රාවය

රාජ්‍ය යාන්ත‍්‍රණය ඇඟිලි ගහන තාක්කල් යුක්තිය ඉටුවෙන්නේ නෑ

රාජ්‍ය යාන්ත‍්‍රණය ඇඟිලි ගහන තාක්කල්  යුක්තිය ඉටුවෙන්නේ නෑ

ජ්‍යෙෂ්ඨ නීතීඥ චන්ද්‍රා කුමාරගේ

නීතියේ ආධිපත්‍යයලංකාව තුළ ක‍්‍රියාත්මක වන ආකාරය ගැන ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු හැටියට ඔබේ තක්සේරුව කොයි වගේද?
ඔය ගැන කතා කරද්දී කොටස් දෙකකට අනුව සලකලා බලන්න පුළුවන්. පහුගිය කාලයට සාපේක්ෂව බලද්දි නීතියේ ආධිපත්‍යය එක්තරා දුරකට ස්ථාපිත වෙලා තියෙනවා කියලා කියන්ඩ පුළුවන්. අනික් පැත්තෙන් විශේෂ පුද්ගලයින් සඳහා නීතිය ක‍්‍රියා කරන්නේ කොහොමද කියන එකේනම් විශාල ගැටලූවක් තියෙනවා.
පහුගිය කාලේ අපි ඇතුළු මේ රටේ ජනතාවගේ බහුතරයක් එකතුවෙලා එවකට පැවති ආණ්ඩුව බලයෙන් පහ කළා. ඒකට හේතුවුණේ නීතියේ ආධිපත්‍ය විනාශ කරමින්, කැලෑ නීතිය රජ කරවමින්, අපරාධ සිදු කරමින් සහ මහජන දේපළ කොල්ලකමින් ගෙනගිය පාලනය ඉවත් කරන්ඩ.
මේ ආණ්ඩුව බලයට එද්දී මේ රටේ ජනතාවට දුන් ප‍්‍රධානතම පොරොන්දුව තමයි පහුගිය ආණ්ඩු විසින් සිදුකරන ලද අවනීතිය බැහැර කරලා. ඒ විදිහේ දූෂණ සහ අපරාධ සිදු කළ අය නීතියේ ඉදිරියට ගෙනඒම. එහෙම බලාපොරොත්තු වෙලා ආණ්ඩුව වෙනස් කරලා ජනතාව අවුරුදු තුනක් බලන් ඉන්නවා දැනට. එහෙත් අත්අඩංගුවට ගත් හොරෙක්වත් අපරාධකාරයෙක්වත් නෑ. උදාහරණයක් විදිහට තජූඞීන් ඝාතනය කළ නඩුව දැන් වන විට අවුරුදු තුනක් විතර තිස්සේ ෆයිල් දම දමා ඔහේ ඇදි ඇදී යනවා. එහෙත් විසඳුණේ නෑ. එහෙම බලපුවාම පේන්න තියෙන දේ තමයි මේ අපරාධ ගැන නිසි විමර්ශනයක් විසඳුමක් කරන්න ආණ්ඩුවට උවමනාවක් නෑ කියන එක.
ඊළඟ කරුණ තමයි මේ කියන හිටපු පාලකයින්ට වඩා විශාල අපරාධයක් කරන්න මේ අය සමත් වුණා. ඒ තමයි බැඳුම්කර සිද්ධිය. මේ දේ වුණාම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා බොහෝ විට උත්සාහ ගත්තා මෙහෙම දෙයක් වුණේ නෑ කියලා පෙන්නන්න. එහෙත් ඩිව් ගුණසේකර මහත්තයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරමින් විමර්ශනය කරන්න. එතනදි පැහැදිලි වුණා මෙතන විශාල මුදල් වංචාවක් සිදුවෙලා තියෙන බව. මේ නිසා අහිමි වුණ මහජන මුදල්වල ප‍්‍රමාණය නිවැරදිව විගණනයක් කරන්න තරම් අපහසු බවයි කියවුණේ.

අපරාධ විමර්ශනය ලංකාව තුළ මේ විදිහේ ගැටලූව මතුවීමට හේතු මොනවද?
මේකට ප‍්‍රධාන හේතුව අපි අපරාධ සම්බන්ධයෙන් පවත්වාගෙන යන විධිවිධාන සම්පූර්ණයෙන් වැරදි සහගත වීම. අපරාධ විමර්ශනය කිරීමේ බලය දේශපාලනඥයින් අතට ගන්න එක වැරදියි. අගමැති වේවා ජනාධිපති වේවා යම් අපරාධයකට රාජ්‍ය යාන්ත‍්‍රණය ඇඟිලි ගහන තාක්කල් යුක්තිය ඉටුවෙන්නේ නෑ.
දැන් අද බලන්න ඊශ‍්‍රයාලයේ අගමැති නෙතන්යාහුට විරුද්ධව මේ වනවිට විමර්ශනයක් යනවා. ඒ විමර්ශනය තුළ අදාළ පොලිස් කණ්ඩායම් ස්වාධීනව වැඩ කරනවා. බෙන්ජමින් නෙතන්යාහු බලයේ හිටියත් පොලිසියේ විමර්ශනවලට ඇඟිලි ගහන්නේ නෑ.
ඒ වගේම දකුණු කොරියාවේ ජනාධිපතිවරියට එරෙහිව විශාල මුදල් වංචාවක් පිළිබඳව හෙළිවුණා. එහිදී ඒ අය ඒ පිළිබඳ ස්වාධීන විමර්ශනයක් කරලා අන්තිමට ඇයව ධුරයෙන් ඉවත් කළා.
ඒ නිසා මේ වගේ දේවලට දේශපාලන අංශවලට බලය දෙන එක විශාල වරදක්. එහෙම වුණාම තමයි අපරාධ හොයන්න ආපු උදවිය බැඳුම්කර වංචාව වගේ අපරාධ කරන්නේ. යම් කිසිවෙක් අපරාධයක් කළොත් ඒවා විභාග කරලා ඒවාට දඬුවම් දෙන්න ඕන. මේ සඳහා හිරදඬුවම් තියෙනවා, දඩ තියෙනවා, වංචා කළ මුදල වගේ දෙතුන් ගුණයක් මුදල් අය කරගැනීමේ දඬුවම් ක‍්‍රම තියෙනවා. එහෙත් මේ සම්බන්ධයෙන් අපි කරලා තියෙන්නේ මොනවද.

මේවගේ සිදුවීම් නොසලකා හැරිය හැකි නොවුණත් ඒ වගේ සිදුවීමක් පමණක් පදනම් කරගෙන බොහෝ අය රටේ නීතියේ ආධිපත්‍ය ගැන තක්සේරු කරන බවක් පේනවා. ඒක කොතෙක් දුරට නිවැරදි ද?
දැන් බලන්නකෝ විදුහල්පතිවරියක් දණගස්සපු ඌවෙ මහ ඇමතිගේ සිද්ධිය. අපි දැක්කා ඔහුට ඇප දුන්න විදිහ. විදුහල්පතිවරියක් දණගස්සපු කෙනෙක්ට ඒ විදිහට ඇප දෙන්න පුළුවන් විදිහේ නීතියක් නෑ. මේ වගේ දේවල් සම්බන්ධ වෙන්නේ වද හිංසා පනතට. ඒ යටතේ මේක, කෲර අමානුෂික සහ අවමං සහගත වැරදි කියන කොටසටයි අයිති වෙන්නේ. ඒ විදිහේ නඩුවක් අහන්න පුළුවන් මහාධිකරණය තුළ විතරයි. ඇප දෙන්න කලින් අධි චෝදනාවක් මත මහාධිකරණය තුළ නඩුව ගොනුවෙන්න ඕන. එතනදි විතරයි ඇප ගන්න පුළුවන්. එහෙම තියෙද්දි මහ ඇමතිට මේ විදිහට ඇප ලැබුණේ කොහොමද.
අනික් කාරණය තමයි, බැඳුම්කර සිදුවීම කියන වංචාව ගැන අද ලංකාවෙ කුඩා දරුවෙක් පවා දන්නවා. අනික මෙතන වංචාවක් වුණු බව අද ජනාධිපතිවරයා, අගමැතිවරයා පවා ඒ ඒ මට්ටමින් පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි අගමැතිතුමාත් මේ පිළිබඳ කමිටුවක් පත් කළානේ සිරිකොතේ ඉන්න එක්සත් ජාතික පක්ෂ නීතිඥවරුන් කණ්ඩායමක් යොදවලා. කොහොම වුණත් ඒ අයත් කියලා තිබ්බා මේක විමර්ශනය කළ යුතුයි කියලා. ඊට පස්සේ තමයි සුනිල් හඳුන්නෙත්ති කමිටුවට ආවෙ. ඒ වෙලාවෙත් අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් උත්සාහ ගත්තා මේක නවත්තන්න. ඒ වෙලාවෙ තමයි කමිටුවේ හිටපු වතුකරය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙක් ඉවත් කරලා සේනසිංහව ඇතුළු කළේ. මේ සේනසිංහම තමයි ඩියු ගුණසිංහ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න යනකොට ඒක තහනම් කළ යුතුයි කියලා දිස්ත‍්‍රික් උසාවියේ නඩුවක් පැවරුවේ.
කොහොම වුණත් මේ වාර්තාව ඉදිරිපත් කරද්දී සුජීව සේනසිංහ ඇතුළු කිහිප දෙනෙක් ඒ වාර්තාවට පාද සටහන් ගැහුවා. ඒ ඒ වාර්තාවේ තියෙන ශක්තිය හීන කරන්න. කොහොම වුණත් අන්තිමට හෙළිවුණා මේ පාද සටහන්කාරයෝ අර්ජුන් ඇලෝසියස්ලා එක්ක දීර්ඝ දුරකථන සංවාද අරන් ගිය අය කියලා.
මේ තත්ත්වය උඩ තමයි මේ පිළිබඳ යම්කිසි පියවරක් ගන්න ජනාධිපතිවරයාට සිද්ධ වුණේ. ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙක් සහ හිටපු විගණකාධිපතිවරයෙක් ඇතුළු කණ්ඩායමක් යොමු කරලා කොමිසමක් පිහිටවූයේ. මේ කොමිසමට සාක්ෂි දෙන්ඩ රවි කරුණානායක ආවේ. ඒ වෙලාවේ කොමිසමේ සාමාජිකයින් රවි කරුණානායකගෙන් දැඩි ලෙස හරස් ප‍්‍රශ්න ඇහුවා. ඒත් ඊට පස්සේ ඒ කොමිසමේ සාක්කි දෙන්ඩ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික‍්‍රම සහ එක්සත් ජාතික පක්ෂයේ එවකට ලේකම් කබීර් හෂීම් මහත්තයත් ආවා. ඒ ආවට පස්සෙ එදා රවි කරුණානායකගෙන් දැඩි ලෙස හරස් ප‍්‍රශ්න ඇසූ කිසිවෙක් ප‍්‍රශ්න ඇහුවෙ නෑ. ඒ අයට හිතුණු දෙයක් කියලා යන්න ඉඩ දුන්නා. ඒ වගේම ඒ වෙනකොට මේ කොමිසමට ඇවිත් අනිවාර්යයෙන්ම සාක්කි දිය යුතු තත්ත්වයට අගමැතිතුමා පත්වෙලා හිටියා. එහෙත් එතනදි නීතිය ඉදිරියේ සමානත්වයක් තිබුණේ නෑ.

අගමැතිවරයා මේ කොමිසම හමුවේ අනිවාර්ය සාක්ෂිකාරයෙක් විය යුතුව තිබුණා කියලා සහ ඔහු සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ සමානත්වයක් පේන්ඩ තිබ්බේ නෑ කියලා ඔබ මතු කරන්නේ මොන කාරණා මතද?
අපරාධ නඩු විනිශ්චය කිරීමේදී සාක්ෂි ක‍්‍රම දෙකක් තියෙනවා. එකක් ඍජු සාක්ෂි අනික පර්වේශනීය සාක්ෂි කියලා සාක්ෂි වර්ග දෙකක් තියෙනවා. මේ අතර ඇහින් දුටු සාක්ෂිවලට වඩා පර්වේශනීය සාක්ෂි බලවත්. මොකද ඒවාට බොරු කරන්න බෑ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පර්වේෂනීය සාක්ෂි මොනවාද. බැඳුම්කර වංචාව පිළිබඳ පර්වේශනීය සාක්ෂි බලද්දි ඉතාමත් පැහැදිලි වෙනවා මෙහි පළමුවැනි විත්තිකාරයා වෙන්න ඕන අගමැති රනිල් වික‍්‍රමසිංහ. මොකද ඔහු තමයි අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ ඉඳන් ගෙන්වගෙන මහබැංකු අධිපතිවරයා හැටියට පත් කළේ. ඒ පත්කරලා බැඳුම්කර ඉදිරිපත් කළ යුතු ආකාරය ගැන තමාට අගමැතිතුමා උපදෙස් දුන්නා කියලා අර්ජුන් මහේන්ද්‍රන් සාක්ෂි දුන්නා.
රනිල් වික‍්‍රමසිංහ කියන්නේ ළදරුවෙක් නෙමෙයි. ඔහු කීපවරක්ම මේ රටේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වුණ, අවුරුදු හතළිහක් පමණ පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්. ඉතිං ඔහු මේවා ගැන හොඳට දන්නවා.
කලින් කියූ කමිටුව හමුවේ අගමැතිවරයා සාක්ෂි දුන්නේ වෙනස්ම විදිහකට. මොකද ඔහුට එතනදි අහන ප‍්‍රශ්න ගැන ප‍්‍රශ්නාවලියක් කල් තියා යැව්වා. ඒ ප‍්‍රශ්නවලට ඔහු නීතිඥයන්ගෙන් උපදෙස් අරං ලැහැස්ති වෙලා ඇවිත් උත්තර දුන්නා. සාක්කි දෙන්න ආපු දවසේ කලින් දවස්වල රවි කරුණානායකගෙන් තදින් ප‍්‍රශ්න අහපු නීතිඥවරු හිටියෙත් නෑ. හිටියේ ඔහුම පත් කළ නීතිපතිවරයා. ඔහු ප‍්‍රශ්න කිහිපයක් අහලා ඔහුට යන්න දුන්නා. ඒ කාලයේ පත්තරවල පළවුණු සාක්කි දිහා බලද්දි මේ දේ පේනවා. ඒකයි නීතිය සමාන නෑ කියලා කලින් කිව්වේ.
අපි දන්න විදිහට සාමාන්‍යයෙන් මහ බැංකුව බාරවෙන්නේ මුදල් අමාත්‍යවරයාට. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මේ සිදුවීමට කලින් මහ බැංකුව තමන් යටතට ගත්තා. ඒ අරගෙනයි අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවේ. පස්සේ මේ සිදුවීම හෙළි වුණාම ඒක යටගහන්න නොයෙක් වැඩ කළා. අන්තිමට ඩියු ගුණසිංහ මේ පිළිබඳව පැහැදිලිව සොයා බලා මේ වංචාව පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන්න නියමිත දවසට කලින් දවසේ අගමැතිවරයා ජනාධිපති ලවා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා අපි දන්නවානේ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සෙ ඒ පාර්ලිමේන්තුවට අදාළ කෝප් වාර්තා ආදී සියල්ල අහෝසි වෙනවා කියලා. මෙතනදි බලාපොරොත්තු වුණේ ඒක.

ඒත් දැන් වෙනකොට මේ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්ව දෙක තුළ, එකිනෙකා ආරක්ෂා කිරීමට උත්සාහ නොගන්නා ආකාරයේ පැහැදිලි විරසකයක් පේන්න තියෙනවා?
ඒක ඇත්ත. අපි දැක්කා පහුගිය කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා වේගයෙන් කතා කරලා තිබුණු ආකාරය. ඒ වගේම එතනදි එතුමා උස් හඬින් කියලා තිබ්බා තමා අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුවට පත් කරන්න එපා කියලා අගමැතිවරයාට කිව්ව බව. ඒ වගේ ම රවි කරුණානායක ව මුදල් අමාත්‍යවරයා හැටියට පත් කරන්න එපා කියලා තමං අගමැතිවරයාට කිව් බව.
ඒ විතරක් නෙමෙයි පහුගියදා තිබුණ නිදහහස් පක්ෂ මහනුවර රැුලියේදීත් ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් ඉල්ලලා තිබ්බා. අගමැතිතුමනි බැඳුම්කර හොරු අල්ලන්ඩ මට උදව් කරන්ඩ කියලා. ඉතිං මේ දෙයින් ගොඩක් දේවල් පැහැදිලි වෙනවානේ.
දැන් වෙනකොට ජනාධිපතිවරයාගේ දැඩි අවධානය මේ කෙරේ යොමුවෙලා තියෙන බව පේනවා. හරි නම් මේ වෙලාවෙ ජනාධිපති අගමැතිවරයාට කියන්න ඕනෑ අගමැතිකමින් ඉවත්වෙන්න කියලා.
මෙතනදි මගේ නිරීක්ෂණයට ලක්වුණු අනික් කරුණ තමයි මේ පළාත් පාලන මැතිවරණය කියන්නේ පළාත් පාලන මැතිවරණයකට වඩා ඊළඟ ජනාධිපතිවරණයට සූදානම් වීමක් කියන එක. අපි දැක්කා ජනාධිපතිවරයා තවන්ගේ කාලය අවුරුදු හයක් දක්වා දීර්ඝ කරන්න පුළුවන්ද කියලා අධිකරණයෙන් විමසලා තිබුණා.