කාබුල් නුවරට දිගටම ත‍්‍රස්ත ප‍්‍රහාර

එස්. නන්දලාල්

පසුගිය සඳුදා ත‍්‍රස්ත කැරලිකරුවන් විසින් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ජනරාල් ෆාහිම් ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලය අසල හමුදා මුරපොළකට එල්ල කරන ලද ප‍්‍රහාරයකින් අවමය වශයෙන් භටයන් 11ක් මිය ගොස් 10ට තුවාල සිදු වන්නට ඇතැයි වාර්තාවල දැක්වේ. කැරලිකරුවන් 4ක් මියගොස් ඇති අතර එකෙකු හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. ප‍්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය සහ තලේබාන් විසින් පවරා ගනු ලැබී ය.
ජනවාරි මාසය පුරා තලේබාන් සහ/හෝ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය (ඉසිස්) විසින් එල්ල කරන ලද ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් කාබුල් නගරය එකම මළ ගෙයක් බවට පත් විය.
28වන ඉරිදා ගිලන් රියක් පදවා ගෙන ආ ස්වයංඝාතක ත‍්‍රස්තයකු හෝ දෙනෙකු විසින් එල්ල කරන ලද ප‍්‍රහාරයකින් 103ක් මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවත් තුවාල ලදහ. 22දා කාබුල් ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයට එල්ල වූ ප‍්‍රහාරයකින් මරු දුටු ගණන 22 ඉක්මවූ බව වාර්තාගත ය.
පසුගිය වසරේ ද කාබුල් නගරය හා තදාසන්න ජනාකීර්ණ පෙදෙස් ඉලක්ක කරමින් එල්ල කරන ලද ප‍්‍රහාරවලින් සිය ගණන් ජනයා මළෝ ය. ඉහත කී හමුදා ඇකඩමියට එල්ල කරන ලද ප‍්‍රහාරයකින් උපාධි අපේක්‍ෂක කැඩෙට් නිලධාරීහු 15ක් මළහ. ඒ ගැන ආරක්ෂක හමුදාවේ මතය වන්නේ මේ වනවිට ආරක්ෂක හමුදා අත්පත් කැර ගෙන තිබෙන ප‍්‍රගතිය නිසා ත‍්‍රස්තයන් වියරු වැටී සිටින හෙයින් වැඩිම ගණනක් එක්වර මරා දැමිය හැකි උපක‍්‍රම ඔවුන් භාවිත කරනවා විය හැකි බවයි. හෙල්මුන්ඞ් පළාතේ ඔවුන් අල්ලා ගෙන සිටි කොටස් අමෙරිකා එක්සත් ජනපදයේ ආධාරයෙන් මුදා ගැනීම එක් උදාහරණයකි. අනෙක් අතට අඩු ජන ඝනත්වයක් සහිත දුරස්ථ දේශ සීමාවේ දුෂ්කර ගම්මානවලට වී එතරම් අවධානයට හසු නොවන චණ්ඩිපාට් දමමින් සිටිනවාට වඩා ආණ්ඩුවේත් ජාත්‍යන්තරයේත් අවධානය අද්දවා ගත හැකි වැඩක් කිරීම යෝග්‍ය බව ඔවුන් සිතනවා විය හැකි ය. එක්සත් ජනපදය පාකිස්තානයට දෙන ආරක්‍ෂක ආධාර නතර කිරීම ද එක් හේතුවක් ලෙස පෙන්වා දෙන නමුත් එය තර්කානුකූල නොවේ. මන්ද එම ආධාර නතර කෙරෙන්නේ ඇෆ්ගනිස්තානයේ ඉසිස් ත‍්‍රස්තයන්ට සෙවන දෙමින් පාකිස්තානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන නිසා බව පෙන්ටගනය ප‍්‍රකාශයට පත් කොට ඇති හෙයිනි. මේ කවර හේතුවක් නිසා වුවත් කාබුල් නගරයට ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වීමේ වර්ධනයක් පසුගිය මාස හයක තරම් කාලය පුරා දක්නා ලැබිණි.
කාබුල් නගරයේ සහ නගරෝපාන්තයේ ත‍්‍රස්ත ප‍්‍රහාරවලින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 170ක් ද මැයි මාසයේ 150ක් ද ස්වයං ඝාතක බෝම්බකරුවන් විසින් අවසන් ගමන් යවනු ලැබූහ. 2017 ජනවාරි 24දා ජලාලාබාද් හි සේව් ද චිල්ඩ‍්‍රන් ආයතනය වෙත එල්ල කරන ලද ප‍්‍රහාරයෙන් දෙදෙනකු මළ අතර 12 අධික සංඛ්‍යාවකට තුවාල සිදු විය.
කලාපීය බලවතුන්ගේ දවල් මිගෙල් – ? දනියෙල් පිළිවෙත නිසා ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධාන අනබිභවනීය තත්ත්වයකට පත් ව තිබෙන බව ප‍්‍රකට ය. එයින් සිදුවන්නේ ඇෆ්ගනිස්තානය පුරා මිලිටරි ආධිපත්‍යයක් පැවතීමයි. සාමාන්‍ය ජන ජීවිතය අඩාල වී බොහෝ කල් ය. දැන් සිටින්නේ එම තත්ත්වයට මුහුණ දෙමින් සිටින සිව් වන පරම්පරාවයි. මේ ගැන මාධ්‍ය වාර්තා බොහෝ ය. ඒඅතරින් අල්-ජසීරා හි පළ වූ එක් පුවතක දැක් වෙන්නේ මේ දවස්වල සියලූම කාබුල් වාසිීන් සිය පසුම්බියේ හෝ බෑගයක හෝ වෙනත් ආකාරයක සුරක්‍ෂිත ය කියා සිතෙන තැනක හෝ තමන් සම්බන්ධ සියලූ තොරතුරු ඇතුළත් ජීව දත්ත ඇතුළත් කඩදාසියක් ගෙනයන බවයි.
ඇෆ්ගනිස්තානයේ භූ පිහිටීම අනුව එය ජාත්‍යන්තර මර්මස්තානයකි. අතීත සෝවියට් සමූහාණ්ඩුවේ එක් මායිමක් ඇෆ්ගනිස්තානයයි. එනිසා රුසියාව ඈත අතීතයේ සිට ම ඇෆ්ගනිස්ථානයට අත පෙවී ය. සෝවියට් පාලනය බිඳ වැටෙන අවස්ථාව වනවිට සෝවියට් දේශය විසින් ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කොට තිබිණි. යම් හෙයකින් සෝවියට් පාලනය බිඳ නොවැටී පැවැතියා නම් මේ වනවිට එරට අතීතයේ නැගෙනහිර යුරෝපයේ රටවල් පැවැතියාක් මෙන් සමාජවාදී රටක් වන්නට ඉඩ තිබිණි. මේ වනවිට රුසියාව ඇෆ්ගනිස්තානයට තරමක් දුරින් පිහිටිය ද අතීත සෝවියට් දේශයට අයත්ව තිබූ දැනට ඇෆ්ගන් දේශසීමාවේ ඇති ටර්ක්මෙනිස්තාන් සහ උස්බෙකිස්තාන් මෙන් ම ඊට එපිටින් ඇති කසකස්තාන් ද වර්තමාන රුසියා පාලනයට නතු බවක් ප‍්‍රකට හෙයින් ඇෆ්ගනිස්තානයේ සිදුවන දෑ ගැන පුතින් පරිපාලනය සිටින්නේ දැඩි අවධානයෙනි.
ඇෆ්ගනිස්තානයට අනෙක් පැත්තේ ඇත්තේ ඉරානයයි. ඉරානයේ ඉස්ලාම් ඇදහිල්ල ඉසිස් සංවිධානයේ මෙන් සුන්නි අන්තවාදී නොවෙතත් ඉරානය ඉසිස් සංවිධානයට අප‍්‍රකට ව රැුකවරණ සපයන බව ප‍්‍රකට කාරණයකි.
ආසියාව මැද පෙරදිගට යොමුවන කපොල්ල ඇෆ්ගනිස්තානයයි. ඉන්දියාවෙන් පසු පාකිස්තානයත් ඉන්පසු ඇෆ්ගනිස්තානයත් හමුවේ. ඇෆ්ගනිස්තානයේ ත‍්‍රස්ත කි‍්‍රයාවල නිරත වූවන්ට රැුකවරණ සලසන්නේ පාකිස්තානය බවට සැකයක් තිබේ. ඉස්ලාම් ලබ්ධික මේ ත‍්‍රස්තයන්, ඉස්ලාම් ලබ්ධික පාකිස්තානයේත් කදවුරු බැඳ ගත්තොත් ජම්මු කාශ්මිර් ප‍්‍රශ්නය වුව වෙනස් මුහුණුවරක් ගන්නවාට සැක නැත.
ඇෆ්ගනිස්තානයේ කඳුකර පෙදෙස් මත් ද්‍රව්‍ය වෙළෙඳාම ද ඇතුළත් විවිධාකාර නීති විරෝධී හුවමාරුවලට ද කුප‍්‍රකට ය.
සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක‍්‍රමණය කළේ එහි ඇති භූදේශපාලනික වැදගත්කම ගැන නිසි තක්සේරුවකින් යුතු ව ය. ඒ 1979 දෙසැම්බරයේ දී ය. සෝවියට් දේශය එතන් සිට 1988 දක්වා ඇෆ්ගනිස්තානයේ සමාජවාදී ආණ්ඩුව පවත්වා ගෙන යාමට උපකාරී විය. මුජාහිදින් කල්ලි සෝවියට් පිටුබලය සහිත ඇෆ්ගන් පාලනයට එරෙහිව කැරලි ගැසූහ.
ඇෆ්ගනිස්තානය සෝවියට් දේශය විසින් ආක‍්‍රමණය කරනු ලැබීමෙන් පසු ව ඊළ`ගට සිය රටේ කොටසක් වන බලූකිස්තානය ආක‍්‍රමණය කරනු ඇතැයි පාකිස්තාන ජනාධිපති සියා උල්-හක් බිය විය. ඔහු කළේ මේ තත්ත්වය සවුදි අරාබියට සහ අමෙරිකාවට සැල කිරීමයි. එවිට සීඅයිඒ සහ සවුදි රහස් ඔත්තු සේවාව වන ජීඅයිඞී එක් ව පාකිස්තානු රහස් ඔත්තු සේවාව වන ඉසි හරහා ඇෆ්ගන් මුජාහිදීන් කල්ලියකට පුහුණුව ලබා දෙන ලදී. මුල්ලා මොහමඞ් ඔමාර් නායකයා විය. 90,000 ඉක්මැවූ තරුණ පිරිසකගෙන් සමන්විත වූ මේ කල්ලිය ඇතැම්විට තාලිබාන් ලෙසින් ද හැ`දින්වෙන තලේබාන් ය.
1988 දෙසැම්බරයේ සෝවියට් දේශය හකුලා ගත්තේ ය. මේ සිද්ධිය සෝවියට් දේශයේ බිඳ වැටීමට එක් හේතුවක් වූ බව ඇතැම් අයගේ අදහසයි.
මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදයට මතු නොව සමස්ත ලෝකයට ම තර්ජනයක් වන තලේබාන් සහ ඒ ඇසුරින් බිහි වූ විවිධ මුජාහිදීන් කල්ලිවල මූල බීජාවස්ථාව එයයි. ඒ සමගම ඇෆ්ගනිස්තාන කමියුනිස්ට් ආණ්ඩුව අස්ථාවර වූ අතර තලේබාන් කැරලිකරුවන්ගේ දැඩි ප‍්‍රහාරවලට ලක් විය. 1996 දී ඔවුන් විසින් ඇෆ්ගනිස්තානයේ පාලන බලය මුඵමනින් ම නතු කැර ගන්නා ලදී. දැඩි සුන්නි මූලධාර්මික පිළිවෙත් අනුව දියත් වූ ඔවුන්ගේ පාලනය ද වැඩිකල් නොගොස් ම ජනතාවට තිත්ත වූ නමුත් විරුද්ධ වන්නට තරම් ශක්තියක් තිබුණේ නැත. 9/11 ප‍්‍රහාරය නිසා කෝපයටත් වේදනාවටත් පත් පෙන්ටගනය, ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ යුතු බව තීරණය කළ අතර 2001 ඔක්තෝබරයේ එය කළේ ය. 2001 නොවැම්බරයේ තලේබාන් නායක මුල්ලා මොහමඞ් ඔමාර්ට පාලනය අතහැර දමන්නට සිදු විය.
මේ වනවිට සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මේ වනවිට අමෙරිකාව නැවත ඇෆ්ගනිස්තානයට හමුදාව එවා ඇත. එය පෙර මෙන් ආක‍්‍රමණකාරී නොවුණත් හැඳින්වීමේ දී ආක‍්‍රමණය යන පදය යෙදේ. දැන් අමෙරිකානු හමුදාව බෝම්බ හෙළමින් සිටියි. ඒවා වැටෙන්නේ ත‍්‍රස්ත කඳවුරුවලට වඩා සිවිල් වැසියන්ගේ හිස් සහ දේපළ මතට ය. ඒ අතර තලේබාන්ලා ඉසිස්ලා කෙලින්ම සිවිල් වැසියන් ඝාතනය කරමින් සිටිති