රාවය

1948-2018 එසේ නොවී මෙසේ සිදු වූවා නම්..?

1948-2018 එසේ නොවී  මෙසේ සිදු වූවා නම්..?

නිදහස ලැබී 70 වසරක් සපිරෙන මේ මොහොතේ අතීතාවර්ජනා බහුලයි. අප කොහොමටත් ඉතිහාසය බදා ගෙන එය යළි යළිත් අත් විදින්න කැමති ජාතියක්.
ඉතිහාසය යම් තීරණාත්මක අවස්ථාවලදී වෙනස් විදියට දිග හැරීම සිදු වූවා නම්? අපේ වර්තමානය බෙහෙවින් වෙනස් විය හැකියි. විකල්ප ඉතිහාස (alternative history) පරිකල්පනය කරන්නේ මෙයයි.
2012 මැයි මාසයේ ලිපි දෙකකින් මා විකල්ප ඉතිහාසයන් ගැන කථා කළා. එහිදී මා කීවේ මෙයයි: ”විකල්ප ඉතිහාසයන් ගැන පරිකල්පනය කිරිම ලොව පුරා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයන් අතර ජනප‍්‍රිය තේමාවක්. ඉතිහාසයේ අප දන්නා (හෝ අප‍්‍රකට) යම් සිදුවීම් වෙනස් ආකාරයකට සිදු වූවා නම් එතැන් සිට ජන සමාජයක, රටක හෝ මුළු ලෝකයේ ම කථාව දිග හැරෙන්නේ කෙසේ ද? විකල්ප ඉතිහාසය කියන්නේ මේ ඔස්සේ යමින් ප‍්‍රබන්ධ කිරීමයි.”
ඉතිහාසය සමග මෙසේ සෙල්ලම් කළ යුතුද කියා අසන අයට මා පිළිතුරු දුන්නේ මෙලෙසයි: ”ඉතිහාසය සැබෑ සිදුවීම් මෙන් ම අතිශයෝක්තීන්, ප‍්‍රලාප හා අතරමැදි කථාවලින් සංයුක්ත මිශ‍්‍රණයක්. එහි තනි කතුවරයකු නැහැ. එසේ ම තනි උරුමක්කාරයකුත් නැහැ. මේ නිසා ඉතිහාසය ප‍්‍රවේශමින් පරිහරණය කරනවා වෙනුවට එය වාද විවාද හා සියුම් ශාස්ත‍්‍රීය පරික්ෂාවන්ට ලක් කළ යුතුයි. එමෙන්ම ප‍්‍රබන්ධ නිර්මාණකරුවන්ට තමන් කැමති පරිදි ඉතිහාසයේ සැරිසරන්නට ඉඩ තිබිය යුතුයි.”
නිදහසෙන් පසු ගත වූ වසර 70 තුළ අප දන්නා සිදුවීම් මාලාව වෙනුවට වෙනත් ආකාරයකට යම් යම් දේ විය හැකිව තිබුණා නම්?
මෙය හුදෙක් දේශපාලන සිදුවීම් හා චරිතවලට සීමා වන්නේ නැහැ. ආර්ථික, සංස්කෘතික, කී‍්‍රඩා වැනි ක්‍ෂේත‍්‍රවල පවා විකල්ප ඉතිහාසය පරිකල්පනයන් අපට මතු කළ හැකියි.
මෑත ඉතිහාසයේ වඩාත් ප‍්‍රකට විය හැකියාවන් කිහිපයක් මෙන්න.
* 1959 සැප්තැම්බර් 25 වනදා අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට කුමන්ත‍්‍රණකාරී සාහසිකයා එල්ල කළ වෙඩි පහරවල් නොවැදුණා නම්?
* 1962 ජනවාරි 27 වනදා සිරිමා බණ්ඩාරනායක රජය පෙරළන්නට තැත් කළ හමුදා කුමන්ත‍්‍රණය සාර්ථක වූවා නම්?
* 1993 මැයි 1 වනදා මැයි දින පෙළපාලියට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාස නිරුපද්‍රිතව බේරුණා නම්?
* 2004 දෙසැම්බර් 26 වනදා මහා සුනාමියේ අනතුරු ඇඟවීම නිසි කලට අපේ වෙරලාසන්න ජනයාට සන්නිවේදනය වූවා නම්?
විය හැකියාවන් ගැන මෙසේ පරිකල්පනය කිරීම නිශ්ඵල කි‍්‍රයාවක් යැයි ඇතැමෙකු තර්ක කළ හැකියි. යට ගිය සිදුවීම් අපට වෙනස් කළ නොහැකි බව ඇත්ත. එහෙත් විකල්ප ඉතිහාසයන් පිළිබද පරිකල්පනවල මුඛ්‍ය පණිවුඩය නම් අද අප අත් වි`දින යථාර්ථය අහඹු සිදුවීම් රාශියක් සංකලනය වීමේ ප‍්‍රතිඵලයක් බවයි.
අද මා තැත් කරන්නේ එක් ප‍්‍රකට හා අප‍්‍රකට විය හැකියාවන් දෙකක් මෙනෙහි කිරීමටයි. ඉතිහාසය වෙනස් වීමට සාපේක්‍ෂව කුඩා සිදුවීමක් වුවද සෑහෙන බව මේ උදාහරණවලින් පෙනී යනවා.
ලක්ෂමන් කදිර්ගාමර් (1932-2005) මෙරට සිටී විශිෂ්ටතම විදෙස් අමාත්‍යවරයා ලෙස සැළකෙනවා. ඔහු 1994-2001 වකවානුවේත්, යළිත් වරක් 2004 අපේ‍්‍රල් සිට 2005 අගෝස්තුවේ ඝාතනය කැරෙන මොහොත දක්වාත් එම තනතුරේ කටයුතු කළා.
කොටි සංවිධානය ජාත්‍යන්තර මට්ටමින් ගෙන ගිය අසත්‍ය ප‍්‍රචාර හා ශී‍්‍ර ලංකා විරෝධී කැම්පේන්වලට ව්‍යක්ත හා තර්කානුකූල ලෙස පිළිතුරු දෙමින් ලෝක ජනමතයට ප‍්‍රබල බලපෑමක් කිරීමට ඔහු සමත් වූවා. LTTE සංවිධානය බටහිර රටවල් ගණනාවක තහනම් කිරීමට මූලිකව හේතු වූයේ ඔහුගේ රාජ්‍ය තාන්ති‍්‍රක කි‍්‍රයාකාරිත්වයයි.
කදිර්ගාමර් වෘත්තීය දේශපාලකයකු නොව වෘත්තියෙන් නීතිඥයෙක්. 1974 සිට 1988 දක්වා ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානවල ජ්‍යෙෂ්ඨ තනතුරු හෙබවූවා. එයින් වැඩි කාලයක් ගත කළේ ලෝක බුද්ධිමය දේපල සංවිධානයේ :(WPO) ජිනීවා නුවර ප‍්‍රධාන කාර්යාලයේ.
එහි ආසියා කලාපීය අධ්‍යක්‍ෂවරයා ලෙස තනතුරේ වගකීම් ඉටු කිරීමට ඔහු නිතරම ආසියානු රටවලට දූත ගමන්වල නිරත වුණා. මෙවන් එක් නිල සංචාරයක් සදහා 1979 ඔක්තෝබර් 7 වනදා ජිනීවා සිට චීනයේ බේජිං නුවර යාමට ස්විස්එයාර් ගුවන් ගමන් අංක 316ට එක් වුණා.
අතරමග ගී‍්‍රසියේ ඇතන්ස් ගුවන් තොටුපළේ මේ යානය කෙටි වේලාවකට ගොඩ බැස්වීම සිරිතක්. එහෙත් එදා ගොඩ බැස්වීම හරිහැටි සිදු වූයේ නැහැ. ධාවන පථය ඉක්මවා ගිය යානය අසල තිබූ මහාමාර්ගයකට ඇදී ගොස් නතර වෙත්ම එය දෙතැනකින් කැඞී ගියා. පිපිරීමක් සිදු නොවූවත් යානය තුළ ගින්නක් මතුව ආවා. පණ බේරා ගෙන යානයන් පිටවීමට තිබුණේ ඉතා කෙටි කාලයක්.
හදිසි අවස්ථාවක ගත යුතු පියවර ගැන ගුවන් ගමන් කාර්ය මණ්ඩලය කොතෙක් කියා තිබුණත් යානයෙන් පිටවීමට ලොකු කලබලයක් හට ගත්තා. අඩි ගණනාවක් ඉහළ සිට, තරප්පු පෙළක ආධාරය නැතිව ගුවන්යානා දොරටුවෙන් බිමට පැනීමට කදිර්ගාමර්ට සිදු වුණා. එයින් ඔහුගේ ඉල ඇට දෙකක් කැඞී, තවත් බොහෝ සීරීම් හා කැපීම් තුවාල සිදු වූවත් පණ බේරුණා. ඔහු ඇතුලූ මගීන් රැසක් රෝහල්ගත කෙරුණා.
යානයේ සිටි 142 දෙනාගෙන් 15 දෙනෙක් අනතුරෙන් මිය ගියා. සති කීපහක් වෛද්‍ය ප‍්‍රතිකාර ලැබීමෙන් පසු කදිර්ගාමර් සුවපත් වුණා. පසුව අධිකරණ පරීක්‍ෂණයක් තීරණය කළේ අනතුරට හේතුව ගුවන් නියමුවාගේ නොසැළකිල්ල බවයි.
ගුවන් යානා අනතුරකින් මෙසේ පණ බේරා ගන්නා විට කදිර්ගාමර්ගේ වයස 47යි. මේ සිදුවීමේ විස්තර හමු වන්නේ ඔහුගේ දියණිය අජිතා කදිර්ගාමර් 2015දී ලියූ චරිතාපදානයේ. කදිර්ගාමර් දේශපාලනයට පිවිසුණේ වයස 62 දී. ගුවන් අනතුරකදී මගීන් පිරිසක් දිවි ගලවා ගැනීම අසාමාන්‍යයි. බැරිවෙලාවත් කදිර්ගාමර්ට එදා පණ බේරා ගත නොහැකි වූවා නම්?
මොහොතකට මෙනෙහි කරන්න. මේ අතිදක්‍ෂ ලංකා පුත‍්‍රයා නොසිටියා නම් අපේ රටේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය වෙනුවෙන් වාචිකව සටන් කිරීමට දැවැන්තයකු නොමැති වනවා. එවිට කොටි විරෝධී අරගලය තවත් දූෂ්කර විය හැකිව තිබුණා.
කොටි සංවිධානය මිලිටරිමය ලෙස පරදවන්නට පෙර ජාත්‍යන්තර තලයේ හුදෙකලා කොට කොන් කළේ කදිර්ගාමර් බව කිසි දිනෙක අමතක නොකරමු.
ගුවන් අනතුරු ගැන කථා කරන විට අපේ මතකයට නිතැතින්ම නැගෙන ප‍්‍රකට නමක් නම් උපාලි විජේවර්ධන (1938-1983). රටේ ප‍්‍රභූ පවුලක උපත ලබා, බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවි අධ්‍යාපනය ලද ඔහු නවෝත්පාදනය හරහා දැවැන්ත ව්‍යාපාර සමූහයක් ගොඩ නැංවූවා.
ඩෙල්ටා ටොෆි, කැන්ඩොස් චොකලට් වැනි පාරිභෝගික භාණ්ඩවල සිට උපාලි මෝටර් රථ, ගුවන් සේවා හා මැලේසියාවේ කොකෝ වතු දක්වා පුළුල් පරාසයක ව්‍යාපාර උපාලි හිමි කර ගත්තේ වයස 40 වීමත් කලින්.
උපාලිට දේශපාලනයට ඒමට ලොකු ඕනෑකමක් තිබූ බව ප‍්‍රකටයි. 1981දී උපාලි පුවත්පත් ආරම්භ කිරීමත් එහි එක් පියවරක්. ඔහුගේ ඥාතියකු වූ ජේ. ආර්. ගෙන් පසු රටේ නායකයා වීමට ඔහු සිහින මැවූ බවත් කියනවා. එහෙත් ඔහුගේ මේ අභිලාශයන් එවකට රජයේ සිටී ඇතැම් ප‍්‍රබලයන්ගේ දැඩි විරෝධයට හේතු වුණා.
1983 පෙබරවාරි 13 වනදා උපාලි තමන්ගේම ලියර්ජෙට් යානයෙන් මැලේසියාවේ සිට ශී‍්‍ර ලංකාව බලා එමින් සිටියදී ගුවනේදී අතුරුදන් වුණා. ඔහුගේ යානය මලක්කා සමුද්‍ර සන්ධියට කඩා වැටෙන්නට ඇතැයි සැක කළත් සුන්ඹුන් කිසිවක් හමු වූයේ නැහැ. උපාලිට මොකද වුණේ යන්න අද දක්වාත් අබිරහසක්.
උපාලි අතුරුදන් වූයේ 45 වන උපන්දිනයට දින හතරකට පෙරයි. ඔහුගේ අවසාන නවෝත්පාදනය වූ උපාලි පුවත්පත් ඔහුගෙන් පසුව කෙමෙන් අයාලේ ගියා. ඔහුගේ ව්‍යාපාර සමූහයද එදා තරම් ජවසම්පන්න නැහැ.
උපාලි විජේවර්ධන අතුරුදන් නොවූවා නම් ඔහුගේ සමාජයීය හා දේශපාලන භූමිකාව කෙසේ විය හැකිව තිබුණාද?
දේශපාලනයට පිවිසි මුල්ම ලාංකික ව්‍යාපාරිකයා උපාලි නොවෙයි. එහෙත් වෙනත් බොහෝ ව්‍යාපාරිකයන්ට නොතිබූ ගෝලීය දැක්මක් හා නූතනත්වය පිළිබ`ද විවෘත මනසක් ඔහුට තිබුණා. ළිංමැඩි මානසිකත්වය වෙනුවට ලෝකයේ අපට හිමි නිසි තැන හා එය වාසියක් කර ගන්නේ කෙසේද යන්න ඔහු අවබෝධ කරගෙන සිටියා.
එසේම ඔහු මහා පරිමාණය මෙන්ම කුඩා පරිමාණය ගැන ද තේරුම් ගත් අයෙක්. තාක්‍ෂණික වශයෙන් පෝෂණය වූ ප‍්‍රතිපත්ති රාමුවක සිට විදෙස් ආයෝජන ආකර්ශනය කිරීමට සමත් වුණා. (මහා කොළඹ ආර්ථික කොමිසම හෙවත් වත්මන් ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ මුල්ම ප‍්‍රධානියා වූයේ ඔහුයි.)
මීට අමතරව ගැමි දරුවන්ට හොද ඉංගී‍්‍රසි ඉගෙනීමටත්, නවීන තාක්‍ෂණයන් පරිහරණයටත් අවස්ථා ලබා දීමට ඔහුට ඕනෑ වුණා. අතීත ශී‍්‍ර විභූතියක් ගැන දොඩවමින් ඔහේ සිටිනවා වෙනුවට නවෝත්පාදන හා නිසි තාක්‍ෂණ භාවිතය හරහා ලෝක වෙළෙදපොළ ජය ගැනීමට ඔහු තම ව්‍යාපාරික ජීවිතයේ කළ හපන්කම්, සමස්ත ලක් ආර්ථිකයටම ව්‍යාප්ත කළ හැකි වූවා නම්?
ජේ ආර්ගෙන් පසු එජාප අපේක්‍ෂකයා උපාලි වූවා නම්, 1988-89 මහා ජීවිත විනාශය වළක්වා ගත හැකි වනු ඇත්ද? ජනාධිපති ලෙස හෝ මුදල් අමාත්‍යවරයකු ලෙස උපාලි ශී‍්‍ර ලංකාවේ අනාගතය තීරණාත්මක ලෙස වෙනස් කළ හැකිව තිබිණිද?
මැලේසියාව සිය වාර්ගික සම්බන්ධතා මනාව කළමනාකරණය කරන සැටි හොද හැටි දැන සිටි නිසා මෙරට වාර්ගික අර්බුදය පිළිබ`දව උපාලිගේ ප‍්‍රතිචාරය/විසදුම් වඩා ප‍්‍රශස්ත විය හැකිව තිබුණාද?
වර්ගවාදී දේශපාලනය හා ග‍්‍රාම්‍ය චින්තනය උපාලි වැන්නකුගේ පුළුල් චින්තනය ලක් දේශපාලන ක්ෂේත‍්‍රයට ලද හැකි වූවා නම්?
උපාලි ගැන කථා කරන විට ඔහු ඇරඹු දිවයින හා දි අයිලන්ඞ් පුවත්පත් ගැනද කිය යුතුයි. ආරම්භයේදී අන්තවාදී නොවූ, මාධ්‍ය ප‍්‍රමිතීන් හා ආචාර ධර්ම මත පදනම් වූ මේ ප‍්‍රකාශන ඔහු අතුරුදන් වී වසර කිහිපයකින් ආදි කර්තෘවරයාගේ පරමාදර්ශවලට මුළුමනින් එරෙහි මගක ගමන් කිරීම සිදු වුණා. උපාලි සිටියා නම් උපාලි පුවත්පත් මීට වඩා කෙතරම් ප‍්‍රශස්ත සමාජ මෙහෙවරක් කළ හැකිව තිබුණද?
අපට කළ හැක්කේ මේ සියල්ල අනුමාන කිරීම පමණයි.
ඉතිහාසය යනු නිශ්චිත ආඛ්‍යානයක් (definite narratvie) නොව අහඹු සිදුවීම් රැුසක සම්මුච්චිතයක් බව වටහා ගැනීම හරහා ඉතිහාසය බදා ගෙන පොරකන අපේ ඇත්තන්ගේ ඇස් පාදා ගත හැකි වේද?