සොඳුරු අඳුරු ඉදල්ගස්හින්න

රේඛා නිලුක්ෂි හේරත් / තරිඳු උඩුවරගෙදර

රාත‍්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙලට ළඟා වෙන්නෙ දරාගන්න බැරි සීතලකුත් මගීන්ට තිළිණ කරමින්. පාන්දර බැලූ විට හැමතැනම මීදුම. හපුතලේ පහු වෙද්දී මීදුම කඳුවැටි අතර පෙනෙන්නේ විශාල ජලාශ වගෙයි. ජලාශ පිරුණු බිමක් පහුකරනවා වගෙයි පාන්දර දැනෙන්නේ. මෙය සීත කාලයක මේ ඉසව්වට දුම්රියෙන් යද්දී දැනෙන සුපුරුදු අත්දැකීමක්. ඒ අත්දැකීම සිසිලකින් දැවටෙමින් බොහෝ දෙනෙකුට අමතක නොවී තියෙනවා.

පාන්දරක බණ්ඩාරවෙල නගරයේ බහින කෙනෙක් මතක තබාගෙන විඳින්න ඕනෑ අත්දැකීමක් තියෙනවා. බණ්ඩාරවෙල බස් නැවතුම්පොළ ඉදිරියේ ඇති දොරේගේ රොටී කඩෙන් රොටියක් කා ප්ලේන්ටියක් බොන එක. කට්ට සම්බලයක් සමග මොන තරම් පොල් රොටී කෑවත් මහ ? සීතලේ වෙව්ලමින් ඇඟ උණුසුම් කරගනු පිණිස ප්ලේන්ටි බොමින් පොල්රොටී කෑම නැවුම් අත්දැකීමක්.

පාන්දරින්, බණ්ඩාරවෙල බස් නැවතුම්පලේ සීතලට ගැහෙමින් අප බලා සිටියා. යන්නට සිටි ගමනාන්තය දඹේතැන්න. දඹේතැන්නට තවම බස් නැහැ. අප දඹේතැන්නට යා යුතුව තිබුණේ තවත් දවල් වෙලා. තවත් වෙලාව ඉතිරිව තිබුණු නිසා අප හදිසියේ තීරණයකට ආවේ ඉදල්ගස්හින්නට යන්නයි. මීට පෙර වතාවක් ඉදල්ගස්හින්නට ගියත් අපට ඒ අත්දැකීම් ලියාගන්නට බැරිවුණා. ලියන්නට තරම් අත්දැකීම් එකතු කරගන්නත් බැරිවුණා.

ඉදල්ගස්හින්න

උඩරට දුම්රිය මාර්ගය බොහෝ දෙනෙකුගේ ප‍්‍රියතම දුම්රිය මාර්ගය. එතැනිනුත් බොහෝ දෙනෙකුගේ ප‍්‍රියතම දුම්රිය ස්ථානය ඉදල්ගස්හින්න. හපුතලේ සහ ඔහිය දුම්රිය ස්ථාන අතරයි ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය තියෙන්නේ. ලියුම්කරුගේත් ප‍්‍රියතම දුම්රිය ස්ථානය ඉදල්ගස්හින්නයි. පුංචි කාලයේ සිට බදුලූ‍ කෝච්චියේ යන එන ගමන්වලදී සුන්දරම ලෝකයක් ඉදල්ගස්හින්නේ මැවිලා තිබුණා. ඉදල්ගස්හින්න කියන්නේ දිව්‍යලෝකය. එවන් මොහොතක සිතුණා.

මෙය ලංකාවේ සුවිශේෂීම දුම්රිය ස්ථානයක්. කපොල්ලක පිහිටි ඇති ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය මධ්‍යම කඳුකරයේ දකුණු බෑවුම එක්ක පිහිටලා තියෙන්නේ. මේ උසින් පිහිටා ඇති කපොල්ලේ සිට කාලගුණය හොඳ දිනයක බැලූ කල ලංකාවේ දකුණු කෙළවරේ ප‍්‍රදීපාගාරවල එළිය පවා පෙනෙනවා. ලංකාවේ දකුණ මනාව නිරීක්ෂණය කරන්නට ඉදල්ගස්හින්නේ සිට පුළුවන්.

ඉදල්ගස්හින්න ඉතාම සුන්දර දුම්රිය ස්ථානයක් වුණත් ඒ සුන්දරත්වය පසුබිමේ ඇති ජීවිත සැබැවින්ම සුන්දර නැහැ. ඉදල්ගස්හින්නට යන්නට බස් රථ නැහැ. අප සමග ගිය තී‍්‍රවිලර් රියැදුරා මාර්ගය ගැන විස්තර කරන්න පටන්ගත්තා.

‘ලංකාවේ හැදෙන්නෙ හයිවේ මහත්තයො. ලොකු ගුවන් පාලම් හදනවා කෝටි ගණන් වියදං කරලා. ඒත් මේ පාරවල් හැදෙන්නේ නැහැ. බලන්න පාරෙ හැටි.’

සම්පූර්ණයෙන්ම ගල් ගැලවී ගිය පාර තනන්නට ගෙනැවිත් දමා තිබුණු ගල් ගොඩවල් තිබුණත් මාර්ගය අලූ‍ත්වැඩියාවක් සිදුව තිබුණේ නැහැ. බොහෝවිට ඉදල්ගස්හින්නට පැමිණෙන්නට හැක්කේ දුම්රියෙන් පමණයි. බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් කරන්නේ කලාතුරකින්. උඩරට මැණිකේ උදෑසන බදුල්ල දෙසින් පැමිණෙනවා. දවල් වෙද්දී පොඩි මැණිකේ දුම්රිය පැමිණෙනවා. පාසල් අවසාන වෙන වෙලාවට භාණ්ඩ දුම්රියක් ගමන් කරනවා. රාත‍්‍රියේ තැපැල් දුම්රිය ගමන් කරනවා. ඒ ගමන් වාර හැරුණුකොට ගමනාගමනය අතිශය දුෂ්කරයි. ඉදල්ගස්හින්නේ වතු නිවාසවල සිටින කිහිපදෙනෙකුත් අප සමඟ කතාබහට එක්වෙමින් කීවේ ඒ කතාවයි.

‘අපට ළමයෙක් නගරයේ ඉස්කෝලෙකට යවා ගන්නවත් බැහැ. පංතියකට යවා ගන්න බෑ. මේ වත්තේම ඉපදිලා වත්තේම මැරිලා යන්නයි කියන්නේ. ගමේ ඉස්කෝලේ සාමාන්‍ය පෙළ වෙනකන් තියෙන්නේ. ඒත් ගුරුවරුන්ගේ අඩුපාඩු තියෙනවා.’

ගමේ ප‍්‍රාථමික පාසලක් සහ ද්විතීය පාසලක් තිබුණත් පාසලේ පහසුකම් අවමයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයටම පෙනෙන ද්විතීය පාසල බාහිර පෙනුමෙන් හරිම සුන්දරයි. එහෙත් ඒවායේ ජීවිත අතිශයින් දුක්ඛිතයි. මේ සියල්ලට අමතරව ඉදල්ගස්හින්නේ ඇසුණු කතා බොහෝවිට අසන්නට ලැබෙන වතු කම්කරු දෙමළ ජනතාවගේ මහා දුක් කන්දරාවේම තවත් දිගුවක් වුණා. අප මේ දිනවල කරුණු සොයමින් සිටින වකුගඩු අලෙවි කිරීමේ ජාවාරමට තමන්ගේ වකුගඩු පුදදුන් අය ඉදල්ගස්හින්නේත් හිටියා. ඔවුන්ගේ කතාව ඉදිරියේදී ලියැවේවි.

පුංචි නිවාසවලට කොටුවුණු ජීවිත බොහෝවිට ළමා විවාහ, උපත් පාලන උපක‍්‍රම අවම වීමෙන් ඉහළ ගිය දරුවන් ප‍්‍රමාණය වැනි ගැටලූ‍ බොහොමයකට මුහුණදෙනවා.

ඉදල්ගස්හින්න කියන්නෙ අපාය. එවන් මොහොතක හිතුණා.

දුම්රිය මඟ දිගේ

අප සමග කතාබහට එක්වුණා දුම්රිය මාර්ග අලූ‍ත්වැඩියා කරන මිත‍්‍රයෙක්. දුම්රිය මාර්ගය දිගේ ඇවිද යන අතරේදීයි ඔහු මුණගැහුණේ. ඔහු කියන විදියට ඔහිය, ඉදල්ගස්හින්න ඇතුළු ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපස වගා කරමින් ජීවිතය ගැටගසාගන්නා බොහෝදෙනෙකු ඉන්නවා. බොහෝවිට හෝර්ටන් තැන්න රක්ෂිතය, තංගමලේ රක්ෂිතය ඇතුළු රක්ෂිත භූමිවලටත්, දුම්රිය මාර්ගය අසලම ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තුවටත්, තවත් ඉඩම් සැලකිය යුතු ප‍්‍රමාණයක් තේ වතු සමාගම්වලටත් අයත් ඒවා. ඒවායේ අවසරයක් නැතිව පදිංචිවෙන ඔවුන් පුංචි බිමක වගාවන් කරනවා.

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මඟ දිගේ ඔහිය දෙසට අප ඇවිදගෙන ගියේ මෙවන් වගාබිම් හොයාගෙන.

මේ බොහෝවිට ප‍්‍රදේශවලට ඇතුල්වෙන්නට හැක්කේ දුම්රිය මාර්ගයෙන්මයි. දුම්රිය මාර්ගයේ ඇවිද ගොස් ඒ පුංචි ගොවිබිම්වලට ළඟා වෙන්න පුළුවන්. ඒ ගොවිබිම් මේ දුම්රිය මාර්ගයේ ගමන් කරන සංචාරකයන්ටත් අපූරු අත්දැකීමක්. ඔවුන්ට දකින්නට ලැබෙන අපූරුම දර්ශන ඒ ගමන් මාර්ගයේ තියෙනවා.

පිනවලින් වැසුණු ගෝවා පැල පාන්දර නැලවෙන අන්දම, කැරට් වගාවන් එක පෙළට හිනාවෙන අන්දම, සලාද කොළ නිවී හැනහිල්ලේ සිටින අන්දම, ඇපල කෝටුවල එතුණු බෝංචි වැල් නර්තනයේ යෙදෙන අන්දම දුම්රියේ ගමන්කරන සංචාරකයන් නරඹමින් සතුටුවෙනවා. ඒ දර්ශන කිසිදා අමතක නොවෙන තරම් සුන්දරයි.

ඒ සුන්දරත්වය මතුවෙන්නට සුද්දා එකල මේ දුම්රිය මාර්ග තනා ඇති අන්දමත් හේතුවෙනවා. රක්ෂිත වනයක් මැද්දෙන් තනා ඇති මාර්ගය පරිසරයෙන් අවශ්‍ය ඉඩ කොටස පමණක් වෙන් කරවාගෙන තනා තියෙනවා.

‘බලන්න මේ බිංගෙය, කෝච්චියේ මහතට තමයි හදලා තියෙන්නේ. කෝච්චිය වගේ දෙතුන්ගුණයක් බිංගෙය විශාල නැහැ.’ දුම්රිය මගේ අලූ‍ත්වැඩියා මිත‍්‍රයා පෙන්වනවා. එදා සුද්දා හැ¥ යකඩ පාලම් අදත් එලෙසම තියෙනවා. සුද්දා ගිය පසුව අපි තැනූ පාරවල් සිහිවෙනවා. මහා පස්කඳු ගොඩගසමින්, කඳු කපමින් දැන් ඉදිවෙන මාර්ගවලට වඩා මේවා මොනතරම් සුන්දරදැයි සිතෙනවා.

සරස්වතී

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට සැලකිය යුතු දුරක් යද්දී අපට මුණගැහුණෙ පුංචි නිවාසයක්. නිවාසයක්යැයි කීවත් එය ටකරම්වලින් තැනුණු මඩුවක්. නිවසේ සිටියේ සුබ‍්‍රමනියම් සරස්්වතී. ඇය දරුවන් අට දෙනෙකුගේ මවක්. ඇයට අටවැනි දරුවාත් ලැබුණු පසුව ඉදල්ගස්හින්න වතු නිවසේ ඔවුන්ට ජීවත්වෙන්නට ඉඩකඩ ප‍්‍රමාණවත් නොවුණු නිසා ඔවුන් වසර අටකට පමණ පෙර මෙතැනට ඇවිත් නිවසක් තනාගෙන තිබුණා. පුංචි ටකරම් මඩුවක් බඳු නිවසේ ඇයත් දරුවන් අට දෙනෙකුත් සැමියාත් වාසය කරනවා.

‘මහත්තයා එළවළු කොටුවල කුලී වැඩ කරනවා. මේ ඉඩම් අපි අල්ලාගත්තේ. මහත්තයා වැල්ලවායෙන් ආවේ. අපි වත්තේ ජීවත්වුණා. ඒත් ළමයි ලැබෙනකොට ගෙදර ඉඩ මදිවුණා. අටවැනි දරුවා ලැබුණාම අපි මෙතැනට ඇවිත් පදිංචිවුණා. දැන් ඒ ළමයාට අවුරුදු අටයි. ළමයි ඔක්කෝම ඉස්කෝලෙ යනවා. මහත්තයා වැඩට යනවා.’ සරස්වතී කියනවා.

ඔවුන් මුලින් ඉඩමේ වගා කටයුතු කරන්න උත්සාහ කර තිබුණත් වගාවක් සාර්ථක කරගන්න ඔවුන්ට හැකිවී නැහැ. එළවළු වගා කිරීමත් පහසු නැහැ. ඒ වෙනුවෙන් ලොකු ආයෝජනයක් කළ යුතුයි. දරුවන් අට දෙනෙකු සිටින පවුලක් කුලී වැඩවලින් නඩත්තු කිරීම පහසු නැහැ. මේ පුංචි නිවසේ ඔවුන් ගෙවන ජීවිතය ඉතා දුක්ඛිතයි.

‘අපි මාර දුකක් තමයි විඳින්නෙ. ඒත් මොනවා කරන්නද? ජීවත්වෙන්න වෙන ක‍්‍රමයක් නෑ. යන්න තැනකුත් නෑ. අපි ඒ නිසයි මෙතැන ඉන්නේ.’ සරස්වතී කියනවා.

තවත් පුංචි දුරක් යද්දී රමේෂ්ලාගේ වගාව මුණගැහෙනවා. ඒ වගාව පර්චස් පහළොවක පමණ පැතිරුණු එකක්. සාර්ථක වගාවක්. අපි එහි යද්දී රාබු, කැරට්, සලාද ආදිය වවා තිබුණා. රමේෂ් විස්තර කතාකරන්න පටන්ගත්තා.

‘මමයි නංගියි, මල්ලි කෙනෙකුයි අම්මායි තමයි දැන් ඉන්නෙ. අපේ පවුල අසූතුනේ ඉඳන් මෙතැන ඉන්නවා.

රස්සාව විදියට මම වගාව තමයි කරන්නේ. මේ ඉඩම් අයිති දුම්රිය දෙපාර්තමේන්තුවට. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්න කියලා තියෙනවා. ඒත් තවම අපෙන් බදු අයකරලා නැහැ. අපේ විස්තර එකතුකරගෙන ගියා.’

දුම්රියේ යද්දී සුන්දර දර්ශනයක් ලෙස පෙනුණත් මේ වගා කිරීම් පහසු නැහැ. විශේෂයෙන් අස්වැන්න සහ පොහොර ආදි විවිධ භාණ්ඩ මේ තැන්වලට රැුගෙන එන්නට නම් දුම්රිය මාර්ගය දිගේ කර තබාගෙන කිලෝමීටර් ගණන් ඇවිද යා යුතුයි. රක්ෂිතය අසල නිසා සතුන්ගේ කරදරවලට මුහුණදෙන්නට සිදුවෙනවා.

එපමණක් නොවේ රක්ෂිතයේ සිට ස්වාභාවික උල්පත්වලින් එන ජලය ප‍්‍රයෝජනයට ගන්නා ඔවුන්ට වර්ෂාව නැති කාලවලදී උල්පත් සිඳී ගිය පසුව විශාල ජල ගැටලූ‍වලට මුහුණදෙන්නට සිදුවෙනවා.

කොළඹසේන

කොළඹසේන මහත්තයා අපට මුණගැහුණේත් ඉදල්ගස්හින්නේ දුම්රිය ඉඩමක වගාවක සිටයි. කොළඹසේන කියා ඔහුට කියන්නේ ඔහු කොළඹ සිට ඉදල්ගස්හින්නට ආ නිසායි. ඔහුගේ සැබෑ නම වීරබණ්ඩාර. ඔහු හැත්තෑඑකේ කැරැුල්ලේ සාමාජිකයෙක්. බොරලැස්ගමුවේ පදිංචිකරුවෙක්. කැරැල්ලෙන් පසුව ඉදල්ගස්හින්නේ උඩුබිම්තැන්නට පැමිණෙන ඔහුට බිරිඳ මුණගැහෙනවා. දෙදෙනා විවාහ වී ගමේ කාලයක් ජීවත්වුණත් ආර්ථික ප‍්‍රශ්න වැඩිවෙද්දී දුම්රිය මාර්ගය අසල ඉඩමක වගාවට පැමිණෙනවා. මේ ඉසව්වේ දුම්රිය ඉඩම්වල මුලින්ම වගාවන් ආරම්භ කළේ කොළඹසේන මහත්තයායි.

ඔහු දේශපාලන අදහස්වලින් පිරුණු කෙනෙක්. දුම්රිය මඟ අසල සිටියත් රාවයත් කියවා ඇති කෙනෙක්.

‘මම විජේවීරට ගොඩක් ගෞරව කරනවා. අසූනවයෙ කරපු දේවල් ගැන වෙන විවේචනයක් තියෙනවා. හැබැයි මනුස්සයෙක් හැටියට මාර මොළයක් තියෙන පුද්ගලයෙක්. මාර හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්. අපි ගම්වල ඉඳන් ජවිපෙට සම්බන්ධවුණේ ඔහුගෙ හැකියාව හින්දා. දැන් ජේවීපියේවත් වෙන පක්ෂයකවත් ඒ වගේ නායකයො නැහැ. මිනිස්සුන්ට මඟ පෙන්වන්න පුළුවන්, මිනිස්සුන්ට ඉස්සරහෙන් ඉන්න නායකයො නෙවෙයි දැන් ජේවීපියෙ ඉන්නේ.

කැරැල්ලෙන් පස්සේ මම අවුරුදු ගාණක් ඇතුළේ හිටියා. මම කැරැල්ල වෙලාවෙ හිටියෙ දිවුලපිටිය පැත්තේ කෙහෙල්ඇල්ලේ ¥නගහ කඳවුරේ. මම දන්න විදියට ඒක තමයි ඒ කැරැුල්ල වෙලාවෙ ලංකාවෙ තිබුණ අවසන් කඳවුර. කටුනායකට ගහන්නයි හිටියේ. එතැන හිටියා නියම මිනිස්සු කණ්ඩායමක්. කැරැුල්ල අපේ‍්‍රල් අවසන් වුණාට අපි මැයි වෙනකන් කඳවුරේ හිටියා. ගොඩක් දේවල් ඉගෙනගත්තා.

හැත්තෑඑකේ කැරැල්ල වගේ නෙවෙයි අසූනවයෙ කැරැල්ල. ඒකෙදි මිනිස්සුන්ට ලොකු දැනුමක් ලැබුණෙ නෑ. ඒ වෙනුවට චණ්ඩිපාට් දාපු එකයි අසූනවයෙ කැරැල්ලෙදී කළේ. අසූනවය වෙද්දී මම මෙහේට ඇවිත්. ඒ වෙද්දී ගමේ කට්ටිය එක්ක මට සම්බන්ධතා තිබුණා. හැබැයි මම වැඬේට කැමතිවුණේ නැහැ. මම කිව්වා මේ වැඬේ නම් හරියන්නේ නැහැ කියලා.

මම මෙහාට නෙවෙයි ආවේ. කැරැල්ලෙන් පස්සෙ මම සොරගුණේ ගියා. ඒ උක් ගස් වවන්න. ඒක අසාර්ථක වුණාමයි මෙයාව බැඳලා මෙහේට ආවේ. උඩුබිම්තැන්න ගමටයි ආවේ. එහේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මම මෙතැන වගාකරන්න ආවා. මෙතැනට මම එද්දී කවුරුත් වගාකළේ නැහැ. ඉස්සර කාලේ වගාකරලා තිබුණා. ඒත් ඒ අයව අයින්කරලා තිබුණා. මම තමයි ආයේ පටන්ගත්තේ. මටත් යන්නැයි කීවා. ඒත් වෙන මොනවා කරන්නද. මම මෙතැන අල්ලාගෙනම හිටියා.’

කොළඹසේන මහත්තයා එක්ක සංවාදය මේ විදියටයි ඇදී ගියේ. ඔහු දේශපාලන අදහස්වලින් පිරුණු අයෙක්. ඉදල්ගස්හින්න පැත්තේ බුද්ධිමතෙක් විදියට ඔහුව සලකනවා. ඔහු සැබැවින්ම වෙනස් අදහස් තිබුණු බුද්ධිමතෙක්. උත්සාහවන්තයෙක්.

ඔහු වගාබිම ගල්වැටි දමා වෙහෙස වී සකසා තිබුණා. ඔහුත් බිරිඳත් දැන් වගාබිමේ ජීවත්වුණත් ඔහුගේ දරුවන් කිහිපදෙනෙක්ම මේ වෙද්දී වෙනත් ප‍්‍රදේශවල ජීවත්වෙනවා. වැඩිමහල් පුතා මේ වෙද්දී දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමකම වගා කරනවා.

‘මට දැන් ළමයි කියනවා වගා කරන එක නවත්තලා එන්න කියලා. ඒත් දැන්ම විශ‍්‍රාම ගන්න මට අදහසක් නෑ.’ තෘප්තිමත් හිනාවක් එක්ක කොළඹසේන මහත්තයා කියනවා.

හැත්තෑඑකේදී රටේම කැරැල්ලක් ගසන්නට උත්සාහ කළ ඔහු, එයින් වෙන්ව ඇවිත් ජීවිතයේ කැරැුල්ලක් ගසා තියෙනවා. දුම්රියේ ගමන්කරන සංචාරකයන් ඇඟිල්ල දිගුකරමින් පෙන්වන, පිනිවලින් වැසුණු එළවළු වගාවන් සමග ඔහු ජීවත්වෙනවා. නැවුම් සිහිල් ජලයේ පහස ඔහු විඳිනවා. ජීවත්වීමත් කැරැල්ලක්.

දුම්රිය ස්ථානයෙන් ස්ථානයට පසුව අවසානයට ළඟා වෙනවා මෙන් අපේ ගමනාන්තය වුණේ කොළඹසේන මහත්තයාගේ එළවළු වගාව. මෙවන් වගාවන් බොහොමයක් තියෙනවා. ඒත් ලොකු වෙහෙසක් එක්ක නැවත දුම්රිය ම
මාර්ගය දිගේ ඉදල්ගස්හින්න පැත්තට අපි පිය නඟනවා.