රාවය

පළාත් පාලන ඡන්දයේ වෙන්නේ කුමක් ද?

පළාත් පාලන ඡන්දයේ වෙන්නේ කුමක් ද?

අජිත් පැරකුම් ජයසිංහ

පළාත් පාලන ඡන්ද උණුසුම ඉහළයමින් තිබේ. පෙබරවාරියේ සිට ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු වනු ඇත. එහෙත්, ඒ වනාහි හුදෙක් අලූත් පළාත් පාලන පද්ධතියක් බිහිවීම හා ඒ සඳහා සභිකයන් තේරී පත්වීම නිසා නොවේ. එයට හේතුව, කාන්තා නියෝජනයයි.

ශ‍්‍රී ලංකා ඉතිහාසයෙහි කිසිදු කලෙක පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 6.5% ඉක්මවා නැත. වර්තමානයේ එය 225න් 12ක් හෙවත් 5.3%ක් වේ. පළාත් සභාවල කාන්තා නියෝජනය 4%ට අඩු ය. පළාත් සභා නවයේම ඇමතිවරුන් අතර සිටින්නේ එක් කාන්තාවක් පමණි. එක් නියෝජ්‍ය සභාපතිනියක් හා එක් ආණ්ඩුකාරවරියක් පළාත් සභාවල සිටියි. කලින් තිබුණු පළාත් පාලන ආයතන ව්‍යුහය තුළ කාන්තා නියෝජනය 2%කට අඩු විය.

එහෙත්, හිටිවනම කාන්තා මහජන නියෝජිතවරියන් 200ක් පමණ දේශපාලනයට ප‍්‍රවිෂ්ට වීම විසින් දේශපාලන යටිතලයේ සැලකිය යුතු වෙනසක් සිදු කරනු ඇත. කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය බලවත් පිරිමින්ගේ රූකඩ නැටවීමක් බවට පත්කර ගැනීමේ උත්සාහයන් ඒ පිටුපස ඇති බව ඇත්තකි. එහෙත්, එය වළක්වා, මෙම නව තත්ත්වය රටේ ගැඹුරු සමාජ වෙනසක් වෙනුවෙන් ආයෝජනය කිරීම කාන්තා සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, පුරවැසි සංවිධාන ආදියෙහි වගකීමයි. අපේක්ෂකයන් 56,000කට වඩා තරග කරන මෙම මැතිවරණය වෙනුවෙන් වැය කරනු ලබන රු. මිලියන 3500ක් පමණ වන මුදල හා තේරී පත්වනු ලබන අපේක්ෂකයන් 8300කට අධික පිරිස නඩත්තු කිරීම සඳහා මසකට වැය වන රු. මිලියන 178කට අධික මුදල වෙනුවෙන් මහජනයාට සාධාරණයක් ඉටු කිරීමේ බරපතළ වගකීමක් අලූතෙන් පත්වන මන්ත‍්‍රීන්ට තිබේ.

එහෙත්, අවාසනාවකට මෙන් මෙම මැතිවරණ ව්‍යාපාරය නිරීක්ෂණය කරන විට ඇත්තෙන් ම පළාත් පාලනයට වඩාත් සුදුසු බිම් මට්ටමේ නායකයන් මැතිවරණයට ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ සමත් වී නැති බව නිරීක්ෂණය කළ හැකි ය. මෙම මැතිවරණ ක‍්‍රමය තුළ පක්ෂ දේශපාලනයෙහි වැදගත්කම වඩාත් ඉස්මතු වී තිබීම ද මෙම තත්ත්වයට හේතු වී තිබේ. එක්සත් ජාතික පක්ෂය හා පොදු ජන පෙරමුණ බොහෝ දුරට සංවිධායකයින්ගේ අතවැසි පිරිස්වලට මුල් තැන දී තිබේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තරමක් දුරට ‘ඇහින්දාස්’ හෙවත් එවෙලේ සොයා ගත් පුද්ගලයන්ගෙන් සමන්විත වුවද, ඔවුන්ට හෝ වඩා හොඳ නායකයන් පළාත් පාලන මැතිවරණ තරගයට ආකර්ෂණය කරගැනීමට බැරි වී තිබේ. උදාහරණයක් ලෙස, වර්තමානයේදී ජවිපෙ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරණයේ යෙදෙන ඇතැම් බුද්ධිමත් කොටස් වෙත හෝ අපේක්ෂකත්වය ප‍්‍රදානය කිරීමට ජවිපෙ උත්සාහ කළ බවක් නො පෙනේ.

මෙම තත්ත්වයෙහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ පළාත් පාලනයේ විභවයන් සංවර්ධනය සඳහා උපයෝගී කරගන්නා ආකාරය පිළිබඳ ගැඹුරු සංවාදයක් මැතිවරණ ව්‍යාපාරය තුළ දක්නට නොලැබේ. ඒ වෙනුවට පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයද ජාතික දේශපාලනයේ බල අරගලවල හඬ පමණක් දෝංකාරයට නංවන හිස් තැනක් බවට පත් වී තිබේ. පළාත් පාලනය තුළින් තමන් කරන්නට යන දේ පිළිබඳ තවමත් කිසිදු දේශපාලන පක්ෂයක් පැහැදිලි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ඉදිරිපත් කර නැත. එක්සත් ජාතික පක්ෂය එවැන්නක් කෙටුම්පත් කරමින් සිටින බව වාර්තා විය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නිකුත් කළේ මෙම සතියේ ය. දෙමළ ජාතික සන්ධානය පොදු මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකට අමතරව පළාත් පාලන ආයතන මට්ටමෙන් වෙන් වෙන් වශයෙන් මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එළිදක්වන බව නිවේදනය කර තිබේ. මෙම සටහන තබන විට තැපැල් ඡුන්දය පැවැත්වෙමින් තිබේ. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන එළිදක්වන්නේ රජයේ සේවකයන්ගෙන් කොටසක් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව ද?

කිසිදු පක්ෂයකට තම පළාත් පාලන ප‍්‍රතිපත්ති ජනතාව අතර සංවාදයට භාජනය කිරීමේ උවමනාවක් තිබුණු බවක් දකින්නට නැත. අවසන් මොහොතේ ලහිලහියේ ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් නො තිබිණි. මෙම මැතිවරණය සෑහෙන තරම් කල් ගිය එකකි. පසුගිය කාලයේ මෙම දේශපාලන පක්ෂ බිම් මට්ටමේ කළ ගෙදර වැඩ මොනවා ද? පසුගිය කාලයක් මුළුල්ලේ ම බොහෝ දේශපාලන පක්ෂ දේශපාලනය කළේ මාධ්‍යවලින් හා උත්සවවලින් පමණි. පක්ෂ සංවිධාන හෝ බහුජන සංවිධාන නිසි පරිදි කැඳවනු ලැබුවේ නැත. ඔවුන්ට හරි හමන් අපේක්ෂකයින් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් කර ගැනීමට හෝ බැරි වී තිබෙන්නේ මෙම හේතුව නිසා නොවේද?

අපේක්ෂකයන්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාර ගත්තද ඒවායේ කිසිදු නිර්මාණාත්මක බවක් දක්නට නැත. කුඩා බල ප‍්‍රදේශයක, අඩු වියදමකින් නිර්මාණාත්මක ලෙස මැතිවරණ ප‍්‍රචාරණ ව්‍යාපාර සිදු කිරීමේ හැකියාව තිබියදී අපේක්ෂකයන් කරන්නේ කුමක්ද? මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ ආදියේදී අපේක්ෂකයන් කරන පරිද්දෙන් ඔවුන්ද කන්තෝරු දමාගෙන, කටවුට් හා කොඩි වැල් එල්ලාගෙන, පෝස්ටර් අලවාගෙන, ලොකු වාහන නැති අය ඩිමෝ බට්ටන්ගේ හෝ පිංතූර එල්ලාගෙන එහෙ මෙහෙ යනු දක්නට ලැබේ. බොහෝ අපේක්ෂකයන් ගෙන්ගෙට කැන්වසිං යාමට පවා මැලිකමක් දක්වති. බොහෝ දෙනෙකුට මිනිසුන්ට කියන්නට තමන් මෙතෙක් කළ පොදු වැඩක් පිළිබඳ විස්තරයක් පමණක් නොව අනාගතයේ කරන්නට සිටින දෙයක් පිළිබඳ අදහසක් හෝ නැත.

මෙම කනගාටුදායක තත්ත්වය රටෙහි පවත්නා නායකත්ව අර්බුදය කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම නිරූපණය කරන්නකි. මෙතරම් පමාවී පැවැත්වෙන මැතිවරණයක් වෙනුවෙන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් ජනතාව අතර සංවාදයට භාජනය කරන්නට දේශපාලන පක්ෂවල නායකත්වයට බැරි විය. පළාත් පාලන ආයතන මට්ටමට යන විට ආසන සංවිධායකවරුන් විසින් තම බල ප‍්‍රදේශයේ පළාත් පාලන ආයතන හරහා කරන්නට යන සංවර්ධනය පිළිබඳ ජනතා අදහස් විමසීම, සාකච්ඡුා කිරීම හා නිවේදනය කිරීම කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදුවීද? ඉදිරි දින කිහිපය තුළදී හෝ මෙම අඩුපාඩුව නිවැරදි කර ගැනීමටත්, හරවත් සාකච්ඡාවක් ඇති කිරීමටත් දේශපාලන පක්ෂ උත්සාහ කළ යුතු ය. මෙහිදී බිම් මට්ටමේ අපේක්ෂකයන් වැඩි වගකීමකින් කටයුතු කරන්නට උත්සාහ කළ යුතු ය. ඉහළ මට්ටමේ නායකත්වයේ තිබෙන බලාපොරොත්තු සුන් කරනසුළු තත්ත්වය එයින් තුලනය කර ගැනීමට හැකිවනු ඇත.

නිදසුනක් ලෙස, මා ජීවත් වන මතුගම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මැතිවරණ අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම සඳහා අප මෙවැනි ප‍්‍රශ්නාවලියක් සැකසුවෙමු. එය ඉතා විධිමත් එකක් නොවුණත්, තමන්ගේ පළාත් පාලන බල ප‍්‍රදේශයේ අපේක්ෂකයන්ගෙන් මෙවැනි ප‍්‍රශ්න මාලාවක් ඇසීමෙන් අඩු තරමේ ඔවුන් පළාත් පාලනය හා සංවර්ධනය පිළිබඳ අදාළ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ ජනතාවගේ ජීවන ගුණය ඉහළ නැංවීමට ඔබ විසින් කරනු ලබන යෝජනා මොනවා ද? ප‍්‍රාදේශීය සභාවේ හා එහි උපකාර්යාලවල සේවා කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර මොනවා ද? මතුගම ප‍්‍රාදේශීය සභාව විසින් සිදුකරනු ලබන කසළ කළමනාකරණ සේවාවේ ගුණාත්මකභාවය නැංවීමටත්, ප‍්‍රතිචක‍්‍රීයකරණය හා බලශක්ති නිෂ්පාදනය වැනි අංශ සංවර්ධනය කිරීමටත් ගනු ලබන පියවර මොනවාද? පොදු අවකාශ, ක‍්‍රීඩා පිටි, විනෝදාස්වාද ස්ථාන, සුන්දර ස්ථාන, උද්‍යාන, ළමා උයන්, පුස්තකාල, කියවීම් ශාලා ආදිය සංවර්ධනය කිරීමට තිබෙන සැලසුම් මොනවා ද? පසුගිය පළාත් පාලන ආයතනවල සිටි බලධාරීන් විසින් මතුගම මහජන ක‍්‍රීඩාංගණයට අයත් විය යුතු භූමියේ විවිධ ස්ථිර හා තාවකාලික ඉදිකිරීම් සිදු කිරීමට අවසර දීම නිසා සිදු වී තිබෙන හානිය ආපසු හරවන්නේ කෙසේ ද? මතුගම නගරයට ඉහළින් කොඩිගල නම් පර්වතය මුදුනේ සුන්දර නැරඹුම් ස්ථානයක් ඉදි කළ හැකි බව ඔබ දන්නවා ද? සැප්තැම්බරයේ සිට අපේ‍්‍රල් දක්වා සන්ධ්‍යා කාලයේදී මතුගම නගරයට ලක්ෂ ගණනින් එන කුරුල්ලන් යනු සුවිශේෂ සම්පතක් යයි ඔබ සිතනවා ද? ඔවුන් නිසා සිදුවන අපිරිසිදුවීම් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් ඔබට විසඳුම් යෝජනාවක් තිබේ ද? නගරයේ පදික වේදිකා පද්ධතිය අබලන් වී තිබීම පිළිබඳ ඔබගේ අවධානය යොමු වී තිබේ ද? නගරයේ අධික කඩ කුලිය හේතුවෙන් කඩ අධික ලෙස තදබද වීම, ආහාරපාන සපයන ස්ථානවල අපිරිසිදුකම, පානීය ජල හිඟය වැනි ප‍්‍රශ්න කෙරෙහි ඔබගේ අවධානය යොමුවී තිබේද? අධ්‍යාපනය සඳහා විශාල සිසුන් පිරිසක් ඇදී එන මතුගම නගරයේ සිසුන්ගේ හා මව්පියන්ගේ සුවිශේෂ අවශ්‍යතා වෙනුවෙන් තිබෙන සැලසුම් මොනවාද? ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ අතුරු මාර්ග සංවර්ධනයට හා නඩත්තු කිරීමට තිබෙන සැලසුම් මොනවාද? නගරයේ තියෙන දැඩි මාර්ග තදබදය නැති කරන්නේ කෙසේද? රථවාහන ගාල් කිරීම සඳහා අලූතින් ස්ථාන හඳුන්වා දීමට තිබෙන සැලසුම් මොනවාද? දිනපතා උදේ හවස බස්රථවලින් කොළඹ බලා පිටත් වන අතිවිශාල ජනකායට සිය යතුරුපැදියක්, පාපැදියක් ගාල්කර තැබීමට හෝ තැනක් සැපයිය හැකි බව හා එයින් ආදායමක් උපයා ගැනීමට පවා හැකියාව තිබෙන බව ඔබ දන්නවාද? ප‍්‍රාදේශීය සභාවේ ආදායම් ඉහළ නංවා ගැනීමට තිබෙන සැලසුම් මොනවාද?