ජනපති අගමැති ගැටීමකදී ආණ්ඩුවේ වගවීමට අදාළ වන ව්‍යවස්ථාමය පසුබිම

සරත් සී.මයාදුන්නේ.

විශ‍්‍රාමික විගණකාධිපති හා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර

 

 

අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ඇතිව හෝ නැතිව ආණ්ඩුවේ තීරණ ලෙසට පළ කළගැසට් කිරීම් කිහිපයක්ම අවලංගු කරන බව ජනාධිපතිතුමා විසින් වරින් වර ප‍්‍රකාශ කර පසුව අවලංගු කරනු ලැබිණි. ජනාධිපතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය, විශේෂයෙන්ම අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සෙසු ඇමතිවරු, යම් කරුණක් හෝ කරුණු මත ප‍්‍රතිවිරුද්ධ තීන්දු තීරණ මත ස්ථිරසාරව සිටින දිනයක් ඇති වුවහොත් සැබැවින්ම බලාත්මක කුමන තීරණයද බලරහිත කුමන තීරණයද යන්නට පැහැදිලි පිළිතුරක් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන තුළ දිස්වෙන්නේ නැත. එයට හේතුව ජනරජයේ විධායක බලය හෙවත් ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම පිළිබඳව එකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන තුළ ජනාධිපතිතුමාටද අමාත්‍ය මණ්ඩලයටද පහතින් දක්වා ඇති පරිදි වෙන වෙනම අධිකාර බලය පවරා තිබීමත් එම බල අධිකාර දෙකින් එකක්වත් අනිත් බල අධිකාරයට යටත් කොට නැති නිසාත්ය.
මෙතෙක් කල් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ වඩාත්ම බලවත් ආණ්ඩුවේ තීරණ හෙවත් විධායකයේ නියෝග ලෙස නිශ්චය වූයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමත විධිවිධාන වේ. එම ගැසට් නිවේදන හෝ චක‍්‍රලේඛ වලට ඉහළින් වූයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන හා පාර්ලිමේන්තු පනත් ආදිය පමණකි. විධායකයේ නියෝග වන මුදල් රෙගුලාසි, ආයතන සංග‍්‍රහය, ප‍්‍රසම්පාදන උපදේශ, අමාත්‍යාංශ හෝ වෙනත් ආයතනික චක‍්‍රලේඛ ආදිය පමණක් නොව ජනාධිපති චක‍්‍රලේඛ පවා අබිබවා ‘‘රජය විසින් තීරණය කරනු ලැබ ඇත” යන අදහස සහිත අමාත්‍ය මණ්ඩලයේ අනුමත විධිවිධානයන්ට මෙතෙක් ප‍්‍රමුඛතාව ලැබිණි. ජනාධිපති චක‍්‍රලේඛ, අමාත්‍ය මණ්ඩලයේ අනුමත විධිවිධානයන්ට වඩා පසුපසින් පෙළගැස්වීමට බලපා තිබූ ප‍්‍රධාන කාරණා දෙකක් විය. ඉන් එකක් නම් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා හා සාමාජිකයෙකුද වීම නිසා එතුමාද ඇතුළුව සාමූහිකව වගකීමට හා උත්තර දීමට බැඳී සිටින අමාත්‍ය මණ්ඩලයේම නියෝගවීමය. අනෙක් කරුණ නම් ජනාධිපතිවරයාට කිසිදු අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයේ අනුමත විධිවිධානයන්ට පරස්පර වන නියෝග නිකුත් කළ යුතු තරමේ විරසකයක් මෙතෙක් කල් ඇති නොවීමය.
අද පවත්නා සුවිශේෂී තත්ත්වය ලෙස පෙනෙනුයේ යම් මත ගැටුම් තිබුණද මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය තුළ අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාට පක්‍ෂපාතී ඇමතිවරු ගණනාවකගේ සහාය ජනාධිපතිවරයාට තිබීමත් ගැටුම් අවම කරගෙන ආණ්ඩුව පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව තවමත් පැවතීමත්ය. එම සංහිදියාවට බලපෑ හැකි පහතින් දක්වා ඇති තවත් කරුණු කිහිපයක් ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිවරයාගේ බලය හීනවීමද දැක්විය හැක. ඉන් කරුණු කිහිපයක් වශයෙන් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 (2) ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා ඉවත් කිරීමටත්, 46 (3) ව්‍යවස්ථාව අනුව අගමැතිවරයාගේ උපදෙස් මත මිස කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමටත්, 48 (2) ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමටත්, 70 (1) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ ධුර කාලය ලෙස දැක්වෙන වර්ෂ 4 1/2 කාලය වන 2020 පෙබරවාරි මාසයට පළමුව එය විසුරුවා හැරීමටත්, පෙර පැවති ව්‍යවස්ථා විධිවිධාන යටතේ මෙන් ජනාධිපතිවරයාට දැන් බලයක් නොතිබීමත් සඳහන් කළ හැක.
1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදුන්නේ පූර්ණ බලැති ජනපතිවරයෙක් යටතේ ආණ්ඩු කිරීමටය. එ් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන යටතේ අගමැතිවරයාද, අමාත්‍ය මණ්ඩලයද, සම්පූර්ණ රාජ්‍ය සේවාවද ජනාධිපතිවරයාගේ පූර්ණ පාලනයට යටත් කර තිබිණ. ඔහුට අභිමත අයුරින් අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව තුළින් පත් කරන්නටත්, අමාත්‍ය ධුර මාරු කරන්නටත්, අමාත්‍ය ධුර වලින් ඉවත් කරන්නටත් සංශෝධනයන්ට පෙර තිබුණු 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට විශාල බලයක් පැවතිණ. එනිසා එකල ජනාධිපතිවරයාගේ වගවීමට ගැළපෙන ලෙස බලය තිබිණ. මෑත කාලයේ සම්මත කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා ජනාධිපතිවරයාට තිබූ එ් බලය සීමාවිය. එ් සමගම ආණ්ඩුවේ තීන්දු, තීරණ හා එ්වා තුළින් ජනිත වන ප‍්‍රතිවිපාක පිළිබඳව උත්තර දීමේ වගවීමත්, ආණ්ඩුව තුළ අධිකාර බලයත් යන දෙකම බැරැරුම් අර්බුදයකට යෑමේ ඉඩකඩක් ඇති විය.
මෙම ලිපියෙන් අරමුණු කරනුයේ ජනපති සහ අගමැති ගැටීමකට අදාළ වන අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානමය පසුබිම පැහැදිලි කිරීමත්, ඉදිරියට ගතයුතු පියවර පිළිබඳව අදහස් දැක්වීමත්ය. කෙසේ වෙතත් ඉතා වටිනා ව්‍යවස්ථා විධිවිධාන ගණනාවක් බලගැන්වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවතක්සේරු කිරීමට මෙම ලිපියෙන් කිසිසේත්ම අරමුණු නොකරන බවද, ජනමත විචාරණයක් සහිතව කරන තුරු පමා කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන තවදුරටත් පමා කළහොත් ආණ්ඩුවේ වගවීමට අදාළ ව්‍යවස්ථාමය අර්බුදයක් මතු දිනෙක ඇතිවීම නොවැළැක්විය හැකි බවද, එදාට අද මෙන් ව්‍යවස්ථාමය විසඳුමක් ලැබිය හැකි සංහිඳියාවක් සහිත සාමකාමී පරිසරයක් නොතිබිය හැකි බවද අවධාරණයෙන් සඳහන් කළ යුතුව ඇත.
4 වන ව්‍යවස්ථාවේ (ආ) යටතේ ‘‘රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසිින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේය.” යනුවෙන් දැක්වේ. එ් අනුව මෙහිදී අප පැහැදිලිව අවබෝධ කරගත යුත්තේ පරමාධිපත්‍ය හිමි ජනතාවගේ විධායක බලය කි‍්‍රයාත්මක කිරීම හා භුක්ති විඳීම සඳහා ජනතාව විසින්ම ඡුන්දය මගින් තෝරා පත් කර ගත් සමස්ත විධායක කාර්යය පිළිබඳව ව්‍යවස්ථානුකූලව ජනතාවට ඍජුව වගවිය යුතු එකම ජනතා නියෝජිතයා වන්නේ ජනාධිපතිවරයා වන බවය. අමාත්‍ය මණ්ඩලය හා නිලධාරීන් ඇතුළු විධායකයේ අන් කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙක් පරමාධිපත්‍ය හිමි ජනතාව වෙත ඍජුව විධායක කාර්යය පිළිබඳව ව්‍යවස්ථානුකූලව වගවිය යුතු නැත. ව්‍යවස්ථානුකූලව ජනතාවට ඍජුව වගවිය යුතු එකම ජනතා නියෝජිතයා ජනාධිපතිවරයා නිසාත් ජනතාවගේ පරමාධිපත්‍යයයට අදාළ ජනරජයේ විධායක කාර්යය කි‍්‍රයාත්මක කිරීම පැවරී ඇත්තේ එතුමාට මිස අමාත්‍ය මණ්ඩලයට නොවන නිසාත් එතුමාගේ විධායක නියෝග වල වලංගුභාවය අභියෝග කළ නොහැක.
ඉහත සඳහන් කර ඇති 4 (ආ) වන ව්‍යවස්ථාව එසේම බලාත්මකව පවතිද්දීම 42 (1) සහ (2) ව්‍යවස්ථා අනුව ‘‘ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම හා එ් පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේය. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේය.” යනුවෙන්ද, 42 (3) ව්‍යවස්ථාව අනුුව ‘‘ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක්ද අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියාද වන්නේය.” යනුවෙන්ද, දැක්වේ. එනමුත් එයින් අමාත්‍ය මණ්ඩල තීරණවලදී ජනාධිපතිවරයාට අභිමතානුසාරීව කි‍්‍රයා කිරීමට බලයක් ලබාදී නැත. මේ ව්‍යවස්ථාමය විධිවිධානය අනුව ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම හා එ් පාලනය පිළිබඳව විධානය භාර වනුයේ අමාත්‍ය මණ්ඩලයටයි. එනිසා එ් අනුව සමස්ත විධායකය පිළිබඳව පාර්ලිමේන්තුවට සාමූහිකව වගවිය යුත්තේ අමාත්‍ය මණ්ඩලයයිි. එනිසා අමාත්‍ය මණ්ඩලයේ විධායක නියෝගවල වලංගුභාවයද අභියෝග කළ නොහැක.
ඉහත කරුණ නිසා මතුවන තවත් අර්බුදයක් වන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් කරනු ලබන එහෙත් ජනාධිපතිවරයා එකඟ නොවන කරුණු වලට 4(ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා ජනතාවට උත්තර බැඳීමටත්, ජනාධිපතිවරයා විසින් කරනු ලබන එහෙත් අමාත්‍ය මණ්ඩලය එකඟ නොවන කරුණු වලට 42(2) ව්‍යවස්ථාව යටතේ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට හා උත්තර බැඳීමටත් බැඳී සිටීමයි.
අද දිනයේ බලයේ සිටින ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර ඇති සංහිදියාව නිසා සැබෑ අර්බුදය අද පැහැදිලිව නොපෙනුණත් මෙම තත්ත්වය ප‍්‍රායෝගිකවම අර්බුදකාරී විය හැකියි. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොවුණහොත් ජනාධිපතිවරයා එක් තීරණයකද අමාත්‍ය මණ්ඩලයේ අනිකුත් සියලූදෙනා වෙනත් තීරණයකද තිරසාරව සිටිය හැකි දවසක් ඇතිවිය හැකි අයුරු පහත දැක්වෙන කරුණු අනුව පැහැදිලිි වේ.
විශේෂයෙන්ම යම් දිනෙක ජනාධිපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකිනුත් අග‍්‍රාමාත්‍යවරයා හා ඔහුගේ උපදෙස් මත පත්වන අමාත්‍ය මණ්ඩලයේ අනිකුත් සියලූම ඇමතිවරු ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂයකිනුත් පත්වූ විටෙක එම දෙපාර්ශ්වය පරස්පර ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කරනු ඇත. පරමාධිපත්‍යය හිමි ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය කි‍්‍රයාත්මක කිරීමට බලවරම ලබා යම් දේශපාලන පක්‍ෂයක් පැහැදිලි බහුතරයක් සහිතව පාර්ලිමේන්තුවට පත්වුවහොත් හා ඔවුන්ට අමාත්‍ය ධුර ලැබී අමාත්‍ය මණ්ඩලයේ බලය ලැබුණහොත් අමාත්‍ය මණ්ඩලය තම දේශපාලන පක්‍ෂ ප‍්‍රතිපත්ති අනුව විධායකයේ තීරණ බලාත්මක කරනු ඇත. අනිත් අතට පරමාධිපත්‍යය හිමි ජනතාවගේ විධායක බලය කි‍්‍රයාත්මක කිරීමට බලවරම ලබා ජනාධිපති ධුරයට පත්වන්නා තම දේශපාලන පක්‍ෂ ප‍්‍රතිපත්ති අනුව විධායකයේ තීරණ බලාත්මක කරනු ඇත. එවැනි පසුබිමකදී මෙම දෙපාර්ශ්වයටම පරමාධිපත්‍යය හිමි ජනතාවගේ බලය කි‍්‍රයාත්මක කිරීමට බලවරම ලැබී තිබීම නිසාත් එම දෙපාර්ශ්වයටම එකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන තුළ අධිකාර බලය ලැබී තිබීම නිසාත් එනමුත් දෙපාර්ශ්වය ගනු ලබන තීරණ සම්පූර්ණයෙන් පරස්පර විය හැකි නිසාත් විශාල අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැක.
ආණ්ඩුවේ වගවීම පිළිබඳ අර්බුදය බරපතළම ලෙස පැන නගිනුයේ මෙම පරස්පර විධායක නියෝග වර්ග දෙකම එකවර බලාත්මකවීම ආරම්භ වන දින සිටය. එවිට සැබැවින්ම පිළිගතයුතු වනුයේ කුමන නියෝගද යන්න සමස්ත ජනතාවටම ගැටලූවක් වන අතර රාජ්‍ය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කරන නිලධාරීන්ට කුමන නියෝග ඉටුකළොත් තමා සහ තම රැුකියාව අනතුරකට පත්වීම වැළකේද යන්න නිරාකරණය කරගැනීමට සිදුවේ. එබඳු අවස්ථාවක අධිකරණ තීන්දුවකින් නිශ්චිතතාවක් ලැබිය හැකි නමුත් එවැන්නකටද යම් කාලයක් ගතවේ. එවැනි අවස්ථාවකදී රාජ්‍ය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මකවීම ඇනහිටීමද, එසේ නොකොට නීතියට පටහැනි කි‍්‍රයා ලෙස පසුව තීරණය විය හැකි නීති විරෝධී කටයුතු සිදුවීමද තවත් අර්බුදයක් වනු ඇත.
අගමැතිවරයෙකු සහිත අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමෙන් පසුව පරමාධිපත්‍යය හිමි ජනතාවගේ විධායක බලය කි‍්‍රයාත්මක කිරීමට බලවරම ලබා නව ජනාධිපතිවරයෙකු පත් වුවද සංශෝධිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන අනුව නව අගමැතිවරයෙකු සහිත අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට වර්තමාන 48(2) ව්‍යවස්ථාව අනුුව එතුමාට බලයක් නැත. එනිසා නව ජනාධිපතිවරයා ජනවරමක් ලබාගන්නා සැලසුම් කිසිවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොලැබීමේ අර්බුදයක් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකළහොත් ඇතිවන බවද අවධාරණය කළ යුතුව ඇත.
ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ සම්පූර්ණ ශේෂය ප‍්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂ දෙකකට බෙදුණ ඉතිහාසයක් අපට 2002-2004 යුගයේ තිබුණත් එදා සම්පූර්ණ විධායකයම පාලනය කිරීමටත්, ඕනෑම විටෙක අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමට මෙන්ම අගමැතිවරයා හා ඇමතිවරු ඉවත් කිරීමටත්, පළමු වසරෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් එවකට ජනාධිපතිවරයාට බලය පැවරී තිබූ බව දෙපාර්ශ්වයම දැන සිටි නිසා විසඳාගත නොහැකි අර්බුදයක් ඇතිවූයේ නැත. එනමුත් අද එ් අර්බුදය මතුවුණොත් ඊට කිසිදු විසඳුමක් නැත.
ඉහත කරුණු අනුව පෙනී යායුත්තේ ආණ්ඩුවේ වගවීම පිළිබඳ අර්බුදය විසඳෙන ලෙසට විධායක බල අධිකාරීන් අතර බලය හා වගවීම සුදුසු අයුරින් සැකසෙන ලෙසට ව්‍යවස්ථාව සංශෝධන කළ යුතු බවය. මේ ගතවන්නේ එ් සඳහා ඇති හොඳම යුගයයි. එවැනි උචිත කාලයක් යළි නොලැබෙනු ඇත. එනිසා ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කිසිදු අයුරකින් වෙනස් නොකළ යුතුය” යනුවෙන් නැගෙමින් පවතින හඬ කෙතරම් බුද්ධිමත්ද යන්න වටහා ගෙන රටට උචිතම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට අර්ථවත් පුළුල් කතිකාවතක් දියත් කළ යුතුව ඇත.