වුණා. එහෙත්, එතැනදී ජනතාවට වඩා පසුපසින් සිටින ජනමාධ්‍ය මෙය වාර්තා කර තිබුණේ හරියට ඒ නිලධාරියා දේවාලෙකට ගල් ගැහුවා වගේ.

උදා වූ ප‍්‍රජාතාන්ත‍්‍රික වටපිටාව අපහරණය කිරීම පටන් ගත්තේ වාමාංශිකයන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා වෙනත් රජයේ සේවකයන් විසිනුයි. අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින්, අනම්‍යශීලීව කටයුතු කරමින්, මහජනතාව පීඩාවට පත් වන අන්දමින් වීදි ආවරණය කරමින්, ඉතාම අයුක්ති සහගත වැඩ වර්ජන කරමින් ඔවුන් කටයුතු කරන ආකාරය දැකිය හැකියි.

වත්මන් රජය බලයට පැමිණි පසු රජයේ සේවකයන්ගේ වැටුප් විශාල වශයෙන් වැඩි කිරීමට කටයුතු කළා. එහෙත්, රජයේ සේවයේ කාර්යක්ෂමතාව අංශු මාත‍්‍රයකින් හෝ වැඩි කරන්නට පියවර ගෙන ඇති බවක් දකින්නට නැහැ. ඒ වෙනුවට, රජයේ සේවයේ අකාර්යක්ෂමතාව පෞද්ගලික අංශය දිරිගැන්වීම සඳහා ප‍්‍රවර්ධනය කරන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. එහෙත් එය කරන්නේ බදු ගෙවන ව්‍යවසායක හා වැඩ කරන ජනතාව බරපතළ අසාධාරණයකට ලක් කරමිනුයි.

රාජ්‍ය අකාර්යක්ෂමතාව එහෙම ම තිබියදී දැන් රාජ්‍ය සේවය තවත් පුළුල් කිරීමට කටයුතු කරමින් සිටිනවා. පළාත් පාලන මන්ත‍්‍රීධුර සංඛ්‍යාව 3000කින් පමණ වැඩි වීමත් මහජන මුදල් නාස්තියකට හේතුවක් වන බව දැන් දැන් පෙනෙන්නට තිබෙනවා. එයට මූලික හේතුව වන්නේ ඡුන්දයට සෑම දේශපාලන පක්ෂයකින් ම වගේ ඉදිරිපත් වී තිබෙන්නේ නායකත්ව පෞරුෂයන් අතින් හීන, නිර්මාණශීලිත්වයක් හෝ දැක්මක් හෝ නැති බහුතරයක් වීමයි. මේ අතරතුර විනිශ්චයකාරවරුන්ට දැවැන්ත වැටුප් වැඩි කිරීමක් ද යෝජනා වී තිබෙනවා. ඒ සා විශාල වැටුප් වැඩිවීමක් සිදු කළ නොහැකි බව මුදල් ඇමතිවරයා ම පවසනවා.

 මෙම වැටුප් වැඩි කිරීමේ සත්‍ය අරමුණ විය හැක්කේ එයට මුවා වී පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී හා ඇමතිවරුන්ගේ ද වැටුප් වැඩි කර ගැනීමයි. එහෙත්, වෛද්‍යවරුන් වැනි බලවත් වෘත්තිකයන් ද ඒ හා සමාන්තර වැටුප් වැඩි කිරීම් ඉල්ලීමත් සමග ම සමස්ත රාජ්‍ය සේවය ම යළි වැටුප් අරගලයකට යොමු වෙන්නට ඉඩ තිබෙනවා. එහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ වැඩ කරන ජනතාව මත පැටවෙන බදු බර තවත් ඉහළ යාමයි.

මහජන මුදලින් යැපෙන රජයේ සේවකයන් හා දේශපාලකයන් වැනි ස්ථර සම්බන්ධයෙන් රජය දක්වන මෙම පක්ෂපාතී ස්ථාවරය මගින් මෙම රජයේ සැබෑ මධ්‍යම පංතික පදනම හෙළිදරව් කරනවා. මේ රජය කම්කරු හිතවාදී එකක් නොවන බව කාටත් වැටහෙනවා. එහෙත්, එය ව්‍යවසායක හිතවාදී රජයක් වේයයි බලාපොරොත්තු වූ අය ද වැටුණේ මුලාවකයි. වත්මන් රජය ව්‍යවසායකත්වය පැත්තෙන් කටයුතු කරන වගකීම් විරහිත ස්වභාවයට හොඳම නිදසුන තමයි බැඳුම්කර සිදුවීම.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සුරතල් කරන ලද බව කවුරුත් දන්නා කරුණක්. වත්මන් ආණ්ඩුව විසින් සුරතලයට ඇති කරන ලද ව්‍යාපාරිකයා වුණේ අර්ජුන් ඇලෝසියස්. ලාභ ලැබීම ව්‍යාපාරිකයකුගේ වගකීමක්. ඒ නිසා අර්ජුන් ඇලෝසියස් කල දුටු කල වළ ඉස ගැනීම පුදුමයක් නොවෙයි. එහෙත්, ඇලෝසියස් සිය මුග්ධකම නිසා අමාරුවේ වැටෙනු දුටු දේශපාලකයන් අවසානයේදී කර තිබෙන්නේ කුමක් ද? ඔහු බේරා ගන්නා බව පොරොන්දු වෙමින් ඔහුගෙන් කඩා වඩාගෙන දැන් ඔවුන් ඔහු අතහැර දමා ඇති බව පෙනෙන්නට තිබෙනවා. ව්‍යවසායකයකු ලෙස තමන් හදා වඩා ගත් සුරතලකු පවා මෙසේ අනාථ කර දැමීම දැඩි ලෙස වගකීම් විරහිත ක‍්‍රියාවක්.

වත්මන් රජයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවකු වන එක්සත් ජාතික පක්ෂයේ දැක්ම දැඩි ලෙස ප‍්‍රශ්න කරන සිදුවීමක්, බැඳුම්කර සිද්ධිය. එය සොරකමක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෝ කෙළින් ස්ථාවරයක් එජාපයට ඇති බවක් නොපෙනෙයි. සමස්තයක් ලෙස එම සිද්ධිය විසින් අවසානයේදී සිදු කර තිබෙන්නේ රටේ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය බිඳ දැමීම පමණයි. ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් හෝ මෙහි මූලික ගැටලූව වන බැඳුම්කර වෙළෙඳපොළේ ‘අභ්‍යන්තර වෙළෙඳාම්’ පිළිබඳ සාක්ෂි සොයාගෙන නැතිනම් මේ සියල්ල අවසානයේදී පුස්ස බින්දා වැනි වනු ඇති.

බැඳුම්කර සිදුවීම පිළිබඳ සාධාරණ නඩු විභාගයකින් කිසිවක් සිදු වේ යයි විශ්වාස කළ නොහැකියි. එවැනි සංදර්භයක් තුළ අලූතෙන් නීති හදා හෝ නැති වූ බව කියන ඒ මුදල් ආපසු අය කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරයි ද? ඔහුට ඒ සඳහා හැකියාවක් තිබේ ද? එහි වගකීම භාර ගැනීමට ඔහු සූදානම් ද? එසේම, එකී තක්සේරුව අනුව මුදල් ආපසු අය කර ගත්තත්, සමස්ත ක‍්‍රියාවලිය නිසා ආර්ථිකයට සිදු වූ හානියට එය පිළියමක් ද?

රජයේ ප‍්‍රගති වාර්තාවේ ගැටලූ වැඩි ලකුණු තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් කරන ලද කාර්යයන් සඳහායි. තොරතුරු දැනගැනීමේ පනත ක‍්‍රියාත්මක කිරීම, ස්වාධීන කොමිෂන් යම් දුරකට බලාත්මක කිරීම, පළාත් පාලන ආයතනවල කාන්තාවන්ට 25%ක නියෝජනයක් තහවුරු කිරීම, මැතිවරණ ක‍්‍රම සංශෝධනය සඳහා කටයුතු කිරීම, රජයේ සේවයට ඇඟිලි ගැසීම අවම කිරීම. අධිකරණය සාපේක්ෂව ස්වාධීන කිරීම, මාධ්‍යවලට තර්ජන අවම වීම වැනි කාරණා එහි ඇතුළත්. එහෙත්, මේ කිසිවක් පරිපූර්ණ නැහැ. ආරම්භයක් ලෙස හොඳයි. එහෙත්, තවමත් ඒවායේ සුරක්ෂිතබව ස්ථාපිත වෙලා නැහැ. උදාහරණයක් ලෙස, මාධ්‍ය, අධිකරණය වැනි අංශවල ආණ්ඩුවේ භූමිකාව තවමත් මතභේදාත්මකයි.

මේ සියල්ලට ම වඩා රජය මුහුණ දෙන ලොකුම ගැටලූව වන්නේ ආර්ථිකයේ සැලකිය යුතු ත්වරණයක් හෙවත් ප‍්‍රවේගයේ වැඩි වීමක් දකින්නට නො ලැබීමයි. පළමු වසර තුන තුළ එවැන්නක් දකින්නට නො ලැබීමට හේතුව රාජපක්ෂ පාලන සමය අවසාන භාගයේදී ඇති වූ තත්වයන් ය කියා සැලකිය හැකියි. රාජපක්ෂලා කියන ආකාරයට ම දැන් විවෘත වන්නේ ඔවුන්ගේ කාලයේ මුල පිරූ වැඩ තමයි. එහෙම වැඩ තියෙන්නේ ස්වල්පයක් බව පැහැදිලියි. වත්මන් පාලන කාලය තුළ මුල  පුරන ලද වැඩ ඉදිරි දෙවසර තුළ එළි දැක්විය යුතුයි. ඒ සමග ආර්ථිකයේ හා සමාජ සංවර්ධනයේ ත්වරණය ද වැඩි විය යුතුයි. එහෙම නැතිනම්, පසුගිය කාලයේ කියන ලද දේවල් නිකම් කයිවාරු පමණක් බව තහවුරු වෙනවා.

මේ අතරවාරයේ අමතක කරමින් තිබෙන තවත් වැදගත් සාධකයක් තිබෙනවා. ඒ තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය. සුළු ජාතීන් මධ්‍යම ආණ්ඩුව තුළට දිනා ගත යුතුව තිබෙන වටපිටාවක් තුළ, රාජ්‍ය ප‍්‍රතිසංස්කරණ අතපසු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කර දැමීමක්.

වත්මන් රජයට ඇත්තට ම පවතින්නේ රාජපක්ෂවරුන්ගේ පිහිටෙන්. එහි පැවැත්මට අවශ්‍ය බල තුලනය නිර්මාණය කර දෙන්නේ රාජපක්ෂ බලවේගයයි. එහෙත්, රාාජපක්ෂ භීතිකාව මත ම පදනම් වී පැවැත්ම තහවුරු කර ගන්නට වත්මන් පාලනයට දිගු කලක් බැරිවේවි. ඉතා ඉක්මණින් ම එජාපයට හා ශ‍්‍රීලනිපයට වෙන් වන්නට සිදු වනු ඇති. පක්ෂ ඉක්මවා යන සන්ධානයක් පිහිටුවා ගන්නට හැකි වුණත්, එවැන්නකට නායකත්වය දිය හැකි මට්ටමේ නායකයකු නැති වීම එසේ සිදු වීමට හේතුවයි. එහෙත්, එසේ සිදු වන්නේ ප‍්‍රධාන නායකයන් තිදෙනා වන රනිල්, මෛත‍්‍රී හා මහින්ද යන තිදෙනා ම කල් ඉකුත් වන සංදර්භයක් තුළයි. 2020 වන විට නව නායකත්වයක අනිවාර්ය අවශ්‍යතාවක් නිර්මාණය වනු ඇති.