රාවය

සභාග දේශපාලනය සහ යහපාලන විරසකය

සභාග දේශපාලනය  සහ යහපාලන විරසකය

අප තරුණ කාලයේ ලංකාවේ ප‍්‍රදර්ශනය වූ ‘ගීත්’ නමැති හින්දි චිත‍්‍රපටිය ගැන ගුවන්විදුලි වෙළෙඳ සේවයේ සෑම ඉරිදා දවසකම දවල් එකට ප‍්‍රචාරය වූ වැඩසටහනක – මට මතක හැටියට – කරුණාරත්න අබේසේක රගේ කටහඬින් කියැවුණු පාඨයක් විය. එය, ”අප දෙදෙනා එක්කළේද සංගීතයයි, අප දෙදෙනා වෙන් කළේද සංගීතයයි” යන්නයි. පසුව පුවත්පත් කාටූනයක, එයට ලාංකික මුහුණුවරක් දී තිබිණ. ”අප දෙදෙනා එක් කළේද බෝතලයයි; අප දෙදෙනා වෙන් කළේද බෝතලයයි.” යනු එම ලාංකික නිර්මාණයයි. මගේ මතකයට අනුව එය කැමිලස්ගේ නිර්මාණයකි.
මේ දිනවල මෛත‍්‍රීපාල සිරිසේන සහ රනිල් වික‍්‍රමසිංහ යන දෙපළ අතර ඇති දේශපාලන විරසකය දෙස බලන විට ඉහත කී පාඨයට තවත් සමකාලීන මුහුණුවරක් දිය හැකිය – එය නම් ”අප දෙදෙනා එක් කළේද යහපාලනයයි; අප දෙදෙනා වෙන් කළේද යහපාලනයයි.” යන්නය.
යහපාලන සභාගය, ගොඩ ඒමට නොහැකි අර්බුදයක හිරවී තිබෙන අවස්ථාවක, එම අර්බුදය ගැන විග‍්‍රහ කළ හැකි තවත් ප‍්‍රවේශයක් තිබෙන බව පෙනේ. එය නම්, ”සභාග ආණ්ඩු දේශපාලනය” පිළිබඳ ප‍්‍රවේශයයි. මේ ලිපියේ අරමුණ, දේශපාලන විද්‍යා විග‍්‍රහයට තරමක් බර එවැනි විග‍්‍රහයක් සඳහා උත්සාහ ගැනීමයි.
නිදහසින් පසු ලංකාවේ පාලනතන්ත‍්‍රවල ඉතිහාසය දෙස බලන විට, එක හමාරක් හැර, අන් සියලූ පාලනතන්ත‍්‍ර ‘සභාග ආණ්ඩු’ වී තිබෙන බව පෙනේ. ඉන් එක 1952-56 දක්වා පැවති එජාප ආණ්ඩුවයි. භාගය 1960 මාර්තු – ජූලි යන මාස හතර තුළ පැවති එජාප ආණ්ඩුවයි. ”සභාග ආණ්ඩුවල සාපේක්ෂ අඛණ්ඩත්වය, නිදහසින් පසු ලංකාවේ දේශපාලනයේද අඛණ්ඩ ලක්ෂණයක් වී ඇත.” යන ශාස්ත‍්‍රීය නිරීක්ෂණය කිරීමට මේ මගින් කෙනෙකුට ඉඩ ලැබේ.
‘දේශපාලන සභාගයක්’ යනු එකිනෙක සමග සාමාන්‍යයෙන් එකඟ නොවන, සමහරවිට තරගකාරී හෝ එදිරිවාදී, දේශපාලන පක්ෂ සහ බලවේග කිහිපයක් ආණ්ඩු බලය ලබාගැනීම යන අරමුණ මත එකතු වී ක‍්‍රියාකිරීමයි. එවැනි සභාග සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුමක් මතය. ලංකාවේ අත්දැකීම අනුව දේශපාලන සභාග වර්ග දෙකක් තිබේ. පූර්ව-මැතිවරණ සභාග සහ පශ්චාත්-මැතිවරණ සභාග යනුවෙනි. පූර්ව-මැතිවරණ සභාග ගොඩ නගන්නේ ප‍්‍රබල එදිරිවාදියෙකුට එරෙහිව සිදුවන මැතිවරණ සටන්වලදී මැතිවරණය ජයගැනීමේ අරමුණෙනි; පශ්චාත්-මැතිවරණ සභාග පිහිටුවන්නේ, තනියම ආණ්ඩුවක් පිහිටුවීමට ප‍්‍රධාන පක්ෂයකට නොහැකි වූ විට, පාර්ලිමේන්තු බහුතරය සහතික කරගැනීමටය.
යහපාලන සභාගය පූර්ව-මැතිවරණ සභාගයක් ලෙස මතුවී, පශ්චාත් – මැතිවරණ සභාගය ආණ්ඩුවක් බවට පරිවර්තනය වූවකි. එය එක්තරා දුරකට 1956 සහ 1970 සභාග දෙකට සාමාන්‍යය. දැන් යහපාලන සභාගය පත්වී පවත්නා අර්බුදයද, 1956 සහ 1970 සභාග ආණ්ඩු දෙක පත්වූ ඉරණමට සමාන තත්ත්වයකට පත්වෙමින් පවත්නා බව පෙනේ. එය නම්, සභාග ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම ප‍්‍රතිවිරෝධතා මතුවී, සභාග නායකයන්ට එම ප‍්‍රතිවිරෝධතා සමනය කරගැනීමට නොහැකි වී, සභාග ආණ්ඩුව බිඳී විසිර යාමේ අවධියකට පාත‍්‍රවීමයි. මෙයට විශේෂ හේතුවක්ද පසුබිමෙහි තිබෙන බව පෙනේ. එය කුමක්දැයි හඳුනා ගැනීමට දැන් අපි උත්සාහ ගනිමු.
ලංකාවේම අත්දැකීම ආශ‍්‍රයෙන් බලන විට සභාග ආණ්ඩු දෙයාකාර වර්ගීකරණයට පාත‍්‍ර කළ හැකිය. ඒ දෙක නම් (අ) ප‍්‍රයෝජ්‍යතාවාදී සන්ධාන (Pragmatic Coalitions) සහ, (ආ) ක‍්‍රියාමාර්ගිකමය සන්ධාන (Programmatic Coalitions) යන මේවායි. මේ දෙක අතරින් වැඩි කාලයක් පැවතීම සඳහා වඩාත් විභවතාව දක්වා ඇත්තේ ප‍්‍රයෝජ්‍යතාවාදී සන්ධානයි. වැඩියෙන්ම අර්බුදයට ගොස් අඩු ජීවිත කාලයකින් අවසන් වීමේ විභවතාව තිබෙන්නේ ක‍්‍රියාමාර්ගිකමය සන්ධාන වලට බව පෙනේ. වර්තමාන යහපාලන සන්ධානය අයත් වන්නේ මේ දෙවැනි ප‍්‍රභේදයටයි.
මේ සන්ධාන දෙක අතර වෙනස්කම් දෙස බලන විට ඒ දෙකෙහි පැවැත්මේ කාලය හා ස්ථාවරත්වය සම්බන්ධව ඇති වෙනස්කම්වල පදනම්ද අපට තේරුම් ගත හැකියි. ප‍්‍රයෝජ්‍යතාවාදී සන්ධාන යනු, ප‍්‍රායෝගික අරමුණු මත ගොඩනැගෙන ‘අවස්ථාවාදී’ සන්ධානයි. බලය සහ තනතුරු බෙදාගැනීම මත පමණක් ඒවායේ ස්ථාවරත්වය හා ගමන්මග තීරණය වේ. ඊට පටහැනිව ක‍්‍රියාමාර්ගිකමය සන්ධාන ආණ්ඩුවල මතවාදීමය සහ ක‍්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙල් පිළිබඳ මුලදී ඇතිවන එකඟතාවක් තිබේ. නැවත වරක්, අත්දැකීමෙන්ම පෙනෙන කරුණක් නම්, මතවාදීමය සහ ප‍්‍රතිසංස්ක රණවාදී ක‍්‍රියාමාර්ග මත ඇතිවන එකඟතාවක් මත ගොඩ නගන සන්ධාන ආණ්ඩුවක්, අරමුණු පිළිබඳව මතුවන අලූත් මතභේද මත අතරමග බිඳ වැටීමට ඇති හැකියාව බහුල බවයි. 1956, 1970 සහ 2015 සන්ධාන තුනම අතරමග දුර්වල වී, සමඟිය බිඳ වැටී, සීසීකඩ යාමේ පදනමෙහිම තිබෙන්නේ මේ සාධකය බවද අපට නිරීක්ෂණය කළ හැකිය.

ප‍්‍රතිපත්තිමය මතභේද
අවස්ථාවාදී සභාග ආණ්ඩුවල මතභේද ඇතිවෙන්නේ බලය සහ තනතුරු බෙදාගැනීම පිළිබඳව ඇතිවන මතභේද පදනම් කොටගෙනය. එම මතභේද විසඳා ගැනීම සාපේක්ෂ වශයෙන් පහසු වී ඇත. මතවාදීමය සහ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙ ළවල් මත ගොඩ නැගෙන සන්ධාන ආණ්ඩුවල මතභේද ඇතිවන්නේ මතවාදීමය සහ ප‍්‍රතිපත්තිම ය වෙනස්කම් මතය; ඒවා විසඳා ගැනීම පහසු නැත. වඩාත් ඉඩකඩ තිබෙන්නේ ඒවා තියුණු සහ උග‍්‍රවීමටයි. මතභේද ගැටුම් බවට පත්වී, සාමකාමීව විසඳා ගැනීමට නොනික පසමිතුරු ප‍්‍රතිවි රෝධතා බවට පත්වීමට ඉඩකඩ බහුලය යන්න. 1956, 1970 සහ 2015 සන්ධාන ආණ්ඩු තුනෙහිම අත්දැකීම්වලින් පෙනේ.
මෙම අර්බුද ආණ්ඩුව බිඳ වැටීමේ ඉලක්කය කරා නොකර ගමන් කිරීමට නම් අතිවිශේෂ උත්සාහයක් ගැනීමට සන්ධාන පාර්ශ්වවල නායකයන්ට බල කෙරේ. වික‍්‍රමසිංහ හා සිරිසේන දෙපළගෙන් මෙවැනි අතිවිශේෂ උත්සාහයක් ගැනෙන බවට දැනට අපට ලැබෙන්නේ එතරම් ප‍්‍රබල සාක්ෂි නම් නොවේ. යහපාලන සන්ධානය දිනෙන් දින ගොඩ ඒමට නොහැකි අර්බුදයකට තල්ලූවෙමින්, අර්බුදය දිනපතා තියුණු වන බව ජනාධිපතිතුමාගේ මැතිවරණ කතාවලට ජනමාධ්‍යයෙන් දෙන ශීර්ෂ පාඨවලින් හොඳින්ම පෙනේ.

තිඹිරිගෙයි උරුමය
මේ අතර, අපට නිරීක්ෂණය කළ හැකි තවත් වැදගත් කරුණක් තිබේ. එය නම් වර්තමාන යහපාලන සභාගය, අපූර්ව – ලක්ෂණ සහිත, ඒ නිසාම එකට පවත්වා ගැනීමේ දුෂ්කරතාව තිඹිරි ගෙයිදීම උරුම කරගත් සභාග ආණ්ඩුවක්ය යන්නයි. මේ කරුණ පැහැදිලි කිරීමට නම් අප සභාග දේශපාලනය ඇති දේශපාලන විද්‍යා න්‍යායේ පිහිටද ලබාගත යුතුය.
බහුපක්ෂ ප‍්‍රජාත න්ත‍්‍රවාදයක සභාග සාමාන්‍යයෙන් ඇතිවන්නේ, අධිපති පක්ෂ අතර ඇතිවන තරගයේම අවස්ථාවක් ලෙසය. ලංකාවේ පවති න්නේ අධිපති ද්වි-පක්ෂ ක‍්‍රමයක් සහිත බහු පක්ෂ ක‍්‍රමයකි. එබැවින් සභාග ආණ්ඩු ඇතිවී තිබෙන්නේ මේ අධිපති පක්ෂ දෙකෙන් එකක් වටා කුඩා පක්ෂ කිහිපයක් එක්කර ගැනීමෙන් සහ එක්වීමෙනි. තම එදිරිවාදී අධිපති පක්ෂය තනිකර මැතිවරණ ජයගැනීම සහ ආණ්ඩු පිහිටුවීම, අනෙක් එදිරිවාදී අධිපති පක්ෂය සතු සභාග මූලෝපායයි. 2014 නොවැම්බර් මාසයේ එජාපය වටා පළමුවෙන් ගොඩ නැගුණු යහපාලන සන්ධානය එවැනි ‘සම්භාව්‍ය’ මාදිලියේ සන්ධානයකි. එහෙත් යහපාලන සන්ධානයේ ජනාධිපති සිරිසේන මහතා ශ‍්‍රීලනිප නායකයා වූ පසු මෙම යහපාලන සන්ධානය, බලාපොරොත්තු විරහිත, විමතිය දනවන සහ සාමාන්‍යයෙන් සිදුවිය නොහැකි අතිමූලික පරිවර්තනයකට පාත‍්‍රවිය. එය නම් එම සභාග ආණ්ඩුව, එදිරිකාර අධිපක්ෂ දෙකෙහිම හවුල් ආණ්ඩුවක් බවට පත්වීමයි. මෙය වනාහී සභාග ආණ්ඩු දේශපාලනය පිළිබඳව ලෝකයේ වෙනත් රටකින් නිදසුන් සපයාගත නොහැකි අසමසම දේශපාලන සංසිද්ධියකි. යහපාලන සභාගයේ බිඳ වැටීම ආරම්භ වූයේද මේ අසමසම සංසිද්ධිය ආරම්භවීමත් සමගය.

අලූත් සංයුතියක්?
2015 මුලදී ලංකාවේ ඇතිවූ යහපාලන සභාගය අලූත්වීමේ ක්ෂණික දේශපාලන ප‍්‍රතිඵලය වූයේ ශ‍්‍රීලනිපය පෙර නොවූ විරූ අර්බුදයකට පත්වීමයි. දැන් එය යහපාලන සභාගයේම ස්ථාවරත්වය සහ පැවැත්ම අනතුරට ලක් කරන අර්බුදයක් බවට පත්වී තිබේ. මේ අර්බුදය ඉදිරියේ 2020 දක්වා බලයේ සිටීමට නීතියෙන් අවකාශ තිබෙන යහපාලන සභාග ආණ්ඩුවට එතෙක් පවතින්නට ඉඩ තිබෙන්නේ, සන්ධානයේ සංයුතිය යළි ව්‍යුහගත කිරීම මගින් බව පෙනේ. දැනට තිබෙන සාක්ෂිවලින් පෙනෙන්නේ, 2015 පිහිටුවන ලද සභාග ආණ්ඩුවට, එම සංයුතියෙන්ම ඉදිරියට යාම මහත් දුෂ්කර බවයි. සන්ධානයේ ව්‍යුහාත්මක සංයුතිය මෙන්ම අභ්‍යන්තර බලතුලනයත් පරිවර්ත නයකට භාජනය වීම පළාත් පාලන මැතිවරණයෙන් පසු සිදුවීමට බොහෝ දුරට ඉඩ තිබෙන්නකි.
මේ අතර, ලංකාවේද දේශපාලන සිදුවීම් සහ හැරීම් සිදුවන්නේ එහෙම පිටින්ම අනපේක්ෂිත ආකාරයටය යන අතීත පාඩමද අප අමතක නොකළ යුතුය. ජනාධිප තිතුමා තම් අධිෂ්ඨා න සහගතව අත ගසන බවට කියා සිටින්නේ සුළුපටු දෙයක් කිරීමට නොවේ. ලංකාවේ දේශපා ලනත න්ත‍්‍රයම සොළවා, කළම්බා, උඩු යටිකුරු කිරීමට පවා තුඩුදිය හැකි කාර්යයකටය. එම දේශපාලන ප‍්‍රභූත න්ත‍්‍රයට කෙළින්ම අයත් නොවන, එයට සාපේක්ෂ පිටස්තරයෙකුව සිටිමින්, එහෙත් රාජ්‍ය ව්‍යුහයේ කේන්ද්‍රීය බලස්ථානයක සිටින එතුමාගේ ඊළඟ ඉදිරි පියවර මෙන්ම ඒවාට අධිපති බලප‍්‍රභූතන්ත‍්‍රය වෙතින් ලැබෙන ප‍්‍රතිචාරද, පුරවැසියන්ගේ නොමඳ අවධානයට යොමුවිය යුතු ඒවාය.

ප.ලි. ‘දූෂණය’ යන වචනය යොදාගන්නේ නැතිව, මේ කාලයේ දේශපාලන විචාර රචනයක් ලිවීමට හැකිවීම ගැන මටම පුදුමය.