ගිම්හානයේ සිහිනයක් පේ‍්‍රමවන්ත කුමාරයෝ වූ හැටි

පසුගිය වසරේ රාජ්‍ය නාට්‍යඋළෙලේ හොඳම පරිවර්තිත නාට්‍ය පිටපතට හිමි සම්මානයට හිමිකම් ලබන්නේ ප‍්‍රියංකර රත්නායක විසින් නිෂ්පාදිත ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’ නාට්‍යයයි. ශේක්ස්පියර්ගේ නාට්‍යයක් වන Midsum mer Night’s Dream නම් එම නාට්‍යය සිංහලට පරිවර්තනය කර ඇත්තේ ජයවතී ජයසිංහ විසිනි. ඇය එම නාට්‍යය ‘ගිම්හානයේ සිහිනයක්’ නමින් 1978 වසරේදී වේදිකාවටද රැුගෙන විත් තිබුණි. මේ ජයවතී ජයසිංහ රාවයට කළ අදහස් දැක්වීමකි.

 

Midsummer Night’s Dream මීට වසර ගණනාවකට පෙර ‘ගිම්හානයේ සිහිනයක්’ බවට පත් වෙන්නේ කොහොමද?
ඒ කාලයේ මම වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගැන්වුවා. 1972 අවුරුද්දේ වගේ මට Midsummer Night’s Dream කියන පොත කියවන්න ලැබුණා. ඒක ගැඹුරු නාට්‍යයක් නෙමෙයි කොමඩි එකක්. නමුත් හොඳ කොමඩි එකක්. අපේ පාසලේ හිටිය ඉංග‍්‍රීසි ගුරුවරයා එක්ක මම දවසක් කීවා මට මේ නාට්‍යය කරන්න ආසයි කියලා. ඔහු ඉතා කැමැත්තෙන් ඒකෙන් පොඩි කොටසක් මට පරිවර්තනය කරලා දුන්නා. ඒක දැක්කාම මට මේක සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරන්න ඕනෑ කියන අදහස ආවා. එය ඉතාම කාව්‍යමය නාට්‍යයක්. ඉතා අලංකාර අදහස් ටිකක් ඒ නාට්‍යයේ තිබෙනවා. ඉතින් ඒ කාව්‍යමය අදහස් ටික සිංහලට ගෙනෙන්න මට හරිම ආසා හිතුණා. මම මුළු නාට්‍යයම මුල සිටම පරිවර්තනය කළා. පස්සේ මම පාසලේම ළමයි යොදාගෙන ඒ නාට්‍යය වේදිකාගත කළා. එය එදා බලන්න ආ අයගේ කතාබහට ලක්වුණු නාට්‍යයක් වුණා. ඒක ඒ අය අතරේ ජනප‍්‍රිය වුණා. ඒ කාලයේ පුවත්පත්වලත් ඒ ගැන ලියැවුණා. නරඹන්න පැමිණි ප‍්‍රවීණ කලාකරුවන් පවා එය ඇගැයීමට ලක් කළා. එහි දර්ශන දහයම බලන්න හොඳ පේ‍්‍රක්ෂක පිරිසක් හිටියා. ඒ නමුත් එය දුර පළාත්වලට ගෙනයන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒත් මට නාට්‍යවලට තිබුණු ආශාව නැති වුණේත් නෑ.
පස්සේ ගෝතමී විද්‍යාලයට ආවාට පස්සේ මට කලා උළෙලක් කරන්න තිබුණා. එහිදීත් මම නාට්‍යයක් කළා. එයට අනෙක් පාසල්වල ළමයි පවා සහභාගි කරවා ගත්තා. එය දර්ශන දහයක් වේදිකාගත වුණා. ගෝතමී විද්‍යාලයේ සිටිය කාලයේ මට අලූත් අලූත් අදහස් ගොඩක් තිබුණා. ඒ පාසලේ පරිසරයත් ඉතාම අලංකාරයි. පැරණි ගෘහනිර්මාණ ශිල්පවලට අයත් ගොඩනැගිලි එහෙමත් තිබුණා. මම ඒවා රජමාලිගා බවට හරවලා 1978දී ගුත්තිලයේ එන උදේනිපුර සැණකෙළිය කළා. එය නරඹන්න කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්, මාධ්‍යවේදීන් පැමිණියා. ඒ අය ඒක ඉතා අගය කළා. ඒ වගේ දේට පාසලෙනුත් විශාල සහායක් තිබුණා. මට එළියට ගිහින් නාට්‍ය කරන්න අවස්ථාව නොලැබුණත් ඒ ආශාව පාසලේ කළ ඒ නිර්මාණවලින් මගහරවා ගත්තා. අවසානයට මම සිංහල රාජධානියේ අවසානය නාට්‍යා නුසාරයෙන් පාසලේ ළමයි යොදාගෙන කළා. ළමයි කෞතුකාගාරයට එක්ක ගිහිල්ලා, ඉතිහාසය කියලා, ලේඛන හොයාගෙන, ඒවා ළමයින්ට කියාදීලා තමයි ඒක කළේ.

‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’ අද සම්මානයට පාත‍්‍රවෙනවා. ‘ගිම්හානයේ සිහිනයක්’ නමින් එදා ඔබ පරිවර්තනය කර වේදිකාගත කළ නාට්‍යය ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’ බවට පත්වෙන්නේ කොහොමද?
කාලයක් ගියාට පස්සේ දයාදේව එදිරිසිංහ දවසක් ඇවිත් මේ නාට්‍යය මගෙන් ඉල්ලූවා. මම කිසිම පැකිළීමකින් තොරව ඔහුට එය ලබා දුන්නා. පස්සේ කාලෙක ඔහුගෙන් එය ප‍්‍රියංකරට ලැබිලා තිබුණා. කාලයක් යනකම් ඒක කාගෙද කියන එක ඔහුත් දැනගෙන ඉඳලා තිබුණේ නෑ.
පසුව ඒ ගැන ප‍්‍රචාරය වෙද්දී එය දැක්ක කෙනෙක් කියලා ප‍්‍රියංකර දැනගෙන ඔහු මට කතා කළා. ඒක අද කවුරුහරි කරන එක ගැන මම ඉතාම සතුටු වුණා. මම එහි මංගල දර්ශනය නරඹන්නත් ගියා. ඉතාම හොඳ නිර්මාණයක් ප‍්‍රියංකර කරලා තිබුණා. ගිම්හානයේ සිහිනයක් නමින් අපි ඒ නාට්‍යය කළ කාලේ අද තිබුණු තාක්ෂණය තිබුණේත් නෑ. අද එහි තිබෙන වේදිකා පසුතල නිර්මාණයන් එහෙමත් ඉතාම ලස්සනයි. එහි තිබුණේ ග‍්‍රීක චරිත නිසා මමම ඊට ගැළපෙන අන්දමේ ඇඳුම් පැළඳුම් ආදි සියල්ල එදා නිර්මාණය කළා.

‘ගිම්හානයේ සිහිනයක්’ අද ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’ ලෙස දකිද්දී එහි වෙනස ඔබ අද දකින්නේ කොහොමද?
මම නාට්‍ය කළේ විශ්වවිද්‍යාලයේ දී ලැබුණු දැනුමත්, මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ අයගේ දේශනවලින් මට නාට්‍ය පිළිබඳ ඇතිවුණු කැමැත්තත් නිසායි. ඒ වගේම ළමා කාලයේ ඉඳලා නාට්‍යවලට මගේ කැමැත්තක් තිබුණා. ඉතින් එහෙම ඉවෙන් වගේ ලැබුණු දැනුමකින් තමයි මම නාට්‍යය කළේ. ප‍්‍රියංකරලා ඒවා ගැන විශේෂ අධ්‍යයනයන් කරලා, ක්ෂේත‍්‍රයේ ඉඳලා, ලොකු අත්දැකීම් තිබෙන අයයි. ඒ වගේම අද ඒ අයට එදාට වඩා සම්පත් තිබෙනවා, අලූත් තාක්ෂණය තිබෙනවා. ඒ කාලයේ මම කළ නිර්මාණය හොඳයි කියලා බොහෝ දෙනෙක් පිළිගත්තා. අද ප‍්‍රියංකරගේ නිර්මාණය හුඟක් හොඳ නිර්මාණයක් ලෙස මම දකිනවා. අවුරුදු කීයක වෙනසක්ද? ඒ අය අපට වඩා හොඳ තැනක ඉන්නවා.

1978 වසරේ මේ නාට්‍යය වේදිකා ගතවෙනවා. එදා කළ නාට්‍යය අදත් ලාංකීය සමාජයට එදා වගේම ගැළපෙන්නේ කොහොමද?
මේ නාට්‍යයේ තියෙනවා සර්වකාලීන ගතියක්. තවමත් අපේ සමාජයේ වැඩවසම් ආකල්ප තියෙනවානේ. පේ‍්‍රමය ගැන වුණත් මාපිය කැමැත්ත මත වෙන්න ඕනෑ කියන දේ තවමත් මේ සමාජයේ තියෙනවා. මේක ඊට වඩා රැුඩිකල්. මේකේ කැමැත්තට විරුද්ධව ප‍්‍රසිද්ධියේ වාද විවාද පැවැත්වෙනවා. වැඩවසම් චින්තනයක තියෙන ගැටුම එහි තියෙනවා. ඒක අදත් සමාජයේ තියෙන එකක්. අනෙක් දේ ඒකේ ලෝක තුනක් ගැන කියවෙනවා. සුරංගනා ලෝකය, රජවරුන්ගේ ලෝකය, කම්කරුවන්ගේ ලෝකය ලෙස. කම්කරුවන් සුරංගනා ලෝකය හා අනෙක් අය එක්ක ගැටෙන විධිය හාස්‍යජනක ලෙස එහි ඉදිරිපත් වෙනවා. ඒකට ඒ කාලයේත් හොඳ ප‍්‍රතිචාර දක්වන පේ‍්‍රක්ෂකාගාරයක් තිබුණා. ඒ දර්ශන දහයම බලන්න සෙනඟ හිටියා. ඒ නිසා ඒක ඕනෑම කාලයකට ගැළපෙන නාට්‍යයක් කියලා මම හිතනවා.

ඔබ වෙනත් ග‍්‍රන්ථ කීපයකුත් පරිවර්තනය කර තිබෙනවා. හැබැයි වෙනත් ග‍්‍රන්ථ පරිවර්තනයට වඩා නාට්‍ය පරිවර්තනය ඉතා සංකීර්ණ කටයුත්තක් කියලා කියන්න පුළුවන් නේද?
ඔව්. මුලින්ම මම පොත් කීපයක් පරිවර්තනය කළා. ඒවා වුණත් කරන්න ඕනෑ ඒවායේ අභ්‍යන්තරයට බැහැලායි. එහෙම නැතිව වචනයෙන් වචනය පරිවර්තනය කළාට ඒවායේ රසය මතු වෙන්නේ නෑ. ඒ නමුත් නාට්‍යයක් පරිවර්තනය කරද්දී එහි නාට්‍යෝචිත අවස්ථා මතුවන ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. සංවාද වුණත් එහෙමයි. මිඞ් සමර් නයිට්වල තියෙන්නේ රිද්මයානුකූල භාෂාවක්. එහි යම්කිසි තාලයක්.