රාවය

ලෝකයේ දැනට සාර්ථකම ආර්ථික ක‍්‍රමය ඇත්තේ චීනයේ

ලෝකයේ දැනට සාර්ථකම ආර්ථික ක‍්‍රමය ඇත්තේ චීනයේ

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

 

ලෝක දේශපාලනික නැඹුරුතාවන් එක්ක ඔබට ලංකාව තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද?

අපේ රටේ දේශපාලනය ලෝකයේ අනෙකුත් රටවල පෙනෙන්න තියෙන ආකාරයට ම ඉතා ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. ඇත්තටම මේක විශ්වව්‍යාපී අර්බුදයක ප‍්‍රතිඵලයක් හැටියටයි මම පිළිගන්නේ.

අද වන විට එක පැත්තකින් ධනවාදී ලෝකය අර්බුදයකට ගිහින් තියෙනවා. ඒ වගේම සමාජවාදී කියලා අපි හිතාගෙන හිටපු සෝවියට් ක‍්‍රමය බිඳවැටිලා දැන් අවුරුදු විසි හයක් විතර ගිහින්. චීනය වෙනම ගමනක් යනවා. ඊට අමතරව පරණ තිබුණු, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය කියන ඒවා වෙනම ගමනක් යමින් ඉන්නවා. ඒ ගමන ටිකක් සාර්ථකයි නමුත් සම්පූර්ණයෙන් සාර්ථක නෑ. ෆින්ලන්තය සහ නෝර්වීජියානු රටවල් ඒ අතර තියෙනවා.

මම පුද්ගලිකව විශ්වාස කරන්නේ ලංකාවට මේ වෙලාවේ හොඳටම ගැළපෙන්නේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්ථික ක‍්‍රමය කියන එක. ඊට අමතරව මං විශ්වාස කරන විදියට ලෝකයේ දැනට තියෙන සාර්ථකම ආර්ථික ක‍්‍රමය ක‍්‍රියාත්මක වෙන්නේ චීනයේ. ඒ අය සෝවියට් රුසියාවෙනුත් පාඩම් ඉගනගනිමින් තමයි තමන්ගේ ක‍්‍රමය ගොඩනගාගත්තේ. ඒක රුසියාව අර්බුදයට ගෙනිච්ච ගැටලූ වටහාගනිමින් වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනගමින් සහ සමහර තීරණාත්මක ප‍්‍රතිසංස්කරණයන් සිදුකරමින් ආරම්භ කළ ගමනක්.

 

මේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ මූලික ලක්ෂණ මොනවාද?

 

සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ධනවාදය ඇතුළේම තියෙන එකක් තමයි. නමුත් ධනවාදී වෙළඳපොළ පවත්වාගෙන යන අතරේම සුබසාධන පහසුකම් ඉතාමත් දියුණු මට්ටමකට ගෙනඒම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්ෂණයක්. විශේෂයෙන් සෞඛ්‍ය අධ්‍යාපනය වගේ තැන්වලදී විශේෂයෙන් රජය ඒකට මැදිහත්වෙලා ඒවා සම්පූර්ණයෙන් කරන්න  ඕනෑ. එක්තරා අවස්ථාවකදී අපේ රටෙත් තිබුණා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යන නැඹුරුවක්. නමුත් හැත්තෑ හතේ ආණ්ඩුව එන්න කලින්් හැත්තෑ පහ හැත්තෑ හය වගේ තිබුණු තත්ත්වයට යන්න මේ රටේ මිනිස්සු අද කැමති නෑ.

අපේ රටේ බැලූබැල්මට පෙනෙන්න නිදහස් අධ්‍යාපනයකුත් නිදහස් සෞඛ්‍යයකුත් තියෙනවා. නමුත් ඒ විදියේ දේවල් තියෙන අතර පුද්ගලික අධ්‍යාපනයත් පුද්ගලික සෞඛ්‍යයත් ඒ තරමට ම තියෙනවා. සයිටම් ප‍්‍රශ්නය බිහි වුණේ මේ අර්බුදයේ ප‍්‍රතිඵලයක් හැටියට.

කොහොම වුණත් මට පෙනෙන හැටියට ලංකාවට කොහොමත්ම නව ලිබරල්වාදී ධනවාදී ක‍්‍රමයක ගමන් කරන්න බෑ. ඒ වගේම ඇමරිකාව වගේ රටවල් දැන් කටයුතු කරන ආකාරයට ඒ අයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපිට උදව් කරයි කියලා හිතන්නත් බෑ.

ජනවාරි අටවෙනිදායින් මෙහා ගොඩනැගීමට අදහස් වුණ යහපාලනික සංකල්ප තුළ සෑහෙන ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණයන් තිබුණා. මේ තත්ත්වය තුළ රටේ දිශානතිය වෙනස් වුණේ නෑ කියලා ද ඔබ කියන්නේ?

ඔව්. මේ රජය බලයට පත්වීමත් සමග රට තුළ එක වැදගත් කටයුත්තක් වුණා. ඒ රට තුළ යම්  ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් උදා වෙලා තිබීම. නමුත් ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයෙන් තවමත් ප‍්‍රයෝජන අරගෙන තියෙන බවක් පෙනෙන්නේ නෑ. විශේෂයෙන් බැඳුම්කර සිදුවීම වගේ ¥ෂණ ඒ වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් නිසි පරිදි ක‍්‍රියාත්මක වුණා නම් සිදුවන්නේ නෑ.

 දෙදහස් පහළවේ ජනවාරි අටවෙනිදා මේ පාලනය ඇති කරගත්තේ ඊට කලින් තිබුණු ආණ්ඩුවේ වැරදිවලට එරෙහි ප‍්‍රතිචාරයක් විදියට. විශේෂයෙන් අධිකාරීවාදී ඒකාධිපති පාලනයක් ගෙනයෑමට තැත් කිරීම, ඉහවහා ගිය දුෂණය, ජනමාධ්‍ය නිදහස නැති කිරීම, යුද්ධය නිමා කළත් ජාතික ප‍්‍රශ්නයට සැබෑ විසඳුමක් ගැනීමට උවමනාවක් නැතිකම සහ ජාතිවාදයට නැඹුරුවීම වගේ හේතු තමයි එතැනදී තදින් බලපෑවේ.

කොහොම වුණත් ඊට එරෙහිව බිහිවුණ මේ ආණ්ඩුව තුළ නිතර කැපීපෙනුණ කරුණ වුණේ මේ ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දෙපිරිස අතර බොහෝ කාරණාවලදී ඒකමතියක් නොතිබීම. අද වන විට මේ දෙපිරිස ප‍්‍රසිද්ධියේ ගැටෙන මට්ටමට තත්ත්වය උඩුදුවලා තියෙනවා.

විශේෂයෙන් මේ රජය බලයට ආවාට පස්සේ ඒ අය බලාපොරොත්තු වුණා රටට සෑහෙන පරිදි විදේශ ආයෝජන එයි කියලා. නමුත් ඒවා ආවේ නෑ. වියට්නාමය, බංගලි දේශය වගේ රටවල් එක්ක සංසන්දනය කරලා බැලූුවාම අපේ මේ ගැටලූව තවදුරටත් ඉස්මතුවෙලා පෙනෙනවා. සමහරු හිතනවා අපේ රටේ ආයෝජන සඳහා මෙහෙම වෙන්නේ, අපේ රටේ නිෂ්පාදන වියදම වැඩි නිසා කියලා සහ සේවකයන්ට ගෙවන්න වෙලා තියෙන වැටුප වැඩි නිසා කියලා. ඊට අමතරව කම්කරුවන් සම්බන්ධව අපේ රටේ පවතින නීති තද වැඩියි කියලා. විශේෂයෙන් සේවයට නොගැළපෙන සේ සලකන කම්කරුවෙකු රස්සාවෙන් ඉවත් කිරීමේදී වගේ තැන්වලදී සෑහෙන නීති ගැටලූවලට මුහුණ දෙන්න වෙනවා කියලා. නමුත් මේ දේවලට ඇත්ත හේතු ඒවා නෙමෙයි. ඇත්ත හේතු තමයි මේ රටේ ක‍්‍රියාත්මක වන අල්ලස් ක‍්‍රමය.

විශේෂයෙන් පහුගිය ආණ්ඩු කාලයේ අපි දැක්කා දේශීය හෝ විදේශීය ආයෝජකයෙක් යම් ව්‍යාපාරයක් පටන්ගනිද්දි ඔවුන්ට සිදුවුණා අල්ලස් ලබාදීම වෙනුවෙන් විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන් කරන්න. ඒ නිසා ඒ අය ආයෝජනය නොකර අතඇරලා දාලා තිබුණා. ඒ වාගේම ඒ තත්ත්වය මේ ආණ්ඩුව යටතේත් වෙනසක් නෑ වගේයි දැන් පෙනෙන්නේ. අද වුණත් දෙස් විදෙස් ආයෝජකයෙක් යමක් කරනවා නම් ඒ අයට නිලධාරීන්ට සහ දේශපාලනඥයන්ට කොමිෂන් දෙන්න වෙනවා. ඒ නිසා මේ ක‍්‍රමය නැති කරගන්න  ඕනෑ. දුෂිත නිලධාරීන්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් ආයෝජන බේරගත්තේ නැත්නම් රට හැමදාම මේ විදියම තමයි.

අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති වෑයම ඉදිරිගාමී පියවරක් හැටියට ඔබ සලකන්නේ නැද්ද?

මම පැහැදිලිව කියන දෙයක් තමයි අපිට අලූත් ව්‍යවස්ථාවක්  ඕනෑ කියන එක. ඒ ව්‍යවස්ථාව විශේෂයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන, පාර්ලිමේන්තුවට බලය ලබාදෙන සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ව්‍යවස්ථාවක් වෙන්න  ඕනෑ.

නමුත් ජනාධිපතිවරයා පුමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අගමැතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත්  අලූත් ව්‍යවස්ථාව පිළිබඳව දරන එකිනෙකට වෙනස් ආකල්ප නිසා අලූත් ව්‍යවස්ථාවක් පිළිබඳ කාරණය ද අර්බුදයට යමින් තියෙනවා.

අගමැතිවරයා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නිතර උත්සාහ කරන්නේ නව ලිබරල්වාදී පියවරකට යෑමට. නමුත් ජනාධිපතිවරයා කියලා තියෙනවා මම දැක්කා තමං සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ගොඩනගන්න වෑයම් ගන්නවා කියන එක. එතුමා ඒක තේරුමක් ඇතිව කිව්වාද කියන්න මම දන්නේ නෑ. නමුත් මේ ගැටුම තියෙනවා නිතරම. මත්පැන්හල්වලින් බීම ලබාගැනීම හා ඒවා විකිණීමට කාන්තාවන්ට තියෙන තහනම ඉවත් කරමින් මුදල් ඇමතිවරයා ගෙන ආ ප‍්‍රතිසංස්කරණය තමයි අද තියෙන අලූත්ම ගැටලූව. දැන් ඒක අහෝසි කරලා තියෙනවා ජනාධිපතිවරයා. කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න බෑ පිරිමින්ට විතරක් පුළුවන් කියන්නේ, කාන්තාවන් පිළිබඳ පසුගාමී සැලකිල්ලක් බව පැහැදිලියි. මේ වගේ දේවල අභාග්‍ය තමයි නොදැනුවත්වම රට මූලධර්මවාදයක් කරා යෑමට පටන් ගැනීම.

අතිශය මූලධර්මවාදී රටවල් වුණ සවුදි අරාබියේ පවා අද වන විට ඒ තත්ත්වයන් වෙනස්වෙමින් තියෙනවා. අද සවුදි අරාබියේ කාන්තාවන්ටත් මෝටර් රථ පැදවීමට ලයිසන් ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිටත් වඩා පසුගාමී රටක් හැටියට සැලකෙන නේපාලයේ පවා දැන් නිර්ආගමික සහ ඉතාමත්ම ප‍්‍රගතිශීලී අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගොඩනගමින් ඉදිරි පියවරක් තබලා තියෙනවා. මේ වගේ ජාතිවාදී ආගම්වාදී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හැම තැනකදීම දකින්නට පුළුවන් අනික් ලක්ෂණය තමයි මූලධර්මවාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමූහයකුත් හැම වෙලාවෙම ඒ තීරණ වෙනුවෙන් පෙනී ඉන්න එක.

කොහොම වුණත් කලිනුත් කිව්වා වගේ, මේ කාලය තුළ මාධ්‍ය නිදහස, කතාකිරීමේ නිදහස වගේ දේවල් ගොඩක් දුරට තහවුරු වුණා. අද මිනිස්සු මරන්නේ නෑ. පැහැරගන්නේ නෑ. නමුත් මේ වෙලාවේ තියෙන තවත් ප‍්‍රධානතම ප‍්‍රශ්නයක් වෙන්නේ සුදුසු තැන්වලට සුදුසු පුද්ගලයින් පත්කරගැනීමට මේ ආණ්ඩුව අසමත් වීමයි. ඇමති මණ්ඩලයේ සිට පහළට ඇති හැම තනතුරක් සඳහාම ඒ විදියයි. ඒ නිසා රටේ ජනතාවට කාර්යක්ෂම සහ ගුණාත්මක සේවයක් ලබා දෙන්න බැරිවෙලා තියෙනවා මේ අයට.

 

පවතින ආණ්ඩු දුර්වල වන හැම අවස්ථාවකම අපේ රටේ නව විකල්පයක් විදිහට පෙනී ඉන්නේ පැවති ආණ්ඩු පක්ෂ. ඒ දේ ඉදිරි මැතිවරණයත් එක්ක තක්සේරු කරන්නේ කොහොමද?

සැබෑ විකල්පයක් මතු නොවීම කියන කාරණය අපිට තියෙන ගැටලූවක් තමයි. ඔබ කිව්වා වගේ මේ වනවිට සමාජයේ නව විකල්ප පක්ෂය හැටියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මතුවෙන්න උත්සාහ දරන්නේ. නමුත් ඒ අය මීට කලින් රට ගෙනගිය විදිය පැහැදිලියි.

කොයි දේ වුණත් යහපාලන ආණ්ඩුවේ දුර්වලතාවන්ගෙන් ඒ පක්ෂයට විශාල වාසියක් අත්වෙයි කියලා මම හිතන්නෙ නෑ. මොකද ඒ පක්ෂය තුළ ඊට වඩා අර්බුද තියෙනවා.

වෙන එකක් තියා පක්ෂයට සැබෑ නායකයෙක් නැති අර්බුදයෙන් පවා ඒ පක්ෂය පීඩා විඳිනවා. අද ඒ අයට සිද්ද වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මූණ පාවිච්චි කරන්න. නමුත් මහින්ද රාජපක්ෂ කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරයෙක්.

අද මහජන පරමාර්ථ ඇතුළේ තියෙන්නේ ප‍්‍රධාන සංකල්ප දෙකයි. එකක් ¥ෂණයෙන් තොරවීම. අනික සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තහවුරු කිරීම. යමෙක්ට විකල්පය වෙන්න පුළුවන්නේ මේ දේවලට මහන්සි වෙන විදිය එක්ක.