පොලීසිය හෙටත් ජීවිත බිලිගනු ඇත

රේඛා නිලුක්ෂි හේරත් / තරිදු උඩුවරගෙදර

මොනවා වුණත් පොලිස්පතිවරයා හොඳ නිලධාරියෙක්. ප‍්‍රතිඵල පෙන්වලා තියෙනවා.පසුගිය සතියක රාවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පොලිස්පතිවරයා ගැන නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක කීවේ එසේය. පොලීසිය මහා වෙනසකට පරිවර්තනය කරමින් පොලිස් නිලධාරීන් ජනතාව සමඟ සුහදශීලී වෙන යුගයක් ඇති කරන බව ඒ සම්මුඛ සාකච්ඡාවේදී සාගල රත්නායක අමාත්‍යවරයා කීය.

පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ට පහරදීම ඇතුළුව සමස්ථයක් ලෙස පොලීසිය විසින් සිවිල් පුරවැසියන්ට සිදුකරන හිංසනයන්ට තිත තැබීම තමාගේ අරමුණ බව අමාත්‍යවරයා කී අතර පොලීසිය සැකකරුවන්ව සාධාරණීකරණයකරන ඇමතිවරුන් සිටින රටක අමාත්‍යවරයා එයට තිත තබනවායැයි ප‍්‍රකාශ කිරීම ගැන අපේ ගෞරවය පුද කළ යුතුය. එහෙත් ශ‍්‍රී ලංකා පොලීසිය අමාත්‍යවරයාගේ අරමුණ වෙත ගමන් කරමින් සිටිනවාද? අමාත්‍යවරයා කටවචනයෙන් කියන අරමුණු ඉටු කරන්නට පොලීසිය සැදී පැහැදී සිටිනවාද?

පසුගිය සතියේ කතරගමදී දකින්නට ලැබුණේ පොලීසිය තවම පරණ පොලීසියම බවයි. මුළුමහත් රාජ්‍ය ආරක්ෂක අංශයම සාමාන්‍ය ජනතාව මත තමන්ගේ බලය  ඕනෑම වෙලාවක පැතිරවිය හැකියැයි කල්පනා කරයි. ලංකාවේ ඉතිහාසය පුරාම රාජ්‍ය අපරාධකාරීත්වය ක‍්‍රියාත්මක කළ ආරක්ෂක අංශ උතුරේ මෙන්ම දකුණේද මිනිස් ජීවිත තමන්ගේ අනුකම්පාව මත පවතින්නක් ලෙස විශ්වාස කරමින් සිටියි. කතරගමදී අණ නොතකා ධාවනය කළායැයි පුරවැසියෙකුට වෙඩි තබන්නේ  ආරක්ෂක අංශවල මනසේ දුවන ඒ ආකල්ප රටාව නිසාය.  ඒ ආකල්ප රටාව දශමයකින්වත් වෙනස් වී නැති අතර එසේ වෙනස් වෙන්නට අවශ්‍ය පියවරක්වත් ගෙන නැත.

 

කතරගම

කතරගම සිදුවීම ගැන බොහෝදෙනෙකු දිනපතා පුවත්පත් සහ රූපවාහිනී හරහා දැක ඇතුවාට සැක නැත. උද්ඝෝෂණ, වෙඩි පහරට ලක්වූවන්ගේ පවුලේ කතා අසා ඇතිවාට සැක නැත.

කතරගම ප‍්‍රාදේශීය සභාවේ සේවය කළ නිලධාරියෙකුට ජනවාරි 20 වැනිදා රාත‍්‍රී මුර සංචාරයෙහි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වෙඩි තබා තිබුණු අතර වෙඩි තැබීමට හේතුව අණ නොතකා ධාවනය කිරීම බව පොලිස් නිලධාරියා නිදහසට කරුණු ලෙස කියා තිබුණි.

එහෙත් යතුරුපැදියේ ගමන් කළ අනෙක් තරුණයා කියන්නේ වෙනත් කතාවකි. ඔහු කියන අන්දමට පොලිස් නිලධාරියා වාහනය නවත්වන ලෙස අණකර ඇති අතර මඳ දුරක් යමින් වාහනය ඉවත් කර නතර කරද්දී වෙඩි තැබූ බවයි.

මේ ඝාතනය පිළිබඳ 21 වැනිදා ප‍්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය කළ අතර කුපිත වූ ජනතාව පොලිස් ස්ථානයට පහරදී තිබුණි. උද්ඝෝෂණය කළ සාමාන්‍ය ජනතාව අත්අඩංගුවට ගැනුණු අතර ජනතා විරෝධය පාලනය කරගැනීමට කිසිසේත් නොහැකි විය. අවසානයේදී ඇප මත නිදහස් කෙරුණු විරෝධතාකරුවන් කියා තිබුණේ තමන්ටද පොලීසියෙන් පහරදුන් බවයි.

මේ සිදුවීම් සියල්ලෙන් පසුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලට පොලීසිය විසින් නිවසක් තනාදෙන බවට ප‍්‍රවෘත්ති පළවිය. ඒ නිවස තනාදෙනු ඇත. ඉන්පසුව වෙඩිපහර කෑ පුද්ගලයාගේ පවුල නිහඬවනු ඇත. සියල්ල යටයනු ඇත. පවුලේ අය වුව පසුව මේ සිදුවීම ගැන කතා නොකරනු ඇත. එහෙත් අප මේ සියල්ල කතාකළ යුත්තේ හෙටත් මෙවැන්නක් සිදු නොවිය යුතු නිසාය. අද මෙවැන්නක් සිදුවුණේ ඊයේ සිදුවූ සිදුවීම් නිසාය.

රතුපස්වල ලේ සුවඳ

සිදුවීම ගැන කතරගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චානක අමිල රංගන කියන කතාව බරපතළ එකකි. ප‍්‍රාදේශීය සභාවේ සේවකයන් විසින් පිකටින් එකක් කරලා තිබුණා. ඒ අයට විරුද්ධව තමයි ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන්ට කියලා තිබුනේ ප‍්‍රාදේශීය සභාවේ සේවකයන් රාත‍්‍රී දහයෙන් පස්සේ ගියොත් වෙඩි තියන්න කියලයි.

කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් සහ ප‍්‍රාදේශීය සභාවේ සේවකයන් අතර ගැටුමක් කාලයක සිට තිබුණු බවට චෝදනා එල්ලවෙයි. ජනතාවගේ විරෝධතාවන්වලද ප‍්‍රමුඛ සටන්පාඨයක් වුණේ රතුපස්වල ලේ සුවඳ කතරගමට ගෙනාපු උපාලි සිරගත කරණු කියාය.

කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා 2012 දී රතුපස්වල ආසන්නයේ වැලිවේරිය හන්දියේදී වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධව චෝදනාලත් නිලධාරියෙකි. වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පියවර නොගැනීම මෙන්ම හමුදාවට වෙඩි තබන්නට ඉඩදී පොලිස් ස්ථානාධිපතිවරයා කිසිවක් නොකර සිටීමද ඔහුට ඇති චෝදනාවකි. එපමණක් නොව රතුපස්වල ජල අර්බුදයේදී ගම්මානයේ විරෝධතා මෙහෙයවූවන්ට විරුද්ධව අසත්‍ය චෝදනා ගොනු කරමින් නඩු දැමීමට ක‍්‍රියා කළේද කතරගම පොලිස්පති උපාලි කාරියවසම් මහතාමය. එපමණක් නොව ඔහු කතරගමට මාරු කර යවන්නට හේතුව වී තිබුණේද ඔහු විසින් තර්ජනය කිරීමේ සිදුවීමක් ගැන ලංකාදීපය වාර්තා කිරීමෙන් පසුවය.

ඔහුගේ ඉතිහාසයේ වැරදි සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම තුළම ඔහුට අනාගතයේ වැරදි කිරීමටත්, ඒවාට අනුබල දීමටත් පසුබිමක් සැකසී ඇති බව පැහැදිළිය. මේ වෙඩි තැබීමේ සිදුවීම බරපතළ ලෙස ගෙන ඒ සම්බන්ධයෙන් සැබෑ පරීක්ෂණයක් කරන්නේ නම් ඔහුද සිදුවීමේ පළමු චූදිතයෙකි.  එහෙත්  මේ සිදුවීම ගැන අනාගත පරීක්ෂණ කිසිසේත් ඔහු වෙත එල්ල නොවෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඉතිහාසයෙන් පාඩම් ඇත්තේ ඒ ආකාරයටයි.

එසේ ඒ සිදුවීම එක්වර මතුව යටයෑමේ ඉඩක් ඇතත් අපට ඒ ගැන බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතුය. සාමාන්‍ය පුරවැසියෙකුට පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක සිදුවිය හැකි බරපතළම අපරාධයකි.

පස්යාල

කතරගම සිදුවීම වැනි සිදුවීම් මීට පෙරද සිදුවිය. 2014 ජුනි 16 වැනිදා පස්යාලේදී තරුණයෙකුට අණ නොතකා ධාවනය කළායැයි වෙඩි තබා තිබුණි. එය පොලීසිය සම්පූර්ණයෙන් පියවර නොගෙන අමතක කර දැමීය. ඒ සිදුවීමේදී වෙඩි පහර වැදී තිබුණේ සුභාෂ් ඉන්දික ජයසිංහ නම් 23 හැවිරිදි තරුණයෙකුටය. ඔහුගේ පපුවට වෙඩි වැදී තිබුණු අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් පවසා තිබුණේ ඔහු අණ නොතකා ධාවනය කළ නිසා වෙඩි තැබූ බවයි. අණ නොතකා ධාවනය කළායැයි කියන මෝටර් සයිකලයේ ඉදිරිපස අසුනේ ගිය තරුණයාට වෙඩි වැදී තිබුණි.

පසුපස ගිය තරුණයා කියා තිබුණේ මෝටර් සයිකලය නවත්වා පොලීසියෙන් වෙඩිතැබූ බවයි. කෙසේ වෙතත් අණ නොතකා ධාවනය කළායැයි විශ්වාස කළද මෝටර් සයිකලයේ ඉදිරියෙන් ගමන්ගත් පුද්ගලයාගේ  පපුවට වෙඩි තැබුවේ කෙසේදැයි පැහැදිළි ගැටලූවක් පුරවැසියන්ට තිබුණි. එහෙත් මාධ්‍යවලට හෝ පොලීසියට හෝ කිසිවෙකුට එය ගැටලූවක් නොවූ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ප‍්‍රකාශය එලෙස මාධ්‍ය විසින්ද පළ කර තිබුණි. එතැනින් පසුව ඒ ගැන කිසි කතාවක් නැත. නිට්ටඹුවේ පොලිස් ස්ථානයේ සේවය කළ වෙඩි තැබූ නිලධාරියා හෝ  සිද්ධිය යට ගසන්නට උත්සාහ කළ කිසිවෙකුට එරෙහිව පියවර ගැනීමක් ගැන වාර්තා වී නැත.

මෙවන් එක් සිදුවීමක් නැවත එවැන්නක් නොවීම සඳහා අවස්ථාවක් කරගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක කාර්යභාරයයි. ඒ ආණ්ඩුව කාලයේ පියවර නොගත්තේනම් මේ ආණ්ඩුව ආ විගස පියවර ගැනීමට ඉඩ තිබුණි. එහෙත් මේ ආණ්ඩුව කාලයේ තවත් එවැනි සිදුවීමක් වුණා මිස කලින් සිදුවීම ගැන පියවර ගැනුණේ නැත.

 

චුන්නාක්කම් වෙඩි පහර

පස්යාලෙන්  පසුව සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම චුන්නාක්කම්හිදී වෙඩි තැබීමයි. එය වත්මන් ආණ්ඩුව සමයේ සාගල රත්නායක ඇමතිවරයා අමාත්‍ය ධූරයේ සිටියදී සිදුවූවකි. චුන්නාක්කම් වෙඩි තැබීම යට ගසන්නට පැහැදිළිවම පොලිස් ස්ථානාධිපතිවරයා, ප‍්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ඇතුළු නිලධාරීන් පිරිසක් පියවර ගෙන තිබුණි. එපමණක් නොව එය මිනීමැරුමක් බවට පැහැදිළි සාක්ෂි තිබුණි.

චුන්නාක්කම් සිදුවීම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම, සාගල රත්නායක අමාත්‍යවරයා මුණගැසී සාකච්ඡුා කිරීම ඇතුළු සිවිල් ක‍්‍රියාකාරකම් කිහිපයකටම ලියුම්කරුද නියෝජනය කරන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මැදිහත් විය. ඒ මැදිහත්වීම්වලදී පැහැදිළිව පෙනුණේ මේ සිදුවීම යට ගැසීම මිස ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමක් සිදු නොවන බවයි.

සිදුවීම යටගැසීමට උත්සාහ ගත් සහකාර පොලිස් අධිකාරිවරයාට සහ පොලිස් ස්ථානාධිපතිවරයාට දැඩි පියවර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් විය. මේ සිදුවීම උතුරේ සාමාන්‍ය ජනතාවගේ උනන්දුවටද ලක්වූ සිදුවීමක් විය. මෙවන් සිදුවීම් නැවත සිදු නොවනු පිණිස පියවර ගැනීමට මේ සිදුවීම හොඳටම ප‍්‍රමාණවත් විය. උතුරේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළුව ජනතාවගේ දැඩි විරෝධතා නැවැත්වුවේද සියලූ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන බවට පොරොන්දු වීමෙන් පසුවයි. එහෙත් දැනට මහේස්ත‍්‍රාත් උසාවියේ ලඝු නොවන නඩුවක් හැර මේ සම්බන්ධයෙන් දැඩි පියවර කිසිවක් නැත. දැඩි පියවර නැති නිසාම තවත් මෙවැනි දේ කිරීමට සහතිකයක් ලබා දී ඇත.

තරුණයන් දෙදෙනෙකු ඝාතනය වුණා පමණි. අන් කිසිවක් සිදුව නැත.

 

එස්.අයි.යූ. නාටකය

අප මීට පෙර වතාවක්ද ලීවේ උතුරු නැගෙනහිර දෙමළ කතාකරන ප‍්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම් ගැන ගැටලූ රැසක් ඇති බවයි. විශේෂයෙන් චෝදනා රැුසක් ලද නිලධාරීන් උතුරේ ඉහළ වගකීම් බාරව ක‍්‍රියා කර තිබුණි. විද්‍යා ඝාතන නඩුව යටගසන්නට උත්සාහ කළ ඞී.අයි.ජී. ලලිත් ජයසිංහ සම්බන්ධ සිදුවීම එය පැහැදිළි කරන එක් සිදුවීමක් විය.

මෑත දිනයක අපූරු නාටකයක් සිදුවුණේ උතුරු පළාතේය. එය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන පොලිස් විශේෂ විමර්ශන අංශයද සම්බන්ධ නාටකයකි. එදිනෙකා ව්‍යවහාරයේදී එය එස්.අයි.යූ. නමින් හැඳින්වෙයි. මෙය පොලිස්පතිවරයා යටතේ පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත ක‍්‍රියාත්මක වෙයි.

උතුරු පළාතේ සිටින සහකාර පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරිමට පසුගිය දිනෙක පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමකට භාර වී තිබුණි. පරීක්ෂණ සිදුවුණත් මේ නිලධාරියා සම්බන්ධයෙන් පියවරක් නොගැනුණි. මේ නිලධාරියාට ඇති චෝදනාව පැහැදිලිව ඔප්පු කළ හැකි එකක් වූ අතර ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් අන්දමට පරීක්ෂණ නොකළ බව තතු දන්නා බොහෝදෙනෙකුගේ චෝදනාව විය.

ඉන්පසුව මේ සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ සිටින කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට එරෙහිව විමර්ශන සඳහාද එස්.අයි.යූ. අංශයේ කණ්ඩායමක් යොමු කර ඇත. එහිදී අදාළ ප‍්‍රදේශයට පැමිණි එස්.අයි.යූ. නිලධාරීන් කණ්ඩායමට මත්පැන් ඇතුළු සත්කාර කරන ලෙස ප‍්‍රදේශයේ දෙමළ කතාකරන අවන්හල් හිමියෙකුට දැනුම්දෙන දුරකථන ඇමතුමක්ද පටිගත වී ඇත. ඒ ඇමතුම් ඇතුළුව අපට ලැබුණු තොරතුරු වලින් පෙනෙන්නේ එස්.අයි.යූ. කණ්ඩායම සහ සහකාර පොලිස් අධිකාරීවරයා අතර සමීප මිතුරු සම්බන්ධතා ඇති බවයි. ඒ සියල්ලෙන් පෙනෙන්නේ  සහකාර පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර චෝදනා එල්ල කරන්නට තරම් ස්වාධීනත්වයක් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අංශවලටද නොමැති බවයි. මේ දුරකථන ඇමතුම් නාටකය පොලීසිය අභ්‍යන්තරයේ විශේෂයෙන් කතාබහට ලක්වූ මෑතකාලීන සිදුවීමක් විය.

පොලීසිය සිටින්නේ නීතිය හා සාමය රැුකීමටයි. ඒ සඳහා සිටින අයම වැරදි කරනවානම් එය වැටත් නියරත් ගොයම් කෑමකි. අනෙක් පැත්තෙන් එසේ වැරැුද්දක් කළ පසුව ඒ ගැන පරීක්ෂණ කරන්නට සිටින පිරිස්ද ඔවුන් සමඟ එකතුවී වැරදි යට ගසන්නේ නම් එය මහා ඛේදවාචකයකි. මේවා මෙලෙස පවතිනතුරු කතරගම වැනි සිදුවීම් තවත් සිදුවෙනු ඇත.

 

තවත් සිදුවීම්

මෑත කාලයේ පොලීසිය විසින් පියවර නොගෙන යටගැසූ තවත් සිදුවීම් බොහෝය. අප නැවත නැවත කතාකරන සිදුවීම්වලට අමතරව  සේයා ඝාතන සිදුවීම අවස්ථාවේ කොටදෙණියාවේ පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන දරුණු ලෙස පහරදීම බරපතළ එකක් විය. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ඇතුළු ආයතන ගණනාවකට පැමිණිලි කළත් පරීක්ෂණ සිදු නොවීය.

පොලීසිය සම්බන්ධයෙන් පියවර ගන්නැයි ජනාධිපතිවරයාට වුව කඩුව අතට ගෙන අණ කරන්නට සදාචාරාත්මක අයිතියක් නැත. ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන මහතා ක්ලික් සමාජ ශාලාවේදී ඇතිකරගත්තායැයි කියන ගැටුම සම්බන්ධයෙන් කිසි පරීක්ෂණයක් නැත. ඒ සිදුවීම පිළිබඳව නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායකගෙන් අප පසුගිය දිනෙක විමසද්දී අමාත්‍යවරයා එවන් සිදුවීමක් තමාට මතක නැති බවද කියා තිබුණි. අමාත්‍යවරයා මේ සිදුවීම් මතකයෙන් අමතක කර ඇති පසුබිමක ජනාධිපතිවරයාට වුව කෘතගුණ සලකන්නට සිදුවනු ඇති බවට සැකයක් නැත.

අනෙක් අතට නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියෙකුට ප‍්‍රසිද්ධියේ පහරදීම සම්බන්ධයෙනුත් කිසිම පරීක්ෂණයක් සිදුව නැත. ඒ සම්බන්ධයෙන්ද තමා හරිහැටි නොදන්නා බව සාගල රත්නායක ඇමතිවරයා කියා ඇත.

පොලීසිය මේ ආණ්ඩුව සමයේත් ක‍්‍රියාත්මක වෙන්නේ එලෙසය. ඉතින් යුක්තිය ගැන බලාපොරොත්තු තැබිය නොහැකිය.

 

භාවනාව

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිතනවා ඇත්තේ බෞද්ධ, බෞද්ධ නොවන, බෞද්ධ වුණත් භාවනාව විශ්වාස නොකරන සියලූළුදෙනාට භාවනා කරන ලෙස විහිළුකාර චක‍්‍රලේඛ නිකුත් කරමින් බලහත්කාරයෙන් නියෝග කළාට පසුව පොලීසිය වෙනස් වෙනු ඇති බවයි. භාවනා කරන්නැයි පොලීසියේ විදුලි සෝපානක‍්‍රියාකරුවෙකුට පහරදීමට උත්සාහ කරන ආකාරයත් අපට දකින්නට ලැබුණි. එසේ පහරකෑමට ලක්වූ රාගම පදිංචිකරුවෙක් වන නිලධාරියා ජනාධිපතිවරයාට සහ ආසියානු මානව හිමිකම් කොමිසමට පසුගිය සතියේ පැමිණිල්ලක් සිදුකර තිබුණු අතර සී.අයි.ඞීයට කර තිබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිඵලයක් නොවීය.

සාමාන්‍ය මිනිසුන්ට පහරදෙන්නට, වෙඩිතබන්නට අයිතියක් ඇතැයි සිතමින් පොලිස් නිලධාරීන් එදිනෙදා රාජකාරි කරන බව පළමු පොලිස් නිලධාරියා වන පොලිස්පතිවරයා විසින් පෙන්වූ අතර, ඒ හැසිරීම් භාවනාවෙන් නවත්වන්නට නොහැකි බවද පොලිස්පතිවරයා ක‍්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීය. එසේ හැසිරීම දඬුවමට ලක්වීමට හේතුවක් නොවන බවද පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම හරහා ඔප්පු විය. පොලීසිය මත එලෙස නීතිය ක‍්‍රියාත්මක නොවෙන බවට ඔප්පු වෙන සිදුවීම් රැුසක් මෑත කාලයේ ඉතිහාසයෙන්ම සොයාගත හැකිය.

සාගල රත්නායක අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ පොලිස් නිලධාරීන්ට ප‍්‍රමාණවත් තරම් පුහුණුවක් නැති බවයි. මෙවැනි සිදුවීම් ඉදිරියේදීද සිදුවීමේ අවධානමක් ඇතැයි ඔහු කියා තිබුණි. මේ ට්විටර් පණිවුඩය හැර මෙවන් සිදුවීම් අවම කරගන්නට ඔහු ගෙන ඇති උත්සාහයන් ප‍්‍රමාණවත්දැයි විමසීම වටියි. ඔහු කියන්නේ පොලිස් නිලධාරීන්ට පුහුණුවක් දියයුතු බවයි. පුහුණුවෙන් සියල්ල විසෙ`දන්නේ නැත.

යුක්තිය ඉටු නොවී නිදහසක් ලැබෙන්නේ නැත. මෙතෙක් පොලීසිය විසින් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක‍්‍රියාත්මක නොවෙන පසුබිමක කොහෙත්ම මේවා නතර වෙන්නේ නැත. මේ සිදුවීම උත්ප‍්‍රාසාත්මක ලෙස එය පැහැදිළිව පෙන්වයි. රතුපස්වලදී සිදුවීමට මැදිහත්වූ පොලිස් ස්ථානාධිපතිවරයාම දැන් පැමිණ කතරගමදීත් එවන් සිදුවීමකට වගකියයි. මේ සිදුවීම සම්බන්ධයෙන්ද පොලීසිය ක‍්‍රියාත්මක වෙන ආකාරයෙන් පෙනෙන්නේ හෙට වුව තවත් මෙවැනි සිදුවීම් සිදුවෙනවා මිස යුක්තිය ඉටු නොවෙන බවයි.