රාවය

ජනරංජනගේ නික්ම යෑම

ජනරංජනගේ නික්ම යෑම

ජනරංජන රාවය කර්තෘ ධුරයෙන් ඉල්ලා අස්වීම හා ඔහුගේ ඉල්ලා අස්වීම භාර ගැනීම සමාජ ජාලවල කතාබහට හේතුවී තිබෙන මාතෘකාවක් වී තිබේ. මේ සිද්ධිය නිසා මුහුණු පොතට අදහස් පළකරන්නන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් මට ලැබුණි. මුහුණු පොතට අදහස් පළකරන්නන් වැඩි දෙනෙක් අදහස් පළකරන්නේ විචාරයෙන් තොරවය. සාමාන්‍ය අය පමණක් නොව, උගතුන්ගේ හැසිරීමද ඊට වෙනස් නැත. කිසියම් පුද්ගලයෙකු සිදුවී තිබෙන දෙයක් ගැන කරුණු ඉදිරිපත් කිරීමක් කර තිබෙන අවස්ථාවකදී එහි ඇත්ත නැත්ත ගැන කිසිදු සොයා බැලීමකින් තොරව එම වාර්තාකරණයේ එන කතාව සත්‍ය කතාවක් ලෙස සලකා අදහස් හා හැඟීම් පළකරන සම්ප‍්‍රදායක් ගොඩනැගී තිබෙන බව පෙනේ. මුහුණු පොත විෂයෙහි ලංකාවේ ගොඩනැගී තිබෙන සංස්කෘතිය තුළ ඕනෑම බොරුකාරයෙකුට ඊට සම්බන්ධ ජනයා විස්මයට හා ත‍්‍රාසයට පත් කොට ඔවුන් තමන් කැමති දිශාවකට දක්කාගෙන යෑමේ හැකියාව ලැබී ඇතැයි කිව හැකිය. එහිදී වඩාත්ම මාගේ පුදුමයට හේතුවූයේ සමහර නාමධාරීන් උගතුන් පවා එම ප‍්‍රවාහයේ අවිවේචනාත්මක කොටස්කරුවන් බවට පත්ව සිටීමය. එහිදී මෙම උගතුන් අදහස් පළකරන ආකාරය වෙනත් අය පළකරන ආකාරයට වඩා වෙනස් නැත. ෆේස් බුක් සංස්කෘතියේ යහපත් වෙනසක් ඇති කිරීමටවත් ඔවුන් තුළ උනන්දුවක් තිබෙන බව පෙනෙනන්නට නැත. දේශන ශාලාවල, පුස්තකාලවල හෝ පර්යේෂණාගාරවල සිටිය යුතු ශාස්ත‍්‍රාලයීය උගතුන් තමන්ගේ කාලයෙන් සැලකිය යුතු කොටසක් මුහුණු පොතේ ගතකිරීම හොඳ ලක්ෂණයක් ලෙස සැලකිය නොහැකිය.
ජනරංජනගේ ඉවත්වීම පිළිබඳව විශ්ලේෂණාත්මක පෙනුමකින් යුතු සටහනක් උපුල් කුමරප්පෙරුම විසින් ලියා තිබුණි. උපුල් ජනරංජනගේ මිත‍්‍රයෙකි. දෙදෙනාම නීතිඥයෝය. ඔහුගේ සටහන පාඨකයන්ගේ දැනගැනීම සඳහා මුළුමනින් උපුටා දැක්විය යුතුයැයි මා මුලදී කල්පනා කළත්, එය දීර්ඝ සටහනක් වන නිසා උපුටා දැක්වීම අවශ්‍ය නොවේ යැයි කල්පනා කළෙමි.
ඔහු එහි තර්ක කර තිබෙන ක‍්‍රමය අනුව ඔහු දක්ෂ නීතිඥයකු බව පෙනෙන්නේ නැත. ඔහුගේ එක් නිගමනයක් වන්නේ ජනරංජනට ඔහුගේ නිදහසට කරුණු කියන්නට සාධාරණ ඉඩක් නොදීම ඔහු රාවයෙන් ඉවත් කර තිබෙන බවය. නිදහසට කරුණු කියන්නට දෙයක් තිබුණේ නම් ඒ සඳහා තිබෙන ඉඩ ප‍්‍රයෝජනයට නොගෙන ඉල්ලා අස්වී ගෙදර ගියේ බලකිරීමක් නිසා නොව ස්ව කැමැත්තෙනි.
මෙම සටහන ලියා තිබෙන නීතිඥයා රාවය සමාගමේ නෛතික ස්වරූපය විග‍්‍රහ කර තිබෙන ආකාරයට නීතිඥයකුට තරම් නොවන බව කිව යුතුය. මිලින්ද මොරගොඩ සමාගමේ කොටස් අයිතියෙන් 40%ක් මිලදී ගන්නට ගිය අවස්ථාවේ සමාගමේ නීති පදනම හා ආර්ථික පදනම විග‍්‍රහ කොට ගත්තේ ලංකාවේ සුප‍්‍රකට විගණක හා කළමනාකරණ සමාගමක් වන කේ.පී.එම්.ජී. සමාගමිනි. සහයෝගිතා ව්‍යාපාරය වෙනුවෙන් සමාගමේ නෛතික පදනම සොයා බලන ලද්දේද සමාගම් නීතිය පිළිබඳව ලංකාවේ සිටින ප‍්‍රමුඛම පෙළේ නීති විශේෂඥයෙකු ලෙස සැලකිය හැකි අරිත වික‍්‍රමනායක මහතාය.
මෙම නීතිඥයා ඉදිරිපත් කර තිබෙන තවත් අපූරු නිගමනයක් වනුයේ සහයෝගිතා ව්‍යාපාරය මිලදී ගත් මුදලින් මට වන්දියක් ගෙවා ඇති බැවින් තවදුරටත් රාවයේ රැුඳී සිටීමේ අයිතියක් මට නැති බවය. සහයෝගිතා ව්‍යාපාරය මිලදී ගත්තේ මගේ කොටස් අයිතියෙන් කිසියම් ප‍්‍රමාණයක් මිස මාගේ මුළු කොටස් අයිතිය නොවේ. එවිට මට අහිමිවන්නේ කොටස් අයිතියෙන් කිසියම් ප‍්‍රමාණයක් මිස මුළුමනින්ම නොවේ. තවමත් කොටස් හිමියන් අතර සිටින වැඩිම කොටස් හිමිකමක් ඇති පුද්ගලයා මාය. මා මේ විෂය පිළිබඳව මීට පෙර දීර්ඝ ලිපියක් ලියා ඇති බැවින් (රාවය 2015 ජූලි 05 – 07 පිටුව* ඒ ගැන මෙහි තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ නැත.

ජනරංජන
ඔහු රාවයට සම්බන්ධ වූයේ නිදහස් කාටුන් ශිල්පියෙකු වශයෙනි. ඔහු තමන් අඳින කාටුන් සඳහා කිසිම ගෙවීමක් ලබා නොගත් බව ඔහුගේ ගෞරවය පිණිස කිව යුතුය. ඔහු ආර්ථික අමාරුකම් තිබුණු කෙනෙකු නොවූ නිසා ඔහුට ගෙවීමක් කිරීම අවශ්‍ය වේ යැයි අපි සිතුවේද නැත. කාටුන්වලින් කරන ලද දායකත්වය නිසා මුල් කාලයේදී අප දෙදෙනා අතර සුහද සම්බන්ධයක් ගොඩනැගී තිබුණු බවද කිව යුතුය.
වසර 2000දී පමණ මාසික සඟරාවක් අත්හදා බලන්නට අපට අවශ්‍ය වූ අතර ‘බලය’ නමින් පළකරන ලද එම මාසික සඟරාවේ සංස්කාරකත්වය භාරදෙන ලද්දේ සුනන්ද දේශප‍්‍රියට හා ජනරංජනටය. එහෙත් එහි නියම සංස්කාරක ලෙස ක‍්‍රියා කළේ ජනරංජනය. එය ලාභ ඉපැයීමේ අරමුණින් ආරම්භ කරන ලද්දක් නොවූවද පාඩු නොවන තත්ත්වයක තබා ගැනීම අපේ අරමුණ විය. වසරකට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන යන ලද එම සඟරාව ආයතනයට වැය බරක් වීම හේතු කොටගෙන එය නවතා දැමීමට සිදුවිය.
2012දී පමණ මා මගේ තනතුර සඳහා අලූත් පුද්ගලයකු හදා මා මාගේ සේවයෙන් විශ‍්‍රාම ගත යුතුයැයි කල්පනා කළෙමි. මා මැරෙන තෙක් තනතුරේ වැඩ කළ හැකිව තිබුණද, එසේ නොකොට මාගේ තෘප්තියට හේතුවන වෙනත් කාර්යභාරයක නිරත විය යුතු යැයි කල්පනා කළෙමි. මගේ තනතුරට පත්කිරීම සඳහා සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමට මට අවශ්‍ය වූ අතර මගේ අධීක්ෂණය යටතේ කිසියම් කාලයක් වැඩ කිරීමෙන් පසු සියලූ වගකීම් ඔහු වෙත භාරදීම මගේ අභිලාෂය වී තිබුණි.
සලකා බැලීම සඳහා නම් කිහිපයක් තිබුණු අතර ඒ ගැන අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡුා ගණනාවක් පවත්වා ජනරංජන තෝරා ගැනීමට තීරණය විය. ජනරංජන සුදුසු බව තීරණය කළේ මාය. සාකච්ඡුාවට ලක්වූ නම් කිහිපය අතුරෙන් ජනරංජන රාවයට ලබාදී තිබූ දායකත්වය ඔහු හොඳ කර්තෘවරයෙකු ලෙස ගොඩනැගෙනු ඇති බවට ඇති කරගත් විශ්වාසය, ආර්ථික අමාරුකම්වලින් තොර අයකුවීම යන කාරණාද ඔහුගේ තෝරා ගැනීම කෙරෙහි බලපෑවේය. ඔහු ඒ කාලයේදී දීප්ති කුමාරගුණරත්නගේ ඞ කණ්ඩායමට සම්බන්ධ වී සිටියේය. සුදර්ශන ගුණවර්ධන සමග පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂවරයෙකු ලෙස ක‍්‍රියා කරන බවද පසුව දැනගන්නට ලැබුණි. ඔහු රාවය ඞ කණ්ඩායමේ හෝ වෙනත් දේශපාලන ව්‍යාපාරයක අතකොලූවක් බවට පත් නොකරන බවට හා රාවයේ පිළිගත් සම්ප‍්‍රදායන් ආරක්ෂා කරන බවට සහතික වේ නම් ඔහු මාගේ අනුප‍්‍රාප්තිකයා බවට පත් කරගත යුතු බව මගේ මතය වී තිබුණි. ඒ ගැන ඔහු සමග කරන ලද සාකච්ඡුාවේදී ඔහු එම කොන්දේසි පිළිපදින බවට සහතික විය.
අධ්‍යක්ෂ මණ්ඩලය මාගේ එම තෝරා ගැනීමට විරුද්ධ වූයේ නැතත්, හොඳ උරගා බැලීමකට ලක්වන තෙක් පූර්ණ වශයෙන් විශ්වාසය තබන ප‍්‍රතිපත්තියක් යහපත් නොවේ යන්න එක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ අදහස විය. ඒ ගැන තීරණයක් ගැනීමෙන් පසු ටික කලක් වැඩ බලන කර්තෘ ධුරයට පත් කොට 2012 මැයි 31 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි ඔහු රාවයේ ප‍්‍රධාන කර්තෘ බවට පත් කරන ලදි. ඔහු වැටුප හැරුණු විට දුරකතන ගාස්තු හෝ ප‍්‍රවාහන වියදම් ඉල්ලා සිටියේ නැත. ඔහුට ඔහුගේ පරිහරණය සඳහා පුද්ගලික මෝටර් රථයක් තිබුණු අතර ඔහුට දුරකතන හෝ ප‍්‍රවාහන වියදම් වෙනුවෙන් දීමනාවක් ගෙවීම අවශ්‍ය වේ යැයි අපිද කල්පනා කළේ නැත.
සමහර සීමිතකම් තිබියදීත් ජනාධිපතිවරණය ආසන්න කාලය වන තෙක්ම ඔහු තනතුරේ කටයුතු හොඳින් කරගෙන ගියේය. ප‍්‍රතිපත්තිමය කාරණා පිළිබඳව ගැටලූ ඇතිවූයේ නැත. කර්තෘ හා කර්තෘ මණ්ඩල සාමාජිකයන් අතර අන්තර් සම්බන්ධතා ප‍්‍රශස්ත මට්ටමක නොතිබෙන බවද පෙනෙන්නට තිබුණි. කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණනාවක්ම සිය කැමැත්තෙන් සේවය අතහැර ගියේය. එසේ ගිය අය අතර දක්ෂයින් කිහිපදෙනෙකුද සිටියේය. අප දෙදෙනාගේ පාලන ශෛලිය එක සමාන නොවන නිසා හා කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ හොඳ නරක තීරණය කළ යුත්තේ ඔහු විසින් මිස මා විසින් නොවන නිසා එවැනි ප‍්‍රශ්නවලට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළෙමි. ඒ හැර ප‍්‍රතිපත්තිමය කාරණාවලදී විවාදයට හේතුවූ දේවල් සිදුවූයේ නැත.

මතභේද ඇතිවීම
ජනාධිපතිවරණයේ උණුසුම ආරම්භවෙමින් තිබුණු අවස්ථාවකදී ජනරංජන ජවිපෙ නායක අනුර දිසානායක හා හිටපු අගවිනිසුරු සරත් සිල්වා සමග ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණ මාලාවකට සහභාගි විය. ඒ අවස්ථාවේදී සරත් සිල්වා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විවේචනය කරන ස්ථාවරයකය. කථිකයන් තුන් දෙනෙකුට සීමාවූ වේදිකාවක ජනරංජන හිටපු අගවිනිසුරු සමග මහජනයා අමතා කතා කරන බව මට පළමුවෙන්ම අසන්නට ලැබුණේ එම සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු සම්මන්ත‍්‍රණයට සහභාගි වූ රාවය පාඨකයෙක්ගෙනි. ඔහු මා සමග දුරකතනයෙන් කතා කළේ බලවත් කම්පනයකින් යුතුවය. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදී ඔහුට එරෙහිව ජීවිතය පරදුවට තබා අරගලයක නිරත වූ පුවත්පතක කතුවරයෙකු එවැනි අධම පුද්ගලයෙකු සමග එකම වේදිකාවක කතා කිරීම සාධාරණ වන්නේ කෙසේදැයි ඔහු ප‍්‍රශ්න කළේය. ජනරංජන සරත් නන්ද සිල්වා සමග ගිය ගමන මා තුළද ලොකු කම්පනයක් ඇති කිරීමට හේතුවිය. ඔහු රාවයට සිදුවන හානිය නොසලකා තමන්ට ලැබෙන ප‍්‍රසිද්ධිය වැදගත් කොට සලකන පුද්ගලයකු බව මා තේරුම් ගත්තේ ඒ අවස්ථාවේදීය. මම විරෝධය පළකිරීමකින් තොරව නිශ්ශබ්දව බලා සිටියෙමි.
තවත් කලකට පසුව ඔහු සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ ප‍්‍රධාන පෙළේ ආධාරකරුවකු බවට පත්විය. එම ව්‍යාපාරය ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා පිළිබඳ අදහසට සේ ම සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අදහසටද මගේ විවේචනයක් තිබුණි. මා එම වැඩසටහනේ ආරම්භයේ සිටම එම වැඩසටහන විවේචනය කළෙමි. එය රට අරාජිකත්වයකට තල්ලූ කරන වැඩසටහනක් බව මගේ මතය විය.
සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමේ අදහසේ නිර්මාතෘවරයා වූයේ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නය. ඔහු ඒ කාලයේ සිටියේ එජාප සමග නොව සෝභිත හිිමියන් සමගය. ජයම්පතිගේ සරල ව්‍යවස්ථා සංශෝධන වැඩපිළිවෙල ගැන රාවයට විවේචනයක් ලීවෙමි. ඊට ප‍්‍රතිවිවේචනයක් ඊළඟ රාවයේ පළවිය. එය කියවූ විට එය ජයම්පති විසින් ලියන ලද්දක් බව තේරුම් ගැනීමද අමාරු නොවීය. එහෙත් එය පළකොට තිබුණේ ජයම්පතිගේ නමින් නොව වෙනත් නමකිනි. ජයම්පති විසින් ලියන ලද ලිපියක් වෙනත් නමකින් පළ කළේ ඇයිදැයි මම ජනරංජනගෙන් ප‍්‍රශ්න කළෙමි. එය ජයම්පති විසින් ලියන ලද්දක් නොවන බව ඔහු තරයේ කියා සිටියත්, ඔහු දෙන ලද පිළිතුරු මගේ විශ්වාසයට හේතුවූයේ නැත. ජයම්පති ජනරංජනගේ සමීප මිතුරෙකු විය. ජනරංජන පෙනී සිටියේද ජයම්පතිගේ ව්‍යවස්ථා සංශෝධන වැඩසටහන වෙනුවෙනි. මාගේ විවේචනයට ඉක්මන් පිළිතුරක් දිය යුතුයැයි දෙදෙනාම කල්පනා කළා විය හැකිය. පළමු පිළිතුර එහි ප‍්‍රතිඵලයක් වන්නට ඇති බව මගේ විශ්වාසය විය. ජනාධිපතිවරණයට ආසන්නයේදී ජනරංජන ගාමිණී වියන්ගොඩ සමග එකතු වී ‘පුරවැසි බලය’ නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලද අතර ජනරංජන වේගයෙන් දේශපාලනයට ඇදී යන බවක්ද පෙනෙන්නට තිබුණි.
මාගේ අපේක්ෂාව වී තිබුණේ රාවයේ නිෂ්ක‍්‍රීය කොටස්කරුවකු ලෙස ක‍්‍රියාකරමින් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් හා එහි සභාපති ධුරයෙන්ද ඉවත්වීමටය. සමාජ බලයක් නැති අලූත් ජීවිතයකට මාරුවීමේ අභියෝගය මා භාරගත යුතුයි කියන හැඟීම මා තුළ බලවත් ලෙස ඇතිවී තිබුණි. මා ඒ බව අධ්‍යක්ෂ මණ්ඩලයටද ලිඛිතව දැනුම් දී තිබුණි. එහෙත් මාගේ එම තීරණය සේවක මණ්ඩලයේ සිත් බලවත් ලෙස සසල කිරීමට හේතුවී තිබුණි. මා ගිය පසු රාවයේ සියලූ කටයුතුවල බලවතා වන්නේ ජනරංජනය. එය සේවකයන්ගේ සතුටට හේතුවූයේ නැත. ජනරංජන හැර කාර්ය මණ්ඩලයේ සියලූ දෙනා (27 දෙනා) අත්සන් කළ ලිපියක් ඔවුහු මා වෙත ඉදිරිපත් කළහ. ඒ 2015 ජනවාරි 18 වැනිදාය.
සේවක කම්පනය
එම ලිපියෙන් උපුටා ගත් කොටසක් මෙසේය.
”කවර ආර්ථික අර්බුදයකට පත් වුවත් රාවයේ පරමාදර්ශයන්, එහි සේවක සිත් සතන් තුළ සදා ලැගුම් ගත් ගුරුවරයා මෙන්ම මිතුරා වූයේද ඔබය. ඔබගෙන් තොරව රාවයක් නැතැයි අපි නොකියමු. එසේ කියන්නේ නම් අප ඔබගේ නොමඳ හාස්‍යයට ලක්වන බවද දනිමු.
ඔබම කියන පරිදි දැන් එළැඹ තිබෙන්නේ රාවයට ස්වර්ණමය යුගයකි. හැම අතින්ම පුවත්පත දියුණු කරගෙන කිසියම් සාර්ථකත්වයක් ළඟා කරගත හැකි අවදියකි. එසේ නම් එම ක‍්‍රියාවලිය යථාර්ථයක් කරගැනීම දක්වා ඔබ අප සමග ක‍්‍රියාකාරී තැනක සිටිය යුතුය. එනම් ආයතනයේ සභාපති ධුරයේ මෙන්ම උපදේශක කර්තෘ ධුරයේ තවදුරටත් වැඩ කටයුතු කළ යුතු බව අප සැමගේ හැඟීමය.
ඒ හැරුණු විට මෙම ඉල්ලීමෙහි තවත් හෘදයාංගම පැත්තක් තිබේ. එනම් රාවයේ සේවකයන් වන අපට ඔබ සමග ඇති බැඳීමයි. අප හැමෝම වෙන වෙනම ගත්තත් ඔබ සම්බන්ධයෙන් අපිට තව කෙනෙකුට කියන්නට විචිත‍්‍රවත් අතීත කතාවක් ඇත. එම කතාව කිසිදිනක යටපත් වන එකක්ද නොවේ. ආයතනික පාලනය සම්බන්ධයෙන් වන ඔබේ සංස්කෘතිය අපි මැනවින් දනිමු.
මෙම ලිපියට අත්සන් තබා ඉහත ඉල්ලීම් කරන අපි අතිශයින් සදාචාර විරෝධී, වංචාකාරී ක‍්‍රියාවක් යම් දිනක කළහොත් ඔබගෙන් සමාවක් නොලැබෙන බවද දනිමු. අප මෙතෙක් කල් ගත කළේ ඒ සංස්කෘතියට එකඟවය. අපි ඊට හෘදයාංගමය පාලනයක් යැයි කියමු. ඒ වරද වරද ලෙස දකින අතරම අපගේ මානුෂික ප‍්‍රශ්න කෙරෙහිත් ඔබ වඩා සංවේදී ප‍්‍රතිපත්තියක් ඉකුත් වසර 25කට අධික කාලය පුරාම අනුගමනය කළ නිසාය. ඒ අන්තර් අවබෝධය තවදුරටත් නොනසා රඳවා ගැනීම අපේ අපේක්ෂාවයි.
අපි එක්තරා මුහුදු යාත‍්‍රිකයෝ පිරිසක් වෙමු. වෙරළ තවදුරය. අප යන මේ යාත‍්‍රාවේ රුවල අල්ලාගෙන සිටියේ ඔබය. රුවල යනු කිසිසේත්ම බලය නොවේ. එය බලයට වඩා උත්තුංග උපකරණයකි. ඒ රුවල ජීවිතවල බර දරන නිසාය.
එබැවින් රුවල දරන්නාණෙනි,
වෙරළ වෙත යන දවස බොහෝ දුර වුවත්, මහත් ගෞරවයෙන් ඉහත ඉල්ලීම කරමු. රාවය සභාපතිත්වයේ මෙන්ම උපදේශක කර්තෘ ධුරයේ තවදුරටත් (සාධාරණ කාලයක්)කටයුතු කරන ලෙස රාවයේ අප ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.”
මේ ලියවිල්ල මා තුළ ලොකු කම්පනයක් ඇති කිරීමට හේතු වුවද මා ඊට ප‍්‍රතිචාර දක්වන තැනකට ගියේ නැත. ආයතනයේ සියලූ සේවකයන් අතර ඔවුන්ගේ අනාගතය ගැන අවිනිශ්චිත හැඟීමක් ඇතිවී තිබෙන බව සේ ම මාගෙන් පසු එළැඹෙන පාලනය ගැන ලොකු බියක්ද ඔවුන් තුළ ඇතිව තිබුණු බව මට පෙනුණි. ජනරංජන සේවක මණ්ඩලයට නවකයෙකු නොවීය. ඔහුගේ ශක්තීන් සේ ම සීමාවන්ද ඔවුන් දැන සිටියේය.
මෙම සාමූහික ලිපිය ජනරංජනගේ බලවත් කෝපයට හේතුවූ අතර, ඔහු තමන් තුළ ඇතිවූ එම කෝපය සේවක මණ්ඩලයට පෙනෙන්නටද සැලැස්සුවේය.
සේවක මණ්ඩලයට මාගෙන් ප‍්‍රතිචාරයක් නොලද තැන 2015.03.26 වැනි දින ඔවුන් මා අමතා ලියන ලද තවත් ලිපියක් මා වෙත භාර දුන්නේය. එසේ සේවක මණ්ඩලයේ 27 දෙනාගෙන් 26 දෙනෙකු අත්සන් කොට තිබුණි. එහි එන කාරණා මා මෙහි උපුටා දක්වන්නේ නැත. දෙවැනි ලිපිය ජනරංජනගේ කෝපය දෙගුණ තෙගුණ කිරීමට හේතුවිය.
ඒ සමග ඔහුගේ දේශපාලන භූමිකාවද වේගවත් වන බවක්ද පෙනෙන්නට තිබුණි. ඔහු තවත් කිහිපදෙනෙකු සමග එක්වී යහපාලන ආණ්ඩුවේ වැරදි නිවැරදි කරගැනීම සඳහා ක‍්‍රියාකරන යහපාලන ආණ්ඩුවේ බලවත් ආධාරකරුවකු ලෙස ක‍්‍රියා කළේය. නිතර නිතර ජනාධිපති හා අගමැති හමුවන්නට ගියේය. ආණ්ඩුවේ විවිධ ව්‍යාපෘති ඍජු ලෙස හා අනියම් ලෙස ක‍්‍රියාවට නගන්නෙකු බවට පත්විය. ආණ්ඩුවේ නාලිකාවල වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස ක‍්‍රියා කළේය.
ඔහුගේ මේ ප‍්‍රවේශය රාවය පුවත්පත කෙරෙහි බලපෑවේය. කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්ති කෙරෙහි බලපෑවේය. පුවත්පතේ අන්තර්ගතයේ මහා පරිහානියක් ඇති කිරීමට හේතුවිය. එය රාවයේ අලෙවිය කෙරෙහිද හානිකර ලෙස බලපෑවේය.
මම ඔහුට අවවාද කරන්නට උත්සාහ කළෙමි. ආණ්ඩුවක පැවැත්ම කෙටිකාලීන බවත් පුවත්පතක පැවැත්ම දීර්ඝකාලීන විය යුතු නිසා රාවයේ කර්තෘ ආණ්ඩුවේ හවුල්කරුවන් ලෙස පෙනී සිටීම සුදුසු නැති බවත් එය රාවය කෙරෙහි විනාශකාරී ලෙස බලපාන බවත් මම ඔහුට කීවෙමි. ඔහු ඒ කිසි දෙයක් පිළිගත්තේ නැත. ඔහු තමන් තෝරා ගත් මාවතේ හිතුවක්කාරී ලෙස ගමන් ගත්තේය. මා ජනරංජන වෙත 2017.12.18 වැනි දින භාරදෙන ලද ලිපියක් මෙසේය. එම ලිපිය ආශ‍්‍රයෙන් අප අතර තිබුණු ප‍්‍රශ්න මොනවාදැයි තේරුම්ගත හැකිය. එහි වාක්‍ය කිහිපයක අකුරු කළුකර තිබෙන්නේ පාඨකයාට වැදගත් නොවන අධ්‍යක්ෂ මණ්ඩලයට අදාළ කාරණයක් වන නිසාය.

මතභේදවල පදනම
කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා
මම පසුගිය මහා සභාවට ආවේ ඔබ සමඟ බහින් බස්වීමේ අදහසක් ඇතිව නොවේ. ඔබ එහිදී ලොකු බොරු ගණනාවක් කිව්වා. මිලින්ද මොරගොඩගේ ආයෝජනය කරන්න සැලසුම් කළ මුදලින් මා ලක්ෂ 100ක් ලබාගන්න බලාපොරොත්තු වී සිටි බව කීවා. ඒ සඳහා ගිවිසුමක් තිබෙනවා. මා ලබාගන්න බලාපොරොත්තු වුණේ ලක්ෂ 200න් 60ක් පමණයි. එය හොරකමක් නොවෙයි. මට අයිති දෙයක් මට අවශ්‍ය වෙලාවක විකිණීමේ අයිතිය මට තිබෙනවා.
අශෝකගේ මරණයටත් මා වගකිව යුතු බව කීවා. මා ඔහු සේවයෙන් ඉවත් කළේ නැහැ. ඔහු සේවයෙන් ඉවත් වුණේ මල්ලීගේ ආරක්ෂාව සඳහා. තමන්ට ෆ‍්‍රීලාන්ස් වැඩ කොට ජීවත්වීමේ හැකියාවක් තිබුණද මල්ලිීට ඒ හැකියාව නැති බව ඔහු කීවා. අශෝක රාවයෙන් ඉවත්වීමෙන් පසු මම ඔහුට ගොඩක් වැඩ දුන්නා. මගේ පොත් කළේ ඔහු. පින්තූර පොත් කළෙත් ඔහු. පින්තූර ප‍්‍රදර්ශනය කළෙත් ඔහු. ඒවා සඳහා ඔහුට ලැබුණු ආදායම රාවයෙන් ලැබුණු වැටුපට වඩා වැඩිය. අසනීප වූ පසුත් මා ඔහුට ආධාර කළා. මරණයෙන් පසු ඔහුගේ බිරිඳ දුවගේ අධ්‍යාපන වැඩසටහනකට ඔබගෙන් උදව් ඉල්ලා තිබුණා. එවැනි උදව්වක් කිරීමේ හැකියාව රාවයට නැති බව කී විට ඇය මට කතා කළා. මා එම පාඨමාලා ගාස්තුවෙන් ලොකු පංගුවක් ඇයට ලබා දුන්නා.
රාවයේ වැඩ කළ පිරිසක් කැමැත්තෙන් ඉවත් වන්නට එකඟ වූ විට මා ඔවුන්ව නිකම්ම දොට්ට දැම්මේ නැහැ. මාස තුනක පඩි දුන්නා. ග‍්‍රැටිවිටි දුන්නා. ඒ මොහොතේ තෝරා ගැනීමට තිබුණු එකම විකල්පය එයයි. සත්‍ය කරුණු මුළුමනින් විකෘති කොට මිනිසුන්ට පහරදීම යහපත් දෙයක් නොවෙයි.
ආයතනයේ සේවකයන් අවස්ථා දෙකකදී මා වෙත භාරදෙන ලද ලියුම් දෙක ගැන ඔබ එහිදී කරන ලද අර්ථකථනයන් වැරදියි. මා රාවයේ කර්තෘ ධුරය අත්හැර ගියේ මාගේ කැමැත්තෙනි. එම පුරප්පාඩුවට ඔබව තෝරා ගත්තේ මා විසිනි. එම පුරප්පාඩුවට තෝරා ගැනීමේදී ඔබේ ආත්ම ගෞරවයට හානි කරන කොන්දේසි පැනෙව්වේ නැහැ. ඇඟිලි ගැසීම් කළේ නැහැ. ඔබ ඒ තනතුරට පත්කරනවාට කාර්ය මණ්ඩලයද විරුද්ධ වූයේ නැහැ. එහෙත් සමාගමේ සම්පූර්ණ පාලනය ඔබ අතට පත්කරනවා දකින්න ඔවුන් කැමති වූයේ නැහැ. ඔවුන්ට ඔබ ගැන පොදු බයක් තිබුණු බව පේනවා. මා කර්තෘකම මුළුමනින් අත්හරිනවාට ඔවුන් විරුද්ධ වූයේ නැහැ. එහෙත් පාලනය මුළුමනින් අත්හරිනවා දකින්න ඔවුන් කැමති වුණේ නැහැ. පළමු ලියවිල්ලට ඔබ හැර ආයතනයේ සියලූදෙනාම අත්සන් කර තිබුණා. දෙවැනි ලියවිල්ලටත් එක් අයෙකු හැර අන් සියලූදෙනාම අත්සන් කර තිබුණා.
සේවකයන් එක හඬකින් කරන ඉල්ලීමකදී මුළුමනින් නොසලකා හැරීමේ හැකියාවක් මට තිබුණේ නැහැ. එය ඔබ දැක්කේ මගේද අනුදැනුම ඇතිව සිදුවූ කුමන්ත‍්‍රණයක් විදියට. ඔබට සම්පූර්ණ පාලනය භාරදෙනවාද නැද්ද යන්න තීන්දු කිරීමේ සම්පූර්ණ බලය තිබුණේ මගේ අතේ. ඒ සඳහා කුමන්ත‍්‍රණයක් මට අවශ්‍ය වන්නේ ඇයි?
ඔබ මා සමඟ මතභේද ඇති කරගත්තේ ඒ සිද්ධියත් සමඟ. ඒ වෛරය තාමත් ඔබ ළඟ තිබෙනවා. ඉන්පසු ඔබ වෙනදාට වඩා වේගයෙන් දේශපාලනයට ඇදී ගියා. රාවයේ සහයෝගීතාවේ නියෝජිතයන් දෙදෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට එකතුවන්නෙත් ඒ කාලේදී. ජනාධිපතිවරණය අත ළඟ තිබියදී ගාමිණී සමඟ එකතු වී ‘පුරවැසි බලය’ නමින් සංවිධානයක් ඇතිකර ගත්තා. මේ කාලයේදී ගාමිණීට අතිරේකව කුසල් පෙරේරා හා සුසිල් සිරිවර්ධනද අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡුාවලට මාරුවෙන් මාරුවට සහභාගි වුණා. ඒ දෙදෙනාට අතිරේකව සුනිල් විජේසිරිවර්ධන හා විජයානන්ද ජයවීරත් විවිධ මට්ටමෙන් වගකීම් භාරගනිමින් ක‍්‍රියාකරන්නට ඔවුන්ගේ කැමැත්ත ප‍්‍රකාශ කර තිබුණා. ඔවුන්ගේ මැදිහත්වීමෙන් රාවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හා රාවයේ කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ සාකච්ඡුාවක් මගේ නිවසේදී පවත්වනු ලැබුවා. එහිදී පුවත්පතේ ඇති කළ යුතු වෙනස්කම් ගැන බොහෝ දේවල් කතා කොට තීරණයක් ගනු ලැබූමුත් ඒ කිසිදු තීරණයක් ක‍්‍රියාවට නැගුණේ නැහැ. ඔබ රාවය පුවත්පත මගින් පවත්වාගෙන ගිය දේශපාලන ලයින් එක ඔවුන්ගේ විවේචනයට හේතුවුණා.
ඔවුන්ගේ සහභාගිත්වයෙන් පැවති එක් සාකච්ඡුාවකදී හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමඟ රට වටේ යමින් ප‍්‍රසිද්ධ වේදිකාවල කතා කිරීම සාකච්ඡාවට ලක්වුණා. ඔබ සමහර දේවල්වලදී තීන්දු ගත්තේ රාවයට සිදුවන හොඳ නරක ගැන කරුණු සලකා බැලීමකින් පසු නොවන බව මා පළමුවරට තේරුම් ගත්තේ සරත් සිල්වා සමඟ රට වටේ ගිය ඒ ගමනත් සමඟයි. රාවයට සිදුවන හානියට වඩා ඔබ එහිදී සැලකිල්ලට ගත්තේ ඔබට ඉන් ලැබෙන ජනප‍්‍රියභාවය ගැන. ඔබ එම සාකච්ඡුාවේදීත් එම ක‍්‍රියාමාර්ගය යුක්තිසහගත කරන්න උත්සාහ කළා. එය අනෙක් අය අතින් බරපතළ විවේචනයට ලක්වූ පසුවයි එය ඔබ අතින් නොදැන සිදුවූ වරදක් බව පිළිගත්තේ. ඔබේ දේශපාලනය ගැන ඒ සියලූදෙනාට විවේචනයක් තිබූ නිසා ඔබ දක්ෂ ලෙස ඒ සියලූදෙනා චිත‍්‍රයෙන් ඉවත් කරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා. කුසල් ලිවීමෙන් රාවයට ඵලදායක දායකත්වයක් ලබාදෙමින් තිබුණා. ඔබ එම ලිපි පළකිරීමෙන් වැළකී සිටින ප‍්‍රතිපත්තිය නිසා ඔහු රාවයට ලිවීම මුළුමනින් අත්හැරියා. විජයානන්ද ජයවීර, ලෝක ප‍්‍රකට භෞතික විද්‍යාඥයෙකුගේ රචනා කිහිපයක් පරිවර්තන කොට ඒවා රාවයේ පළ කිරීම සඳහා ඔබට එව්වා. ඔබ එය පළකළේ නැහැ. ඒ ලිපි එකතුව සාමාන්‍ය පාඨකයන්ට පවා කියවා තේරුම්ගත හැකි ජාත්‍යන්තර වශයෙන්ද විශාල පිළිගැනීමක් හිමිකරගත් ලිපි එකතුවකි. දැන් එම ලිපි එකතුව රංජිත් දිසානායක පොතක් වශයෙන් පළකර තිබේ. ඒ ලිපි එකතුව පළකරන තැනකට ගියේ නම් සාමාන්‍ය පාඨකයාගේ පමණක් නොව විශේෂ වශයෙන් භෞතික විද්‍යාව උගන්වන ගුරුවරුන්ගේ, එම විෂය ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ගේද මහත් උනන්දුවට හේතුවන ලිපි පෙළක් බවට පත්වන්නට ඉඩ තිබුණා. ඔහු ඊට පෙර තෝරාගත් ඔෑෘ කතා පරිවර්තනය කර රාවයට එව්වා. ඔහු සම්බන්ධයෙන් අනුගමනය කරන ලද නොසැලකිලිමත් ප‍්‍රතිපත්තිය නිසා රාවයට ලිවීමෙන් දෙන දායකත්වය ඔහු අත්හැරියා. සුනිල් විජේසිරිවර්ධනගේ දක්ෂතාවලින්ද නිසි ප‍්‍රයෝජන ගැනීමක් සිදුවුණේ නැහැ.
ඔබ රාවය කර්තෘ ධුරයෙන් ඉවත් කිරීමේ කිසිම අවශ්‍යතාවක් මට නැහැ. එහෙත් රාවයේ පැවැත්ම පරදුවට තබන දේශපාලනයක් රාවයේ යහපතට හේතුවන්නේ නැහැ. කෙනෙකුට තමන් කැමති දේශපාලනයකට උදව් කිරීමේ අයිතියක් තිබෙනවා. ඒ අයිතියට මමත් ගරු කරනවා. ඒත් සංවාදශීලී අපක්ෂපාත වේයැයි කියා ගන්නා පුවත්පතක කතුවරයා ආණ්ඩුවේ හෝ විරුද්ධ පක්ෂයේ ව්‍යාපාරයක ප‍්‍රබල ආධාරකරුවකුවෙමින් ඉලෙක්ට්‍රොනික් හෝ වෙනත් ප‍්‍රසිද්ධ වේදිකාවල කතා කරන තැනකට යෑමෙන් ඒ පුවත්පතේ ප‍්‍රතිරූපයට ලොකු හානියක් වෙනවා. කර්තෘ එවැනි ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා කරන විට එය පුවත්පතේ අන්තර්ගතය කෙරෙහිත් විනාශකාරී ලෙස බලපානවා.
දේශපාලනයේදී රාවය ආරක්ෂා කරගත යුතු ප‍්‍රතිපත්ති මොනවාදැයි මා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ලිපියකිනුත් (2014.12.19) ඊට අතිරේකව ඔබ කර්තෘ ධුරයට පත්කිරීමේදී දෙන ලද පත්වීමේ ලිපියේද ඒ ගැන පැහැදිලිවම සඳහන් කර තිබේ.
අදාළ උපුටා දැක්වීම් දෙක ඔබගේ දැනගැනීම සඳහා මෙහි උපුටා දක්වන්නෙමි. පළමු උපුටා දැක්වීම පළමු සඳහන් ලිපියෙනි.
”(අ) රාවය ධනය ඉපැයීමේ අරමුණින් අරඹන ලද ව්‍යාපාරයක් නොවේ. එය යහපත් රටක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය වෙනස්කම් වෙනුවෙන් ප‍්‍රබල ලෙස පෙනී සිටි, ඒ අරමුණ සඳහා දැනුවත් සමාජයක් ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයකි. එය දේශපාලනයේදී කවර අවස්ථාවකදීවත් දේශපාලන ව්‍යාපාරයක අවිවේචනාත්මක අනුගාමිකයෙක් ලෙස හෝ වන්දි භට්ටයෙකු ලෙස ක‍්‍රියා කර නැත. දේශපාලන අර්බුද ඇතිවන අවස්ථාවලදී ඒ ආශ‍්‍රයෙන් මතුවන දේශපාලන ප‍්‍රවණතාවක් සමඟ ගනුදෙනු කිරීමේදී ඒවාට තරමක් ඉහළින් ඉඳිමින් ක‍්‍රියා කළා මිස, ඒවාට අනුගතවී ක‍්‍රියාකර නැහැ. එසේම මොනම අර්බුදයකදීවත් ලබාදෙන ලද දායකත්වය වෙනුවෙන් ආත්මාර්ථකාමී ලෙස අයුතු ලාභ ලබාගන්නා තැනකටද ගොස් නැත.”
ඔබගේ පත්වීම් ලිපියට ඇතුළත් කොන්දේසි දෙකක් මෙසේය.
”අධ්‍යක්ෂ මණ්ඩලයේ හා උපදේශකයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුය.
පුවත්පත ස්වාධීන හා අපක්ෂපාත පුවත්පතක් වශයෙන් පවත්වාගෙන යායුතු අතර පුවත්පත මොනම දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමක අතකොලූවක් බවට පත් නොකළ යුතුය.”
රාවයේ නිර්මාතෘවරයා වශයෙනුත් සමාගමේ සභාපතිවරයා වශයෙනුත්, මා ඔබගෙන් ඉල්ලා සිටිනුයේ ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටින ප‍්‍රතිපත්තිය අත්හරින ලෙසය. ඊට ගැළපෙන ලෙස කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්තිවලද ගැඹුරු වෙනසක් ඇති කරන ලෙසය. එසේ කිරීම රටේ යහපතට, රාවයේ යහපතට පමණක් නොව ඔබේ යහපතටද හේතුවනු ඇත.
පුවත්පත ඒකාකාරය, අන්තර්ගතය හරබර නොවනවා සේ ම තියුණු බවකින්ද තොරය. සාමාන්‍යයෙන් රාවය පුවත්පතේ අලෙවිය වර්ධනය වන්නේ අවුල්සහගත තත්ත්වයක් පවත්නා මෙවැනි කාලවලය. එහෙත් රාවයේ අලෙවිය ඉහළ යනවා වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ පහළ වැටීමය.
රාවය සමාගමේ කළමනාකරණ විෂයෙහි ඔබට පූර්ණ විධායක බලය ලබාදෙන ප‍්‍රතිපත්තියට මා කැමති නොවූයේ ඒ සඳහා අවශ්‍ය කරන පුළුල් අවබෝධය හා සංයමය ඔබ ඇති කරගෙන නැතැයි කියන මතයේ පිහිටාය. රාවයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔබට හිතවත් දෙදෙනෙකු රාවය සහයෝගීතාවෙන් පත්වූ පසු ඔවුන්ට සමාගමේ පාලනය මුළුමනින් ඔබ අතට පත් කරන්නට අවශ්‍ය වුණා. ඔවුන්ගෙන් ලැබුණු ශක්තියෙන් ඔද වැඩුණු ඔබ සම්පූර්ණ පාලනය ඉල්ලා සිටින තැනකට තල්ලූ වුණා. සමාගම සඳහා තමන්ට හොඳ සැලැස්මක් ඇති බවත්, නව ආදායම් මාර්ග ඇති කොට රාවයට ලොකු දියුණුවක් අත්පත් කරදීමේ හැකියාවක් ඇති බවත් ඔබ කියා සිටියා.
සේවක විරෝධයක් තිබියදී ඔබේ ඉල්ලීමට මා ඉඩ දුන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ ලොකු බෙදීමක් ඇතිවීම වළකා ගැනීම සඳහාය. එහෙත් අලූත් ආදායම් මාර්ග ඇති කරනවා තබා තිබෙන ආදායම් මාර්ග ප‍්‍රශස්ත ලෙස පවත්වාගෙන යාමටවත් ඔබ සමත් වී නැති බව කනගාටුවෙන් වුවද කිවයුතුය. පොත් ප‍්‍රකාශන ව්‍යාපාරය එකතැන පල්වෙන තත්ත්වයකට පත්ව තිබෙන්නේ එය දියුණු කළ හැකි තත්ත්වයක තිබියදීය. රාවයෙන් පළකරන පොත් ගැන පුවත්පතේ විචාර පළකරන ලෙස මා දීර්ඝ කාලයක් තිස්සේ විටින් විට ඔබට කියා ඇතත් ඔබ ඒ අංශය සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ නොසැලකිලිමත් ප‍්‍රතිපත්තියකි. පිටස්තර ප‍්‍රකාශකයන් පළකරන පොත් ගැන නිතර නිතර දීර්ඝ විවරණ පවා පළවේ. එහෙත් රාවයෙන් පළකරන පොත් සඳහා විවරණ නැත.
ඔබගේ වගකීම ප‍්‍රධාන කර්තෘකමට සීමා කොට සමාගමේ පරිපාලන වගකීමෙන් සිය කැමැත්තෙන් ඉල්ලා අස්වීම සුදුසු බව මම ඔබට යෝජනා කරමි. එම වගකීම දැරීමට සුදුසු තරමේ පැසුණු බවක් හා ශික්ෂණයක් ඇති කරගත් පසු ඒ වගකීම නැවත ඔබට භාරදිය හැකිය.
මේ ලිපියේ පිටපත් මා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට යවන්නේ නැත. මෙය ඔබගේ දැනගැනීම සඳහාය.

මීට,
………………………
වික්ටර් අයිවන්
රාවය සමාගමේ සභාපති
2017.12.18

අවසානය
ජනරංජනද නිල බලයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. පසුගිය අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡුාවේදී ඔහුගේ ප‍්‍රශ්නය සාකච්ඡුාවට ගත්විට ඔහු එම සාකච්ඡුා සභාවෙන් ඉවත් වන්නට උත්සාහ කළේය. එසේ නොකරන ලෙසත්, ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන නිසා සාකච්ඡුාවට සහභාගි වී අදහස් පළ කරන ලෙසත් අධ්‍යක්ෂ මණ්ඩලය ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඔහුගේ ඉවත්ව යෑම නතර කළ නොහැකි විය. අධ්‍යක්ෂ මණ්ඩලය තමන් පිළිබඳව ගන්නා තීරණයන් තමන් වෙත දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ඉන්පසු අධ්‍යක්ෂ මණ්ඩලය ඔහුගේ විධායක බලය ඉවත් කළේය. ඔහු රක්ෂාවෙන් පහකළේවත්, කර්තෘ ධුරයෙන් පහකළේවත් නැත. කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්තිවලදී සභාපතිවරයාගේ මගපෙන්වීම් අනුව ක‍්‍රියා කළ යුතු බවද තීරණය කළේය. එය ආයතනයේ සේවකයෙකු පිළිබඳව නොව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු පිළිබඳව ගන්නා ලද තීන්දුවක් විය. එම තීරණයන් ඔහු වෙත දැනුම් දෙන ලද්දේ ජනවාරි 19 වැනිදාය. ඔහු එම තීරණයන්ට එරෙහිව ඒවා නැවත සලකා බලන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට අභියාචනයක් කළේ නැත. ඔහු ඉල්ලා අස්වූයේ 24 වැනි බදාදා දහවල්ය. එසේ කළේ සකස් කරමින් තිබූ පුවත්පතේ කටයුතු පවා අවසන් කිරීමකින් තොරවය. පුවත්පත් කතුවරයකු ඉල්ලා අස්වන විට ප‍්‍රමාණවත් කරමින් කල්දීමක් සිදුකළ යුතු අතර ඔහු ඉල්ලා අස්වූයේ එවැනි කල්දීමක් පවා දීමෙන් තොරවය.
අපි ඔහුගේ නික්මයෑම ගැන කනගාටුවනවා මිස සංතෝෂවන්නේ නැත. සීමිතකම් තිබියදීත් ඔහු දෙන ලද දායකත්වය අපි අගේ කරමු. ප‍්‍රශ්න තිබුණේ ඔහුගේ ප‍්‍රතිපත්ති සමගය. ප‍්‍රතිපත්තිවලදී ඔහු අඩියක් පස්සට ගෙන රාවයේ ප‍්‍රතිපත්තිවලට අනුකූලව ක‍්‍රියා කළේ නම් ලැබෙන ප‍්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. අපි ඔහුගේ දායකත්වයට ස්තුති කරන අතර යහපත් අනාගතයක් සඳහා සුබ පතමු.