නිදහසේ සීමා හා එම සීමා ජය ගැනීම

යටත්විජිත තත්ත්වයක තිබූ රටක් නිදහස දිනාගැනීම සඳහා දරන සමාජ උත්සාහයේදී ඒ ක‍්‍රියාවලියට නායකත්වය දෙන නායකයන් ප‍්‍රඥාවන්තයන් වේ නම් නිදහස දිනාගැනීම සඳහා කෙරෙන අරගල ක‍්‍රියාවලිය තුළම සමාජයේ පවතින යල්පැනගිය භේද නැති කොට ජාතිය ඒකාග‍්‍ර කිරීම මගින් ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අවශ්‍ය හා නැතුවම බැරි සාධකයක් ලෙස සැලකිය හැකි නූතන ජාතිය ගොඩනගා ගැනීම වෙනුවෙන්ද ක‍්‍රියාකරන්නේය. නිදහස දිනාගැනීමේ අරමුණ දුෂ්කර දෙයක් වන විට එම අරමුණ දිනාගැනීම සඳහා දුෂ්කර දෙයක් වන විට ඒ අරමුණ දිනාගැනීම සඳහා සමස්ත සමාජය ඒ අරමුණ වෙනුවෙන් ක‍්‍රියාකරන තැනකට ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් ක‍්‍රියාකරන්නට නිදහස් අරගලයට නායකත්වය දෙන නායකයන්ට සිදුවේ. ඒ සඳහා සමාජයේ පවත්නා යල්පැනගිය බෙදීම්වලට එරෙහිව කතා කරන්නට සේ ම භේදයකින් තොරව ඒ දේශයේ සියලූ මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදීමට සිදුවේ. එවිට එවැනි වැඩසටහන් ජාතිය ඒකාග‍්‍ර කරන හා නූතන ජාතිය ගොඩනගන වැඩසටහන් බවට පත්වේ.
ඉන්දියාවේ නිදහස් අරගලයට නායකත්වය දුන් නායකයන් බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් ඉන්දියාව නිදහස් කරගැනීමේ අරමුණට සමාන වැදගත්කමක් ජාතිය ගොඩනැගීමේ අරමුණට ලබාදෙන ලදි. ඉන්දියානු සමාජයේ ක‍්‍රියාත්මක වූ කුල ක‍්‍රමය විසින් ඇතිකර තිබුණු උස් පහත් භේදයට එරෙහිවද වාර්ගික, ආගමික, බෙදීම්වලට එරෙහිවද බලවත් හා දිග්ගැස්සුණු මතවාදී අරගලයක නිරතවීමට ඉන්දියානු නිදහස් අරගලයට නායකත්වය දුන් ඉන්දියානු කොංග‍්‍රස් පක්ෂයට සිදුවිය. ඉන්දියාව නිදහස ලබාගන්නා අවස්ථාව වන විට විශාල ප‍්‍රමාණයට ජාතිය ඒකාග‍්‍ර කොට ජාතිය ගොඩනගා ගැනීමට සමත් වී තිබුණි. එහිව අතුරු ප‍්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාව නිදහස ලබාගන්නා අවස්ථාව වනවිට ඉන්දියානු ජාතියකට අතිරේකව, පොදු ඉන්දියානු දෘෂ්ටියක්ද ජාතික ප‍්‍රතිපත්තිමය රාමුවක්ද ඉන්දියාවට උරුම වී තිබුණි.
අවසානයේ ඉන්දියාව සිය ආණ්ඩුක‍්‍රමය හා ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාව හදාගත්තේ නිදහස් අරගලයෙන් උරුම කරගත් එම ප‍්‍රධාන දායාදයන් තුන ආරක්ෂා කරගැනීමට හා පෝෂණයට කරගැනීමට හේතුවන ආකාරයටය. ඉන්දියාවේ බලයට පත්වන සියලූ පාලකයන් ජාතික ප‍්‍රතිපත්ති රාමුව තුළ ක‍්‍රියා කළ යුතුය. බලයට පත්වන කවරෙකුට වුවද එම ජාතික ප‍්‍රතිපත්ති රාමුවෙන් පිටස්තරව ක‍්‍රියා කළ නොහැකිය. බී.ජේ.පී. පක්ෂය සැලකෙන්නේ වර්ගවාදයට බර පක්ෂයක් ලෙසය. එහෙත් බී.ජේ.පී.ය බලයට පත්වූ කවර අවස්ථාවකදීවත් එයට වර්ගවාදී පාලනයකට ඉඩ නොලැබුණේ ඉන්දියාවේ ආණ්ඩු පාලනය තුළ දැඩි ලෙස ක‍්‍රියාත්මක වන එම ජාතික ප‍්‍රතිපත්ති රාමුව නිසාය.
ලංකාව බලවත් සමාජ උත්සාහයකින් නිදහස දිනාගත් රටක් නොවේ. ලංකාවට ලැබුණු නිදහස බලවත් උත්සාහයකින් තොරව තෑගි ලැබුණු නිදහසක් ලෙස සැලකිය හැකිය. නිදහස් අරගලයක් තිබීම නිසා නිදහස් අරගල ව්‍යාපාරයන් හරහා ගොඩනැගුණ භේදයකින් තොරව රටේ සියලූදෙනාට ආදරේ කරන රටේ හා සමාජයේ පොදු අභිවෘද්ධිය සඳහා ක‍්‍රියාකරන ප‍්‍රඥාවන්ත හා ස්ථිරසාර නායක පරපුරක්ද රටට උරුම නොවීය. ජාතිය ඒකාග‍්‍ර කොට රටේ ජීවත් වන සියලූදෙනාට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙන ක‍්‍රියාමාර්ගයක් තුළ ලාංකික ජාතිය ගොඩනැගීමක්ද සිදු නොවීය. රටට ොපදු ජාතික දෘෂ්ටියක් උරුම නොවූ අතර පොදු ජාතික ප‍්‍රතිපත්තියක්ද උරුම නොවීය.
ඒ නිසා නිදහසත් සමග රට ගමන් ගන්නේ සමාජයේ තිබුණු වර්ග, කුල හා ආගම් භේද කරගසාගෙන සමාජය ඒකාග‍්‍ර කරගැනීමකින් හා ජාතිය ගොඩ නගා ගැනීමකින් තොරවය. පොදු ජාතික දෘෂ්ටියකින් ඇතිකර ගන්නා බැඳීමකින් තොරවය. පාලකයන්ට හිතුවක්කාර ලෙස ක‍්‍රියාකිරීමට ඉඩක් නැති ජාතික ප‍්‍රතිපත්තියක් තනා ගැනීමෙන් තොරවය.
එම තත්ත්වය රටේ අවුල් ඇති කොට එම අවුල් වර්ධනය කොට මුළු රටම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවිය. ගැටුම් ඇතිවී එම ගැටුම් වර්ධනය වී ලංකාව කෙටිකාලීන වශයෙන් නොව දීර්ඝකාලීන වශයෙන් කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත්විය.
එම අඳුරු අශීලාචාර දීර්ඝ කාලවකවානුව තුළ ලක්ෂයකටත් වඩා වැඩි පිරිසක් ප‍්‍රචණ්ඩ ගැටුම්වලින් මරණයට පත්විය. මරණයට පත් නොවී ජීවත්වීමේ වාසනාව හිමිකරගත් අයද මරණ බිය රජ කළ එම බිහිසුණු වටාපිටාව තුළ අඩු වැඩි ප‍්‍රමාණයකට ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූයේය. එම බිහිසුණු කාලවකවානුව තුළ මිනිසුන් පමණක් නොව, මිනිසුන් නොවන දේවලද විකෘති කිරීමට හා ජරපත් කිරීමට හේතුවිය. රාජ්‍ය චෞර හා මාංශභක්ෂක රාජ්‍යයක තත්ත්වයකටද පත්කිරීමටද, සියලූ ආයතන ක‍්‍රම අකාර්යක්ෂම හා දූෂිත කිරීමටත්, ඒවා ජරපත් කිරීමටත් ලංකාව සෑම අංශයකටම අදාළ ලෙස අතිවිශාල අර්බුදයකට තල්ලූ කිරීමටත් හේතුවිය.
සිංහල දකුණේ ඇතිවූ ප‍්‍රචණ්ඩ අරගලය සේ ම ඉන්පසු දෙමළ උතුරේ ඇතිවූ ප‍්‍රචණ්ඩ අරගලය පරාජය කිරීමට සමත් වුවත් ප‍්‍රචණ්ඩ ගැටුම් ඇති කිරීමට බලපෑ ප‍්‍රශ්න සේ ම ප‍්‍රචණ්ඩ ගැටුම් නිසා සමාජයේත් රාජ්‍යයේත් ආයතන ක‍්‍රමයේ ඇතිවී තිබුණු පරිහානියේ ස්වභාවය හා එම තත්ත්වය ජයගැනීම සඳහා ඇති කළ යුතු ප‍්‍රතිසංස්කරණ හඳුනා ගනිමින් අවශ්‍ය වෙනස්කිරීම් ඇති කිරීමට අසමත්වීම නිසා ප‍්‍රචණ්ඩ ගැටුම් අවසන් කිරීමෙන් පසුත් අර්බුදය ජයගැනීමට අසමත් වී දැන් රට අරාජික තත්ත්වයක් කරා තල්ලූ වී යන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ.
ලංකාව මුුහුණදී තිබෙන මෙම සංකීර්ණ අර්බුදය සරල ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණවලින් ජයගත නොහැකිය. සරල ආණ්ඩු වෙනසකින්ද ජයගත නොහැකිය. එය ජයගත හැකිවනු ඇත්තේ මිනිසුන් තුළ ඇතිවී තිබෙන විකෘතිය හා පරිහානිය නැති කොට ඒ සියලූදෙනා සුවපත් කොට එම සමාජයේ දැනුවත් ක‍්‍රියාකාරී තත්ත්වයක් මගින් උත්තර නිර්මිතයද ප‍්‍රතිනිර්මාණය කරගන්නා තැනකට යෑමෙනි. නිදහසේදී ඇතිකර ගැනීමට අසමත් වූ සමාජය ඒකාග‍්‍ර කොට භේදයකින් තොරව ලංකාවේ ජීවත් වන සියලූ මිනිසුන්ට සමාන මනුෂ්‍ය ගෞරවය සමාන අයිතිවාසිකම් ලබාදෙමින් ලාංකේය ජාතිය ගොඩ නගා ගැනීමට සමත් වනු ඇත්තේද, රටට අවශ්‍ය පොදු දෘෂ්ටියක් හා ජාතික ප‍්‍රතිපත්ති රාමුවක් උරුම කරගැනීමට හැකිවනු ඇත්තේද ඒවාට ගැළපෙන ආණ්ඩුක‍්‍රමයක් හා ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත්තේද එවිටය.
ලංකාව 1948දී නිදහස ලබාගැනීමේ සම්පූර්ණ කරගැනීමට අසමත් වූ ඓතිහාසික කොන්දේසි වඩා නවීන ආකාරයකින් සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇත්තේත්, එම කොන්දේසි සම්පූර්ණ කරගැනීමට අසමත්වීමෙන් සමාජයෙන් රාජ්‍ය ඇතුළු ආයතන ක‍්‍රමයෙන් ඇතිවී තිබෙන පරිහානිය ජයගනිමින් නවීන සමාජයක්, නවීන රාජ්‍ය ක‍්‍රමයක් හා නවීන ආයතන ක‍්‍රමයක් ඇතිකර ගනිමින් රටට පුනරුදය උදා කරගත හැකිවනු ඇත්තේ ඒ සඳහා දැනුවත් සමාජය ඒ සඳහා දරන අතිවිශාල සමාජ උත්සාහයකින් පමණය.