දුෂණ විරෝධය – යහපාලනයේ ඉහිරුණු කිරි

වික්ටර් අයිවන් මහතා ‘රාවය’ පත්තරයට පසුගිය කාලයේ ලියූ ලිපිවලදී ඔහු නිතර භාවිත කළ වාක්‍යයක් තිබිණ. එය නම් ‘දේවල් සිදුවන්නේ විකාරරූපීවය’ කියායි. පසුගිය දින කිහිපය තුළ කොළඹ කේන්ද්‍ර කොටගත් දේශපාලනයේ සිදුවූ දේවල් විවරණය කරමින් වික්ටර් අයිවන් මහතා මේ සතියේ ලියූ ලිපිය සම්පූර්ණයෙන්ම ‘දේවල් සිදුවන්නේ විකාරරූපීවය’ යන වාක්‍යය පමණක්, විවිධ ෆොන්ට් ප්‍රමාණවලින් පිටුවක් පුරා මුද්‍රණය කරන රචනයක් වන්නට පුළුවනැයි මට සිතේ.

පසුගිය සතියේ සිදුවූ දේශපාලන වර්ධනයන් ගැන මෙවර ‘රාවය’ පත්‍රයේ විවිධ විග්‍රහ සහ අර්ථකථන පළවිය හැකි නිසා, ඒ ගැන නොලියා වෙනත් දෙයක් ගැන ලියන්නට කල්පනා කරමින් සිටියද, වික්ටර් අයිවන් මහතා ‘විකාරරූපී දේවල්’ ලෙස හඳුන්වන දේ දේශපාලනය ගැන ලියන අයට කොතරම් ආකර්ෂණශීලීද යත්, ඒ ගැනම ලියන්නට මමද තීරණය කළෙමි. මේ ලිපිය ඒ තීරණයේ ප්‍රතිඵලයයි.

පසුගිය සතියේ ප්‍රධාන දේශපාලන ප්‍රවෘත්ති සම්පාදකයාගේ කාර්යය ඉහළින්ම කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් වී තිබේ. එහෙත් එතුමා නිර්මාණය කර ඇති එම ප්‍රවෘත්ති වෘතාන්ත දේශපාලන වශයෙන් එතුමාට වාසි වන ඒවාම නොවේ. එයට හොඳම උදාහරණය, අඟහරුවාදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී එතුමා කළා යැයි ප්‍රවෘත්තිවල වාර්තා වූ හැඟීම්බර ප්‍රතිචාර දැක්වීමයි. එය එතුමා පරිණත රාජ්‍යතාන්ත්‍රිකයෙකු හෝ ආත්මීය වශයෙන් ශක්තිමත් නායකයෙකු හෝ වන බව ස්ඵුට කළ රංගනයක් නොවේ. කාටත් පෙර, ඒකාබද්ධ විපක්ෂය එම කරුණ දේශපාලන අවියක් කරගෙන ඇති බව පෙනේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන විශේෂ ළබැඳියාවක් මා තුළ නැතත්, එතුමා ප්‍රජාත්‍රන්ත්‍රවාදී දේශපාලන නායකයෙකු හැටියට සාර්ථකවීම මගේ සිතේ තවමත් පවත්නා සිහින ප්‍රාර්ථනයකි. එයට ප්‍රධාන හේතුව මෙයයි. ලංකාවේ ප්‍රභූ පන්තියෙන් පැමිණි දේශපාලන නායකයන් වෙනුවට, මා ද අයත් සාමාන්‍ය, නිර්ප්‍රභූ සමාජ ස්ථරයකින් එන හොඳ සහ විකල්ප දේශපාලන නායකයන් ලංකාවේ බිහිවෙනු ඇතැයි යන්න මා උදක්ම බලාපොරොත්තු වන දෙයකි.

 පසුගිය දශක කිහිපය තුළම සිදුවී ඇත්තේ, සිංහල පුවත්පත්වල තීරු ලිපි ලේඛකයන්ගේ භාෂාවෙන් කියන්නේ නම්, එම සිහිනය ‘බොඳවීම’ පමණි. විජේවීර සහ ප්‍රභාකරන්ගේ සිට මේ ආණ්ඩුවේද, රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේද, මහින්ද රාජපක්ෂ මහතාගේද වටා සිටින, පහළ සහ ග්‍රාමීය සමාජ මූලාශ්‍රවලින් පැමිණ ඇති සියලූම දේශපාලනඥයන් පාහේ මගේ එම ‘සිහින බොඳවීමට’ දායකත්වය සපයා ඇති අයයි. දීප්තිමත් දේශපාලන ආනගතයක් සඳහා මුලදී විභවතාව තිබුණු ඒ හැම දෙනාම කරගෙන තිබෙන්නේ, එය නැති කර ගැනීමයි.

‘විකාරරූපීව’ සිදුවන දේවල්වල දේශපාලන අර්ථ දැකීමටද උත්සාහ ගන්නා මා, මේ සතිය වනතුරු සිතා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා, ලංකාවේ දේශපාලනයේ මෙතෙක් සිදුවී ඇති මෙම සුපුරුදු වර්ධනයට ‘ව්‍යතිරේකයක්’ වන්නට හැකිය යන්නයි.

එම විශ්වාසයට තාර්කික පදනමක් තිබිණ. එය නම්,  ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් අතර, දේශපාලන විශ්වාස කළහැකිභාවය ^Political Credibility) ඉතිරි කරගෙන ඇති දේශපාලනඥයන් දෙදෙනා අතර, එක් කෙනෙකු එතුමා වීමයි. අනෙක් දේශපාලනඥයා කතානායක කරු ජයසූරිය මහතායි.  මැද පෙළේ දේශපාලනඥයන් අතර දේශපාලන විශ්වසනීයත්වයක් ඇති එකද හෝ දේශපාලනඥයකු ඇතැයි සිතා ගැනීමට අසීරුය. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඇති අභියෝගයන්ද සුළුපටු නොවන බව කෙනෙකුට පහසුවෙන්ම පෙනෙනු ඇත. මෙය වනාහි ලංකාවේ ‘දේශපාලන නායකත්වය’ සහ ‘දේශපාලන විශ්වසනීයත්වය’ පිළිබඳ ගැටලුව ගැන දේශපාලන විද්‍යාත්මකව සිතන කෙනෙකුට මඟහැරිය නොහැකි තේමාවක්ද වෙයි.

දැන් අපි මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණ දෙන එහෙත් එතුමාට වැටහී තිබෙන බවක් නොපෙනෙන, අභියෝග කුමක්දැයි තේරුම් ගැනීමට උත්සාහ ගනිමු.

2014 ඔක්තෝබර් මාසය දක්වා සිරිසේන මහතා සිටියේ ලංකාවේ දේශපාලනයේ තෘතීය මට්ටමේ, ඉන් ඉහළට යා නොහැකි, තෘතීය මට්ටමේම සිරවූ ප්‍රාදේශීය දේශපාලනඥයෙකු හැටියටය. එතුමාගේ දේශපාලන වපසරිය වී තිබුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයයි. එහෙත් 2014 ඔක්තෝබර් මාසයේදී රටේ ගොඩනැගෙමින් තිබුණ විරෝධතා දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධ වීමෙන් එතුමා, ක්ෂණිකව ජාතික දේශපාලන නායකයෙකු බවට පත්විය. මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරනායක යන ඉහළම ප්‍රභූ පවුල සතුව තිබූ දේශපාලන නායකත්වය ග්‍රාමීය ප්‍රභූතන්ත්‍රයේ පහළ ස්ථරය වෙතට මාරු කළා නම්, සිරිසේන මහතා ජනාධිපති වීමෙන් කෙළේ එම පරිවර්තනය තවත් ඉදිරියට ගෙනයමින්, ග්‍රාමීය සමාජයේ නිර්ප්‍රභූ ප්‍රභවය ඇති සමාජ ස්ථරයට මාරු කිරීමයි. මෙය වනාහි නූතන ලංකාවේ දේශපාලන නායකත්වයේ ප්‍රජාතන්ත්‍රවාදීකරණය පිළිබඳ ක්‍රියාවලියේ ඉතාම වැදගත් සංකේතාත්මක පරිවර්තනයකි.

දේශපාලන නායකත්වය සම්බන්ධයෙන් සිදුවූ මෙම ප්‍රජාතන්ත්‍රීයකරණය හුදෙකලාව සිදුවූවක් නොවේ. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිඳියාව, මානව අයිතිවාසිකම්, දුෂණය රහිත ආණ්ඩුකරණය මෙන්ම බලය අවභාවිත නොකරන ආණ්ඩුකරණයද යන මේ තේමා ගණනාවකින් සමන්විත වන ‘දේශපාලන ප්‍රතිසංස්කරණ’ පිළිබඳ පුළුල් න්‍යායපත්‍රයක්ද ගොඩනගමින් සිටි පුළුල් දේශපාලන-සමාජ අභිලාෂ ව්‍යාපාරයක්ද පසුබිම් කොට ගෙන සිදුවූවකි. සිරිසේන – වික්‍රමසිංහ යන දෙපළ සම- නායකයන් බවට පත්වූ අලූත් දේශපාලන සන්ධානය පොරොන්දු වූයේ මෙම පරිවර්තතීය සමාජ-දේශපාලන අභිලාෂයන් තමන්ගේද දේශපාලන න්‍යාය පත්‍රය කරගන්නා බවයි. එහෙත්, පසුගිය අවුරුදු තුනේ අත්දැකීම වී තිබෙන්නේ, වික්‍රමසිංහ-සිරිසේන යන දෙදෙනාම එම පරිවර්තනීය කාර්යය ඒ තරම් වගකීමකින් යුතුව ඉදිරියට ගෙන නොගිය බවයි. ඒ සඳහා ලැබිය යුතු දෝෂයේ වැඩිම කොටස යායුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා වෙතය. 2002-2003 කාලයේ අත්දැකීමෙන් කිසිදු පාඩමක් ඉගෙන ගෙන නැති බව නැවතත් ප්‍රදර්ශනය කළ ඔහු, අලුත් ආණ්ඩුවේ දේශපාලන ස්ථායීකරණයට පදනම් විය යුතු ආණ්ඩුවේ පදනම වන සභාගය ආරක්ෂා කර ගැනීමේ කාර්යය අමතක කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දුක්ගැනවිලිවල ආරම්භය මතුවූයේ එතැනිනි. ”අගමැතිතුමා තමාට සලකන්නේ, නාමමාත්‍ර ජනාධිපති කෙනෙකු හැටියට පමණය” යන හැඟීම එතුමා තුළ තදින්ම කාවැදුණු බවද පෙනේ. නාගරික ප්‍රභූ සහ ග්‍රාමීය නිර්ප්‍රභූ සමාජ ස්ථරවලින් පැමිණි දේශපාලන නායකයන් දෙදෙනාට දැන් නොහැකි වී තිබෙන්නේ, එම සමාජ බලවේග දෙක අතර ඇතිවූ තාවකාලික සන්ධානය ශක්තිමත් කරගැනීමටය. ඇත්තටම දැන් සිදුවී තිබෙන්නේ එම සන්ධානය ලිහී යාමයි. සන්ධානයේ ප්‍රධාන පාර්ශ්ව දෙක එම සන්ධානය කඩා දමමින් දෙපැත්තට ගමන් කිරීමයි. එම පාර්ශ්ව දෙක අතර ඇති සම්බන්ධය සතුරු ප්‍රවිරෝධතා මට්ටමට වේගයෙන් පිරිහී යමින් පවතින බවද පෙනේ. මෙය සිරිසේන-වික්‍රමසිංහ යන දෙදෙනාගේම දේශපාලන නායකත්වභාවයේ දුර්වලතාවද හෙළිදරව් කරයි.

මේ පසුබිම තුළ සිදුවන්නේ, රටේ දේශපාලන බලවේග අතර ගනුදෙනු සහ සම්බන්ධතා අලූත්වීමයි. අලූත් දේශපාලන හවුල්කරුවන් සොයායෑමේ කාර්යයේ ඉතා වේගයෙන් යෙදී සිටින බව පෙනෙන්නේ ජනාධිපති සිරිසේන මහතාය. එතුමා එහිදී කරන බව පෙනෙන්නේ, ශ්‍රිලනිපය කේන්ද්‍ර කොටගෙන, එම නව දේශපාලන බලවේග ඒකරාශී කිරීම සිදුකිරීමයි. එහිදී එතුමාට සිදුකිරීමට බලකෙරී තිබෙන, එතරම් අප්‍රසන්න බව එතුමාට තවමත් වැටහී නැති දෙයක් තිබේ. එය නම්, 2015 ජනාධිපති මැතිවරණයේදී එතුමා ශපථ කර කැපවූ පරිවර්තනීය දේශපාලන න්‍යායපත්‍රය මතුවූයේ යම්කිසි බලවේගවලට එරෙහිවද, එම බලවේගම පෙළගස්වමින්, ඒවා සමග යළි සන්ධානගත වීමයි. ජනාධිපති සිරිසේන මහතා මැතිවරණ කොමිසම පත් කිරීමත් සමග දියත් කළ තම දේශපාලන ජීවිතයේ නව අදියරෙහි මා දකින විශාලතම දේශපාලන දුර්වලතාව මෙන්ම අනතුරද පවතින්නේ මේ කාරණයෙහිය.

පසුගිය දෙසැම්බර් මාසයේත්, මෙම ජනවාරි මාසයේත් ලංකාවේ සිදුවෙමින් පවතින බව පෙනෙන්නේ, දේශපාලන නිරීක්ෂකයන් අමන්දානන්දයට පත්කරන ක්‍රියාවලියකි. එය නම් අප රටේ දේශපාලනයේ පැවති බලසන්ධාන සහ තුලනයන් කැඩී විසිරී යාමත්, අලූත් සන්ධාන සහ බලතුලන සකස්වීමට උත්සාහ ගැනීමත්ය. තරමත් අලංකාරෝක්ති භාෂාවකින් කියන්නේ නම්, බලසන්ධාන සහ බලතුලනය පිළිබඳ පැරණි ලෝකය මියැදෙමින් තිබේ. නව ලෝකයක් උපදින්නට වෙර දරමින් තිබේ. එහි වින්නඹු කාර්යය කරන ප්‍රධානතම පුද්ගලයා ජනාධිපතිතුමාය.

තමන් බිහිකිරීමට යන නව බලසන්ධානය පිළිබඳව ජනාධිපතිතුමා මේ දක්වා ඉදිරිපත් කර ඇති සංඥා දෙස බලන විට මගේ සිතේ නම් ඇතිවන්නේ තැතිගැන්මකි. එයට ප්‍රධාන හේතු දෙකක් තිබේ. පළමුවැන්න නම්, 2014-2015 වසරවල මතුවී තිබුණු ප්‍රතිසංස්කරණවාදී බලවේග සහ න්‍යාය පත්‍රයේ තිබූ ‘දුෂණ විරෝධය’ හැර අන් සියලූ අංගවලට එතුමා පිටුපෑමයි. ‘දුෂණ විරෝධය’ පවා එතුමා දැනට යොදාගෙන තිබෙන්නේ, පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨයක් වශයෙන් නිසා එය දැනටමත් පටු දේශපාලනීකරණයට පාත්‍රවී ඇත. පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකින් හුදෙකලා කරනු ලැබූ විට ‘දුෂණ විරෝධී’ සටන හුදෙක් තනි පුද්ගල වික්‍රමාන්විතයක් බවට පටුවනවා පමණක් නොව, එය බලඅරගලවල අවියක් බවටද පිරිහෙනු ඇත. එබැවින් දුෂණ විරෝධී සටනේ ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ විභවතාවට දැනටමත් සිදුවී ඇත්තේ හානියකි.

දෙවැනි කාරණය නම්, එතුමා අලූතෙන් සන්ධානගත වන බව පෙනෙන්නේ, ලංකාවේ සමාජයේ, සංස්කෘතික මතවාදී තලයේ සහ දේශපාලනයේ සිටින අතිශයින් පසුගාමී බලවේග සමගය යන්නයි. මේ තත්ත්වය තුළ මෛත්‍රීපාල සිරිසේන – ගෝඨාභය රාජපක්ෂ හවුලක් අලූතෙන් ඇතිවෙන්නේ නම්, එයටද ඉඩ තිබෙන බව පෙනේ.

මේ පසුබිම තුළ ඉතා පැහැදිලි එක් යථාර්ථයක් මතුවී තිබේ. එනම් ‘යහපාලන’ සන්ධානයත්, එහි පරිවර්තනීය න්‍යායපත්‍රයත් දැන් බිඳවැටීමයි. වික්‍රමසිංහ-සිරිසේන යන දෙදෙනාම දේශපාලන වශයෙන් ආපස්සට යෑමයි. පරිවර්තනීය දේශපාලන න්‍යායපත්‍රයක් ඉදිරියට ගෙන යාමේ කර්තෘක කාර්යයට උරදීමට දේශපාලන පක්ෂවලට සහ දේශපාලන නායකත්වයට නොහැකි වීමයි.