රාවය

රටේ ගමන් මග හා දේශපාලන අනාගතය

රටේ ගමන් මග හා දේශපාලන අනාගතය

රටේ චිත‍්‍රය තිබෙන්නේ හොඳ තත්ත්වයක නොව, නරක තත්ත්වයකය. එහෙත් ඊළඟ ජනාධිපතිවරණය දක්වා දේශපාලන බලයට අදාළව අර්බුද ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත නොව පාර්ලිමේන්තුව ඇතුළතය. ඒ නිසාම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තෘප්තිමත් තත්ත්වයක තබාගැනීම සඳහා ඔවුන්ට උපරිම මට්ටමෙන් වරදාන ලබාදෙන ක‍්‍රමයක් ක‍්‍රියාත්මකවෙමින් තිබෙන බව දැකිය හැකිය.

මන්ත‍්‍රීවරුන්ට වරදාන

යහපාලන ආණ්ඩුව මන්ත‍්‍රීවරුන්ට මසකට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ලබා දුන්නේය. ඒ මාසික දීමනාව ලැබීම සඳහා කාර්යාලයක් ගැනීම අත්‍යවශ්‍යවන්නේ නැත.

මන්ත‍්‍රීවරුන්ට රැස්වීම්වලට සහභාගිත්වය සඳහා ගෙවන දීමනාවද විශාල ප‍්‍රමාණයකින් වැඩි කොට ඒ මගින්ද ලැබෙන ආදායම උපරිම කරගැනීමට හැකිවන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභා ක‍්‍රමයක්ද ඇති කළේය. අලූතෙන් ඇති කරන ලද එම කාරක සභා ක‍්‍රමය පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ තිබෙන ඉඩ මදියැයි තීරණය කිරීම නිසා පාර්ලිමේන්තුව අසල ඇති ගොවිජන සේවා මන්දිරය ඒ සඳහා යොදා ගැනීමට තීරණය විය.

ඒ නිසා එහි තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට ගෙනයෑමට තීරණය කෙරුණු අතර, ඒ සඳහා තෝරාගත් ගොඩනැගිල්ල සඳහා ගෙවන්නට සිදුවූ මාසික කුලිය රුපියල් ලක්ෂ 245කි. ඉන් පෙනෙන්නේ රැස්වීම්වලට සහභාගිත්වය සඳහා මන්ත‍්‍රීවරුන්ට ලැබෙන දීමනාව උපරිම කිරීමේ අරමුණින් ඇති කරන ලද ආංශික අධීක්ෂණ කාරක සභා ක‍්‍රමයට අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් වෙනුවෙන් පමණක් රජයට වසරකට රුපියල් ලක්ෂ 2940ක් හෙවත් රුපියල් මිලියන 294ක වියදමක් දරන්නට සිදුවී තිබෙන බවය. ඉතා වැදගත් දේ කෘෂිකර්ම අමාත්‍යාංශය අලූත් ගොඩනැගිල්ල බදු ගෙන තිබෙන්නේ 2016 අපේ‍්‍රල් මාසයේදී වුවත් තාමත් කෘෂිකර්ම අමාත්‍යාංශය තිබෙන්නේ ගොවිජන සේවා මන්දිරයේය.

අනෙක් අතට අධීක්ෂණ ආංශික කාරක සභා තාමත් රැස්වන්නේ පාර්ලිමේන්තු පරිශ‍්‍රය තුළය. ලංකාවේ දේශපාලන නායකයන් දෙයක් කරන්නට අවශ්‍ය වූ විට එය කරන හිතුවක්කාරී හා විනාශකාරි ආකාරය පිළිබඳව කිසියම් අදහසක් ඒ මගින් ඇති කරගත හැකිය.

යහපාලන ආණ්ඩුව මන්ත‍්‍රීවරුන්ට දෙන තීරු බදු රහිත වාහනය විකුණා ගැනීමෙන් උපයා ගතහැකි ආදායමද දෙගුණ කර තිබෙන්නේ යැයි කිව හැකිය. රාජපක්ෂ ආණ්ඩුව පවා තීරු බදු රහිත බලපත‍්‍ර යටතේ ගෙන්විය හැකි වාහනවල වටිනාකම ඇමරිකන් ඩොලර් 30,000කට සීමා කොට තිබුණි. යහපාලන ආණ්ඩුව එහි උපරිම සීමාව ඩොලර් 65,000 දක්වා ඉහළ දැම්මේය.

මන්ත‍්‍රීවරුන්ට වැටුප් වැඩි කිරීමක්

මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් උපරිම මට්ටමකින් වැඩි කිරීමේ සටකපට වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. සාමාන්‍යයෙන් හැමදාමත් මන්ත‍්‍රීවරුන්ට පඩි වැඩි කරන්නේ විනිශ්චයකාරවරුන්ට පඩි වැඩි කරන ක‍්‍රියාමාර්ගයකට මුවා වෙමිනි. පළමුව පඩි වැඩි කරන්නේ විනිශ්චයකාරවරුන්ටය. ඉන්පසු අසමානතාවක් ඇති බව ප‍්‍රකාශ කරමින් මන්ත‍්‍රීවරුන්ගේද පඩි වැඩි කරගන්නේය. එහෙත් මේ ආකාරයෙන් ඇති කරගන්නා පඩි වැඩි කිරීම් මේ කණ්ඩායම් දෙකට හැර පොදුවේ රජයේ සේවකයන්ට බලපාන්නේ නැත.

විනිසුරුවරුන්ට පඩි වැඩි කර තිබෙන්නේ ඉතාමත් නිර්ලෝභී ආකාරයකටය. මෙම පඩි වැඩි කිරීම කර තිබෙන්නේද උසස් අධිකරණයේ විනිසුරුවරුන්ට නොව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සිට ඉන් පහළටය. පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ පඩි වැඩි කළ විට ඊට ගැළපෙන ලෙස උසස් අධිකරණයේ විනිසුරුවරුන්ගේද පඩි වැඩි කිරීමට සිදුවන්්නේය. ඒ සමග ජනාධිපති, අගමැති, ඇමතිවරුන් හා මන්ත‍්‍රීවරුන්ගේද ඊට ගැළපෙන ලෙස පඩිද වැඩිවනු ඇත්තේය.

දේශපාලනතන්ත‍්‍රය තමන් අත තිබෙන හැන්දෙන් ඔවුන්ට බෙදා ගැනීම ගැන මහජනයා ඔවුන් සමග උරණ නොවිය යුතුය. එය ඔවුන් තමන්ට කරගන්නා ලද බෙදා ගැනීම නොව එය යුක්තිය පසිඳලන විනිශ්චයකාරවරුන් කෙරෙහි ඇති කරගත් අනුකම්පාවෙන් යුතුව කරන ලද දෙයක් ලෙස සැලකිය යුතුය. විනිශ්චයකාරවරුන්ගේ පඩි වැඩි කළ විට ඔවුන් හා දේශපාලනතන්ත‍්‍රය අතර ලොකු පරතරයක් තිබීම රටේ යහපතට හේතු නොවන නිසා අකමැත්තෙන් වුවත් දේශපාලන තන්ත‍්‍රයටද වැටුප් වැඩි කර ගන්නට සිදුවන්නේය. ඒ සමග දේශපාලනතන්ත‍්‍රයේ දුෂණය හා අකාර්යක්ෂමතාව නැතිවී ඔවුන් අතින් ඉක්මනින් රට සුරපුරක් බවට පත්වනු ඇතැයි අප විශ්වාස කළ යුතුයි. එහෙත් මහජනයා සියලූ දුක් ඉවසා දරාගත යුතුය.

පහළ අධිකරණයේ විනිසුරුවරුන්ට කර තිබෙන පඩි වැඩි කිරීම අනුව දේශපාලනතන්ත‍්‍රයේ පඩි වැඩිවනු ඇති ආකාරය තේරුම් ගත හැකිය. මහාධිකරණයේ විනිසුරුවරයෙකුට දීමනා සහිතව දැනට ලැබෙන දළ මාසික වැටුප රුපියල් 168894කි. එය රුපියල් 304200 දක්වා ඉහළ යාමට නියමිතය. විශේෂ ශ්‍රේණියේ දිසා විනිසුරුවරයෙකුට දීමනා සහිතව දැනට ලැබෙන මාසික වැටුප රුපියල් 151424කි. එය රුපියල් 269300 දක්වා ඉහළ යයි. 1 වැනි ශ්‍රේණියේ දිසා විනිසුරුවරයෙකුට දීමනා සහිතව දැනට ලැබෙන මාසික වැටුප රුපියල් 143,300කි. එය රුපියල් 244300 දක්වා ඉහළ යයි. මහේස්ත‍්‍රාත්වරයෙකුට දීමනා සහිතව දැනට ලැබෙන මාසික වැටුප රුපියල් 120547කි. එය රුපියල් 206,800 දක්වා ඉහළ යයි.

නීතිපතිට දීමනා සහිතව ලැබෙන මාසික වැටුප රුපියල් 201890කි. එය රුපියල් 332800 දක්වා ඉහළ යයි. සොලිසිටර් ජනරාල්වරයාට දීමනා සහිතව ලැබෙන මාසික වැටුප රුපියල් 177125කි. එය රුපියල් 290800 දක්වා ඉහළ යයි.

දේවල් සිදුවන විකාරරූපී ස්වභාවය

විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවන ප‍්‍රමාණයට අනුරූපීව ජනාධිපතිවරයාගේද, අගමැතිගේද, කැබිනට් ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ හා මන්ත‍්‍රීවරුන්ගේද වැටුප් වැඩිවනු ඇත. එවිට ජනාධිපතිවරයාගේ වැටුප 3,50,000ක් හෝ 3,60,000ක් වන තරමටද අගමැතිගේ හා කැබිනට් ඇමතිවරුන්ගේ වැටුප 332,800ක් වන තරමටද, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ වැටුප රුපියල් 300,000ක් තරම් වන ප‍්‍රමාණයකටද මන්ත‍්‍රීවරුන්ගේ වැටුප රුපියල් 269,000ක් තරම් වන ප‍්‍රමාණයකටද වැඩිවනු ඇත.

යහපාලන ආණ්ඩු මීට පෙර පැවති ආණ්ඩු මෙන් නොව වැඩ කරන්නේ ඉතාමත් ක‍්‍රමානුකූලවය. ප‍්‍රශ්න විසඳන්නේද ක‍්‍රමානුකූලවය. මුලින්ම අධිකරණයේ ප‍්‍රශ්න විසඳුවේය. මින්පසු අපට අධිකරණයේ දුෂණය ගැන, අකාර්යක්ෂමතා ගැන අසන්නට සිදු නොවනු ඇත. එය ප‍්‍රමාද දෝෂවලින් තොරව නීතියට අනුකූලව යුක්තිය ඉටුකරන ආයතන ක‍්‍රමයක් ලෙස ක‍්‍රියා කරනු ඇත. දෙවැනියට අත ගැසුවේ තමන්ගේ ක්ෂේත‍්‍රය ලෙස සැලකිය හැකි දේශපාලනතන්ත‍්‍රයේ ප‍්‍රශ්න විසඳීමටය.

දැන් දේශපාලනතන්ත‍්‍රයට ලොකු වැටුප් ලැබෙන නිසා පොදු දේපළ කොල්ලකෑම් සිදුනොවනු ඇත. දුෂණ ක‍්‍රියා ගැනද අසන්නට නොලැබෙනු ඇත. ඔවුන් තමන්ගේ සම්පූර්ණ කාලය රට ගොඩනැගීම සඳහා ඵලදායී ලෙසත්, කාර්යක්ෂම ලෙසත් යොදනු ඇත. මෙම විපර්යාසයන් සමඟ ඔවුහු රට ඇද වැටී තිබෙන කාලකණ්ණි තත්ත්වයෙන් ගොඩගෙන රට සුරපුරක් බවට පත් කරනු ඇත. ඒ දේ කරන තෙක් මහජනයා සියලූ දුක් දරාගත යුතුය.

රටේ දේවල් සිදුවන විකාරරූපී ස්වරූපය අනුව බලන විට ඒවා විග‍්‍රහ කළ යුතුව තිබෙන්නේද උත්ප‍්‍රාසය දනවන ආකාරයටය. ජනාධිපතිවරයාට තම නිල කාලය අවුරුද්දකින් අඩුකර ගැනීම ගැන ලොකු දුකක් ඇතිවී තිබේ. නැවත 5 -6  කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අයදුම්පතක්ද ඉදිරිපත් කර තිබේ. ඒ නඩු විභාගය ඓතිහාසික නඩු විභාගයක් වීමට නියමිතය.

රෝමය හා ප‍්‍රංශයේ රාජ්‍ය ආණ්ඩු ක‍්‍රමය බිඳ වැටෙන්නට පෙරද ඒ රටවල් දෙකේ බොහෝ දේවල් සිදුවූයේ විකාරරූපී ආකාරයකටය. ප‍්‍රංශයේ මහජනයා පාන් ඉල්ලා සිටි විට මාරි ඇන්තනි රැුජින පාන් නැතිනම් කේක් කන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ලංකාවේ දේවල් සිදුවෙමින් තිබෙන්නේද ඒ සමාන ආකාරයකටය.

රට තිබෙන්නේ හැම වසරකම විදේශ රටකට හෝ විදේශ සමාගමකට ලොකු දේපළක් විකිණීමෙන් තොරව විදේශ ණය වාරික හා පොලිය ගෙවිය නොහැකි බංකොළොත් තත්ත්වයකය. කෘෂිකර්මයෙන් යැපෙන ගොවි ජනයා ඉන්නේ මීට පෙර කවරදාවත් නොවූ තරම් අසරණ තත්ත්වයකය.

වියළි කලාපයේ පිට පිට කන්න තුනක් කුඹුරු ගොවිතැන් කළ ගොවීන් මේ කන්නයේදී කුඹුරු වගා කර ඇතත්, දැන් ඔවුන්ට අවශ්‍ය පොහොර නැත. වන සතුන්ගේ ගහණයේ ඇතිවී තිබෙන වේගවත් වර්ධනය ගොවීන්ට ගොවිතැන් කිරීමට තිබෙන හැකියාවද විශාල ප‍්‍රමාණයකට අහිමි කර තිබෙන්නේය. ජනාධිපතිවරයාම කියා තිබෙන ආකාරයට මේ වන සතුන්  කෘෂිකර්මයට කරන හානිය සියයට තිස් තුනක් තරම් විශාලය. ජනාධිපතිගේ සංඛ්‍යාවන්ට අනුව රටේ රිලව් හා වඳුරු ගහණය මිලියනයකටත් වඩා වැඩිය. වන සතුන් කෘෂිකර්මයට කරන හානිය ගැන කතා කරනවා විනා ඒ ප‍්‍රශ්නයට ආණ්ඩුවට විසඳුමක් තිබෙන බව පෙනෙන්නට නැත.

කිරි ගොවීන් ඉන්නේ තමන් නිපදවන කිරි ටික විකුණාගත නොහැකි අසරණ තත්ත්වයකය. කිරිවලින් නිපදවන බොහෝ දෑ දැන් නිපදවන්නේ අමු කිරිවලින් නොව, ආනයනය කරන කිරිපිටිවලිනි. ලංකාවේ නිපදවන ලද බොහෝ දේ දැන් පිටරටවලින් ආනයනය කෙරේ. රට සංවර්ධනය කිරීමේ නාමයෙන් ආරම්භ කොට පවත්වාගෙන යන සංවර්ධන ව්‍යාපාර ඇති කරමින් තිබෙන විනාශයේ තරම උමා ඔය ව්‍යාපාරය ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය. ඉතාමත් ලස්සන හා සශ‍්‍රීක තත්ත්වයක තිබූ මුළු බණ්ඩාරවෙල ප‍්‍රදේශයම අවලස්සණ හා කාලකණ්ණි තත්ත්වයකට පත්කිරීමට එම ව්‍යාපෘතිය හේතුවී තිබේ.

රටේ වැලි ඇති ප‍්‍රදේශවල මහා පරිමාණයෙන් සිදුවන වැලි ගොඩ දැමීමේ ජාවාරම දැනටමත් ඇති කර තිබෙන පාරිසරික විනාශය අතිවිශාල බව රට ගැන කැක්කුමක් ඇති සමහර භූ විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. වැලි ගොඩ දැමීමේදී ගඟ පතුළ හෑරීම නිසා භූගත ජල මට්ටම ශීඝ‍්‍ර ලෙස පහත යෑම වැලි ගොඩ දමන හැම ප‍්‍රදේශයකම පාහේ දක්නට තිබෙන සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්වී තිබේ. ගංගාවල පමණක් නොව ගංගා අවට මීටර් 40ක් බර යන්ත‍්‍ර යොදා ගෙන ලොකු ගැඹුරු වළවල් කපා වැලි ගොඩ දැමීම නිසා අවට උස් බිම්වල ජලය එම වළවල් වෙත ගලා ඒම නිසා අවට ප‍්‍රදේශවල වගා බිම් වියළී  යන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.

විවිධ ව්‍යාපෘති සඳහා පස් ලබාගැනීමේ අරමුණින් මහා පරිමාණයෙන් කඳු කැපීමේ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක වේ. ලංකාව අධිවේග මාර්ග තනන්නේද උඩින් නොව කෘත‍්‍රිම ලෙස තනන ලද මහා පස් කඳු මතය. ඒවා පරිසරය කෙරෙහි පමණක් නොව දෙපැත්තේ තිබෙන වගා බිම් කෙරෙහිද ඇති කරන බලපෑම විනාශකාරී වන බව අමුතුවෙන් කිව යුතු නැත.

රටේ හැම දෙයක්ම සිදුවෙමින් තිබෙන්නේ අනාගත පැවැත්ම නොසලකා ඒ වෙලේ ලැබෙන වාසි බලාගෙනය. ලංකාව බොහෝ කල් යන්නට මත්තෙන් වත්ත බද්දට දී ඇස්සට දත නියවන වර්ගයේ කාලකණ්ණි රටක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.

බැඳුම්කර මගඩිය  

මහ බැංකුවේ බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට පත් කළ කොමිෂන් සභාව සිය වාර්තාව ලියා අවසන් කොට ජනාධිපතිවරයාට භාරදීම හා ජනාධිපතිවරයා එම වාර්තාව ආශ‍්‍රයෙන් ජාතිය අමතා කරන කතාවක් මගින් කරුණු පැහැදිලි කිරීම යන කාරණා දේශපාලන තලය උණුසුම් කිරීමට හේතුවී තිබෙන්නේ යැයි කිව හැකිය. ජනාධිපතිගේ එම ක‍්‍රියාව දේශපාලනිකය. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී කරන එම ක‍්‍රියාව මගින් ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නට ඇත්තේ අගමැතිවරයාට හා එජාපයට තිබෙන පිළිගැනීම දුර්වල කොට තමන්ගේ ප‍්‍රතිරූපය ඉහළ නංවා ගැනීම වන බවට සැකයක් තිබිය නොහැකිය.

ජනාධිපතිවරයාගේ එම ක‍්‍රියාව දේශපාලන අර්ථයෙන් ඉතා අහිංසක නොවුණද ජනාධිපතිවරයා මහජනයා ඉදිරියේ පුපුරවනු ලැබුවේ සත්‍ය පදනමක් ඇති බෝම්බයක් මිස සත්‍ය පදනමක් නැති බොරු බෝම්බයක් නොවේ. එය කාලයක් තිස්සේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර අදෘශ්‍යමාන ආකාරයකින් පැවති සීතල යුද්ධය ප‍්‍රසිද්ධ කරළියේ පුපුරා ගිය අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය. තමාගේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රතිවාදියෙකු බවට පත්ව සිටින අගමැති රනිල් වික‍්‍රමසිංහට උපරිම මට්ටමෙන් හානියක් කොට ජනාධිපතිවරයා වශයෙන් තමන්ගේ ප‍්‍රතිරූපය උපරිම මට්ටමින් ශක්තිමත් කරගැනීම ජනාධිපතිවරයාගේ එම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වූ බවට සැකයක් තිබිය නොහැකිය.

නිසැක වශයෙන් ජනාධිපතිවරයාගේ එම බෝම්බය අගමැතිවරයාට හා එක්සත් ජාතික පක්ෂයට ලොකු දේශපාලන හානියක් ඇති කළේය. එහෙත් ඒ බෝම්බයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ හෝ එජාපය මුළුමනින් නැතිභංග කිරීමට හැකිවූයේ නැත. එහෙත් අගමැති රනිල් වික‍්‍රමසිංහ සේ ම එජාපයද දැන් ඉන්නේ ආත්මාරක්ෂාව සඳහා සටන් කරන තත්ත්වයකය. එහෙත් කොයි මොහොතක හෝ ජනාධිපතිවරයාට පහර දෙන්නට ලැබෙන අවස්ථාවකදී අගමැතිවරයා ඒ අවස්ථාව උපරිම ලෙස ප‍්‍රයෝජනයට ගනු ඇතැයි සිතිය හැකිය.

එහෙත් මේ ආරාවුලේදී අගමැතිවරයා නිර්දෝෂී පුද්ගලයෙක් ලෙස සැලකිය නොහැකිය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපති ධුරයට ගෙනාවේ අගමැතිය. මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව අගමැති යටතට ගැනීමක්ද සිදුවිය. පළමු බැඳුම්කර සිද්ධියේදී චෝදනා එල්ල වන්නට වූ විට අගමැතිවරයා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළද එම කමිටුව එවැනි වංචා චෝදනාවක් ගැන සොයා බලන්නට සුදුසුකම් තිබූ අපක්ෂපාත කමිටුවක් ලෙස සැලකිය නොහැකිය. මේ අතර අර්ජුන් මහේන්ද්‍රන් බැංකු අධිපති තනතුරෙන් ඉවත් කළ යුතු බවට මන්ත‍්‍රීවරුන් 80ක් පමණ අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක්ද ඉදිරිපත් විය. ත‍්‍රිපුද්ගල වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළමුත් බැඳුම්කර නිකුත් කිරීමේදී අක‍්‍රමිකතාවක් සිදුවී ඇත්නම් එය සොයා බැලීම සඳහා ඩිව් ගුණසේකරගේ ප‍්‍රධානත්වයෙන් සාමාජිකයන් 13 දෙනකුගෙන් සමන්විත කෝප් කාරක සභාවක් එවකට සිටි කතානායකවරයා විසින් පත් කරන ලදි. බරපතළම චෝදනා ඉදිරිපත්ව තිබියදීත් අර්ජුන් මහේන්ද්‍රන් තනතුරෙන් ඉවත් කිරීමක් සිදු නොවීය.

කෝප් කමිටුවේ පරීක්ෂණ වාර්තාව සභාගත කළ නොහැකි වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසාය. එම කමිටු වාර්තාව ප‍්‍රසිද්ධ කිරීම වළකන වාරණ නියෝගයක් ඉල්ලා එජාප මන්ත‍්‍රීවරයෙකු අධිකරණය ඉදිරියටද ගියේය.

පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයට පැහැදිලි ජයග‍්‍රහණයක් අත්පත් කරගත නොහැකි වූයේද බැඳුම්කර ප‍්‍රශ්නය නිසාය. ඒ නිසා අඩුම වශයෙන් ආසන 10-15ත් අතර ගණන් අඩුවන්නට ඇති බව සමහර විචාරකයන්ගේ මතය වී තිබේ.

පළමු බැඳුම්කර වංචාව පිළිබඳව ලොකු ආන්දෝලනයක් රටේ ඇතිව තිබියදීත් දෙවැනි වංචාවක්ද සිදුවිය. වංචාකරුවන්ට කැමති දෙයක් කරන්නට ඉඩදෙන ලිහිල් පාලනයක් එහි පැවති බව පැහැදිලිව පෙනේ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පත්කරන ලද සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් පැවති කෝප් කාරක සභාවද බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණයක් කළේය. පරීක්ෂණය ගමන් ගන්නා දිසාව කෝප් කමිටුව නියෝජනය කළ එජාප මන්ත‍්‍රීවරුන්ගේ සතුටට හේතු නොවූ අතර ඔවුන් පරීක්ෂණ වාර්තාවේ නිරීක්ෂණ දුර්වල කිරීමට හේතුවන ආකාරයට වාර්තාවට පාද සටහන් යෙදු බවට චෝදනා එල්ල විය. බැඳුම්කර වෙන්දේසිවලදී කිසිදු වංචාවක් සිදු නොවූ බව සනාථ කරන පොතක් ලියා පළකරන ලද්දේද එජාප මන්ත‍්‍රීවරයෙකු විසිනි.

කොළේ ඉරා ගැනීම

බරපතළ වංචාවක් සිදුවී ඇති බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු සොයා බලා වාර්තා කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මනා ලෙස තහවුරු කර තිබේ. පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනුවලින් උපයා තිබෙන ලාභය රුපියල් මිලියන 13145කි. අර්ථ සාධක අරමුදලට, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට හා ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට සිදුකර තිබෙන අලාභය රුපියල් මිලියන  8529කි. රජයට සිදුකර තිබෙන අලාභය රුපියල් මිලියන 11145කි.

අපේ කාලයේ මහ බැංකුවේ සිදුවී ඇත්තේ බිලියන 10ක වංචාවක් බවත්. රාජපක්ෂ කාලයේ එහි සිදුවී තිබෙන වංචාවල අගය රුපියල් බිලියන 10000ක් තරම් වන බවත් අගමැතිවරයා ප‍්‍රකාශ කරන ලද බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. එහි ඇත්තක් තිබෙනවා විය හැකිය. එහෙත් තවමත් එය පරීක්ෂණයකින් ඔප්පු කර නැත. එහෙත් මේ සිද්ධිය පරීක්ෂණයකින් ඔප්පු වී තිබෙන්නකි. ප‍්‍රමාණය වැදගත් වුවත් දේවල් ප‍්‍රමාණයෙන් පමණක් මැනිය නොහැකිය. වරදක් සිදුවූ විට ඒ වරද නොපිළිගැනීමද වරදකි.

බැඳුම්කර සිද්ධිය ආශ‍්‍රයෙන් උගත හැකි වැදගත් පාඩම් කිහිපයක් තිබෙන්නේය. මහ බැංකුව රටේ බැංකු කටයුතු පාලනය කරන ප‍්‍රධාන ආයතනය ලෙස සැලකිය හැකිය. එය කුණුවී තිබෙන තරම මෙම බැඳුම්කර සිද්ධිය ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය. ඒ සමඟ රටේ දේශපාලන පක්ෂ කුණුවී තිබෙන තරමද ඒ ආශ‍්‍රයෙන් තේරුම් ගත හැකිය.

එජාපයේ නායකයන් මෙවැනි වරදක් කරන්නට පෙළඹුණේ ඇයිද කියා තේරුම් ගැනීමද වැදගත්ය. ඒ ගැන දැනට කිවහැක්කේ අනුමාන වශයෙන් පමණය. ඒ ගැන කෙරෙන විවිධ අර්ථකථන මා අසා තිබෙන අතර මට අසන්නට ලැබී තිබෙන මාගේද විශ්වාසයට හේතුවූ අර්ථකථනයක් මෙසේය.

පසුගිය ජනාධිපතිවරණයේ සම්පූර්ණ මූල්‍ය බර දරන්නට සිදුවූයේ එජාපයටය. ඒ අර්ථයෙන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට ගෙන ඒමට ඒ සඳහා යන සියලූ බර පැන දරන්නට සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයටය. ජනාධිපති සටනට දායක වූ වෙනත් පක්ෂවලට අවශ්‍ය වියදම්ද දෙන්නට සිදුවූයේ එජාපයටය. ජනාධිපතිවරණය අවසන් වන විට එම පක්ෂයට නොපියවූ ලොකු ණය බරක් තිබුණා විය යුතුය. රටේ පළමු පෙළේ ධනවතුන් ඒ වනවිට කල්ලි ගැසී සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග වන නිසා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අමාරුකමක්ද තිබුණා විය හැකිය. ඒ සමග ඉදිරි පාර්ලිමේන්තුව මැතිවරණයකටද මුහුණ දෙන්නට සිදුවන බව එම පක්ෂය දැන සිටියේය. මහ බැංකුවට හිතවත්, අධිපතිවරයකු පත් කොට පක්ෂයට තිබෙන මුදල්, ප‍්‍රශ්නය මහ බැංකුවෙන් බේරා ගැනීම, එම පක්ෂය මුහුණ දී තිබූ මුදල් ප‍්‍රශ්නය විසඳා ගැනීමට තිබෙන හොඳම මාර්ගය ලෙස සිතුවා විය යුතුය. එය කිසිවෙකුට නොපෙනෙන ලෙස සාර්ථක ලෙස කරගැනීමට හැකිවේ යැයි කල්පනා කළාද විය යුතුය. ඒ දේ රාජපක්ෂ පාලන කාලයේද සිදුවූ බව එජාප නායකයන් හොඳින් දැන සිටියාද විය යුතුය.

එහෙත් අපේක්ෂා කළ ආකාරයට වැඬේ සිදුවූයේ නැත. වැඬේ ගැස්සුණේය. එහෙත් එහිදී මහ බැංකු අධිපතිවරයා හෝ වැඬේ කළ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බිලිදී පක්ෂයේ හොඳ නම ආරක්ෂා කරගැනීමේ හැකියාවක්ද නොතිබුණි. ඒ නිසා වැඬේ පත්තු වූ පසුත් මහ බැංකු අධිපතිවරයා හා ඔහුගේ බෑනාගේ සමාගම ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක‍්‍රියා කරන්නට එම පක්ෂ නායකයන්ට සිදුවිය.

ඇත්තටම සිදුවූයේ එය නම් ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණයට සම්බන්ධ සියලූදෙනා දැන හෝ නොදැන බැඳුම්කර මගඩියේ ඵල ප‍්‍රයෝජන ලැබූ පුද්ගලයන් බවට පත්වන්නේය. මක්නිසාදයත් ලැබූ ජයග‍්‍රහණයේ වියදම් පියවා තිබෙනුයේ මහ බැංකුවෙන් අයථා ලෙස ලබාගත් අරමුදල්වලින් නිසාය. රටේ දේවල් සිදුවෙමින් පවතින විකාරරූපී ස්වභාවයද ඒ ආශ‍්‍රයෙන් හොඳින් තේරුම් ගත හැකිය.

ගල උඩ සටන

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන සියලූ දේශපාලන පක්ෂවලට කරන්නට සිදුවී තිබෙන ගල උඩ සටනක් ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම හොඳ ප‍්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් ජනාධිපතිවරයාට මැතිවරණයෙන් පසු කාලය ලොකු අර්බුදවලට මුහුණ දෙන්නට සිදුවන දුක් කරදරවලින් පිරුණු කාලයක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. එසේ වුවහොත් ජනාධිපතිවරයා සමග සිටින බොහෝ අය එක්සත් ජාතික පක්ෂයට හෝ මහින්ද රාජපක්ෂ පිලට එකතු වන තත්ත්වයක් ඇතිවනු නොවැළැක්විය හැකිය. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල කප්පාදු කර තිබෙන නිසාම ජනාධිපතිවරයාට පියාඹන්නට සිදුවනු ඇත්තේද තටු කපා දමන ලද කුරුල්ලෙකුට පියාඹන්නට සිදුවන ආකාරයටය.

එක්සත් ජාතික පක්ෂය හොඳ ප‍්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට එකතුවීම තුළ එම පක්ෂයද ගොඩ ඒමට බැරි මහා අගාධයකට තල්ලූ වී යනු නොවැළැක්විය හැකිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින තත්ත්වයද ඊට වෙනස් නැත. හොඳ ප‍්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් ඔහුගේ කණ්ඩායමේ දේශපාලන පැවැත්මද අවසානයක් කරා යෑම නොවැළැක්විය හැකිය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අන් සියලූ පුංචි පක්ෂ සිටින්නේද තීරණාත්මක තත්ත්වයකය. හොඳ ප‍්‍රතිඵලයක් පෙන්නුම් කිරීමට ඔවුන් අසමත් වෙතොත් එය ඔවුන්ගේ ගමනක අවසානය බවට පත්විය හැකිය.

මේ සටනින් කවුරු දිනුවද ඡුන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය අසාමාන්‍ය තරමකට පහළ වැටුණහොත් එය ලංකාවේ සියලූ දේශපාලන පක්ෂවල ඓතිහාසික අවසානය සනිටුහන් කරන මැතිවරණයක් බවට පත්වනු ඇත. පොදුවේ බලන විට ජනතාව සිිටිනුයේ තෘප්තිමත් තත්ත්වයක නොව, අතෘප්තිමත් තත්ත්වයකය. ජනතාව අතර දේශපාලන පක්ෂ පිළිබඳව තිබෙන්නේ ප‍්‍රසාදයක් නොව වර්ධනය වන අප‍්‍රසාදයකි.

තේරී පත්වන නියෝජිතයන්ගේ සංඛ්‍යාව දෙගුණ කෙරෙන ආකාරයට සිදුකර තිබෙන ඡන්ද ක‍්‍රමයේ වෙනස දැනුම් තේරුම් ඇති ජනතාව දකින්නේ සියලූ දේශපාලන පක්ෂ එකට එකතු වී ජනතාවට කරන ලද මහා වංචාවක් ලෙසය. කිසිවෙකුටත් ඡුන්දය පාවිච්චි නොකොට ඡුන්ද පොළට ගොස් ඡන්දය කටුගෑ යුතු යැයි කල්පනා කරන විවිධ මහජන ප‍්‍රවණතා දැනටමත් ගොඩ නැගී තිබෙන බව පෙනෙන්නට තිබේ. ඒ නැඹුරුව විශාල වී සියලූ දේශපාලන පක්ෂවලට විරෝධය පළකිරීම සඳහා ඡුන්දය කටුගාන ප‍්‍රවණතාවයේ වේගවත් වර්ධනයක් ඇති වුවහොත් එය රටේ ගොඩනැගෙන අලූත් මහජන දේශපාලන පෙළගැස්මක් බවට පත්විය හැකිය. එසේ වුවහොත් එය ඊළඟ ජනාධිපතිවරණයට බලපෑ හැකිය. ඊළඟ ඡුනාධිපතිවරණයේදී ඡුන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය සියයට 50කට වඩා අඩුවුවහොත් එය රටේ ලොකු දේශපාලන අර්බුදයක් ඇති කිරීමට හේතුවනු ඇතිවා සේ ම රටේ දේශපාලන ගමන් මග මුළුමනින් වෙනස් කිරීමට හේතුවන තත්ත්වයක් ඇති කිරීමටද හේතුවිය හැකිය.