නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සභික සංඛ්‍යාව ඉහළ යෑම හා වැය පක්‍ෂය දෙගුණවීම

රසික ගුණවර්ධන

2017 නොවැම්බර් මස 02 දින අංක 2043 /56 සහ අංක 2043157 දරන අති විශේෂ ගැසට් පත‍්‍රයට අනුව එතෙක් පැවති පළාත් පාලන ඡුන්ද ක‍්‍රමය වෙනසකට පත්විය. එනම් එතෙක් පැවති මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි වී කොට්ඨාස ඡුන්ද ක‍්‍රමයට යොමු වීමය. මෙම නව ඡුන්ද ක‍්‍රමයේ ධනාත්මක ප‍්‍රවණතා සේම දුබලතා ද දැක ගත හැකිවේ.
මනාප ඡුන්ද ක‍්‍රමය හේතුවෙන් එකම පක්ෂයේ අපේක්ෂකයන් අතර පවා තියුණු තරගයක් අපි පසුගිය කාලය පුරා දුටුවෙමු. ඡුන්ද පෝස්ටර්, කටවුට්, සැරසිලි ගමක්, නගරයක් පාසා දැක ගත හැකි විය. දූෂණය හා විනාශය ඉහළ විය. එහෙත් මෙවර ප‍්‍රථම වරට පවත්වන මෙම මිශ‍්‍ර ඡන්ද ක‍්‍රමය තුළ එම ප‍්‍රවණතාවන් දැකගත හැක්කේ බොහෝ දුරට අවම වශයෙනි. එනම් පිටත යම් සාමකාමී මැතිවරණ ක‍්‍රමයක ස්වරූපයක් ප‍්‍රකට වේ. එහෙත් අභ්‍යන්තර තත්ත්වය එසේ නොවේ.
මෙවර පළාත් පාලන මැතිවරණය ස`දහා පළාත් පාලන ආයතන 341 ට අදාළ නාමයෝජනා කැදවීම් සිදු කර ඇත. එනම් පෙර පැවති පළාත් පාලන ආයතන ප‍්‍රමාණයට වඩා ආයතන හයක වැඩි වීමකි. එසේනම් පෙර සිටි සභිකයන් ප‍්‍රමාණයට වඩා මෙවර සභිකයන් 3870ක ප‍්‍රමාණයක් වැඩි වී ඇත. ඒ අනුව බලන විට සභිකයන්ගේ විශාල වැඩිවීමක් දැක ගත හැකිය.
මෙසේ සභිකයන්ගේ ප‍්‍රමාණය විශාල ලෙස ඉහළ යාම නිසා රජයට මන්තී‍්‍ර වැටුප් සහ දීමනා ලෙස අතිවිශාල අතිරික්ත මුදලක් වියදම් කිරීමට සිදුවේ. එසේම පත්වන මන්තී‍්‍රන් ප‍්‍රමාණය සදහා ගැලපෙන තරමේ ශාලා පහසුකම් සපයා ගැනීම උදෙසා නව ශාලා පහසුකම් සපයා ගැනීමට සිදුවේ. එපමණක් නොව වාහන, ලිපිකවරවල සිට අනෙකුත් පහසුකම් ස`දහාද රජයට දැරීමට සිදුවන වියදම ඉහළ යයි, දෙගුණවෙයි.
ලංකාවේ ආර්ථික අර්බුදය සමග වැය පක්‍ෂය තවත් ඉහළ යාම රටට දරාගැනීමට හැකිද යන්න ගැටලූවකි. දෙගුණයකින් වැඩිවන සභිකයන්ගේ යැපීම සදහා මුදල් වැය කැරෙන්නේ ජනතාවගේම බදු වලිනි. ඒ නිසා පළාත් පාලන සභික සංඛ්‍යාව ඉහළ දැමීම යුක්තිසහගත ද? පෙර පළාත් පාලන ආයතනවල අකාර්යක්‍ෂමතාව දුරැලීම උදෙසා සභිකයන් වැඩි කිරීම ගැටලූවට විසදුමද? පහත සංවාදය ඒ පිළිබදව සිදු කරුණකි.

නියෝජිත සංඛ්‍යාව වැඩියි. අනවශ්‍ය වියදම් තියනවා
සීමා නීර්ණය කොමිෂන් සභාවේ සභාපති අශෝක පිරිස්
මනාප ක‍්‍රමය අහෝසි වෙලා කොට්ඨාස ක‍්‍රමයට පවත්වන මේ මැතිවරණය, මැතිවරණ ක‍්‍රමයේ ඉදිරි පියවරක් විදිහට හදුන්වා දෙන්න පුලූවන්. මනාප ක‍්‍රමය හේතුවෙන් පක්ෂ ඇතුළේ ඇතිවෙච්ච තරගකාරී බව නිසා වියදම වගේ දේවල් හුගක් ඉහළ ගියා. ඒත් මේ ක‍්‍රමය යටතේ ඒ තරගකාරී බව අඩුවෙලා තියනවා.
ඒ වගේම මේ ක‍්‍රමය හරහා ජනතාවට විශාල පහසුවක් සැලසෙනවා. තමන්ගේ අත ළ`ග නියෝජිතයන් ඉන්න එක ලේසියි. හැබැයි පත්වෙන මිනිස්සු සැබෑ ජනතා නියෝජිතයෝද කියන ප‍්‍රශ්නේ කියනවා.
ඒවගේම මේ කොට්ඨාස ක‍්‍රමය හින්දා නියෝජිතයෝ ගණන විශාල වශයෙන් ඉහළ යනවා. පත්වෙන නියෝජිතයන් ප‍්‍රමාණය වැඩියි. කියන කාරණාව මම පිළිගන්නවා. හැබැයි මේ වෙලාවේ නියෝජිතයෝ ප‍්‍රමාණය අඩු කරන්ඩ කියලා සංශෝධනයකට ගියා නම් වෙන්නේ තව අවුරුදු දෙක තුනක් ඡන්දය කල් යන එක. මේ වෙලාවේ වඩා වැදගත් වෙන්නේ නියෝජිත සංඛ්‍යාව අඩු වැඩි කරන එක නෙවේ. ඡන්දය පවත්වන එක. ඒ හින්දා දැන් නියෝජිතයෝ ගැන නොව ඡන්දය පවත්වන එක ගැනයි බලන්ඩ ඕනේ.
වැඩි දෙනෙක් කියන එකක් තමයි නියෝජිතයෝ ප‍්‍රමාණය වැඩියි කියන එක. ඒ එක්කම වියදම ඉහළ යනවා කියන එක. හැබැයි මේ රටේ මීට වැඩිය අනවශ්‍ය වියදම් සිද්ධ වෙනවා. ආරක්ෂක අංශවලට කොච්චර අනවශ්‍ය වියදම් කරනවද? ජාතික ආරක්ෂාව කියලා කවුරුත් ඒ ගැන ප‍්‍රශ්න කරන්නේ නෑ. ඒ වියදම් නවත්තලා දැම්මොත් සභිකයන්ගේ වියදම් ඉහළ යනවා කියන කාරණාව දරාගන්ඩ අමාරු වෙන්නේ නෑ.

කිසි ප‍්‍රශ්නයක් නෑ
ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති
කොට්ඨාස ක‍්‍රමයට අපේ අකමැත්තක් නෑ.සභිකයෝ වැඩිවෙන එක මගින් වියදම ඉහළ යනවා කියලා කියනවනම් ඒකට හොදමහ විසදුම තමා ජවිපෙට ඡුන්දය දෙන එක. අපේ අය පඩි ගන්නේ නෑ. අපි කොට්ඨාසයේ පොදු අරමුදලක් හදලා අපේ අයගේ පඩිය ඊට යොදවනවා. ඒ අරමුදලේ සල්ලි කොට්ඨාසයේම පොදු වැඩවලට යොදවනවා. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඇතුළෙන් මේ කාරණාව තියනවා. ජවිපෙ පත් වුණහම වියදම ඉහළ යනවා කියන ගැටලූව ඇතිවෙන්නේ නෑ.
නව ඡුන්ද ක‍්‍රමයෙන් වියදම දෙගුණ වීම ගැනයි මම ඇහුවේ. ඒ ප‍්‍රශ්නෙට ඔබ දුන්න පිළිතුර හරියි කියලා හිතනවද?
හරිනේ. කිසි ප‍්‍රශ්නයක් නෑනේ.

සභික සංඛ්‍යාව 80%කින් වැඩිවීම බරපතළයි
පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල
මැතිවරණ ක‍්‍රමයේ දෝෂයක් නෑ. මේ මැතිවරණ ක‍්‍රමය තුළ පෙර පැවති සමානුපාතික ක‍්‍රමය පෙර ලෙසටම කි‍්‍රයාත්මක වෙනවා. මේ ක‍්‍රමය ඇතුළේ නිශ්චිත නියෝජිතයන් පත්වන එක හොදයි. හොද දේවල් තියනවා වගේම මේකේ ලොකු අඩුපාඩුත් තියනවා.
පළවැනිම කාරණාව තමයි අනවශ්‍ය විදිහට මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව සීයට 80කින් වැඩි වීම. මේ හරහා සමහර විට ආණ්ඩුව උත්සාහ කරන්ඩ ඇති හිටපු සෑම මන්තී‍්‍රවරයෙකුටම නැවත අවස්ථාව ලබා දෙන්ඩ. ඒත් එහෙම වුණත් සීයට 80කින් තරම් වැඩි කිරීමක් අවශ්‍යය වෙන්නේ නෑ.
තව කාරණාවක් තමයි මෙතනදී ප‍්‍රබල යටිතල පහසුකම් ප‍්‍රශ්නයක් මතුවෙනවා. ඉදිරියේදී පත්වීමට නියමිත මන්තී‍්‍රවරුන් සංඛ්‍යාව එක්ක බලද්දී දැන් තියන ගොඩනැගිලි ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නෑ. එතකොට ඒ වෙනුවෙන් නව ගොඩනැගිලි ප‍්‍රමාණයක් හදන්ඩ වෙනවා.
මේ මැතිවරණ ක‍්‍රමය හරහා කුඩා පක්ෂවලට අනවශ්‍ය බලයක් ලැබෙනවා. එතකොට බල්ලා විසින් වල්ගය වැනීමක් නොවෙයි වල්ගය විසින් බල්ලාව වැනීමක් සිද්ධ වෙනවා.
අපි මේ හේතුන් නිසා ඡන්ද ක‍්‍රමයට අපේ විරෝධය ප‍්‍රකාශ කළා. ඒත් අපේ විරෝධය ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව පනත සම්මත කර ගත්තා.
අපි කියනවා මේ පනත සංශෝධනය විය යුතුයි කියලා. හොද දේවල් රැුකගෙන අවාසිදායක දේවල් ඉවත් කරලා සංශෝධනය සිදු කරන්ඩ ඕනේ.

අපි එකග වූයේ තාවකාලිකව
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යය
කබීර් හෂීම්
අපි මේ මැතිවරණ ක‍්‍රමය ගැන සෑහීමකට පත්වෙන්නේ නෑ. මේ ඡුන්දයක වුවමනාව නිසා හදිස්සියේ අලවගත්ත ක‍්‍රමයක්. මේ ක‍්‍රමය දිගින් දිගටම පවත්වාගෙන යා යුතු නෑ. මේක මුලින් බැසිල්ට ඕනේ විදිහට නිර්නායක දාලා හැදුවේ. කොහොම වුණත් වර්තමාන රජය යම් නිවැරදි කිරීම් සමග තමයි ඡන්දයට ගියේ මේ ක‍්‍රමය එක්ක අපි සම්පූර්ණයෙන් එකගවෙන්නේ නෑ. මේක යම් යම් අඩුපාඩු කියනවා.
මේ කොට්ඨාස ක‍්‍රමය ඇතුළේ විශාල සභියන් පිරිසක් පත්වීම රටට විශාල බරක්. ඒ වුණත් අපි මේකට එකග වුණේ තාවකාලික විසදුමක් විදිහට. අපි බැදී සිටිනවා මේ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් ඡුන්දෙන් පස්සේ අනිවාර්යයෙන් රටට සුදුසු, රටට බරක් නොවන සංශෝධන ඉදිරිපත් කරන්ඩ අපි පක්‍ෂයක් විදිහට කි‍්‍රයා කරනවා.