දාරුන් නුස්රා ළමා නිවාසයේ අපයෝජකයා කවුද?

UTTAR PRADESH, INDIA - SEPTEMBER 9: 7 year old Dipti (name changed) poses for a photo on her roof, where she was raped two years ago, on September 9, 2016 in Uttar Pradesh, India. Two years ago, when she was 4 years old, she was raped by a neighbor, who the family says is about 27 years old now. The rape happened when her mother was at the market and her father was taking a shower. The neighbor found her playing up on the roof of her house and he raped her. Her father came up after his shower and asked her why her pants were wet, and she told him what happened to her. He took her to the police station where they registered a case. Her family asked the police for medical treatment for her, but the police responded "your daughter looks fine, all we need is her pants for the investigation.". Her family says that the community is torn, many people support them, but many others sympathize with the rapist because he is the only male of the family, and if he goes to jail they say no one will be able to financially support his family. He was in jail for 1 and 1/2 years, but now he is out on bail, and has offered the family 80,000 rupees (about $1195) to drop the case. After the rape, Dipti stayed home from school for 15 days because people were approaching her on the road to school, threatening that they would attack her brother unless her family dropped the case. (Photo by Getty Images)

ලංකාවේ කාන්තාවන්ගෙන් සීයට අනූවක් පමණ වැඩිමහල් වියට එද්දී කුමන ආකාරයක හෝ අතවරයකට ලක්ව ඇති බවට නිල නොවන මතයක් ඇත්තේ ළමා හා කාන්තා අයිතිවාසිකම් ගැන සැලකිලිමත් වන ක‍්‍රියාකාරිකයන් අතරය. බොහෝවිට ළමා වියේදී විවිධාකාරයේ ලිංගික අතවරයන්ට දැරියන් පාත‍්‍රවන බවත් පිරිමි දරුවන්ද එවන් අත්දැකීම්වලට මුහුණදෙන බවත් එවන් ක‍්‍රියාකාරිකයන්ගේ අදහසයි.

අපේ සමාජය අපයෝජක සමාජයක් පමණක් නොව අපයෝජන සිදුවීම් යට ගසන සමාජයකි. එවන් එක් සිදුවීමක් ගැන හෝ නීතිය ක‍්‍රියාත්මක වෙන තැනකට පැමිණීම තවත් වින්දිතයෙකුට නීතිය ගැන විශ්වාසය තැබීමට අවස්ථාවකි. එක් සිදුවීමක් ගැන කතාබහට ලක්වීම තවත් සිදුවීම් රැසක් නැවැත්වීමට අවස්ථාවක්යැයි පෙන්වාදිය හැකිය. ජනවාරි 25 වැනිදා දාරුන් නුස්රා සිදුවීම ගැන ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගැනීමට නියමිතය. මේ සටහන මෙතෙක් නඩුවට ඉදිරිපත්ව ඇති සාක්ෂි මත පදනම් වූවකි.

දාරුන් නුස්රා

දෙහිවල, දාරුන් නුස්රා ළමා නිවාසයේ පාලිකාව සහ ඇගේ සැමියාට එල්ලවී ඇති ළමා අපචාර චෝදනාවද කාලයෙන් යට ගසන්නට උත්සාහ කරන්නෝ බොහෝය. පාලකයාට එල්ලවී ඇත්තේ අතිශය බරපතළ චෝදනාවකි. දැරියන් 17 දෙනෙකු සාක්ෂි ලබාදෙමින් චෝදනාව තහවුරු කර ඇත. ඉන් එක් දැරියක කන්‍යා පටලය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර ඇත. වෛද්‍ය පරීක්ෂණයෙන් ඔප්පු වී ඇත්තේ දැරිය බරපතළ අතවරයකට ලක්ව ඇති බවයි. එහෙත් ඒ පිළිබඳව හැකි තරම් අඩුවෙන් කතාකිරීමට බොහෝදෙනෙකු උත්සාහ ගන්නා බව පෙනෙයි.

දාරුන් නුස්රා ළමා නිවාසය පාලනය වන්නේ අල් මුස්ලිමාත් නම් සංවිධානය විසිනි. අල් මුස්ලිමාත් සංවිධානය මුස්ලිම් කාන්තාවන් පිළිබඳ ක‍්‍රියාත්මක වන සංවිධානයකි. දාරුන් නුස්රා ළමා නිවාසයේ සිටින්නේද මුස්ලිම් දැරියන් පමණි. මේ ආයතනය සතුව ළමා නිවාසයට අමතරව ජාත්‍යන්තර පාසල්, මද්රාසා වැනි ආයතනද ඇත. අල් මුස්ලිමාත් ආයතනයේ නිර්මාතෘ සහ වත්මන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ ආචාර්ය මරීනා රෙෆායි මහත්මියයි. ඇය ඉස්ලාම් ආගම පිළිබඳ දේශන පවත්වන්නියක ලෙසද ප‍්‍රකටය. අප ඉස්ලාම් ආගම ගැන නොදන්නා මුත් ඉස්ලාම් භක්තිකයන් කිහිපදෙනෙකුගෙන් කරුණු විමසූ විට ඔවුන් පැවසුවේ, ඇගේ දේශන ලොව පිළිගත් කාන්තා අයිතිවාසිකම් සීමා කරන අන්දමේ දැඩි ඉස්ලාම් මත පතුරවන අන්දමේ දේශනා බවයි. කාන්තාවන් වෙනුවෙන් කෙරෙන ඇගේ දේශන බොහෝවිට පිරිමි සමාජය එලෙසම පිළිගෙන එයට හැඩගැසීම සඳහා කාන්තා මනස සකස් කරන අන්දමේ ඒවා බව විචාරශීලී ඉස්ලාම් භක්තිකයන්ගේ අදහසයි. මේ සියල්ල සම්පූර්ණ කතාවට වැදගත් කොටස්ය.

ළමා නිවාසයේ සිටින දැරියන් අනාථ දැරියන් නොවන අතර ඒ දැරියෝ බොහෝවිට දිළිඳු මාපියන් සිටින, නඩුවලට මැදිවී සිටින, විවිධ හේතු මත මාපියන්ගෙන් ඈත් වූ දැරියෝය. බොහෝ දැරියෝ් පාසල් නිවාඩු සමයේදී නිවෙස්වලට ගොස් පැමිණෙති.

ළමා නිවාසයේ පාලිකාව ලෙස කටයුතු කළේ සිත්ති සාහිරා නම් කාන්තාවකි. ඇගේ සැමියා මොහොමඞ් සරිප්පුගේ මොහාර් නමැත්තෙකු වන අතර ඔහු ළමා නිවාසයේ රියැදුරා සහ ගබඩා භාරකරු ලෙසද ක‍්‍රියා කර ඇත. දැරියන් අපචාරයට ලක් කොට ඇතැයි චෝදනා ලබා ඇත්තේ ඔහුය.

පසුගිය ජූලි 22 දා ජාතික ළමාරක්ෂක අධිකාරියට නිර්නාමික දුරකථන ඇමතුමකින් දැරියන් අතවරයට ලක්වීම පිළිබඳ පැමිණිල්ලක් ලැබී ඇත. ළමාරක්ෂක අධිකාරිය විසින් පොලීසියට අදාළ පැමිණිල්ල යොමුකර ඇති අතර පොලීසියෙන් ළමා නිවාසයට ගොස් දරුවන් සිය භාරයට ගෙන ඇත. දින තුනකට පසුව මොහාර් නමැත්තා ඔවුන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු දෙකක් පවරා ඇත. නඩුවේ චූදිතයන් වන්නේ සිත්ති සාහිරා සහ සරිප්පුගේ මොහාර් දෙපළයි.

මොහාර් නමැත්තා වෙතින් දැරියන් අතවරයට ලක්වෙන බව දැරියන් සිත්ති සාහිරාට පවසා ඇති බවත්, ඇය ඒ පිළිබඳව නොතකා හැර ඇති බවත් දැරියෝ සාක්ෂිවලින් පවසති. එමෙන්ම දැරියන් නිදන, ඇඳුම් මාරුකරන කාමරවල සීසීටීවී කැමරා තිබී ඇති බවද ඔවහු පවසති. සිත්ති සාහිරා දැරියන්ට දරුණු ලෙස සලකා ඇති බවද කියන අතර දැරියන් ලවා වැඩ ගෙන ඇති බවද කියැවෙයි.

දැරියන්ගේ සාක්ෂි

ආචාර්ය මරීනා රෙෆායිගේ සහ අල් මුස්ලිමාත් ආයතනයේ පාලනය යටතටම හව්හරණක් නැති දරුවන් පත්වීම මේ මොහොතේ ගැටලූවක් බව කිව යුතුය. තම දෑත් පිරිසිදු කරගන්නට අල් මුස්ලිමාත් සංවිධානය වුව කළ යුතුව තිබුණේ දරුවන් වෙනත් ස්වාධීන තැනකට බාර කිරීමයි. දැන් දරුවන් තම භාරයේ තබා ගනිමින් ඔවුන් කරන්නේ වරදකි. ආචාර්ය මරීනා සිදුවීම් යටපත් කරන්නට හැකි සියල්ල කරන බව පෙනෙයි. ඇය කියන්නී, දැරියන් අතවරයට ලක්ව ඇතිදැයි තමා නොදන්නා බවයි. එසේමුත් දැන් දැරියන් කියන්නේ, ඔවුන්ගේ ඉණෙන් යට කොටස ස්පර්ශ කර නැති බවයැයිද ඇය කියයි. ඇය කෙළින් කිසිවක් නොකීවත් දැරියන් අතවරයට ලක්ව නැති බව කියන්නට උත්සාහ කරන බව පෙනෙයි.

මේ සිදුවීම ගැන ප‍්‍රධාන සාක්ෂිකාරිය සහ බරපතළ අතවරයකට මුහුණ දුන් දැරිය ගැන මරීනා කියන්නී, ඇය ළමා නිවාසයට පැමිණෙන්නට පෙර ත‍්‍රිකුණාමලයේදී සිය කැමැත්තෙන් අතවරයට ලක්ව ඇති බවයි. එහෙත් මේ දැරිය ත‍්‍රිකුණාමලයේ පදිංචිකාර දැරියකි. ආචාර්ය මරීනා හිතාමතා දැරියගේ අනන්‍යතාව මාරු කොට වෙන දැරියක ගැන අපට කියන්නීය.

මේ වන විට අල් මුස්ලිමාත් වෙබ් අඩවියේ දාරුන් නුස්රා ළමා නිවාසය ගැන විස්තර අතර ඇත්තේ ළමා නිවාසයේ මානසික ආබාධයකට ලක්ව ඇති දැරියකද සිටින බවයි. ප‍්‍රධාන සාක්ෂිකාරිය වන දැරිය මානසික ආබාධයකට ලක්ව ඇතැයි පෙන්වන්නට ඔවුන් උත්සාහ ගනිමින් සිටින්නේ ඇගේ සාක්ෂිය දුර්වල කිරීමට විය යුතුය. අධිමාත‍්‍රාවෙන් යුත් ඖෂධ දැරියන් කිහිපදෙනෙකුට ලබා දී ඇති අතර ඉන් එක් දැරියක රිජ්වේ ආර්යා ළමා රෝහලේදී පරීක්ෂාවට ලක් කොට ඇයට ලබා දී ඇති ඖෂධ අධිමාත‍්‍රාවෙන් යුත් බව හඳුනාගෙනද ඇත.

ඒ සියල්ල එසේ තිබියදී අප සැලකිල්ලට ගතයුත්තේ පොලීසිය වෙත දැරියන් ලබා දුන් කට උත්තරය. ඒවායේ දැරියන් 17 දෙනෙකු අතවර ගණයට අයත්වන ස්පර්ශ කිරීම් හා සිප ගැනීම් ගැන පැහැදිලි සාක්ෂි ලබාදී ඇත. තවත් එක් දැරියක පැහැදිලිව බරපතළ අතවරයක් ගැන සාක්ෂි ලබාදී ඇති අතර වෛද්‍ය වාර්තා ලැබී ඇත්තේද ඇය අතවරයට ලක්වීම සම්බන්ධයෙනි.

ඊට අමතරව දැරියන් කටඋත්තරවල සඳහන් කර ඇත්තේ මරීනා මේ පිළිබඳව දැන සිටි බවයි. කාන්තා අපයෝජන, අතවර සිදුවීම්වලදී බරපතළම සාක්ෂිය වන්නේ වින්දිතයාගේ ප‍්‍රකාශයයි. අපද මේ සිදුවීම වාර්තාකරණයේදී වැඩි විශ්වාසය තබන්නේ වින්දිතයා විසින් පොලීසිය ඉදිරියේ කර ඇති කටඋත්තරවල වාර්තාවන් ගැනයි. එහෙත් අල් මුස්ලිමාත් ආයතනය සහ ආචාර්ය මරීනා වින්දිතයාගේ ප‍්‍රකාශය වෙනුවට චූදිතයාගේ පැත්තට බරවී කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.

වත්මන් පරිපාලනය

මේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරද්දී ළමා නිවාසයේ සිටි දැරියන් ළමා නිවාසයෙන් ඉවත් කරගෙන තිබුණි. පසුව ඒ දැරියන් මේ ආයතනයේම සිටි ස්වෙච්ඡා නිලධාරිනියකට බාර දී තිබුණි. මේ නිලධාරිනිය ළමා නිවාසයේ පාලනය සියතට ගැනීමට උත්සාහ ගත් ඇති බවට චෝදනා ලබා ඇත. ඒ නිලධාරිනියගේ සැමියා දැරියන්ට පහසුකම් ලබාදීම සඳහා මුදල් ආධාර එකතු කිරීමට උත්සාහ ගෙන ඇති අතර ඒ බව දැනගැනීමෙන් පසුව අධිකරණය විසින් එම නිලධාරිනියගෙන් දැරියන්ගේ භාරකාරීත්වය ඉවත් කරගෙන ඇත. ඉන්පසුව යළිත් දැරියගේ භාරකාරීත්වය පැවරී ඇත්තේ අල් මුස්ලිමාත් ආයතනයටයි.

පෙර කී පරිදි වත්මන් පරිපාලනය උත්සාහ කරන්නේද සිදුවීම යට ගැසීමටයි. පාසල් නිවාඩුව 2017 දෙසැම්බර් 11 වැනිදා ලබාදී ඇත. ඒ අවස්ථාවේදී ප‍්‍රධාන සාක්ෂිකාරිය වන දැරිය තමාට පාලිකාවක විසින් පහරදුන් බව තමන්ගේ පුංචිඅම්මාට කියා ඇත. ඉන්පසුවදා දරුවා රැගෙන ඇයට පහරදුන් බවට පැමිණිල්ලක් සිදුකර ඇති අතර පොලීසිය පැමිණිල්ල බාරගෙන ඇත. දැරියගේ කටඋත්තරය අනුව, මේ දැරියට පහරදෙමින් පාලිකාව දැරියට කියා ඇත්තේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා පහරදෙන බවයි. මේ දැරියට මානසික රෝගීන් සඳහා ලබාදෙන බෙහෙත් අධිමාත‍්‍රාවෙන් ලබාදී ඇත.

ජාතිවාදීන් කෝ?

ළමා අපයෝජකයන්ට ජාතිභේද නැත. ජාතිභේද නැතිව ළමා අපයෝජන චෝදනා යට ගසන්නට සමාජය සූදානම්ය. ඉස්ලාම් සමාජයද දැරියන් ගැන උනන්දු නැත. දාරුන් නුස්රා සිදුවීම ගැන ෆේස්බුක් සංවාදවලදී බොහෝ ඉස්ලාම් භක්තිකයන්ද සිදුවීම යටගසන්නට උත්සාහ ගෙන ඇත්තේ අපූරු තර්ක පාවිච්චි කරමින්ය. ”මෙය ඉස්ලාම් සමාජයට එරෙහිව වැරදි විදියට පාවිච්චි කරන්න ඉඩ තියෙනවා, වුණ දේ වෙලා ඉවරයි, මේ සිද්ධිය මතුවීම ළමා නිවාසයේ දැරියන්ට හොඳ නැහැ” ඒ තර්ක අතරින් කිහිපයකි.

පිළිතුරු

මේ අල් මුස්ලිමාත් සංවිධානයේ සම්බන්ධීකාරක දොස්තර මරීනා රෙෆායි මහත්මිය සමග අප කළ සංවාදයකින් උපුටාගත් කොටස්ය. එම සංවාදයේදී ප‍්‍රශ්න අතර අප විසින් තහවුරු කරගත් චෝදනා කිහිපයක්ද වෙයි. පොලීසියට එල්ලවී ඇති අල්ලස් චෝදනාවක් සහ පරිවාස නිලධාරීන් ළමා නිවාසයේ පරිපාලනය ආරක්ෂා කරගැනීම පිළිබඳ චෝදනාවක්ද ඇත.

ළමා නිවාසයට සීසීටීවී කැමරා ආවේ ඇයි?

මේක ලොකු ගෙයක්. කාමර 8ක් තියෙනවා. ඒකේ කාමර තුනක විතරයි  සීසීටීවී දාලා තියෙන්නේ.  සීසීටීවී තියෙන කාමර තුනේම ළමයි නැහැ. ගොඩක් තැන්වල ලියලා තිබුණා ළමයි නිදාගන්න, ඇඳුම් මාරුකරන කාමරවල තමයි සීසීටීවී තිබුණේ කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. අනෙක් කතාව තමයි හැම සතියෙම ළමා නිවාසය පරීක්ෂා කරන්න පරිවාස දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් දෙන්නෙක් එනවා. ජූලි 23 වැනිදා ළමා නිවාසය පරීක්ෂා කරන්න ඇවිත් පොලීසියෙන් ළමා නිවාසයේ තිබුණු සීසීටීවී කැමරාවල වීඩියෝ අත්අඩංගුවට ගත්තා. අපි බලාගෙන ඉන්නෙත් උසාවියෙන් ඒවා ගැන කියනකම්. එතකොට හැමදේම බලාගන්න පුළුවන්.

අපට තොරතුරු ලැබිලා තියෙනවා පරිවාස නිලධාරීන්ගේ ඥාතීන්ට ළමා නිවාසයේ නවාතැන් ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම සීසීටීවී කැමරා ගැන ඔවුන් නිහඬතාව රැක්කා කියලා?

පරිවාස නිලධාරීන්ගේ ඥාතීන්ගේ කට්ටිය මෙහෙට එන්නේ නෑ. එයාලා සිංහල අය. එයාලා ළමා නිවාසය පරීක්ෂා කරන්න ඇවිත් තේ එකක්වත් බොන්නේ නැහැ. එයාලාගේ ගෙවල් තියෙන්නේත් කොළඹ. එයාලාගේ ඥාතීන්ට මෙහේ එන්න හේතුවක් නැහැ.

ඔබ මේ ගැන කාලයක් තිස්සේ දැන සිටි බව හිටපු අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් දුන්න ඉල්ලා අස්වීම් ලිපිවල තියෙනවා. ඒ ගැන ඔබ පියවරක් ගෙන නැති බව කියනවා නේද?

ඔව්. මම දැනහිටියා. හැබැයි මම මේ ආයතනයේ කෝඩිනේටර් කෙනෙක් විතරයි. මේ ආයතනයේ සභාපතිතුමිය තමයි ඒවා ගැන වගකිවයුත්තේ. සීසීටීවී දාන්න අධ්‍යක්ෂ මණ්ඩලයේදී එකඟතාවකට ආවේ නිදාගන්න, ඇඳුම් මාරුකරන තැන්වල නොදා ඉන්න විතරයි. අනෙක ළමයි තනියම නිදාගන්න බය හින්දා ළමා නිවාසයේ සාලයේ තමයි නිදාගන්නේ.

ඔබ ලබා දුන් සම්මුඛ සාකච්චාවක කියනවා පොලිස් නිලධාරියෙක් ඔබව අත්අඩංගුවට ගන්නා බව කියමින් තර්ජනය කරලා සල්ලි ඉල්ලපු බව. ඒ විදියට පොලිස් නිලධාරීන් අල්ලස් ගත්තාද?

මම පොලීසියට කිසිම මුදලක් දීලා නැහැ. සාහිරා තමයි රුපියල් 10,000ක් එක් පොලිස් නිලධාරියෙකුට දීලා තියෙන්නේ. එම පොලිස් නිලධාරියා ඇගෙන් මුදල් ඉල්ලන දුරකථන ඇමතුම පටිගත කරලා තියෙනවා. ඒ දුන්න මුදල් ගැන උසාවියේදී සාහිරාගේ නීතිඥයා පොලිස් නිලධාරියාගෙන් අහලා තියෙනවා.

එක් දැරියක් අතවරයට ලක්ව ඇති බවට පැහැදිලි සාක්ෂි තියෙනවා නේද? වෛද්‍ය පරීක්ෂණයක ප‍්‍රතිඵලත් තියෙනවා?

මේකට විරුද්ධව ඉන්න ප‍්‍රධාන සාක්ෂිකාරිය ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය ඉඳලා තියෙන්නේ ඇගේ වැඩිමහල් සහෝදරිය එක්ක. ඇගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා එක්ක ඇය සම්බන්ධයක් පවත්වලා තියෙනවා. ඒ පිළිබඳව ත‍්‍රිකුණාමලය උසාවියේ නඩුවක් තියෙනවා. අපට ඒ ළමයාව ගෙනල්ලා බාර දෙනකොට ඒ වාර්තා තිබුණා. අපේ ළමා නිවාසයේ ළමයි 20යි ඉන්නේ. ඒ අයගෙන් 19කටම මාපියන් ඉන්නවා. එයාලා ඉස්කෝලෙ නිවාඩුවට ගෙවල්වලට යනවා.

දෙසැම්බර් 12 වැනිදා නව පරිපාලනය විසින් පත් කළ පාලිකාව විසින් ළමයින්ට පහරදුන් බවට පොලීසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා නේද? වත්මන් පරිපාලනය ළමයින්ට පහරදී ඇත්ත යට ගසන්නට උත්සාහ කරනවාද?

ඔව්. එහෙම පැමිණිල්ලක් දාලා තිබුණා. හැබැයි ඔය දරුවාට ගැහුවා කියලා දරුවා කියන පාලිකාව නොවැම්බර් 27 වැනිදා නිවාඩු ගිය කෙනෙක්. එයා නිවාඩු යන්න කලින් ළමා ආරක්ෂණ අධිකාරියෙන් අනුමැතිය ලබාගෙන තමයි නිවාඩු ගියේ.

ආබාධිත දැරියක් සිත්ති සාහිරා සිටින කාලයේ ළමා නිවාසයට ඇවිත්, ඒ දැරියට විශේෂ වැසිකිළියක් හදන්න ආධාර අරගෙන තිබුණා. ඒ ආධාර ලැබීමෙන් පසුවත් ආබාධිත දැරිය සාමාන්‍ය වැසිකිළිවලට ගිහින්, ඇය අනතුරට ලක්වෙලා තිබුණා. දැරිය වැසිකිළියේදී උදව් ඉල්ලලා කෑගසද්දී පාලිකාව කියා තිබුණා ඇය තනිවම නැගිට්ටාවේ, උදව් කරන්න එපා කියලා. ඒ සිදුවීම ගැන දන්නවාද? පාලිකාව දැරියන්ට සැලකූ විදිය ගැන ඒ සිදුවීමෙන් චිත‍්‍රයක් මවාගන්න පුළුවන් නේද?

ආබාධිත ළමයෙක් ආවා. එයා අපේ ඉස්කෝලෙටම තමයි යන්නේ. එයාට ගෙදර ඉඳලා එන්න අමාරු නිසායි ළමා නිවාසයට ආවේ. දවසක් එයා ටොයිලට් ගිහින් වළට වැටිලා තිබුණා. පාලිකාව ටික වෙලාවක් ඉඳලා එයා එතැනින් තනියම ඒවි කියලා. පස්සේ එයාව හෝදලා අරගෙන. හැබැයි එයා ළමා නිවාසයෙන් ගියේ ඒ සිදුවීම නිසා නෙවෙයි. එයාට ලැබුණු ආධාර මුදල් මදි කියලා ඇතිවුණ ප‍්‍රශ්නයක් නිසා.

සාධාරණය

දැරියන්ට සාධාරණය ඉටුකිරීම මහේස්ත‍්‍රාත් අධිකරණයේ වගකීමක් වන අතර සත්‍යය සොයාගැනීමේ වගකීමත් උසාවිය සතුය. දැරියන්ගේ සාක්ෂිවලින් එහාට සිදුවීම ගැන සොයාබැලීම අධිකරණය විසින් සිදුකරනු ඇත.

එහෙත් සැලකිල්ලට ගතයුතු කරුණු රැසකි. මේ සිදුවීමේදී පොලීසිය අල්ලස් ගත් බවට එන චෝදනාව බරපතළය. පරීක්ෂණ කරන්නේ පොලීසියයි. අධිකරණය සැලකිල්ලට ගන්නේ පොලීසිය විසින් ඉදිරිපත් කළ කරුණුය. අනෙක් පැත්තෙන් බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය ගැනද සැක පහළ කරගැනීමට සිදුවෙයි. ඒ සියල්ලට එහායින් විශාල ආන්දෝලනයකට මැදිව බියට පත්ව සිටින දැරියන් අල් මුස්ලිමාත් ආයතනයට බාරදී ඇති පසුබිමක අල් මුස්ලිමාත් ආයතනයේ මධ්‍යස්ථ බව ගැනත් සැලකිලිමත් විය යුතුය.

මේ දැරියන්ට සාධාරණයක් ඉටුවීම තවත් මෙවැනි සිදුවීම්වලට මුහුණදෙන සුවහසක් දැරියන්ට යුක්තිය ගැන බලාපොරොත්තු තැබීමට අවස්ථාවක් වනු ඇත.