මගේ විශ්වවිද්‍යාලය හිරගෙදර

රසික ගුණවර්ධන

 

ටොයිලට් එකේ වතුර වැක් කෙරෙන දිහා බලාගෙන චිත‍්‍රයක් අඳින්ඩ. නිදාගෙන ඉද්දි වහලෙ තියන මකුළු දැල්වලින් රටාවක් වියන්ඩ. සුළඟට හෙළවෙන ගස් දිහා බලාගෙන කතාවක් හදන්ඩ, ඔබටත් පුළුවන් නම් ඔබත් අපූරු කලාකාරයෙක්.” මෙහෙම කියන්නෙ අපි නෙවෙයි, ඔහුයි.
කුරුණෑගල වැහැර හන්දියට ඇවිත් උපාලි කීවොත් නොදන්නා කෙනෙක් නෑ. වැහැර හන්දියෙන් ටිකක් ඇතුළට ගියහම ඔහු හම්බවෙන්ඩ පුළුවන්.
ඇතුල්වෙන ගේට්ටුව ළඟ ඉඳලම අපිට ඒ අපූරු නිවිච්ච හැඟීම දැනුණා. අවට පරිසරේ බොහොම රස්නෙ වුණත් අපේ පා සිපගත්ත තණකොළ බිස්ස ඒ රස්නෙ මකල දානවා. එක පැත්තක හරි අපූරු මූර්තියක්. තව පැත්තක ඊටත් වඩා අපූරු මූර්තියක්. ගෙට ඇතුළු වෙන තැනම බිත්තියේ එකිනෙක සෑහෙන්ඩ වෙනස් නිර්මාණ කිහිපයක්. ඒ අතරින් අපේ ඇහැ ගත්තේ මේ කාලේ හුඟක් දෙනා කතා වෙන කඩුවට. කඩුවක් හැදුවට මොකෝ උපාලි නන් කඩුව අතේ තියාගෙන කොපුව වනන මිනිහෙක් නෙවෙයි කියලයි උපාලි අපිත් එක්ක කීවෙ.
”ඔබ පොඩි කාලේ ඉඳම්ම කලා වැඩවල යෙදෙනවද?” මම කතාවට මුල පිරුවා.
”පොඩි කාලෙත් කලාවට පොඩි කැමැත්තක් තිබුණා. ඉස්කෝලේ යන කාලේ ඉඳන් පොඩියට ඒක වැඩ කළා. ඊට පස්සේ තමා හරියටම වැඩට බැස්සේ. අපේ අප්පච්චි මේසන් වැඩ කළේ. ඒ හන්දා සිමෙන්ති හැන්ද පොඩි කාලේ ඉඳලම මගෙ අතට හුරුයි.” ඒ බව අපිටත් තහවරුයි. මේ මූර්ති නිර්මාණය ඒ බව කියනවා.
”ඇත්තටම මම හොඳ ශාස්ත‍්‍රීය අධ්‍යාපනයක් ලබපු කෙනෙක් නෙවෙයි. මම එහෙන් මෙහෙන් ඉගෙන ගත්ත මනුස්සයෙක්. මගේ විශ්වවිද්‍යාලය වුණේ හිරගෙදර. මම එතැනින් සෑහෙන්ඩ දේවල් ඉගෙන ගත්තා.”
උපාලි හිරේ ගිය මනුස්සයෙක්. ඒත් ඔහු සුන්දර හදවතක් තියන කලාකාරයෙක්.
උපාලි හිරේ ගිහින් තියෙන්නේ මිනී මරලවත්, හොරකම් කරලවත් නෙවෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ කලාකරුවන්ට උරුම වෙච්ච දෑවැද්දක් වෙන දුප්පත්කම හන්දා. ඒ කියන්නේ ඔහු ගත්ත බැංකු ණයක් ගෙවා ගන්ඩ බැරුව. ඒ වෙද්දි තමන්ගේ බිරිඳත් වෙන්වෙලා හිටපු නිසා ඔහුට ඇප දෙන්ඩ කෙනෙක්වත් හිටියෙ නෑ කියලයි උපාලි අපිත් එක්ක කිව්වේ.
”හිරේ ඉන්න ගමන් මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. මනුස්සයෙක් දුකින් ඉද්දි මොන වගේද? සතුටින් ඉද්දි මොන වගේද? තරහින් ඉද්දි මොන වගේද? ඔය හැම මූණක්ම මම හිරේදි දැක්කා. ඒ මූණු මට තව මතකයි, ඒවා තමා මගේ නිර්මාණවලට පාදම වෙන්නේ. ඇතුළෙදි එකම මූණ නොනවත්තා අපි හැම වෙලේම දකිනවා. ඒ දකින දකින වාරයක් පාසා ඒ මූණුවල සිද්ධ වෙන වෙනස මම ගොඩාක් අධ්‍යයනය කළා.”
”මම විශ්වාස කරන විදිහට අපි මොකක් හරි නිර්මාණයක් කරද්දි, ඒක චිත‍්‍රයක් වෙන්ඩ පුළුවන්, මූර්තියක් වෙන්ඩ පුළුවන්, අපි හැමවෙලේම යථාර්ථය ඇතුළෙ ඉන්ඩ උත්සාහ කරන එක වැදගත්. ඒකට අපිට සෑහෙන උදව්වක් වෙන්නේ අපි ලබාගන්න අත්දැකීම්. ඒක අපේ නිර්මාණයේ සාර්ථකත්වයට ලොකු හේතුවක් වෙනවා.”
”කවුරු කොහොම කීවත් අපි සාමාන්‍ය මනුස්සයට කතා කරන්ඩ ඕනේ. එහෙම නැතුව සෑහෙන උගතුන් උදෙසා විතරක් නිර්මාණ කරන එකේ තේරුමක් නෑ. අපේ මිනිස්සුන්ට කලා රසය නෑ කියන ගොඩක් කලාකාරයෝ සාමාන්‍ය මිනිසුන් උදෙසා තමන්ගේ නිර්මාණ මෙහෙයවන්නේ ගොඩක් අඩුවෙන්.”
අපේ කතා නායකයා මූර්ති විතරක් නිර්මාණය කරන කෙනෙක් නෙවේ. ඔහු අපූරු චිත‍්‍ර ශිල්පියෙක්. ඔහු පාවිච්චි කරන ශිල්පීය ක‍්‍රමය බොහෝ ශිල්පීය ක‍්‍රමවල එකතුවක් කියලයි උපාලි අපට කීවේ.
”මම පිකාසෝට කැමති, එහෙම කියලා පිකාසෝගේ චිත‍්‍රම මම අඳින්ඩ යන්නේ නෑ. මම ඒ පිකාසෝගේ විදිහට මගෙ චිත‍්‍ර අඳිනවා. මම කැමති තව කෙනෙක් තමයි සෝලියස් මෙන්ඩිස්. එතුමාගේ චිත‍්‍රවල අර මම කියපු යථාර්ථය ඇතුළෙ මහා ලොකු ගැඹුරක් තියනවා. එහෙමයි කියල මෙන්ඩිස් මහත්තයා අඳින එකම අඳින්ඩ ඕනෙ නෑ නෙ.”
මම ඉඳගෙන හිටි ආසනේට මෙහා පැත්තේ වැඩ නිම නොකරපු මූර්තියක්. ඒක අපූරු බල්ලෙකුගේ. තව ටිකක් මෙහා පැත්තේ හදාගෙන යන මනුස්සයෙකුගේ උඩුකයක්. හැබැයි ඒ හැම එහෙකම වැඩ මීට සෑහෙන කාලෙකට කලින් ආරම්භ කරපු බවක් තමයි පේන්ඩ තිබුණේ.
”මේවා හදන්නේ නැද්ද?” අපෙන් අතුරු ප‍්‍රශ්නයක්.
”හදන්ඩ නම් ඕනේ. ඒත් දැන් පොඞ්ඩක් අමාරුයි. ඕවට තව බඩු ටිකක් ඕනේ. ඒවා ගන්ඩ නන් අතමිට සරුවෙන්ඩ එපෑනෙ.” එහෙම කියල ඔහු හිනා වුණා.
ඔන්න ඔය අතරේ අපේ කතාවට බාධා කරමින් ගේට්ටුව පැත්තෙන් සද්දයක් ආවා. අපේ කතා නායකයා කතාව පොඞ්ඩකට නවත්තලා ඉස්සරහට ගියා.
”අයියේ පොල් තියනවද?”
”ලෙලි ගහලනන් නෑ, ලෙලිගහන්ඩ ඕනේ.”
”එහෙනන් මම කඬේට ගිහිල්ලා එද්දි ලෙලිගහලා තියනවද?”
”හරි නංගි.”
ඔය උපාලියි ආපු කාන්තාවයි අතර සංවාදය.
ඔහු ගේ ඇතුළට ආවෙ හේතුඵල සම්බන්ධෙ කියාගෙන.
”මම චිත‍්‍ර ඇන්දට ජීවත් වෙන්නේ පොල්ගෙඩියක්, දෙල් ගෙඩියක් විකුණලා. දැන් මිනිස්සු කලාවට වියදම් කරනවට වඩා බඩට වියදම් කරන්ඩ කැමති. ඉස්කෝලෙක පොඩි ළමයෙකුටවත් චිත‍්‍රයක් අඳින්ඩ කියන්නේ, කවියක් ලියන්ඩ කියන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ඒ ළමයි ලොකු වුණහම කලාවේ වටිනාකමක් තේරෙන්නෑ. අපිම තමයි වැරදිකාරයෝ.”
චිත‍්‍ර, මූර්ති කරන උපාලිගේ හරි අපූරු නිර්මාණයක් අපි දැක්කේ අහම්බෙන්. ඒක තමා දඬුමොණරය. සිමෙන්ති සහ හුණු යොදාගෙන බෝඞ් ලැල්ලක කරපු ඒ නිර්මාණය හරිම අපූරුයි. දඬුමොණරය පදවගෙන යන්නේ රාවණා රජ්ජුරුවෝ.
”මේ මාධ්‍යයෙන් කරපු මගෙ පළමුවැනි නිර්මාණය මේක. ඉතින් මට මේකට සෑහෙන කාලයක් ගියා. මම මුලින්ම රාවණා ගැන ලියවෙච්ච පොත්, ලිපි එහෙම කියවලා රාවණා ගැන හොඳ අදහසක් ගත්තා. ඊට පස්සේ ඒ හරහා රාවණා කොහොම ඉන්ඩ ඇද්ද, ඔහුගේ සංකල්පයක් වෙච්ච දඬුමොණරය මොනවගේ වෙන්ඩ ඇද්ද කියලා මම චිත‍්‍රයක් මවා ගත්තා. ඊට පස්සේ තමයි මම මේ නිර්මාණයට යොමු වුණේ.”
උපාලි දඬුමොණරෙ කතාව කීවා.
”මම ළඟදිම මගේ නිර්මාණ එකතු කරලා ප‍්‍රදර්ශනයක් කරන්ඩ හිතාගෙන ඉන්නේ.”
ඔහු එහෙම ඔහුගේ අනාගතේ තියන බලාපොරොත්තුවක් ගැනත් කීවා. පොල් ඉල්ලපු කාන්තාව පොල් ගන්ඩත් ඇවිල්ලා .වටේ පිටේ අඳුරත් වැටිලා. වවුල්ලූ එකා දෙන්න එළියට බැහැලා. ඈතින් ඇතුගලේ බුදු පිළිමෙ ලයිට් එළිය පේනවා. මේක තමයි උපාලිට සමුදෙන්ඩ වෙලාව.