රාවය

ඞීකේපී, ඇප ලැබුණත් මේවා අපරාධ

ඞීකේපී,  ඇප ලැබුණත් මේවා අපරාධ

පසුගිය ජනවාරි 9 වැනිදා කොමදෝරු ඞී.කේ.පී. දසනායක ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවන් හය දෙනාට ඇප ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදියා ඉදිරිපත් කළ කරුණු දැක්වීම් ප‍්‍රතික්ෂේප කරමින්ය.

එහිදී මෙම පරීක්ෂණය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපතිවරයා වන නිශාන්ත සිල්වා මහතාට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවිය හැකි බැවින් අදාළ සැකකරුවන්ට ඇප ලබා නොදෙන්නැයි නීතිපති පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් වී ඇත. එහිදී පරීක්ෂණවල ප‍්‍රගතිය මෙන්ම එහි ඉදිරි කටයුතු පිළිබදවද අධිකරණය දැනුවත් කර ඇත. එහෙත් අධිකරණය එම කරුණු සියල්ල ඉවත දමමින් ඇප ලබා දෙන්නේ විදේශ ගමන් තහනමක් හෝ නොපනවමින් ය.

 රවිරාජ් ඝාතනයට අදාළ නඩු විභාගය අවසන් වූ සැණින් එහි ප‍්‍රධාන සැකකරුවෙකු වන හෙට්ටිආරච්චි නමැත්තාට දැන් සිදුවූ දෙයක් නැත. ඔහු මේ සිද්ධියේද ප‍්‍රධාන සැකකරුවෙක් ය. ඔහු රටින් පැන ගොස් ඇති බව පරීක්ෂණ කරන නිලධාරීන්ගේ අදහසයි. ඔවුන් කියන්නේ මේ ඇප තීන්දුවත් සමග මේ සැකකරුවන්ද රටින් පැන යාමේ අවදානමක් ඇති බවය.

මේ සිදුවීම් මෙලෙස සිදුවෙන විට ජනපතිවරයා අනුරාධපුරේ ජනරැලියක් අමතමින් උජාරුවෙන් කියන්නේ රණවිරුවන් බේරා ගත්තේද බේරා ගන්නේද තමන් බවයි. කෙසේ හෝ දැන් මංජරීට යුක්තිය ඉටුවී ඇත. දැන් ඇයට අධිකරණ භූමියේදී රණවිරුවන් ලෙසින් සිටි ඝාතකයන්ට සුදුහුණු තැවරිය හැකිය. එහෙත් අපට කිව හැක්කේ කවදා හෝ ඇය පවසන සත්‍යය යටපත්වී අප පවසන සත්‍යයට තැනක් ලැබෙන බවය.

අපි ගියවර දික්ඇල්ලේ ශාන්තගේ කතාව ඔබට කීවෙමු.

මෙවර ඔබ හමුවට එන්නේ නාවික හමුදාවේ භාරයට පත්වී ඔවුන්ගේ වදහිංසනයට ලක්වී ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ ගන්සයිඞ් නම් භූගත කොටසේ සිට ඉන්පසුව අතුරුදන් වී හෝ ඝාතනයට ලක්වී සිටින දංකොටුවේ ප‍්‍රගීත් නිසංසලය. ඔහු මුලින්ම දංකොටුව ප‍්‍රදේශයේ ද, අතුරුදන් වන 2010 වනවිට කුරුණෑගල ඉබ්බාගමුව ප‍්‍රදේශයේ ද පදිංචිව සිට ඇත. මේ ප‍්‍රදේශ දෙකෙහිම ඔහුට පවුල් දෙකක් සිටින අතර ඒ පවුල් දෙකට අදාළව පාසල් යන වයසේ දරුවෝ තුන් දෙනෙක් සිටිති. අද ඒ දරුවන්ද බිරින්දෑවරුන්ද සහෝදර සහෝදරියන්ද සිටින්නේ හැඩූ කදුලින්ය.

ඞීකේපීගේ දියණියට මෙන් ඔවුන්ට උසාවි ගානේ රස්තියාදුවී වොයිස් කට් දෙන්නට වත්කමක් නැත. එනිසා අපි ඔවුන්ගේ හඩ අකුරු කරන්නට කුරුණෑගලට ද දංකොටුවටද ගියෙමු. අත්අඩංගුවට පත්වූ දා සිට නොයෙකුත් සටකපටකම් මතින් රෝහලේ, රෝද පුටුවේ සිට ඇප ලබාගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞීකේපී දසනායකට සහ ඔහුගේ පිරිවරට, මුලින්ම කියන්න වෙන්නේ මේ අප කියන ප‍්‍රගීත් නිසංසල මතකදැයි බලන්න කියා ය.

මල්ලි වඩු වැඩ කළේ

මුලින්ම උළු ගඩොල් දංකොටුවට යමු. හැම තැනකම උළු මෝල් සහ ගඩොල් පෝරණුය. ඒවායේ මිනිසුන් කඩියන් මෙන් යුහුසුළුය. ඒ දැන් උළු ගඩොල්වලට හොද මිලක් ඇති නිසාය. අපිත් යුහුසුළුව ප‍්‍රගීත් නිසංසල විතාන ආරච්චිගේ නිවස සොයමු. ඔහුගේ පළමු බිරිද ගයානි දීපාංජලීය. ඇයට ඔහුගෙන් දරුවන් දෙදෙනෙකි. ඒ දුවක සහ පුතෙකු ලෙසය. ඔවුන් පාසල් යන වයසේය. ඔහුගේ දෙවැනි බිරිද කුරුණෑගල දේවවරම ඉබ්බාගමුවේ පදිංචි පට්ටි විදානේලගේ මනෝජා නිරෝෂිනීය. ඇයට ඔහුගෙන් එක් දරුවෙක් සිටියි. ඒ පුතෙක්ය. ඒ කුඩා දරුවාද මේ වනවිට පාසල් යන වයසේය.

ප‍්‍රගීත් පිළිබ`දව කතාබහට මුලින්ම එකතු වුණේ ඔහුගේ අයියා වන සිසිර ජයකොඩිය.

‘මල්ලී ඉස්කෝලෙන් අයින්වුණාට පස්සේ වඩුවැඩ තමයි කළේ. ඔය කුරුණෑගල ඉබ්බාගමුවේ ඉන්නකොට ජපානේ ඉන්න මහත්තයෙක්ගේ ගෙදරක වහලයක් ගහන්න කොන්ත‍්‍රාත් අරගෙන තිබුණා. අපේ පුතා තමයි මල්ලිගේ ප‍්‍රධාන ගෝලයා. වහලේ වැඩ ඉවරකළාට පස්සේ අපේ පුතා තව තුන්දෙනෙක් එක්ක ගිහිං මේ ගෙදර තිබුණු මොනවා හරි හොරකම් කරලා තියෙනවා. මල්ලී මේකට සම්බන්ධ නැහැ. ඊට පස්සේ ගොකරැල්ල පොලීසිය අපේ පුතා හොයාගෙන ගෙදරට ආවා. කොහොම හරි අන්තිමට පොලීසිය මල්ලිව අත්අඩංගුවට ගත්තා කියලා ආරංචි වුණා. මම කොල්ලා ගිහිං උසාවියට භාර කළා. හැබැයි අත්අඩංගුවට ගත්ත මල්ලි ලැබුණේ නැහැ. මගේ පුතා ගහකින් වැටිලා අකාලයේ මැරුණා. අනික් තුන්දෙනාටත් දැන් ඇප ලැබිලා එළියේ ඉන්නවා. ඒ නඩුවත් තවම යනවා. හැබැයි මගේ මල්ලිට වුණ දෙයක් හොයාගන්න නැහැ.’ සිසිරගේ දෑස කදුළින් බරවෙයි. ඔහු ඉවත බලාගන්නේ එය මගෙන් වසන් කරන්නට ය. සිසිර හීනියට මදුවිතක් ගෙනය. ඒ සිත ඇතුළේ තෙරපෙන දුකටදැයි දන්නේ සිසිරලා අසීමිතව විශ්වාස කරන දෙවියන් පමණි.

මල්ලි හොරෙක් නෙවෙයි

මේක ගෑනු හුටපටේකට කරපු දෙයක්

‘2010 ඔක්තෝබර් 31දා ? 9ට විතර මල්ලි මට කෝල් කළා. ඒ වෙනකොට මල්ලි මමත් එක්ක පොඩි අවුලකත් හිටියේ. කතාකරලා කිව්වා මම ගෙදර එනවා කාමරයක් ලෑස්ති කරපන් කියලා. මම වද දෙන්න එපා මිනිහෝ කියලා ෆෝන් එක කට්කළා. පස්සේ ආයෙත් උදේ 2ට විතර කතා කළා. මම ආන්සර් කළේ නැහැ තරහට. පස්සේ උදේ 6ට විතර මට මල්ලිගේ ෆෝන් එකෙන් මල්ලිගේ කුරුණෑගල නෝනා කතා කරලා කිව්වා, අක්කේ ඊයේ ? සීඅයිඞී එකෙන් කියලා කළු ඇදගෙන තුවක්කු අරගෙන ආපු කණ්ඩායමක් මල්ලිව ගෙදරින් එළියට අරගෙන සුදු වෑන් එකක දාගෙන ගියා කියලා. පස්සේ එයා ගොකරැල්ල පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තිබුණා. පස්සේ මේ ගැන මොකුත් ආරංචියක් නැති නිසා මමයි මගේ මස්සිනායි දෙන්නාත් එක්ක ගොකරැල්ල පොලිසියට ගියා. එතැන හිටපු පොලිස් නිලධාරීන් අපිට සැරෙන් කතා කරලා අපිව එළවගත්තා. පැමිණිල්ලවත් ලියාගත්තේ නැහැ.

ඒ කාලේ මටත් එච්චර දැනීමක් නැහැ. මමත් කරබාගෙන ආවා. ඊළගට අපි හෙව්වා සෑහෙන්න. එතකොට තමයි ආරංචි වුණේ මල්ලි අර වහලේ ගහපු ගෙදර නෝනාත් එක්ක සම්බන්ධයක් හදාගෙන ඉදලා තියෙනවා කියලා. ඒක අත්උදව් දෙන්න ගිය අයියාගේ පුතාත් මට කිව්වා. මල්ලිගේ දෙවැනි නෝනාත් ඒක කිව්වා. මේ ගෙදර අයිතිකාරයා ඉස්සර ආමි එකේ හිටපු කෙනෙක් කියලා තමයි කියන්නේ. මිනිහා තමයි පොලිසිය හරහා නේවි එකේ කට්ටියකට මේ කොන්ත‍්‍රාත් එක දීලා තියෙන්නේ.

මිනිහෙක් ගෑනියෙක් එක්ක සම්බන්ධයක් හදාගත්තා කියලා ඒ මිනිහා මරලා දාන්න, අතුරුදන් කරන්න කාටද අයිතිය තියෙන්නේ. දැන් නේවි එක මේක කළා කියලානේ කියන්නේ. එතකොට හමුදාව ඉන්නේ අපිව ආරක්ෂා කරන්න නෙවෙයිද? එයාලාට එහෙම මිනිස්සු හිතුමතේට මරලා දාන්න පුළුවන්ද? අපි එදා ඉදලා මල්ලි වෙනුවෙන් දෙවියන්ට කිව්වා. අද දෙවියෝ අපිට පාර පෙන්නලා තියෙනවා. මම මල්ලි වෙනුවෙන් සටන් කරනවා.  ඕනි තැනකට යනවා. මැරුණත් යනවා. අපිට  ඕනි මල්ලිට සාධාරණයක් කරන්න.’ ඇය  ශමිලා ශාන්තිය.

ඇය ප‍්‍රගීත්ගේ තවත් සහෝදරියක්ය. රණවිරු ලේබලය ගසාගත් මේ අළුගෝසුවන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් වෙනකම් ඇය ඔහු වෙනුවෙන් සටන් වදින බව කියන්නීය. ඇය කෝපයෙන් කෑගසන්නීය. ඇයගේ හඩ යුනිෆෝම්ධාරී ගහලයන් ආරක්ෂා කරන ලොක්කන්ට ඇසෙන්න යැයි අපි පතමු.

ප‍්‍රගීත් ගැන කියන්නේත් විජයකාන්තන්ය

ඡුන්ද වැඩට අරුණ්දික සමග ප‍්‍රගීත් කුරුණෑගල යන්නේ ඔහු අරුන්දිකගේ ළගම සිටි ගෝලයෙකු බැවින්ය. එහිදී මනෝජා නිරෝෂිනී හමුවන අතර, එහිදී ඔවුන් ආදරයෙන් බැෙදන අතර, ඒ නිසාම ඔහු මනෝජා නිරෝෂනී සමග ජීවත් වන්නට පටන්ගන්නේය. ඒ දංකොටුවේ විවාහය තිබියදීම ය. පසුව මේ නව යුවළ කුරුණෑගල ඉබ්බාගමුවේ කුලී නිවසක ස්ථිර පදිංචියට ගොස් ඇත. උපතින්ම කතෝලිකයෙකු වූ ප‍්‍රගීත් හොද බැතිමත් කතෝලිකයෙකු බව කියන්නේ ඔහුගේ සහෝදර සහෝදරියන්ය.

2010 නොවැම්බර් 01 වෙනි දිනට හිරු උදාවෙන විට අතුරුදන් වන ප‍්‍රගීත් නැවත උපදින්නේ බස්නායක මුදියන්සේලාගේ විජේකාන්තන්ගේ මතකය තුළින්ය. නාවික හමුදාවේ වැඩකරන විට තමන් කාලයක් ගන්සයිඞ් භූගත සිරකඳවුරේ රදවා සිටි බවත්, එහිදී තමන්ට ඉබ්බාගමුවේ ප‍්‍රගීත් මුණගැසුණු බවත් ඔහු රහස් පොලිසියට ප‍්‍රකාශ කර ඇත. ඉන්පසුව ඔහුගේ හෙළිදරව්ව ඔස්සේ ප‍්‍රගීත්ගේ සිරකුටිය නිරීක්ෂණය කරන පරීක්ෂණ කණ්ඩායමට ඔහු බිත්තියේ සටහන් යෙදු නොයෙක් වැකි දකින්නට ලැබී ඇත. එම වැකි තුළ, ජේසුනේ මාව බේරා ගනු මැන ආදිවූ කතෝලික ආගම හා බැදුණු යැදීම් තිබී ඇත. ඒ අතර ඔහු තමන්ගේ දරුවන් ගැනද ලියා ඇති බව දැනගන්නට ලැබේ.

‘ඇත්තටම අයියා අපිට වගේම එයාගේ දරුවන්ටත් ගොඩක් ආදරේ කළා. එයා දෙවැනි කසාදයක් කරගත්තාට පස්සේ අපි එයා අතෑරියත් එයා නිතරම අපිව, එයාගේ දරුවෝ බලන්න ආවා. එයාගේ ඔය ඉබ්බාගමුවේ ඉන්න පුතා, එයා ළගම තමයි පුංචිකාලේ ඉදලා, ඉදලා තියෙන්නේ. ඒ අක්කා ජොබ් එකට යන නිසා. දැන් ඒ පුතා අයියාගේ ඇදුම් සෙරෙප්පු සේරම ළගින් තියාගෙන ඉන්නවා. බලන්න මේ දරුවෝ කොච්චර දුකෙන්ද ඉන්නේ? මුන් නීතියෙන් රිංගලා ගියත් උඩ ඉන්න දෙයියෝ මුන්ව බලාගනියි.’ ඇය හඩන්නීය.  ඇය නිලන්ති දිසානායකය.

ප‍්‍රගීත් මේ විශාල පවුලේ 6 වැනි දරුවා වනවිට ඇය 7 වැනි දරුවාය. එනිසාම ඔවුන් අතර සහෝදර බැම්ම විශාලය.

‘එයා පවුලේ මට තමයි වැඩියෙන්ම ආදරේ කළේ. මමත් එහෙමයි. මට මගේ අයියාව නිතරම හීනෙන් පෙනෙනවා. අයියා ඉස්කෝලේ යනකාලේ ඉඳලාම සෑහෙන්න හොද කෙනෙක්. යාළුවෝ ගොඩාක් හිටියා. බයිසිකල් රේස් පැද්දා හැමදාම එක තමයි. ඇත්තටම අපිට දැන්  ඕනි එයාට මොකද වුණේ කියලා දැනගන්න.’ ඇය කෝපයෙන්ද හැඬුුම් ස්වරයෙන්ද පවසන්නීය.

‘එයා ගොඩාක් අඩු වයසින් තමයි බැන්දේ. බ`දිනකොට අවුරුදු 23යි. ඊට පස්සේ රටත් ගියා. එයා ජීවත් වෙන්න සෑහෙන්න දුක්වින්ද කෙනෙක්. මම මගේ පුතා හොයාගෙන හැමතැනම ගියා. පේන බැලූවා. සාස්තර ඇහැව්වා. එක පියතුමෙක් මට එක සැරයක් කිව්වා, එයා ගුහාවක වගේ හිරකරලා ඉන්නවා කියලා. ඊට පස්සේ මම ආයෙත් අවුරුද්දකට විතර පස්සේ ගියා ඒ පියතුමා හම්බවෙන්න. එතකොට එතුමා කිව්වා දැන්නම් හොයලා වැඩක් නැහැ කියලා. මම දන්නවා මගේ පුතා ජීවතුන් අතර ඉන්නවා නම් මාව හොයාගෙන එනවා කියලා. එයාට මාව නොබලා ඉන්න බැහැ.’ ප‍්‍රගීත්ගේ මව මේරි ගේ‍්‍රස් කියන්නීය.

ඇය ඈත බලාගෙන ඔහේ සිටින්නීය. දැන් අපටත්  සිදුවී තිබෙන්නේ මේ නඩු කටයුතු දෙස ඔහේ බලා සිටින්නටය. වින්දිතයන් හැමතැනම යුක්තිය ඉල්ලා හඩනු ඇසේ. ඒ අතර උසාවි තුළ යටිගිරියෙන් පුප්පන විත්තිකරුවන්ගේ නීතිවේදීන් කියන්නේ තමන්ගේ සේවාදායකයන් පුංචි බබාලා සේ අහිංසක බවය. ඔවුන්ගේ හ`ඩවල් රෙකෝඞ් කරන මාධ්‍ය මයික් කටවල් වින්දිතයන් දෙසට කවදා හැරෙනු ඇතිදැයි කියන්නට බැරිය.

ඉතිං බහුතර ජනීජනයා අනේ අපේ රණවිරුවෝ යැයි කියමින් මිනීමරුවන්ට ප‍්‍රශස්ති ගායනා කරති.