රාවය

මගඩිය හා විගඩම

මගඩිය හා විගඩම

ශාන්ති දිසානායක

මින් වුවද තිරසාර ලෙස දැල්වෙන දරකොට දුරුතු සීතල පලවා හරිමින් උකටලී සිරුරු උණුසුම් කරවයි.
පිළිකන්නේ දෙහි දොඩම් හා නාරං ගස්වලට අතුරු ආන්තරාවක් නොවන ලෙස දැල්වූ ගිනිමැළය වටා බාල තරුණ මහලූ කොයි කව්රුත් එක්රොක්වී හි`දින්නේ ගිනි තැපීමේ ඒකායන පරමාර්ථයෙන් පමණක් නොවේ. ගමක රටක කයි කතන්දරද හුවමාරු කර ගනිමිනි.
‘‘මෙදා දුරුත්තේ හීතල නං ඉවසන්ඩම බෑ… ඇට කෝටුත් කකියන් නැද්ද අප්පා’’ යි මැසිවිලි නගන්නී මුත්තම්මායි උන්දැගේ අනූ වයස් පංචස්කන්ධයට ඉවසිය නුහුණු සීතල ආණ්ඩු මට්ටු කරන අදහසින් වාගේ ගිනිමැළය බුර බුරා ඇවිළෙයි. විටින් විට නන් පැහැ ගැන් වෙන ගිනිසිළු මත රැදුණු කෙල්ලගේ ඇස්ගෙඩි විමතියෙන් විසල් වෙයි. ජීවයද විනාශය ද ගෙන එන ගින්දර සොයාගත් ආදී කාලීන මානවයා පිළිබ`දව දීර්ඝ හා විස්මයජනක කතාන්දර කියා දුන් තාත්තා මේ උදාසන කඩ බක්කියේ තරාදියත් එක්ක ඔට්ටු වන බව සිහි කළාය. ඇගේ දැසට කදුළු නැගිණ. ගින්නේ නොව ඔහුගේ උණුසුම පතා ඇය කදුළු සලන්නට පටන් ගත්තාය.
‘‘මේං මේකි අඬනවා’’ යි ඉස් ඉස්සෙල්ලාම දැනුම් දුන්නේ උකුසු ඇස් ඇත්තී ඩිංගි මුත්තම්මායි. උන්දැ තකහනියේ සිය සොයුරිය දකින්නට ආවේ නපුරු සිහිනයක් දුටු බව කියමිනි.
‘‘අනේ අර මිනිහා බඩට කනවද මං දන්නෑ’’ යි උන්දැ සිය ස්වාමි පුරුෂයා පිළිබදව ළතවන කල වහා උත්තර බදින්නී කෙල්ලගේ මුත්තම්මායි උන්දැගේම අක්කණ්ඩියි.
‘‘නොකා? උඹේ ඉහ නිකට ඇහැට පේනකංම ඒ මිනිහා ඉදී බඩිගින්නේ… ආපු එකේ තව දවසක් දෙකක් ඉදලාම පලයං නෙග්’’
‘‘කොල්ලෝ කෙල්ලෝ නං බලනවා තමා. ඒ වුණාට එවුංදට මං නැතුව සාංකාව වාගේ නැතැ අක්කණ්ඩි’’
ළමිස්සියන්ද කොල්ලෝ දරුවෝද අමතක කරන මුත්තම්මා හොද කුණුහරුපයක් කියන්නට මැළි නොවෙයි.
‘‘ඔච්චර අරෝ ඔබලත් වෙලත් එවුංදැ තවත් උඹත් තෙක්ක හැමනෙනවද?’’
ඩිංගි මුත්තම්මාගේ උගුර කට වේලෙන අතර ළමිස්සියෝ දෑතින් ඒ රත් දෙතොල් තද කොට වසා ගනිමින් පැන දුවති. ඉළන්දාරි කට තද කර ගනිමින් කඩුල්ල පනිති.
‘‘උඩක් බිමක් බලලා කතා කරන්ඩ දන්නෑනේ ඇත්තට අපේ අම්මා… පුංචියම්මටත් බෑනේ මුන්දැව අවුස්සා ගන්නැතුව ඉන්ඩ..’’ යි කටු කුටු ගාමින් දොස් කියන කිරි අම්මා මැහැල්ලන් දෙදෙනා දෙසම රවා බලයි. දුරුතු සීතල පවා අමතකව යන තරමට පිළිකන්න උණුසුම් වෙයි. එහෙත් මේ උදාසන කෙල්ලට ගිනි මැළයේ වුව සුන්දරත්වය හා සාහසිකත්වය දැකගත නොහැක.
‘‘චුට්ටෝ උඹ චුට්ටිට මොකද? කෙරුවේ?’’
කෙල්ලගේ ඇඬිල්ලට වග උත්තර බ`දින්නට සිදුවන්නේ අගක් මුලක් නොදන්නා කොල්ලාටය.
‘‘මං…? මං මොකවත් කෙරුවේ නෑ…’’
කොල්ලා මැහැල්ලන්ගේ ටොක්කකින් ඉස්ගෙඩිය බේරා ගැනීමේ අරමුණින් අනෝදා ගසට නගියි.
බිම චෝදනාත්මක බැල්මෙන් බලා ඉන්නා සනුහරේ උංගෙන් ගැලවෙන්නට නම් උඩ ගස් දෙබල වඩා යෝග්‍ය බව ක්‍ෂණිකව තීරණය කළාක් මෙනි. කොයි කවදත් හාවෙක් මුවෙක් අභය ස්ථානයක් සොයා දිවෙන ලෙසින් ඒ කළු කොල්ලා බඩගාන්නේ ගහකටය. ආදරය පාන්නට වගේම ටොකු අනින්නටද හැත්ත බුරුත්තක් ඉන්නා ගෙදරක කොල්ලෙකුට දිග දඬුද උකුසු ඇස්ද වූවමනා බව සාක්ෂාත් කරමින් ඔහු අනෝදා අතු ඉති අතරින් එබී බලා රිලා මොටෙකු වාගේ විරිත්තුවේ ය.
‘‘එළි විච්චි හැටියේ අඬා වැටෙන්ඩ හොදද….. ගෙදෙට්ටත් එක්ක මූසලයි’’
මුත්තම්මා මී මිණිබිරිය දෙස රවා ගිනි මැළයට දැත දිගු කරයි.
‘‘නිකං නිස්කාරණේ කදුළු වක්කරන්නෑ කව්රු වුණත්…’’ උන්දැට උත්තර දුන් කිරි අම්මා මිණිබිරිය තුරුළු කරගත්තාය.
‘‘ඇයි මයේ අම්මා අඬන්නේ? බඩ කකියනවද? උණ ගැනෙන්ඩ එනවද?’’
දෙකම්මුල් තෙමා දමන කදුළුත් එක්කම කෙල්ල හිස දෙපසට සැළුවාය.
‘‘එහෙනං මොනවද ඕනෑ’’
‘‘තා….. තාත්තා…. තාත්තා’’
ගැහැනිය මුවග හිනාවෙන්ද දෙනෙත ක`දුලින්ද කෙල්ල සිප සැනසුවාය.
‘‘තාත්තා හවසට එයි..’’
‘‘බෑ…. බෑ…. මට ගෙදර යන්ඩෝනෑ…’’
ඩිංගි මුත්තම්මා ඒ රාජකාරිය බාරගත්තාය.
‘‘මං ගිහිල්ලා ඇරලවන්නං කෙල්ලව… යන්ඩත් බැරි විච්චි කාලෙකිං ඒ පැත්තේ. අපේ එකීගේ කළඔවත් දැක බලාගෙන එන්ඩ එපැයි මං ආපිට යන්ඩ කලිං…’’
කිරි අම්මාගේ චීත්තයේ කදුළුත් හොටුත් උලා ඩිංගි මුත්තම්මාගේ අතක එල්ලූණ කෙල්ල ඉහළ බැලූවාය. එක් හදිසි හා කෙටි බැල්මකින් තවම දෙබලක් මත ඇනතියාගෙන ඉන්න කොල්ලාගෙන් සමුගත්තාය. ඔහුගේ ඇස්ගෙඩි දෙක එක්වන්ව එක හඬින් ඉල්ලා සිටියේ නොයන්නැයි කියා වුවත් ඇය මහත් ප‍්‍රබෝධයෙන් කඩුල්ල පැන්නාය.
‘‘ඔය ගියාට දවසයි දෙකයි. ඕකි එන්නැද්ද අයෙමත් කිරියම්මේ කියාගෙන’’
මුත්තම්මා කාගේ කාගේත් වියෝදුක තුනී කරන අදහසින් කීවාය.
‘‘ඇට්ටරයි තමා හරියට. ඒ වුණාට ඒකි නැති වුණහම වස පාළුයි අපේ අම්මේ.’’
කිරි අම්මා කුස්සියට වැදුණේ හූල්ලා වැටීමෙන් අනතුරුවය.
කොතෙක් උණුසුම් වුවද බඩසාය නිවාගන්නට නම් කැදැල්ල අත හැර යුතු බැවින් ඔබ මොබ ඉගිල යමින් අහර සොයන කුරුල්ලෝ දකිමින් කෙල්ල පය ඉක්මන් කළාය. එහෙත් ඇගේ බාරකාරියට නම් කිසිදු හදිසියක් නැත්තේය. මග දෙපස ලෝලූ ගස් යට නවතිමින් ලෝලූ දළු මල් නෙළන අතරතුරු ‘‘ලෝලූ ඇඹුලක් උයඤ්ඤං අද මං ගෑවිච්චි හෑවිච්චි තැන කාන්ඩ’ යි පාරම්බෑවාය.
කෙල්ල නම් පි‍්‍රය කළේ ලෝලූ ගෙඩි විකන්නටය. දිළිසෙන ලෝලූ ගෙඩිය දත් දෙපෙළට මැදි වූ සැණින් මුව තුළ එක්රොක්වන සෙවල ස්වභාවයන් හා අපූරු රසයෙන් ඇය ලද්දේ අපමණ සොම්නසකි.
‘‘නුගේ දේවාලෙටත් ගොඩ වෙලාම යං. බාරයක් වෙන්ඩෝනෑ.’’
අහසේද පොළවේද පුළුල් ඉඩකඩක් උදුරාගත් යෝධ නුග ගස දුටු හැටියේ ඩිංගි මුත්තම්මා දේව බැතියෙන් උතුරා ගියාය.
තාත්තාගේ පුළුල් ළය මඩලේ මුහුණ ඔබාගෙන ඇස්දෙක පියාගන්නට තව බොහෝ වෙලාවක් ගතවන බව කෙල්ල වටහාගත්තාය. මේ මැහැල්ල සැතපුම් දෙකක දුර යාමට දවසෙන් අඩකටත් වඩා ගත කරන බව දැනටම පෙන්නුම් නොකරන්නීද? එහෙත් කෙල්ල අමනාපයෙන් නොව මෝදු වන කුහුලින් එල්ලා හැලෙන නුග අරළු දෙස බලා සිටියාය. පොළොවේ කි`දා බැස රහස් සොයන්නට නොඉවසිලිමත් වන ලෙසින් ඒ නුග අරළු දිගට දිගේ එල්ලා හැලේ. යෝධ වනස්පතිය වෙත ගුප්ත හා රහස්‍යමය බවක් එක් කරන නුග අරළු කිසියම් ජීවින් විශේෂයක් මෙන් දකිමින් හගිමින් ඇය මැහැල්ලගේ චීත්තයේ පිහිට පැතුවාය. සීතලටත් බයටත් දුකටත් විළියටත් චීත්තයට වඩා දෙයක් ඇයට ඇත්තේ නැත. හරියට සෙබලාට පළිහ වගේය. දහසක් අතෝරයන්ගෙන් ඇය ගලවාගන්නේ ඒ මල් ඉහිරුණු චීත්තයයි. බත්, හොදි හා මල් සුවද විහිදෙන චීත්තයි.
‘‘දෙයි හාමුදුරුවනේ හදුන්කුරු සුවද වෙනුවට ගොම ගදින් නැහැ පුඩු හැකිළී යද්දී මැහැල්ල බෙරිහන් දුන්නාය. කෙල්ල බය බීතව වටපිට බැලූවාය.
බත් දමාගෙන කන්නට පිළිවන් තරමේ පවිත‍්‍ර බවින් යුතු වූ දේවාල බිම කොතරම් අපවිත‍්‍ර වී දැයි කිව හොත් ළමා හා මහලූ ඇස් පුළුල්ව අප‍්‍රමාණ විමතියෙන් උතුරා ගියේය.
‘‘මොන හරකද යකෝ මේ දේවාල මිදුලේ හරක් බැන්දේ?’’
ඩිංගි මුත්තම්මා කෝපයෙන් පුපුරු ගසමින් දේව දාසයා සොයා ඇවිද්දාය. පසෙක කුඩා කුටියට පයක් ගසන්නට නුපුළුවන. අයාලේ යන දඩෝරියෙක් ? එහි ලැග්ගා මදිවට පිටව ගොස් තිබෙන්නේ වසුරු හෙළීමෙන් පසුවය.
‘‘ඉදකිං… දේවාලේ බල්ලොත් රීලා… ගන්දස්සාරේ නහය තියාගෙන ඉන්නේ මොකාද? ඇයි දෙයියනේ කොයි කපුවා? ඒ මිනිහා චුත වෙලා දිවිය ලෝකේම උත්පාද වුණාද මේ ඩිංගට..’’
කිසිවෙකු ගොරොද්දේ අදින හඬින් කෙල්ල තිගැස්සුණාය.
‘‘මු. මුත්තම්මේ…’’ යි ඇය වයන බෙරයක් නැතුවත් පරළවන මැහැල්ලගේ අතින් ඇද්දාය.
‘‘සීවරං දෙයියනේ…’’
මිනිසෙකු නොව යකෙකු නොඑසේනම් මළ පෙරේතයෙකු දුටු කලෙක මෙන් උන්දෑ මුර ගෑවාය.
කපුවා හතර ගාතය විසුරුවා හැර වැටී වැතිර සිටියේ ගොම ගදට තවත් දුගදක් එක් කරමිනි.
‘‘කපු රාළ නේද? බීලා බීලා මෙලෝ සිහියක් නැතුව මෙතන වැටිලා හිටියම දඩාවතේ යන ගොං නාම්බොයි බලූ දණ්ඩොයි මේකේ රීලා යනේක ආයේ අහන්ඩත් දෙයක් යැ..’’
ඩිංගි මුත්තම්මා දෙස් දෙවොල් තැබුවේ ඉහළ නිල් අහසේ වැඩ වාසය කරන දෙවි දේවතාවුන්ට පමණක් නොව පහළ මහ පොළොව පත්ලේ හතර මහ අපායේ යම පල්ලන්ටද ඇසෙන තරමට උස් හඬිනි.
නා ගහට ඔබ්බෙහි වූ පුංචි ලිදෙන් වතුර බාල්ලියක් ගෙනා උන්දැ මළාක් මෙන් වැතිර හි`දිනා දේවදාසයා මුළුමණින්ම තෙමී යන පරිද්දෙන් හැලූවාය.
සීතල දියෙන් තෙමුණ මිනිසා දනි පනි ගා නැගිට්ටේය.
‘‘ක… කව්ද? මො… මොකාද?’’
ඒ ප‍්‍රශ්න දෙකටම ඇය දුන්නේ එක් උත්තරයකි.
අත වූ බාල්දියෙන් මල වූ පහරින් දෙපා මත මදක් වැනුණ මිනිසා නැවතත් බිම ඇද වැටුණේය.
‘‘නෙද්දකිං… කාලකණ්ණියා.’’ යි කෙළ පිඬක්ද බිම හෙළු මැහැල්ල මී මිණිබිරියගේ කුඩා අතක් තදින් අල්ලා ගත්තාය.
‘‘තමුන්නේ රාජකාරිය දේව කාරිය නං ඒක සර්ධාවෙං කරගෙන දෙයියනේ කියලා ඉන්නවා මිසක සීසං නැතිවෙනකං බීගෙන දේවාලේ ජරා කොරන කපුවා හතරට ඉරලා හතර කොණේ එල්ලන්ඩයි වටින්නේ.’’
ඩිංගි මුත්තම්මාගේ ඒ දෙස් දෙවොල් මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ කලහ කරගත් පාර්ලිමේන්තු නියෝජිතයන් සම්බන්ධයෙන්ද වලංගු නොවන්නේද?
බැදුම්කර මගඩිය පිළිබදව කොල්ලා කුරුට්ටා පවා දන්නා බැවින් යළි යළිත් විස්තර කළ යුතු නැත. එය පසුගිය කාලාන්තරය මුළුල්ලේ මෙරට සිදු වූ වංචා දූෂණ අතරින් එකක් පමණි. සොබාව සෞන්දර්යයෙන් අනූන රටක් අද වන විට මුහුණ පා තිබෙන දුක්ඛිත හා අවාසනාවන්ත ඉරණමට හේතු කාරණා බලයේ සිටින ආණ්ඩු විසින් කිසිදු හිරිකිතයකින් තොරව සිදු කරන ලබන මහා පරිමාණයේ වංචා හා දූෂණ බව අමුතුවෙන් කිව යුතු නැත.
වත්මන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද බැදුම්කර කොමිසමේ වාර්තාව හේතු කොටගෙන පවත්වන ලද විශේෂ පාර්ලිමේන්තු සභා වාරය තවත් කළු පැල්ලමක් නොවූයේද? ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය එකිනෙකාට චෝදනා කර ගනිමින් හැසිරුණු වගකීම් විරහිත හා පහත් ස්වාභාවය පොදුවේ මුළු මහත් රටටම අපකීර්තියක් නොවන්නේද?
උගත් බුද්ධිමත් හා නොසැලෙන සුළු නායකත්වයක් ලෙස පැසසුමට ලක්වන පුස් අගමැති රනිල් වික‍්‍රමසිංහ ද මේ ජරා ජීර්ණ දේශපාලන මඩ ගොහොරුවේම එරී ගිලී සියො ළග අපවිත‍්‍ර කරගත් ආකාරය තව දුරටත් රහසක් නොවේ.
පුරවැසියා තුළ අපේක්‍ෂා දල්වන දේශපාලනඥයන් මේ ආකාරයෙන් වැඩි කල් නොයවා පරිහානියට ලක් වන්නේ කාගේ කරුමයට දැයි කනස්සල්ලට පත් වීමෙන් පළක් නොවේ.
හැට හැත්තෑ වසරක ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක විසින් පාලනය කළ රටක වත්මන් තතු කවරේදැයි විමසා පිරික්සා බලන කළ ඇතිවන්නේ තදබල ශෝකයක් කෝපයක් හා කළකිරීමක් පමණි.
වැඩිම සියදිවි හානි කරගැනීම්, ඉහළම දූෂණය, පරිසර විනාශය, ස්තී‍්‍ර දූෂණ හා ළමා අපචාර, දිනක් නැර වාර්තාවන මිනීමැරුම්, මංකොල්ලකෑම්, කෙළවරක් නැති රිය අනතුරු…. මේ ලැයිස්තුවේද කෙළවරක් දැකිය නොහැක.
ඉතිං එහෙව් රටක පාර්ලිමේන්තුව තුළ අපේ මහජන නියෝජිතයන් ගහමරා ගන්නා අයුරු නරඹමින් හුදී ජන පහත් සංවේගය වඩවාගන්නවා මිසක පුරවැසියන්හට කළ යුතු වෙනත් කාර්යයක් නැත්තේද?