රාවය

අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම

අශ්වයා  පැන ගිය පසු  ඉස්තාලය වැසීම

රජිදු කාශ්‍යප

ශී‍්‍රලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සදහා නවසීලන්තය බලා පිටත් වෙන්නේ ම ඉතා ම සුදුසු ම කණ්ඩායම ද යන්න ප‍්‍රශ්නාර්ථයක් කර ගනිමිනි. වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පෙර පැවැති සංචාරවල දී ද මෙම ප‍්‍රශ්නය ම පැන නැංගේය. ඔවුන් අටුව කඩා පුටුව හදන වඩුවා සේ ප‍්‍රශ්නයෙන් ඒ අවස්ථාවේ බේරීම සදහා යමක් කර නිහඩ වීමය සිදු කළේ. අවස්ථාව ලද පසු නැවතත් ඒ දේ ම සිදු කිරීමය ඔවුන්ගේ පුරුද්ද.
නවසීලන්තයේ දී සිදු වූයේ ද එහි ම කොටසකි. ඉතා ම සුදුසු ක‍්‍රීඩකයන් බංකුවේ හිදුවා නවසීලන්ත සීතල විදින ක‍්‍රිකට් නිලධාරීන් කළේ තම හිතෛශී මිතුරාගේ පුත‍්‍රයා කරලියට ගෙන ඒමය. ඒ මගින් ලැබෙන වරප‍්‍රසාද මත ගිනියම් වෙමින් සීතල ගෙවා දැමීම ය. වඩාත් කණගාටුව නම් මේ සංචාරයේ ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ විධායක තත්ත්වයේ නිලධාරීන් ද සහභාගී වෙමින් සිටිය දී මේ දේවල් සිදු වීම ය. මේ දේවල් සදහා අනුබල දීම ය. නොඑසේ නම් නෑසූ කන් ව හෝ නොදුටු සේ සිටීම ය.
අප මේ මගින් අදහස් කරනුයේ ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය නියෝජනය කරමින් සහභාගී වූවන් සර්ව සාධාරණ කිරීමකට සැරසීමට නම් නොවේ. මේ විනාශයේ වගකිව යුතු එක් පාර්ශ්වයකි ඔවුන්. ආරංචි ලෙසින් නම් මේ වෙනුවෙන් වැඩි වශයෙන් ම දර දිය ඇද ඇත්තේ ඔවුන්ගෙන් ම කෙනක් බැව් ය.
මේ අටුවා ටීකා ටිප්පනී විමසනවාට වඩා අප පළමු ව නවසීලන්ත සංචාරයේ අපේ ක‍්‍රීඩකයන්ගේ කෙරුවාව සම්බන්ධයෙන් විමසිලිමත් වෙමු.
ඞී කාණ්ඩයෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට එක් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ කාණ්ඩයට පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අයත් වූයේ ය. මේ අතුරින් පාකිස්ථානය කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය කණ්ඩායම් සුඵ වෙන් තැකූ ක‍්‍රිකට් නිලධාරීන් සුපිරි වටයට පිවිසීම ඉතා ලෙහෙසියෙන් කළ හැක්කක් බැව් උදම් ඇනූ හ.
ඒ උදම් ඇනීමත් තවත් දෙගුණ තෙගුණ වූයේ අයර්ලන්ත කණ්ඩායම ලෙහෙසියෙන් ම කඩුලූ 7කින් පරාජය කිරීමත් සමග ය. නමුත් මේ උදම් ඇනීම ලොප් වෙන්නේ පාකිස්තානය වෙතින් සේ ම ඇෆ්ගනිස්ථානය වෙතින් ද අප ක‍්‍රීඩකයෝ පරාජය ලැබීමත් සමගිනි.
සුපිරි වටය අහිමි වූ ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක‍්‍රීඩකයෝ පළිහ ශූරතාවලියේ පැවැති පළමු තරගයෙන් කෙන්යාවට එරෙහිව ලකුණු 311ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබමින් තමන් වෙත නැවත අවධානය දිනා ගත් හ.
මේ අවධානය ක‍්‍රීඩකයන්ගේ පැත්තෙන් සුබවාදී වූව ද නිලධාරීන්ගේ පාර්ශ්වයෙන් නම් ගිනිපිමක් ම විණි. ඒ මෙම තරගයේ දී වයස අවුරුදු 19න් පහළ එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව පහසුවෙන් ම බි`ද හෙළීමට සමත් වූ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ හසිත බෝයගොඩ සහ පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වූ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ හරීන් බුද්ධිල වීරසිංහ නිසා ය.
හසිත් බෝයගොඩ මෙම තරගයේ දී පන්දු පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 28ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 191ක් ලබා ගත්තේ ය. කෙන්යා පිළිතුරු ඉනිමේ දී වමතින් දග පන්දුයවන හරීන් බුද්ධිල වීරසිංහ ලකුණු 27කට කඩුලූ 4ක් දවා ගන්නේ ය.
මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා ම මෙම තරගාවලියේ නිලධාරීන්ගේ දඩු අඩුවට අසුවූවෝ ය.
හසිත බෝයගොඩ තරගාවලියේ පළමු වටයේ සහභාගී වූයේ අයර්ලන්තය සමග පැවැති පළමු තරගයට පමණි. අනෙක් තරග දෙකේ දී ම හසිතට හිමි තැන වූයේ බංකුවයි. පළමු තරගයේ දී ඔහුට කිසිදු ලකුණක් ලබා ගත හැකි වූයේ නැත. එහෙත් ඔහු කණ්ඩායමේ සිටි වඩාත් ම විශ්වාසය තැබිය හැකි පිතිකරුවා ය. ඒ බැව් ඔහුගේ පසුගිය තරග තොරතුරු ද සනාථ කරයි.
හරීන් බුද්ධිල වීරසිංහ පළමු වටයේ කිසිදු තරගයකට යෙදවීමට මේ නිලධාරීන් කටයුතු කළේ නැත. එසේ නමුදු හරීන් මෙම තරගාවලියට සුදුසුකම් ලබන්නේ පෙර පැවැති එක් තරගාවලියක දී හලා දමා පසුව ඉන්දියාවේ පැවැති තරගාවලියකට යවමින් එහිදී පෑ දක්ෂතා හේතුවෙනි. ඊටත් වඩා හරීන් මෙවර පාසල් වාරයේ මේ වෙද්දී කඩුලූ 50කට ආසන්නව දවාගෙන ඇති ක‍්‍රීඩකයෙකි. දැනට වසර කිහිපයක් ම ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සම්මාන උළෙලවල දී දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන ලබා ඇති ක‍්‍රීඩකයෙකි.
කපා දැමෙන්නේ එවන් ක‍්‍රීඩකයන් දෙදෙනෙකි. එහෙත් මේ තරගයේ දී දක්ෂතා දක්වන්නේ ඔවුන් දෙදෙනාම ය. ඔවුන් දෙදෙනාගේ මේ දක්ෂතා සංචාරයට එක් වූ නිලධාරීන්ට ලැජ්ජා බය තිබේනම් නිරුවත් කිරීමකට එහා ගිය සිදුවීමකි.