පළාත් පාලන ඡන්දය

ලංකා දේශපාලනයේ මේ මොහොතේ සිදුවන සියලූ දේවල් භ‍්‍රමණයවෙමින් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය නමැති අක්ෂය වටාය. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවලදී ජය ලැබෙන්නේ පාලක පක්ෂයට මිස විපක්ෂයට නොවේ. එහෙත් ලංකාවේ පළාත් පාලන මැතිවරණවලට අදාළ එම ධර්මතාව මෙම මැතිවරණයේදී වෙනස් විය හැකිය. නැතිනම් එය විරුද්ධ පක්ෂයේ හා පාලන පක්ෂයේ එක් කණ්ඩායමක් අතර කෙරෙන ළඟ ළඟ තරගයක් බවටද පත්විය හැකිය. ආණ්ඩු පක්ෂය මෙම තරගයට ඉදිරිපත්ව සිටින්නේද තනි කණ්ඩායමක් ලෙස නොව පරස්පර කණ්ඩායම් දෙකක් ලෙසය.

පළාත් පාලන මැතිවරණය
ආණ්ඩුව විවිධ හේතුවලට මුවාවී අවුරුදු තුනකට ආසන්න කාලයක් පළාත් පාලන ඡුන්ද පැවැත්වීම කල්දමාගෙන සිටියේය. අවසානයේදී එම ඡුන්දය කරළියට ගෙනාවේද පරණ ඡුන්ද ක‍්‍රමය වෙනස් කරමින් අලූත් ඡුන්ද ක‍්‍රමයක් ඇති කරමිනි. ආණ්ඩුව ඒ හොඳ දේ කළේද හොඳම විධියකට නොව, නරකම විධියකටය. එනම් තේරී පත්වන නියෝජිත සංඛ්‍යාව දෙගුණයක් තරම් විශාල වී රජය හා මහජනයා මත අතිවිශාල වැය බරක් පැටවෙන ආකාරයටය.
පළාත් පාලන ආයතනවල පාලනය විසුරුවා හැර ඡුන්ද නොපවත්වා පැවති කාලය තුළ මහජන නියෝජිතයන් නොසිටියද, මහජන නියෝජිතයන් නැතිකම පළාත් පාලන ආයතනවල පාලනය අවුල් කිරීමට හේතුවූයේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් සඳහා මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වය සහතික කළ යුතුව තිබෙන්නේ නියෝජිත සංඛ්‍යාව අවශ්‍යම මට්ටමක තැබෙන ආකාරයට මිස රටට ඉසිලිය නොහැකි බරක් වන ලෙස මහජන නියෝජිතයන් සංඛ්‍යාව උපරිම කෙරෙන ආකාරයට නොවේ. එහෙත් ඡුන්ද ක‍්‍රමය වෙනස් කර තිබෙන්නේ මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාවේ ලොකු වර්ධනයක් ඇති නොවන ආකාරයට එසේ කරන්නට පුළුවන්කම තිබියදී මහජන නියෝජිතයන් සංඛ්‍යාව දෙගුණයක් වන ආකාරයටය. ඒ නිසා මහජන නියෝජිතයන්ගේ දීමනා බිල දෙගුණ වනු ඇති අතර දැනට පාවිච්චි කෙරෙන රැුස්වීම් ශාලාවල ඉඩමදිකම නිසා ඒ වෙනුවෙන්ද විශාල අතිරේක වියදමක් දරන්නට සිදුවනු ඇත්තේය.
මෙම ආත්මාර්ථකාමී නීති සම්පාදනයේදී ලංකාවේ සියලූ දේශපාලන පක්ෂ වැඩ කළේ එකම අදහසක් වෙනුවෙන් එකට වැඩ කරන එක පොදියක් ලෙසටය. ඉතාමත් හාස්‍යජනක දේ වනුයේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් මනා එකඟතාවකින් යුතුව වැඩ කළ එම දේශපාලන පක්ෂ පොදිය දැන් එකිනෙකාට එරෙහිව රටේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.
සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයක් දේශපාලන අර්ථයෙන් තීරණාත්මක මැතිවරණයක් ලෙස සැලකෙන්නේ නැත. එහෙත් මෙම පළාත් පාලන මැතිවරණය සියලූ දේශපාලන පක්ෂවලට දේශපාලන අර්ථයෙන් තීරණාත්මකය. ආණ්ඩුවේ ජනාධිපති පිල හා එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ එක දේශපාලන කණ්ඩායමක් ලෙස නොව, ප‍්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් දෙකක් ලෙසය. ඒ නිසා එවැනි මැතිවරණයක් වාසිදායක වන්නේ ආණ්ඩු පක්ෂයට නොව විරුද්ධ පක්ෂයටය. අගමැති රනිල් වික‍්‍රමසිංහ සූදානම් වූයේද තුන්කොන් තරගයකටය. දෙකට බෙදුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග තරන තරගයකින් ජය ලැබීම ඔහුගේ අභිප‍්‍රාය විය. ඒ නිසා ආණ්ඩුවට සිදුවන හානිය ඔහු සැලකිල්ලට ගත්තේ නැත. ඒ අර්ථයෙන් ජනාධිපති පමණක් නොව අගමැතිද කල්පනා කරන විදියේ ලොකු කට්ටිවාදයක් තිබුණු බව කිව හැකිය.

දේශපාලන පෙළ ගැස්ම
මෙම තරගයේ ලොකුම අවදානම තිබෙන්නේ ජනාධිපතිවරයාටය. ජනාධිපතිගේ කණ්ඩායම පරාජය වුවහොත් ඔහු එක් අතකට එජාපය විසින්ද, තවත් අතකට මහින්ද රාජපක්ෂ විසින්ද වටලනු ලැබූ ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත්වේ. ජනාධිපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ බහුතර සහායක් නැතිව පැවතිය නොහැකිය. ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග එම අභියෝගය ජයගන්නේ අවුරුද්දක් ඉවසාගෙන සිට තමන්ට බහුතර බලයක් නැති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි. ඒ අවස්ථාවේදී අගවිනිසුරු සරත් නන්ද සිල්වාද ඇයට පක්ෂග‍්‍රාහී තත්ත්වයක ඉඳීම නිසා ඇය පනවන නියෝගයකට එරෙහිව අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමේ හැකියාවක්ද විරුද්ධ පක්ෂයට නොතිබුණි. එම අර්බුදයේදී දකින්නට තිබුණු තවත් වැදගත් ලක්ෂණයක් වූයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ විය හැකි දේ කල්තියා දකින්නට අසමත්වීමය. අගමැතිවරයා ආරම්භ කර තිබුණු සාම සාකච්ඡුා වැඩසටහනට ජාත්‍යන්තරයෙන් ලැබී තිබුණු අතිවිශාල සහාය නිසා ඔහුගේ පාර්ලිමේන්තුවට අවුරුද්දක් සම්පූර්ණවීමෙන් පසු ජනාධිපතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇතැයි ඔහු විශ්වාස කළේ නැත. අගමැතිවරයාට බලයට පත්වූ වහාම අධිකරණය පිරිසිදු කිරීමේ හැකියාවක් තිබුණද අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ගියා මිස, ඔහු අධිකරණය පිරිසිදු කරන තැනකට ගියේ නැත. අගවිනිසුරුවරයා ධුරයෙන් ඉවත් කිරීමේ වැදගත්කම තේරුම් ගත්තේ පස්සා දොරෙන් අගවිනිසුරුවරයා සමග කරන්නට ගිය ගනුදෙනුව අසාර්ථකවීමෙන් පසුවය. ඒ සමග අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවද පාර්ලිමේන්තුවේ සභා වාරය කල් දැමීම මගින් ජනාධිපතිනිය එම දෝෂාභියෝග වෑයම ව්‍යර්ථ කළේය.
එහෙත් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග එදා අගමැති රනිල් වික‍්‍රමසිංට එරෙහිව පාවිච්චි කරන ලද වසරක් සම්පූර්ණවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තුරුම්පුව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව පාවිච්චි කළ නොහැකිය. 19 වැනි සංශෝධනය ජනාධිපතිවරයාට තිබුණු ඒ බලය අහිමි කර තිබේ. 19 වැනි සංශෝධනයේ වියමන හොඳින් පරීක්ෂා කරන විට මෙම නීති සම්පාදනයට ගාම්භීර පෙනුමක් ලබාදීම සඳහා විවිධ දේ ඇතුළත් කර තිබුණද එය අගමැතිවරයාගේ ආරක්ෂාව ප‍්‍රමුඛ වැදගත් සාධකයක් ලෙස සලකා සකස් කර තිබෙන නීති සම්පාදනයක් බව තේරුම් ගැනීම අමාරු නැත.
දැන් ජනාධිපතිවරයාට එජාපයට බහුතර බලයක් තිබෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකිය. අගමැතිවරයා අගමැති ධුරයෙන්ද ඉවත් කළ නොහැකිය. අගමැතිවරයාගේ එකඟත්වය නැතිව ඇමති මණ්ඩලය හෝ ඇමති මණ්ඩලයේ සාමාජිකයන්ද වෙනස් කළ නොහැකිය. අගමැතිවරයාගේ එකඟතාව නැතිව ජනාධිපතිවරයාට තමන් කැමති කෙනෙකු ඇමති ධුරයකට වුවද පත් කළ නොහැකිය. ඒ අර්ථයෙන් නම් අගමැතිගේ තත්ත්වය ඉතාමත් සුරක්ෂිතය. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ තටු කපා තිබෙනවා පමණක් නොව, කකුල් දෙකද යම් තරමකට එකට ගැට ගසා තිබෙන බවද පෙනේ.

ජනාධිපතිවරයාගේ තත්ත්වය
මෙම පළාත් පාලන මැතිවරණයෙන් ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම පරාජයට පත්වුවහොත් මීට ඉහත සඳහන් කරන ලද පරිදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බහුතර බලයක් නැති එක් පැත්තකින් එජාපය විසින්ද, තවත් පැත්තකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්ද කොටු කරනු ලැබූ ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත්වේ. ඒ සමග ජනාධිපතිවරයා පත්වනු ඇත්තේ එක නයෙකුට නොව නයි දෙන්නෙකුට ගසා පොල්ල වරද්දා ගත් පුද්ගලයෙකුගේ තත්ත්වයටය. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව පරාජය කළේය. ඒ සමග හිටපු ජනාධිපතිවරයාට පහරදී ඔහුට තුවාල කළේය. එහෙත් ජනාධිපතිවරයාට දේශපාලන අර්ථයෙන් හිටපු ජනාධිපතිවරයා මුළුමනින් විනාශ කිරීමට හැකිවූයේ නැත. ඒ සමග ජනාධිපතිවරයා අගමැති රනිල් වික‍්‍රමසිංහටද පහර දුන්නේය. ඔහුටද තුවාල කළේය. එහෙත් දේශපාලන අර්ථයෙන් අගමැතිවරයාද මුළුමනින් විනාශ කිරීමට හැකිවූයේ නැත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්නේ ජනාධිපතිවරයා සමග ඇති කරගත් කෝපයකින් යුතුවය. රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා කෙරෙහි ඇති කෝපය ප‍්‍රදර්ශනය කරන තැනකට පැමිණ නැතත්, බැඳුම්කර ප‍්‍රශ්නය නිසා ඔහු ඉන්නවා ඇත්තේද ජනාධිපතිවරයා කෙරෙහි ඇති කරගත් කෝපයකින් යුතුවය. පළිගැනීමට අවස්ථාවක් ලැබෙතොත් මේ දෙදෙනා තනි තනිව හෝ එකට එක්වී පළිගනු ඇත.
ජනාධිපතිවරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ අනුගාමිකයෙකු ලෙස ක‍්‍රියාකර ඇතත් මා ඕ සේතුංගේ ප‍්‍රතිවිරෝධතා න්‍යායය හොඳින් හදාරා තිබෙන බවක් පෙනෙන්නට නැත. ප‍්‍රතිවිරෝධතා අතර තිබෙන ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය හඳුනාගෙන පළමු කොට එය පරාජය කිරීමේ වැදගත්කම මා ඕ සේතුං පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා මා ඕ සේතුංගේ එම ප‍්‍රතිපත්තියෙන් බැහැරවීම නිසා දුෂ්කර තත්ත්වයකට පත්ව සිටින බව පැහැදිලිව දැකිය හැකිය.
ජනාධිපතිවරයා නායකත්වය දෙන කණ්ඩායම මෙම පළාත් පාලන මැතිවරණයෙන් පරාජය වුවහොත් එහිදී ජයග‍්‍රාහීවන්නේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම නම් ජනාධිපතිවරයා සමග සිටින මන්ත‍්‍රීවරුන් කිසියම් පිරිසක් නැවත මහින්ද රාජපක්ෂ වෙත එකතුවනු නොවැළැක්විය හැකිය. තරගයෙන් ජයග‍්‍රාහීවන්නේ එජාපය නම් ජනාධිපතිවරයා සමග සිටින මන්ත‍්‍රීවරුන් කිසියම් පිරිසක් එජාපයට එකතු වනු නොවැළැක්විය හැකිය. ඒ තත්ත්වයන් දෙකේදීම ජනාධිපතිවරයාගේ තත්ත්වය ඉතා දුර්වල වනු නොවැළැක්විය හැකිය. ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කොට ඔහු තනතුරෙන් පවා පහකරන තත්ත්වයක් ඇතිවිය හැකිය.

මහින්ද හා රනිල්
ප‍්‍රධාන තරගය තිබෙන බව පෙනෙන්නේ මහින්දගේ දේශපාලන ව්‍යාපාරය හා රනිල්ගේ එජාපය අතරය. මහින්ද පරාජය වූයේ ළඟ ළඟ තරගයකිනි. මහින්දගේ ව්‍යාපාරය විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් වන නිසාත්, පරාජයෙන් පසු මහින්ද සිය පාක්ෂික ජනයා උද්යෝගිමත් තැනක තබා ගැනීමට සමත්වීම නිසාත් එජාපයට නැති සටන්කාමීත්වයක් හා උද්යෝගයක් මහින්දගේ ව්‍යාපාරයට තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. එම ව්‍යාපාරයට ආවේණික ලොකුම දුර්වලතාව ලෙස සැලකිය හැක්කේ එය බොහෝ දුරට සිංහලයන්ට පමණක් සීමාවූ ව්‍යාපාරයක්ව තිබීමය. එය ජනාධිපතිවරණයේ ලැබූ පරාජය කෙරෙහි බලපෑ තීරණාත්මක සාධකයක්ද විය. සුළු ජාතීන්ගේ දුක්ගැනවිලි විසඳීමට යහපාලන ආණ්ඩුව හෝ එහි ප‍්‍රධානම කොටස්කරුවා වී සිටින එජාපය සමත් වී නැතත්, එම සුළු ජාතීන් අතර මහින්ද රාජපක්ෂ හා ඔහුගේ දේශපාලන ව්‍යාපාරය කෙරෙහි පවත්නා සැකසංකා දුරලීමට මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ ව්‍යාපාරය සමත් වී නැත. එම නිසා එම සුළු ජාතීන් එම ව්‍යාපාරයට ඡුන්දය දෙනු ඇතැයි සිතිය නොහැකිය. මහින්ද රාජපක්ෂට මේ මොහොතේදී පැහැදිලි ජයග‍්‍රණයක් ලැබීම වළකන ප‍්‍රධාන සාධකය ලෙස ක‍්‍රියාකරනු ඇත්තේද ඔවුන්ය.
එක්සත් ජාතික පක්ෂයට හිතවත් ජනයා අතර තමන්ගේ පක්ෂය පිළිබඳව ලොකු කලකිරීමක් ඇතත්, ඔවුන් ජනාධිපතිවරයාගේ දේශපාලන කණ්ඩායමට හෝ මහින්ද රාජපක්ෂගේ දේශපාලන කණ්ඩායමට ඡන්දය දෙනු ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට මහින්ද රාජපක්ෂගේ කණ්ඩායමට සේ ම ජනාධිපතිවරයාගේ කණ්ඩායමට බෙදී යනු ඇත්තේ ශ‍්‍රීලනිපයට හිතවත් ජනයාගේ ඡුන්දයය. එහිදී ශ‍්‍රීලනිපයේ ඡුන්ද කණ්ඩායම් දෙකක් අතර බෙදීයෑමේ වාසිය ලැබෙනු ඇත්තේ එජාපයටය.
එජාප තිබෙන්නේද ශක්තිමත් තත්ත්වයක නොව දුර්වල තත්ත්වයකය. සීමාසහිතකම් තිබියදීත් රනිල් දූෂිතයෙකු නොවේය කියන විශ්වාසය එජා පාක්ෂිකයන් අතර පමණක් නොව ඉන් පිටස්තර ජනයා අතරද ගොඩනැගී තිබුණි. එහෙත් බැඳුම්කර වංචාව ඔහුට තිබූ මිස්ටර් ක්ලීන් ප‍්‍රතිරූපය සුනු විසුණු කිරීමට හේතුවී තිබේ. එය වඩාත්ම බලපා තිබෙන්නේ එජාප ජනයා කෙරෙහිය. ඔවුන්ගේ ප‍්‍රමාණය කොතරම් දැයි පැහැදිලි නැතත් ඒ ගැන ඔවුන් තුළ බලවත් කම්පනයක් ඇතිවී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙම තරගයෙන් පැහැදිලි ජයග‍්‍රහණයක් අත්පත් කර ගැනීමට අසමත් වෙතොත් රනිල්ගේ තැන ගැනීමට සුදුසු විකල්ප නායකයෙකු ඇති නොවී තිබියදීත් රනිල්ගේ නායකත්වය එම පක්ෂය තුළ ලොකු අර්බුදයකට යනු නොවැළැක්විය හැකිය.

ජනතා විමුක්ති පෙරමුණ
ඓතිහාසික අර්ථයෙන් ලංකාවේ ප‍්‍රධාන දේශපාලන ව්‍යාපාර තුනම හා එහි ප‍්‍රධාන නායකයන් තිදෙනාම සිටින්නේ ශක්තිමත් තත්ත්වයක නොව දුර්වල තත්ත්වයකය. නැතහොත් ජරාජීර්ණ වූ හා අභාවයට යන තැනකය. ඒ කිසිම ව්‍යාපාරයකට විකල්ප නායකයන්ද සිටින බවක් පෙනෙන්නට නැත. මෙම ප‍්‍රධාන ව්‍යාපාර තුනට අතිරේකව ජවි පෙරමුණ, හෙළ උරුමය හා දෙමළ, මුස්ලිම් පක්ෂ තිබෙන්නේද ශක්තිමත් තැනක නොව දුර්වල තත්ත්වයකය.
සන්නද්ධ අරගල මාවතේ ගිය ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි කැරැුල්ල පරාජයවීමෙන් පසුව ඉතාමත් කෙටි කාලයක් තුළ ඉතාමත් දක්ෂ ලෙස පාර්ලිමේන්තු මාවතට මාරුවීමට සමත් වූ ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි වුවත් එය අල්ලාගෙන සිටීමට මිස බලවත් ලෙස නොකඩවා වර්ධනය වෙන ව්‍යාපාරයක් බවට පත්වීමට සමත් වී නැත. ඒ තත්ත්වය කෙරෙහි එම ව්‍යාපාරයේ යල්පැනගිය දේශපාලන දෘෂ්ටිය සේ ම දේශපාලන භාවිතයේදී පෙන්නුම් කර තිබෙන ප‍්‍රතිපත්ති විරහිතභාවයද ඒ කෙරෙහි බලපා තිබෙන බව පෙනේ.
මන්ත‍්‍රීවරුන්ට වරදාන ලබාදෙන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දූෂිත ප‍්‍රතිපත්තියේදී ඒවාට අනුගත නොවී සිටීමේ ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමට එම පක්ෂය අපොහොසත් වී තිබෙන්නේ යැයි කිව හැකිය. මහින්ද රාජපක්ෂ තමන්ට ආධාර කළ සියලූ ව්‍යාපාරවලට මහජන සම්පතක් ලෙස සැලකිය හැකි විකාශන බලපත‍්‍ර ලබා දුන්නේය. හෙළ උරුමය වැනි අනෙක් දේශපාලන ව්‍යාපාර සේ ම ජනතා විමුක්ති පෙරමුණද තමන්ට දෙන ලද එම තෑග්ග භාර ගත්තේය. එය මහජන මුදලින් නීතියට පටහැනිව දෙන තෑග්ගක් බව තේරුම් ගැනීමට ඔවුහු අසමත් වූහ. යහපාලන ආණ්ඩුවද දෙමළ සන්ධානයට නීතියට හා පිළිගත් සම්ප‍්‍රදායන්ට පටහැනිව විරුද්ධ පක්ෂ නායකත්වය දෙන විට ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ පක්ෂ සංවිධායක ධුරය ලබා දුන්නේය. දෙමළ සන්ධානය එසේ දෙන ලද තෑග්ග අවිවේචනාත්මකව භාර ගන්නා සේ ජනතා විමුක්ති පෙරමුණද තමන්ට ලැබුණු එම තෑග්ග අවිවේචනාත්මකව භාර ගත්තේය.
ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම සඳහා වන නීති සම්පාදනයේදීද තේරී පත්වන නියෝජිත සංඛ්‍යාව දෙගුණ කරගැනීමේ කෑදර වැඩසටහනේ වැදගත් කොටස්කරුවකු ලෙස ක‍්‍රියා කළේය. විකාශන බලපත‍්‍රය පිළිබඳ ප‍්‍රශ්නයේදී ඉන් ලැබිය හැකි භෞතික වාසිය සැලකිල්ලට ගත්තා මිස එය තමන් වැනි ව්‍යාපාරයක් භාරගත යුතු නැති දෙයක් බව තේරුම් ගැනීමට අසමත් විය. විරුද්ධ පක්ෂය සංවිධායක ධුරය පිළිබඳ ප‍්‍රශ්නයේදී එම තනතුරෙන් ලැබෙන වාසි සැලකිල්ලට ගත්තා මිස එය තමන්ට අයිති දෙයක් නොවන බව තේරුම් ගැනීමට අසමත් විය. ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම පිළිබඳ ප‍්‍රශ්නයේදීද තේරී පත්වන සභික සංඛ්‍යාව දෙගුණ කිරීමෙන් තමන්ට ලබාගත හැකි වාසි සැලකිල්ලට ගත්තා මිස ඉන් රටට දරන්නට සිදුවන අතිවිශාල බර සැලකිල්ලට ගැනීමට අසමත් විය. යහපාලන ආණ්ඩුව විසින් ක‍්‍රියාවට නගන ලද මන්ත‍්‍රීවරුන්ට මහා පරිමාණයෙන් කප්පම් ගෙවන ප‍්‍රතිපත්තියේදීද ඉන් තමන්ට ලැබෙන වාසි සැලකිල්ලට ගත්තා මිස ඒ නිසා රටට දරන්නට සිදුවන අතිවිශාල බර හා එම ප‍්‍රතිපත්තියේ ඇති දූෂිත ස්වරූපය තේරුම් ගැනීමට අසමත් විය.
මෙහි විස්තර කර තිබෙන ඒ හැම අවස්ථාවක්මත් ජවිපෙට ලොකු මහජන ප‍්‍රසාදයක් ඇතිකර ගැනීමට ලැබුණු, එහෙත් තමන්ට ලැබෙන පටු වාසි සලකා අත්හරින ලද අනර්ඝ අවස්ථා ලෙස සැලකිය හැකිය. මහින්ද රාජපක්ෂ විකාශන බලපත‍්‍ර ලබා දුන් අවස්ථාවේදී එය ලබා නොගන්නා ප‍්‍රතිපත්තියක සිටිමින් අපි ඔබට උදව් කළේ ප‍්‍රතිපත්තිමය හේතු මත මිස කප්පම් ලබාගැනීමේ අරමුණින් නොවන බව ප‍්‍රකාශ කරන අතර මහජන දේපළක් ලෙස සැලකිය හැකි විකාශන සංඛ්‍යාත මේ ආකාරයෙන් තෑගි දෙන ප‍්‍රතිපත්තියක් දූෂිත ප‍්‍රතිපත්තියක් නොවන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කරන තැනකට ගියේ නම් එය ජවිපෙ කෙරෙහි ලොකු මහජන ප‍්‍රසාදයක් ඇති කරන සාධකයක් ලෙස ක‍්‍රියා කරනවාට අතිරේකව විකාශන සංඛ්‍යාත දේශපාලන හෙංචයියන්ට තෑගි දෙන දූෂිත ක‍්‍රමයද විශාල අර්බුදයකට යන තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තිබුණි.
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සංවිධායක ධුරය ප‍්‍රදානය කළ අවස්ථාවේදීද විරුද්ධ පක්ෂයේ නායකත්වය සේ ම සංවිධායක ධුරයද ලැබිය යුත්තේ දෙමළ සන්ධානයට හෝ තම පක්ෂයට නොව දරන දේශපාලන අදහස් කුමක් වුවද මහින්ද රාජපක්ෂ කණ්ඩායමට බව ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය තියුණු බව හා අවංකකම ජවිපෙට තිබුණේ නම්, එම ක‍්‍රියාව ජවිපෙට විශාල මහජන ප‍්‍රසාදයක් හිමිකර දෙන ක‍්‍රියාවක් වන්නට ඉඩ තිබුණා සේ ම පාර්ලිමේන්තු ක‍්‍රමයේ දැන් ඇතිවී තිබෙන විකෘතිය අහෝසි කිරීමටද හේතුවන්නට ඉඩ තිබුණි.
ඡුන්ද ක‍්‍රමය වෙනස් කරන නීති සම්පාදනයේදීද තේරී පත්වන සභික සංඛ්‍යාවේ ලොකු වැඩි කිරීමක් ඇති නොකොට ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් තිබියදී තේරී පත්වන සභිකයන් දෙගුණ කරන ප‍්‍රතිපත්තියක් නිසා රටට දරන්නට සිදුවන වැය බර සැලකිල්ලට ගනිමින් එයට බලවත් ලෙස විරෝධය පළ කරන තැනකට ගියේ නම් එය ජවිපෙ කෙරෙහි බලවත් මහජන ප‍්‍රසාදයක් ඇති කරන සාධකයක් වන්නට ඉඩ තිබුණා සේ ම ඒ මගින් සිදුකර තිබෙන මහා විකෘතිය නිවැරදි කරගන්නටද හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් එහිදී ජවිපෙ වැදගත් කොට සැලකුවේ ඒ මගින් තම පක්ෂයට අත්පත් කරගත හැකි ප‍්‍රතිලාභ ගැන පමණය. රටට දරන්නට සිදුවන අතිවිශාල වැය බර හෝ ඒ මගින් පළාත් පාලන ක‍්‍රමයේ ඇතිවන මහා විකෘතිය සැලකිල්ලට නොගත්තේය. පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම හා සම්ප‍්‍රදායන්ට පටහැනිව මන්ත‍්‍රීවරුන්ට වරදාන ලබාදෙන ප‍්‍රතිපත්තියේදීද ඉන් තමන්ට ලැබෙන වාසි නොසලකා රටට දරන්නට සිදුවන ආර්ථික බර හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ ඇතිවන විකෘතිය සැලකිල්ලට ගනිමින් ඒවාට බලවත් ලෙස විරෝධය පළකරන තැනකට ගියේ නම් එය එම පක්ෂය කෙරෙහි බලවත් මහජන ප‍්‍රසාදයක් ඇති කිරීමට හේතුවන්නට ඉඩ තිබුණා සේ ම මහජන මන්ත‍්‍රීවරුන්ට කප්පම් ගෙවන ක‍්‍රමයේද ලොකු වෙනස්කම් ඇති කිරීමට හේතුවන ක‍්‍රියාවක් බවටද පත්වන්නට ඉඩ තිබුණි. ජවිපෙ විසින් අත්හරින ලද ඒ හැම අවස්ථාවක්ම ජවිපෙට විශාල වර්ධනයක් ඇතිකර ගැනීමට ලැබුණු අනර්ඝ අවස්ථා ලෙස සැලකිය හැකිය. ඒ අවස්ථා නිසි ලෙස ප‍්‍රයෝජනටය ගැනීමට අවශ්‍ය කරන දේශපාලන විචක්ෂණ බව හෝ අවංකකම ජවිපෙට නොතිබුණේය. ඒ ලැබුණු දුලබ අවස්ථා නිසි ලෙස ප‍්‍රයෝජනයට ගත්තේ නම් තමන් කරපින්නාගෙන සිටින පටු දෘෂ්ටිය ප‍්‍රමාණවත් තරමින් වෙනස් කරගැනීමට සමත් වී නම් සියලූ දේශපාලන පක්ෂ අර්බුදයට යන මෙම ඓතිහාසික අවස්ථාවේදී ජවිපෙට රටේ ප‍්‍රධාන දේශපාලන බලවේගය බවට පත්වන්නට පවා ඉඩ තිබුණේය. දැන් ඒ වැරදි නිවැරදි කරගත නොහැකිය. ඒ නිසා සිදුවී තිබෙන්නේ එම ව්‍යාපාරයටද රටේ අනෙකුත් සියලූ දේශපාලන පක්ෂ සමග ඓතිහාසික අර්ථයෙන් විනාශයට යන තත්ත්වයකට පත්වීමය.

රිදී රේඛා
දේශපාලන අහස්තලය කළු වලාවන්ගෙන් වැසී ඇතත්, එම කළු වලාවන් තුළ සැඟවුණු රිදී රේඛාද පවතී. තවදුරටත් සාම්ප‍්‍රදායික ගමනේ යන්නට කැමති නැති උඩුගම් බලා පීනන්නට උනන්දුවක් දක්වන ප‍්‍රවණතාවක්ද අවිධිමත් ලෙස හෝ ගොඩනැගෙමින් තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ඔවුන් හිතන්නේ මේ ඡුන්දය සියලූ දේශපාලන පක්ෂවලට විරෝධය පළ කරන ඡන්දයක් බවට පත් කරගත යුතු බවය. ඒ සඳහා ඡුන්දපොළට ගොස් ඡුන්දය කටුගෑ යුතු බවය. අප‍්‍රසාදය හෝ විරෝධය පළකිරීම සඳහා ඡුන්දය කටුගෑමද ඡුන්දය ප‍්‍රකාශ කළ හැකි තවත් ක‍්‍රමයකි. එක මධ්‍යස්ථානයකින් මෙහෙයවීමක් සිදු නොවූවත් ඡුන්දය කටු ගා විරෝධය පළ කළ යුතුයි කියන අදහසේ ඉඳිමින් ඒ අදහස සිය හිතමිතුරන්ට හා මහජනයා අතරට ගෙන යන්නට උත්සාහ කරන පුද්ගලයන් හා කණ්ඩායම් රටේ හැම තැනකම පාහේ සිටින බව පෙනෙන්නට තිබේ. ඒ සඳහා කෙරෙන වාද විවාදද අසන්නට ලැබේ. ඔවුන්ගේ තරම පැහැදිලි නැතත් එය තවදුරටත් වර්ධනය විය හැකි ප‍්‍රවණතාවකි.
මැතිවරණය පැවැත්වෙන දිනය දක්වා කාලය තුළ බොහෝ අවලස්සන දේවල් සිදුවිය හැකිය. ඒවා ඉහත කී ප‍්‍රවණතාවයේ ලොකු වර්ධනයක් ඇති කිරීමටද හේතුවිය හැකිය. ඡුන්දය පාවිච්චි නොකර කටුගෑ යුතුයැයි කල්පනා කරන අය කෙරෙහි තේරී පත්වන නියෝජිත සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කෙරෙන ආකාරයට සිදුකර තිබෙන නීති සම්පාදනය බලවත් විරෝධයට හේතුවී තිබෙන බව පෙනේ. එයට මේ අවස්ථාවේදී බලවත් ලෙස විරෝධය පළ නොකළහොත් පාර්ලිමේන්තු හා පළාත් සභා ඡුන්ද ක‍්‍රමයන්ද වෙනස් කිරීමට නියමිතව තිබෙන බැවින් ඒවාට පත්වන නියෝජිත සංඛ්‍යාව දෙගුණ කරගනු ඇතැයි කියන සැකය ඔවුන් අතර පවතී. ඔවුන් කල්පනා කරන ආකාරය නිවැරදිය. පළාත් පාලන ඡුන්ද ක‍්‍රමය තේරී පත්වන නියෝජිත සංඛ්‍යාවේ මේ සා විශාල ප‍්‍රමාණයකින් වැඩි නොවන ලෙස වෙනස් කරගත හැකිව තිබුණි. පළාත් පාලන ආයතන ක‍්‍රමය පවත්වාගෙන යෑමට මේ සා විශාල නියෝජිත සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ නැත. ඇති කර තිබෙන මේ ක‍්‍රමය නියෝජිතයන්ට ගෙවන දීමනාව පමණක් දෙගුණ කිරීමට හේතුවී තිබේ. ඊට අතිරේකව රැුස්වීම් ශාලාවල ඇතිවන ඉඩ මදිකම නිසා අලූත් රැුස්වීම් ශාලා හදන්නට හෝ කුලියට ගන්නටද අවශ්‍ය අතිරේක දේවල් මිලදී ගන්නටද විශාල වැය බරක් දරන්නට සිදුවේ. රට ආර්ථික වශයෙන් තිබෙන්නේ හොඳ තත්ත්වයක නොව නරකම තත්ත්වයකය. දැනටත් දේශපාලනතන්ත‍්‍රය නඩත්තු කිරීමට දරන වැය බර රටට ඔරොත්තු නොදෙන තරම් විශාල වැය බරක් බවට පත්වී තිබේ. එසේ තිබියදීත් පළාත් පාලන ආයතනවලට තේරී පත්වන නියෝජිත සංඛ්‍යාව දෙගුණ කිරීමෙන් නොනැවතී පාර්ලිමේන්තුවට හා පළාත් සභාවලට තේරී පත්වන නියෝජිතයන් සංඛ්‍යාව දෙගුණ කරන පිළිවෙතකට ගියහොත් එය රටට කොහොමටත් ඔරොත්තු නොදෙන වැය බරක් බවට පත්වනු නොවැළැක්විය හැකිය. එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකිය හැකිවනු ඇත්තේ එම වැඩසටහනට මහජනයා බලවත් ලෙස විරෝධය පළකරන්නේ නම් පමණය. නියෝජිත සංඛ්‍යාව දෙගුණ කරන වැඩසටහනට සියලූ දේශපාලන පක්ෂ කැමති නිසා එය දේශපාලන පක්ෂවල විරෝධයට හේතුවන දෙයක් වන්නේ නැත. ඒ නිසා විරෝධය පළ කළ යුතුව තිබෙන්නේ මහජනයා විසිනි. එළැඹෙන පළාත් පාලන ඡුන්දය එම විරෝධය පළ කිරීම සඳහා යොදාගත හැකි හොඳ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
ඡුන්දය කටුගා විරෝධය පළකරන්නන්ගේ සංඛ්‍යාව විශාල වුවහොත් එය සාම්ප‍්‍රදායික දේශපාලනයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන වැදගත් ආරම්භයක් ලෙස ක‍්‍රියා කළ හැක.