රාවය

හැගීම් විරහිතව නිදහස සමරන රටක්

හැගීම් විරහිතව නිදහස සමරන රටක්

 

ලංකාව නිදහස අර්ථවත් කරගත් රටක්ද? නැතහොත් නිදහස අර්ධ වශයෙන් වැළදගත් රටක්ද? ඉත්තන් සීරුමාරු කිරීම වැනි කටයුත්තකින් ලද නිදහස හා නිශ්චිත අරුතක් වෙනුවෙන් ජීවිත පූජාවෙන් යුතුව අරගලයක නිරත වීමෙන් ලද නිදහසත් අතර වෙනසක් තිබේ. ලංකාව තුළ ඒ අන්ත දෙක අතර වෙනස කැපී පෙනේ. ලංකාවේ ජනයාට ඇත්තේ රට ගැන කවර හැගීමක්ද? ඔවුන් මතුපිටින් රටට ආදරය කරන බව කියමින් රටේ දියුණුව වෙනුවෙන් කැප නොවන ආකාරයක් දිසේ. අනෙක් අතට එකම යුගයක අසීරු කොන්දේසි මත පීඩාවට පත් ජාතීන් ගැන සිංහල මහජාතියට ආදරයක් නැත්තේ කැපවීමෙන් සාමුහිකව ලද නිදහසක් රට වෙනුවෙන් අත්පත්කර නොගත් නිසාය. කැපවීමෙන් ලද නිදහසක් අත් කරගත් රටවැසියන් තුළ නිසැකවම මීට වඩා බලවත් හැගීමක් රට හා සහෝදර ජාතීන් ගැන තිබිය යුතුය. ඉන්දියාවේ ජාතීන් අතර අර්බුද ඇතත් ජනවර්ග විශාල සංඛ්‍යාවක් එකට හිදීමෙන් ඔවුන් සිය රට පිළිබද සමස්ත කැපවීම පෙන්නුම් කර තිබේ.
රට වඩා නුතනවාදී රටක් බවට පරිවර්තනය කළ හැක්කේ ගාන්ධිවාදයටද නැතහොත් නේරුගේ නායකත්වයටද යන්න ගැන ඉන්දියානුවෝ කතිකා කළහ. ගාන්ධි ඉන්දියාවේ නිදහසට හා ජනයාගේ නිවහල් චින්තනයට පදනම දැමු නමුත් ආර්ථික දියුණුවෙන් අනුන නූතන රාජ්‍යය වෙත ප‍්‍රවේශයක් නොගත්තේය. ඊට විකල්පව නේරු ඉන්දියාවට අදටත් වළංගු ආර්ථික ආපේක්‍ෂාවන්ගෙන් පිරුණු රාජ්‍යයකට පදනම දැම්මේය. නිදහසින් පසු ලංකාවේ එබදු නායකයෝ බිහි නොවූහ. ඉන්දියාවේ ප‍්‍රථම අගමැති නේරු නොවී වෙනත් නායකයකු ඒ සදහා පත්වූවා නම් රටෙහි සිදුවිය හැකිව තිබුණු වෙනස්කම් කවරාකාරද? ඒ ඔස්සේ රට මීට වඩා දියුණු විය හැකිද? නොහැකිද? වැනි මාතෘකා හැටේ දසකයේදීත් ඉන්දීය බුද්ධිමතුන් අතර සාකච්ඡුාවට ගැනුණි. ලංකාව එවැනි බුද්ධිමය සාකච්ඡුාවල නො නියැලූණු රටකි. බුද්ධිමය සාකච්ඡුා ඉරණම වෙනස් කළ හැකි මාර්ගවේ. එහෙත් නිදහසින් පසු ලංකාව, වෙනස් කිරීමකින් තොරව ඉරණම භාරගන්නා රටක් බවට පත්වූයේය.
2017 ජනවාරිය හා 2018 ජනවාරිය ගැන කීමට එක සමාන කතා දෙකක් තිබේ. ඉකුත් වසරේ ජනවාරියේ මහියංගනයේ පාසලකට එක වසර සදහා ළමුන් ඇතුළත් කැරිණි. පංති කාමර නැති නිසා එම දරුවන්ට එක වසර පංති පවත්වාගෙන ගියේ පළමු සතියේ එම ළමුන්ගේ කි‍්‍රයාකාරකම් සදහා ඉදි කෙරුණු සෙල්ලම් ගෙවල්වලය. හදිසියේම මහ වැසි ඇද වැටුණි. මව්පියෝ දරුවන් රැගෙන ගියහ. මෙම වසරේදීත් මාතලේ දිස්ති‍්‍රක්කයේ පාසලක පළමු වසර ඇරඹුණේ පොලිතීන්වලින් සෙවන සැපයූ පංති කාමරයකය. එහෙත් පසුගිය වසරේ සෙල්ලම් ගෙදර පංති කාමරයට මෙන් මෙවර වැසි නොවැටුණි. ලංකාවේ සමස්ත චිත‍්‍රය මෙය නොවූවත් නිදහසින් වසර 70කට පසුත් රට තිබෙන තැන පිළිබද එම සිදුවීම් ඉගි සපයයි. නිදහස යනු ඉරණම භාර නොගෙන ජීවිත වෙනස් විය යුතු හා අලූත් විය යුතු බව සිතන දිනයක් බවට පත් කර ගත යුත්තේ එහෙයිනි.
ලංකාව ආර්ථිකය ගොඩනගනවාට විකල්ප නිදහසින් පසු අවධිය තුළ බරපතළ දේශපාලන අවුල් වියවුල් වලපැටලූණි. 53 හර්තාලය, 62 දේශපාලන කුමන්ත‍්‍රණය, 71 හා 88 කැරලි තත්ත්වයන්, 83 කළු ජූලිය, තිස් වසරක උතුරේ යුද්ධය හා රටේ සමාන්තරව පැවති දේශපාලන අස්ථාවරත්වය රට ගෙන ගියේ පසුපසටය. උතුරේ හා දකුණේ සටන් වැදී මිය ගිය තරුණ ගහණය රටෙහි අනාගතය සැලසුම් කිරීමට හා රට ගොඩනැගීමට සිටී බුද්ධිමය මෙන්ම සකී‍්‍රය මිනිස් සංචිතය වන අතර ඔවුන්ගේ ක්‍ෂය වීමෙන් පසු රට කාන්තාරයක් බවට පත්වීම පුදුමයක් නොවේ. ඒවා ගැන සාකච්ඡුාවක් නැති වීම ජාතියක් හැටියට මහත් අඩුවකි.
70 වැනි නිදහස් සමරුවට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා අඞ්ඩාලච්චේනයි ප‍්‍රදේශයේදී කීවේ ජාතීන් අතර සමගිය ඇති කොට මිස ආපසු නොහැරෙන බවය. අදහස ශ්‍රේෂ්ඨ නමුත් ඔහු ජාතීන් අතර තිරසාර සාමයක් සදහා සපුරමින් සිටින්නේ කවර වැඩසටහන්ද යන්න අපැහැදිළිය. උතුරේ දුප්පත් දෙමළ වැසියකුගේ නිවසට ගොඩ වැදී සුවදුක් විමසා ආ පමණින් ජාතිීන් අතර ස්ථාවර සාමයකට පදනම වැටෙන්නේ නැත. ඒ ජනාධිපතිතුමා නම් හරි හොද මනුස්සයා යන්න පමණක් එවිට ඔවුන් කියනු ඇත. පුද්ගලයා ඇත්තටම යහපත් වනු ඇත්තේ ඔහුට බහුතරය වෙනුවෙන් යහපත් වැඩසටහන් තිබෙනවා නම් පමණක් බව ජනපති අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍යය. 70 වැනි නිදහස සමරද්දී සන්දර්ශන ලෝකයක් ප‍්‍රාදුර්භූත කරනවා වෙනුවට ලංකාවට වැරදුණේ කොතැනද යන්න එළඹි සිහියෙන් අවලෝකනය කිරීම වැදගත්ය.