කොළඹ මර්මස්ථාන අනතුරේ හෙළන Port City තර්ජනය

එම්.සී. බණ්ඩාර

ශී‍්‍ර ලංකාව තුළ සිදුවෙමින් පවතින නගර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස Port City නගර සංවර්ධන ව්‍යාපෘතිය හැඳින්විය හැක. මෙහිදී සිදුවන ප‍්‍රධානතම ක‍්‍රියාවලිය වන්නේ කොළඹ වරාය ආශ‍්‍රිතව සමුද්‍රීය ගොඩකිරීමකි. එම නිසා සිදුවන ආර්ථික සංවර්ධනය හා බැඳුණු යහපත් පැතිකඩ මෙන්ම එහි ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන්නාවූ තර්ජනාත්මක ගැටලූවක් පිළිබඳ තොරතුරු සමීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ඔබ දන්නෙහිද?
Port City
නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේදී සිදුවන සමුද්‍රීය භූ ගොඩ කිරීම යටතේ වර්ග කිලෝමීටර් 65610ක් වන ශ‍්‍රී ලංකා භූමියට තවත් වර්ග කිලෝමීටර් 2.69ක් එක් කරනු ලබන අතර එම ප‍්‍රමාණය අක්කර වලින් නම් 664.713 කි.
භූ පිළිසැකැස්ම (Land Reclamation) හෙවත් ඉඩම් ගොඩකිරීමේ ක‍්‍රියාවලියේදී සමුද්‍ර, ගංගා, මායිම්, වැව් ආශ‍්‍රිත භූමි ගොඩකිරීම මගින් නව බිමක් තැනීමේ ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. මිනිසාගේ භූමි අවශ්‍යතාවයේ මදිපාඩුව හේතුවෙන් සිදුකරන මෙම ප‍්‍රචලිත ක‍්‍රියාවලිය Port City නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේද සිදුකෙරෙන අතර එහිදී ඇතිවන අවදානම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙය සුදුසුම කාලයක් ලෙස හැගේ.
මෙහිදී ප‍්‍රධානතම භූ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණය සඳහා Shangri-la හෝටලය ඉදිකිරීමේදී   bore-hole ස්ථාපනය කිරීමේදී ලබාගත් භූවිද්‍යාත්මක ලක්ෂණද පැරණි යුද හමුදා මූලස්ථානය ඉදිකිරීමේදී ලබාගත් භූවිද්‍යාත්මක ලක්ෂණද ප‍්‍රධාන වශයෙන් වැදගත් වේ.
කොළඹ Port City ව්‍යාපෘතියට අදාළව ඉඩම් ගොඩකිරීම හා ඒවා නිසා ඇතිවන බලපෑම පිළිබඳව භූ අධ්‍යයනයක් පැවැත්වූ කීර්තිමත් ලාංකික විද්වතෙකු ලෙස ආචාර්ය ජී.පී. කරුණාරත්න මහතා හඳුන්වා දිය හැක.
එමෙන්ම ඔහු සිංගප්පූරුවේ චෙංගි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අංක 02 ධාවන පථය, අංක 01 පර්යන්ත ගොඩනැගිලි සංකීර්ණය, වර්ග කිලෝමීටර් 08ක සිංගප්පූරුවේ Semakau සමුද්‍රීය දුපත නිර්මාණය, Tekong දුපත හා Pasir Panjanag Warf දුපත නිර්මාණය ආදී ලොව ප‍්‍රමුඛ භු පිළිසැකසුම්හි ප‍්‍රමුඛත්වය ගත් ශ‍්‍රී ලාංකීය ඉංජිනේරුවෙකි.
එතුමා විසින් කරන ලද Port City ව්‍යාපෘතියට අදාළ ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් ලද පරීක්ෂණයේ තොරතුරු පසුගිය දෙසැම්බර් 05 වන දින ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ පැවති ප‍්‍රසිද්ධ දේශනයේදී ඉදිරිපත් කෙරිණි.
Port City
ව්‍යාපෘතිය හා සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණයේදී එහි අහිතකර තත්ත්වය නිසා තර්ජනයක් එල්ල වන කොළඹ නගරය ආශ‍්‍රිත ප‍්‍රධාන ගොඩනැගිලි කිහිපයක් හඳුනා ගැනිණි. ඒ අතර ජනාධිපති මැදුර, ආයෝජක මණ්ඩලය, නාවික හමුදා ප‍්‍රධාන මූලස්ථානය, BOC ප‍්‍රධාන ශාඛාව, Cargills ගොඩනැගිල්ල පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හා විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රධාන තැනක් ගනී.
මෙම ව්‍යාපෘතියෙදී මුළු බිම් ප‍්‍රමාණය හෙක්ටයාර 269ක් වන වරාය නගරයෙන් 50%ක් මේ වන විට ගොඩ කර අවසානය.
මෙහිදී අවධානය යොමු කිරීමේදී ප‍්‍රථමයෙන් තර්ජනයට හේතුවන්නා වූ භූමියෙහි භූ විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කළ යුතු වේ. කොළඹ වරාය ආශ‍්‍රිතව ගොඩබිම් ප‍්‍රදේශයෙහි අභ්‍යන්තර භූ ජල මට්ටම පිළිබඳ මෙහිදී සඳහන් කළ යුතුය.
භූ ජලය යනු පොළොව අභ්‍යන්තරයේ ඇති පැළුම් හා පස් අංශුන්ගේ හිස් අවකාශයන් තුළ පවතින ජලය වේ. එය භූ අභ්‍යන්තරයේ සෙමින් ගලා යන අතර එයට ස්ථරයේ සැදී ඇති ව්‍යූහය බලපායි.
වරාය ආශ‍්‍රිතව ගත් කල දැනට පවතින භූ ජල මට්ටම පොළොව මට්ටමේ සිට මීටර් 3.9ක් පහළින් පිහිටන බව පරීක්ෂ ණාත්මකව අනාවරණය කරගෙන ඇත. මේ අනුව ගත් කල කොළඹ නගරය ආශ‍්‍රිතව සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක මිරිදිය ධාරිතාවක් පවතින අතර පොළොව මට්ටමේ සිට 17-25 අතර අගයකින් මුහුදු ජලය හා පිරිසුදු මිරිදිය ජලය අතර අතුරු මුහුණත හමුවන බව අනාවරණය කරගෙන ඇත.
ඉඩම් ගොඩ කිරීම මගින් ඉහත සඳහන් කරන ලද භූ ජලමට්ටම (ground water level) සිදුවන්නා වූ බලපෑම ගැන මුලින්ම සාකච්ඡ කළ යුතුය. Ghyben -Herzberg නම් සිද්ධාන්තයට අනුව ඉඩම් ගොඩ කිරීමකදී භූ ජල මට්ටම හා ඉඩම් ගොඩකිරීමට පෙර භූ ජල මට්ටම හා ඉඩම් ගොඩකිරීමට පසු ජල මට්ටම ගැන විමසීමක් කළහොත් ඉඩම් ගොඩකිරීමකදී භූ ජල මට්ටම ඉහළට එසැවීමක් සිදුවේ. ඒ අනුව ඉඩම් ගොඩ කිරීමකදී භූ ජල මට්ටම ඉහළට එසවී මිරිදිය කරදිය අතුරු මුහුණත (Salt – water interface) මුහුද දෙසට නැඹුරු වන බවක් පෙනී යයි.
එහෙත් ඉඩම් ගොඩකිරීම සිදුවන ප‍්‍රදේශයේ හා පිහිටි භුමි ප‍්‍රදේශය අතර ජලමාර්ගයක් (ඇළක්, ගංගාවක්, වැනි) පවතී නම් භූ ජල මට්ටම එසවීම පාලනය කළ හැක. කොළඹ ප‍්‍රදේශයේ මීට විසඳුමක් ලෙස බේරේ වැව ආශ‍්‍රිතව චෛත්‍ය පාරේ ඇළක් පවතිනනමුත් එය වැලි හා අපද්‍රව්‍ය මගින් සිරවී ඇති නිසා එමගින් අපේක්ෂිත ප‍්‍රතිඵල ඇති නොවේ. ස්වභාවික භූ ජල මට්ටමේ වෙනස්වීමක් සිදුවන නමුත් එහි ස්ථීර වෙනස්වීමකට මානවයාගේ ක‍්‍රියාකාරකම් දායක වේ. එමගින් ජලමූලාශ‍්‍ර අපවිත‍්‍රවීම, සිඳීයාම, පරිසරයට බලපෑමක් එල්ලවීම හා පෘථිවියේ ජීව ක‍්‍රියාවලියට බලපෑමක් වීම ආදී කෙටිකාලීන බලපෑම් ඇතිවිය හැකිය.
මෙම පරීක්ෂණය සඳහා ස්ථාන කිහිපයකින් දත්ත භාවිත කෙරිණි. ඒවා නම් කොළඹ නාවික තටාංගනය, කොළඹ වරායේ දකුණු ආසියා ප‍්‍රවේශ පර්යන්තය, හර්තාල් පාලම හා ගාලූමුවදොර යන ස්ථානයි. මෙම ස්ථාන වලින් ගත් විදුම් දත්ත නළ ළිං දත්ත මගින් භූ ජල මට්ටම හා පාංශු ස්ථර ආශ‍්‍රිත දත්ත අධ්‍යයනය කෙරිණි.
කෙසේ වෙතත් ඉඩම් ගොඩ කිරීම මගින් භු ජල මට්ටමේ එසවීමක් සිදුවන බැව් ඉහතදී සඳහන් කෙරිණි. මෙමගින් ඇති වන ප‍්‍රධානතම බලපෑමවන්නේ ඉහළ පාංශු ස්ථරයේ දරා සිටීමේ හැකියාව අඩුවීමයි. දරා සිටීමේ හැකියාව යනු පහළ පාංශු ස්ථරයන්ට භුමියේ මතුපිට මට්ටමෙන් යෙදෙන භාරය දරාගැනීමේ හැකියාවයි. පොළොව මත සිදු කරන යම් ඉදිකිරීමක අත්තිවාරම මගින් අදාළ ගොඩනැගිල්ලේ සමස්ත භාරයම අත්තිවාරම හමුවන පාංශුස්ථරයට පීඩනයක් එල්ල කෙරෙන අතර ඒ පීඩනය දරා ගැනීමට ඒ පාංශුස්ථරයන්ට හැකියාවක් තිබිය යුතුයි. එසේ නොවුණු විට අදාළ ගොඩනැගිල්ල ස්ථාවර නොවනු ඇත. මෙම සිදුවීම දරාගත හැකි උපරිම ඉසිලූම් ධාරිතාව (Ultimate Bearing Capacity) ලෙස හැඳින්වේ. රූපය 05 මගින් පෙන්නුම් කරන්නේ කොළඹ වරාය ආශ‍්‍රිතව දැනට පවතින භූ ජල මට්ටම පෘෂ්ඨයේ සිට 1m උඩට ගියොත් ස්ථරවලට මතුපිට භාරය දරාගත හැකි උපරිම මට්ටමේ සිදුවන අඩුවීමයි
මෙම සිදුවීම නිසා දැනට කොළඹ නගරයේ පවතින ඓතිහාසික හා ප‍්‍රධාන ගොඩනැගිලි මර්මස්ථාන වලට බලපෑමක් එල්ලවිය හැක. නොගැඹුරු අත්තිවාරම් සහිත ගොඩනැගිලි හා pile මත ඉදිකරන ගොඩනැගිලි ලෙස ගොඩනැගිලි ඉදිකිරීම් ආකෘති වර්ග දෙකකි. බොහොමයක් ගොඩනැගිලි දැනට ඇති ආකෘතිය වන්නේ නොගැඹුරු අත්තිවාරම් ලෙස ඒවා වේ. ඉහත සඳහන් කළ බලපෑම හේතුවෙන් නොගැඹුරු අත්තිවාරම් සහිත ඉදිකළ ගොඩනැගිලි ගිලාබැසීම් හෝ ඉරිතැලීමකට ලක්වීම සිදුවිය හැකිය.
එහි බලපෑම පතුල් මාල බිත්ති, පත්ල, උමං, කානු, කසළ කාණු, කුලූනු, දුම් කවුලූ, යන ආදියටද එල්ල විය හැක. එලෙසටම පතුල් මාලය තුළ බිත්ති හරහා ජලය කාන්දුවීම්, අමතර ජල පීඩනයක් පොළොවට දැනීම, ඉරිතැලීම් හරහා කාන්දු සිදුවීම හා යකඩකම්බිවල මල බැඳීම සිදුවීම ආදී අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. pile කරන ලද ගොඩනැගිලිවලට (Friction pile) (bored pile) මෙය වැඩි වශයෙන් බලපායි.
එමෙන්ම මෙයින් වන බලපෑම ගොඩනැගිලි පෞරාණික ගොඩනැගිලි වල සිදුවන අනියත ගිලා බැසීම, ද්‍රව්‍ය දිරායාම, කාන්දුවීම, කෘමි ආක‍්‍රමණ වැනි බලපෑම් එල්ලවිය හැකිය. එලෙසම මාර්ග හා පදික වේදිකා වලට ද මින් බලපෑමක් එල්ල විය හැක. උදාහරණ ලෙස මතුපිට ඉරිතැලීම්, ගැඹුරු ඉරිතැලීම්, මාර්ග මුහුණත් පොතු ගැලවීම හා මාර්ග විෂම පෘෂ්ඨිය වීම වැනි සිදුවීම සිදුවිය හැක.
සමස්තයක් ලෙස ගත්කල Port City නගර නිර්මාණය සඳහා සිදුකරන්නාවූ මෙම සමුද්‍රීය ගොඩ කිරීම මගින් ඇතිවන්නාවූ තර්ජනාත්මක බලපෑම එම ප‍්‍රදේශයේ සියලූම මානව ජනාවාසයන්ට නුසුදුසු ප‍්‍රදේශයක් වීමේ බරපතළ උවදුර අප හමුවේ තිබේ.
පසුගියදා මෙම සිදුවීමට සම්බන්ධ පුවත්පත් වාර්තාවක සඳහන් වූයේ අපගේ වාර්තාවේ ඇති විද්‍යාත්මක සිද්ධාන්ත සත්‍ය නමුත් එහි නිවැරදිතාවක් පෙන්නුම් නොකරන බවයි. මින් ඔවුන් පවසා ඇති සත්‍ය නම් අපගේ වාර්තාව නිවැරදි බවම නොවේද? එමෙන්ම එම වාර්තාවේ පවසා ඇත්තේ ඔවුන් විසින් ඉදිරිපත් කළ පරිසර අධ්‍යයන වාර්තාවේ මෙම භු ජල මට්ටමේ වෙනස්වීම පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡුා කර ඇති බවයි. එහෙත් පිටු 421කින් සමන්විත මෙම අතිරේක පරිසර ඇගයිම් වාර්තාව (SEIA) අධ්‍යයනය කළ විට පෙනී යන්නේ එවැන්නක් පිළිබඳ එහි මූලිකව සඳහන් කර නොමැති බවයි. එහෙත් සමුද්‍රීය භූ ගොඩකිරීමකදී ගොඩකිරීමකට පෙර භූ ජල මට්ටමේ පිහිටීම පහත රූප සටහනේ පරිදි පෙන්වා දිය හැකිය (GUO AND JIAO 2007) එහෙත් ඉහත වාර්තාවේ පෙන්වා දී ඇත්තේ අපගේ වාර්තාවේ එලෙස සකී‍්‍රය භූ ගොඩ කිරීමකදී භූ ජල මට්ටමකට වන බලපෑම Herzberg සිද්ධාන්තිය සමග ගළපා ප‍්‍රකාශ කර නොමැති බවයි.
එම වාර්තාවේ ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති තවත් මතයක් වන්නේ දැනට පවතින ගොඩනැගිලි වලට තර්ජනයක් ඇති වුවද ඉදිරියේ ඉදිකිරීමකට නියමිත ගොඩනැගිලි වලට වන තර්ජනයට පිළියමක් සිදු කළ හැකි බවයි. එහෙත් මෙහිදී ඔවුන් විසින් දැනට පවතින වටිනා හා පෞරාණික ගොඩනැගිලි වලට ඇතිවන තර්ජනයට ගනු ලබන පියවර ගැන සඳහන් කිරීමක් සිදුකර නැත,
ඔවුන් විසින් පවසා ඇති අනෙක් කරුණ නම් වරාය නගරය නිමවා අවසන් වනතුරු අප විසින් මෙවැනි තීරණ වලට එළැඹීම යෝග්‍ය නොවන බවයි. අවදානමක් ඇතිවීමට වඩා එයට සූදානම් වීම සුදුසු බව ඔවුන්ට නොහැෙඟන්නේ ඇයිදැයි ගැටලූසහගත ප‍්‍රශ්නයකි. එමෙන්ම අප විසින් පවසන්නේ මෙවැන්නක් නියත වශයෙන්ම සිදුවෙයි කියා නොව මෙවැන්නක් වීමට අවකාශයක් ඇත යයි නොවේද? ඉදිකිරීමක් 100%ක් ඉදිකළ අවසන් වූ පසු එයින් වන බලපෑම ගැන සොයා බැලීම කෙතරම් අනුවණ ක‍්‍රියාවක්ද? සිදුකළයුත්තේ අවදානමට පෙර එයින් වන බලපෑම මගහරවා ගැනීම නොවේද?
ඔවුන් විසින් පවසා ඇති තවත් කරුණක් නම් Port City ව්‍යාපෘතිය මගින් වන බලපෑමට වඩා වැඩි බලපෑමක් ගංවතුර හා මුහුදු මට්ටම වැඩිවීම මගින් සිදුවන බවයි. එම කරුණෙන් ඔවුන් පිළිගෙන ඇති සත්‍ය නම් Port City ව්‍යාපෘතිය මගින්ද සැලකිය යුතු තර්ජනයක් එල්ල විය හැකි බවම නොවේද?