සම්මුතිවාදයේ ගැඹුරු අරුත් නොදැකීම

ලංකාවේ දේශපාලකයන්ට පාර්ලිමේන්තුවෙන් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය පාර්ලිමේන්තුව නොව ගල්ගුහාවකි. පාර්ලිමේන්තුවක කරන්නේ අදහසක් ඇති භේදයකින් යුතුව විෂය හා විෂයාන්තර කරුණු පිළිබඳව වාද විවාද කර රටට වැදගත් තීන්දුවලට එළැඹීමය. ගල්ගුහාවකදී කැරෙන දේවල් බාහිරට පෙනෙන්නේ නැත. එහි ඕනෑම දෙයක් සිදුවන්නට පුළුවන. ලංකාවේ දේශපාලනය වැනිය. ගල්ගුහාවක සිට රට ගැන තීන්දු ගන්නවා වෙනුවට පාර්ලිමේන්තුව තිබෙන්නේ සංවාදයෙන් මෙන්ම විසංවාදයෙන්්් පසුව මහජනයාගේ ප‍්‍රශ්නවලට අදාළ තීන්දු ගැනීම සඳහාය. රටෙහි දේශපාලනඥයන් එය කරනවාද?

ගුහාගතවීම
සන්ධානයේ 96ම මා එක්ක නම් හෙටම ශ‍්‍රීලනිපයේ ආණ්ඩුවක් හදන බව ජනවාරි 27 වැනිදා ජනපති රත්නපුරදී කීවේය. එවිට එම ආණ්ඩුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ නොවේ. අගමැති 29 වැනිදා අනුරාධපුරදී ඊට රිටන් එක දී තිබුණේ මැතිසබේ බහුතර බලය ගෙන එජා පෙරමුණ 2020 තෙක් රජය ගෙන යනවා යනුවෙනි. ඒ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන සමග බවද අගමැති වැඩිදුරටත් කියා තිබුණි. ජනපතිගේ පියවරේදී අගමැතිගේ තනතුර අහිමි කිරීමට හැකි වුවත් අගමැතිගේ පියවරේදී අගමැතිට එවැන්නක් කළ නොහැකිය. එබැවින් ජනපති සමග යැයිද අගමැති ඌනපූර්ණයක් කරයි. මෙම කතා ගැන ශ‍්‍රීලනිපයේ හා එජාපයේ ඇතැමුන් කියන්නේ ඒවා ඡුන්ද කාලෙට කියන කතා බවය. නායක දෙපළ ඒවා කියන්නේ හුදෙක් ඡුන්දයට නම් ඉන් ජනතාව තේරුම් ගත යුතු පරම සත්‍යයක් තිබේ. එය නම් මෙම දෙපාර්ශ්වය තමා මෝඩයාට ඇන්දවීමට තැත් කරනවා යන්නය. ඇත්තටම නායකයන්ගේ මෙම ස්ථාවරයන්ගෙන් කාරණා දෙකක් ඉස්මතු වෙයි. එක්කෝ ඔවුහු ව්‍යාජ ලෙස ප‍්‍රතිමල්ලව වෙති. නැතහොත් මේ ඔවුන්ගේ ගෝත‍්‍රික සංදර්භයය. කාල් මාක්ස් එම ව්‍යාජය පැහැදිලි කළේ මෙලෙසය. ”අද රාත‍්‍රියේදී මෙම වීදියේ ගෙයක් බිඳීමට සැලසුම් කරන සොරුන් දෙදෙනෙක් දහවල් එම වීදියේදීම එකිනෙකා ගුටිබැටි හුවමාරු කරගනිති.”

ජනපති
ජනපති අඬගසන 96න් වැඩි පිරිසක් මහින්ද සමග නැගිටීමට වෑයම් කරති. ජනපති සමග නැගිට්ටේ ටික දෙනෙකි. ජනපති සමග සිටින සමහරුන්ට ජනපති බොරු කකුල් බැඳ නැගිටුවා ගත්තෝ වෙති. ඒ අනුව එස්.බී.ලාට, සොයිසලාට ලැබුණේ බොරු කකුල්ය. අනෙක් අතට ජනපතිගේ 96 අතර මහින්ද රාජපක්ෂද සිටියි. එසේ බලන විට ජනපති තැත් කරන්නේ මහින්ද සමග නැගිටීමටය. මේවා ජනපති වැඩිදුර නොසිතා ආවේගයෙන් කියන කතා බව පෙනේ. එහෙත් එම ආවේගයෙන් මතු කරන සංඥාව බරපතළය. අගමැති වෙනම ආණ්ඩුවක් හදන කතාව කිව්වේ බැරිම තැනකදී විය හැකිය. එහෙත් ජනපතිට පහර දෙන එජාප මන්ත‍්‍රීවරුන්ගේ විලාසය හා සම්මුතිවාදයට පහර දෙන එජාප යටි පෙළ සම්මුතිවාදී දේශපාලනය තුළ රාමුගත කිරීමට ඔහුට නොහැකි වූයේය. අගමැති පවා පෘථග්ජන මිනිසකු ලෙස ජනපතිට තරමක් පහර දෙන්නට සිය ගෝල බාලයන්ට ඉඩහැර දැන් ඇති කියන නීතිය පැනෙව්වේය. ජනපතිට ඒ ජාතියේ හතේ අටේ පන්තිවල වැඩ නොතේරෙනවා විය නොහැකිය.

යහපාලන අපේක්ෂාව
හැට දෙලක්ෂයකගේ ජනතා වරමින් තමා බලයට පත්වූ බව දැන් ජනපතිට අමතකද යන ප‍්‍රශ්නය විමසිය යුතුය. එම හැට දෙලක්ෂයට තිබුණේ හුදෙක් හැට දෙලක්ෂයේ අපේක්ෂාවක් නොවේ. සමස්ත රට පිළිබඳ අපේක්ෂාවකි. ඒ කාගේත් අරමුණ වූයේ රාජපක්ෂගේ අත්තනෝමතික පාලනය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයකි. මහා පරිමාණ වංචා දූෂණ වෙනුවට විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයකි. එමෙන්ම ඉකුත් ආණ්ඩුවේ දූෂිතයන්ට හා ඝාතකයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වනු ඇතැයි ඔවුහු අපේක්ෂා කළහ. එපමණක් නොවේ. එම වැරදි සිදු නොවන ෙසෙධාන්තික හා පරිපාලන යාන්ත‍්‍රණයක් අධිකරණය, පොලිසිය, මූල්‍ය පාලනය සහ විපක්ෂයෙන්ම දේශපාලන සංස්ථාව තුළ නිර්මාණය වනු ඇතැයිද ඔවුහු අපේක්ෂා කළහ. එහෙත් අභ්‍යන්තර වශයෙන් සම්මුතිවාදී වැඩපිළිවෙළ මුල සිටම නායයමින් තිබුණු ආකාරයක් දිස්වූයේය. ජනපතිගේ නායකත්වය යටතේ සිටින ඇතැම් ශ‍්‍රීලනිප ඇමතිවරු මුලසිටම සම්මුතිවාදයට ගර්හා කළහ. සම්මුතිවාදයට බට ශ‍්‍රීලනිප නායකයා මහින්ද රාජපක්ෂ නම් සුසිල් පේ‍්‍රමජයන්තට මුලසිටම එම සම්මුතිවාදයට පහර දිය හැකිද? එසේ වූවා නම් සුසිල් කෙනකු සොයා ගැනීමටවත් හැකිවනු ඇද්ද? එහෙත් වත්මන් ජනපතිගේ අමුතුම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැක සුසිල් වැනි අය දැන් අධි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වී තිබේ. මේ අධි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළු එම අදහස් දරන සගයෝ රාජපක්ෂ 18 වැනි සංශෝධනය ගෙන එනවිට අත් දෙකම එසවූහ. මෙවැනි අවස්ථාවල සිය සම්මුතිවාදී ප‍්‍රතිපත්ති දේශපාලන වැඩපිළිවෙළ ඉස්මත්තට ගෙන මහින්ද අනුුයන සුසිල්ලාගේ මතය නිෂේධ කර දැමීමට ජනපතිටත් අගමැතිටත් හැකිවිය යුතුය.

පරිණත නායකයන් නැතිකම
ජනපති ශ‍්‍රීලනිප 96 දෙනාට හෙට මගේ ගෙදර එන්න කීවේය. ජී.එල්. පීරිස්ගේ දේශපාලන වසංගතය හැරදමා එන්න කීවේය. තම ඇෙඟ් තියෙන්නේ ශ‍්‍රීලනිප ලේ බවද කීවේය. ගුණදාස අමරසේකර මීට වසර ගණනාවකට පෙර කීවේ ශ‍්‍රීලනිපය යනු කවන්ධයක් බවය. මත්පැන් බොන අයට ඡුන්දය දෙන්නට එපා වැනි වදන් බිනීමත් සමහර රටේ වැදගත්ම කරුණු කාරණා පුවත්පතකින් දුටු බව කීමත් ඔස්සේ ජනපති විටින් විට අමරසේකරගේ ඓතිහාසික ප‍්‍රකාශය ඔප්පු කොට දැක්වීය. රනිල් වික‍්‍රමසිංහත් ඇතැම් අවස්ථාවල ඊට නොදෙවැනිය. පාර්ලිමේන්තුවේදී ඔහු රඟදැක්වූ ‘කවුද හොරා’ නාඩගම, බිය නැති අගමැති වාර්තා චිත‍්‍රපටය වැනි දේවල් ලංකාවේ නායකයන් සිටින තැන ගැන ජනතාවට කෙළ මෝලෙන් ඇන පෙන්වා දෙයි. ජනපතිත්, අගමැතිත් සම්මුතිවාදය වෙනුවෙන් ගහගනිමින්, බැණ ගනිමින් අමාරුවෙන් හෝ එකට දිවි ගෙවන අඹු සැමියන්ටත් වඩා දුර්වලය. ඔවුහු දරුවන් වෙනුවෙන් හෝ එම අසීරුතා ඉවසාගෙන පවුල් ජීවිතය ගෙන යති. එහෙත් ජනපතිට හා අගමැතිට මූලික අරමුණු ජයගැනීම සඳහාවත් සම්මුතිය රැුක ගත නොහැකි වී ඇත.

ප‍්‍රශ්නයේ මුල
අගමැති හරි පාරේ ගෙනයාමට නම් ජනපති හරි පාරේ යා යුතුව තිබුණි. පළමු පියවරේදීම ජනපති සිය සහෝදරයකු රටේ ප‍්‍රධාන ආයතනයක උසස්ම තනතුරකට පත් කළේය. අගමැති එසේ නොකළත් තම ගජ මිතුරකු මහ බැංකුවේ අධිපති ධුරයට දැම්මේය. ජනපතිගේ සහෝදරයාට මේ දක්වා කිසිදු චෝදනාවක් නැතත්, උපරි ව්‍යුහයේ මෙබඳු බෙදාගැනීම් කාලය ගතවෙද්දී එක් පාර්ශ්වයකටත් ප‍්‍රසන්න අත්දැකීම් බවට පත්වන්නේ නැත. ජනපති, මහ මැතිවරණයෙන් පරාජය වූ කීර්තියට වඩා අපකීර්තිය උපයා ගත් පුද්ගලයන් තමා වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගත්තේය. ජනපති කළ යුතුව තිබුණේ තමා වෙනුවෙන් ඒ සා කුඩා කණ්ඩායමක් හදා ගන්නවා වෙනුවට තමා වෙනුවෙන් මුළු රටම සූදානම් කැරෙන වැඩ සංස්කෘතියකට යෑමය. වික‍්‍රමසිංහ මහතාත් මහේන්ද්‍රන්ගෙන් පටන් ගෙන තමාට ළැදියාව දක්වන කුඩා කණ්ඩායමක් සමග වැඩ කරන ස්ථාවරයකට ගියේය. ජනපතිටත් ශ‍්‍රීලනිප සභාපති ධුරය නම් වූ අඩයාලම ලැබිණි. අගමැති යළි එම පක්ෂයේ සුපිරි නායකයා ලෙස තහවුරු වූයේය. මෙම පුංචි ඉලක්කවල අවසාන ප‍්‍රතිඵලය වූයේ දෙදෙනා මහජන අවශ්‍යතාවන්ගේ කේන්ද්‍රය දෙසට යනවා වෙනුවට පරිධියෙන් දෙපසට යාමය. එනම් තම තමාගේ සීමිත කණ්ඩායම් සමග ගුහාගතවීමය. ඉදින් ගුහාවේ විනිවිදභාවයක් නැති බව යළි කිව යුතුය.
ඔවුන් දෙදෙනාට ළංකර ගත යුතුව තිබුණේ විෂය ප‍්‍රවීණයන්ය. ව්‍යවස්ථා විෂයෙහි ප‍්‍රවීණයෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වැඩසටහන තුළ නැත. නිහාල් ජයවික‍්‍රම, සූරිය රත්නපාල මෙන්ම මහැදුරු දීපිකා උඩගම වැනි අයගෙන් සමන්විත විද්වත් සංසදයක දායකත්වය ඊට හිමිවිය යුතුය. ජයම්පති වික‍්‍රමරත්නටත් එහි වැඩ කොටසක් තිබේ. එහෙත් සියල්ල ජයම්පති කළයුතු නැත. එසේ කිරීමටත් නොහැකිය. ජනපතිගේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ උපදේශකවරයකු ලෙස ආචාර්ය ජයන්ත ධනපාල පත්කර ගත්තේය. එහෙත් ජයන්ත ධනපාල ඉක්මනින්ම හැලී ගියේ ජනපතිට ඔහුගෙන් ගත යුතු සේවය ගැන නිශ්චිත වගවිභාගයක් නොතිබුණු නිසාය. අගමැති උපදෙස් ගත්තේ තමාට හා තම දේශපාලනයට ළැදි තෝරාගත් විශේෂඥයන් පිරිසකගෙනි. විශේෂඥ මණ්ඩලවල සිටිය යුත්තේ පුද්ගලික හිතවතුන් නොව විෂය ප‍්‍රවීණයන්ය. රටේ, ජනතාවගේ හා වැඩසටහන්වල අවංක හිතවාදීන් බවත් මෙම නායකයන්ට සිතන්නට නොහැකි වූයේය.

ඡන්දය
ගමේ ඡුන්දය රටේ පාලන බලය වෙනස් කරන ඡුන්දයක් නොවේ. එහෙත් ජනපතිත්, අගමැතිත් ඡුන්ද සටන් මෙහෙයවන්නේ මෙය තීරණාත්මක ඡුන්දයක් යැයි සිතාගෙනය. දෙදෙනාගේ ක‍්‍රියාකාරකම් දෙස බලා සිටින්නෙකුට ඒ ගැන මතුවන්නේ හාස්‍යයකි. එවැනි කුඩා ඡුන්දයකට ගොස් සම්මුතිවාදී වැඩපිළිවෙළ නම් වූ, සාර්ථක කරගතහොත් ප‍්‍රතිඵල ලැබිය හැකි වැඩසටහන අහිමි කරගත යුතුද? එසේ අහිමිකර ගන්නවා නම් එය කෙතරම් අදූරදර්ශීවීමක්ද? ගුහාගතවීමක්ද, ජනපතිත් අගමැතිත් වෙහෙසිය යුතුව තිබුණේ තම තමාගේ දිග පළල වගා දිගා කරගැනීමට නොවේ. යහපාලනයේ ගැඹුරු අර්ථය දැකීමටය. ඇමති ධුර වෙන්කරදීමේදී පවා වඩා විද්‍යාත්මක හා විෂය උපයෝගීතාවාදී පදනමකින් එය කළ යුතුව තිබුණි. ඒ වෙනුවට සිදුවූයේ ඇමති ධුර රිසි පරිදි බෙදා ගැනීමකි. ඇමති ධුර පමණක් නොව රාජ්‍ය මාධ්‍ය ආයතන හා ඒවායේ තනතුරු පවා දෙපාර්ශ්වය බෙදා ගත් බව දුට හැකිය. තමන් වැදගත් ආයතනවල බලය එක් එක් පාර්ශ්වයන් විසින් අල්ලාගෙන සිටින්නේ මජර ආකාරයකටය. එසේ බලන විට සම්මුතිවාදයට නාමිකව ප‍්‍රවේශ වන අතරට සම්මුතිවාදයේ වළ කපා තිබෙන්නේද ජනපති හා අගමැති විසින්මය. මේ ගැන දැන් නායක දෙපළ කියන්නේ කුමක්ද?