වෙළෙදපොළ ආර්ථිකය සහ ඉන්දියානු මධ්‍යම පංතිය

දශක ගණනාවක් තිස්සේ ගෝලීය ආර්ථික වර්ධනයෙහි පෙරගමන්කරුවන් ලෙස කි‍්‍රයා කළේ ඇමරිකානු පාරිභෝගිකයින්ය. මෑතක් වනතුරුම ලොව ප‍්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් සිය භාණ්ඩ හා සේවා නිපැයුවේ අධි පාරිභෝජනවාදය තම ජීවන දර්ශනය කරගත් ඇමරිකානු ගනුදෙනුකරුවන් ඉලක්ක කොට ගෙනය. එහෙත් ලෝක ආර්ථික බලවතෙකු ලෙස චීනය පෙරට පැමිණීමත් සමග, ලොව සියලූ ව්‍යවසායකයින්ගේ අවධානය නැ`ගී එන චීන මධ්‍යම පංතිය දෙසට යොමු වීම නොවැළැක්විය හැකි විය. වර්ෂ 2022 වන විට චීනයේ නාගරික ජනගහනයෙන් 76%ක්ම මධ්‍යම පාංතිකයන් වනු ඇතැයි ඇමරිකානු පර්යේෂණ ආයතනයක් වන ‘‘මැකෝසි’’ පවසයි. එනම්, චීන නාගරික කුටුම්බයන්ගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 9000- 34000 අතර පරාසය වෙත හෙමි හෙමින් ළගාවීමයි. වසර 2000දී චීන නාගරික ජනගහණයෙන් මධ්‍යම පංතිකයට අයත්ව සිටි ප‍්‍රතිශතය 4%ක් පමණ විය. 2020 වන විට චීන පාරිභෝගික වෙළෙදපොළ එංගලන්තය හා ජර්මනිය අබිබවා, ඇමරිකන් ඩොලර් ටි‍්‍රලියන 6.5ක් දක්වා වර්ධනය වනු ඇත. චීනයේ නව යොවුන් පරපුර තම තාත්තලා, සීයලා මෙන් සතෙන් සතේ ඉතිරිකරන පරම්පරාවක් නොවේ. මොවුන්ගේ වාර්ෂික පාරිභෝජන වියදම්වල ප‍්‍රතිශතය 14%ක් වැනි ඉහළ මට්ටමක පවතී.

ඉන්දියාවේ තත්ත්වය
පසුගියදා පැවති ගෝලීය ආයෝජකයින්ගේ සමුළුවක් අමතමින් ‘‘ඇපල්’’ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් මෙසේ පැවසීය. ‘‘මීට වසර ගණනාවකට පෙර, චීනයේ පැවති පාරිභෝජනවාදයේ පිබිදීම, අද ඉන්දියාව තුළ තිබෙන බව මට හො`දින් දැනෙනවා. එහෙයින් ලොව සියලූ ආයෝජකයින් නැගී එන ඉන්දියානු මධ්‍යම පංතිය ඉලක්ක කරගෙන තම ව්‍යාපාර සැලසුම් සිදුකළ යුතු කාලය එළැඹ තිබෙනවා. ‘‘නවදිල්ලි නුවර පිහිටි අති දැවැන්ත සාප්පු සංකීර්ණය වන ‘‘ඇමිබියන්ස්’’ වෙත යන ඕනෑම අයෙකුට ලොව සුපිරි සන්නාම සහිත වෙළෙදසැල් සියල්ලම පාහේ එහි තිබෙන අයුරු දැකගත හැකිය. අරුමෝසම් ඇදුම් ආයිත්තම් නිර්මාණ කරණයේ ඉන්දියානු දැවැන්තයා වන ‘‘ෆැබ් ඉන්ඩියා’’ පරදවමින්, ජාත්‍යන්තර කීර්තියට පත් වූ ලෙවිස්, ස්ටාර්බන්ස්, සාරා සහ බී.ඩම්.ඩබ්ලිව්, ඇම්බියන්ස් තුළ වැජඹීම සුලබ දසුනකි. ඉන්දියානු නාගරික ජනගහනයෙන් 25%ක් නියෝජනය කරන මුඩුක්කුවාසීන් එම රට තුළ සැබැවින්ම සිටී දැයි යන සැකය ඇතිවන තරමටම සුවපහසු, මනස්කාන්ත පරිසරයක් මෙකී සාප්පු සංකීර්ණ අවට ගොඩනැ`ගී ඇත. ඇමිබියන්ස් සාප්පු සංකීර්ණයට ම`දක් ඔබ්බෙන් වත්මනෙහි ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ල වෙනුවෙන් ලෝ ප‍්‍රකට ඇමේසන් ආයතනය, ඇමරිකන් ඩොලර් බිලියන 05ක් ආයෝජනය කිරීමට නියමිතය. දේශීය ඊ – වෙළෙද වේදිකාවක් වන පේට්ම් සමග එක්ව ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ආයෝජනය කිරීමට මේ වනවිටත් අලිබබා සමාගම එකගතාව පළ කොට තිබේ. ජපානයේ සොෆ්ටි බෑන්ක්, උබර්, ගූගල්, අයිකියා, ෆේස්බුක් හා නෙට්ෆ්ලික්ස් ඉන්දියාව බලා පැමිණ ඇත්තේ එරට නැගී එන මධ්‍යම පංතිය පිළිබදව බලාපොරොත්තු තබා ගෙනය. යුනිලීවර් සමාගමේ ප‍්‍රධානියා වන පෝල් පොලිමන්ට අනුව, 2025 වන විට ඉන්දියානු මධ්‍යම පාංතිකයන්ගේ ගණන මිලියන 550 දක්වා ඉහළ යෑමට නියමිතය.

තිත්ත ඇත්ත
නැගී එන වෙළෙදපොළ ආර්ථිකයක් සහිත දේශයන් තුළ ශීඝ‍්‍රයෙන් පිබිදෙන මධ්‍යම පංතික ජනයා, ජාත්‍යන්තර සන්නාම සහිත ඇගලූම්, අයිෆෝන්, බෙන්ස් හා බී.එම්.ඩබ්ලිව් වාහන, විදේශ සංචාර යනාදියට බෙහෙවින් ඇලූම් කරති. බිලියන 1.3ක ජනගහනයක් ඇති ඉන්දියාව, රත්තරන් බිජු සහිත කිකිළියක් සේ ආයෝජකයින්හට පෙනී යාම පුදුමයට කරුණක් නොවේ. එහෙත් තිත්ත ඇත්ත වන්නේ ඉන්දියානු මධ්‍යම පාංතිකයින්ගේ අතමිට, මෙකී විදෙස් ව්‍යාපාරිකයින් හිතන තරමටම සරුසාර නොවීමයි. මිලියන ගණනක් ඉන්දියානුවන් දුගීබවේ රේඛාවෙන් ඉහළටම එසැවුණු නමුත්, සිය පවුල් කුටුම්බවල කෑම බීම, ඇදුම් පැළදුම්, බේත්හේත් සහ ප‍්‍රවාහන වියදම් දැරූ පසු සුඛවිහරණය සදහා වැය කිරීමට තරම් ධනයක් ඔවුන් අත නොරැදුන වග පැහැදිලිව පෙනී යන කරුණකි. 2018 වන විට ඉන්දියානුවන් මිලියන 400ක් මධ්‍යම පාංතිකයින් බවට පත්වනු ඇතැයි අනාවැකි පළ වුණද, අන්තර්ජාල වෙළෙද වේදිකා ඔස්සේ අද සකී‍්‍රයව ගනුදෙනු කරන්නේ මිලියන 50ක් හෙවත් සමස්ත ජනගහනයෙන් 5 – 10% අතර සංඛ්‍යාවකි. ඒ අනුව 2017 වසර පුරාම ඉන්දියාවේ අන්තර්ජාල වෙළෙදාමේ සමස්ත වර්ධනය, චීනයෙහි සතියක් ඇතුළත සිදුවන ඊ- ගනුදෙනුවල වටිනාකමට සමානවේ. 2017 මාර්තුවෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී ‘‘ඇපල්’’ සමාගම ඉන්දියාවේදී ඉපැයූ ආදායම, ඔවුන්ගේ ගෝලීය ආදායමෙන් 0.7%ක් වැනි සුළු ප‍්‍රතිශතයක් විය. අනෙක් රටවල් තුළ දී සිය ව්‍යාපාර වර්ධනය හා සැසදීමේදී ගූගල් සමාගමේ ඉන්දියානු ව්‍යාප්තිය අද සිදුවන්නේ ඉතා හෙමිනි. ක්‍ෂණික ආහාර ඉන්දියාව තුළ ඇදහිය නොහැකි අන්දමින් අලෙවි වනු ඇතැයි නිතර කියැවුණද, එම රට තුළ දශක දෙකක් පුරා වෙළෙදාම් කළ මැක් ඩොනල්ඞ්ස් ආයතනයට පෝලන්තයේ හා තායිවානයේ තරම් ශාඛා ගණනක් භාරතය තුළ ස්ථාපිත කිරීමට නොහැකි විය. KFC හා ඩොමිනෝස් පීසා ඉන්දියානු පාරිභෝගිකයා ගැන මැවූ සියලූ සිහින අද බොදවෙමින් පවතී. ස්ටාර්බක්ස් කෝපි වෙළෙදසැල් සමූහය, පසුගිය වසර දෙක තුළ විවෘත කරනු ලැබූ ඉන්දියානු ශාඛා සංඛ්‍යාව 24කි. ඔවුන් සතුව එහි තිබෙන මුළු කෝපි කඩ ගණන 100කි. සෑම පැය 15කට වරක්ම චීනය තුළ අලූත් ස්ටාර්බක්ස් කෝපිහලක් විවෘත වන අතර එරට තුළ ඔවුන්ගේ ශාඛා 3000ක් කි‍්‍රයාත්මක වෙයි. පෞද්ගලික වාහන හිිමිකම හා සැසදීමේදී චීනය සිටිනුයේ ඉන්දියාවට පස්ගුණයක් ඉදිරියෙනි. නැගී එන මධ්‍යම පංතියක් ගැන බොහෝ දෙනෙක් කතාබහ කළද, ඉන්දියානුවන්ගෙන් 97%ක්ම කිසිදු දිනක ගුවන්යානයකට ගොඩවී නැත.

ඇති – නැති පරතය
2017 වසරේදී ඉන්දියාවේ සමස්ත ධනයෙන් 73%ක්ම අත්පත්කරගෙන තිබුණේ එරට ජනගහනයෙන් 01%ක් වන සුපිරි ධනවත් පැලැන්තිය විසිනි. එහෙයින් නවීන අයි – ෆෝන් මිලට ගැනීමේ හැකියාව ඇත්තේ මේ සුළුතරයටයි. බහුතරය ඇණවුම් කරන්නේ ස්මාර්ට් ජංගම දුරකථන නොව, ඇමතුමක් ගත හැකි ප‍්‍රාථමික ගණයේ ඒවාය. හින්දුස්ථාන් යුනි ලීවර් සමාගම, එරට දුප්පතුන්ට ලබාගත හැකි අයුරින් මිල කොට ඇති සැෂේ ෂැම්පු පවා 2012 සිට මේ දක්වා හරිහැටි අලෙවි නොවේ. ඉන්දියානු මධ්‍යම පංතියට ඇතුල්වීමට නම් පුද්ගලයෙකුගේ දෛනික ආදායම ඇමරිකන් ඩොලර් 10ක් විය යුතුය. ප‍්‍රංශ අර්ථශාස්ත‍්‍රඥ තෝමස් පිකෙටිට අනුව, 2014 වසරේදී ඇමරිකන් ඩොලර් 3150ට වඩා වාර්ෂික ආදායමක් උපයාගත්තේ ඉන්දියානුවන් 10 දෙනෙකු අතරින් එක් අයෙක් පමණි. එම ගණන් බැලීමට අනුව දෛනිකව ඩොලර් 10ක් උපයන සමස්ත ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව මිලියන 78කට සීමා වේ. අලූත්ම ඇපල් අයිෆෝන් එකක් වත්මනෙහි ඉන්දියාව තුළ අලෙවි වන්නේ ඩෙලර් 1400කටය. හොද වැටුප් ලබන, ඉහළ තලයේ 10%ට අයත්වන ඉන්දියානුවෙකුට වුව එම ස්මාර්ට් ජංගම දුරකථනය ගැනීම සදහා තම මාස 06ක වැටුප් මුදල් වෙන් කිරීමට සිදුවේ. අනෙක් අතට, මෝටර් රියක් හෝ ස්කූටරයක්, පුළුල් තිර ටෙලිවිෂන් යන්ත‍්‍රයක්, පුද්ගලික පරිගණකයක්, ශීතකරණයක් සහ වායු සමීකරණය කළ නිවසක් යන මේ සියල්ලටම හිමිකම් කියන්නේ මුළු ඉන්දියානු ජනගහනයෙන් 03%ක් පමණි. ඩොලර් වත්කම් සහිත මිලියනපතියන් ලක්ෂ 02කුත්, බිලියනපතියන් 101කුත් ඉන්දියාව තුළ වෙසෙන වග ජාත්‍යන්තර ෆෝබ්ස් සගරාව කියයි. හොණ්ඩා ස්කූටරයක මිලට සමාන වන, හර්මීස් අත්බෑග් මිලදී ගන්නා කාන්තාවන්ද ඉන්දියාව තුළ වෙසෙයි.

වරද කොතැනද?
ඉන්දියාව පාරිභෝජන බල කේන්ද්‍රයක් බවට පත් කිරීමට නම්, එරටට චීනයේ වැනි අතමිට සරු උගත් හා අධිතාක්‍ෂණ දැනුමෙන් අනූන මධ්‍යම පාංතික ජනතාවක් අත්‍යවශ්‍යවේ. රටක් තුළ තිරසාර මධ්‍යම පංතියක් ගොඩනැගිය හැක්කේ එම දේශයේ පුරවැසියන් බහුතරයකට නූතන ලෝකයට ගැළපෙන, ප‍්‍රායෝගික හා විශිෂ්ට අධ්‍යාපනයක් තිළිණ කිරීමෙන් පමණි. ලොව කොතැනක වුව තරගකාරී ලෙස වැඩ කළ හැකි, අනර්ඝ ශ‍්‍රම බලකායක් සැලසුම් සහගතව නිර්මාණය නොකරන රටකට කිසිවිටෙක දිගුකාලීන ආර්ථික දියුණුවක් අත්පත් කරගත නොහැකි වග ආර්ථික විiාඥ ඇඩම් ස්මිත් පැවසුවේ 1776 දීය. ඉන්දියාවේ බහුතරයක් දරුවන් අධ්‍යාපනය ලබන්නේ 06 වැනි ශ්‍රේණිය දක්වා පමණි. 2017 ගෝලීය පෝෂණ වාර්තාවට අනුව ඉන්දියානු ළමා ජනගහනයෙන් 38%ක්ම මන්දපෝෂණයෙන් පෙළෙයි. 1868දී ජපානයේ පාලන බලය සියතට ගත් මීජි අධිරාජ්‍යයා, වසර 40ක් ඇතුළත තම රටවැසියන් ගෝලීය නව තාක්‍ෂණය හා ජපන් සංස්කෘතිය එකට මුසු කළ විශිෂ්ට අධ්‍යාපනයකින් සන්නාහ සන්නද්ධ කළ යුතුයැයි නියෝග කළේය. ජපානය සංවර්ධිත රටක් බවට පත්වූයේ මීජි අධිරාජ්‍යයා දුරදක්නා නුවණින් යුතුව සිදුකළ එම අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල පිහිටෙනි. දකුණු කොරියාව, තායිවානය, හොංකොං, සිංගප්පුරුව හා චීනය ලොව ජයගත්තේ විශිෂ්ට හා නවීන අධ්‍යාපනයක් සිය පුරවැසියන්ට ලබාදීම ඔස්සේය. චීනයේ මෙන් සුපිරි මධ්‍යම පාංතියක් ඉන්දියව තුළ බිහි නොවන්නේ එරට අධ්‍යාපන ක‍්‍රමය තුළ පවතින දුර්වලතා නිසා බව, 1998 දී ආර්ථික විද්‍යාව පිළිබද නොබෙල් ත්‍යාගය දිනූ ඉන්දියානු අර්ථ ශාස්ත‍්‍රඥ අමර්ත්‍යා සෙන් පවසයි. ආසියානු සංවර්ධන බැංකුවේ දත්තවලට අනුව, ශී‍්‍ර ලංකාව හා නේපාලය යන රටවල මධ්‍යම පංතිය, ප‍්‍රමාණයෙන් ඉතා කුඩා අගයක් ගනී. 2018 වසරේදී වැඩිම ගෝලීය ඉල්ලූමක් ඇත්තේ මෘදුකාංග සංවර්ධන ඉංජිනේරු ක්ෂේත‍්‍රයෙහිය. දන්ත ශල්‍ය වෛද්‍ය, හෙද සේවය, සංඛ්‍යාලේඛන විiාඥ, මනෝ විද්‍යාඥ, කී‍්‍රඩා භෞත චිකිත්සක හා නිර්වින්දන හෙද සේවය, ප‍්‍රමුඛතා ලැයිස්තුවේ තිබෙන රැුකියාවන්ය. එහෙත් පාරේ උද්ඝෝෂණ සිදු කිරීම පසෙක තබා, ශී‍්‍ර ලංකාවේ ශිෂ්‍ය ප‍්‍රජාව වත්මනෙහි උනන්දු විය යුත්තේ ඉංගී‍්‍රසි දැනුමද සහිතව ඉහත කී රැකියා ක්ෂේත‍්‍ර හා අදාළව තම නිපුණතා සංවර්ධනය කරගැනීම උදෙසාය.