දෙසැම්බරයක සටහන්

 

පසුගිය දෙසැම්බර් 16වැනිදාය. තලංගම අටේ කණුව අසල සුපිරි වෙළෙඳ සැලට යමින් සිටියෙමි. වෙළෙඳ සැලට වම්පසින් මාලබේ මාර්ගය අසල මළකඩ පාටින් ලොකු පැල්ලමකි. ඉන් පෙනුණේ විනාඩියකදී වතුර ලීටරයක් තරම් කාන්දුවන බවයි.
මෙයට වසරකට පෙරද මෙසේ මළකඩ පාටින් ජලය ගලා යනු දුටු බව මතකයට නැඟුණි. මම 1919ට කතා කර අදාළ ජල සැපයුම් අංශයට කතා කළෙමි. මගේ නම ද කීමි. මෙසේ ජලය ගලා යමින් තිබුණේ මහජනයාට ජලය සපයන භූගත නළයකින් හදිසියකදී ජලය ලබා ගැනීමට යොදා තිබූ යකඩ පියනේ කාන්දුවකිනි. එදිනම පැමිණි නඩත්තු කණ්ඩායමක් ජල කාන්දුව නතර කළ බව අසල කඩහිමියකු මට කීවේය.
මෙම යකඩ පියන කෙළින්ම ජල නළයට සම්බන්ධ වන්නේ නැත. ගින්නක් වැනි හදිසියකදී ජලය ලබා ගැනෙන්නේ පියන හැර කරාමයක් විවෘත කර ඊට බටයක් සවි කිරීමෙනි. නොඑසේව මෙම පියන යොදා ඇත්තේ පිළිසකර කටයුතු සඳහා නම් එසේ වුවද වෙනම කරාමයක් තිබිය යුතුය.
මට මෙහෙම හිතුණි. මෙලෙස වතුර මහපාරට ගලා ඒමට නම් භූගත නළයේ ජලයෙන් මෙම පියන යට පිරී තිබිය යුතුය. මන්දයත් පොළොව උඩට එන බටයක් එතැන නැති බැවිනි. එමෙන්ම වතුර පාර මළකඩ වී තිබීමෙන් පෙනෙන්නේ අතිශය අපිරිසිදු වූ ජලයකින් එම පියන යට පිරී තිබිය යුතු බවයි. එමෙන්ම එමගින් අපට ලැබෙන නළ ජලය ද අපිරිසිදු වන්නේ නැත්ද?
මෙම කාන්දුව දැන් මාස ගණනාවක් පවත්නා බවත් එය පිළිසකර කරන්නට බැරියැයි කියා ඇති බවත් මට කීවේ දන්නා කියන ගුරුවරියකි. එසේ නමුත් කිසිවකු ඒ පිළිබඳ තවදුරටත් පැමිණිලිි කරන්නේ නැත.
පොහොය දිනයන්හි අසල පන්සලක දහම් පාසල් යන දරුවන් සිය ගණනාවක් මෙතැන පසුකර යති. සුපිරි වෙළෙඳ සැලට පැමිණෙන මධ්‍යම පාන්තිකයෝද ඇතුළුව සෑම දිනකම අඩු ගණනේ දහස් ගණනාවක් ජනයා පයින් මෙතැනින් යන්නේ කාන්දුවන මළකඩ වතුර අපේ නොව උන්ගේය යන හැඟීමෙන් මෙනි.
ශ‍්‍රී ලංකාව ලෝකෙන්ම උතුම් රටය. අපට තරම් සුචරිත සංස්කෘතියක් වෙන කිසිම රටක නැත. අපට පුරවැසි මානව හිමිකම් සහ යුතුකම් ගැන කියන්නට එන එවුන් දේශද්‍රෝහියෝය.
මාත් ඉන් එකෙක්!
මා අවසන් වරට එතැන පසුකර සුපිරි දුටුගැමුණූ මාවතට ඇතුළු වූයේ මසකට පසු ජනවාරි 15 දිනය. ඒ වන විටත් ජල කාන්දුව එලෙසම තිබුණි. විනාඩියකට වතුර ලීටරයක් කාන්දුවූයේ නම් මේ එම දවස් 30 තුළ ජල ලීටර 43,200ක් ඉන් අපතේ යන්නට ඇත. සමහරවිට තවමත් එතැනින් මළකඩ ජලය කාන්දු වෙමින් අපද්‍රව්‍ය ප‍්‍රධාන ජල නළයට එකතු වෙමින් තිබෙනවා ඇත.
ඉතින්, අපට මොකෝ? යැයි කියනවා හැර අපි වෙන මෙනවා කරන්නද? ජනාධිපති පේ‍්‍රමදාස නිකමට මතක් විය. උදෑසන පහට සුචරිත මන්දිරයට ගොස් පැමිණිල්ලක්වත් කරවන්නට නොතිබුණිද කියාද සිතුණි.
දිනක ගුවන් විදුලි සංස්ථාවෙහි කතාබහකට උදෑසනම කොළඹ යා යුතු විය. මම හයහමාරට පමණ අටේ කණුවෙන් 177 බසයකට ගොඩ වීමි. බස් රියදුරා සිටියේ බාගෙට නින්දෙනි. මත්ද්‍රව්‍යයට අබ්බැහි වූවකුගේ මෙන් ඇස් යටට නෙරා ගොස් මුහුණ තෙල් වී තිබුණි. බස් නැවතුම් දෙකෙන් දෙකට දුඹුරුපාට වූ නිර්වර්ණ ප්ලාස්ටික් බෝතලයකින් වතුර මුහුණට හලා ගත්තේය.
බසයේ කන පැලෙන්න බජව්වක් යමින් තිබුණේ සීඞී පටියකිනි. ”මල්ලිලා දෙන්නම් අතපය විසිවෙන්න නටන්න සිංදු වැළක්” යැයි කෑ ගැසූ ගායක අයියා අපේ කන් සිදුරු කළේය. සමහරවිට ඊට පෙර බසයෙහි වාදනය වන්න ඇත්තේ පිරිත්ය. බුදුසරණයි කියා ලොකු අකුරින් බෝඞ් ලැල්ලක්ද හතරවරම් දෙවිවරු රොත්තක්මද රියදුරුට සෙත් පතමින් සිනහ පපා සිටියෝය.
බත්තරමුල්ලේ නැවතුමෙහි විනාඩි පහක් දහයක් තරම් බසය නතර කර සුක්කානම උඩ නිදා ගත්තේ සහායකයා බොරුල්ල කොල්ලූපිටිය යැයි මිනිස් ‘කෑලි’ බසයට එකතු කරත්දීය. ඉන් අනතුරුව දුර කථනය එක් අතකින් කණේ ගසාගෙන, කපා ගෙන එන අනෙක් බස් ගැන සද්දයට කතා කරමින්ම, තනි අතින් බසය පාර මැදට දැම්මේ එකතැන කරකැවෙන සෙක්කුවක් ගාණටය.
එතැන් සිට හෙණ ගහන්නා සේ නළාව ශබ්ද කරමින් විදුලි වේගයෙන් බසය පියාඹන්නට පටන් ගත්තේය. වේලාවට යනු ඇතැයි අප හරි සතුටට පත්වීමු.
මාර්ග අංක 170, 190, 177, 163, යනාදී බස්වල නෑගී දහ දොළෙස් වතාවක්වත් කොළඹ සහ නුගේගොඩ ආ ගිය මට දුන් මුදලට ටිකට් පතක් ලැබුණේ එකම එක අවස්ථාවකදී පමණි. රාමුකර ගැනීමේ අදහසින් සිනා කමින් ටිකට්පත සාක්කුවේ රුවා ගන්නා ගමන් නිමල් සිරිපාලට ජයවේවා යැයි කීමි.
බස් නැවතුමක් නොහොත් හෝල්ට් එකක් හදන්න දේශපාලකයින් කී දෙනෙකු අවශ්‍යද කියා මා දැන ගත්තේ තලංගම ඉස්පිරිතාලය ළඟ තියෙන හෝල්ට් එකෙනි. එහි ජායාරූපම පහකි. යටින්ම ඉන්නේ බස්නාහිර පළාත මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති නුවන් වනිගරත්නය. එහි ලියා ඇත්තේ මෙම බස් නැවතුමේ සංකල්පය ඔහුගේ බවයි! බස් නැවතුම් ඉදිකරන්නට සංකල්ප ඉදිරිපත් කිරීම කොයිතරම් දෙයක්ද? උඩින්ම ඉන්නේ ජනාධිපති වූ පසු තමාට සාමාන්‍ය පරිදි සලකන්නැයි අපට කියූ සිරිසේනය. ඊළඟට මහ ඇමැති ඉසුර දේවප‍්‍රියය. ඉන්පසු තවත් දෙන්නෙකි. ඒ පළාත් මහා මාර්ග අමාත්‍ය ලලිත් වනිගරත්නගේ උපදෙස් පරිදි පළාත් සභා මන්ත‍්‍රී සලෝචන ගමගේගේ ඉල්ලීම පරිදි එම චුට්ටි බස් නැවතුම ඉදි කළ බව කීමට ය.
කට්ටියම සෙට් වුණේ නැත්නම් තලංගම ඉස්පිරිතාලයට එන ජනයා තවමත් අව්වට වේලෙනවා ඇති නේද?
ජනාධිපති සිරිසේන දූෂණ විරෝධී කඩු ලෙළවන විට තලංගම පැත්තට නම් එන්න එපා යැයි ලියුමක් යවන්නටත් සිතුණි. මන්දයත් ඔහුද මේ බස් නැවතුමෙන් කැපී යා හැකි බැවිනි. මේ වර්ණ පින්තූර ගහන්නේ උන්ගේ අවහලාගේ සල්ලිවලින් ද කියා මම ජේවීපී කළ කාලයේ නම් යටින් ලියා එමි. දැන් අපි (වයස්ගත) ලිබරල් නොවැ!
මාර්ග අංක 163 බසයේ නුගේගොඩට යද්දී මගේ ඇස් ගිනි කන වැටුණේ නව පරපුරේ දේශපාලනඥයකු වන හර්ෂ ද සිල්වාද ඒ අඩි පාරේම යන බව දැකීමෙනි. වර්ණවත් ජායාරූප ඩිජීටල් මුද්‍රණයෙන් පින්තාරු කර ඇති නැවතුම් ගණනාවකම ලොකුවටම ලියා ඇත්තේ අහවල් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ උපදෙස් මත එම මගී ආවරණ ඉදි කරන ලද බවයි. ඇත්තටම බස් හෝල්ට් එකක් හදන්නත් පීඑඞ්ඞී එකක් අවශ්‍ය බව මට තේරුම්කර දීම ගැන ඔහුට ස්තුති වන්ත වූයෙමි.
කල්පනා කරන ඇමැතිවරයෙක් ලෙස පෙනෙන වම්පික රණවකගෙන්වත් රටක බස් මගී ආවරණ එකම අනුරුවකට සහ සරල ලෙස නිම කරන්නට බැරි ඇයි කියා, ඇසිය යුතු නැත්ද?
මිතුරියකට තෑගි දීම පිණිස නව තාලයක පිඟන් බඩු කට්ටලයක් මිලදී ගැනීමට සවස් යාමයක කොළඹ නගර ශාලාව අසළ වෙළෙඳ සැලකට ගොඩ වීමි. කිලෝ ගණන් බර අපේ සති අන්ත පත්තරවලින් වෙළෙඳ සැල ගජරාමෙට වැඩ ගනිමින් සිටියෝය. පිඟන් බඩු නොබිඳෙන ලෙස ඇසිරීමට ලෝස් නැතිව සිංහල සහ ඉංග‍්‍රීසි පත්තර මිටි ගණන් තිබුණි. සුදු ඩිමයි මිලදී ගන්නවාට වඩා අච්චු ගැසූ ඩිමයි ලාභ බව ඔවුන් කීවේ උළුක්කුවටය. සමහරවිට මාද ඒ අච්චු අකුරුකාරයෙක් බව දැන ගෙන දැයි බය හිතුණි.
මා එළියට බහින විට අවාසනාවට වාගේ වැස්සක් ද කඩා වැටෙමින් තිබුණේය.
කිලෝ හය හතක බර මලූ දෙකක් උස්සාගෙන මම ත‍්‍රීවීල් සහෝදරයකුට කතා කළෙමි. ”හපෝ, රාජගිරිය පැත්තට නම් යන්න බෑ” කියා මට ත‍්‍රීවීල් උතුමාණෝ ගෙරවිල්ලක් දැම්මෝය. ත‍්‍රීවීල් තුන හතරකින්ම එකම සබ්බුව ලැබුණ පසු මලූ දෙකම උස්සාගෙන නගර ශාලා පිටිය මැදින් ඇවිද ගොස් ඇස් වාට්ටුවද පසු කර 170 බස් නැවතුමට ගියෙමි. ඇළවෙන්නට දේශපාලකයෙක් නොසිටි නිසාදෝ එහි මඟී ආවරණයක් තිබුණේ නැත. තෙමුණෙමි. දෙවියනි, කියා දෙවැනි බසයට නැඟ ගතිමි. මලූ දෙක දෙපා මතම තබා ගෙන ගොස් අටේ කණුවෙන් බහින විට දෙපතුල් බරවා වී තිබුණි.
ටැක්සියක නීතිය නම් මගියා කියන තැනට ඇරලීම බැවින් නගිනවා මිස කලින් යා යුතු තැන කියන්නට අවශ්‍ය නැතැයි තාත්තා මට කියා දුන්නේ අපි කොළඹ ආ 1960 ගණන් මුල දවසකදීය. දැන් අපි ඊට වඩා දියුණුය. කොතරම්දයත් ත‍්‍රීවීල්ම දස ලක්ෂයකි. එක වීලයක් දවසට රුපියල් 500ක් හම්බ කරනවා නම් (කොළඹ ත‍්‍රීවීල් කරුවන් දවසකට රුපියල් දෙතුන් දහසක් සොයති) රු. මිලියන 500කි. එය දෙකෙන් බෙදා බැලූවත් මිලියන 250කි. ඒ හැටි වීල්වලටම පූජා කරන අපි කොතරම් සමෘද්ධිමත් ජාතියක්ද?
ඇත්තටම නම් මේ දෙසැම්බර් සටහන්වලින් අළුක් කාලක් විතරයි. හොඳ දේවලූත් සිද්ධ වුණා. ඒවා ලිව්වොත් කයිවාරු වෙනවනේ.
ඡන්දෙ දාන්න යන්න ඉස්සෙල්ල කල්පනා කරලා යන්න! ජයවේවා.