රාවය

අනන්‍යතාව වියැකෙන මෙරට මලයාලම් ප‍්‍රජාව

අනන්‍යතාව වියැකෙන මෙරට මලයාලම් ප‍්‍රජාව

දකුණු ඉන්දියානු සම්භවයලත් ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව අතර මලයාලි ප‍්‍රජාවට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරටට මලයාලි ප‍්‍රජාවගේ සංක‍්‍රමණය ඉතා ඈත අතීතයේ සිට අවස්ථා ගණනාවක සිදු වී තිබිණ. පාණ්ඩ්‍ය, චෝල, කේරළ රාජධානිවලින් 14වන සියවසේ දී පමණ මෙරටට කුලී හේවායන් පැමිණි බවට වාර්තාවේ. ඉන් සියවස් ගණනකට පසු ද විවිධ හේතු සාධක පදනම් කරගනිමින් මෙරටට මලයාලි ප‍්‍රජාවගේ සංක‍්‍රමණය සිදුවිය. කේරළය සමග තිබූ වෙළද සබදතාවන් ද ඊට හේතු වී තිබුණි. පසුව බි‍්‍රතාන්‍ය පාලන සමයේ ද කේරළයේ සිට මලයාලි ප‍්‍රජාව මෙරටට පැමිණෙන්නේ කෝපි, තේ, රබර් වැනි වගාවන් සමග බැදුණු රැකියා සදහාය. ඊට අමතරව යුරෝපීය පාලනය යටතේ මලයාලි ජාතිකයින් මෙරට ආයුර්වේද, අධ්‍යාපනික, දුම්රිය, පොලීසි ආදී විවිධ ක්ෂේත‍්‍රවල රැුකියාවල නිරතව තිබේ.

කේරළයේ පොල් වගාව ප‍්‍රචලිත බැවින් මෙරටට රා මදින්නන් ලෙස ද ඔවුන් ගෙන් වූ බව කියැවේ. ඒ අනුව මෙරට රා මදින්නන්, කුරුදු තලන්නන්, ධීවර ප‍්‍රජාවේ ද බොහෝ දෙනා එලෙස කේරළයේ සිට පැමිණි පිරිසගේ සම්භවයෙන් පැවත එන්නන් බව ද ඇතැම් ඉතිහාසඥයින්ගේ මතයයි. පසු කාලීනව මෙම ප‍්‍රජාවේ බොහෝ දෙනා අධ්‍යාපනික, වෛද්‍ය, හෝටල් ආදී ලෙස විවිධ ක්ෂේත‍්‍රයන්හි රැුකියාවල නිරතවන්නන් බවට පත් විය.

හින්දු මලයාලම්, ක‍්‍රිස්තියානි මලයාලම්, ඉස්ලාම් මලයාලම් ලෙස කොටස් කීපයක් කේරළයේ වාසය කරති. මෙරට ද විවිධ ආගම්වලට අයත් මලයාලි ජාතිකයින් සිටියත් අද වන විට ඉන් බොහෝ දෙනා දමිළ, මුස්ලිම් හෝ සිංහල ජාතීන් ලෙස අනුගතව ඇති බව පෙනෙන්නට තිබේ. කිලිනොච්චියේ පිහිටි මලයාලම්පුරම් ගම්මානය ද මලයාලි වැසියන්ගේ වාසභූමියක් ව පැවතිණ. කෙසේ හෝ තවමත් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ශ‍්‍රී ලාංකික මලයාලි වැසියෝ 20,000ක් පමණ පමණ තම අනන්‍යතාව රදවා ගනිමින් හෝ නොගනිමින් දිවි ගෙවති. මෙරට වෙසෙන මලයාලි ප‍්‍රජාවෙන් බොහෝ දෙනා අද තමන් මලයාලි සම්භවයෙන් පැවත එන්නන් බව පැවසීමට ද දක්වන්නේ මැළි කමකි.

‘‘ඉස්සර කේරළේ ඉදලා සමහරු ව්‍යාපාරවලට ලංකාවට ආවා. සමහරු රස්සා හොයන් ආවා. තවත් සමහර අය සුද්දෝ ගෙනාවා. කේරළේ පොල් වගාවට ප‍්‍රචලිත නිසා සමහර අය මෙහේ ඇවිත් පොල් සම්බන්ධ නිෂ්පාදන කළා. රා මැද්දා, සබන් හැදුවා. ආයුර්වේදයේ නියැලූණු අයත් හිටියා. දුම්රිය ක්ෂේත‍්‍රයේත්, තැපැල් ක්ෂේත‍්‍රයේත් රැුකියා කළ අය හිටියා. අද වෙද්දී ලංකාවේ විවිධ ක්ෂේත‍්‍රවල රැුකියා කරන මලයාලි අය ඉන්නවා. ගුරුකම් කරනවා කියලා සමහර අය තවමත් මලයාලි ගුරුකම් කියන නම පාවිච්චි කරනවා. ඉස්සර කාලේ කේරළයෙන් ඉගෙනගෙන ඇවිත් එහෙම ගුරුකම් කළ අය හිටියා. හැබැයි දැන් නම් ඒ නම පාවිච්චි කරලා සමහර අය එක එක ඒවා කරනවා. ඒවා ඇත්ත මලයාලි ගුරුකම් කියලා පිළිගන්න බැහැ. දැන් තියෙන්නේ ඒ නම විතරයි.’’ ඒ ශී නාරයන ගුරු සමාජයේ ලේකම් ලෙස කටයුතු කරන එන්ගූර් ශශීදරන්ය. ඔහු මලයාලි ජාතිකයෙකි.

මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ද ඉතා ඉහළ සේවාවක් ඉටු කළ පුද්ගලයින් අතර මලයාලි ජාතිකයෝ ද සිටිති. දෙවන ලෝක යුද සමයේ වැසී ගිය මුස්ලිම් කාන්තා විද්‍යාලය 1946 නැවත ආරම්භ කිරීමට කටයුතු කරන්නේ ද මෙරටට කේරළයේ සිට පැමිණි මලයාලි කාන්තාවක් වූ අයිෂා රවුෆ්ය. ඇය කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපති ධූරය දැරූ ප‍්‍රථම මුස්ලිම් කාන්තාව බවට ද පත්වන්නීය. එමෙන්ම ඇය කාන්තාවන්ගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් සටනක් ද ගෙන ගිය කාන්තාවක වූවාය. 1945 සිට 1967 දක්වා කොළඹ විශාකා විද්‍යාලයේ විදුහල්පති ධූරය දරන්නේ ද මලයාලි සම්භවයෙන් පැවත එන කාන්තාවක වූ සුසෑන් ජෝර්ජ් පුලිමූඞ්ය. හෝටල් ක්ෂේත‍්‍රයේ රැුකියාව කළ වයස්ගතම සහ ලෝකයේ ජනප‍්‍රියම පුද්ගලයෙකු වූ කේ.සී කූත්තන් ද ශ‍්‍රී ලාංකික මලයාලි ජාතිකයෙකි. රාජගිරිය ආයුර්වේද විද්‍යාලයේ ප‍්‍රථම විදුහල්පති වූයේ ද මලයාලි ජාතිකයෙකු වූ වෛද්‍ය ඒ.එන්.එන් පනික්කර්ය.

මිශ‍්‍ර වීම
‘‘මම මලයාලම්. හැබැයි මම විවාහ වුණේ බෞද්ධ කෙනෙක් එක්කයි. මගේ අම්මා, තාත්තාත් මලයාලම්. අපි හැදුණේ බෞද්ධ අය විදියටයි. අපි කෝවිල් යනවා, පන්සල් යනවා. ඒ හැම දේම කරනවා. මලයාලම් අයට පෙළපතේ නාමය එනවා. හැබැයි මේ වෙද්දී සමහර අය පෙළපත් නාම වෙනස් කරගෙන තියෙනවා. කේරළයේ මලයාලි අය විවිධ ආගම් ඇදහුවත් භාෂාව මලයාලම් විතරයි. හැබැයි අද ලංකාවේ ඉන්න මලයාලි අයගෙන් ගොඩක් අය කතා කරන්නේ දෙමළ, සිංහල හෝ මුස්ලිම් භාෂාවයි. සමහර අය මලයාලි කියලා කියන්න කැමතිත් නැහැ.’’ ඒ ශ‍්‍රී නාරායන් ගුරු ස්මාරක මන්දිරයේ දී හමු වූ එරනරත්තු රාඝවන් රවින්ද්‍රයි. මේ වන විට මලයාලි පුද්ගලයින්ගෙන් ඇතැමෙක් දමිළ හෝ සිංහල අය සමග විවාහ වීමෙන් තම පෙළපත් නාමයන් පමණක් නොව මලයාලි භාෂාව, සිරිත් විරිත් ආදී සියල්ලෙන් ඈත්ව සිටිති. අද වන විට ඔවුන් අතර මලයාලම් භාෂාව දන්නා අය ද සිටින්නේ ඉතා අල්ප සංඛ්‍යාවකි. අනෙක් සියල්ලන්ම දමිළ, සිංහල භාෂා තම භාෂාව බවට ද පත් කර ගෙන සිටිති.

මලයාලම් භාෂාව ද සිංහල භාෂාවට නෑකම් කියන්නකි. එහි ඇතැම් අක්ෂර හා වචන සිංහල භාෂාවේ ඇතැම් අක්ෂර සහ වචන වලට සමානය. එමෙන්ම සිංහල භාෂාවේ වචනවලින් 25%ක් පමණ අර්ථයෙන් මෙන්ම ශබ්ද කිරීම ද මලයාලම් බසට සමානය. ඇතැම් අක්ෂර දමිළ අක්ෂරවලට ද නෑකම් කියයි. කෙසේ හෝ දමළ හෝ සිංහල පවුල් සමග මිශ‍්‍ර වූ මලයාලි ජාතීහු අද සිංහල හෝ දමිළ භාෂාව භාවිත කරති. කේරළයෙන් විවාහ ගිවිසගත් මෙරට මලයාලි ජාතියට අයත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පමණක් තවමත් මලයාලම් භාෂාව භාවිත කරති.

‘‘නාරාහේන්පිට කියන්නේ නාරායන් කියන මලයාලි කෙනාගේ කිරි පට්ටිය තිබූ ස්ථානය කියාලා කියනවා. නාරායන්ගේ පට්ටිය, නාරාහේන්පිට වුණා කියලා කියනවා. කොච්චිකඬේ කියන නමත් මලයාලි කෙනෙක්ගේ කඩයක් තිබූ ස්ථානය නිසා ඇති වූ බව කියැවෙනවා. ඒ වගේම කෝලිකුට්ටු ඉන්දියාවේ කෝලිකෝඩු ප‍්‍රාන්තයෙන් මෙරටට ගෙනා බව කියවෙනවා. තක්කාලි, කොච්චි වගේ දේවලූත් මලයාලි අය මෙරටට ගෙනා බවයි කියැවෙන්නේ.” රාඝවන් රවීන්ද්‍ර ය.

සිරිත් විරිත්
කෙසේ වෙතත් මීට පරම්පරා දෙකකට පමණ ඉහත මෙරට මලයාලි ප‍්‍රජාව ඔවුන්ට ආවේණික විවිධ උත්සව සිරිත් විරිත් ආදිය සැමරුවත් අද වන විට නම් බොහෝ දෙනෙකු ඒවා සමරන්නේ නැති බව ඔවුහු කියති. ඔවුන්ගේ ප‍්‍රධානම උත්සව ලෙස ඕනම් සහ විශු තවමත් මෙරට ඇතැම් මලයාලි ජාතීන් සැමරුව ද අද වන විට ඒවායේ ද දක්නට ලැබෙන්නේ ඉතා අල්ප මට්ටමෙනි. ” දැන් ලංකාවේ අය ඕනම්, විශු ලොකුවට සමරන්නේ නැහැ. ඒ දිනවලට කෝවිල් යනවා. ඉස්සර පංචිකාවත්තේ එහෙම බෝඩිංවල නතර වෙලා මලයාලි අය හු`ගක් හිටියා. ඒ කාලවල ඒ සැමරීම් අදට වඩා තිබුණා. දැන් ඒ කාලවල දී කේරළයට ගිහින් එන අයත් ඉන්නවා. මොකද කේරළයේ ඒ උත්සව ඉතා ඉහළින් සමරනවා. මහාබලී රජ්ජුරුවන් සෞභාග්‍යයේ දෙවියන් ලෙස මලයාලම් අයගේ පිළිගැනීමයි. දින දහයක් පුරා ඕනම් සමරන්නේ ඒ වෙනුවෙනුයි. විවිධ වර්ණයේ මල් යොදාගෙන කරන කෝලම්වලින් ඒ දිනවලට නිවෙස් ඉදිරියේ බිම සරසනවා. ඒත් අද වෙද්දී ලංකාවේ ඒවා කරන්නේ ඉතාම කලාතුරකින්. විශු උත්සවය කියන්නේ සිංහල දමිළ අලූත් අවුරුදු උත්සවයටම තමයි. ඒක මලයාලම් අයත් අපේ‍්‍රල්වල සමරනවා.”ඒ එන්ගූර් ශශීදරන්ය.

නාරායන ගුරු ස්මාරක මන්දිරය
කොළඹ නාරායන ගුරු ස්මාරක මන්දිරය එදා බැතිමතුන් නිතර ගැවසුණු ස්ථානයක් වුව ද අද වන විට එය ද පවතින්නේ හුදෙකලාවකය. දින පතා එහි පහන දැල්වුව ද එහි පුද පූජා කටයුතු නම් සිදුවන්නේ කලාතුරකිනි. ” අතීතයේ කේරළයේ කෝවිල් ඇතුළට ගහින් පුද පූජා පවත්වන්න අවසර දීලා තිබුණේ උසස් කුලවල අයට පමණයි. අනෙක් අය කෝවිලෙන් ඈතක ඉදන් තමයි පුද පූජා පවත්වලා තිබුණේ. පස්සේ ඒ මිනිස්සු මේ ගැන ශ‍්‍රී නාරායන් ගුරුට දුක් ගැනවිලි කියා තිබුණා. එතුමා භාවනා යෝගීව සිටින රහත් බවට පත් වූ කෙනෙක්. මේ දුක් ගැනවිල්ල ඇසුව එතුමා, ගගක් ළගට ගිහින් ඒ ගගේ ගිලිලා ටික වේලාවකින් ගං පතුලෙන් ශිව ලිංගයක් රැුගෙනවිත් එය යම් ස්ථානයක තබා එතැන කෝවිලක් ඉදි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ කෝවිලට ඕනෑම අයෙකුට ඇවිත් පුද පූජා පැවැත්විය හැකි බවත් එදා ශ‍්‍රී නාරයන් ගුරු කියා තිබෙනවා. එතුමා අපවත් වෙන්නේ 1928 දීයි. එතුමා ලංකාවට ආව අවස්ථාවේ මුලින්ම ඇවිත් තියෙන්නේ කොච්චිකඬේ කෝවිලටයි. පස්සේ එතැන ඉදලා මේ ස්ථානයට වැඩමකරවාගෙන විත් තියෙනවා. මෙතැන භාවනා කුටියක් හදලා දීලා තියෙනවා. භාවනායෝගීව වැඩසිටි කුටිය තිබූ ස්ථානයේ තමයි පසුව මේ ශ‍්‍රී නාරායන් ගුරු ස්මාරක මන්දිරය ගොඩනගා තිබෙන්නේ.’’ ශශිදරන් පැහැදිලි කළේය.

බෞද්ධ භික්ෂුවකගේ හැඩ හුරුකම හිමි ශ‍්‍රී නාරායන් ගුරුගේ පිළිරුවක් ද එහි තැන්පත් කර තිබේ. ඒ ඉදිරියේ දිනපතා පහන දැල්වුව ද අද වන විට එහි පූජා කටයුතු සිදු වන්නේ විශේෂිත සැමරුම් දිනවල පමණි. එම සැමරුම් දිනවල මෙරට දුර බැහැර ප‍්‍රදේශවල ද සිටින මලයාලම් ජාතීන් එහි පැමිණෙන බව ශශිදරන් පවසයි. ශ‍්‍රී නාරායන් ගුරු වන්දනා කිරීමේ ගාථා තිබුණ ද අද වන විට බොහෝ මලයාලි අයට එම ගාථා මතකයෙන් කීමේ හැකියාවක් ද නැත. ” දැන් හරියකට පූජා පවත්වන්න අය නැහැ. ගාථා පාඩම් නැහැ. ඉස්සර නම් මෙතැන ඉතාම ඉහළින් පූජා පවත්වලා තියෙනවා. බෞද්ධ පන්සල්වල පවත්වන පෙරහැර වගේම අලි ඇතුන් සහිත පෙරහැරක් ඉස්සර මෙතැනත් තිබුණා. අවසාන පෙරහැර පවත්වා තිබුණේ 1956 අවුරුද්දේ වගේයි. හැබැයි ඒකේ කරඩුව වෙනුවට රැුගෙන ගියේ ශ‍්‍රී නාරායන් ගුරුගේ පිළිමයක්.” ශශිදරන් අතීත සැමරුම් පිළිබද ආවර්ජනය කළේය. මලයාලම් භාෂාව උගැනීමට කැමැත්තක් දක්වන්නන්ට නොමිලයේ ඒ සදහා පන්ති ද එම ස්ථානයේ අද වන විට පැවැත්වේ. ශ‍්‍රී නාරායන් ගුරු ලංකාවට පැමිණ සිය වසක් සපිරෙන්නේ මේ 2018 වසරේය. ඒ වෙනුවෙන් උත්සව සහ සමාජ සුභසාධන කටයුතු රාශියක් සංවිධානය වී තිබෙන බව ශශිදරන් පවසයි.
අද වන විට ශ‍්‍රී ලාංකික මලයාලි ප‍්‍රජාවට අයත් බොහෝ දෙනා තුළ දක්නට ලැබෙන්නේ ඔවුන්ට අනන්‍ය ලක්ෂණවලින් ඉතා අල්පයක් පමණි. ඉන් ඇතැම් දෙනා මලයාලි සම්භවයෙන් පැවතෙන බව ද අද වන විට සගවා තබා ගැනීමට කැමැත්තක් දක්වන අතර ඇතැම් දෙනා යම් මට්ටමකින් හෝ තම මලයාලි අනන්‍යතාව පවත්වා ගනිමින්ම ජීවත් වීමට කැමැත්තක් දක්වති.