රාවය

විද්‍යුත් හැඳුනුම්පත හා ජාතික පුද්ගල නාමලේඛනය පනින්න පෙර සිතා බලමු!

විද්‍යුත් හැඳුනුම්පත හා  ජාතික පුද්ගල නාමලේඛනය පනින්න පෙර සිතා බලමු!

1983 කළු ජූලියේ ප‍්‍රහාරකයන් සංවිධානගතව ක‍්‍රියාත්මක වූ බවත්, දෙමළ ජාතිකයන් වාසය කළ නිවාස හා දෙමළ හිමිකාරිත්වය තිබූ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරුවලින් සන්නද්ධව පැමිණි බවත් වාර්තාගතයි.
මෙකී ගෘහස්ත තොරතුරු මහා පරිමාණයෙන් ඒකරාශි වී ඇත්තේ රජය පවත්වාගෙන යන ඡුන්ද හිමියන්ගේ නාමලේඛන වැනි නිල මූලාශ‍්‍රවල පමණයි.
මේ නිල තොරතුරු තොග වශයෙන් මැර ප‍්‍රහාරකයන් අතට පත් වූයේ කෙසේද? මෙය අද දක්වාම නොවිසඳුණු ප‍්‍රශ්නයක්.
මා මෙය සිහිපත් කරන්නේ සුමිහිරි මතකයන් අනවශ්‍ය ලෙස මතු කරන්නට නොවෙයි. මෑත අතීතයේ බිහිසුණු අත්දැකීම්වලින් සමාජයක් ලෙස අප පාඩම් උගත යුතු බව අවධාරණය කිරීමටයි.
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ( e- NIC) නිකුත් කිරීම 2017 සැප්තැම්බරයේ ඇරඹුණා. මෙය හුදෙක් පවතින හැඳුනුම්පත් නවීකරණය කිරීමක් පමණක් නොවෙයි. වයස අවුරුදු 15ට වැඩිය සියලූම පුද්ගලයන්ගේ ජීව දත්ත, ජෛවමිතික දත්ත (Biomertic date) සහ ඡුායාරූප ඇතුළත් ජාතික පුද්ගල නාමලේඛනයක් (National Registry of Persons) සම්පාදනය කිරීමට දැනටමත් නීති හා රෙගුලාසි පනවා අවසන්.
මින් පසු හැඳුනුම්පතක් ඉල්ලූම් කරන විට පෙරට වඩා බොහෝ තොරතුරු ප‍්‍රමාණයක් දීම නීතිගත කොට තිබෙනවා. අයදුම්කරුගේ නම, පෙළපත් නාමය, වාසගම, ස්ත‍්‍රී පුරුෂ භාවය, උපන් දිනය, ලිපිනය, රැුකියාව ආදියට අමතරව විවාහකද, අවිවාහකද, වැන්දඹුද, දික්කසාදද යන්න මෙන්ම අයදුම්කරුගේ තාවකාලික පදිංචියේ විස්තර, ස්ථාවර දුරකතන අංකය, ජංගම දුරකතන අංකය සහ විද්‍යුත් තැපෑල ආදියද ලබා දිය යුතුයි.
ඊට අමතරව අයදුම්කරුගේ පියාගේ මවගේ හා භාරකරුගේ පෙළපත් නාමය, නම, වාසගම, උපන් දිනය හා ජාතික හැඳුනුම්පත් අංක ලබාදිය යුතුයි. සහෝදර සහෝදරියන්ගේ සම්පූර්ණ නම්ද, ඔවුන්ගේ උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන්ද දිය යුතුයි. විවාහකයකු නම් බිරිඳ හෝ සැමියාගේ පෙළපත් නාමය, නම, වාසගම, උපන් දිනය හා හැඳුනුම්පත් අංකය දිය යුතුය. දරුවන් සිටින්නේ නම් එම දරුවන්ගේ සම්පූර්ණ නම්ද, උපන් දිනයන්ද, ජාතික හැඳුනුම්පත් අංකයන් ද දිය යුතුයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය කියන හැටියට, මෙය මධ්‍ය දත්ත ගබඩාවක් (central datebase). එහි තැන්පත් කැරෙන පුරවැසි තොරතුරු, අවශ්‍ය විට ඕනෑම රාජ්‍ය ආයතනයක් සමග හුවමාරු කර ගත හැකියි. එයට පෙර නෛතික දත්ත හුවමාරු ප‍්‍රතිපත්තියක් ස්ථාපිත කරන බවත් කියනවා.
e-NIC ව්‍යාපෘතිය ප‍්‍රවර්ධනය කැරෙන්නේ එය වඩාත් කාර්යක්ෂම හා නවීන සේවයක් ලෙස හඳුන්වා දෙමින්. අනන්‍යතාව ඉතා පහසුවෙන් තහවුරු කළ හැකිවීම, රජය මගින් සපයන සේවාවන් කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට ඉවහල් වීම, ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වීම (පුද්ගල අනන්‍යතාව වංචනික ලෙස සොරා ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම), පවුල් තොරතුරු සනාථ කිරීම අවශ්‍ය වූ විට හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් එය සිදු කළ හැකි වීම ආදී වශයෙන් මෙහි වාසි දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ හුවා දක්වනවා.
කාර්යක්ෂතාව වැඩි කිරීම ප‍්‍රයෝජනවත් බවට විවාදයක් නැතත්, මෙතරම් පුළුල් පුරවැසි තොරතුරු සමුදායක් ඩිජිටල් ආකාරයෙන් ඒකරාශි කිරීම හරහා එම තොරතුරු අයථා භාවිතා ඇති ඉඩකඩ ඉමහත්.
2018 ජනවාරි 14 වැනිදා මගේ ලිපියෙන් පෙන්වා දුන් පරිදි සයිබර් අවකාශයේ හා ඩිජිටල් ලෙසින් ගබඩා කැරෙන දත්තවල නිසි සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් (data protection), පෞද්ගලිකත්වය (privacy) රැකීමටත් අවශ්‍ය නීති අපේ රටේ නැහැ. මේ හිදැස් ඉක්මනින් පුරවා ගත යුතුයි.
පෞද්ගලිකත්වයට හා දත්තවල සුරක්ෂිතභාවයට නීතිමය රැකවරණ නැති රටක පුරවැසි දත්ත ඒකරාශී කිරීම අන්තරාදායක ක‍්‍රියාවක්.
කළු ජූලියේ ප‍්‍රහාරකයන් අතට පත් වූවා යයි අනුමාන කැරෙන්නේ හුදෙක් ඡුන්ද හිමි නාමලේඛන තොරතුරු පමණයි. දැන් සම්පාදනය කිරීම අරඹා ඇති ජාතික පුද්ගල නාමලේඛනය එයට වඩා බොහෝ තොරතුරු අඩංගු එකක්. මේ ගැන ඇති තරම් ජාතික මට්ටමේ අවධානයක් යොමු නොවීම හා සංවාදයක් ඇති නොවීම කනගාටුදායකයි.
නවීකරණය කරන ලද හැඳුනුම්පතක් හා පරිගණකගත පුද්ගල තොරතුරු පද්ධතියක් බිහිකිරීමේ යෝජනාව මතුව ආයේ රාජපක්ෂ පාලන සමයේදීයි (යුද්ධයෙන් පසුව). එය අවිචාරශීලීව වත්මන් රජයද ඉදිරියට ගෙන යන්නේ පෞද්ගලිකත්වයට ඇති විය හැකි හානි ගැන ඇති තරම් අවධානයක් නොමැතිවයි.
මේ ගැන මා මුලින්ම කතා කළේ 2016 ජූලි 17 වැනිදා ලිපියෙන්. ඒ වන විට යෝජිත මට්ටමේ පැවති e-NIC ගැන මා කීවේ මෙයයි: ‘‘නවීකරණය අවශ්‍ය බවට විවාදයක් නැහැ. එහෙත් අපේ සියලූ තොරතුරු හා ජෛවමිතික දත්ත මෙසේ එක් තැන් වීමේදී දත්ත ආරක්ෂාව (data protection) ගැන රජයට මුළුමනින් සහතික විය හැකිද? මේවා හැකර්ලා (පරිගණකවලට අනවසරයෙන් පිවිසෙන්නන්) හරහා පිට ගියොත් කුමක් විය හැකිද? ජාතික ආරක්ෂාවේ මුවාවෙන් දරුණු ලෙස විරුද්ධවාදීන් ආවේක්ෂණය කළ රාජපක්ෂ රජය වැනි මර්දනකාරී තන්ත‍්‍රයක් අතට මෙරට ජනගහනයේ දත්ත පත් වීමේ අවදානම කෙතරම්ද?’’
තොරතුරු තාක්ෂණවේදියකු හා එම ක්ෂේත‍්‍රයේ ව්‍යවසායකයකු වන ඞී. එම්. ජයමාන්න 2017 සැප්තැම්බරයේ මේ ගැන විස්තරාත්මක විග‍්‍රහයක් පළ කළා.
ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන පුරවැසි සේවා කාර්යක්ෂම කිරීම ලොව බොහෝ රටවල සිදුකරනවා. ඒත් ඒ රටවල් බහුතරයක එය කරන්නේ ජාතික පුද්ගල දත්ත බැංකුවක් හෝ ජෛවමිතික දත්ත ගබඩා කිරීමකින් තොරවයි. අපටත් එසේ කළ නොහැකි ඇයි?” ඔහු විමසනවා.
ඔහු තව දුරටත් කියන්නේ: මෙසේ පුරවැසියන්ගේ විශාල පුද්ගලික තොරතුරු සමුදායක් එක් තැනක, ඩිජිටල් ආකාරයෙන් මධ්‍යගතව තිබීම නිසා අවදානම් රැුසක් මතු වනවා. එයට පිවිසීමේ අවසරය ලත් සමහර රාජ්‍ය නිලධාරීන් එය අවභාවිත කරනවාට අමතරව, මෙබන්දක් හැකර්ලාට ලොකු ආකර්ෂණයක් වනවා. ඔවුන් අනවසරයෙන් එහි පිවිසී, දත්ත සොරා ගෙන විවිධ වංචනික ක‍්‍රියා කළ හැකියි. කෙතරම් සයිබර්/ඩිජිටල් ආරක්ෂාව තර කළත් සූක්ෂ්ම හැකර්ලාට ඒවා අබිබවා යා හැකි බවට ලොව පුරා උදාහරණ තිබෙනවා.”
පුරවැසියන්ගේ පවුල් තොරතුරු, බැංකු තොරතුරු, ආදායම් තොරතුරු, නීතිමය පසුබිම (උදා: දික්කසාද නඩු විස්තර) ආදිය මහා පරිමාණයෙන් එක් තැනක ගබඩා වීම හා එය ඩිජිටල් මාධ්‍යයෙන් ඇති බැවින් ඉක්මනින් සෙවීම් කළ හැකිවීම (Searchable)  යන සාධක දෙක නිසා මෙම පුද්ගල නාමලේඛනය අයතා භාවිත වීමට ඇති ඉඩ වැඩියි.
රජයේ ආයතනවල පමණක් නොව, අධිකරණවල පවා සුරක්ෂිතව ගබඩා කර ඇති ලිපිගොනු හා ලේඛන (ඇතුළේ සමහරුන්ගේද උදව් ඇතිව) අනවසරයෙන් පිට කිරීම අපේ රටේ කලක සිට සිදු වන්නක්. තමන්ට ඕනෑම රාජ්‍ය ආයතනයක ඕනෑම ෆයිල් එකක් පිටතට ගතහැකි ක‍්‍රම ඇතැයි උදම් අනන සමහර මාධ්‍යවේදීන් හා කතුවරුන්ද සිටිනවා.
තොරතුරු ඩිජිටල්කරණය කළ විට එය රහසිගතව හා සූක්ෂ්මව උකහා ගැනීමේ නව ප‍්‍රවේශ මාර්ග මතු වනවා. මොන තරම් ඩිජිටල් ආරක්ෂක උපක‍්‍රම අනුගමනය කළත් ඒවා භාරව සිටින්නේ පෘථග්ජන මිනිසුන් නිසා ඔවුන් සමහරකු හරහා හෝ හැක් කිරීම හරහා හෝ දත්ත ගබඩාවලට අනවසරයෙන් පිවිසීමේ ඉඩක් තිබෙනවා. මෙය මුළුමනින්ම වළක්වා ගන්නට බැහැ.
ලක් රජය ඩිජිටල් ආරක්ෂාව ගැන මේ දක්වා පෙන්වා තිබෙන්නේ උදාසීන ආකල්පයක්. මේ නිසා සංවේදී පුද්ගලික තොරතුරු මහා පරිමාණයෙන් ඒකරාශී කරන දත්ත ගබඩාවක් මුළුමනින් ආරක්ෂා කැරෙතැයි අපට සහතික වන්නට බැහැ.” ජයමාන්න කියනවා.
ඊටත් වඩා බිහිසුණු අවදානමක්ද මෙහි තිබෙනවා.
මේ පුරවැසි දත්ත බැංකුව සතු තොරතුරු හරහා මහා පරිමාණයේ ආවේක්ෂණයක් (mass surveillance)සිදු කිරීමට රජයට, ආරක්ෂක අංශවලට හා බලයේ සිටින දේශපාලන පක්ෂවලට හැකියාව ලැබෙනවා.
තමන්ගේ දේශපාලන ප‍්‍රතිවාදීන්, රජයේ විවේචකයන් හා ලෙහෙසියෙන් නම්මා ගත නොහැකි සමාජ ක‍්‍රියාකාරිකයන් පිළිබඳව සියලූ තතු එක් තැනෙක හමු වීම හරහා අවශ්‍ය විටෙකදී ඔවුන්ට එරෙහිව යම් තොරතුරු අයථා භාවිත කිරීමේ අවදානම පවතිනවා.
මේ ගැන 2017 නොවැම්බරයේ ඬේලි මිරර් පත‍්‍රයට අදහස් දැක්වූ, නම සඳහන් නොකළ මානව හිමිකම් පිළිබඳ නීතිඥයෙක් මෙසේ කීවා: ”පුද්ගල නාමලේඛනයට පුරවැසියන්ගේ පවුල් තොරතුරු, රැුකියා තොරතුරු ආදිය පමණක් නොව දික්කසාද වී ඇත්නම් අදාළ නඩු අංකය පවා ඉල්ලා සිටිනවා. අපේ රටේ ක‍්‍රියාත්මක වන දික්කසාද නීතියට අනුව එක් පාර්ශ්වයක් වැරදිකරු වීම අවශ්‍යයි. එහිදී නොයෙක් අප‍්‍රසන්න හා අසත්‍ය චෝදනා එල්ල කොට ඒවා ලේඛනගත කැරෙනවා. මේ තොරතුරු ලෙහෙසියෙන් සොයා ගත වීම හරහා දේශපාලන ප‍්‍රතිවාදීන්ට හා රජයේ විවේචකයන්ට පුද්ගලික මඩ ප‍්‍රහාර එල්ල කිරීමට එය යොදා ගත හැකියි. අප ජීවත් වන්නේ එවන් අකටයුතු හා අමනකම් මෑත ඉතිහාසයේ එළිපිටම සිදු කැරුණු සමාජයක බව අමතක නොකරන්න!”
මෙම තොරතුරු දැනටමත් රාජ්‍යතන්ත‍්‍රයේ තැන් තැන්වල විසිර පවතින බව ඇත්තයි. එහෙත් ලිඛිතව කඩදාසිවල ගොනු වී තිබෙන, අකාර්යක්ෂම ලෙස ගබඩා කොට ඇති එම තොරතුරු ඩිජිටල්කරණය කොට, ලෙහෙසියෙන් පරිශීලනය කළ හැකි හා නිතර යාවත්කාලීන කළ හැකි මට්ටමට ගෙන ආ විට ආවේක්ෂණය මෙන්ම එදිරිවාදිකම් මත ඉලක්ක කැරෙන අයථා භාවිතයන් කිරීම බෙහෙවින් පහසු වනවා.
2017 සැප්තැම්බරයේ ගැසට් කරන ලද අදාළ රෙගුලාසි මෙරට ව්‍යවස්ථාවේ සහතික කොට ඇති මානව හිමිකම්වලට එරෙහි වන බවට තර්ක කරමින් එක් පුරවැසියෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට තිබෙනවා.
ජාතික පුද්ගල නාමලේඛනය ලෙසින් ඒකරාශී කැරෙන පුරවැසි පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත්, එම තොරතුරුවලට නිල වශයෙන් පිවිසීමේ අවසරය ලත් සමහර රාජ්‍ය නිලධාරීන් හරහා වුවද එය අයථා භාවිත කිරීමේ ඉඩ හා අවදානම ඇති බවත් පෙත්සම ඉදිරිපත් කළ ගණකාධිකාරී රවි රත්නසභාපති තර්ක කරනවා.
ැ-භෂක්‍ නිකුත් කිරීම සඳහා මෙතරම් පුළුල් තොරතුරු සමුදායක් ඉල්ලා සිටින්නේ ඇයිදැයි ඔහු ප‍්‍රශ්න කරනවා. එම තොරතුරු හරහා ඕනෑම පුරවැසියෙකුගේ සම්පූර්ණ පවුල් ගහ හෙවත් පවුල් විස්තරත් එකතු කැරෙන අතර මර්දනකාරී පාලන තන්ත‍්‍රයකට අවශ්‍ය නම් සිය විවේචකයන් හා දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ පවුලේ උදවිය ලෙහෙසියෙන් හඳුනා ගෙන පීඩන එල්ල කළ හැකි වන බව ඔහු කියනවා.
”මෙසේ එකතු කැරෙන පෞද්ගලික තොරතුරු පිටතට ලීක් වීමේ අවදානම ඇති තරම් සලකා බලා නැහැ. මේ තරම් තොරතුරු ඒකරාශී කරන්නේ ඇයි? කාර්යක්ෂම රාජ්‍ය සේවා සඳහා මේ සියල්ල අවශ්‍යද? එසේම රෙගුලාසිවල පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඉල්ලා සිටිය හැකි තොරතුරු නිර්මාණය කොට නැහැ. එනිසා සිත් සේ විස්තරාත්මක තොරතුරු එකතු කිරීමට තැත් කිරීමේ අවදානමක්ද තිබෙනවා” යයි රත්නසභාපති කියනවා.
ඬේලි මිරර් පත‍්‍රයට කතා කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2017 නොවැම්බර් 13 වැනිදා කියා සිටියේ මෙයයි. ”අපි ඉහළ මට්ටමේ දත්ත ආරක්ෂක පියවර ගන්නවා. අප සතු වන පුරවැසි තොරතුරු නීති විරෝධී ලෙස කිසිවකුට ලබා ගන්නට ඉඩ තබන්නේ නැහැ.”
එහෙත් ජාතික ආරක්ෂාවේ මුවාවෙන් මිලිටරිය හෝ ආරක්ෂක අමාත්‍යාංශය මේ තොරතුරු ඉල්ලූවොත් නොවලහා දීමට දෙපාර්තමේන්තුවට සිදු වනවා.
පෞද්ගලික එදිරිවාදීකම් හෝ දේශපාලන අරමුණු හෝ උදෙසා මිලිටරිය හෝ දේශපාලකයන් මේ තොරතුරු ඉල්ලීමට, ලබා ගැනීමට හා අයථා භාවිත කිරීමට ඉඩ තිබෙනවා.
වත්මන් පාලනය යටතේ යම් සංයමයක් දක්නට ලැබුණද මෙවන් දත්ත ඒකරාශිවීමක් අනාගතයේ බලයට එන රජයක් අතට පත් වී මර්දනයේ අංගයක් වීමට ඉඩ තැබිය
යුතුද?
පුරවැසියන්ගේ සමස්ත පැටිකිරිය වැරදි අත්වලට පත් වූ විට කුමක් සිදු විය හැකිද?
පනින්න පෙර සිතා බලමු!.