හොඳ සෞඛ්‍ය සේවාවක් ඉල්ලා ජනතාව වර්ජනය කරන්නේ කවදාද?

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ඉක්මනින් නිමාවිය.ඒත් ඊට පැය පහක් ගතවිය. පැය 24ක් පවත්වන්නට ගිය වෛද්‍ය වැඩ වර්ජනය පැය පහකින් කෙළවර දකින විට පාන්දර සිට රෝහල් කරා ආ රෝගීන් කප්පරක් අන්ත අසරණ වී හමාරය. මේ හැමදාම පාහේ දකින සුලබ දසුනකි. ලෝකයේ කොයි රටකවත් රෝගීන් ඇපයට තියාගෙන ඉල්ලීම් දිනාගන්නා රටක් නැතැයි කීවද අපේ රටේ මිනිස්සු වෙනස්ය. එබැවින් ලෝකයේ නොකරන වැඩ කරන්නට අපි උපන් හපනුන්ය.
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා සංශෝධනය ඇතුළු ගැටලූ නවයක් විසඳීම සඳහා බලධාරීන් වෙත ලබාදී තිබූ කාලය තුළදී නිසි ප‍්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව වෛද්‍යවරුන් කී කතාවය. එය අතරමග නවතා දැමූ පසු ඔවුන් කීවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙයට සාධාරණ විසඳුමක් ලබා දුන් බැවින් වර්ජනය අත්හළ බවය.
රාජිත අමාත්‍යවරයා සමග කිසිදු ‘ඞීල්’ දැමීමක් නොවන අතර සිය ගැටලූ විසඳීම සඳහා හෙතෙම උපරිම කැපවීමෙන් කටයුතු කර නිර්දේශ හා තීරණ ලබා දුන් බව වෛද්‍යවරු මාධ්‍ය හමුවක් පවත්වා රටට කීවෝය. මේ ජයග‍්‍රාහී මාධ්‍ය සාකච්ඡාව පෙන්වන අතර මාධ්‍යය, උදෑසන හෙම්බත් වූ රෝගීන්ගේ කෙටි ප‍්‍රකාශද ලබාගනිමින් දොස්තරවරුන්ට සහ ආණ්ඩුවට ඇති පදම් හෙළීය. දැන් මේ රටාව දැක හෙම්බත් වී රටේ බහුතරයක්ම හෙම්බත් වී ඇතිවා නිසැකය. ඒවා කොටින්ම අද වනවිට සාමාන්‍ය අංග වී ඇත.
සැබැවින්ම මේ විගඩම් බලා සිටීමේ ප‍්‍රාණ ඇපකාර පේ‍්‍රක්ෂකයන් බවට ජනතාව පත්වී ඇත.
මෙරට බොහෝ ක්ෂේත‍්‍ර මෙන්ම වෛද්‍ය ක්ෂේත‍්‍රයටද අත්වී ඇත්තේ එකම ඛේදවාචකයය. මෙම වැඩ වර්ජනය 12ට අවසන් කිරීමට නියමිත වුවත් අමාත්‍යාංශ ලේකම්වරයාගේ හිතුවක්කාරකම් නිසා එය එක දක්වා ප‍්‍රමාද වූ බව වෛද්‍යවරුන් මාධ්‍ය හමුවේදී කී අතර වෛද්‍යවරුන්ට මෙසේ සලකන ලේකම්වරයෙක් රෝගීන්ට කෙසේ සලකනු ඇත්දැයි ප‍්‍රශ්නාර්ථයක්ද ඉතිරි කළේය. වෛද්‍යවරු ජනතාව ගැන හිතන තරම ඉන් පැහැදිලිය. ඔවුන් වැඩ වර්ජන කරන විට ඔවුන්ට රෝගීන්ගේ පීඩාව නොදැනීම වෙනම වැඩකි. එහෙත් ලේකම්ගේ පුංචි හැසිරීමෙන් ඔවුහු බොහෝ පාඩම් ඉගෙන ගෙනය.
අමාත්‍යාංශ පිහිටුවා එය ජනතා මුදලින් නඩත්තු කරනුයේ පෙරළා නැවත ජනතාවට හොඳ සේවාවක් ලබා දෙන්නට වුව අද වනවිට මේ තත්ත්වයන් සියල්ල උඩු යටිකුරු වී ඇත. මන්ද අද වනවිට ඒ ඒ අමාත්‍යාංශයන් භාරව සිටින ඇමතිවරු තමන්ට පැවරී ඇති යුතුකම වගකීම ඉටුකරනවාද යන්න ගැටලූවකි.
අද වන විට අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය පමණක් නොව සෑම කර්මාන්තයක්ම කරුමයට ලක්වී ඇති බැවිනි.
මේ අතරිනුත් සෑම අංශයක්ම ජයගන්නට නම් ප‍්‍රමුඛස්ථානයේලා පැවතිය යුතු අමාත්‍යාංශයක් වේ නම්, එය සෞඛ්‍ය අමාත්‍යාංශය බව පැහැදිලිය. රටක හොඳ සෞඛ්‍යසම්පන්න පිරිසක් නැති තැන සෑම ක්ෂේත‍්‍රයක්ම රෝගීවීම අමුතුවෙන් කිව යුතුද? එසේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ බොහෝ බිඳ වැටීම්, විගඩම් අවසානයේ තලනුයේ, පෙළනුයේ ජනතාවම නොවේද?

ඩෙංගු
සෞඛ්‍ය ක්ෂේත‍්‍රය කොතරම් වැදගත් වුවද ගෙවී ගිය කාලපරාසය පුරාම අප අත්විඳිනුයේ කුමක්ද? මෙම විෂය භාර දේශපාලකයන් එම යුතුකම මනාව ඉටු කළේද? රාජපක්ෂ සමයේ සිට ඩෙංගු රෝගය මැඬලන්න මොනතරම් උත්සාහ කළාද? අදටත් එය ජයගත නොහැකි ප‍්‍රශ්නයක් වී ඇත්තේ ඩෙංගු මදුරුවාට වඩා රටේ සෞඛ්‍ය බලධාරීන්, දේශපාලකයන් කුඩා වී ඇති නිසා නොවේද? ඩෙංගු ගැන ප‍්‍රතිකර්ම වෙනුවට සංඛ්‍යා ලේඛන උපුටමින් හැදෙන ප‍්‍රමාණය, මියැදෙන ප‍්‍රමාණය ගණන් හැදීමත්, එය ඊට පෙර වසරවලට ආදේශ කරමින් ගණන් බැලීමත් ගහන්නම් වාලේ දුම් ගහනවා ඇරෙන්නත් ආණ්ඩු කළේ කුමක්ද? ඊට අමතරව ආණ්ඩු කළ එකම දේ නම් ඩෙංගු බෝ කරනවා යැයි කියා මහජනයාට නඩු දමා ඩෙංගුද හොඳ ආදායම් මාර්ගයක් බවට පත්කර ගැනීමය. අවසානයේ ඩෙංගු මදුරුවාද ආණ්ඩුවලට හොඳ ආදායම් මාර්ගයක් ලබාදෙන අනිවාර්ය අංගයක් විය. ඕනෑම අයහපතක් වුව යහපතක් ලෙස හරවා ගැනීමේ ශූරකම මෙරට දේශපාලකයන්ට ඕනෑවටත් වඩා වැඩිය.
ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන එක්දින, තුන්දින, සති හා දෙසති වැඩසටහන් විශාල වශයෙන් සිදුකර තිබියදීය. එලෙස තිබියදීත් ඩෙංගු මර්දනය නොවුණේ ඇයි? ඒ සියලූ වැඩසටහන් පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නම් ඒ සෑම ඩෙංගු මර්දන වැඩසටහනක්ම ක‍්‍රියාත්මක කර ඇත්තේ ඩෙංගු බෝ කළ බවට චෝදනා එල්ල කර ජනතාවට දඩ ගැසීම සඳහා බව පැහැදිලිය. අනෙක් අතට ඒ සෑම වැඩසටහනක්ම මාධ්‍ය සංදර්ශනයක් වූ අතර ඒ සංදර්ශනවලට යන මුදල් මෙන් කිහිප ගුණයක් දඩ ආදායම් හරහා ඉපැයීය. ඒ අතින් රජය පැත්තෙන් සාර්ථකය. ජනතාව අසරණය.

ඖෂධ ගැටලූ
මෙයද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති බරපතළ තත්ත්වයකි. ඖෂධ ගැටලූ නිසා රජයේ රෝහලක බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට හා නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන්ට තම පෞද්ගලික වියදමින් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමට සිදුවිය. එය ප‍්‍රතිශතයක් ලෙස තම සෞඛ්‍ය රැුකගැනීමට වියදම් වන මුදලින් 69කට ආසන්න මුදලක් බව පහුගිය වසරේ ගණන් බලා තිබුණි. තම සෞඛ්‍ය වෙනුවෙන් ජනතාවට මේතරම් මුදලක් වෙන් කරන්නට සිදුව ඇත්තේ ජනතා මුදලින්ම නඩත්තු වන නිදහස් සෞඛ්‍ය සේවාවක් රට තුළ තිබියදීය.
ජනතා බදු අය කරගනුයේ සේවා ඇතුළු අනෙකුත් ආයතන නඩත්තු කිරීමට බව පැවසුවද දක්නට ඇත්තේ ජනතාව කෙසේ වෙතත් දේශපාලකයන් නම් ඉන් මනා සුඛ විහරණයක් ලබන බවය. ඉන් තව කොටසක් මාධ්‍ය සංදර්ශනවලට වෙන්වන බවය.

සහන සහ දැන්වීම්
සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සහන සැලසීම යන අරුතින් ඖෂධ වර්ග 48ක මිල පාලනයක් කළ බවටත් ඒ බෙහෙත් වර්ගවලට උපරිම මිලක් නියම කළ බවටත් සෑහෙන මාධ්‍ය සංදර්ශන පැවැත්වූ මුත් ඒවා ඒ ලෙසට සිදුවනවාද යන්න අද සොයා බලා තිබේද? අඩු කළ බවට ප‍්‍රසිද්ධ කළ දැන්වීම් දෙස බලද්දී වෙනම රෝහල් වාට්ටුවක් ඉදිකරලීමට තිබූ බව පැහැදිලිය. දැන්වීම්වලට අමතරව රෝහල් ඉදිරිපිට වර්ග අඩි 300, 400 විශාල දැන්වීම් පුවරුද ප‍්‍රදර්ශනය කර තිබුණි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලිවන්නේ ඖෂධ සහනය කෙසේ වෙතත් එක්තරා පිරිසකට දැන්වීම් සහනයක් නම් ලැබී තිබුණු බවය.
නිසි අධ්‍යයනයක් කරන්නේ නම් මෙලෙස අඩු කළ ඖෂධවලින් ජනතාවට ලැබී ඇති සහනය ඉතාම අල්ප බව පැහැදිලි වනු ඇත. ජනතාව ලෙස අපට එයින් ලැබෙන සහනය අඩු නිසා ඒ ගැන නිසි අවබෝධයක් ඇතිමුත් බලධාරීන් සුළුදේටත් සිංගප්පූරු රෝහල්වලට දුවන නිසා ඒ ගැන නිසි වැටහීමක් ඇත්දැයි ප‍්‍රශ්නාර්ථයකි.
අද භාවිත වන ඖෂධවලින් විශාල ප‍්‍රමාණයක් ගෙනෙනුයේ පිටරටිනි. එසේ නොකර ඖෂධ වර්ගවලින් 80%වත් මෙරටම නිෂ්පාදනය කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ලොකු මාධ්‍ය සංදර්ශන පසුගිය කාලය පුරා පැවැත්වීය. කොටින්ම 2018 වන විට රට තුළම 80%ක් ඖෂධ නිෂ්පාදනය කරන බව ඒ දැන්වීම්වල පළවිය. එහෙත් ඇත්ත නම් ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාව 60%කටත් වඩා කඩා වැටී ඇති බවය.
වසර කිහිපයකට පෙර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ඖෂධ වර්ග 57කට වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලැබීය. එහෙත් අද වන විට එම සංස්ථාව නිපදවනුයේ ඖෂධ වර්ග 25ටත් අඩු ප‍්‍රමාණයක් බව එහි අභ්‍යන්තර තොරතුරු පවසයි. එලෙස නිෂ්පාදනය කරන ඖෂධ වර්ගද පෞද්ගලික අංශයට විකුණා දමන බව වෘත්තීය සමිති පෙන්වා දී තිබුණි. මේ ආකාරයට රාජ්‍ය ඖෂධ නිෂ්පාදනය පහළ වැටී ඇත්තේ ඊට අදාළ දැනුම මෙරට නැති නිසා නොවේ. ඒවා දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා නොදීම නිසාය. මේවා මෙරට නිෂ්පාදනය හරහා බලධාරීන්ට ලැබෙන ලාභ අහිමි වන බැවින් ඔවුන් පෞද්ගලික ආයතන ලවා විදේශයෙන් ගෙන්වන තැනටම තල්ලූ වී ඇත. දැන් හෝ සෞඛ්‍ය ඇමතිවරයා එය නගා සිටුවන්නට උපරිම ශක්තිය යෙදවිය යුතුය. මේ එළැඹ ඇත්තේ 2018 වසරය. දැන් මේ වසරේ හෝ ගෙවුණු පරණ කතා අලූත් කළ යුතුව ඇත.

වකුගඩු
මීට වසර විසි හතරකට පමණ පෙර පදවියෙන් වාර්තා වූ වකුගඩු රෝගය ගැන යහපාලනය තරම් කතා කළ ආණ්ඩුවක් නොවීය. වත්මන් ජනපතිගේ ප‍්‍රමුඛම කාර්යය එය බව පසුගිය කාලයේ කළ කී දේ මෙනෙහි කළ විට පැහැදිලිය. පදවියෙන් ඇරඹි වකුගඩු රෝගී ව්‍යාප්තිය මේ වන විට දිස්ත‍්‍රික්ක දොළහක පමණ ව්‍යාප්තය. වකුගඩු රෝගය නිසා තිස් දහසක් පමණ මියගොස් ඇතැයි පවසතත් ඒවා නිවැරදි දත්ත නොවේ. එවැනි දත්ත ගන්නා නිවැරදි ක‍්‍රමයක්ද නොවේ. වකුගඩු සුරැුකීමේ ජාතික ව්‍යාපාරය ගිය වසරේ පෙන්වා දී තිබුණේ කුරුණෑගල, අනුරාධපුර, වවුනියාව, බදුල්ල, පොළොන්නරුව, හම්බන්තොට, මොනරාගල, මඩකළපුව හා මාතලේ යන දිස්ත‍්‍රික්කවලින් වකුගඩු රෝගය වැලඳීමේ අවදානමට ලක්වූ ලක්ෂ 06කට අධික පිරිසක් ජීවත් වන බවය. මෙයින් අද කී දෙනෙක් අවදානමට ලක්වී ඇත්ද? නැවත අවදානමට ලක්වී ඇති අලූත් පිරිස වැඩිවී ඇත්ද යන්න වෙනම සොයා බැලිය යුතුය.
සුළු රෝගී පරීක්ෂාවකින් මෙම ප‍්‍රමාණය හඳුනාගත හැකිය. එපමණක් නොව, මුල් අවස්ථාවේදී නැතහොත් රෝග ආරම්භයේදී හඳුනා ගතහොත් ඔවුන් නිරෝගී බවට පත්කර ගැනීමේ හැකියාව ඉතා විශාලය.
එහෙත් අභාග්‍යයට ඒ ගැන කතා කරන තරම් පිළියම් නැත. ජනපති වැඩිම උච්චාරණය කර ඇති වචනය වකුගඩු වුවත් ඊට යොදන පිළියම් නම් සොච්චම්ය. යම්කිසි වල්නාශකයක් නිසා මේ රෝගය පැතිරෙන බව කීවද එය නිවැරදිම කරුණදැයි තවමත් උභතෝකෝටිකය. එසේ වුවත් එම වල්නාශක තහනමක් ද නැත.

වෙළෙඳ මාෆියාව
සෞඛ්‍ය ක්ෂේත‍්‍රය යනු වෙළෙඳ මාෆියාවේ ගෝඞ් ෆාදර්ලා වෙසෙන තැනක්ය. කන්න නැතත් බෙහෙත් අත්‍යවශ්‍යය. එබැවින් මිල කීය වුවත් ඒවා ලබා ගන්නට දුප්පත් පොහොසත් හැමෝම ක‍්‍රියා කරනුයේ වඩා වැදගත් ජීවිතය නිසාය.
මේ නිසා හෘදය ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය වන ස්ටෙන්ස් ඇතුළු ඖෂධ වර්ග අලෙවි කර ගැනීම සඳහා රෝහල් තුළට ඇතුළුවීම කාලයක පටන් වන දෙයකි. මේ ජාවාරමට වෛද්‍යවරුන්ගේ සහය පූර්ණව ලැබුණි. මුලින් මේ උපකරණ ගැන වෛද්‍යවරු දැනුවත් කරන මුවාවෙන් ආවද පසුව එය සාමාන්‍ය සිල්ලර ගනුදෙනුවක් බවට පත්විය. වඩා හොඳ එක තමන්ගේ එක බවට වෙළෙඳ ව්‍යාපාර අතරද තරගයක් විය. එහි අලෙවි නියෝජිතයා වෛද්‍යවරයා විය. ඔහු තීරණය කරන දේ රෝගියා මිලදී ගන්නා බැවිනි. මේවාට වෛද්‍යවරයාට පවුල් පිටින්ම පරම්පරා ගණනාවකට නඩත්තු වන යාන්ත‍්‍රණයක් නිර්මාණය විය. වත්මන් සෞඛ්‍ය ඇමතිවරයා මෙයට තදින් එරෙහි වන ප‍්‍රතිපත්තියක සිටියේය. එහෙත් අද එය නැවත ක‍්‍රියාත්මකද යන්න දැඩි විමසිල්ලට ලක් කළ යුත්තේ දැනුදු එය රහසේ සිදුවන බවට තොරතුරු ඇති බැවිනි. මෙයට ස්ටෙන්ස්, මෙන්ම අක්ෂි කාචද ඇතුළත් වේ. මේ තත්ත්වය ගැන දැනගත් වහාම සෞඛ්‍ය අමාත්‍යවරයා එය ජාතික රෝහලේ අක්ෂි රෝහලේ මේ තත්ත්වය තහනම් කළේය. එය සෞඛ්‍ය ඇමතිවරයා ගත් ඉතාම යහපත් තීන්දුවකි. එයට අමාත්‍යවරයා ඇගයිය යුතුමය. රහසේවත් එවැනි දේ නැවත නොවන්නට ඇමතිවරයා මේවා ගැන නිතර සෙවිල්ලෙන් සිටිය යුතුව ඇත. රජයේ රෝහලේ මෙන්ම පෞද්ගලික රෝහලෙත් අද සිටිනුයේ එකම වෛද්‍යවරයාය. ඔවුහු අද වැඩිපුර අනුගමනය කරනුයේ පෞද්ගලික සේවාවේ ප‍්‍රතිපත්තිය. මෙවැනි තත්ත්වයන් රෝහල් තුළ ස්ථාපිත වූයේද මේ නිසාමය.
අද වන විට දියවැඩියා රෝගීන්, කොලොස්ට්‍රෝල්, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය පෞද්ගලික වෛද්‍ය සේවාව ඉහළ මට්ටමට ආදායම් ලබන තැනට පත්වී ඇත. මේවා සඳහා ලේ පරීක්ෂාවන්ට නියමිත මිලක් නැත. ආණ්ඩුව සතු පහසුකම් සපුරා නිශ්චිත අඩු මුදලකට නගරයක් පාසා මෙවැනි මධ්‍යස්ථාන බිහිකළහොත් එය ආණ්ඩුවට ආදායමක් මෙන්ම ජනතාවටද සහනයක් වනු ඇත. සෞඛ්‍ය ඇමතිවරයාට ඒ ගැන සලකා බැලිය හැකිය. මන්ද ලේ පරීක්ෂාවට සැමවිටම රජයේ රෝහල් කරාම නොයන බැවිනි.
රෝගීන් අරබයා කඳු ගැසුණු ප‍්‍රශ්න තිබියදී සෞඛ්‍ය සේවාවේ කතා කිරීමට සිදුව ඇත්තේ වැඩ වර්ජනය. මේ වැඩ වර්ජනය හරහා ආණ්ඩුවද ඉහත ප‍්‍රශ්න සියල්ල අමතක කරන බව පැහැදිලිය. මේ වැඩ වර්ජන එක් අතකින් බලන කල සාමූහික ක‍්‍රියාවලියකි. එය සෞඛ්‍ය ඇමති ප‍්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, වෛද්‍ය, හෙද සහ අදාළ අනෙකුත් කාර්ය මණ්ඩලත් අතර දැනුවත්ව වන ඒවා බව පැහැදිලිය. මේ උද්ඝෝෂණ වැඩ වර්ජන කවමදාවත් රෝගියාගේ අයිතීන් වෙනුවෙන් කතා කොට නැත. ඖෂධ හිඟ බව පවසා කළ උද්ඝෝෂණයක් ඉතිහාසයේ සිට අද දක්වා අසා නැත. වැඩ වර්ජන, උද්ඝෝෂණ අවසානයේ පෙළනුයේ රෝගීන්ය. මේ රටේ ජනතාවය.
මේ උද්ඝෝෂණයට කඩිනමින් විසඳුම් දුන් නිසා සෞඛ්‍ය ඇමති හොඳය. එය මඳකට හෝ පමා කළ නිසා ලේකම් වැරදිය. එහෙත් අවසානයේ සියල්ල හොඳය. එසේ නම් වැරදි කවුද? වැරදුණේ කාටද?