අනුගාමිකයන් ඇති පූජකයන් නැති බහායි දහම

 

”ලෝකය එකම රටකි, මනුෂ්‍ය වර්ගයා එහි වැසියෝය’’ මේ බහායි ධර්මයේ මූලික පිළිගැනීමකි. ලෝකය පුරා ව්‍යාප්තව තිබෙන විවිධ ආගම්, දර්ශන අතුරින් බහායි ද එකකි. මෙරට ද බහායිවරුන් ලෙස එම ධර්මය වැළදගත් ජන කොටසක් අතීතයේ සිට ජීවත් වෙති. කොළඹ තිඹිරිගස්යායේ පිහිටා තිබෙන බහායි ජාතික මධ්‍යස්ථානය මෙරට බහායි දහම අදහන්නන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය වේ.

බහායි යනු

”බහායි කියන්නේ ධර්මයක්. බුද්ධ ධර්මය, ක්‍රිස්තු ධර්මය, හින්දු ධර්මය, ඉස්ලාම් ධර්මය ආදි මීට පෙර පැමිණි හැම ධර්මයකම ශාස්තෲවරයා කියනවා අනාගතයේ තව ශාස්තෲවරයෙක් පැමිණෙනවා කියලා. මෛත්‍රි බුදුන්ගේ පැමිණීම, ජේසුස් වහන්සේගේ පියාගේ පැමිණීම ආදි ලෙස නැවත ශාස්තෲවරයෙකුගේ පැමිණීමක් ගැන කියැවෙනවා. බහාඋල්ලාහ්තුමා 1817 නොවැම්බර් 12 දින ඉරානයේ ටෙහෙරාන්වලදී ලෝකයට පහළ වෙනවා. ඒ අනුව බහායිවරු පිළිගන්නේ හැම ආගමකම පොරොන්දු වුණු පුද්ගලයාගේ නැවත පැමිණීම බහාඋල්ලාහ්තුමා කියලායි. එම ඉගැන්වීමේ මූලිකම දෙය මුළු ලෝකයේම ඒකීයභාවය.

බහායිවරු හැම ආගමකම ශාස්තෲවරුන්ට ගරු කරනවා. පසුකාලීනව එතුමා පිටුවහල් කිරීම නිසා ඊශ‍ායලයේ නතර වෙනවා. බහායිවරුන්ගේ පූජනීය ස්ථාන තියෙන්නේත් ඊශ‍්‍රායලයේයි. බාබ්තුමා, බහාඋල්ලාහ්තුමා සහ අබ්දුල්බහාතුමා තමයි මේ ධර්මයේ ප‍්‍රධානම ලෙස සැලකෙන්නේ. බාබ් කියන්නේ දොරටුව කියන අර්ථයයි. බහාඋල්ලාහ්තුමාට පෙර ඔහු පහළ වී බහාඋල්ලාහ්තුමාට පැමිණීමට දොරටු විවර කර දුන් තැනැත්තා ලෙස ඔහු සැලකෙනවා.  අබ්දුල්බහා කියන්නේ බහාඋල්ලාහ්තුමාගේ වැඩිමහල් පුත‍්‍රයායි. ඔහුගේ ධර්මයේ ආදර්ශකයා ලෙස. බහාඋල්ලාහ්තුමා ඉගැන් වූ ධර්මය එලෙසම ආදර්ශයට ගත් පුද්ගලයායි.’’ ලංකාවේ බහායි ජාතික මධ්‍යස්ථානයේ දී හමුවූ මෙරට බහායි ජාතික මණ්ඩලයේ ලේකම් දිනේෂ් පැහැදිලි කළේය.

 

ලංකාවට පැමිණි බහායි ධර්මය වැළදගත් පර්සියානු වෛද්‍යවරයෙකු හරහා ලංකාවේ මේ ධර්මය වැදගත් පිරිසක් බිහි වූ බව ඔවුහු පවසති. ඒ අනුව ලංකාව තුළ එම ධර්මය ස්ථාපිත වෙන්නේ 1950 වර්ෂයේ පමණ සිටයි. සිංහල, මැලේ, දමිළ ආදි සියලූ ජාතීන් නියෝජනය කළ පිරිස් මෙම ධර්මය වැදගෙන තිබුණි. ඒ හේතුවෙන් එම ධර්මය සෑම ජාතියක් අතරම ව්‍යාප්ත වූ බවත් විශේෂයෙන් වැඩි පිරිස කොළඹ ප‍රදේශයේ අය බවත් බහායි මධ්‍යස්ථානයේ සාමාජිකයින්ගේ මතය වේ. මේ වන විට ලංකාවේ බහායි ධර්මය අදහන්නන් 5000කට ආසන්න සිටින බව වාර්තා වේ. මුල් කාලයේ බහායි දහම වැළදගත් පුද්ගලයන්ගේ ඊළග පරම්පරාවේ ඇතැම් දෙනා ද එම දහම වැළදගෙන තිබේ. නුවර, හැටන්, නුවරඑළිය, බදුල්ල, වවුනියාව, යාපනය, කොළඹ, මීගමුව, වත්තල, මොරටුව, මහරගම ආදි ප‍්‍රදේශවලත් එම ධර්මය වැළදගත් පිරිස් සිටින බව ඔවුහු පවසති.

”ගොඩක් අය අහනවා බහායි කියන්නේ ඉස්ලාම් ධර්මයේ නිකායක් ද කියලා. මොකද මේකේ එන නම් ඉස්ලාම් ධර්මයේ එන නම්වලට සමානකම් තිබෙන නිසා. ඒකට හේතුව, මේ ශාස්තෲවරයා පහළ වෙන්නේ මුස්ලිම් ජාතිකයන් සිටින රටකයි. ඒ නිසා නම් සියල්ල එන්නේ ඒ පසුබිමේ නම් තමයි. ඒත් ඒක මුස්ලිම් ධර්මයට සම්බන්ධයක් නෑ. එය බහායිවරුන්ට අනුව සියලූ ආගම්වලට සම්බන්ධයි.’’ දිනේෂ් පැවසුවේ එලෙසිනි.

බහායි ධර්මයේ පූජ්‍ය පක්ෂය ලෙස කොටසක් නොමැත. පරිපාලන ක‍්‍රමවේදයක් පමණක් දක්නට ලැබේ. ඒ අනුව එහි ප‍්‍රධාන පරිපාලන මණ්ඩලය ඊශ‍්‍රායලයේ පවතින අතර අනෙකුත් රටවල ද වෙන වෙනම පරිපාලන ආයතන පවතී. ඒ පිළිබද බහායි ධර්මය අදහන්නන් පවසන්නේ මෙවැන්නකි.

”මීට පෙර අතීතයේ ශාස්තෲවරයන් පහළ වෙද්දී මිනිසුන්ගේ අධයාපනික මට්ටම හැමෝගේම දියුණු තත්ත්වයක තිබුණේ නෑ. ඒ කාලයේ ශාස්තෲවරුන්ට ධර්මය අනෙක් අයට තේරුම් කරලා දෙන්න විශේෂ පිරිසක් අවශ්‍ය වුණා. ඒ නිසා පූජ්‍ය පක්ෂයක් ඇති වුණා. ඒ අය ධර්මය ඉගෙනගෙන අනෙක් අයට කියලා දෙනවා. ඒ නමුත් අද වෙද්දී කියවලා තේරුම් ගැනීමේ හැකියාව ගොඩක් අයට තියනවා. ඒ නිසා අද ධර්මය තේරුම් ගන්න පූජ්‍ය පක්ෂයේ කෙනෙක් ළගට යන්නම අවශ්‍ය නෑ. ඒ නිසා බහායි ධර්මයේ පූජය පක්ෂයක් නැහැ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට සමහර ධර්මයන් පිරිහෙන්න එක් හේතුවක් තමයි පූජ්‍ය පක්ෂය. බුදුන්වහන්සේ ගෙනාවේ එක් ධර්මයක්. ඒකට නිකායවල් තිබුණේ නෑ. අද වෙද්දී ප‍්‍රධාන නිකායවල් පහක් තියනවා. ඒවාත් තවත් කොටස්වලට බෙදිලා තියනවා.

මේවාට හේතුව පූජ්‍ය පක්ෂයයි. ක්‍රිස්තියානි ආගමේත් ගණන් කරන්න බැරි තරම් නිකායන්ට කැඩිලා තියනවා. ඉස්ලාම් ආගමේත් එහෙමයි. එහෙම කැඩෙන්න හේතුව පූජ්‍ය පක්ෂයයි. ඒක නැති කරන්න, ඒ කියන්නේ ධර්මයේ ආරක්ෂාවට තමයි මේකේ පූජ්‍ය පක්ෂයක් නැත්තේ. ඒ වෙනුවට ධර්මය පාලනය විය යුතු නිසා බහායි ධර්මයේ පරිපාලන ක‍්‍රමයක් තිබෙනවා. එහි ප‍්‍රධාන මණ්ඩලය වන විශ්වාධිකරණ මණ්ඩලය තිබෙන්නේ ඊශ‍්‍රායලයේ හයිෆාවලයි. ඊළගට අනෙක් හැම රටකම ජාතික ආධ්‍යාත්මික මණ්ඩල තිබෙනවා. ඒවායින් රටේ ධර්මය පාලනය වෙනවා. ප‍්‍රාදේශීය මට්ටමෙනුත් ප‍්‍රාදේශීය මණ්ඩල තිබෙනවා. ලංකාවේත් ප‍්‍රාදේශීය මණ්ඩල දොළහක් පමණ තියනවා. ඒවායේ සාමාජිකයින් රහස්‍ය ඡුන්දයකින් තෝරාගනු ලබනවා. ’’ 

අධ්‍යාපනික වැඩසටහන්

බහායි සාමාජිකයන් කියන අන්දමට එම ධර්මයට බදවාගැනීමක් සිදු නොකෙරේ. එය බහායි දහමට අනුව තහනම් බව ඔවුහු කියති. බහායි දහම වැළදගත් අයට පමණක් නොව වෙනත් අය ස`දහා ද අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම ආදි කටයුතු ද මේ බහායි සාමාජිකයන් සිදු කරනු ලබයි. එම වැඩසටහන් ස`දහා බහායි නොවන ගුරුවරු ද සහභාගී වෙති. කුඩා දරුවන්ගේ අධ්‍යාපනය, නව යෞවනයන්ගේ අධ්‍යාපනය සහ වැඩිහිටියන්ගේ අධ්‍යාපනය ලෙස අධ්‍යාපනික වැඩසටහන් විවිධ ප‍්‍රදේශවල ක්‍රියාත්මක වේ. ඒ සියල්ලම නොමිලේ ලබාදෙන අතර බහායි ධර්මය පිළිබ`ද වූ අධ්‍යාපනයක් නොවන අතර සාරධර්ම පිළිබදව සැකසුණු විශේෂ වැඩසටහන් මාලාවක් ලෙස දියත් වේ.

”අවුරුදු පහේ සිට දහය දක්වා ළමුන් සදහා පවත්වන පන්ති සමාජයේ පිළිපැදිය යුතු ගුණධර්ම ගැනයි. සතියට දවසක් වගේ ඒ වගේ පන්ති පවත්වනවා. ඒ ගුරුවරු තමන්ගේ ගම් ප‍්‍රදේශයේ දරුවන්ට එවැනි කුඩා පන්ති පවත්වනවා. දවසට පැය දෙකක් වගේ චිත‍්‍ර අදින්න, පාට කරන්න ඒ ඒ වයස් මට්ටම්වලට ගැළපෙන විධියේ ඉගැන්වීම් කරනවා. ආදරය, කරුණාව ආදි ගුණාංගයන් වචන ලෙස නොව ප‍්‍රායෝගිකව සමාජයේ දී ක්‍රියාවට නංවන්නේ කොහොම ද කියන දේ ළමා කාලයේ සිට ඔවුන්ගේ සිතට කාවැදෙන ලෙස එම පාඨමාලා සකස් වී තිබෙනවා. අවුරුදු 11 සිට 15 දක්වා නව යෞවනයන් බොහෝ විට නරක දේට යොමු විය හැකි වයස. ඒ අයට තිබෙන ශක්තිය හදුනාගෙන එය යහපත් පැත්තට යොමු කරන්න තමයි එය සකස් වී තිබෙන්නේ. 15ට වැඩි අයට රුහී කියලා පාඨමාලාවක් කරනවා. ධර්මයට උනන්දුවක් දක්වන, ධර්මයට එකතු වෙන්න කැමති අය සදහායි එය පවත්වන්නේ” මෙරට ජාතික බහායි මධ්‍යස්ථානයේ ලේකම් එලෙස පැහැදිලි කරයි.

 

බහායි දින දර්ශනය

බහායි දහමට අනුව බහාඋල්ලාහ්තුමා දින දර්ශන ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. ඒ අනුව ලොව පුරා බහායිවරු එම දින දර්ශනය භාවිත කරති. එයට අනුව අවුරුද්දකට මාස 19කි. එක් මාසයකට දින 19කි. අවුරුද්දේ දිනවලට අයත් නොවන දින හතරක් ද පෙබරවාරි මාසයේ යෙදේ. ඒ දින හතර එකිනෙකා අතර තෑගිබෝග හුවමාරු කර ගැනීම්, එකිනෙකා හමුවීමට යෑම් ආදි දේ සඳහා බහායිවරුන් යොදා ගැනේ. එමෙන්ම බහායි දින දර්ශනයේ සදහන්ව ඇති පරිද දින 19කට වරක් බහායිවරුන් එකතුව මංගල්‍යයක් පවත්වනු ලබයි. එදිනට බහායිවරු එක්ව ආහාර ගැනීම්, යාඥා කිරීම් ආදියේ නිරතවෙති. එම දින දර්ශනයට අනුව මාර්තු 20 නව්රුස් ලෙස නම් කර තිබෙන්නේ ඔවුන්ගේ අලූත් අවුරුදු දිනයයි. අපේ‍්‍රල් 20, 28 සහ මැයි 1 දිනයන් රිද්වාන් දින ලෙස දක්වා තිබෙන දිනයන්හි ද උත්සව පැවැත්වේ.

මීට අමතරව නිවෙස් තුළ ආධ්‍යාත්මික මෙහෙයන් පැවැත්වීම ද බහායි අය පමණක් නොව විවිධ ආගම්වල අය ද එකතු වී තම තමන්ගේ ආගම්වලට අදාළ යාඥා එක්ව කිරීම ද සිදු කරන්නකි. ඉන් පසුව සාමය, ආධ්‍යාත්මික ජීවිතය, මරණයෙන් පසු ජීවිතය හෝ ධම්මපදයේ කොටසක් හෝ ආදි ලෙස යම් මාතෘකාවක් ගැන සියලූ දෙනාම එක්ව සාකච්ඡුා කරති.

බහායි දහමේ ශුද්ධ වූ ග‍්‍රන්ථය කිතාබ් ඉ ඇක්ඩස් (^Kitab-i-Aqdas) ලෙස නම් වේ. මුලින්ම එය ලියැවෙන්නේ පර්සියානු සහ අරාබි භාෂාවෙනි. පසු කාලීනව ඉංග‍්‍රීසි භාෂාවටත් වෙනත් භාෂාවන්ටත් පරිවර්තනය වී තිබේ. මේ වන විට එය සිංහල භාෂාවට ද පරිවර්තනය කිරීමේ කටයුතු ලංකාවේ තිබෙන බහායි ජාතික මධ්‍යස්ථානයේ සිදුවේ. බහායි ධර්මයට අනුව නැවත භෞතික ලෙස මේ ලෝකයේ ඉපදීම විශ්වාස කරන්නේ නැත. සෑම මනුෂ්‍ය ආත්මයක්ම දෙවියන් වහන්සේගේ ලෝකයේ නිර්මාණය වූ පසු නැවත එතැනට යන තුරු ගමන් මාර්ගයක් ඇති බවත් ඒ ගමන් මාර්ගයේ එක් කොටසක් ලෙස හමුවන මනුෂ්‍ය ජීවිතයේ දී ආත්මයට අවශ්‍ය ශක්තිය රැස් කර ගත යුතු බවත් එම දහමේ කියැවේ. එහිදී යහපත් හා අයහපත් යන කොටස් දෙකෙන් යහපත් දේ කිරීමෙන් ආත්මය ශක්තිමත් වන බවත් අයහපත් දේ කිරීමෙන් ආත්මය දුර්වල වන බවත් ඔවුන්ගේ පිළිගැනීම වේ.

 නිරෝෂිනී අනුරාධා මෙරට බහායි ජාතික පුහුණු කිරීමේ ආයතනයේ ලේකම්වරියයි.

”වයස අවුරුදු 15දී වගේ තමයි බහායි වුණේ. මගේ තාත්තා බෞද්ධ. අම්මා ක්‍රිස්තියානි. ඉගෙන ගත්තේ ක්‍රිස්තියානි පාසලක. උසස් පෙළට කළේත් ක්‍රිස්තියානි ආගම. ඒ කාලයේ විද්‍යාව හා දේව ධර්මය අතර සම්බන්ධතාව එක්ක තමයි ඉගෙනගත්තේ. බයිබලයේ පරණ තෙස්තමේන්තුවත්, අලූත් තෙස්තමේන්තුවත් ඉගෙනගත්තා. මගේ තාත්තා ඉංජිනේරුවෙක්. ඔහු ඉරානයේ ඉ`දලා තියනවා. ඒ නිසා ඔහුට පර්සියානු භාෂාව පුළුවන්. ලංකාවේ කෙනෙක් සමග විවාහ වී සිටි පර්සියානු බහායි කෙනෙක් දවසක් ලංකාවේ දී මගේ තාත්තාට හමුවෙලා තිබුණා. පස්සේ තාත්තා ඒ කෙනා අපිට හ`දුන්වා දෙන්න අපේ ගෙදරට එක්ක ආවා.

එයා කීවා අපි ඔක්කෝමලා එකම රටක එකම පුරවැසියෝ කියලා. විවිධ වුණත් මනුෂ්‍ය වර්ගයම එකයි කියන අදහසට මම එකග වුණා. ගැහැනු සහ පිරිමි අතර සමානාත්මතාව, සියලූම ආගම්වලින් ආවත් එකම මනුෂ්‍යයන් කියන දේටත් මම කැමති වුණා. දෙමාපියන් දෙන්නා ආගම් දෙකක නිසා ඒ දේ මට තේරුම් ගන්න පහසු වුණා. ඒ නිසා මම බහායි ධර්මය පිළිගන්න කැමති වුණා. හැබැයි මේක හරිම ද කියන අවිශ්වාසයක් තිබුණා. ඒ නිසා මම ඒ ගැන පස්සේ ගොඩක් හැදෑරුවා, පොත් කියෙව්වා. ඒවා තුළින් මට තේරුණා ඒක නිවැරදියි කියලා. පස්සේ ක්‍රියාකාරී බහායි සාමාජිකාවක් විධියට සමාජයටත් සේවයක් කරගෙන පවුලේ කටයුතුත් කරගෙන ඉන්නවා.”

මෙරට බහායි වැළදගත්තන් මෙන්ම වෙනත් ආගමිකයෝද මෙරට එම සාමාජිකයන් මගින් ක්‍රියාත්මක කරන විවිධ ක්‍රියාකාරකම් සමග බැදී සිටිති. මේ වන විට පරම්පරා කීපයක බහායි සාමාජිකයෝ ද මෙරට විවිධ ප‍්‍රදේශවල බහායි දහම අදහමින් ජීවත්වෙති. ඔවුන් තුළ අනෙකුත් ආගම් පිටස්තර ආගම් ලෙස දැක්මක් නොමැත. ඒ සියලූ ආගම්, දර්ශන තමන් අදහන බහායි දහමේ මුල් කාලීන කොටස් ලෙස ඔවුහු විශ්වාස කරති.