දියසායම් කඩදාසි මත විසිරවීමේ සන්ජීවිගේ කලාව


diysayam

අරුණ ජයවර්ධන

ලංකාවේ චිත්‍රකලා අවකාශය තුළ දියසායම් මාධ්‍යය භාවිත වෙන්නේ සුලබ ආකාරයට නෙවෙයි. දියසායම් කලාවේ තිබෙන ආවේණික ලක්‍ෂණ වගේම ලංකාවේ චිත්‍රකලා අවකාශයේ සීමා සහිත ස්වභාවයත් අඩු වැඩි වශයෙන් ඊට බලපානවා. එවැනි තත්ත්වයක් යටතේ, දශකයකට ආසන්න කාලයක් දියසායම් ක්‍ෂෙත්‍රයේ අනවරත අභ්‍යාසයක යෙදෙන ශිල්පියකු වන සන්ජීවි සෙනෙවිරත්න සිය අර්බන් ස්පේස් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය පසුගිය සතියේ ලයනල් වෙන්ඞ්ට්හිදී පැවැත්වූවා. කොළඹ අගනගර අවකාශයේ මිනිස් ජීවිත ක්‍රියාන්විතය මේ ප්‍රදර්ශනයේ ප්‍රස්තූතයයි. සන්ජීවි කාලයක් තිස්සේ සතතාභ්‍යාසයෙන් උපයාගත් සිය ශිල්පීය දක්‍ෂතාව හරහා නගරයේ ගහකොළ, ගොඩනැගිලි හා මිනිස් ජීවිතය දියසායම් හරහා කඩදාසිවලට ගෙනැවිත් තිබුණා. දියසායම් කලාව මත තබා වුණත් ඔහුගේ කෘතිවල උස්මිටිකම් ගැන දැනුවත් රසිකයකුට සෑහෙන දිග කතාබහකට එකතුවිය හැකියි. මේ එවැන්නකට සහායක් විය හැකි ලෙස සන්ජීවි සමඟ දියසායම් මාධ්‍යයේ හැසිරීමත් ඔහුගේ භාවිතාවත් ගැන කළ කතාබහක්.

දියසායම් මාධ්‍යය ශිල්පියකුගේ පැත්තෙන් බලනකොට යම් තරමක් හැසිරවීමට අසීරු මාධ්‍යයක්. ඒ මාධ්‍යය ඔබ තෝරාගන්න විශේෂ හේතුවක් තියෙනවාද?

මම හිතන විදියට දියසායම් මාධ්‍යය වගේ සංක්‍ෂිප්ත වෙනත් මාධ්‍යයක් ශිල්පියකුට හමුවෙන එකක් නැහැ. නමුත් ලංකාවේ අය අඩුම ගණනේ ලෝකයේ දියසායම් කලාවට තිබෙන පෞරුෂය, ගෞරවනීයබව හා එහි ප්‍රකාශන ප්‍රබලත්වයවත් හරිහැටි හඳුනාගෙන නැහැ. පහුගිය අවුරුදු හතඅටක විතර ඉඳන් මම ඒක අත්දැක්කා. ඒ කාලය ඇතුළත ලෝකයේ දියසායම් මාධ්‍යය සමඟ වැඩ කරන ශිල්පීන්ගේ කෘති බැලුවාම ලංකාවේ දියසායම් කලාව ලංකාවෙන් පිටතට ගෙනයනවා නම් යා යුතු මාර්ගය මොකක්ද කියලා මට තේරුම් ගන්න පුළුවන් වුණා, මම එහෙම කළ වැඩ ජාත්‍යන්තර තරග කිහිපයකටත් දැම්මා. විශේෂයෙන් ඉන්ටර්නැෂනල් වෝටර්කලර් සොසයටි වගේ ඒවාට මම යැවූ කෘති ප්‍රදර්ශනය වුණා. මට සතුටුයි, ලෝකයේ සමකාලීන දියසායම් කලාවේ මාස්ටර්ස්ලාගේ කෘති එක්ක මගේ කෘතිත් ප්‍රදර්ශනය වීම ගැන. එයින් මම තේරුම් ගත්තා මම යන මාර්ගයේ නිවැරදිබවක් තියෙනවා කියලා. මම මගේ ප්‍රකාශන හරහා කියන්නේ, එක පැත්තකින් මේ මාධ්‍යයේ තිබෙන පුළුල් පරාසය, ශක්‍යතාව හා අනන්‍යබව ගැනයි.

දියසායම් මාධ්‍යය අමාරුයි කියන්න හේතු කිහිපයක් තියෙනවා. පළමුවැනි හේතුව තමයි, මේ මාධ්‍යයේදී කලාකෘතියක් පසුව සංස්කරණය කරන්න බැහැ. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම එකම අවස්ථාවක කෘතිය නිමකළ යුතුයි. ඒ ඒ කෘතියේ ස්වභාවය අනුව ඊට නියම වෙන කාලයක් තියෙනවා. ඒ කාලය තුළ ඉඳගෙන තමයි කෘතිය කළ යුතු වන්නේ.

කාලය නිර්ණය වෙන්නේ කුමන සාධක මතද?

එකක් අපේ වස්තු විෂය මත. වස්තු විෂය අනුව අපි කොපමණ තෙතමනයක් කෘතියට ලබාදෙනවාද, කොපමණ කොටසක් අපි තෙතමනය එක්ක වැඩකරනවාද කියන එක තීරණය වෙන්නේ වස්තු විෂයත් එක්ක. සංස්කරණය කරන්න බැරි තත්ත්වයක් යටතේ මේ මාධ්‍යයෙන් සාර්ථක කෘතියක් කරන්න නම් අපෙන් වන අත්වැරදීම් අවම කරගත යුතුයි. ඒ නිසා ආධුනිකයෝ සමහරවිට මේ මාධ්‍යය අමාරුයි කියනවා.

අනෙක් අතට පැස්ටල්, තෙල්සායම්, ඇක්‍රිලික් වැනි ඔපෙක් මාධ්‍යවල කටයුතු කරන ආධුනිකයකුට මුල් කාලයේ විවිධ ආදේශක පාවිච්චි කරමින් අභ්‍යාස කරන්නට අත්හදා බලන්නටත් පුළුවන්. ඉන් ලැබෙන ප්‍රතිඵලය මත තෘප්තිමත් වන්නටත් පුළුවන්. ඊට පසුව ඕනෑ නම් ඔවුන්ට පුළුවන් ඊට වැඩි වෘත්තීය අමුද්‍රව්‍යත් එක්ක වැඩකරන්න. නමුත් දියසායම්වල තියෙන ප්‍රශ්නය තමයි, ආදේශක යොදලා කරන අත්හදා බැලීම්වලින් සාර්ථක වෙන්න පුළුවන් තරමේ මූලික ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ආදේශකවලින් එහි අවශ්‍ය මුල් ගුණය එන්නේ නැහැ. විශේෂයෙන් ළමයි පාසල් කාලේ ආදේශක යොදාගෙන අත්හදාබැලීම් කළාම නියම ප්‍රතිඵලය නොලැබෙන හින්දා එතැනින් එහාට ඔවුන් වැඬේ අත්හැර දානවා. එහෙම නැත්නම් දියසායම් මාධ්‍යයෙන් වෙන මාධ්‍යයකට මාරුවෙනවා. තුන්වැනි කාරණය, වෘත්තීය මට්ටමේ අමුද්‍රව්‍ය ලංකාවේ මිලදී ගන්න තිබෙන අවස්ථා බොහොම අඩුයි. ඒ වාගේම මිලත් ඉතාම වැඩියි. මේ ආර්ථික රාමුව තුළත් ආධුනිකයකුට ඇතුළුවෙන්න තිබෙන අවකාශය අඩුයි. ඒ නිසා ඒ අය මිලෙන් අඩු පහසුවෙන් භාවිත කළ හැකි වෙනත් මාධ්‍යයක් වෙත යොමුවෙනවා.

තවත් කාරණයක් තියෙනවා, ලංකාවේ දියසායම් මාධ්‍යය ප්‍රචලිත නොවන්න. අපේ කිසිම විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රීය පදනමක් යටතේ දියසායම් කලාව ඉගෙන ගන්න අවස්ථාවක් පැහැදිලිවම නැහැ. කිසිම පාඨමාලා අන්තර්ගතයක දියසායම් මාධ්‍යය ගැන ගැඹුරු අධ්‍යයනයක් කරන්න පුළුවන් විෂය නිර්දේශයක්වත් නැහැ. මමත් විශ්විද්‍යාල අධ්‍යාපනය ලැබුවාට මේ කෘතිවලට කිසිම දෙයක් ඒ අධ්‍යයනයෙන් ලැබිලා නැහැ.

සමකාලීන චිත්‍රකලාවේ තියෙන්නේ හරිම පැතලි බවක්. එකම ශෛලියක් තමයි අධිනිශ්චය වෙලා තියෙන්නේ. නමුත් ලෝක චිත්‍රකලා සම්ප්‍රදායේ සාම්ප්‍රදායික විදියට අඳින අය ඉන්නවා, වියුක්ත කලාව කරන අය ඉන්නවා, ස්වභාවය ප්‍රතිනිර්මාණය කරන්නන් ඉන්නවා. දියසායම්, ශරීරය පදනම් කරගෙන අඳින අය වශයෙන් තවත් විවිධ අය ඉන්නවා. මම හිතන විදියට මේ හැම ආරක්ම කලාව ඇතුළේ තිබිය යුතුයි. නමුත් අපේ රටේ තියෙන්නේ එකම හැඩයක් විතරයි. වියුක්ත ශෛලිය තමයි කලා සමාජය තුළ වැඩිපුර පෙනෙන්න තියෙන්නේ. නමුත් ලෝකයේ වෙනත් රටවල ඔය හැම ආරකටම දෘශ්‍යකලා රසිකයන් පිරිසක් සිටිනවා. සමහර විට කුලකයන් දෙකක් එකිනෙක සමපාත වෙන්නත් පුළුවන්. වියුක්ත කෘති විඳින අයම දියසායම් කෘති විඳින්නත් පුළුවන්. රසික ප්‍රජාවගේ තිබෙන්නාවූ මේ අසමබර බවත් ලංකාවේ දකින්න පුළුවන් දෙයක්.

එක පැත්තකින් මේකට බලපානවා, ශිල්පීන් අතින් මේ කෘති බිහි නොවීම. මම අර කලින් කී හේතු බලපානවා ශිල්පීන් අතින් එවැනි කෘති බිහි නොවීමට. ශිල්පීන් අතින් කෘති බිහි නොවන විට රසිකයන්ට මේ කලාව සන්නිවේදනය වන්නේ නැහැ. මගේ අත්දැකීම් අනුව ලංකාවේ හොඳම දියසායම් රසිකයන් ඉන්නේ කලා විෂයේ හැසිරෙන අය අතර නෙවෙයි. වෙන විෂයයන්වල ඉන්න අය අතරේයි. ඔවුන් වෙන රටවල කලාකරුවන්ගේ මුල් කෘති දැකලා, සමහරවිට පොතපත පරිශීලනය කරලා, නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා බලලා, ඉතාම හොඳ දෘශ්‍ය සාක්‍ෂරතාවක් ගොඩනගාගෙන තිබෙනවා. නමුත් දියසායම් මාධ්‍යය රසවිඳීමට අවශ්‍ය දෘශ්‍ය සාක්‍ෂරතාව අපේ සමාජයට පොදුවේ හොඳින් ඇවිල්ලා නැහැ. අපේ කෘතියක් දිහා බලලා මේක ලස්සණයි කියනවාට වැඩිය ඒකේ තියෙන කලාත්මක හා තාක්‍ෂණික වටිනාකම වටහාගන්න පුළුවන් තරමේ සාක්‍ෂරතාවක් ඔවුන්ට ලැබිලා නැහැ.

දියසායම් කලාව කිසියම් ආකාරයක චූල සම්ප්‍රදායේ කලාවක් හැටියට ලංකාවේ සැලකෙනවාද?

ඒකට හේතුවෙන්නේ මම මුලින් කී විදියට කලා ධාරාවේ තිබෙන පැතලි බව. අපි කාටවත් කියන්න බැහැ මගේ ශෛලිය විතරයි වැදගත් හෝ හරි හෝ කියලා. නමුත් සමහර අය එවැනි අදහසක් කියන්න උත්සාහ කරනවා, තමන්ගේ ශෛලිය නොවන ඒවා ආර්ට් නොවෙයි කියන්න වාගේ. ඒ නිසා එක්තරා විදියකට රසික ප්‍රජාවත් අතරමං වෙනවා. මේ විවිධත්වය නැති නිසා කලාවට ඇතුළු වෙන කෙනකුට වුණත් තමන් තෝරාගත යුත්තේ කුමන ශෛලියක්ද යන්නට නිසි තෝරාගැනීම් නැතිවෙනවා.

ඔබ කිව් විදියට චූල සම්ප්‍රදායක් තියෙනවාද කියලා කතාකළොත්, අපි චිත්‍රකතා කලාව ගත්තොත්, ඒකත් එක්තරා ශෛලියක් තමයි. ඔවුන්ටත් වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම මැන බලන්න ඕනෑ ඒ මාධ්‍යයට හා විෂය ධාරාවට ගැළපෙන විදියටයි. මේක වැඩක් නැහැ කියලා පැත්තකට කරනවා නම් මා හිතන්නේ මැන බලන ක්‍රමයේ වරදක් තියෙන බවයි. අපේ නිර්ණායකවල තිබෙන ප්‍රශ්නයත් මෙතැන තියෙනවා.

ඔබ මුලින් කී හේතු ටිකක් පැත්තකට කළොත්, පෙනෙන දෙයක් තමයි, දියසායම්වලදී කලාවේ කෞශල්‍යය ඉතාම වැදගත්. ඇක්‍රිලික්, තෙල්සායම් වැනි මාධ්‍යයකදී නැවතත් ලේයර මත අඳිමින් නිවැරදි කරමින් වෙනස්කරමින් ඉදිරියට යන්න පුළුවන්. අද බැරි නම් හෙට නැවතත් කෘතියට ඇතුළු වෙන්න පුළුවන්. දියසායම්වල තිබෙන්නේ එහි ප්‍රතිලෝමය. මේ කෞශල්‍යය වර්ධනය කරගන්න බැරිකමත් වැදගත් බලපෑමක් නෙවෙයිද?

ගොඩාක් අය කියනවා, මම මේ මාධ්‍යය අවනත කරගෙන වැඩ කරන්නේ කියලා. ඒ කතාව හරි ඔපෙක් මීඩියම්වලට. ඇක්‍රිලික්, තෙල්සායම් වැනි මාධ්‍ය අපි අවනත කරගත්තේ නැතිනම් අපට වැඩකරන්න බැහැ. දියසායම්වලදී අපි මාධ්‍යය අවනත කරගත්තොත් නිර්මාණයට එන්නේ මැරුණු කෘතියක්. ඒ නිසා දියසායම්වලදී අවනත කරගැනීමක් නොවෙයි කළයුත්තේ, මාධ්‍යය සමඟ සමාන්තරව යමින් කෘතිය නිමවීමයි. ඔපෙක් මාධ්‍යවලදී අපි පින්සල් පහරක් යෙදුවාම ඒ පහර එහෙමම ස්ථාවර වෙනවා. නමුත් දියසායම් පහරක් යෙදුවාම, දිවයනවා, විසිරෙනවා, එකිනෙක වර්ණ මත අතිපිහිත වෙනවා. එයාටම ආවේණික හැසිරීමක් පෙන්වන්න පටන්ගන්නවා. ඒ හැසිරීම අපට අවනත කරගෙන නතර කළොත් එතැනින් එහාට කෘතිය මියයන්නට පටන් ගන්නවා. දියසායම් අඳින එක්කෙනාට මාධ්‍යයේ මේ හැසිරීම හරියට තේරුම්ගන්නට පුළුවන් වෙන්න ඕනෑ. සමහර වෙලාවට ශිල්පියාගේ කාර්යය සියයට දහයක් වෙන්න පුළුවන්. මේ තත්ත්වය තමයි සමහර විට ආධුනිකයකුට තේරුම් ගන්න අමාරු කාරණය වෙන්නේ. දියසායම් සඳහා ඉතා සියුම් ඉවසීමක් සහ ප්‍රායෝගික පුහුණුවක් අවශ්‍යයි.

මට නම් දියසායම් මාධ්‍යයේ වැඩකිරීම එක්තරා ආකාරයක ෆැන්ටසි එකක්. කෘතිය කරන මුළු කාලය පුරාම මම ඉන්නේ ඒ සුන්දර ෆැන්ටසිය ඇතුළේ. වෙන මාධ්‍යයකින් මම ඒක අත්විඳින්නේ නැහැ.

දියසායම් මාධ්‍යයේදී ශිල්පියාට කිසියම් පූර්ව නිගමනයක් තියෙන්න ඕනෑ නේද, තමන් පින්සල් පාරක් යෙදුවාම එය මේ විදියට හැසිරේවි කියලා..

අනිවාර්යයෙන්ම. අපි චිත්‍රයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා කියන එක නෙවෙයි ඒකෙන් අදහස් කරන්නේ. කාලයක් තිස්සේ වැඩකිරීමෙන් ලබන පළපුරුද්ද මත තෝරාගන්නා කඩදාසිය, එහි තිබෙන පෘෂ්ඨීය ස්වභාවය, එයට ලබාදෙන තෙතමනය එතැනදී වැදගත්. තෙතමනය අපට පාලනය කරන්නට පුළුවන්. තෙතමනය වේලෙන කාලය, ඒ කාලය අඩුකිරීම හෝ වැඩිකිරීම ශිල්පියාගේ පළපුරුද්ද මත රඳාපවතිනවා. වාතයේ තිබෙන ආර්ද්‍රතාව ඉතාමත් විශේෂිත සාධකයක්. ලංකාව වගේ ඝර්ම කලාපීය රටක එළිමහනේ දියසායම් වැඩකිරීමේදී වියළීම සම්බන්ධයෙන් සෑහෙන අභියෝගාත්මක තත්ත්වයක් ඇතිවෙනවා. ලෝකයේ ඉතාමත් විශිෂ්ට දියසායම් ශිල්පීන් ඒ ඒ භූමියට ම ගිහින් වැඩකරනවා. ඔවුන් එසේ වැඩකිරීම තමන්ගේ වෘත්තීය ගමනේ ඉතාමත් වැදගත් දෙයක් හැටියටයි සලකන්නේ. ඒක හැමෝටම කරන්නත් බැහැ. මිනිස්සු ඇඟේ හැපෙනවා. වාහන නතර කරනවා. සුළඟ හමනවා. දූවිලි විසිරෙනවා. ආලෝකය වෙනස් වෙනවා. මේ තත්ත්වයන් සමඟයි වැඩ කරන්න වෙන්නේ. ත්‍රිමානව තමන් ඉදිරියේ පැතිරී තිබෙන දේ කඩදාසියට ගෙනෙන්නට වෙනවා. ඒත් ලංකාවේ එවැනි භූමියේ වැඩකිරීම දකින්න ලැබෙන්නේ විරල විදියට. මගේ මේ ප්‍රදර්ශනයට මම තෝරාගත්තේ කොළඹ නගරය නිසා ප්‍රායෝගිකව ඒ ඒ භූමියට ගිහින් චිත්‍ර අඳින්න පුළුවන්කමක් නැහැ. එවැනි අවස්ථාවකදී ලෝකයේ කලා ශිල්පීන් කරන දේ තමයි, තමන්ට අවශ්‍ය භූමි දර්ශනයේ ඡායාරූපයක් තමන් විසින්ම ලබාගෙන එය ආදර්ශය කොටගෙන වැඩකිරීම. ඒත් ආදර්ශයක් පරිශීලනය කිරීමත්, කොපිකිරීමත් එකිනෙකට වෙනස් වැඩ දෙකක්. මේක කිසිසේත් ඡායාරූපයක් කොපිකිරීමක් නෙවෙයි. කොපිකිරීමකදී වෙන්නේ ඡායාරූපයක තිබෙන දේවල් එහෙමම යාන්ත්‍රිකව කෘතියකට ගෙනඒම. නමුත් මගේ ආදර්ශ ඡායාරූපවලින් මම කෘතියට ගන්නේ සියයට තිහක් වෙන්න පුළුවන්. උපරිම සියයට පනහක් වෙන්න පුළුවන්. මම සමහර විට ආදර්ශකයේ තිබෙන ආලෝක දිශාව වෙනස් කරනවා. වාහන, මිනිසුන්, වර්ණ මට වුවමනා විදියට ස්ථානගත කරනවා. ඒක සම්පූර්ණයෙන්ම ශිල්පියාගේ කාර්යයක්.

නමුත් අවසානයේදී කළ ක්‍රමය වැඩක් නැහැ. දෘශ්‍ය කලා රසිකයා බලන්නේ කෘතිය දිහා. එය පරිපූර්ණ චිත්‍රයක් විය යුතුයි. තායිවානයේ ඉන්නවා චියෑං ෂන් කියලා ඉතාම ඉහළ දියසායම් ශිල්පියෙක්. ඔහු නිතරම කියන දෙයක් තමයි, ‘මතක තියාගන්න ඔබ කුමක් ඇන්දත් ඒ අඳින්නේ චිත්‍රයක්’ කියලා.

වෙනත් මාධ්‍යවලදීත් වුවමනාවට වඩා කෘතියක් තුළ වැඩකිරීමෙන් එය මඩ වෙන තත්ත්වයක් ඇතිවෙනවා. නමුත් දියසායම්වලදී මේ තත්ත්වය ඉතාමත් බලවත් අභියෝගයක් නෙවෙයිද?

ඒක පළපුරුද්ද විසින් තීරණය කරන දෙයක්. සහ තමන්ට නිරූපණය කරන්න අවශ්‍ය මොකද්ද කියන දේ මත තීරණය වෙන දෙයක්. චිත්‍රයේ මූලික සමබරතාවට ගැළපෙන විදියට චිත්‍රයේ කොටස් පාලනය කළ යුතුයි. සමහර කොටස් ගලවා ඉවත් කළ යුතුයි. නැතිනම් දිය කර හැරිය යුතුයි. අවසානයේදී අවශ්‍ය මූලිකාංග ටික චිත්‍රය තුළ පිහිටුවිය යුතුයි. මගේ සංරචනය හා අවසාන නිමාව මේකයි කියලා, චිත්‍රය පටන්ගන්න පෙරාතුවම අපේ අදහසක් තිබිය යුතුයි.

ඔබේ චිත්‍රවලදී බොහෝ විට රූප විස්තර කිරීමෙන් වළකිනවා. විශේෂයෙන් ගොඩනැගිලි හා මිනිසුන් ස්ථානගත කරනකොට ඔබ ගොඩනැගිල්ල විස්තර කරන අතරේ මානව රූපය විස්තර කිරීම අතහරිනවා. ඒක කොහොමද වෙන්නේ?

මම කිව්වානේ දියසායම් සංක්‍ෂිප්ත මාධ්‍යයක් කියලා. කෘතිය තුළ හැමවිටම ඒ සංක්‍ෂිප්ත බව රැකෙන්න ඕනෑ. මම සමහර විට ගොඩනැගිල්ල යටපත් කරලා මිනිස් රූපයත් ගන්නවා. එහි අනිත් පැත්තත් කරනවා. ගොඩනැගිලිවල පෞරුෂය ඉදිරියට එන අවස්ථාවල, විශේෂයෙන්ම ඔය කොලෝනියල් ගොඩනැගිලි අඳින විට පැකිළෙන්නේ නැතිවම මම ඒ පෞරුෂය ගොඩනැගිලිවලට ලබාදෙනවා.

මේ මාධ්‍යය කිසියම් ආකාරයකට තාක්‍ෂණයට බර ගතියක් තියෙන නිසා ප්‍රකාශන අවකාශයට සීමාවක් පැනවෙනවාද?

තාක්‍ෂණයට වැඩි තැනක් දෙනවා කියන එකට මම එකඟ නැහැ. ඕනෑම කලා මාධ්‍යයක තියෙනවා කොටස් දෙකක්. තාක්‍ෂණික ප්‍රතිශතය හා කලාත්මක ප්‍රතිශතය හැටියට. පරිසමාප්ත ශිල්පියෙක් බිහිවෙන්නේ මේ දෙකේම අග්‍රගණ්‍ය සුසංයෝගයකින්. තෙල් සායම් මාධ්‍යයේ වුණත් තාක්‍ෂණික පැත්ත ඉහළයි. සමබරතාවකින් යුතුව මේ දෙකම අධ්‍යයනය කරන්න ඕනෑ. හැබැයි දියසායම්වලදී තාක්‍ෂණික පැත්ත රැකගන්න එක සෙසු මාධ්‍යවලට වඩා අභියෝගයක්. මෙතැනදී කියන්නේ පළවෙනි දේ හරියටම කරන්න කියලා. ඒක බැරිවුණොත් කඩදාසිය අයින් කරලා අලුත් එකකට යනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. නිවැරදි කිරීමක් නැහැ. ලෝකයේ දියසායම් ප්‍රවීණයන් සාමාන්‍යයෙන් වෙනසක් සඳහාවත් වෙන මාධ්‍යයක වැඩ කරන්නේ නැහැ. එහෙම කළොත් පින්සලක් අල්ලන සැහැල්ලු බව අපෙන් අයින් වෙන්න පුළුවන්.