ජනතාව ඉල්ලන්නේ ගෝඨාභයව නෙවෙයි, මහින්දව

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග

 

ජනාධිපතිවරයා එජාපයට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා ආර්ථිකයත් අතට ගන්නා බව කියාතිබුණා. ඔබ කියා තිබුණේ ජනාධිපතිවරයා රංගනයක් කරන බව. ජනාධිපතිවරයාගේ ස්ථාවරයන් ගැන ඔබේ අදහස මොකක්ද?
රටේ නායකයා ජනාධිපතිවරයා. කැබිනට් එකේ නායකයාත් ජනාධිපතිවරයා. එතකොට මේ රටේ හැම මුදල් පනතක්ම ගේන්න කලින් කැබිනට් මණ්ඩලයට ඇවිත් තමයි සම්මත වෙන්නේ. කැබිනට් මණ්ඩලයේදී තමයි තීන්දු ගන්නේ. කැබිනට් මණ්ඩලයේ නායකයා ජනාධිපතිවරයා. රටක නායකයෙක් ඉදිරියේදී වෙන්නේ මොනවාද කියලා නිලධාරීන්ගේ උපදෙස් අරගෙන තමයි කතා කරන්නේ. මේ වගේ වැඩ කරන්නේ. එතකොට පහුගිය අවුරුදු තුනක් තිස්සේ රටේ ආර්ථිකය කඩාවැටී ඇති බව ජනාධිපතිවරයා කියනවානම්, ඔහු එය නොදැක්කා සේ හිටියානම් ඒක ආණ්ඩුවේ මෙන්ම ජනාධිපතිවරයාගේත් දුර්වලකමක්. ඒ නිසා තමයි මම කීවේ මේක රංගනයක් කියලා. ජනාධිපතිවරයා රට ගැන අවබෝධයෙන් කටයුතු කළානම් මේක වෙන්නෙ නෑ.

එහෙත් ජනාධිපතිවරයා කියන්නේ තමන් ආර්ථිකයට මැදිහත් නොවී එජාපයට එය කරන්නට ඉඩදුන් බවයි. ඉතින් ජනාධිපතිවරයාගේ වරදක් නැහැ නේද?

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් ඇමතිවරයෙක් විදියට කටයුතු කළා. එතුමා ඒ කාලයේ කිව්වේ එතුමාට වැඩ කරන්න ඉඩ දුන්නෙ නෑ කියලා. දැන් එතුමා රටේ ජනාධිපතිවරයා. දැනුත් එතුමා කියන්නේ තමන්ට වැඩ කරන්න ඉඩ නොදුන් බවද. අද තියෙන්නේත් ඒ නිදහසට කරුණමද. රටේ ආර්ථිකය කඩා වැටුනානම් එතුමාත් එක හේතුවක්. මෙයාලා එකට වැඩකරලා දැන් එකපාරම ආර්ථිකය කඩා වැටුණායැයි කීවාට හරියන්නෙ නෑ. මිනිස්සු මේ වෙද්දී ජීවන වියදම් වැඩිවීම, ආර්ථිකය කඩා වැටීම නිසා කළකිරීමෙන් ඉන්න වෙලාවේ මේක යූඇන්පියෙන් කළ බවට ජනතා මතයක් හදන්නයි උත්සාහ කරන්නෙ. හැබැයි එහෙම කිව්වාට කරන්න බෑ. අගමැතිවරයා එජාපයේ. කැබිනට් මණ්ඩලයේ බහුතරය එජාපයේ. මේක ශී‍්‍රලනිපයට ඡුන්ද ටිකක් ගන්න කීව කතාවක් විතරයි.

ඔබ, නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට තමයි වැඩිපුරම ශ‍්‍රීීලනිපය දෙකඩ කිරීම මේ අදහස් දැක්වීම් ශ‍්‍රීීලනිපය දෙකඩ කරන්න කරන ඒවාද?

ශ‍්‍රීීලනිපය දෙකඩ වෙන්න පටන්ගත්තේ 2015 ජනාධිපතිවරණය කාලේ. එදා තමයි පක්ෂයේ ලේකම් ඇවිත් වෙන කණ්ඩායමක් එක්ක ඡුන්දයට ගියේ. එතකොට ඔහු ලක්ෂ හැට දෙකක් ගත්තා තමන්ගේම පක්ෂයට විරුද්ධව. ඉන්පස්සෙ ලක්ෂ පණස් අටක් ගත්ත පාර්ශ්වයට අයිති පක්ෂයේ නායකත්වය ගත්තා. ඒකෙන් අර ලක්ෂ 58ට නායකත්වයක් නැතිවුණා. මොකද එතුමාට විරුද්ධව ඡුන්දය දුන්න අය තමන්ගේ නායකත්වය ගන්නවාට කැමති නෑ. ඉන්පස්සේ මහ මැතිවරණයේදී එකට ඉල්ලන්න යෝජනා වුණා. මහින්ද මහත්තයා ඒකට එකඟවුණා. ඒ අනුව අනුරාධපුරයේ තිබුනු රැුලිය කල් දැම්මා. ඒ මෛත‍්‍රීපාල ජනාධිපතිතුමාවත් ගෙන්වගෙන මැතිවරණ ව්‍යාපාරය පටන් අරන් ආණ්ඩුවක් හදන්න. හැබැයි එතුමා ආවේ නෑ. ඉන්පස්සෙ මහින්ද මහත්තයා දිනනවා කියලා බුද්ධි අංශ වාර්තා ලැබෙද්දී මහින්ද මහත්තයාව පරද්දන්නට කිව්වා මහින්ද රාජපක්ෂ දින්නත් අගමැතිකම දෙන්නෑ කියලා. අන්තිමේ පක්ෂයේ සභාපතිවරයා සහ ජනාධිපතිවරයා තමන්ගෙ දිස්ත‍්‍රික්කෙන්ම මැතිවරණය පරාජය වුණා. ඒ වෙලාවේ එතුමා යූඇන්පියට උදව් කළ බව අපට පැහැදිළිව පේනවා. එහෙම වෙද්දීයි පක්ෂය දෙකඩ වීම ගැන අපට චෝදනා කරන්නෙ. පළාත් පාලන මැතිවරණය වෙලාවේත් ඕකම කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණාම මහින්ද මහත්තයා එක්ක ඉන්න ශ‍්‍රීීලනිප ජනතාව ඡුන්දය දෙන්නෙ නෑ.

ඔබ ඇතුළු කණ්ඩායම එකතුවීමට එකඟ නොවුණේ ඒ නිසාද?
අපි එකතුවෙන්න බැරි බවක් කීවේ නැහැ. අපි කිව්වේ මෙහෙම එකතුවීමක් කරනවානම් ඒකේ නායකත්වය මහින්ද මහත්තයාට ලැබෙන්න ඕනේ කියලා. අපි කොන්දේසියක් දැම්මා පමණයි. හැබැයි ඒකට එකඟවුණේ නැහැ. ඉන්පස්සෙ කිව්වා ආණ්ඩුවෙන් ඉවත්වෙලා එන්න එහෙමවුණොත් එකට වැඩ කරන්න පුළුවන් කියලා. ඒත් ඒකට එකඟවුණෙත් නෑ. ඒ ප‍්‍රශ්න එක්ක තමයි එකතුවෙන්න බැරිවුණේ. දැන් මට චෝදනා එල්ලවෙන්නේ මගේ මතය මම පැහැදිළිව රටට කීව නිසා.
එහෙත් ඔබට ජනාධිපතිවරයා වෙන්න පුළුවන්යැයි ජ්‍යොතිෂවේදියෙක් කී නිසා ඔබ පක්ෂය දෙකඩ කරන බවට චෝදනා එල්ලවෙනවා නේද?
මම බොළඳ හීන තියෙන කෙනෙක් නෙවෙයි. මට එහෙම වුවමනාවකුත් නෑ. මම ශී‍්‍රලනිපයට ආදරය කරපු කෙනෙක්. මට වඩා සුදුසුකම් තියෙන අය රටේ ඉන්නවා. දැන් මට වඩා නායකත්වයට සුදුසු මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමා නායකත්වයට ගේන්නයි මම උත්සාහ කරන්නෙ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දූෂණ විරෝධී ජාතික පෙරමුණක් මැතිවරණයෙන් පසුව නිර්මාණය කරන බව කීවා. ඔබේ කණ්ඩායමත් එයට එකතුවෙනවාද?
මමනම් කියන්නෙ එතුමා මැතිවරණ කාලයට කියන දේවල් වැඩිය කල්පනා කරන්න ඕනෙ දේවල් නෙවෙයි. මේවා මැතිවරණ ඉලක්ක කරගෙන දේවල්. 2015 මැතිවරණයේදී කරනවායැයි කීව දේවල් තාම කළේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයේදී බලයට ආවේත් හොරු අල්ලනවා කියලා. අවුරුදු තුනකට පස්සේත් 2015 කිව්ව බොරු ටිකම කීවා. මහින්ද මහත්තයාගේ කාලයේ හොරකම් සිද්ධවුණානම් ඒවා දැන් කොහෙද. එදා කීව හොරකම් දැන් කොහෙද. එතුමා කියන විදියට පක්ෂය ඇතුලේ ඒ කාලේ හොරකම් වුණානම් එදා එතුමා කරන්න තිබුණේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වෙන එක. එතුමාට එදා ඒවාට විරුද්ධ වෙන්න තිබුණා. රටේ ජනතාව දැනුම්වත් කරන්න තිබුණා. එහෙම කළේ නැහැ. එදත් ඒ කණ්ඩායම ඒ විදියට කරන්න තිබුණා. බයේ හිටියායැයි කියන්නෙ කොහොමද. එතුමා කියනවා ඒ කාලේ නායකත්වයට විරුද්ධ වුණොත් මරලා දාන්න තිබුණාලූ. එහෙත් එහෙම කාටවත් වුණේ නැහැ. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉඳලා ඉවත්වුණ ගොඩක් අයට ආණ්ඩුවට චෝදනා කළා. පක්ෂ මාරු කළා. මේවා රටේ ජනතාව රවටන්න කියපු දේවල්. එදා ඇමති කෙනෙක් විදියට හිටියායැයි කියමු. හැබැයි ආණ්ඩුවට ඇවිල්ලාත් හොරුන්ව රැුක්කා. මහබැංකු බැඳුම්කර වංචාවේදී හොරුන්ව රැුක්කා. එතුමා බලයට ආවේ බොරු කියලා. දැන් මොනවාහරි වුණාම දන්නෙ නැහැයි කියනවා. ඉතින් මිනිස්සු ජනාධිපතිවරයා ගණන් ගන්නේ නැති තත්වයට පත්වෙලා.

බැඳුම්කර සිදුවීම පමණක් දූෂණයක් ලෙස අල්ලාගන්නේ ඇයි?
ඒ එක් සිද්ධියක් පමණයි. ඊට අමතරව කොළඹ නුවර අධිවේගී මාර්ගයේ වංචා දූෂණ තියෙනවා. දකුණු අධිවේගි මාර්ගය මෙන් කිහිප ගුණයක් පාරවල් හදන්න වියදම් කරනවා. නැව් ගනුදෙනුව පිළිබඳව අද රටේ මිනිස්සු කතාකරනවා. පොහොර ගේන එක සම්බන්ධයෙන් ලොකු වංචාවක් වුණා. ඊළඟට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ල ලොකු වංචාවක් නෙවෙයිද. පත්තර කියවලාවත් එතුමා ඒ වංචා ගැන දැනගන්නෙ නැද්ද. ඒවා සම්බන්ධයෙන් පියවර ගන්නෙ නැද්ද.

මැතිවරණයෙන් පසුව ශී‍්‍රලනිප ආණ්ඩුවක් නිර්මාණය කරන බව ඇතමුන් කියනවා. එහෙම කරන්නට ශ‍්‍රීීලනිප පාර්ශ්වයන් දෙකේ කණ්ඩායම් දෙකම එක්වුණත් ප‍්‍රමාණවත් නැහැ. ඉතින් ආණ්ඩුවක් හදන්න මන්ත‍්‍රීධුර සංඛ්‍යාව ලබාගන්නෙ කොහොමද?
පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු මොන වෙලාවේ වෙනස් වේවිදැයි අපි දන්නෙ නෑ. බලයත් එක්කයි ඔවුන් වෙනස්වෙන්නේ. පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලයත් එක්ක මන්ත‍්‍රීවරු වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

ඔබේ කණ්ඩායම විශ්වාසභංග යෝජනාවකුත් ගෙනල්ලා තියෙනවා. හැබැයි විශ්වාශභංගය ජයග‍්‍රහණය කිරීම අසීරු කටයුත්තක්. ඒ සම්බන්ධයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද?
අපි බලාගෙන ඉන්නෙ මහබැංකු හොරකමට සම්බන්ධ අගමැතිවරයාට විරුද්ධව ගෙනල්ලා තියෙන විශ්වාසභංගයට ශී‍්‍රලනිපය මුහුණදෙන්නේ කොහොමද කියලා. එතකොට අපට තීන්දු කරගන්න පුළුවන් නීතිපති දෙපාර්තමේන්තුවට ඇවිත් නඩු ගොනු කරද්දී කොයි විදියටද ඒක වෙන්නෙ කියලා. ශ‍්‍රීලනිපය රනිල් වික‍්‍රමසිංහට සහයෝගය දීම හොරුන්ට සහයෝගය දුන්නා හා සමානයි.

මැතිවරණයෙන් පස්සේ පළාත් පාලන ආයතනවල ශී‍්‍රලනිප සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් එකට කටයුතු කරනවාද?
අපි කොහොමත් හරි දේට සියලූදෙනා එකතු වෙයි. වැරදි දේට බෙදිලා යයි. දැන් මැතිවරණ ව්‍යාපාරයේදී මෛත‍්‍රී පිලයි, එජාපයයි එකට වැඩ කරනවා. පෙළක් අවස්ථා තියෙනවා දෙගොල්ලන් එකට රැුස්වීම් තියෙනවා. ගම්පහදී අපි එහෙම දේවල් පවා දකිනවා. ඔවුන් එක්ක අපි එකතුවීම කෙලෙස වේවිදැයි බලන්න ඕනෙ. කොහොමවුණත් බහුතරයක් මන්ත‍්‍රීධුර අපට ලැබේවි.

කණ්ඩායම් දෙක එකතුවෙනවානම් මේ මැතිවරණයෙන් පස්සේ පොහොට්ටුවට වෙන්නේ මොකක්ද? මේක තවත් අටවාගත් පක්ෂයක් පමණද?
හැමදාම අපි ආණ්ඩු හැදුවේ සන්ධානගත වෙලා. පොහොට්ටුවත් සන්ධානයක්. එතැන මහින්ද මහත්තයා, අනෙක් දේශපාලන පක්ෂ ඉන්නවා. ඉදිරියේදීත් ශ‍්‍රීලනිපයට සන්ධානගත වෙන්න බැරිකමක් නෑ. ඉතින් එවන් මොහොතක කතාවෙලා විසඳුමකට එන්න පුළුවන්.

ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වයේ තබාගනිමින් ශ‍්‍රීලනිප දෙපාර්ශ්වය එකතු කළ හැකි බවට ඒකාබද්ධ විපක්ෂයේ සහ ශී‍්‍රලනිපයේ කණ්ඩායම් එකඟ වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
මේ රටේ නායකත්වයට කවුද ගේන්නේ කියලා තීන්දුව ගන්න ඕනේ රටේ ජනතාව. දේශපාලනඥයන් නෙවෙයි. රටේ ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂව නෙවෙයි, මහින්ද රාජපක්ෂව. මහින්ද රාජපක්ෂගේ අනුප‍්‍රාප්තිකයා කවුදැයි ජනතාව හිතලා නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ අදත් රටේ වැඩිම ජනතාවකගේ ගෞරවය ලබන නායකයා. අදත් හොඳ ජවයක් එක්ක කටයුතු කරන නායකයා. එතකොට තවත් විකල්පයක් ගැන හිතන්න ඕනෙ නෑ. මම දන්නවා රාජපක්ෂ පවුල එකට කටයුතු කරන්නෙ කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පවුලේ උදවිය එකතුවෙලා විශාල සහයෝගයක් මහින්ද මහත්තයාට දෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ වෙලාවේ රටේ උගතුන්, බුද්ධිමතුන් එකතු කරගෙන වැඩ කරනවා. බැසිල් රාජපක්ෂ මහත්තයා දේශපාලන පසුබිම හදනවා. නාමල් රාජපක්ෂත් වැඩ කරනවා.

හැබැයි බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් ශ‍්‍රීලනිපය එකතුකරන්නට විරුද්ධ වීම නිසා කළකිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වී සිටින බවයි කියන්නෙ. එතුමා විදේශගත වුණේ ඇයි?
එතුමා විදේශගත වෙලා හිටියාට එතුමාගේ එළිය සංවිධානය ක‍්‍රියාත්මක වෙනවා. එතුමා තාක්ෂණය හරහා සම්බන්ධවෙමින් ඒවා මෙහෙයවිමටත් සහයෝගය ලබාදීමටත් කටයුතු කරනවා.එතුමා පෞද්ගලික කාරණයක් නිසා තමයි විදේශගත වුණේ.