අපේ පක්ෂය තනි තීන්දු ගත්ත කාලය අවසානයි

එජනිස මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර

ජනාධිපතිවරයා මේ දිනවල එජාපය ගැන තදින් කතා කරනවා. මැතිවරණයෙන් පස්සේ ජාතික පෙරමුණක් හදන බව කීවා. මේ ජාතික පෙරමුණ මොකක්ද?
ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ වංචාවට සහ දූෂණයට විරුද්ධ වෙන පිරිසිදු දේශපාලනඥයන් සියලූදෙනා එක ගොඩකට ගන්න. මම විශ්වාස කරන විදියට එතුමාට අවශ්‍ය වෙලා තියෙනවා මේ රට පිරිසිදු රටක් බවට පත් කරන්න. හොරුන්ට දඬුවම් දෙන්න එතුමාට දැඩි අවශ්‍යතාවක් තියෙනවා. ඉතින් එතුමා ජාතික පුළුල් පෙරමුණකට ආරාධනා කරලා තියෙනවා.

මේ කියන ජාතික පෙරමුණ ජනතාව අතරේ ඇතිවෙන එකක්ද? දේශපාලනඥයන් අතරේ ඇතිවෙන පෙරමුණක්ද?
පළමුවැනියට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ වගේ අය එකතුවෙන්න ඕනෙ. ඉතින් දේශපාලනඥයන්ගෙන් තමයි එතුමා පටන් ගන්නේ. ඉන්පස්සේ පළාත් සභාවල දේශපාලනඥයන්, පළාත් පාලන ආයතනවල දේශපාලනඥයන් එකතුවෙන්න ඕනේ. ඒ විදියට රටේ ජනතාව, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් දූෂණයට එරෙහිව පෙළගැහෙන්න ඕනේ. ජනතාව පෙළගැහිලා සමහර වෙනස් කරපු රටවල් තියෙනවා. අපේ රටේත් එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා. ජනතා පෙළගැස්මක් තියෙනවා.

එහි අදහස මේ ජාතික ආණ්ඩුව පෙබරවාරි මාසයෙන් පසුව අවසන් වීම හෝ ලොකු වෙනස්කමකට ලක්වීමක් සිදුවෙයි කියන එකද?
එහෙම කියන්න හැකියාවක් නැහැ. මොනවා වෙයිද කියලා මට නිවැරදිවම කියන්න බැහැ. ඒක පෙබරවාරි 10 වැනිදායින් පස්සේ වෙන දෙයක්. කලින් කීම අවශ්‍ය නෑ. හැබැයි කැබිනට් මණ්ඩලයේ දූෂිතයන් ඉන්නවා නම්, ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා.

හැබැයි ජනාධිපතිවරයා කඩුව වනන්නේ එජාපයට විතරක් බව කියනවා නේද?
එහෙම නැහැ. ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ශ‍්‍රීලනිප පාක්ෂිකයෙක්. ජනාධිපතිතුමා වෙනුවෙන් මැරීගෙන වැඩ කරන කෙනෙක්. ඔහුට බරපතළ චෝදනාවක් එල්ල වුණා. අපි දන්නවා චෝදනාව වැරදියි කියලා. අපට මහ ඇමතිතුමාව විශ්වාසයි. හැබැයි ඒ චෝදනාව එල්ල වුණු නිසා පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ආණ්ඩුකාරවරයාට පවරා ගන්නැයි ජනාධිපතිවරයා විසින් නියෝග කළා. ශ‍්‍රීලනිපයේ කියලා මහ ඇමතිවරයාව ආරක්ෂා කළේ නැහැ. මට වුණත් හෙට වැරැුද්දක් කළොත් මට දඬුවම් ලැබේවි.

එජාපය ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීමේදී දුර්වල බව කියන්නේ ඇයි? ආර්ථිකය ජනාධිපතිවරයාගේ අතට ගන්නේ කොහොමද?
බැඳුම්කර සිද්ධිය ගත්තාම ඒක පිටිපස්සේ පරිපාලනයේ ගැටලූවක් තියෙනවා. විශේෂයෙන් අමාත්‍යාංශවල බෙදීයෑම ආදියෙහි ගැටලූවක් තියෙනවා. අනෙක ආර්ථික සැලසුම් එජාපය විසින් සකස් කළ ඒවා. පහුගිය කාලේ එලෙස ගත්ත ඇතැම් තීන්දු සාර්ථක වුණේ නැහැ. ජනාධිපතිතුමාත් යම් වැඩපිළිවෙලක් ඒකට ඒ දිනවල හැදුවා. දැනටත් ක‍්‍රියාත්මක වෙනවා. ආර්ථික සභාව ඒකේ කොටසක්. ජනාධිපතිතුමා ඒ යාන්ත‍්‍රණය පුළුල් කරලා කටයුතු කරයි.

කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රශ්නයක් ඇතිවුණු බව කීවා. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී එජාපය දැඩිව විවේචනය කළා නේද?
නැහැ, කැබිනට් මණ්ඩලයේදී යම් සිද්ධියක් වුණා. හැබැයි එතැන මාධ්‍යවලින් කියපු තරම් බරපතළ සිද්ධියක් වුණේ නැහැ. ජනාධිපතිතුමා කීවේ පෞද්ගලිකව ජනාධිපතිතුමාව ඉලක්ක කරලා මන්ත‍්‍රීවරුන් කතා කරනවා කියලා. එහෙම මන්ත‍්‍රීවරුන් කරන්න හේතුව වංචාවට දූෂණයට විරුද්ධව කටයුතු කිරීම බව එතුමා පෙන්වා දුන්නා.

මැතිවරණයේදී ශ‍්‍රීලනිපය සහ සන්ධානය විදියට දකින්නේ මොනවගේ තත්ත්වයක්ද? ශ‍්‍රීලනිප මැතිවරණ රැුස්වීම්වල පිරිස එන්නේ නැති බව කියනවා නේද?
අපට නම් සැකයක් නැහැ. මේ වෙද්දී ශ‍්‍රීලනිප රැුස්වීම්වලට ඕනෑවටත් වැඩිය පිරිසක් ඉන්නවා. ජනාධිපතිතුමා රැුස්වීම් මාලාවක් කරගෙන යනවා. වැඩිම ජනගහනයක් ඉන්නේ ඒ රැුස්වීම්වලට. සමහර මාධ්‍ය විසින් අනෙක් පක්ෂ උලූප්පන්නට අපේ රැුස්වීම්වලට සෙනඟ අඩු බව දානවා. මුලින් තත්ත්වය අභියෝගයක් වුණා තමයි. හැබැයි ජනතාව අපි එක්ක එක්වෙමින් ඉන්නවා.

ආණ්ඩුවේ ගිවිසුම පහුගිය අවුරුදු දෙකට තිබුණේ. දැන් ගිවිසුමේ කාලය ඉවරවෙලා. ගිවිසුමේ කාලය දීර්ඝ වේවිද?
එහෙම දෙයක් ගැන සාකච්ඡා කරලා නෑ. ඒක පෞද්ගලිකව එක්කෙනෙක් ගන්න තීන්දුවක් නෙවෙයිනේ. අපේ පක්ෂය තනි තීන්දු ගත්ත කාලය අවසානයි. දැන් තීන්දු ගන්නේ සාමූහිකව. මධ්‍යම කාරක සභාවෙන් තමයි ඒ ගැන තීන්දු ගන්නේ. අපි රටට හොඳ තීන්දුවක් ගන්නවා.

පළාත් පාලන ආයතනවල පොදුජන පෙරමුණ සමඟ එක්වෙලා බලය පිහිටුවන බවට අදහසක් තියෙනවා නේද?
අපි කවුරුවත් එක්ක එකතු වෙනවාද කියන එක ප‍්‍රශ්නයක් නෑ. අපි තනිවම ජයග‍්‍රහණය කරනවා. අඩුපාඩුවක් වුණොත් අපි එක්ක එකතුවෙන්නේ කවුදැයි අපි බලනවා. අපි කාත් එක්කවත් එකතු වෙන්නේ නෑ.

ආණ්ඩුව ඉදිරි කාලය සඳහා සැලසුම් සකස් කරද්දී ආණ්ඩුවේ හිටපු කාලය ගැන තිබුණු අත්දැකීම් මොකක්ද?
මේ ආණ්ඩුව බලයට පත් කරපු ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඉටුවෙලා නැතිව ඇති. අපේ බලාපොරොත්තුත් සම්පූර්ණයෙන් ඉටුවෙලා නැහැ. හැබැයි මේ ආණ්ඩුව මොනාවත්ම නොකළ ආණ්ඩුවක් නෙවෙයි. දැන් විදුලි පුටු අවදානම නැහැ. ජාත්‍යන්තර අධිකරණ, ජාත්‍යන්තර පරීක්ෂණ නෑ. නිදහස ඇවිල්ලා තියෙනවා. ජාත්‍යන්තර සම්බාධක තිබුණා. ඒවා දැන් නැහැ. ජී.එස්.පී. තහනම වගේ දේවල් ඉවත්වෙලා. එහෙම ජයග‍්‍රහණ තිබුණත් ආර්ථික ජයග‍්‍රහණ සීයට, සීයක් ලබාගන්න බැරිවෙලා. යම් ප‍්‍රමාණයක් තිබුණත් සෑහීමකට පත්වෙන්න බෑ. වංචාව දූෂණය ගැන සීයට සීයක් සතුටුවෙන්න පුළුවන්කමක් නෑ.

ඒ ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ඉදිරි අවුරුදු දෙකේදී ලොකු වෙනසක් වේවිද?
අඩුපාඩු අඳුනගෙන ඒවා නිවැරදි කිරීම තමයි ජනාධිපතිවරයා කරන්න උත්සාහ කරන්නේ. ඉදිරි කාලයේදී ආර්ථික ජයග‍්‍රහණත් ලැබෙන ආකාරයට, හොරකම් වංචා සහ දූෂණ නතර කරලා කරපුවාට දඬුවම් ලැබෙන තත්ත්වයක් ඇති කරන්න පුළුවන් වේවි.

ආණ්ඩුවේ වෙනසක් එක්ක මේ වෙද්දී එජාපයට වැඩි බලයක් සමග පවතින ආණ්ඩුවේ සංයුතිය වෙනස් වේවිද?
එහෙම පක්ෂ සම්බන්ධ කාරණයක් නෙවෙයි. පක්ෂවලට වැඩි බලයක්ද කියලා නෙවෙයි. හොඳ කෙනාට වැඩි බලයක් ලැබේවි. යූඇන්පීයට හෝ ශ‍්‍රීලනිපයට වැඩි බලයක් නෙවෙයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එන බව කියනවා විශ්වාසභංග යෝජනාවේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද?
තාම විශ්වාසභංගයක් නෑ. ඒවිද දන්නෙත් නෑ. මේවා දේශපාලන කතා. ඉතින් ඒක එද්දී මධ්‍යම කාරක සභාව විදියට අපි යමක් කරනවා.