රාවය

ගාන්ධිද? ගොඞ්සේද? ඉන්දියාවේ ශිෂ්ටාචාරමය අර්බුදය

ගාන්ධිද? ගොඞ්සේද? ඉන්දියාවේ ශිෂ්ටාචාරමය අර්බුදය

ඉන්දියාවේ මුම්බායි නුවර පළකරනEconomic and Political Weekly නම් සතියකට වරක් පළවන සඟරාවක් තිබේ. 1966දී, කේ.එන්.රාජ් සහ රාජ්නි තෝතාරි යන ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද එය, ලෝකයේ ප‍්‍රගතිශීලී ශාස්ත‍්‍රීය ප‍්‍රජාව අතර මහත් සම්භාවනාවට පාත‍්‍රවූවකි. ගිය වසරේ මැදභාගයේදී, එහි සංස්කාරකවරයා වූ රාම් මෝහන් රෙඞ්ඩි හදිසියේ ඉල්ලා අස්වීය. ඉන්දියාවේ වෙනත් පුවත්පත්වලත්, වෙබ් අඩවිවලත් වාර්තා වී තිබුණේ, සඟරාව පළ කළ සමීක්ෂා භාරයේ භාරකාර මණ්ඩලය සංස්කාරකවරයා සමග, සඟරාවේ පාලනය ගැන හටගත් මතභේදයක් නිසා, ඔහුට ඉල්ලා අස්වීමට බල කළ බවයි.

මේ සිදුවීමෙන් Ecomomic and Political Weekly සඟරාවේ පාඨකයෝත්, එයට ලිපි සපයන ලේඛකයෝත් මහත් කම්පාවට පත්වූහ. රාම් රෙඞ්ඩිට සංස්කාරක තනතුරෙන් ඉවත්වීමට සිදුවූ ක‍්‍රියාවලිය ගැන සමීක්ෂා භාරකාර මණ්ඩලය කිසිදු පැහැදිලි කිරීමක් නොකිරීම, බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතුවූ එක් කරුණකි. ඉන්දියාවේ ධනපති මාධ්‍ය ආයතන හිමිකරුවන් කතුවරුන් සමග ඇතිවන මතභේදවලදී ක‍්‍රියා කළ ආකාරයෙන් වෙනස් වී අලූත් ආදර්ශයක් දෙන්නට සමීක්ෂා භාරයේ භාරකාර මණ්ඩලයට නොහැකිවීම කනස්සල්ලට හේතුවූ දෙවැනි කරුණයි.
මේ පිළිබඳව EPW යන කෙටි නමින් අප කවුරුත් හඳුන්වන එම සඟරාවේ පාඨකයන් හා ලේඛකයන් අතර ඊ – තැපෑල මාර්ගයෙන් පුළුල් සාකච්ඡුාවක් ඇතිවිය. ඉන්පසු, සමීක්ෂා භාරකාර මණ්ඩලයට විරෝධතා ලිපියක් යැවීමට තීරණය කෙරිණි. එහි පාඨකයෙකු මෙන්ම වරින්වර ලිපි ලියූ ලේඛකයෙකු වශයෙන්ද මමද එම ලිපියට අත්සන් කළෙමු. සමීක්ෂා භාරකාර මණ්ඩලයේ චර්යාව, පාරදෘශ්‍යමය සහ EPW පාඨකයන්ටද වගඋත්තර පැහැදිලි කිරීම් කරන ප‍්‍රජාතාන්ත‍්‍රික එකක් නොවීම ගැන එම ලිපියේ බරපතළ කනස්සල්ල පළකර තිබිණ.

රාවය පත‍්‍රයේ හිමිකාර ප‍්‍රජාව හා සංස්කාරකවරයා අතර ගිය සතියේ ඇතිවූ ආරාවුලත්, සංස්කාරකවරයාගේ ඉල්ලා අස්වීමත් පිළිබඳව රාවය පාඨකයන්ට පැහැදිලි කිරීමක් මේ සතියේ ‘රාවය’ පත‍්‍රයේ ඇතැයි උදක්ම අපේක්ෂා කරමි.

පද්මාවතී
ඉන්දියාවේ සඟරාවක් ගැන ලියූ නිසාම, ඉන්දියාවේ සමකාලීන දේශපාලනය ගැන මඳ විවරණයක් කිරීම, මෙවර ලිපියෙන් කළමනා යැයි මට සිතේ. එම විවරණයට හොඳ ප‍්‍රවේශයක් වන්නේ මේ දිනවල ඉන්දියාවේ ප‍්‍රදර්ශනය වන, ලංකාවටද පැමිණ ඇති, ‘පද්මාවතී’ චිත‍්‍රපටය ගැන ඇති උණුසුම් විවාදයයි.
ප‍්‍රචණ්ඩ ලෙසත්, ප‍්‍රචණ්ඩ නොවන ලෙසත්, ‘පද්මාවතී’ චිත‍්‍රපටයට එල්ල වී ඇති විරෝධයේ ප‍්‍රධාන තර්ක දෙකක් තිබේ. පළමුවැන්න නම්, එය රාජ්පුත් ප‍්‍රජාවට පොදුවේත්, රාජ්පුත් ස්ත‍්‍රීන්ට විශේෂයෙනුත් නිගරු කරන්නක්ය යන්නයි. දෙවැන්න නම්, එම චිත‍්‍රපටය කුරිරු මුස්ලිම් රජෙකු වීරත්වයට ලක් කරමින්, ඉන්දියාවේ බහුතරය හින්දු ප‍්‍රජාව හෑල්ලූවට සහ අවමානයට ලක් කරන්නේය යන්නයි. එලෙස පද්මාවතී ‘විරෝධයේ ඇත්තේ හින්දු ජාතිකවාදයේ්ත්, රාජ්පුත් ජාතිකවාදයේත් අන්තවාදී ප‍්‍රකාශනයන්ය.

ඉන්දියාවේ සමකාලීන දේශපාලනයේ එක් ප‍්‍රධාන ප‍්‍රවණතාවක් හඳුනා ගැනීමට, ‘පද්මාවතී’ විරෝධයේ ආරම්භය දෙසට ගිය විට අපට පුළුවන – එය නම් බලයේ සිටින බී.ජේ.පී. ආණ්ඩුවේ වක‍්‍ර සහයෝගය ඇතිව ඉන්දියාව පුරා පැතිරෙන මුස්ලිම් විරෝධී හින්දු ජාතිවාදයයි. මැතිවරණ ජයග‍්‍රහණය කිරීමේ උපක‍්‍රමයක් ලෙස පමණක් නොව, නූතන ඉන්දියාවම පරිවර්තනය කිරීමේ මූලෝපායික ව්‍යාපෘතියක් බීජේපීය සහ එයට අනුබද්ධ හින්දු ජාතිකවාදී බලවේග, ආණ්ඩු බලයද අතැතිව, දියත් කොට තිබේ. මුස්ලිම් විරෝධී හින්දු ජාතිවාදය ජාතික මට්ටමෙන් ඇවිස්සීම සඳහා ලැබෙන සෑම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගැනීමට මෙම හින්දු ජාතිකවාදී බලවේග ඉදිරියට එති. ඒ අතර, මැතිවරණ දිනීමේ න්‍යාය පත‍්‍රයට එම සිදුවීම් යොදා ගැනීම, බීජේපී ආණ්ඩුවේ ප‍්‍රධාන දේශපාලන මූලෝපායිකයා ලෙස ක‍්‍රියාකරන අමිත් ෂා දිගින් දිගටම කළ දෙයකි. උත්තර් ප‍්‍රදේශයේ සහ ගුජ්රාත්හි මෑතකදී පැවති ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායක මැතිවරණවලදී, අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් බීජේපීය දේශපාලන ලැජ්ජාවකින් තොරව, මුස්ලිම් විරෝධී ජාතිවාදය සාර්ථකව යොදා ගත්තේය.

උත්තර් ප‍්‍රදේශයේ ප‍්‍රාන්ත මැතිවරණය පැවතුණේ ගිය අවුරුද්දේ මුලදීය. මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන විට සියලූ ලකුණු තිබුණේ බීජේපීය පරාජය වන බවටය. හිටපු මහ ඇමති අකිලේශ් යදිව්, රාහුල් ගාන්ධි සමග ඇති කරගත් මැතිවරණ සන්ධානයෙන් පසු බීජේපීයේ පරාජය නියත බවට ලක්ෂණද පහළ විය. උත්තර් ප‍්‍රදේශය හින්දු බහුතරයක්ද, මුස්ලිම් සුළුතරයක්ද වාසය කරන ප‍්‍රාන්තයකි. තමන්ට මුස්ලිම් ඡුන්ද එතරම් නොලැබෙන බව අමිත් ෂා, නරේන්ද්‍ර මෝදි ප‍්‍රධාන බීජේපී නායකයෝ දැන සිටියහ. කලින් වසරේ නොවැම්බර් මාසයේ සිදු කළ මුදල් නෝට්ටු අවලංගු කිරීමේ පියවර නිසා, ජනගහනයෙන් අතිබහුතරය දුගී ජනතාවගෙන් යුත් උත්තර් ප‍්‍රදේශයේ ඡුන්දදායකයන් හින්දු මුස්ලිම් වාර්ගික අනන්‍යතාව නොතකා, මෝදිගේ ආණ්ඩුව ගැන කලකිරී සිටියහ. මුදල් නෝට්ටු අවලංගු කිරීමෙන් වැඩියෙන්ම බැටකා තිබුණේ කම්කරුවන්, ගොවීන්, සුළු වෙළෙන්දන්, සුළු ව්‍යාපාරිකයන්, ස්ත‍්‍රීන්, අනියම් කම්කරුවන් වැනි අමාරුවෙන් ජීවිතය ගැට ගසාගෙන සිටින දශ ලක්ෂ සංඛ්‍යාත පුරවැසි පිරිසකි. බීජේපීයට ප‍්‍රාන්ත මැතිවරණය ජයගත නොහැකි බව පූර්ව මැතිවරණ මත විමසුම්වලින්ද පැහැදිලි වී තිබිණ.

මෙම පසුබිම තුළ බීජේපී මැතිවරණ උපාය විශේෂඥයන් කළේ කුමක්ද? සුපුරුදු ‘බෙදා පාලනය කිරීමේ’ උපාය මතුකර ගැනීමයි. ඉන්දියානු දේශපාලන විද්‍යාඥයන් ‘ධ‍්‍රැවීකරණයේ දේශපාලනය’ (Politics of Polarization) යනුවෙන් බීජේපීය විශේෂයෙන් විශේෂඥතාවක් දක්වන මෙම උපක‍්‍රමය සරල එකකි. එනම් මුස්ලිම් විරෝධී භීතිය සහ වෛරය හින්දු ජනයා තුළ ඉතා සියුම් සහ කපටි ලෙස පැතිරවීමයි. ඉන්දියාවේ මැතිවරණ නීතියට අනුව මැතිවරණ ව්‍යාපාරවල ජාතිවාදය, ආගම්වාදය හෝ වර්ගවාදය ඇවිස්සීම තහනම්ය. එහෙත් නීතියට පිටින් යාමේ විකල්ප බීජේපීයට තිබේ. එනම් ඍජුව නොව වක‍්‍රව ජාතිවාදය ඇවිස්සීමයි. මැතිවරණයට සති දෙකකට පෙර හින්දු ජනයාගේ ශුද්ධ නගරය වූ බරණැසට පැමිණි නරේන්ද්‍ර මෝදි බරණැස් නගරයේ කඳවුරු බැඳගෙන, හින්දු පූජකයකුගේ කෂාය වර්ණ ඇඳුම් ඇඳගෙන, රාම් සහ ක‍්‍රිෂ්ණා පිළිබඳ කතාන්තර කියමින්, කුරු පාණ්ඩව යුද්ධයේදී ක‍්‍රිෂ්ණා යුද රථයෙන් යුද පිටියට පැමිණීම ගැන මහා භාරතයේ තිබෙන කාව්‍යාත්මක වර්ණය සිහිගන්වන ලෙස විදුලි බුබුළෙන් ආලෝක කළ විවෘත ජීප් රථයකින්, කලින් සංවිධානය කර ගෙන්වා තිබුණු කාෂාය වර්ණයෙන් සැරසුණු දහස් සංඛ්‍යාත පාටිකාඩර්වරුන්ගේ ඔල්වරසන් මැද වීදි සංචාරය කළේය. හින්දු මිථ්‍යා කථාවල එන රාමාගේද, ක‍්‍රිෂ්ණාගේද සජීවී අවතාරය ලෙස, ඉන්දියාවේ සිය ගණනක් වන වර්ණ ටෙලිවිෂන් චැනලවලින් නරේන්ද්‍ර මෝදිගේ උත්තර ප‍්‍රදේශ ආගමනය විචිත‍්‍ර ලෙස උදේ සවස රාත‍්‍රී කාලවල පෙන්වනු ලැබිණ.

උත්තර් ප‍්‍රදේශයේ මුස්ලිම් විරෝධය මෝදිගෙන ආවේ කෙසේද? ඉතා සියුම්ව සහ වක‍්‍රවය. එයට එක් උදාහරණයක් පමණක් පෙන්වීම ප‍්‍රමාණවත්ය. හිටපු මහ ඇමති වූ අකිලේෂ් යදිව්ට, මුස්ලිම් ඡුන්දදායකයන් අතර ශක්තිමත් පදනමක් තිබේ. තම මුස්ලිම් ඡුන්දදායකයන්ට දෙන ඡුන්ද පොරොන්දුවක් ලෙස ඔහු ‘මා නැවත බලයට ආවිට මුස්ලිම් සොහොන් පිට්ටනි වැඩි කරමි’ යයි රැුස්වීම් කිහිපයකදීම කීය. මුස්ලිම් සොහොන් පිට්ටනිවලට උර්දු සහ හින්දි භාෂාවලින් කියන්නේ ‘කබ්රිස්ථාන්’ යනුවෙනි. මෝදි සතියක්ම රැුස්වීම්වල, හාස්‍යෝත්පාදකව කියුවේ, ‘යූපී ජනතාවට අවශ්‍ය කබ්රිස්ථාන් නොවෙයි; දර සෑය බඳින පිට්ටනි’ යනුවෙනි. මෝදි එසේ කියනවිට, කාෂායවර්ණ පිළිහිස සිසාරා ඔල්වරසන් නගන පාටි කාඩර්වරු දහස් ගණන්ද රැුස්වීම් භූමිවල සිටියහ.

ගුජරාත්හි ප‍්‍රාන්ත මැතිවරණයේදී කෙළේද ඊට සමානව, වක‍්‍ර ලෙස ඒ නිසාම මහත් ප‍්‍රතිඵලදායී ලෙස, හින්දු ජාතිවාදයත්, හින්දු-මුස්ලිම් ධ‍්‍රැවීකරණයත් ඇවිස්සීමයි. ‘පද්මාවතී’ චිත‍්‍රපටියට විරුද්ධව රාජස්ථානයේ රාජ්පුත් ජාතිකවාදී කොටස් අරඹා තිබුණු විරෝධය ඒ වනවිට ආරම්භ කර තිබිණ. බීජේපී නායකයන් කෙළේ තම පක්ෂයේ පාලනය යටතේ තිබෙන රාජස්ථාන් සහ ගුජරාත් ප‍්‍රාන්ත ආණ්ඩු ලවා එම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීම තහනම් කර, මහා ජාතික විවාදයක් සහ කලබගෑනියක් පටන් ගැනීමයි. ඉන්දියාව පුරා සිටි බීජේපී කාර්යධරයෝ, ‘හින්දු ගෞරවය’ ආරක්ෂා කරගැනීමේ මහා ව්‍යාපාරයක් දියත් කළහ. හින්දු ගෞරවය ආරක්ෂා කරගත යුතුව තිබුණේ, අලඋද්දීන් ඔල්ජි නම් මුස්ලිම් රජු වීරත්වයට පත් කර, හින්දු ජාතිකාභිමානයත්, හින්දු ස්ත‍්‍රීන්ගේ ගෞරවයත් කෙළෙසූ පද්මාවතී චිත‍්‍රපටයෙන් සහ එහි අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගෙනි. තමන්ට හිතවත් ටෙලිවිෂන්, පුවත්පත්, ගුවන්විදුලි සහ සමාජ මාධ්‍යවල නොමඳ සහාය ලැබූ බීජේපී ප‍්‍රචාරක යන්ත‍්‍රය, ගුජරාත් ප‍්‍රාන්තයේද නරේන්ද්‍ර මෝදිගේ ජයග‍්‍රහණය තහවුරු කෙළේය.
‘පද්මාවතී’ ‘පද්මාවත්’ වීමෙන් පසු, එය ඉන්දියාවේ සමහර ප‍්‍රාන්තවල දැන් ප‍්‍රදර්ශනය කෙරේ. ඒ ගැන ඉන්දියානු පුවත්පත්වල ඇති විචාර සහ වාර්තා සියල්ලම කියන්නේ්, ‘පද්මාවත්’ යනු රාජ්පුත් ගර්වය, අතිශයෝක්තියට නංවන, මුස්ලිම් චරිතය වන අලඋද්දීන් ඔල්ජි දරුණු මනුෂ්‍ය යක්ෂයෙකු බවට චිත‍්‍රණය කරන, කලාත්මක වශයෙනුත්, හරයාත්මක වශයෙනුත් දුර්වල චිත‍්‍රපටයක් බවයි. එහි හින්දු හෝ රාජ්පුත් ජාතිකවාදීන් කලබල විය යුතු කිසිවක් නැති බවද එම විචාරවලින් කියැවේ.

‘පද්මාවත්’ චිත‍්‍රපටය ගැන මේ උවමනාවෙන් ඇති කළ දේශපාලන කලබලය වනාහී ඉන්දියාව නැවත වරක් ‘හින්දු’ කිරීමේ, ක‍්‍රියාවලියක කොටසකි. එය වනාහී ඉන්දියාව මහත්මා ගාන්ධිගේ සහ ජවහර්ලාල් නේරුගේත්, 1970 ගණන්වලට පෙර පැවති ඉන්දියානු ජාතික සංගමයේත් බහුත්වවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ආගමික වශයෙන් උපේක්ෂාවාදී උරුමයෙන් ඉවතට ගැනීමේ දේශපාලන ව්‍යාපෘතියක කොටසකි. මහත්මා ගාන්ධි මරණයට පත් කර අවුරුදු 70 පිරුණේ ජනවාරි 31දාටය. ගාන්ධි ගැන පුවත්පත් ලිපියක් 31දා පළ කළ ඉන්දියානු ලේඛකයෙකු කියා සිටියේ ‘අප සැම ඉන්දියානුවෙකු තුළම ගාන්ධි කෙනෙක්ද, නතුරම් ගොඞ්සේ කෙනෙකුද ජීවත් වේ. මේ දිනවල නම් ගොඞ්සේ යළි ඉපිද්දවීමයි. එහෙත් අප ඇත්තටම කළයුත්තේ අප තුළ සිටින ගාන්ධි ඝාතකයා යළි ඉපිද්දවීම නොව, ගාන්ධි යළි ඉපිද්දවීමය.

ශිෂ්ටාචාරයක් ලෙස අද ඉන්දියාව මුහුණ දෙන අභියෝගය නම් තෝරාගත යුත්තේ ගාන්ධිද? ගොඞ්සේද? යන්නයි. මේ ප‍්‍රශ්නයට දෙන පිළිතුර මත ඉන්දියාව දේශපාලන සහ බුද්ධිමය වශයෙන් ගැඹුරු ලෙස බෙදී තිබෙන බවද පෙනේ. ජනවාරි 26දා ඉන්දියාවේ සමූහාණ්ඩු දිනය, තම යුද ශක්තිය ප‍්‍රදර්ශනය කරමින් සිහි කළ බීජේපී ආණ්ඩුවට, ඉන්දියාව අද මුහුණ දෙන්නේ ශිෂ්ටාචාරමය අර්බුදයකටය යන්න නොවැටහෙන බව පෙනේ.