රාවය

මොහාන් පීරිස් බැගෑපත් වුණු හැටි

මොහාන් පීරිස් බැගෑපත් වුණු හැටි

 

පසුගිය 17වැනිදා ඇල්පිටියේ පැවැති මැතිවරණ ප‍්‍රචාරක රැුලියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඔහුම මීට පෙර අඩු වැඩි වශයෙන් කියා ඇති දෙයක් යළිත් විස්තර සහිතව කිව්වේය. 2015 ජනවාරි 8 වැනිදා තමා ජනාධිපති පදවියට පත්වුණු වහාම එනම්, ජනවාරි 10 වැනිදා එවකට අගවිනිසුරු මොහාන් පීරිස් තමා හමුවීමට පැමිණි ආකාරයයි. බිරිඳත් සමග පූර්ව අවසරයක් නැතිවම රාත‍්‍රී ජාමේ තමා හමුවීමට පැමිණි මොහාන් පීරිස් අගවිනිසුරුවරයා, තමා කියන විදියට  ඕනෑම තීන්දුවක් දෙන්නට සූදානම් බව තමාට කී බව ජනාධිපතිවරයා එම රැස්වීමේදී කිව්වේය. අගවිනිසුරුකමෙන් තමා ඉවත් නොකරන ලෙසද අවුරුද්දක්වත් එම තනතුරේ සිටින්නට ඉඩ දෙන ලෙසද ඔහු තමාගෙන් ඉල්ලා බැගෑපත් වුණු බවද ජනාධිපතිවරයා කිව්වේය. එක දිගටම දින තුනක් රාත‍්‍රියේ තමා හමුවීමට පැමිණි ඔහු සමග කෝපයෙන්, ‘අගවිනිසුරු තනතුර ගැන ආණ්ඩුව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ නිසා නැවතත් මෙහි පැමිණීම අනවශ්‍යයැ’යි කියන්නට පවා සිදුවුණු බව ජනාධිපතිවරයා කිව්වේය.

මේ කියන අගවිනිසුරු මොහාන් පීරිස් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙලෙස හමුවීමට දින දෙකකට පෙර, එනම් ජනවාරි 8 වැනිදා රාත‍්‍රිය ගතකළේ අරලියගහ මන්දිරයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තියාගන්නේ කෙසේදැයි කුමන්ත‍්‍රණය කරමිනි. මෛත‍්‍රීපාල සිරිසේන ජයගත්තත්, ඔහුට බලය නොදී, හදිසි නීතිය යටතේ, යුද හමුදාව පාරට බස්සවා, මහජන කැළඹිලි වෙතොත් ඒවා මර්දනය කර මහින්ද රාජපක්‍ෂ තවදුරටත් බලයේ තබාගැනීම එදා අරලියගහ මන්දිරයේදී කතාකෙරුණු මාතෘකාවයි. භික්‍ෂුවක් පෙත්සමක් ඉදිරිපත් කළහොත්, තවත් අවුරුදු දෙකක් මහින්ද රාජපක්‍ෂට බලයේ සිටිය හැකි බවට අධිකරණ තීරණයක් තමාට දිය හැකි බවට අගවිනිසුරු මොහාන් පීරිස් එම රැස්වීමේදී සහතික විය.

ඒ අනුව, ජනවාරි 8වැනිදා රාත‍්‍රියේ කුමන්ත‍්‍රණයේ සැලසුම වුණේ, හමුදාව යොදා රටේ බලය පවත්වාගෙන යෑමත්, ඒ අතරතුර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහින්ද තවත් අවුරුදු දෙකක් බලයේ සිටීම සාධාරණය කිරීමත්ය. එහෙත් අවසානයේ ඒ කුමන්ත‍්‍රණ වෑයම හකුළා ගන්නට සිදුවිය. පොලිස්පතිවරයා, නීතිපතිවරයා හා යුද හමුදාපතිවරයා කුමන්ත‍්‍රණ සැලසුමට විරුද්ධ වීම නිසාය. එහෙත්, මනුවර්ණ පසුව දැනගත් පරිදි, එවකට යුද හමුදාපති දයා රත්නායක ඊට විරුද්ධ වී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇති විශේෂ ඇල්මකින් නොවේ. තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමත් සමගය. විශේෂයෙන් හමුදාවල සාමාජිකයන් දුන් තැපැල් ඡුන්දවලින්ද මෛත්‍රිපාල සිරිසේන මහතා කිසියම් ආකාරයකට ඉදිරියෙන් සිටින බව පෙනෙන විටය. එම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව රාජපක්‍ෂවාදී හමුදා කුමන්ත‍්‍රණයක් සඳහා හමුදාව ඇතුළෙන් සහාය ලබාගැනීමට නොහැකිවේය යන සැකය නිසා මේ කුමන්ත‍්‍රණ වෑයමට යුදහමුදාපතිවරයා කැමැත්තක් නොදැක්වුවේයැයි දැනගන්නට තිබේ.

කොහොම වුණත්, ජනවාරි 8 වැනිදා රාත‍්‍රියේ තවත් අවුරුදු දෙකක් බලයේ ඉන්නට මහින්ද රාජපක්‍ෂට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන්නට පොරොන්දුවුණු අගවිනිසුරු මොහාන් පීරිස්, ඊට දින දෙකකට පසු අලූතෙන් පත්වුණු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හමුවී ඔහු කියන  ඕනෑම විදියකට තීන්දු දෙන්නට සූදානම් වීම මොන තරම් නම් බිහිසුණු දෙබිඩිකමක්ද?

මොහාන් පීරිස් අගවිනිසැරුවරයාගේ මේ හැසිරිම පෙන්වන්නේ ඒ කාලයේ අදිකරණය වැටී තිබුනු ඉතාම පහත් අඩියයි. ඇල්පිටිය රැස්වීමේදී ජනාදිපති සිරිසේන කිවූ ආකරයෙන්ම, අරලියගහ මන්දිරයේ සිට ලැබෙන දුරකතන ඇමසතුම් අනුව විනිසුරුවරුන් සිය ීථන්දු ලියන කාලයක් එදා උදාවි තිබුණේය.

කුමන ආකාරයේ විවේචන තිබුණත්, අද ආණ්ඩුවේ ඉහලින්, ඒ කියන්නේ ජනාධිපතිවරයාගෙන් වගේම අගමැතිවරයාගෙන්ද  අධිකරණයට දුරකථන ඇමතුම් ලැබෙන බවක් දැනගන්නට නැත. විනිසුරුවරුන් ජනාධිපතිවරයාට වුවමනා විදියට පත්කෙරෙන්නේද නැත. ජනාධිපතිවරයා විසින් ඉහළ අධිකරණ විනිසුරු ධුරවලට නම් යෝජනා කරන ලද විනිසුරුවරුන් පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප‍්‍රතික්‍ෂෙප කළ අවස්ථා අපි පසුගිය මැත කාලයේ දුටිමු.

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ දුරකථන ඇමතුම් නොදුන් පළියට අධිකරණ ස්වාධීන වන්නේද නැත. සමහර විට සිදුවන්නේ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ කැමැත්ත මේයැයි සිතා අධිකරණය ඒ අනුව තින්දු තීරණ දීමය. එය ස්වයං පක්‍ෂපාතිකමක් හැටියට හැඳින්විය හැකිය. හිටපු අගවිනිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ධුරය අතහැර ගෙදර යන්නට සිදුවුණේ, ආණඩුවේ, විශේෂයෙන් බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ කැමැත්ත ගැන නොසලකා, ඊට එරෙහිව දිවිනැගුම පනත් කෙටුම්පත ගැන තීරණයක් දුන් නිසාය. එහෙත්, වර්තමානයේ ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ හෝ කැමැත්ත ගැන සැලකිලිමත් නොවී, ඊට එරෙහි තීන්දුවක් දෙන්නට පවා ස්වාධීනකමක් අධිකරණය වෙත ලැබී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමාගේ ධුර කාලය අවුරුදු 5ක්ද 6ක්ද යන්න ගැන පැහැදිලි කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යවන ලද ඉල්ලීමට අධිකරණය දුන් පිළිතුර දැන් කවුරුත් දනිති.

දේශපාලන ක්‍ෂෙත්‍රයේ බොහෝදෙනා කියන්නේ, වටේට ඉන්නා උපදේශකයන් ජනාධිපතිවරයාට ලණුවක් දුන් බවයි. විශේෂයෙන්, පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා, මේ අවුරුදු 5-6 විමසීමේ කතාවේ මුල සිටම ජනාධිපතිවරයා ඒ ගැන උනන්දු කළ බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. ඒ අනුව, ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම හුදෙක් වසර 5ක ධුර කාලයක් බලාපොරොත්තුවෙන් කළ එකක් නොවේ. ජනාධිපතිවරයාගේ ඒකායන බලාපොරොත්තුව වුණේ වසර හයකට සිය ධුර කාලය පවතිනු ඇතැ’යි කියාය. ඔහුගේ ඒ කැමැත්ත ප‍්‍රකාශ වුණේ මෙම කාරණය සම්බන්ධයෙන් මැදිහත්කාර පාර්හ්වයක් හැටියට ඉදිරිපත් වුණු උලපනේ සුමංගල හිමියන්ගෙන් හා නීතිපතිවරයාගෙනි. මෙ දෙදෙනාගේම තර්කය වුණේ ජනාධිපතිවරයාට අවුරුදු හයක් කාලය ඇති බවයි.

මෙවැනි මොහොතක, පක්‍ෂපාත අධිකරණයක් නම්, කළ හැකිව තිබුණේ, ජනාධිපතිවරයාගේ කැමැත්ත ප‍්‍රකාශ වන්නේ මොන පැත්තටදැයි සලකා බලා ඒ පැත්තට යන තීන්දුවක් දීමය. වැල යන අතට මැස්ස ගැහීමය. හානි අවම හා වාසි වැඩිම ඒ විදියට වැඩකිරීමයි. එහෙත්, අගවිනිසුරුවරයා පවා, සැක ඇති නොවීමට හා විනිවිද පෙනීමට, ශේ්‍්‍රෂ්ඨාධිකරණයේ ඉහළ සිට පහළට ජ්‍යෙෂ්ඨත්වය අනුව විනිසුරුවරුන් පස් දෙනකු පත්කළේය. එහෙත් ඒ ජ්‍යෙෂ්ඨත්ව මට්ටමේ ඇතුළත්ව සිටි ප‍්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා මේ විමසීමට සහභාගි වීම ප‍්‍රතික්‍ෂෙප කළ බව කියැවෙයි.

අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 5ක් බව තීන්දු කළේය. කොන්ද කෙලින් තියාගෙන ඔවුන් ගත් ඒ තීරණය ගැන බොහෝ ප‍්‍රශංසා ගලා ආවේය.

ඇත්ත වශයෙන්ම නම්, මනුවර්ණ පසුගිය සතියේදීද මෙහි කිවූ පරිදි, ජනාධිපතිවරයාගේ ධුර කාලය ගැන ආණ්ඩුක‍්‍රම වයවස්ථාවේ විධිවිධානය ඉතා පැහැදිලිය. එය 19 වැනි සංශෝධනයේ පරිදි විය යුතුය. එනම්, අවුරුදු පහකි. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව එම තීරණයේ සිටීමෙන් නැවත වරක් පැහැදිලි කළේ වර්තමානයේ අධිකරණයට, දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීන තීන්දුවක් ගැනීමට හැකියාව තිබෙන බවයි. නැවත වාරයක් එය ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ කාරණය සමග සැසඳුවහොත්, ආණ්ඩුවේ පනත් කෙටුම්පතක් ගැන ආණ්ඩුව අකමැති තීන්දුවක් දුන් නිසා එදා හිටපු අගවිනිසුරුවරියට ගෙදර යන්නට සිදුවන විට, අද ජනාධිපතිවරයාගේ කැමැත්තට විරුද්ධව වුණත් තීන්දුවක් දෙන්නට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකිය.

දැනගන්නට තිබෙන වැදගත්ම කාරණය නම්, තීන්දුව නිසා කුමන දේශපාලන අවාසියක් තමාට සිදුවීමට ඉඩ තිබුණත්, ජනාධිපතිවරයා එක දුරකථන ඇමතුමක් වත් විනිසුරුවරුන්ට නොදුන් බවයි. ජනාධිපතිවරයාද ඒ බව උජාරුවෙන් කියන විට, ඔහුට එලෙස කියන්නට අයිතියක් තිබෙන බවද පිළිගන්නට සිදුවෙයි. අගමැතිවරයා වුණත්, කිසිම දවසක අධිකරණ කටයුතුවලට මැදිහත්වුණු බවක් තවමත් අසන්නට නැත.

අවුරුදු 5 ස්ථිර වීමත් සමග ඊළඟ ජනාධිපතිවරණය 2019 නොවැම්බර් මාසයෙන් පසුව පැවැත්විය යුතුව තිබෙන බව පැහැදිලිය. ඒ කියන්නේ ජනාධිපතිවරයාට ඇත්තේ තවත් අවුරුදු දෙකකටත් අඩු ධුර කාලයකි. අවුරුදු 5 තීන්දු වීමත් සමගම, ඒ අවුරුදු පහ 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වුණු දවසේ සිට ගණන් බැලිය යුතුයැයි තවත් මතයක් පැනනැගුණු නමුත්, එය 19 සංශෝධනයේ ව්‍යවස්ථා හා වගන්ති පටලවා ගැනීමකින් සිදුවුණු දෙයකි. හැබැයි කවුරු හරි ඒ තර්කය ඉදිරියට ගෙනෙනවා නම්, නැවතත් ඒ ගැන පැහැදිලිකිරීමක් ලබාගන්නට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියටම යන්නට සිදුවෙයි. එය ප‍්‍රායෝගික දෙයක් නොවේ.

කොහොම වුණත්, ශ්‍රිලනිපය පැත්තෙන්, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමතිවරයා කියන්නේ ජනාධිපතිවරයා මීළඟ ජනාධිපතිවරණයටද ඉදිරිපත් වනු ඇති බවයි. ඒ කියන්නේ, ඊට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ වුවමනාවක් ශ‍්‍රීලනිපය පැත්තෙන් නොපෙන්වන බවද?

ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දෝ ජනාධිපතිවරයා දුෂණ විරෝධයේ ධජය සියතට තදින් අරගෙන ඇති බවක් පෙනෙයි. ඔහු කියන්නේ ජනාධිපති කොමිෂන් සභා දෙකෙන්ම හෙළිවන අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට නව නීති තුනක් පනවන බවත්, ඔවුන්ට විරුද්ධව නඩු දැමීමේ ක‍්‍රියාවලිය ඉක්මන් කරන බවත්, ඒ කටයුතු තමා පෞද්ගලිකව අධීක්‍ෂණය කරන බවත්ය.

ඒ අතර, මේ සතියේ කැබිනට් රැස්වීම ආරම්භයේදී පැය භාගයක පමණ කතාවක් කළ ජනාධිපතිවරයා, එජාපය විසින් තමා විවේචනය කිරීම ගැන සිය නොරිස්සුම පළකර මුලසුනෙන් නැගිට ගියේය. ඔහු යළිත් රැස්වීමට කැඳවා ගන්නට විශාල පරිශ‍්‍රමයක් දරන්නට සිදුවුණු බවද දැනගන්නට තිබේ. එක පැත්තකින් ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ආවේගශීලීව කැබිනට් රැස්වීමේදී කටයුතු කරන්නට යෑම ගැන විවේචනයක් ඉදිරිපත් කළ යුතුය. ආවේගශීලීව කැබිනට් මණ්ඩලය තුළ හැසිරීම ජනාධිපතිවරයා වැනි දීර්ඝ කාලීන පළපුරුද්දක් ඇති පුද්ගලයකුට කිසිසේත් නොගැළපෙන්නේය.

අනෙක් අතට ඔහුට එසේ නැගිට යන්නට සාධාරණ හේතුද නොඅඩුව තිබුණි. එක්සත් ජාතික පක්‍ෂය පැත්තෙන්, විශේෂයෙන් එහි පසුපෙළ ආධුනික මන්තී‍්‍රවරුන්ගේ පැත්තෙන් ඔහුට එල්ල් වන පහත් ආකාරයේ විවේචන නිසාය. විශේෂයෙන්, මුදල් ඇමති රවි කරුණානායක ධුරයෙන් ඉවත්කිරීමත් සමග ජනාධිපතිවරයාට පෞද්ගලිකව එල්ලවන ප‍්‍රහාර වැඩිවී තිබුණි. රවි කරුණානායක ඇමතිවරයා මේ ප‍්‍රහාරවල පිටිපස සිටින්නේයැයිද, ඒ අතර මත පළවෙයි. කිසියම් පුද්ගලයකු හෝ කිහිප දෙනකු සැලසුම් සහගතව ඍජුව පමණක් නොව වෙබ් අඩවි මාර්ගයෙන් පවා තමා වෙත ප්‍රහාර එල්ල කරන බව ජනාධිපතිවරයා නිතර කියන දෙයකි.

මේ තත්ත්වය වටහාගත් අගමැති රනිල් වික‍්‍රමසිංහ බැඳුම්කර වාර්තාව එළිදැක්වීමත් සමගම, එජාපයේ කට සැර මැති ඇමතිවරුන් පෞද්ගලිකවම අමතා මොනම හේතුවක් නිසාවත් ජනාධිපතිවරයා විවේචනය නොකළ යුතු බව අවධාරණය කළේය. එදා ප‍්‍රශ්නසහගත කැබිනට් රැස්වීමෙන් පසුවද, එජාපය නැවතත් එම ප‍්‍රතිපත්තියෙහි තදින් පිහිටා සිටින්නට තීන්දු කළ බව දැනගන්නට තිබේ.

එහෙත්, සංවිධානාත්මකව, සැලසුම්සහගතව  අනෙක් පාර්ශ්වයට ප‍්‍රහාර එල්ල කරන්නේ එජාප පසුපෙළ මැති ඇමතිවරු පමණක් නොවෙති. ශ‍්‍රීලනිපයේ මැති ඇමතිවරුද පසුගිය කාලය පුරාම කළේ, සැලසුම්සහගත ලෙස එජාපයටත්, අගමැතිවරයාටත් ප‍්‍රහාර එල්ල කිරීමයි. විරුද්ධ වන්නට වේලාවක් නැති නිසා හෝ, ඒවා සමග පටලැවීමෙන් පලක් නැතැයි සිතා හෝ විරුද්ධව කිසිවක් නොකීවද, එජාපයේ ඉදිරිපෙළ මෙන්ම පසුපෙළ මන්ත්‍රිවරුන්ද සිටියේ තරමක් නොසන්සුන්කමකිනි. ජනාධිපතිවරයා, මේ ප්‍රහාර එල්ල කරන පුද්ගලයන්ට අවවාද කළ බවක් දැනගන්නට නොහැකිවිය. ඉන් සමහර ශ්‍රිලනිප දේශපාලකයන් ඇහුවාම කියන්නේ, තමන් එජාපයට ප‍්‍රහාර එල්ල කරන්නේ ඉහළින් තමන්ට කියන නිසා බවයි.

මේ සිදුවීම්වලින් ආණ්ඩු කඩා වැටෙන්නේ නැත. එහෙත්, ආණ්ඩුව මහජනතාව ඉදිරියේ දිගින් දිගටම හෑල්ලූවට ලක්වෙමින් නම් තිබේ. බලයට එන්නට පෙර, එක්ව ආණ්ඩු කරන බව මහජනතාවට දෙපාර්ශ්වයම කීවේ නම්, දැන් ආණ්ඩු කළ යුත්තේ ඒ මහජන පොරොන්දුව මතය. එක්ව වැඩ කිරීමෙන් ලබාගත හැකි ජයග‍්‍රහණ රාශියක් ඉදිරියටද තිබෙන බැවිනි.