රාවය

ඌව චණ්ඩියාට කඩු කොපුවෙන් පහර දීම

ඌව චණ්ඩියාට කඩු කොපුවෙන් පහර දීම

ඌව පළාත් මහඇමති චාමර සම්පත් දිසානායක මහතා බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මියට පරුෂ වචනයෙන් බැණවැදී ඇයව දණගස්වා ඇති බව රාවය ඇතුළුව මාධ්‍ය කිහිපයකින් පසුගිය සතියක වාර්තා කර තිබුණි. ඒ සිදුවීමත් සමඟ ඌව පළාත් මහඇමති චාමර සම්පත් මහතා එය ප‍්‍රතික්ෂේප කළ අතර මාධ්‍ය ඉදිරියට පැමිණි විදුහල්පතිනිය එවන් සිදුවීමක් සිදු නොවූ බව මාධ්‍ය ඉදිරියේ ප‍්‍රකාශ කර තිබුණි.

එහෙත් ඒ ප‍්‍රකාශය විදුහල්පතිනිය සිදු කරන්නට පෙරම සිදුවීම පිළිබඳව රාවය වෙනුවෙන් සිදුවීම වාර්තා කළ ලියුම්කාරිනියට ඇතුළුව ක‍්‍රියාකාරිකයන් කිහිපදෙනෙකුටම වාර්තා වී තිබුණි. විදුහල්පතිනිය සිදුවීම ප‍්‍රතික්ෂේප කිරීම රංගනයක් බව ඒ මොහොතේම අපට වැටහුණු අතර ඉන් දින කිහිපයකට පසුව විදුහල්පතිනිය විසින්ම බදුල්ල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ජන මාධ්‍ය ඉදිරියේ කියා තිබුණේ තමාව දණගැස්වූ සිදුවීම ඇත්තක් බවයි. තමා එය අසත්‍යයක් බව ප‍්‍රකාශ කළේ මහඇමතිවරයා දෙවැනි වරට කළ තර්ජනයන්ට බිය වීම නිසා බව ඇය කීවාය. ඒ අනුව ඌව මහඇමතිවරයා තමන්ට ජනතා ඡුන්දයෙන් ලැබුණු බලය අතට ගනිමින් දෙවරක් විදුහල්පතිනියකට තර්ජනය කරමින් චණ්ඩිපාට් දමා ඇත.

පළවැනි තර්ජනය

භවානි රඝුනාදන් විදුහල්පතිනිය විසින් විස්තර කරන ආකාරයට සිදුවීම මෙසේය.

පසුගිය ජනවාරි 02 වන දින බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවියක ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලමින් සිසුවියකගේ මාපියන් එම පාසලට පැමිණ ඇත. ඔවුන් විසින් විදුහල්පතිනියගෙන් විමසා ඇත්තේ ඌව මහඇමතිවරයාගෙන් ලිපියක් රැුගෙන පැමිණියහොත් තම දරුවන්ව ඇතුළු කරගන්නවා ද කියායි. එහෙත් විදුහල්පතිනිය එයට විරෝධය පාමින් අධ්‍යාපන ක‍්‍රියා පටිපාටියෙන් පිට තමන්ට කටයුතු කළ නොහැකි බව කියා ඇත. පසුව ජනවාරි 03 වන දින දහවල් 12ට පමණ ඌව අධ්‍යාපන කාර්යාලයෙන්  විදුහල්පතිනියට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ වහාම මහ ඇමතිවරයාගේ නිල නිවසට පැමිණෙන ලෙසය.

පසුව ඇය මහඇමතිවරයාගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාවේ එතැන විශාල පිරිසක් රැුස්ව සිට ඇත. එතැන පෙරදා සිසුවිය රැගෙන පැමිණි මාපියන් ද සිට ඇත.

ඉන්පසුව ඌව පළාතේ මහඇමති චාමර සම්පත් දසනායක විදුහල්පතිනියට තර්ජනය කර දණ ගස්සා වැඳ තමන්ගෙන් සමාව අයදින ලෙස අණ කර ඇති බව විදුහල්පතිනිය කියයි. ඇය පවසන ආකාරයට ඇය මහා ඇමතිවරයාගේ දෙපා වැඳ සමාව ගනිමින් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් මහ ඇමතිවරයාට කිසිදු අපහාසයක් නොකළ බවය.

ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය වන සන්ධ්‍යා අඹන්වෙල නම් නිලධාරිනිය ද එම අවස්ථාවේ රැුඳී සිට ඇත. ඇය තර්ජනය කර ඇත්තේ විදුහල්පතිනියව දුෂ්කර පළාතකට මාරු කර යවන බව කියමිනි. සිදුවීම මාධ්‍ය හරහා විශාල වශයෙන් කතාබහට ලක්වුණේ ඉන් පසුවය.

දෙවැනි තර්ජනය

පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් ජනවාරි 09 වන දිනයේ ද බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ආර්. භවානිට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. ඇයට මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබා දීමට වහාම පළාත් සභාව වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන ලේකම්වරිය විසින් අණ කර ඇත. එහෙත් විදුහල්පතිතුමිය පවසා ඇත්තේ එදින පාසල් දිනයක් බැවින් තමන් පාසල නිමවන තෙක් පාසලේ රැු`දී සිටිය යුතු බවත් දහවල් දෙකෙන් පසු තමාට පැමිණිය හැකි බවයි.

දවල් දෙකෙන් පසුව විදුහල්පතිනිය පළාත් සභාවට ගොස් ඇති අතර දෙරණ සහ හිරු රූපවාහිනී නාලිකාවල මාධ්‍යවේදීන් වන ප‍්‍රසන්න පද්මසිරි, බදුල්ලේ පාලිත ආරියවංශ, අමිල ක‍්‍රිෂාන්ත රත්නායක එතැන රැඳී සිට ඇත. විදුහල්පතිනිය විසින් මහඇමතිවරයාගේ බලපෑම මත තමා මහඇමතිවරයා ඉදිරියේ දණගසා සමාව නොඉල්ලූ බවට ප‍්‍රකාශයක් කර ඇත. එම ප‍්‍රකාශය මේ සිදුවීම පිළිබදව පළාත් සභාවේදී චෝදනා කළ විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට පෙනෙන සේ විකාශය කර ඇති අතර මාධ්‍ය විසින් ද එය පළ කර ඇත. ඒ අනුව දෙවැනි වතාවට වැරදි ප‍්‍රකාශයක් ලබාගැනීම වෙනුවෙන් ද විදුහල්පතිනිය මහඇමතිවරයාට තර්ජනය කර ඇති බව පැහැදිලිය. ඇය තමන්ගේ හිතවතුන් සමඟ පවසා ඇත්තේ තමන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි නිසා තමන් අසත්‍ය ප‍්‍රකාශයක් මාධ්‍යවලට කළ බවයි.

මේ සිදුවීම් සම්බන්ධයෙන් ජනවාරි 11 වනවිට ලංකා ගුරු සංගමය සහ කැෆෙ සංවිධානය මැදිහත් වූ අතර ඔවුන් විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, ශ‍්‍රී ලංකා පොලීසිය, ජනාධිපතිවරයා ඇතුළු ආයතන කිහිපයකටම ලිඛිත පැමිණිලි සිදුකර තිබුණි. එහෙත් ඒවා සම්බන්ධයෙන් එතෙක් පියවරක් ගැනුණේ නැත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේස් මහතා සිද්ධියට මැදිහත් වෙන්නේ මාධ්‍යවල මේ සිදුවීම අසත්‍යයක් බවට ප‍්‍රකාශයට පත්වීමෙන් පසුවයි. පසුගිය 19 වැනිදා සන්ධ්‍යා අඹන්වෙල ඇතුළු නිලධාරීන් පිරිසක් බදුල්ල දෙමළ මහා විද්‍යාලයට පැමිණ විදුහල්පතිනියගේ ලොග් පොතේ තිබුණු සටහන් ඉරා දමන්නට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේදී වඩිවෙල් සුරේෂ් මන්ත‍්‍රීවරයා පාසැලට පැමිණ ඇත.

එතැනදී හඬා වැටෙමින් විදුහල්පතිනිය පවසන්නේ මාධ්‍යවල පළවූ සිදුවීම සැබෑවක් බවත් තමාව මහඇමතිවරයා විසින් දණගැස්වූ බවත් ය. ඒ සියල්ල බොහෝ දෙනෙකුගේ ඇස් ඉදිරිපිට සිදුවිය. සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹෙන්නේ ඉන් පසුවයි.

අමු ජාතිවාදය

විදුහල්පතිනියට චාමර සම්පත් දසනායක විසින් බැණවැදී ඇත්තේ අමු ජාතිවාදී අදහස් සමඟයි. දෙමළ සහ සිංහල ජනතාව එකට ජීවත්වෙන බදුල්ල දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාවට විඳින්නට වන පීඩාවන් අතර වාග් ප‍්‍රහාරයන් ඉහළින්ම ඇති පීඩනයකි. ඇයට මහඇමතිවරයාගෙන් ද ඒ අමු ජාතිවාදී වාග් ප‍්‍රහාරයන්ට මුහුණදෙන්නට සිදුව ඇත.

එපමණක් නොව මේ සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වූ ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා බැණ වදින්නේද අන්තවාදී ක‍්‍රිස්තියානිකාරයා කියායි. ඒ පසුපස ද ඇත්තේ අමු ජාතිවාදයයි. මහඇමතිවරයාගේ දෘෂ්ඨිය එයින් පැහැදිලි වෙයි.

 

කඩුව

ජනාධිපතිවරයාගේ කඩුවේ මොට පැත්තෙන් පළාත් මහඇමතිවරයාගේ අධ්‍යාපන ඇමතිධූරය පමණක් කැපී යන්නේ සිදුවීම ගැන මුලින් පැමිණෙන පැමිණිලි නිසා නොවේ. සිදුවීම ගැන මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුවය. ඉන් පසුව වුව බරපතළ වරදක් කළ මහඇමතිවරයාව අත්අඩංගුවට ගැනෙන්නේ නැත.

ඒ සියල්ලෙන් පසුව ජනවාරි 21 වැනිදා විදුහල්පතිනිය කටඋත්තරයක් ලබාදීමට බදුල්ල පොලීසියට පැමිණි අවස්ථාවේ දී අධිකරණ නියෝගයක් නැතිවම විදුහල්පතිනියගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට යැයි පවසමින් බදුල්ල මහ රෝහලට ඇයව ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි. ඉන්පසුව විදුහල්පතිනියව මහඇමතිවරයාගේ නිල නිවසට රැුගෙන යන්නට පොලීසිය තැත් කර ඇත. එහෙත් එතැන සිටි සමන්ත විද්‍යාරත්න, වඩිවෙල් සුරේෂ් වැනි දේශපාලන ක‍්‍රියාකාරිකයන්ගේ මැදිහත්වීමෙන් එය නතර වී ඇත.

පොලීසිය පිළිබඳව බරපතළ චෝදනා එල්ලවීමෙන් පසුව මහඇමතිවරයා 23 වැනිදා පොලීසියට බාර වී තිබුණි. අධිකරණයෙන් මහඇමතිවරයාට එදිනම ඇප ලැබී තිබුණි. නැවත මේ පිළිබඳ නඩුවක් විමසන්නේ මැයි 16 වැනිදාය. මැයි මාසය වෙද්දී සිදුවීම කිසිවෙකුට මතක තිබේවිදැයි සැක සහිතය. මහඇමතිවරයාගේ තනතුරට හානියක් නැත. ඇප ලැබුණු චාමර සම්පත් දසනායකට සෙත් පතන්නට

ප‍්‍රදේශයේ ප‍්‍රකට හිමිවරුන්, පූජකයන් සහ නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද පැමිණ තිබුණු අතර ඒ මැදිහත්වීම් වලින් පෙනෙන්නේ චාමර සම්පත් දසනායක මහතා වරදක් කර ඇති බව ඔවුන් කිසිවෙකු පිළි නොගන්නා බවයි.

 

මාධ්‍ය

චාමර සම්පත් දිසානායක 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස තේරී පත් වූ අතර ඒ වෙද්දී ඔහු පළාත් සභාවේ ඇමතිවරයෙක් විය. එහෙත් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම වෙනුවට ඔහු පාර්ලිමේන්තුවෙන් ඉවත්ව පළාත් සභාවේ නතර විය. ඒ වෙද්දී මහඇමති ධූරයේ කටයුතු කළ හරීන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට පත් වූ අතර චාමර සම්පත් දිසානායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට ඡුන්දයෙන් පරාජයට පත් වූ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පත්කරනු ලැබීය. ඒ වෙනුවෙන් චාමර සම්පත් මහතාට ලැබුණු වාසිය ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධූරයයි.

මෙසේ පත්වූ චාමර සම්පත් දිසානායක මහතා සරල ජීවිතයක් ගත කරන සාමාන්‍ය පුද්ගලයෙකු බවට වර්ණනා කරමින් බදුල්ල ආශ‍්‍රිත ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් ඒ දිනවල දීර්ඝ පුවත්පත් ලිපි පළ කර තිබුණි. ඔහුව අතිශයෝක්තියෙන් වර්ණනා විය.

චාමර සම්පත් අමාත්‍යවරයා සම්බන්ධයෙන් 2016 මාර්තු මාසයේ දී ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යන්නේ බරපතළ චෝදනා රැුසක් සමඟයි. ඒ දිනවල මෙය මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් වුණත් බදුල්ලේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට එය වාර්තාවක් නොවීය. ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් ඒවා සම්බන්ධයෙන් ඇස් කන් වසාගෙන සිටියා පමණි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිල්ල සම්බන්ධයෙන් ද කුමක් සිදුවූවාදැයි වාර්තාවක් නැත.

මහඇමතිවරයා විසින් තර්ජනය කොට විදුහල්පතිනියගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇතිනම් ඒ බව මාධ්‍යවේදීන් හොඳින් දැන සිටියා විය යුතුය. එහෙත් විදුහල්පතිනිය වෙනුවට මහඇමතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් මේ මාධ්‍යවේදීන් කළේ සත්‍ය යටපත් කිරීමයි. මේ සිදුවීම දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් මෙන් ම මාධ්‍ය සම්බන්ධයෙන් දූෂිත පැතිකඩක් විවෘත කළ සිදුවීමකි.

 

කඩුව කැපෙයි නම්

දේශපාලනඥයන් විසින් නිලධාරීන් මත බලය පැටවීම සම්බන්ධයෙන් අපූරු නිදසුනක් වූ මේ සිදුවීම සිදු වූ විගස ජනාධිපතිවරයා විසින් දැඩි පියවර ගත යුතුව තිබුණි. චාමර සම්පත් දිසානායක මහතා බදුල්ලේ ජනාධිපතිවරයාට සහාය දුන් අය අතර ඉදිරියෙන් ම සිටියේය. ඔහු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පියවර නොගැනීම මෙන්ම ශ‍්‍රීලනිපයේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ නායකයන් චාමර සම්පත් දසනායක මහතා වරදක් කර නොමැති බවට ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන තත්වයට පත්වීම තේරුම් ගත හැකිය. ලංකාවේ දේශපාලනය එබඳුය. රාජපක්ෂ ආණ්ඩුව සමයේත් මේවා සිදුවුණේ මෙසේය. අපි මේ සිදුවීමෙන් තවත් තහවුරු කරගත යුත්තේ මේ ආණ්ඩුවේත් වෙනසක් නැති බවයි.

තව ටික දිනකින් මේ සිදුවීම යටපත් වීමත්, නඩුව අමතක වී යෑමත් ගැන කල්තියා අනාවැකි කිව හැකිය. චාමර සම්පත් දසනායක මහතා දීප්තිමත් අනාගතයක් ඇති දේශපාලනඥයෙක් ලෙස ඉදිරියටත් සිටිනු ඇත. සන්ධ්‍යා අඹන්වෙල නිලධාරිනියටත් තමන්ගේ අනාගතය ගැන බියක් ඇති කරගත යුතු නැත. බදුල්ලේ පාලිත ආරියවංශ ඇතුළු මාධ්‍යවේදීන් ඉදිරියේ සුපුරුදු මාධ්‍ය කලාව කරගෙන සිටිනු ඇති අතර කිසිවෙකු ඔවුන්ගේ වාර්තාවල සත්‍ය අසත්‍යභාවය ප‍්‍රශ්න නොකරනු ඇත. විදුහල්පතිනිය පළිගැනීම්වලට ලක්වීමේ අවදානමක්ද ඇත.

එහෙත් මේ සියල්ල ගැන අප අවධානයෙන් සිටිය යුතු ය. පුරවැසියන් ලෙස යළි යළිත් මේ සිදුවීම් සිහිපත් කළයුතුය. පරීක්ෂණ සිදුවුණාදැයි යළි යළිත් විමසිය යුතු ය.