මත්තල මහජන මුදල් කෑ හැටි

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘති හුදු සංදර්ශන පමණක් මිසෙක ඵලදායක ඒවා නොවන බවට සාධක හෙළිවෙමින් තිබේ. ඩොලර් මිලියන 343.7ක් වැයකර ඉදි කළ මත්තල ගුවන්තොටුපොළ එවැන්නකි. ඒ බව තහවුරුවන්නේ 2016 විගණකාධිපති වාර්තාවෙනි.
එහි පැටිකිරිය මෙලෙසය. වර්ෂ 2013 සිට 2015 නොවැම්බර් මාසය දක්වා ගුවන්යානා 14ක් මත්තලට ගොඩබස්සවා තිබෙනමුත් ඒ අයහපත් කාලගුණය, ඉන්ධන ලබාගැනීමේ ගැටලූ සහ යානාවල කාර්මික දෝෂයන් නිසා කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට නොහැකි හේතුවෙන්ය. මත්තල ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව දේශීය ගුවන් යානා තුනක්ද විදේශීය ගුවන් යානා තුනක්ද ගමන් අරඹා තිබුණද, 2015 වසර අවසන් වෙද්දී ගමන් ආරම්භ කර ඇත්තේ එක් ගුවන් යානයක් පමණි.
ගුවන්තොටුපොළ ආරම්භ කළ 2013 වසරේදී ඉපැයූ ආදායම රුපියල් මිලියන 48ක් වන අතර, 2014දී රුපියල් මිලියන 136කි. එය 2015 වෙද්දී රුපියල් මිලියන 49 දක්වා පහළ බැස ඇත. මෙම වසරවලදී සේවක පඩිනඩි, නඩත්තු කටයුතු, විදුලිය හා ජලය වෙනුවෙන් පිළිවෙළින් 2013දී රුපියල් මිලියන 2153ක්ද, 2014දී රුපියල් මිලියන 2865ක්ද, 2015දී රුපියල් මිලියන 132ක්ද වැයවී ඇත. 2015 ආදායම් එකතුවට වී ගබඩා කිරීමට වී අලෙවි මණ්ඩලයට මත්තල ගබඩා සංකීර්ණය බදු දීමෙන් ලද මාස 3ක ආදායම වන රුපියල් 2505396ක මුදලද අයත්ය.
ගුවන්තොටුපොළ ආරම්භ කිරීමෙන් අපේක්ෂිත ආදායම් ඉලක්කයට ළඟාවීමට නොහැකිවීම නිසා මහජන චීන ආණ්ඩුවෙන් 2030 වසර දක්වා වසර 15කින් ගෙවිය යුතු ණය මුදලේ වගකීම් ගාස්තු සහ කළමනාකරණ ගාස්තුව වන රුපියල් මිලියන 1989.82ක මුදල ගෙවා ඇත්තේ මහා භාණ්ඩාගාරයෙන්ය. 2015දී ගෙවිය යුතුව තිබූ පළමු ණය වාරික මුදල වන ඇමරිකන් ඩොලර් මිලියන 8.4ක මුදල ගෙවා ඇත්තේද සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ‍්‍රී ලංකා* සමාගමේ කෙටිකාලීන ඩොලර් තැන්පතුවලින්ය.
මේ මත්තල ගුවන්තොටුපොළට සිදුව ඇති සන්තෑසියයි. මේ අනුව මත්තල ගුවන්තොටුපොළ සුදු අලියෙකු වී හමාරය. හෙක්ටයාර් 2000ක බිම කොටසක් යොදාගෙන ඉදිකළ මෙම ගුවන්තොටුපොළ අසාර්ථක එකක් වීමට වනසතුන්ගෙන් ධාවන පථයට එල්ල වන බාධාවන් හේතු වී ඇති බවද විගණකාධිපති වාර්තාවේ සඳහන්ය. එය ගුවන්යානා නොපැමිණීමට ප‍්‍රබල හේතුවක්ද වෙයි. ස්වාභාවික සත්ව අභය භූමියකට ආසන්නව තිබීමත්, වනසතුන්ගේ වාසස්ථාන අහිමිවීමත් තවත් පාරිසරික ගැටලූ ඇතිකරලීමට හේතුවී ඇති බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි. 2016 විගණකාධිපති වාර්තාවට අනුව ශ‍්‍රී ලංකා රේගුවට 2016 දෙසැම්බර් වන විට ලැබිය යුතුවූ හිඟ බදු ආදායම රුපියල් මිලියන 21.316කි. මින් 85%ක් පමණ පෙර වර්ෂවල සිට අයකර ගැනීමට නියමිතව තිබූ බදු මුදල්ය. එයිනුත් රුපියල් මිලියන 15.644ක් රාජ්‍ය ආයතන වෙතින් ලැබිය යුතු ඒවා වේ.
ශ‍්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් විගණන වාර්තාවේ පහත සඳහන් දුර්වලතා සඳහන්ව ඇත.
නීති විරෝධී මත්කුඩු වැනි ආනයනයන් සිදුවීම, ප‍්‍රකාශ නොකළ භාණ්ඩ ආනයනය තුළින් බදු වංචා සිදුවීම, ප‍්‍රකාශ කළ භාණ්ඩවලට වඩා වැඩි භාණ්ඩ ප‍්‍රමාණයක් ආනයනය කර රේගු බදු වංචා කිරීම, වැරදි වර්ගීකරණය යටතේ භාණ්ඩ ආනයනය කර බදු අක‍්‍රමිකතාවල නිරතවීම ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ ආනයනය. යම් යම් භාණ්ඩවල උපාංග අඩුවෙන් හෝ වැඩියෙන් යොදා ආනයනය කිරීම යනාදියයි. එමෙන්ම නැව් භාණ්ඩ පරීක්ෂණ කාර්යයන් සඳහා ප‍්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොයෙදවීමද බරපතළ දුර්වලතාවක් ලෙස එහි දැක්වෙයි. වාර්තාවේ සඳහන් ආකාරයට 2016 වසර තුළ භාණ්ඩ බහලූම් 203712ක් පරීක්ෂා කිරීම සඳහා රේගුව යොදවා ඇත්තේ නිලධාරීන් 101කි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන 2016 විගණකාධිපති වාර්තාවේ සඳහන් තොරතුරුද යහපත් නොවේ. එහි දැක්වෙන ආකාරයට 2016 දෙසැම්බර් 31 වනවිට අයවිය යුතුව තිබූ හිඟ බදු ආදායම රුපියල් මිලියන 295296කි. විගණනයට ලබා දුන් තොරතුරු අනුව මෙයින් රුපියල් මිලියන 85708ක් කඩිනමින් අයකර ගැනීමේ හැකියාව තිබී ඇතද එසේ කර නැති බව සඳහන් වෙයි.
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වාර්ෂිකව සැපිරිය යුතු අතිරේක බදු රැුස් කිරීමේ ඉලක්ක ලබාදී තිබුණද ඇතැම් නිලධාරීන් ඉලක්ක සපුරා නැති බව හෙළිවේ. එසේ නොකිරීම නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් මිලියන 4652කි. පුදුමය වන්නේ නිලධාරීන්ගේ දිරිදීමනා ලබාගැනීමේදී මෙම ඉලක්ක සම්පූර්ණ කර ඇති බවට වාර්තා සපයා දිරිදීමනා ලබාගෙන තිබීමය. එලෙසම අධිකරණයෙන් පමණක් නියම කළ හැකි විධිවිධානයන්ට පටහැනිව ප‍්‍රාදේශීය කාර්යාල 35ක් බදුකරුවන් 918 දෙනෙකුට වාරික වශයෙන් හිඟ බදු ගෙවීමේ අවස්ථාව ලබාදීම නිසා රාජ්‍ය ආදායම් කළමනාකරණයට අහිතකර අන්දමින් බලපා ඇති බව වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි.
වර්ෂ 2015 අංක 10 දරන මුදල් පනත ප‍්‍රකාරව කැසිනෝ ව්‍යාපාරය වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 3490ක් මෙන්ම 2015 අයවැයෙන් පැනවූ මන්දිර බද්ද අයකර නොගැනීමෙන්ද රාජ්‍ය ආදායමට සෑහෙන මුදලක් අහිමි වී තිබේ. මේ දුර්වලතාව 2015 විගණකාධිපති වාර්තාවේද සඳහන්ව තිබුණත්, 2016දීත් එලෙසම පැවතීම ප‍්‍රශ්නසහගතය. 2016 අයවැය යෝජනා 18කින් 4ක් පමණක් ක‍්‍රියාත්මක තත්ත්වයේ පැවතුණද ඉතිරිය ක‍්‍රියාත්මක නොවීමෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට බාධාවක් වී තිබේ.
වාර්තාවේ අන්තර්ගතයට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අය නොකරගෙන ඇති හිඟ බදු මුදල රුපියල් මිලියන 2545කි. මින් 57%ක්ම වසර පහකට වැඩි කාලයක සිට පැවතෙන හිඟ බදු මුදල්ය. 2016 අයවැයෙන් මත්පැන් සඳහා බදු අය කිරීම ඉහළ දමා තිබුණද එයින් අපේක්ෂා කළ පරිදි මහජනතාවගේ මත්පැන් පරිභෝජනය අඩුවී නැති බවද මෙම වාර්තාවට අනුව හෙළිවේ. ඒ අනුව 2014දී ලීටර් මිලියන 43.9ක් නිපදවා ඇති අතර 2015දී ලීටර් මිලියන 51.8ක්ද, 2016දී ලීටර් මිලියන 55.5ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය සැලකිය යුතු තත්ත්වයකි. ශ‍්‍රී ලංකා නාවික හමුදාව 2015 ඔක්තෝබර් 15 දින වන විට අනුමැතියකින් තොරව කම්කරුවන් 420ක් බඳවාගෙන ඔවුන්ට වැටුප් හා දීමනා වශයෙන් වර්ෂයකට රුපියල් මිලියන 95ක් ගෙවා ඇති බවද විගණකාධිපති වාර්තාව අනුව හෙළිවේ.
නාවික හමුදාව වෙනත් ආයතන සතු ඉඩම් අක්කර 521ක් ගොඩනැගිලි 219ක් හා මෝටර් වාහන 55ක් විධිමත් පවරා ගැනීමකින් තොරව නාවික හමුදාවේ ප‍්‍රයෝජනයට ගෙන ඇති බවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. වරාය නීතිගත සංස්ථාවද අනුමත කාර්ය මණ්ඩලය අබිබවා 2016 ජූනි 30 දින වන විට සේවකයන් 190 දෙනකු බඳවාගෙන ඇති බවත් විගණකාධිපති වාර්තාව සනාථ කරයි.