නිදහස අර්ථවත්ද?

ඇත්තටම අපට
නිදහස ලැබුණා ද
නීතීඥ ජනක එදිරිසිංහ
ලංකාවට නිදහස ලැබුණා කියලා කියන්නේ 1948 පෙබරවාරි 04වෙනිදායි. එයට නිදහස් සටනක් තිබුණේ නැහැ. හැබැයි නිදහස ඉල්ලා ගැනීම පිණිස ව්‍යාපාරයක් තිබුණා. 1865 දී ලංකා සභාව කියලා එකක් පිහිටුවාගෙනයි ඒ ව්‍යාපාරය පටන් ගන්නේ. 1865 දී ලංකා සභාව පිහිටුවා ගන්න හේතු කීපයක් පදනම් වෙනවා. ඒ වන විට 1815 උඩරට ගිවිසුමෙන් පස්සේ 1832 කෝල්බෘක් ප‍්‍රතිසංස්කරණයත් එක්ක රටේ ආර්ථික ව්‍යුහය වෙනස් කරනවා, ඉංග‍්‍රීසි ජාතිකයින් විසින් එතෙක් පැවති රාජ්‍ය තනතුරු සහිත ග‍්‍රාම්‍ය ක‍්‍රමය වෙනස් වෙනවා. මේ කොටසට හිමි වෙලා තිබුණු නිදහස් බලය තියෙද්දී ලංකාවේ පළමු වතාවට වෙළෙද ආර්ථිකයක් පටන් ගන්නවා. එයත් සමග වෙළෙදාම් කිරීමට පටන් ගත්ත ලංකාවේ රේන්දකාරයින්ගේ පුත්තු සම කළු වුණත් එංගලන්තයට ගිහින් ඉංග‍්‍රීසියෙන් ඉගෙනගන්න පටන් ගන්නවා. ඒ ඉගෙනගත් අය දකිනවා අපට දැන් ඉංග‍්‍රීසි පුළුවන්, ටයි කෝට් අ`දින්නේ ඒ නිසා සුදු මහත්තුරු අතේ තියන බලය දැන් අපි අතට මාරු වුණා නම් හොදයි කියලා. ඕක තමයි ලංකාවේ නිදහස් සටන කියලා 1965 දී ලංකා සභාව පිහිටුවා ගත්තේ. ඒ ලංකාවේ දෙමළ සිංහල ජාතීන් දෙකේම ප‍්‍රභූ, සල්ලි තියන, රේන්ද කාරයින්ගේ පුත්තු පැලැන්තියයි. 1917 වෙන කොට ලංකා ජාතික සභාව කියලා ඒකේ නම වෙනස් කරගෙන දෙමළ සිංහල ඒකාබද්ධව නිදහස සදහා අරගලයක් කරනවා. හැබැයි ප‍්‍රශ්නේ තියෙන්නේ එහෙම කරලා එංගලන්ත ආණ්ඩුව 1948 දී නිදහස දෙනවා. ප‍්‍රශ්නය තියෙන්නේ ඕකෙන් ඇත්තටම අපට නිදහස ලැබුණා ද නැද්ද කියන එකයි.
මිනිසුන්ට නිදහස ලැබුණා නම් තමයි රටකට නිදහස ලැබුණා වෙන්නේ. ඇත්තටම අපි අපෙන්ම විමසා බැලූවහොත් අපිට නිදහස ලැබිලා නෑ. කවදා ද ගොවිගම එක්ක හාලි මිනිස්සු පහත් නෑ කියන මානසික තත්ත්වයක් අපි අතරේ හැදුණේ. කවදාද දෙමළ මනුස්සයා සිංහලයාට වැඩිය අඩු පුරවැසිකමක් සහිතයි කියලා නොසිතන රටක් ඇති වුණේ. කවදාද මුස්ලිම් මිනිසාට සිංහල මිනිසාට තිබෙන අයිතිය හා නිදහසමයි මේ රටේ තියෙන්නේ කියලා සිංහලයෝ හිතන්න පටන් ගත්තේ. කවදාද මම අඩු නැහැ, මමත් මේ රටේ අනෙක් අය හා සමානයි, අපි අතර වෛරයක් හෝ සටනක් නෑ කියලා මුස්ලිම් මිනිසා සිතන්න පටන් ගත්තේ. කවදාද තමන් සිංහල අය හා සමානයි කියලා සිංහල අය පිළිගන්නවා කියලා දෙමළ හෝ සිංහල අයෙක්ට හිතුනේ. එහෙම හිතුණා නම් අපිට නිදහස ලැබිලා. ඇත්තටම ලංකාවට සත්‍ය ලෙසම සමාජගත වූ නිදහසක් ලැබිලා නැහැ. සිදුවුණේ ඉංග‍්‍රීසි කතා කරන සුදු හම තියන මිනිසුන්ගෙන් රාජ්‍ය පරිපාලනය කළු හම තියන ඉංග‍්‍රීසි කතා කරන අයට ලැබුණා. ඒ අයට ප‍්‍රීතිමත් බලය ලැබුණා. ඒ බලයට ඒ අය කීවා නිදහස කියලා. නූගත් සාමාන්‍ය මිනිස්සුත් කීවා මේක තමයි නිදහස කියලා. එය එසේ නොවේ නම් කිසි දවසක උතුරේ හෝ නැගෙනහිර යුද්ධයක් ඇති වෙන්නේ නෑ. අපට නිදහස ලැබුණා නම් හැම මිනිහෙකුටම ඒ නිදහස දැනෙනවා. ඒ නිසා තමයි මහත්මා ගාන්ධි ලංකාවට ඇවිත් කීවේ ‘ඔබේ රටට නිදහස ලැබුණා නම් ඔබේ රටේ රොඩියා කියන මිනිසාට දැනෙන්න ඕනෑ මම දැන් නිදහස් කියලා.’ අද අපේ රටේ රොඩියා කියන කෙනාට ඒ දේ දැනිලා තියනවාද. ඒ සමාජ පරිවර්තනය මේ රටේ කවදාවත් ඇති කළේ නෑ. මේ තිබෙන පරිපාලන ක‍්‍රමයෙන් එය ඇති වෙන්න දෙන්නේත් නෑ. ඒකට හේතුව තමයි මිනිස්සු නිදහස් වෙනවා කියන එකේ තේරුම තමයි මිනිස්සු දැනුවත් වෙනවා කියන එක. මිනිස්සු දැනුවත් වෙනවා කියන්නේ තමන් ගැන නෙමෙයි, තමා ඉදිරිපිට ඉන්න අනෙක් මිනිසාට ගෞරවයක් තියනවා කියන දේයි. එතකොට තවත් මිනිසෙකුට නිගරු කරන්නේවත් ඒ කෙනා පහත් කර සිතන්නේවත් නෑ. ඒ මානසිකත්වය ලැබෙන්න නම් අවශ්‍ය කාරණා කීපයක් තියනවා. එකක් තමයි රටේ අධ්‍යාපනය එහෙම දැනුවත් කරන අධ්‍යාපන ක‍්‍රමවේදයක් බවට පත් වෙන්න ඕනෑ. අනෙක් දේ රටේ පරිපාලනයේ දී මිනිස්සුන්ට සමානව සලකන පරිපාලන ක‍්‍රමයක් තියෙන්න ඕනෑ. අනෙක තමයි නීතිය ඉදිරියේ මිනිසුන් සමාන බව මිනිසුන්ට දැනෙන්න ඕනෑ. ලියලා තිබුණාට වැඩක් නෑ, දැනෙන්න ඕනෑ. අපි අවුරුදු 70කට පස්සේ දකිනවා මේ ලෝකය විශ්ව ගම්මානයක් වෙලා තොරතුරු හා දැනුම ලබා ගත හැකි මට්ටමට දියුණු වෙලා තියෙද්දීත් පුදගලයෝ ලංකාවේ නීතිය ඉදිරියේ සමාන නැති බව අපි අදත් දකිනවා. මහා පරිමාණ අපරාධකරුවෙක් බවට පත් වූ අයෙක් බන්ධනාගාර රෝහලේ සැප ඇදක සිටින්නටත් බඩ ගින්නට පොළොස් ගෙඩියක්, අඹ ගෙඩියක් කඩාගෙන කාපු මනුස්සයා ගෝනියක් උඩ බන්ධනාගාරයේ බුදියන්නටත් සිදුවෙද්දී නීතිය ඉදිරියේ සමානතාවක් නැහැ. බලවන්තයාට බලපාන නීතිය හරිම සිනිදුයි, ලස්සනයි, සුවදයි. බරපතළ වරදක් වුවත් නැතත් බලය නැති මනුෂ්‍යයාට බලපාන නීතිය ඉතාම ගොරෝසුයි. එහෙව් රටක ඉදගෙන අපි නිදහස ගැන කතා කිරීම ඇත්තටම හාස්‍යයක්. 1948 පෙබරවාරි 04 දුන් දෙයක් ගැන නිදහස කියලා අපි අද විශ්වාස කරනවා. ඇත්තටම අපිට දීපු එකක් ගැන නොවෙයි අපි මේ කතා කරන්නේ. මෙහෙම හිතපං කියලා අපිට කියපු එකක් ගැනයි. ඒක මිනිස්සුන්ට දීලා නෑ, එහෙම හිතන්න කියලා කියලා තියනවා. ඒ නිසා අපි හිතාගෙන ඉන්නවා මේක නිදහස කියලා. හිතනවා මිසක් අත ගෑ නිදහසක්වත්, ලෙව කෑ නිදහසක්වත්, රස බැලූ නිදහසක්වත් නෑ.
අධ්‍යාපනය ගැන බැලූවොත් අද ඒක නතර වෙලා තියෙන්නේ කොතරම් දුෂ්ඨ තැනකද. වෛද්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යනු පිණිස තව වෛද්‍යවරු මොන ලෙසකවත් මේ රට තුළ පහළ නොවිය යුතුයි කියන තැනක වෛද්‍යවරු අද ඉන්නවා. හැබැයි වෙනත් විදේශ විශ්වවිද්‍යාලයකට ගිහින් මේ ළමයි කෝටි ගාණක් දීලා උපාධි අරන් ආවොත් ඒ අය භාර ගන්නත් මේ වෛද්‍යවරු සූදානම්. ඒ අය කියනවා ලෙඞ්ඩු මැරෙයි කියලා. රජයේ විශ්විද්‍යාලවලින් බිහි වූ වෛද්‍යවරුන් වැඩ කරන මෝචරියක් නැති එක රෝලක් තියද. ඒ හැම තැනකම මෝචරි තියනවා. ඒ හැම තැනකම ලෙඞ්ඩු මැරෙනවා. ඒ නමුත් අපි නිදහස ලැබුණා කියන මන්තරේ ඉදලාම පුරුදු කරලා තියනවා ඔළුව ඕෆ් කරගෙන අවිඥානික තත්ත්වයට ඇවිල්ලා කියන දේ අහගෙන කියන දේ පිළිගන්න තැනකට. ඒ නිසා අපිට නිදහසක් නෑ. අපි නිදහස් වෙන්න නම් මිනිස්සු මානසිකව නිදහස් විය යුතුයි. මානසිකව නිදහස් වෙන්න නම් ආර්ථිකයෙන්, සමාජ විශමතාවලින්, උස් පහත් භේදවලින්, වර්ණ භේදවලින්, භාෂා වෙනසින්, ආගමික වෙනසින් මිනිස්සු නිදහස් වෙන්න ඕනෑ.

නිදහස දිනාගත්තේ සාමකාමීවයි
ආචාර්ය ජයන්ත ධනපාල
අපේ රට නිදහස දිනාගත්තේ සාමකාමීවයි. ඒ කියන්නේ මහත්මා ගාන්ධිගේ ව්‍යාපාරයට පසුවයි. ලේ බිදුවක්වත් හෙළන්නේ නැතිව ඒ නිදහස දිනා ගත්තා. නුවර ගිවසුමට පසුව නැවත වරක් 1948 දී රට සම්පූර්ණයෙන්ම අපේ අයිතියට පත් වෙනවා. සෝල්බරි ව්‍යවස්ථාව අනුව අපට දේශපාලන නිදහසක් ලැබුණා. සමහරු කියන්නේ එය නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවෙයි කියලායි. අපට නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබුණේ තවත් අවුරුදු කීපයකට පස්සේයි. හැබැයි 1956 දී බණ්ඩාරනායක මහතාගේ ආණ්ඩුව යටතේ අපට තවත් පියවරක් ගන්න පුළුවන් වුණා. ඒ අනුව ත‍්‍රිකුණාමලයේ හා කටුනායක තිබූ බි‍්‍රතාන්‍ය හමුදා කදවුරු ඉවත් කළා. හැබැයි අපි නියම නිදහස් රටක් නොවෙයි කියන පිළිගැනීම තිබුණා. පසුව 1972 දී ජනරජයක් වුණාට පසුව තමයි ව්‍යාවස්ථාව අනුව අපිට සම්පූර්ණ නිදහස ලැබුණේ. ඒ නිසා එකවරම නිදහස ලැබුණු බව කියන්න අමාරුයි. මොකද ඒ නිදහස පුළුල් කරන්න කීප වරක් පියවර ගන්න සිදු වුණා. ආර්ථික නිදහසත් ලැබුණේ හුගාක් පසුවයි. මම හිතන්නේ 1956 දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් වුණා.
යහපාලන ආණ්ඩුව 2015දී තවත් විශාල පියවරක් ගත්තා. සෝභිත හාමුදුරුවන්ගේ ව්‍යාපාරය නිසා තවත් ලොකු පියවරක් ගත්තා. දැන් සාධාරණ සමාජයක් පිහිටුවන්න ගත්ත උනන්දු නිසා යහපාලනය කියලා ආණ්ඩුවක් ස්ථාපිත වුණා. ඒ නමුත් කණගාටුව ප‍්‍රකාශ කළ යුතුයි මොකද පෙර තිබූ දූෂිත ආණ්ඩුවේ මෙන් නැවත වරත් මේ ආණ්ඩුව යටතේත් දූෂිත ක‍්‍රියා ආරම්භ වුණා. ඒ නිසා තාම අපේ මහජනයාට නිදහසක් ලැබුණේ නෑ. ඒක කරන්න තව අපට ව්‍යාපාරයක් ගෙන යන්න වෙනවා. මහජනයාට නිදහසේ ප‍්‍රයෝජනය දැනගන්න එයින් රස විදින්න තවත් පියවර කීපයක් ගැනීමට තිබෙනවා.

මම හිතන්නේ යුක්තිය හා සාධාරණ සමාජයක් පවත්වා ගැනීමයි දැන් අපේ අරමුණ. අනෙක් දේ මානුෂික හිමිකම් තවම අපට ලැබී නෑ. අපි එක්සත් රටක් ලෙස තවම මෙම ව්‍යවස්ථාව අපට පැහැදිලි නෑ. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න යද්දී තවම බහුතර මතයක් ප‍්‍රකාශ කරනවා මේක සිංහල බෞද්ධ රටක් වෙන්න ඕනෑ කියලා. ඇත්තටම මම හිතන හැටියට අපේ හැම ජාතියකටම අයිතිවාසිකමක් තියනවා ලංකාව අපේ රටක් කියලා කියන්න. ඒ ජන මතය හැදෙනකම් හැම මහජනයාටම නිදහස ලැබිලා නෑ. තවම අපේ රටේ එක්සත් කමක් එකමුතුභාවයක් නෑ. එය වන තුරු නියම නිදහස ලැබුණා කියලා අපට කියන්න බෑ. ආත්මාර්ථකාමී දේශපාලනඥයන් සිටින විට එවැනි තත්ත්වයන් වෙනස් කිරීම අපහසුයි. ඒ වගේම අපේ රටේ විශාල යුදධයක් තිබුණා. එය අවසන් වුණාට පසුව නියම නිදහසේ ප‍්‍රතිඵල ලබා ගන්න මේක හොද අවස්ථාවක්.
තවත් දෙයක් තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත යටතේ නිදහසක් ලැබීමට ඉඩ තියනවා. හැබැයි තවමත් ඒ පනත සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වෙලා නැහැ. විදේශ කටයුතු ගැන බැලූවොත් නොබැ`දි ප‍්‍රතිපත්ති තවම හො`දින් ඉෂ්ඨ වෙලා නෑ. බණ්ඩාරනායක මැතිනිය සිටි කාලයේ නියම විධියට නොබැදි ප‍්‍රතිපත්ති පිළිපැද්දා. දැන් ඒවා අඩුවෙලා තියෙන්නේ. දැන් තිබෙන තත්ත්වය අනුව ඉන්දියාව හා චීනය අතර මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක් පිළිපදින්න ඕනෑ. අපි එය නියම විධියට පිළිපදින්නේ නෑ කියන එක මගේ හැ`ගීමයි. අපට ආසියාතික මහා බලවතුන් සමග මධ්‍යස්ථ වගේම හොද සම්බන්ධතා තබා ගත යුතුයි.

නිදහස ලැබුණේ 1947 අගෝස්තු 15
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සරත් අබේකෝන්
ඉන්දියාවට නිදහස ලැබුණේ 1947 අගෝස්තු 15වන දායි. හැබැයි ඒ ලැබිලා දවස් 13කට පස්සේ ඒ අය අලූතෙන් ව්‍යවස්ථාවක් හදන්න කමිටුවක් පත් කළා. ඒ කියන්නේ ඒ රටට ගැලපෙන ව්‍යාවස්ථාවක් හදන්න ඒ කමිටුව පත් කළා. 1950 වසරේ ජනවාරි වන විට එය ඒ රටේ පිළිගත් ව්‍යාවස්ථාව බවට පත් වුණා. එතැන දී ඒ අය ඉංග‍්‍රීසීන්ගෙන් ලැබුණු ව්‍යාවස්ථාව තියාගෙන ඉන්නවා වෙනුවට රටට ගැලපෙන ව්‍යාවස්ථාවක් හදා ගත්තා. මහත්මා ගාන්ධි ගෙන ගිය අරගලය සමග එම රටේ මිනිස්සු එක මිනිසුන් කොටසක් බවට පත්කර ගෙන වසර කීපයක් වන විට ඒ අයගේම ව්‍යවස්ථාවකුත් හදාගෙන අද ජනරජ දිනය ලෙස ඒ අය වැඩියෙන්ම සමරන්නේ නිදහස් දිනයට වඩා 1950 ජනවාරි 26වන දායි.
අපේ රටේත් 1948 පෙබරවාරි 4 නිදහස ලබාගෙන අපට ජනරජයක් වෙන්න අවුරුදු 24ක් ගත වුණා. එතැන අපට පෙනෙන දෙයක් තමයි ඒ කාලය වන තුරු අපේ රටේ පාලකයන්ටවත් අපේ රටට ගැලපෙන යම්කිසි ව්‍යවස්ථාමය වෙනසක් කරන්න වුවමනාවක් තිබුණේ නෑ. අපේ රටේ ජාතීන් ලෙස විරසකයක් බවට පත් වුණා මිස එක් ශ‍්‍රී ලාංකික ජාතියක් ලෙස අපිට නැගිටගන්න බැරි වුණා. හැත්ත දෙකේ ව්‍යවස්ථාවේ වුණත් අපට නොගැලපෙන බොහෝ දේ තියනවා. අපට අත්‍යවශ්‍යම ජාතීන් අතර ඇති ප‍්‍රශ්නය වැනි දේට හරි විස`දුමක් එයින් ඉදිරිපත් වුණේ නැහැ. හැත්තෑ අටේ දී වුණෙත් නැහැ. එහෙම පරිසරයක් තුළ තමයි අපිට නිදහස ගැන බලන්න වෙන්නේ.
අධ්‍යාපනය කියන දේ ගත්තත් කන්නංගර මැතිතුමා ඉතා අමාරුවෙන් 1947 දී නිදහස් අධ්‍යාපනය කියන දේ ඉදිරිපත් කරනකොටත් පාර්ලිමේන්තුවේ සිටි අයගේ එයට එතරම් කැමැත්තක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ ඊට සහයෝගය දැක්වුවේ කිහිපදෙනෙක් පමණයි. ඒ පනත අරගෙන රට පුරා ගිහින් රටේ මිනිස්සුන්ගේ හැ`ගීම්වලට එය දීමට එතුමාට සිදු වුණා. ඒ නිසා තමයි නිදහස් අධ්‍යාපන පනත් සම්මත වුණේත්. එසේ නොවුණා නම් නිදහස් අධ්‍යාපනය කියන දේත් අද නැහැ. පාසල් අධ්‍යාපනය කියන දේ අද ශිෂ්‍යත්ව විභාගයත් වෙනත් විභාග ගොඩකටත්, ටියුෂන් පන්තිවලින් යැපීමටත් පරිවර්තනය වෙලා තියනවා. එක්දහස් නවසිය හැට ගණන්වල ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල තිහ තිස්පහ මට්ටමේ තිබූ බව අහන්න ලැබෙනවා. ඒ නමුත් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අද වන විට එය දෙදාහටත් වඩා පහළින් තිබෙන්නේ. ඒ නිසා ඒ වගේ දෙයින් අපි පහළට ගිය බවත් තමයි පෙනෙන්නට තිබෙන්නේ.
මොකක්ද මිනිස්සුන්ට ලැබුණු නිදහස කියන දේ ගැන අපිට ලොකු ප‍්‍රශ්නයක් තියනවා. එකක් අපි කාලයක් තිස්සේ යුද්ධයක් කළා. ඒ යුද්ධය තිබූ කාලය තිස්සේ තිබුණා. අද වන විට එතැනින් ගැලවිලා ඒ අයට නිදහසක් තියනවා ද කියන ප‍්‍රශ්නය තියනවා. සාමාන්‍ය මහජනතාවට අනාගතයක් ඉස්සරට පෙනෙනවාද කියන ගැටලූව තියනවා. විශ්වවිද්‍යාලයේ ළමයි උසස් අධ්‍යාපනය සදහා විදෙස් ගත වන විට මම ඉස්සර කාලයක් තිස්සේ ඒ අයට කියූ දෙයක් තමයි ඒ අයගේ අධ්‍යාපනය වෙනුවෙන් ණය ගෙවන්න නැවත මේ රටට ඇවිත් වැඩ කරන්න කියන දේ. ඒ නමුත් දැන් අවුරුදු කීපයක් සිට මට එහෙම කියන්න හිත දෙන්නේ නැහැ. මොකද මේ රටට ආවාම මොකද වෙන්නේ කියන දේ පෙනෙන නිසායි.